Wednesday, November 9, 2016

නැන්සී මලික් ප්‍රේම පුරාවත

Painting from Zedge.net
කලකට පෙර අපේ සැලසුම් අංශයේ සේවය කළ නවදිල්ලියේ උපන් තලත්නිතෑනි,  මනමාල තනිකඩයා මලික් නිතරම පාහේ පුංචි පනාවකින් උඩු රැවුල පීරුවේය.  දක්ෂ ආර්ථික කළමනාකරුවෙක් මෙන් දෙපස රක්ෂිත කලාපවලින් ජෙල් ගා නම්මවාගත් කෙස්ගස්වලින්  “O” අකාරයෙන් මතුවන හිස් මුදුන් තට්ටයට ආවරණ සපයා ගත්තේය . මලික්ගේ උඩුරැවුල තද දුඹුරු පාටය . සමහර සතිවල එය කළු පාටය.

මලික්  පෙනුමෙන් නිරෝගීය , ඇන්දේ පිරිසිදු හොඳින් මදිනලද බ්රෑන්ඩඩ් කමිස කලිසම්ය. පැළන්දේ වටිනා සපත්තුය. පොඩි නිසාන් කාරයක් තියාගෙන ලස්සනට සිටි ඔහු කාන්තාවන් ඉදිරියේ ඉතාමත් කරුණාවන්ත මිනිසෙක් වුනේය.  ඉල්ලන්නේ නැතිව වුනත් ඔවුනට උදව් කළේය .

මලික්ට එකියක් නැතිවනවිට තව එකියක් පරිද්දෙන්  ඕනෑම කාලයක පෙම්වතියක් සිටියාය . ඔහුගේ  පඩියෙන් අඩකටත් වඩා වෙන් වන්නට ඇත්තේ ඔවුන්ව නඩත්තු කරන්නටය. මෙසේ නිදහස් සරල දවසැරියාවක් ගෙවූ මලික්ගේ කියන්නට තරම්  දුර්ගුණයක් නොවුයෙන් ඔහුගේ ස්ත්‍රී ලෝලීත්වය  කාටවත් ප්‍රශ්නයක් නොවිණි. ඇරත් ඔහු වියදම් කරන්නේ ඔහුගේ සල්ලිය.  ඉතින් මොකෝ  ඔහු එක්ක යහළු වන්නේ ඔහුට කැමති ගැහැණුනේ.
ඒත් සියල්ල වෙනස්වන්නට පටන් ගත්තේ කිසිවෙන් නෝසිතු ආකාරයෙනි . මලික්ගේ  රාජකාරී වැඩ සියල්ල නොසැලකිලිමත්කමින් පිරෙන්නට විය.. ඔහුගේ පෙනුම බලා  සිටිද්දී දුක්බර වෙන්නට විය. කොණ්ඩය හා උඩුරැවුල කළු දුඹුරු සායම් අලුත් නොකිරීම නිසා අලුසුදු පැහැය මතු වෙමින් තිබුනේය.  

ඔහු පරක්කු  වෙලා කන්තෝරුවට පැමිණ ඊළඟට කලේ මුහුණ ලොකු මොබයිල් ෆෝනයකින් කාගේදෝ සමග නිරන්තර  චැට් කිඊමය . මා දිනක් හදිසි රාජකාරියකට සැලසුම් අංශයට යනවිට එහි සිටියේ මලික්  පමණකි. දොරට පිටුපා වාඩි  වී සිටි ඔහුගේ මේසය මත තිබු පරිගණක තිරයේ  කාන්තාවක් ගී කියමින්  සිටියාය. ඇය  තරමක්  තරබාරු මැදිවියේ ලඳක් වූ මුත් පියකරු එකියක් වුවාය. පසුබිමේ විශාල ශාලාවක බිම දැමු මෙට්ට කීපයක් මත තවත් කාන්තාවන් කිහිප දෙනෙකු  සිටි බව ඇසිල්ලෙකින් උනත් මම පැහැදිලිව දුටුවෙමි. ඔවුන් තිරයේ ගී ගැයු කාන්තාවට  වඩා ලස්සන බවක් මට නිකමට කල්පනා වුණේය .

මා පැමිණි ඉව දැනුණු  සැනින්  පුටුව පසෙකට කර පරිගණක තිරය මුවා  වන සේ ඔහු හිට ගත්තේය . කම්පනය මුසු කලබලෙන් මුත්  සුපුරුදු  හිතවත් විදිහටම මා ආ කාරණය විමසා අවශ්‍ය ලේඛන සමග මගේ කන්තෝරු කාමරයට එන්නට පොරොන්දු උනේය .

එදා කෑම පැයෙන් පස්සේ  සිතියම් රෝලක් හා පයිල්  කවරයක් සමග මා සොයා ආ මලික් වෙනදට වඩා ලත වෙමින් මොකක්දෝ කියන්නට උත්සහ  කරන බව මට පෙනිණි. සාවධාන ඇහුම්කන් දෙන්නෙක් ලෙසත්, ඒවා අනුන් සමග හෙළිදරව් නොකරන විශ්වාසවන්තයෙක් ලෙසත් ඔහු මාව පිළිගෙන තිබුනේය. ඒ නිසා මලික්ගේ ප්‍රේම කතා අසන්නට දවසට පැය භාගය බැගින් සති කීපයක් වියදම්  කරන්ට එදායින් පසු මට සිදු විය.  එය නවකතාවකට ලියන්නට පුළුවන් තරමේ දිග එකකි.
මලික්ගේ ප්‍රේම කතාවේ  සාරාංශය මේ වගේය:.

මලික් අවුරුදු විස්සකට ආසන්න කාලයක් මැදපෙරදිග හා සිංගප්පුරුව වගේ තැන් තැන්වල රස්සාව කළේය. රත්තරන් කිලෝ තුන හතරක් එකතු කර සොයුරියන් තිදෙනා කසාද බැන්දෙව්වේය. ප්‍රියාවියන්  කීප දෙනෙකුටම ප්‍රේම කළේය. ඔවුන්ට වියපැහැදම් කළේය.  තනිකඩ සල්ලාල දිවියකට  වැටුනේය.  වැඩිපුරම   ඔහු හිත ගත්තේ චීන හා පිලිපීන යුවතියන්ය. සුදු, කහ, රත්පැහැ  ශරීර පාට  හා පියකරු පෙනුම , සැහැල්ලු, විවෘත ගති පැවතුම් ඔහුට ඔවුන් කෙරෙහි විශේෂ ආකර්ෂණයක් ඇති කළේය.  මේ පෙම්වතියන්  බොහොමයක්  අවුරුද්දෙන් දෙකෙන් නැත්නම් මාස  කීපයකින් ඔහු හැර ගියෝය. සමහරු ඔහුගේ මුදල් පසුම්බියද අඩියටම හිඳෙනතුරු සුද්ද කලෝය.

ඒත් නැන්සි?. ඈ එසේ නොවේ. නැන්සි  යනු මලික්ගේ මිතුරෙක් වූ  රන්දීර්ගේ ඉස්සර  පෙම්වතියයි. මිතුරන් දෙදෙනා වාසය කලේ එක ළඟ ළඟ  තට්ටු නිවාස දෙකකය. තමන්ට කෙතරම් සුරූපී  පෙම්වතියන් හමු වී තිබුනත් රන්දීර්ගේ මහත දෙහෙත වැඩිමහල් පෙම්වතිය නැන්සී, මලික්ගේ  සිතට අල්ලා තිබිණි . ඒ ඇය සිය මිතුරාට සලකන මිත්‍රශීලී  සෙනෙහෙවන්ත සෙයියාව නිසාය. ඇය මවක් මෙන් ගෙදර සියලු වැඩ කළාය. රන්දීර්ගේ ඇඳුම් පැළදුම් සෝදා මැද දුන්නේය. ඔහුට ඇහෙන්නට සින්දු කිව්වාය. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කළාය. කොටින්ම එම ගෘහය රසාලිප්ත  නිවහනක්  උනේය. අසංවේදී  මිනිසෙක් වූ රන්දීර් කුණු ලෝබයෙකි . ඔහු කන්න බොන්න ටිකක් දෙනවා හැර ඇය වෙනුවෙන් කිසිම වියදමක් නොකළමුත් අගේ හැම හැසිරීමකම, ඉරියව්වකම  පෙනුනේ සිය පෙම්වතා වූ රන්දීර්ට ඇති දයාවයි. ප්‍රේමණීය බැඳීමයි.

කෙසේ හෝ ඇය තමන්ගේ වහළ යටට ගන්නට ඇත්නම් කියා සිතෙන මිත්‍රද්‍රෝහී  සිතිවිල්ලෙන් මලික්ට ගැලවීමක් නොතිබුණි. දිවා රෑ මේ ගැන සිතමින් මලික් සිය අනෙකුත් ප්‍රියාවියන් කෙරෙන් කෙමෙන් ඈත් වුනේය.
මේ දුර්භාග්‍යසම්පන්න ප්‍රේම වේදනාව නිමා කරමින් මලික්ගේ ලෝකයට නොසිතූ ලෙස වසන්තය  උදා උනේ රන්දීර් කුරිරු ලෙස නැන්සීව එළවා දමා  වෙනත් පෙම්වතියක් නිවසට කැන්දා ගත්තාට පසුවය.

සිය දුක් ගැනවිල්ල කියන්නට නැන්සි හමු වන්නේ මලික්ය. ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කියන්නාක් මෙන් බොරු අනුකම්පාවක් පෙන්න පෙන්නා ටිකෙන් ටික තමන්වෙත ඇයව නම්මවා ගන්නට ඔහුට හැකි විය. මලික් සමග නිල නොවන දීගෙක ආවා වුනත්  නැන්සී දිගින් දිගටම කළේ රන්දීර් ගැන මතක් කරමින් රෑ මුළුල්ලේ හූල්ලන එකය . සමහර විට ඇය රෑ මැදියමේ නැගිට ඇඳ ඉහත්තේ  වාඩි  වී හඬමින් සිටිනු මලික් දුටුවේය.  මේ මොනවා වුනත් නැන්සී ඉතා උසස් මිනිස් ගතිගුණ ඇත්තියක් බව පසක් කරමින් සිටියාය. ඇය ඔහුගේ මිල මුදල් නාස්ති  නොකලාය. ප්‍රිය දේම කතා කළාය . ගේදොර ඉතාම ප්‍රියජනකව තබා ගත්තාය.

මේ වනවිට මලික් ඉවසිලිවන්ත කාරුණික මිනිසෙක් වී සිටියේය. ඔහුගේ ජීවිතයේ සියලු අරමුණු නැන්සි දෙසට නාභිගතවෙමින් තිබිණි. ඒත් මලික් නැන්සී ප්‍රේම කතාවේ මල් පූදින්නට පෙර තවත් අභාග්‍ය සම්පන්න දෙයක්  සිද්ද වුනේය . ඒ සිය  රාජකාරී ස්ථානයේ සිදුවූ අලකලංචියක් නිසා ඈ ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය. වීසා අලුත් නොකිරිණි . ඒ නිසා පඩිනඩි බේරා ඔවූන් සියරට පිටත් කරනතුරු රඳවා තිබුනේ තානාපති කාර්යාලය බාරේ වූ කඳවුරකය. මේ වගේ පුංචි අවනඩුවක් වුනත් මාස ගණනක් ඇදෙන බැවින් ඔවුන්ට එතෙක්ගෙ වන්නට සිදුව තිබුනේ අර්ධ සිරගත දිවියකි.

සතියකට සැරයක් පමණක් ඇති අවසරයෙන් ඇය බලන්නට ගිය  මලික් ඇයට කෑම්, බීම, දුරකතන රීචාජ් කාඩ් ආදිය  ගෙන ගොස් දී ඈ අස්වස්සවා ආවේය.  මුල්ම දවසේ ඔහු ගෙනගොස්  දී ඇත්තේ වටිනා ජංගම දුරකතනයකි.  ඉන්පසු මලික්ගේ කාලය ගෙවුනේ ජංගමය ඔස්සේ නැන්සී සමග චැට් මල් නෙලීම වෙනුවෙන්ය.  ඇය ඔහු වෙනුවෙන් ගීත ගැයුවාය . කතන්දර කීවාය.

මලික්ට තිබුනේ ඒවා අසා සිටිමින් ' ඔයා ඉක්මනට නිදහස් වෙනවා ඩාලිං' කිය කියා අගේ හිත හැදීමය. ඒත් ඇ නිදහස් වෙනවා යනු  ඈත පෙරදිග පිහිටි ඇගේ මවු රටටl පිටුවහල් කෙරෙනවා මිස ඔවුනට එකතුවිය හැකි  තැනකට එන එක නොවන  බව දෙදෙනාම දැන සිටියෝය.
එදා මා අහම්බෙන් දැක තිබුණේ කන්තෝරු කාමරේ සිටි මලික් සහ රැඳවුම් කඳවුරේ සිටි  නැන්සී අතරේ වූ ස්කයිප් ප්‍රේමාලින්ගනයක අවස්ථාවකි.

Monday, October 31, 2016

රාලහාමිගේ ළිං අපලය

කාටූනයකි -ඩයිනසෝරයෙක්   දොඹකරයක් මෙන් යොදාගෙන විශාල ගලක් උස්සන විකට  රුපයක් 
අවුරුදු තිහකට විතර එපිට  ගම්උදා  වැඩ තිබ්බ කාලෙ,රජරට  පැත්තේ  ගමක පොඩි පාරක්, යකඩ පාලමක් හා නළලිං වගේකුයි හදන්න  පැවරිලා තියෙන්නේ මගේ වැඩිහිටි මිතුරෙක් උන දයාලාල්ට. මිනිහා ආණ්ඩුවේ සංස්ථාවක පළපුරුදු ටී ඕ මහත්තයෙක්. දැන් දයාලාල්  ඇතුළු පිරිස පරණ පොඩි ක්‍රේන් එකක්, ඩෝසරයක් , ට්‍රැක්ටරයක් අරකක් මේකක් අරන්  ගිහින් අදාළ පළාතේ නවාතැනක් හොයාගත්තා. ඒ පැන්ෂන් ගිය රජයේ සේවකයෙක් වෙච්ච රාලහාමිගේ ගෙදර.

මේ සුළු යන්ත්‍රෝපකරණ කීපය දාන්න  එයාගේ වත්තේ ඉඩ තිබ්බා . ඒ පැත්තේ හැටියට ගේ විශාලයි. රාලහාමිට ගෑණු දරුවෝ හිටියේ නැති නිසා ගෙදර පැත්තක් හත් අට දෙනෙක් වෙච්ච ඉදි කිරීම් නඩේට දෙන්න රාලහාමි බොහොම කැමැත්තෙන් එකඟ වුනා.

ඔන්න දැන් රාලහාමි කාන්ඩේ එක්ක හොඳ ගානට  සැට් වෙලා . මෙයා   වැඩ කරන තැනටත් එනවා .  උපදෙස් දෙනවා . දයාලාල්ටනම්  මරු ඇණයක් වෙලා . මහා බක පණ්ඩිතයෙක් .බලාගෙන ගියාම නොදන්නා දෙයක් නෑ .
ටික දවසක් ගියාම රාලහාමි දයාලාල්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.

‘මහත්තයෝ මට බෑ කියන්නේ නැතිව ක්‍රේන් එකෙන් පොඩි වැඩක් කරලා දෙන්න ඕනි. මේ විනාඩි පහක වැඩක්’.
' අප්පෝ දුර යන්න නැත්නම් කරලා දෙන්නම්. ' මොකක්ද වැඩේ ?
‘ඒක පස්සේ කියන්නනම් . මේ වත්තෙමයි වැඩේ තියෙන්නේ . සෙනසුරාදා හවස මහත්තයාල කලින්  වැඩ ඇරෙනවනේ. ලබන සතියේ සෙනසුරාදා හවස කරන්න ඇහැකිනම් ලොකු දෙයක් ‘.

‘හරි හරි’

‘ඔන්න දැන් දවස් ගෙවෙනවා. රාලහාමි කොහෙන්දෝ ගෝලයෝ දෙනනෙක් ගෙනල්ලා වත්තේ ලිඳක් හාරනවා’.
‘ඇයි රාලහාමි මේ තව ලිඳක් හාරන්නේ? .
‘අපේ ලිඳ ඉස්සරහ දොරට උතුරින්නේ තියෙන්නේ. ඔය පිහිටීම  හොඳ නෑ කිව්වා. ගෙට අපලයිලු .
ඉතින් මම මේ අලුත් ලිඳ හාරලා පරණ ලිඳ වහනවා’

ඉතින් ඉක්මනට දවස් ගතවුනා. ඊළඟ සතියේ සෙනසුරාදා උදා උනා
උදේම දයාලාල් ලඟට ආපු රාලහාමි මෙහෙම කීවා .
‘මහත්තයෝ අර වැඩේ අද හවස කර ගන්න ඕනි’
‘ හරි හරි අද අපි කලින් එනවා. ගෝලයොත්  ඉන්නවනේ’ .
‘මම කට්ටියටම සීල් බෝතලයක් ගෙනල්ලා තියන්නම්’,

ඔන්න දයාලලාල්ලා හවස එනකොට රාලහාමි තව ගමේ කීප දෙනකුත් එක්ක අලුතින් කපපු ලිඳ ගාව බොහොම උජාරුවෙන් පෙරමග බලා ඉන්නවා  .
දයාලාල්ගේ පරණ 31 ශ්‍රී කොළපාට  ජීප් එක නැවැත්තුව හැටියේම ලඟට දුවගෙන ගිය රාලහාමි.

‘මහත්තයෝ අපි ලැවරියා හැදුවා. කට්ටියම කාලා තේ බොන්න ‘ .
'ලැවරියා පස්සේ කන්න පුළුවන් රාලහාමි කියන්නකෝ අර  වැඩේ'
මෙන්නේකයි මහත්තයෝ
මම අලුත් ලිඳ කැපුවනේ.
ඔව් !
එතකොට අපි පාවිච්චි කරන ලිඳ ඒ හැටි පරණ නෑනේ
ඔව්!
ඒක හොඳ සිමෙන්තියෙන් බැඳලා අලුත් බොලොක්ක දණ්ඩක් හෙම දාලානේ  තියෙන්නේ
ඔව් !
එත් ඒ ලිඳ දැන් වහන්න වෙනවනේ
ඔව් රාලහාමි මට කලින් කිව්වනේ

"අන්නේකයි මහත්තයෝ . ඔය අලුත් ලිඳට ආයිමත්  වට බැමි හරස් ලී මොකුත් ඕනි නෑ. මහත්තයාට තියෙන්නේ ක්‍රේන්  එකේ ළමයට කියල පරණ ළිං බැම්ම  චුට්ටක් උස්සලා අලුත් ලිඳ උඩින් තියල දෙන එක "
‘මළ හත්තිලව්වයි  රාලහාමි ඒකනම් කීයටවත් කරන්න බෑ’
‘ඇයි මහත්තයෝ ඒ. මම මහත්තයාලට මෙච්චර උදව් කරලත්…? ‘
' ඒ හින්දා තමයි කරන්න බැරි. ඔය තියෙන්නේ කළුගලුයි, ගඩොලුයි බැඳලා  සිමෙන්ති කපරාරුව උඩින් ගහපු වට බැම්මක්. නැතිව කොන්ක්‍රීට් වලල්ලක් නෙවෙයි. උස්සපු ගමන් ගල් ගෙඩි ටික සී සී කඩ යයි’.

' මහත්තයෝ යමුකො බලන්න . මම යමක් කල්පනා නොකර කරන මිනිහෙක් නෙවෙයි.'
දයාලාල් ලිඳ ලඟට යනකොට දුටුවේ  අමුතුම වැඩක්. ලිඳ වටේ ගෝනි ඔතලා කඹ වලින් බැඳලා  . ඇතුලෙන් ලී තහඩු බැම්මට හේත්තු කරලා මුක්කු සිය ගානක් ගහලා ලිඳ ඇතුලෙන් හිර වෙන්න. හරියට බයිසිකල් රෝදෙක පෝක් කම්බි වගේ .
දයාලාල්   මේවා නිරීක්ෂණය කරනකම් රාලහාමි බලාගෙන හිටියේ කට කොනකට නගාගත් ආඩම්බර හිනාවකුත් එක්ක .
‘අනේ රාලහාමි මේ මොනවා කෙරුවත් මේ ගල් ගොඩයි සිමෙන්ති ගොඩයි උස්සන්න බෑ. කඩන් හැලෙනවා”

රාලහාමිට හොඳටම කේන්ති ගියා.
‘හරි එහෙමනම් මට මේක කරන්න දෙන්න. මට මහත්තයාලා ක්‍රේන් එකේ වැඩ කරන ගෝලයාට කියන්න මේ වැඩේට උදව් කරන්න කියල . මහත්තයා පොඩ්ඩක් කාමරේට ගිහින් හාන්සි වෙන්න’

' ඕනි මගුලක් කර ගන්නවා කියා මුණටම කියන්නට බැරි නිසා දයාලාල්  මුවින් නොබැන කාමරයට වැදී දොර වහ ගත්තේ ක්‍රේන් ඔපෙරේටර්ට රාලහාමි කියන දෙයක් කර දෙන්නැයි පවරමින් .
ක්‍රේන් එකකින් ලොකු ගෝවා ගෙඩියක් ඔසවන ඔවිනිගේ චිත්‍රයක්. මේ කතාවේ  රාළහාමි කමිසයකුත් නැතිව තොප්පියක් දාගෙන එක් පසෙක සිටී. ගෝලයකුද රුපයේ සිටී   
මේ වන විට රාලහාමිගේ ගෙදර ලිඳ උස්සා වෙනත් තැනක තියන ආරංචිය ලැබී ගමේ කොල්ලෝ කුරුට්ටෝ මුලින්ම මේ පැත්තට එමින් හිටියා . ඊළඟට උන්ගේ අක්කලා අයියලා අම්මලා තාත්තලා හා සීයලා ආච්චිලාද එන්නට වුනා. ටික වෙලාවකින් මහා දැවැන්ත ජන සන්නිපාතයකින්  රාලහාමිගේ වත්ත පිරී ඉතිරී ගියා.

මේ කලබගෑනිය ඇසී වසාගෙන සිටි කාමරෙන් මිදී   දයාලාල් එලියට ආවා.  ක්‍රේන් ඔපරේටර් උපනන්ද  සෙනග දැකීමෙන් ඇති වූ අමුතු කික් එක නිසා ක්‍රේන් හැසුරුම් කුටියට  නැගී   බූම් දණ්ඩ එහා මෙහා කරමින් පෙළහර පාමින් හිටියා  .

මේ අතරේ රාලහාමි දොඹකර  නියමකයෙකු වෙලා . සෙනග ඈතට කරලා උපදෙස් දුන්නා. ලිඳේ බෝලොක්කේ දාන හරස් යකඩ පොල්ලට කේබල්    කොක්ක දාගන්න උදව් වූනා . ඊට පස්සේ හස්ත සංඥා ලබා දුන්නා . සාමාන්‍යයෙන් මේ  කිසි විදිහකින් අවසර දෙන්න බැරි දෙයක්. පළපුරුද්දක් නැති කෙනෙකුට ඒ වගේ වගකීමක් දෙන්නේ නෑ. රස්සාව ගහලා යන වැඩ. දයාලාල් ගෙයි පිලිකන්නේ බිත්තියට හේත්තු  වෙලා උදාසීනව බලා හිටියා .

දැන් බොලොක්ක කඳේ දෙපැත්තට කේබල් එක හොඳට හිර වෙලා. රාලහාමි උනන්දුවෙන් හෑන්ඩ් සිග්නල් දෙනවා .
'උස්සන්න'
කොහේ කෙරෙන වැඩක්ද ? ලිඳක්  උස්සන්න පුලුවන්ද? මහදැනමුත්තාගේ කතා අහල තියෙන ගමේ  මිනිස්සු ඔච්චම් කසු කුසු ගානවා.
ඒත් එක පාරම ළිඳ සසලවෙලා මුලින් ඉදිරුනා වගේ උනා . දත් දොස්තරගේ   අඬුවට   බුරුල්වෙච්ච පොරෝ දතක් වගේ ක්‍රේන් කේබල් එකට පහලින්  ළිඳ දෙපැත්තට සැලුනා .
රාලහාමිගේ මූණේ මල් හිනා විසිරුණා  

ආඩම්බරෙන් වටේම බලල උපනන්දට  සංඥාව දුන්නා . ඇඟිල්ල උඩට වේගෙන්.
උපනන්ද ඉස්සුවා.

සලබල සලබල ගාල මහා හඬක් නගාගෙන ළිං බැම්මේ පස් ගල් ගඩොල් සිමෙන්ති සේරම ලිඳ ඇතුලට කඩා වැටුණා . බලද්දී ක්‍රේන් එකේ එල්ලී එල්ලී තිබ්බේ බොලොක්ක දණ්ඩ විතරයි.

සෙනග අතරෙන් හීනියට පටන් ගත්තු හූව මහා වේගෙන් ලියලා අවට කඳු වළලුවල වැදී දෝංකාර  දුන්නා . ඇට්ටර කොල්ලන්ගෙන් පටන් ගත්ත හූව, පොඩි උන්, මහාඋන් හා වයසක ඈයොත් අනුකරණය කරා.

සරම කැහැපොට ගහගත්තු  රාළහාමි බිම බලාගෙනම වෙඩිල්ල වගේ ගෙට රිංගුවා  
එදා සිට තවත් මාස  ගානක්  යනකන් ගමේ කාටවත් රාලහාමි දවල් කාලෙක මුලිච්චි වුනේ  නෑ.

තව සතියකින් විතර වැඩ ඉවර වෙලා ආපහු එන්න කලින්ග දයාලාල්ල ගෙවල්කුලී පියෙව්වෙ රාලහාමිගේ ලොකු පුතාට.
‘තාත්තට පොඩ්ඩක් කතා කරන්න අපි යනවා කියන්නවත්’ .
ඇතුලට ගියපු පුතා ආපහු ආවේ පණිවිඩයක් අරන් .

‘තාත්තා එන්න බෑ කියනවා. ඒත් මහත්තයාට කියන්න කිව්වා ආයේ මේ පැත්තෙන් ගියොත් අපේ ගෙදරත් ඇවිත් යන්න කියල’ .

**********************************
අර ලියන මහත්තයා ලිඳේ වැටිච්ච වෙලාවේ පොරොන්දු වුනානේ  අපේ  කාලයේ මහදැනමුත්තෙක් ගැන ලියනවා කියල . මේ තමයි ඒ කතාව . වෙච්ච පොරොන්දුවක් පහුවෙලා හරි ඉටු කරන්න ලැබීම සතුටක්
Figure : whendinosaursruledthemind.wordpress.com



Tuesday, October 25, 2016

ලාහෝර් පෙම්වතිය

ෆොටෝ :Hamariweb
මා සිටි කාමරයට පැමිණි ක්‍රිෂ්ණන් ඉතාම ශෝකී මුහුණින් මගේ අත මිරිකා ගත්තේය . ඔහුට  පිටුපසින් පැමිණියේ මොබින්ය. මුන් දෙන්නාම අධික ශෝකයකින් හෙම්බත් වී සිටියහ. එදා 2009 අවුරුද්දේ මාර්තු හතර වැනිදාය.මොබින් මා වැළඳගෙන‘ මගේ බලවත් ශෝකය, අපට සමා වෙයන්’ කීවේය.
මේ සිදුවන්නේ මොන හරුපයක්දැයි නොදන්නා මම තුෂ්නිම්බුතවී බලා සිටියෙමි. මගේ වික්ෂිප්ත මුහුණ දෙස බලාගෙන  ක්‍රිෂ්ණන් කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ක්‍රිකට් පිස්සන් දෙදෙනෙකු වන මේ දෙන්නා තමන්ගේ කණ්ඩායමටත් වඩා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ආදරය කලෝය.
ක්‍රිෂ්ණන් කේරළයකු වූ අතර මොබින් පකිස්තානයේ අති දුෂ්කර ගමක ඉපිද අහම්බෙන් නගරයට ආ අයෙකි.  මේ දෙදෙනා අඹ යහළුවන් වුහ. කෑවේ බිව්වේ ගමන් බිමන් ගියේ එකටමය.
එදා ඒ සිද්දියෙන් පසු ක්‍රිෂ්ණන්ටත් වඩා මොබින් මගේ හිතවතෙකු විය. සිය ප්‍රේම කතා, ගමේ කතා හා  පවුලේ කතා ඉඩක් ලැබුණු හැටියේ මා ඉදිරියේ තළුමරමින් කියෙව්වේ අංග චලනයෙන්ද රස එක්කාසු කරමිනි .

“උඹ දන්නවද අපේ ගම තියෙන්නේ අන්ත දුෂ්කර පැත්තක. ලාහෝර්වල ඉඳන් කිලෝමීටර් දෙසීයකට වැඩියි . ගමට ඇතුළු වෙන්න පුළුවන් එක තැනකින් විතරයි. අනිත් හැම පැත්තම ගිරි දුර්ග.
ගමට ඇතුලුවෙන තැන පොඩි අම්බලමක් තියෙනවා. මේකේ ඕනි වෙලාවක අලුත් වතුර සෙම්බුවක් මැටි කෝප්පෙකින් වහල තියෙනවා. පිටස්තරයෙකුට එන්න පුළුවන් අන්තිම පොයින්ට් එක තමයි මේ අම්බලම” .
“ඉතින් ගමට අමුත්තෙක්  අවොත් ?”
‘අම්බලමේ නවතින්න ඕනි. අම්බලමට මාසෙන් මාසෙට බාරකාරයෙක්  දානවා . ඔහු  වරින්වර ගිහින් වතුර පිංතාලිය පුරවන්න ඕනි අමුත්තෙක් ඇවිල්ලනම් කෑම බීම දීල එයා බැහැ දකින්න ආපු ගම්වැසියට පණිවිඩේ කියන්න ඕනි’ .

“ඊට පස්සේ ගමේ මනුස්සයා ඇවිල්ල අමුත්තා එක්කරගෙන යනවද ?”
“මොන . එයා ඇවිල්ල අම්බලමේ ඉඳන්ම කතාබහ කරලා අමුත්තා පිටත් කරන්න ඕනි . ගමට කිසිම පිටස්තරයෙකුට ඇතුළු වෙන්න බෑ .

එතකොට අල්ලපු ගම්වල නෑදෑයෝ යන්නේ එන්නේ නැද්ද .?
නෑ එහෙම නෑදෑකම් ගැන අහල නෑ .
ගමට  පොලිසියෙන් එහෙමවත්  එන්නේ නැද්ද ?
නෑ පොලිසියට එන්නත් බෑ . එන්න උත්සහ කරලත් නෑ .
මටනම් විශ්වාස කරන්නත් බෑ .

'උඹට මං කියන දේ විශ්වාස කරන්නම වෙනවා. මොකද මම උඹ අපේ ගමට එක්කරගෙන ගිහින් පෙන්නන්න කියලයැ '. කියමින් ඔහු සිනාසුනේය. ඉන්පසු ඔහු බැරෑරුම් මූණක් ඇතිව ටික වෙලාවක් කල්පනා කළේය .

‘දවසක් හරිම දුක හිතෙන දෙයක් සිද්ද වුනා. දැන්නම් මතක්වෙනකොටත්  හරි කාලකන්නි කමක් දැනෙනවා’

“කැමතිනම් කියපන්” . මම කිව්වෙමි .

‘මෙහෙමයි අපේ ගමේ ලස්සනම ලස්සන කෙල්ලෙක් හිටියා. මම ජීවිතේටම දැකලා නෑ ඒ වගේ ලස්සන වෙන කෙනෙක් . මේ කෙල්ල අල්ලපු ගමේ කොල්ලෙක් එක්ක යාලු වුනා ”.

“ඒක මහා පුදුම කතාවක්නේ” . මම කියද්දී ඔහු කිව්වේ “ඒක පුදුම ආදර කතාවක්” කියලාය  .
‘මුන් දෙන්නා කොහේදී මුණ ගැහුනද කොහේදී ආදරේ කරාද අර මනුස්සයා ආවේ ගියේ කොහොමද හිතා ගන්නත් බෑ’

“ඉතිං”

“ඉතින් මොකද කරන්නේ ගමේ  කොල්ලෝ ටික මග රැක ඉඳල මහා පාන්දරක කොල්ලට ගහල එලෙව්වා . එදායින් පස්සේ ආයේ පැත්ත පළාතේ ආවේ නෑ. මිනිහ අතුරුදහන් වුනා” . ඔහු සුසුමක් හෙලීය .

“මට දුක ඒ ගමනට මමත් ගිය එක” .

මම ගොළුව බලා හිටියෙමි.
ඉන් ටික දවසක් යනතුරු ඔහු මගේ මුහුණ බලා කතා කරේ නැත .ඔහු කීවේ ගෙතූ කතාවක් යැයි සිතන්නට මම උත්සහ කළෙමි. ඇරත් එහෙම හිතන එක ඔහු දකිද්දී  මට සහනයක් ගෙන දුන්නේය.

ඔහු පසුව මගේ හිත හදන්නට මෙන් මෙසේ කිව්වේය.
“අර ගමන මම ගියාට අපට ඉස්සරහින් තව කොල්ලෝ කට්ටියක්  ගියා . ඒගොල්ලෝ තමයි ගැහුවා කිව්වේ .ඇත්තද බොරුද මම  දන්නේ නෑ’

'ඒත් මට එක දෙයක් කියපන් ' මම මොබින්ගෙන් පසු දිනක ඇසුවෙමි.

"අර කෙල්ල ගැන උඹේ හිතෙත් ආදරයක් තිබ්බ නේද ?"

ඊට උත්තරයක්  නොදී මා මග හැර  ගිය මොබින් ඉන් සෑහෙන දිනකට පසුව මට මෙහෙම කිව්වේය  .
'සමහර විට අපේ ගමේ ගොඩක් කොල්ලෝ වගේ මමත් ඈට ආදරේ කරන්න ඇති. ඒත් අර සිද්දියෙන් පස්සේ මට ගම එපා වුනා . එහෙන් පිටමන් වෙලා ආවේත් ඒකමයි.

මගේ සිතේ  චිත්‍රපටියක මෙන් ඒ සිද්දියේ අතුරු කතා වරින්වර මැවී බොඳවී ගියේය . මමද  ඒ නොදන්නා දුර්ඝයකට වී වියෝ දුකින් වැලපෙන සුන්දර තරුණිය ගැන සිතන්නට සැහෙන කාලයක් වැය කරන්නට ඇත .සමහර විට මොබින්ටත් වඩා මම ඈට පෙම් කරා වන්නටද පුළුවන .

Monday, October 17, 2016

රස්සා දෙන ලියුම





මැති ඇමති ලියුමෙන්  රස්සා දීම  ගැන මේ දවස්වල රටේ උණුසුම් කතාබහක් යන නිසා මට පරණ කතා දෙකක් මතක් වුනා  . කලකට  එපිට අපේ ප්‍රොජෙක්ට් එකට  සැලසුම් ශිල්පියෙක් ගන්න ඉන්ටවිවී එකක් තිබ්බ . අයදුම්කරුවන් අතර සිටි තරුණ ගැටයෙක් වැඩේට  දක්ෂ වග තේරුනා . ඉන්ටවිව් එකේ අහපු ප්‍රශ්න සේරටම හොඳට උත්තර දුන්නා ,  කරන්න දුන්න  ආදර්ශයත්  හරියට කරා. ආයේ සහතික බලන්න දෙයක් නෑ  කොල්ලා පාස් . ඒත්  බොරුවට හරි සහතික බලන්න එපැයි  , මම කොලුවා ගෙනැවිත්  තිබු සහතික ගොනුව අරගෙන පෙරළමින් හිටියා. ඒ එක්කම ඔහු දිග ලියුම් කවරයකින් එලියට ගත්  සුදු පාට කඩදාසියක් මගේ අතේ තිබ්බා . බැලින්නම්  පළාතේ මන්ත්‍රී  වෙච්ච  උප ඇමතිනිය  දුන්නු ලියුමක්.

‘මොහු මගේ ප්‍රභල ආධාරකරුවෙකුගේ පුත්‍රයෙක් බැවින් ඔහුට සුදුසු රැකියාවක්  දෙන්න’

කොලුවත් තමන්ගේ  ටෙක් කෝස් , පරිගණක කෝස්  සේරගේම සහතික වලට වඩා විශ්වාසෙන් භක්තියෙන් දුන්නේ මේ ලියමන .


මම මෙහෙම කිව්වා .
‘මල්ලි උඹ පාස්  වෙලා හිටියේ මේ දැන් වෙනකන්. ඒත් මේ  ලියුමෙන් උඹ ෆේල් උනා’
කොලුවා මා දිහා   පුදුමෙන් බලනවා. මේක උනේ අර ඇමතිතුමාගේ කෙනෙක් ඇවිල්ලා අපේ ලොක්කාගෙන් වැඩට එන්  නැතිව පඩි ගන්න රස්සාවක් ඉල්ලපු  අලුත . ඒ නිසා කොම්පැනිය පැත්තෙන් මට තවත් දිරියක් ලැබිලා තිබ්බා .


මම තරුණයාට පැහැදිලි කළා ඔහුට තියෙන සුදුසුකම හා ඔහුගේ ආකල්ප හැදෙන්න ඕනි විදිහ . ආයෙමත් දේශපාලකයන්ගේ පස්සේ යන්නේ නැතිව තමන්ගේ ශක්තිය පෙන්නලා රස්සාවක් හොයා ගන්න තරමේ මනසක් හදල  මම ඔහුව  පිටත් කරලා ඇරියා .


ඊට දවස් කීපයකට පස්සේ මම මේ තරුණයාට වැඩට එන්න කියල ලියුමක් ඇරියේ ඇත්තටම එදා හිටි පිරිස අතරින් සුදුස්සා ඔහු වුන නිසා  . ඒත් ඔහු  ආවේ නෑ . මට හොඳ විශ්වාශයක් තිබ්බ ඔහුට හොඳ  ඉදිකිරීම් සමාගමක රස්සාවක් හිමිවෙන   බවට .


අනෙක්  සිද්දිය උනේ ඊටත් කලකට ඉස්සර මම අටේ පන්තියේ විතර ඉන්න කාලේ . පහේ පන්තියේදී දේශපාලනය ගැන උනන්දුව ඇතිවෙලා නැතිවෙලා  ගිහින් අවුරුදු තුනකට විතර පස්සේ .  


අලුත් ආණ්ඩුව මුලින් මුලින් පරණ පුරුදු පන්දම්වලට මන්ත්‍රී ලියුමට එහෙම පත්වීම් දිදී හිටියට අවුරුදු කීපයකින් ගුරුපත්වීම් දෙන්න තරග විබාගයක් පටන් ගත්තා . ගම්වල ඉංග්‍රීසි ගුරු හිඟය මග අරින්න සාපෙ ඉංග්‍රීසි වලට සම්මාන තියෙන හැමෝටම විබාගයට අයදුම් කරන්න අවසර ලැබුනා .


අපේ සිල්වා සර්ගේ ගෝලයෝ කීප දෙනෙක්ම මේ විබාගේ ලියල ගුරු පත්වීම් ගත්තා. මේ පිරිස අතර අපේ පොඩි අක්කාත් හිටියා .


මේ දවස්වලම  වාගේ කොළඹ  ඉඳන් ගමේ ආපු ආසනේ මන්ත්‍රී  ගමේ පක්ෂ ශාකාව අමතන්න ආවා . අපේ නෑදෑ ගෙදරක තිබ්බ මේ රැස්වීම බලන්න යන කොල්ලෝ කුරුට්ටෝ එක්ක මමත් එකතු වුනා .


ටික වෙලාවකින් ගමේ පාක්ෂිකයෝ නෝක්කාඩු හඬ මුසු  වාග් ප්‍රහාර තමන්ගේ මන්ත්‍රීතුමා  වෙත එල්ල කරන්න පටන් ගත්තා .
‘දැන් ඔබතුමා පත් වෙලා අවුරුදු තුනකටත් වැඩියි. පක්ෂේ වෙනුවෙන් නැහිච්ච මේ ගමේ එකෙකුටවත් තාම පොඩි රස්සාවක්වත් දුන්නේ නෑ’


ඒ අතරේ භක්තිමත් පාක්ෂිකයෙක් වෙචච බන්දු මෙහෙම කිව්වා .
'”ඔබ තුමාට අපේ මිනිස්සුන්ට තමයි රස්සාව දෙන්න බැරි අර අනිත් පැත්තට වැඩ කරපු අහවල් ඉස්කෝලේ මහත්තයාගේ දුවට අන්න ඊයේ පෙරේදා ඉංග්‍රීසි ගුරු පත්වීමක් දුන්නා’


මෙවර තමාගේ මුඛරි කටහඬ ඝෝෂාව පරයා අවදි කල මන්ත්‍රී මෙහෙම කිව්වා


‘මෙන්න මේකයි. මගේ කිසිම කැමැත්තක් නෑ ඒ පත්වීම දුන්නට’
මේ වචන දෙක තුනෙන්  සබාව සන්තෝෂයට පත් වුනා . ඝෝෂාව අඩු වුනා .


‘මෙන්න මේ කෙහෙම්මල් තරග  විබාගයක් අඳුන්නල දීලනේ. ඒකෙන්  පාස් වෙන උන්ට විතරක් ගුරු පත්වීම් දෙන්න කියල ඉහළම තැනකින් තමයි තීරණය කරලා තියෙන්නේ’


පාක්ෂිකයෝ අසරණව මන්ත්‍රීතුමා දිහා බලන් හිටියා


“හැබැයි මට එක දෙයක් කරන්න පුළුවන්”.


ඔහු හාත්පස බැලුවා. බාල මහලු වැඩිහිටි හැමෝම ඔහු දෙස බලාපොරෝත්තු  සහගත විමසිල්ලෙන් බලා හිටියා .


ඔහු බන්දු දෙස බලාගෙනම  මෙහෙම කිව්වා.


' මට හෙට ජනාධිපතිතුමා ගාවට ගිහින් අර විබාගෙයි . දීපු පත්වීමුයි අවලගු කරලා ආපහු විබාගෙ තියන්න කියල ඉල්ලන්න පුළුවන්’


සබාව නිස්සද්දයි .


‘ඔව් බන්දු  දැන් එතකොට තමුසෙට පුළුවන්නම් ඒකට ලියල අහවලාගේ දුවට වඩා ලකුණු ගන්නවා. අන්න එතකොට මම ඒ පත්වීම කපල තමුසෙට අරන් දෙන්නම් '
පස්සෙන් පස්සට ගොස් සෙනග අතරේ  වහන් වූ බන්දු  යලි ගුරු පත්වීම් ගැන කතා කලේ නෑ .


ලංකාවේ දේශපාලනය හා රස්සා සම්බන්ධ කතා ඉතා අප්‍රසන්නමුත්  ඉහත අවස්ථා දෙක මා ස්මරණය කරන්නේ අසතුටින් නෙවෙයි .

Image :123RF.com

Wednesday, September 28, 2016

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

හුරුපුරුදු ගම්පලාතේ මිනිහෙක් දුර ඈත නුපුරුදු ගෙන්දගම් පොළවට පය ගහපු අලුතම හම්බුනාම කාට වුනත් සතුටක් දැනෙන්නේය.
කොළඹට නුදුරු කුඩා නගරයකදී මට හමු වූ අපේ ගම් පලාතේ කරණවෑමියා නිසා මටද එවැනි හැඟීමක් දැනුණි .
ඒ මදිවාට මා ආසා කළ එළවලු වගාව, බෝංචි කෝටු කැපීම, තක්කාලි පෙට්ටි උස්සා ගෙන යෑම ආදිය ගම ගැන කියද්දී  ඔහු නිරතුරු මතක් කළ නිසා මම ඔහුගේ සැලුනයට යන්නට එන්නට  පටන් ගත්තේ මීට අවුරුදු පහළවකට පමණ පෙරය.

එම කඩ මණ්ඩියේ තිබූ බාබර් සාප්පු තුන අතරින් සෙනග අඩුවෙන්ම ගැවසුනේ ඔහුගේ සාප්පුවේය. වාහනය නවත්තන්න එතන ඉඩක්ද තිබුනෙන් පෝලිමේ ඉන්නත් ඕනෑ නැති නිසා මම කෙළින්ම ගියේ ඔහු ළඟටය. සති තුන හතරකට වරක් කොණ්ඩය වැවී තිබ්බත් නැතත් ඒ සැලුනයට ගොස් කොණ්ඩය හෝ රැවුල තරමක් ට්‍රිම් කරවාගෙන ගම රට තොරතුරු කතා කර එන්නට මම කැමැත්තෙන් සිටියෙමි. ඒ ගමේ කමටය.

ඒත් මේ මනුස්සයා මෙලෝ රහක් නැති කරණවෑමියෙක් බව මම හොඳින්ම දැනගෙන සිටියෙමි. ඔහුගේ උපකරණ නිසි පිළිවෙලට නඩත්තු කරන්නේ  නැත. කරට දමන සාලුව බොහෝවිට අපිරිසිදුය. මට වුවමනා ගානට කොණ්ඩය කප්පවා ගන්නට සැමවිටම ඔහුට කියලා දෙන්නට ඕනෑය. ඇතැම් විට ඔහු වෙත යෑම මට නොරිසි වුනත් මට තිබුණු කාල වේලා අර්බුදයත්  නිසා එතැනින්ම කොණ්ඩය  කපා ගැනිම පහසු විය.

ඔහු පත්තර කිහිපයක් මිලදි ගත්තේය. රටේ දේශපාලනය ගැන ටක්කෙටම දැනගෙන සිටියේය. රට හදන හැටි ගැන කීවේය. ගම්දොර, රටතොට සිදුවන අපරාධ, මිනීමැරුම්, සොර මැරකම් මෙන්ම දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා ගැන ආවේගයෙන් කථා කළේය.
මෙවන් අවස්ථාවල මට මතක් වුනේ 1988 විතර නුවරදී මට හමු වූ බාබර් උන්නැහේය. කැම්පස් එකේ ස්ට්‍රයික් හා රට තොට විස්තර දැන සිටි ඒ බාබර් තරම් මේ බාබර් සන්සුන් මනසක් ඇත්තෙක් නොවීය.

මේ අතර අපේ කරණවෑමි තැන නිතරම ආර්ථික අපහසුකම් ගැන ආඩපාලි කීවේය. දවසක් හැන්දෑ වෙලාවක කොණ්ඩය කපද්දී බ්‍රවුන්පේපර් කවරයක්  දැමූ එක්සයිස් පොතක් අතින් ගත් අයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටියේය. කරණවෑමි තැන වහාම කොණ්ඩය කැපිල්ල නවතා ලාච්චුව ඇද රුපියල් දෙසියක් ඔහුට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන පිට වී ගියේය.

මගේ කුහුල තේරුම් ගත් කරණවෑමි තැන මට ඒ සිද්ධිය පැහැදිලි කර දුන්නේය.

“මේකනෙ මහත්තයෝ මේ රටේ අපි වගේ පොඩි රස්සාවක් කරන කෙනෙකුට ඔලුව උස්සන්න බෑ. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්ණ. ඔය එන්නේ පොලීකාරයා. දවස්පතා පොලිය ගෙවන පොරොන්දුවට මම සල්ලි අරන් තියෙනවා. ගිනි පොලී. මේ ටවුමෙ මං වගේ බර ගානක් ඉන්නවා දවස් පොලී ගෙවන.”

කෙසේ වතුදු කල් යාමේදී මගේ දුරබැහැර හා රටින් පිට රස්සා කිරීම නිසා ඔහු හමු වීම අඩු වී ගිය ද නිවාඩුවට ආ විටත් මම ඔහු දැක බලා එන්නට ගියෙමි.
එවන් එක්තරා දිනෙක මාගේ කොණ්ඩය කපමින්  සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට  උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි.

මේ සිද්ධියෙන් පසු මට එතැනට යන්නට පිරියක් නොවීය.

ඊළඟ වතාවේ මම කොණ්ඩය කපන්නට තෝරා ගත්තේ තරමක් ඈතින් පිහිටි හුරුබුහුටි කුඩා සැලුනයකි. එහි සිටියේද එකම එක කරණවෑමියෙකි. මා යද්දීත් වෙන කිසිවෙක් කොණ්ඩය කැපීමට සිටියේ නැති නිසා අසුන පිස දැමීමෙන් පසු මට වාඩිවෙන්නැයි ඇරයුම් කළ ඔහු වචනයක් දෙකක් මට කතා කළේය. කොණ්ඩය කපන්නට කැමති විදිහ විචාලේය. කතුර අල්ලන විලාසයෙන්ම ඔහුගේ කාරියට  හුරුබුහුටි කමක්  ඇතිවග මට තේරිණි.  කොණ්ඩය කලබලයකින් තොරව හීන් සැරේ කපද්දී මේ ප්‍රියමනාප මිනිසා කතා කරන්නට පටං ගත්තේ ඒ වනවිට  නගරයෙන් ඇසෙමින් තිබු  ලවුඩ්ස්පීකර් නිවේදනයක් අරබයාය. ඒ මහා සංගීත සංදර්ශනයක් ගැනය.

“මේ මොන සංගීතද මහත්තයෝ අපේ පලාතෙනෙ ඉස්සර සංගීත සංදර්ශන තිබ්බෙ. මැණික් කාරයෝ ගෙන්වන්නේ හොඳම ගායකයෝ. ජෝතිපාල, එඩ්වර්ඩ්, ටී. ඇම් වගේ අය. ආයෙ නෑ ඒ කාලෙ අපි බයිසිකල් පැදගෙන කිලෝමීටර් පණහ හැට යනව සංගිත සංදර්ශන හොයාගෙන.”

“එතකොට ඔහේගෙත් ගම් පලාත මෙහෙ නෙවෙයිනෙ. මෙහෙට ආවෙ කොහොමද?”

මගේ ප්‍රශ්ණයට ඔහු සවිස්තර පිළිතුරක් ලබා දුන්නේය.

“මම සබරගමු පලාතේ. මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට  ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා පැල්මඩුල්ලේ. ඉතිං වැඩේ හොඳට ගියා.”

“ඉතිං?”

“පස්සේ මම කොළඹ ආ වෙලාවක අපේ නෝනා හම්බුනානේ. එයාගේ ගෙවල් මේ ළඟපාත. කාලයක් ආශ්‍රය කරලා පෙම් හබ විසඳිලා අපි කසාද බැන්දනෙ. මයෙ ගාව තිබ්බ සල්ලිවලින්  පොඩි තැනක් කුලියට අරං සැලුන් එකක් දැම්මා.”

“ඉතිං මේකෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද?”

“අපෝ පුළුවන් මහත්තයෝ මම දවසකට තුන් හාරදහක් හම්බ කරනවා. හොඳට කාල බීල ඉන්නවා.”

මම ඔහුගේ සැලුනය හාත්පස බැලීමි. සරල පිරිසිදු තැනක් වූ එහි අමුත්තකට තිබුනේ පත්තර කිසිවක් නැතිවීමයි.
“මේ සැලුන් එකට පත්තර ගේන්නැද්ද?” මම ඇසුවෙමි.

“නෑ මහත්තයෝ”

එවිට මා දුටුවේ පොතක් අතින් ගත් පුද්ගලයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටින අයුරුය.
අපේ අලුත් කරණයවෑමියාද ලාච්චුව ඇර රුපියල් දාහේ කොලයක් රැගෙන ගොස් අමුත්තාට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන තව කුවිතාන්සියක්ද නිකුත් කලේය. ඔය කිව්වාට මේ බාබරුත් පොලියට සල්ලි ඇරන් රන් එක දෙන කෙනෙක් කියා මම සිතුවෙමි.
කුහුල නිසාම මම ඔහුගෙන් ඒ කවුදැයි ඇසුවෙමි. ඒ අතරේ ඔහු ගෙනා රිසිට්පත මා ඉදිරියේ වූ ලාච්චුවට රුවද්දී එය ප්‍රසිද්ද  පුද්ගලික බැංකුවක  මුදල් තැන්පතු කොළයක් බව මට පැහැදිලිවම පෙණිනි.

“මේකනේ මහත්තයෝ මම දවසක් බැංකුවට ගිහින් කතා කරා මට දවස්පතා හම්බවෙන ගානින් කීයක් හරි ඉතිරි කරන්න පුළුවන් කියලා. ඉතිං එතකොට තමයි දැනගත්තේ බැංකුවෙන් කෙනෙක්  කඩවලට ඇවිල්ලම ඒ වගේ තැන්පතු එකතු කරගෙන යන පිළිවෙලක් තියෙනවා කියලා. ඔය ඒ මහත්තයා. මම විතරක් නෙමෙයි මේ පේලියේ තව කීප දෙනෙක්ම දවස්පතා සල්ලි ඉතිරි කරනවා ඔය විදිහට.”

ඔහු කීවේ තෘප්තිමත් සිනහවක් වත දවටාගෙනය.

මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන්  වෙනස් වුයේ කෙසේදැයි හොයන්නට මම මේ දවස්වල ටියුෂන් යමින් සිටිමි.

inage: galarity.com

Wednesday, September 14, 2016

'ඔබ ගැඹුරු නින්දක' සිටියද හැර යා නොහැකි 'ඉතා කෙටි කලබල සිහින' සහ 'තරු ඇස් රහස්' - බ්ලොග් පොත් දහයක්


 බ්ලොග් අවකාශයේ නිර්මාණ ඉදිරිපත්  කරන සෑහෙන  දෙනෙකුගේ පොත් ලබන සතියේදී  කොළඹ පොත් ප්‍රදර්ශනයට එක්කාසු වෙන බව සතුටින් දන්වමි .  කොළඹ පොත් ප්‍රදර්ශනයේ K 308 දරන 'සම' පොත් කුටියෙන්  මින් බොහොමයක් ගන්නට පුළුවන් වන අතර එම කුටිය  බ්ලොග් ලියන්නන් හමු වී කතාබහ කළ හැකි තැනක්ද වනු ඇත.ඊට අමතරව ගොඩගේ ඇතුළු  තවත් ප්‍රකාශන කුටිවලින්ද මේවා ගන්නට හැකි වේවි. මේ සටහන ඒවා අතරින් පොත් කීපයක් ගැනය ( පළවූ දින වකවානු අනුව ආපස්සට ලැයිස්තුගත කර ඇත) . 

1. ඔබ ගැඹුරු නින්දක - කල්පනා මාලතී ඇම්බ්‍රෝස් 
සැප්තැම්බර් 10 දොරට වැඩි අපේ වසීලිස්සාගේ බ්ලොගය මෙන්න 


කල්පනාගේ කවි පොත ගැන සයිබර් අවකාශයේ සිංහලෙන් ලියන්න කැමති සොඳුරු නිර්මාණකරුවෙක් වන රන්සිරිමල් ප්‍රනාන්දු හෙවත් ලොකු , ඔහුගේ බ්ලොගයේ ලියන්නේ මෙහෙමයි .

2. ඉතා කෙටි කලබල හීන -යශෝදා සම්මානී 

බස්සී නොහොත් යශෝදා සම්මානී බ්ලොග් ලියන අප කාටත් ආඩම්බර විය හැකි සුරු විරුකම් ඇති ලියන්නියක්. ගිය අවුරුද්දේ හොඳම  සිංහල බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත් සම්මානී සිය කුළුඳුල් කෘතිය සඳහා ගොඩගේ සාහිත්‍ය උළෙලේ කුසලතා පුර්ණ කවි පොතට සම්මානය දිනාගත්තේ ඊයේ පෙරේදාය .
මේ පොතේ පළවන්නේ බස්සිගේ නවාතැනහා කවි ලොසින්ජර බ්ලොග්වලට ඈ වරින්වර ලියු පද්‍ය  රචනායි 




3. පොල් කට්ටෙන් එපිටට - කොළඹ ගමයා හෙවත් අජිත් ධර්ම 

 චූලානන්ද සමරනාකයකයන් පොල් කට්ටා ගැන ලියූ සටහනක් :

කොළඹ ගමයා යනු ලන්ඩනයේ වෙසෙන, ලෝකයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව ඉතා සවිඥාණක ව්‍යවහාරකයෙකි.  ඔහු විසින් කරනු ලබන රචනාවන් ලංකාවේ බොහෝ ලියන-ගමයන් විලිවද්දන තරම් හරවත්ය. ඔහුගේ ලේඛන ශෛලිය සරලය. පහසුවෙන් අවබෝධවන සුළුය. අවැසි තැන උපහාසයෙන්ද පොහොසත්ය. ඔහු ලන්ඩනයේ සිට, පැවති සෝවියට් දේශය, නව යුරෝපය, ධනවාදය, සමාජවාදය , ලිබරල්වාදය , මාක්ස්වාදය ආදී විවිධ ක්ෂේත්‍ර හරහා ලංකාවද පාදක කර ගනිමින් සිය ලිපි රචනා කරයි. ඔහු මතු කරන කරුණු විවාදාපන්න බවට සක නැත. එහෙත් වඩා වැදගත් වන්නේ ඔහු සිය අදහස් හරහා විවෘත කරනා සංවාදයයි. 




4. සමනලයා මියැද්දෙන් -දිනේෂ් උමගිලියගේ බ්ලොග් කතා එකතුව  
සයිබර් අවකාශයේ ලියන දක්ෂ කෙටි කතා කරුවෙක් වන දිනේෂ් උමගිලිය සිය කුළුඳුල් බ්ලොග් ලිපි එකතුව පසුගිය අප්‍රේල් මාසයේදී පළ කළේය. මෙවර ප්‍රදර්ශනයේදී මිලදී ගත හැකි ඔහුගේ කෙටිකතා  මුලින් ලියවුනේ මේ බ්ලොග් අඩවියෙයි.




5- ග්‍රීෂ්මර්තුවේ සුළඟ - සශිකා අමාලි මුණසිංහ 

මා  ඉතාමත් ආසාවෙන් කියවූ 'කඳු' ගේ බ්ලොග් අඩවියේ වැඩිපුරම ලියවුනේ සුන්දර පදවැල්ය . දැනට එම බ්ලොග් අඩවියේ පිවිසීම සීමා කර ඇතත් අගේ කවි පොතකට එකතු වී තිබීම සතුටට කරුණකි  . මෙය ගොඩගේ ප්‍රකාශනයකි 




6- තරු ඇස් රහස්- තරුරසී ප්‍රනාන්දු 

තමන්ට ඇති අපූරු නිර්මාණශීලී හැකියාව ගැන නොතකමින්  සිය හිතවතුන්ගේ නිර්මාණකාරියන්ට, පොත් එලි දැක්වීම්වලට , ඒවා හඳුන්වා දීමට නොමසුරුව කාලය  යොදන දයාබර සොයුරියකි තරුරසී .  මානව දයාවත් , නිර්මානශීලී රසයත් නොඅඩුව මුමුණන 'තරු ඇස්  රහස්' සම ප්‍රකාශනයකි .


7.8- අනිත් කොන හා මනුපුර සක්මන - බෝධිනී සමරතුංග 
අනිත් කොනේ ජීවිතය සංවේදී සටහන් ඔස්සේ රටටම කියාපාන දයාබර දොස්තර නෝනා  ' බෝධිනී සමරතුංග ' 2014 වසරේදී අනිත් කොන නමින් වූ බ්ලොග් ලිපි එකතුවත් මනුපුර සක්මන කවි පොතත් නිකුත් කළාය .





9- සොඳුරු බාලේ ගෙවුණු තාලේ - රන්දිකා රණවීර 

ඇලෙක්සැන්ඩර් රාස්කින්ගේ ජනප්‍රිය ළමා කතා පොතක  රසවත් අනුවර්තනයක් වන මේ කතා  මුලින්ම පළවුයේ නිදහස් සිතුවිලි  වෙබ් අඩවියේය. 2014 වසරේදී පළවූ රන්දිකාගේ 'සොඳුරු බාලේ ගෙවුණු තාලේ' ලොකු කුඩා කාටත් රස විඳිය හැකි පොතකි.




10 - තිලකසිත 



තිලකසිත බ්ලොග් අඩවියේ 2013 හා 2014 වසරවල පළවූ ජීවන කතන්දර හා කෙටි කතා හතලිහක එකතුවක් මෙහි අඩංගුය