Monday, January 6, 2014

සොඳුරු මුස්පේන්තු දවස්

ගිය අවුරුද්දේ ජනවාරි පළමුවැනිදාට එලි වෙද්දී මම පුපුරා හැලෙන කේන්තියෙන් යුතුව නගරයේ ගොඩනැගිලි අතරේ ඇවිද ගොස් මාගේ නවාතැන්පොල පිහිටි මහල් ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ බොත්තම එබුවෙමි. විදුලි සෝපානය පහලට එනතුරු  මම කල්පනා කරමි.

'දැන් නම් මිනිහ දොර අරියි. ඇරපු ගමන් බනින්න පටන් ගන්නවද නැත්නම් ඉස්සෙල්ලාම හැපි  නිව් ඉයර් කියලා ඊට පස්සේ හෙමින් සැරේ බනිනවද ?. කොහොමත් එලවන්න ඉන්න මනුස්සයානේ. හැබැයි මම එක පාර කඩා පැන්නොත් එච්චර ඩීසන්ට් නෑ වගේ. අනිත් අතට අද ජනවාරි පළවෙනිදා .ඒත්  මොන එහෙකට කාරුණික වෙනවාද අලුත් අවුරුද්දට එලි වෙන දවසේ තමන් එක්ක එක නවාතැන්පොල බෙදාගෙන ඉන්නා සගයා රෑ රාත්‍රියේ ඉන්න හිටින්නට තැනක් නැතිව වීදි පුරා රස්තියාදු කරවූ  මිනිසා පිලිබඳ බුර බුරා නැගෙන කෝපාග්නියෙන් මම විදුලි සෝපානයෙන් බැස ගොස් ගෙදර දොරට තඩි බෑවෙමි.

දෑස් පුංචි කරවාගෙන ප්‍රභාමත් සිනහවකින් මුව සරසාගෙන ඔහු පැමිණ දොර ඇරියේය. ' ගූඩ් මොර්නින්ග්' විශ් යු අ වෙරි හැපී නිව් ඉයර්.

මම හිනා නොවුනෙමි . හැපී නිව් ඉයර් . සැරෙන් කියලා දැම්මෙමි.
බ්‍රාහ්මණයාගේ මුහුණ තාම ප්‍රසන්නය. මගේ මුහුණ තව තව අඳුරු වී රැයක් මුළුල්ලේ හිතේ  ඇවිලුණු කේන්තිය  වාන් දැම්මේය.

'අභිෂේක්  මොකක්ද කරපු පාහර වැඩේ . ඊයේ රෑ මම දොර ඇර ගන්න බැරිව කොච්චර තඩි බාවාද . සිය වතාවක් ඔහෙට කියලා ඇති ඇතුලෙන් යතුර ලොක්  එකේ හිර කරලා නිදා ගන්න එපා කියලා , මගේ අතේ යතුරක් තිබිලා වැඩක් නෑනේ. ඔහේ ෆෝන් එකට ආන්සේර් කරන්නේ නෑ .ගෙදර ෆෝන් එක උස්සන් නෑ . මම පැයකට වැඩිය දොරට තඩි බාල හතර අතේ ඇවිදලා යන්තම් ග්‍රහම්ගේ ගෙදර ඇල වෙලා ඉඳලා මේ ආවේ. ඒ මිනිසුන්ටත් වදේ . ඊයේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්. බලනවා දැන් මන් වැඩට යන්න ඕනිනේ.  දොරේ බෙල් එක කැඩූනෙත්  ඔහේගේ අතින්නේ. කියන්න කනගාටුයි. මම කවුරුවත් ගෙදර නවත්තගන් නැතිව ඉන්න තීරණය කළා. අදම තැනක් හොයා ගන්න.'

අභිෂේක් පස්සෙන් පස්සට ගියේය. ඔහුගේ සුදු තට්ට හිස හා මුවවත වෙවුලා ගියේය . ඉක්මනින් කාමරයට දිව ගියේය.මොබයිල්  ෆෝනය උස්සගෙන ආවේය.

දෙයියනේ ඔයා මට මිස් කෝල් හතලිස් දෙකක් දීලා. ඊයේ රෑ හෝ ගාල කෝල් එන නිසා මම සයිලන්ස්  එකට දාල තිබ්බේ.. අනේ දෙයියනේ මම හොඳටම නිදාගෙන හිටියේ. . අනේ සමාවන්න සමාවන්න. මම අදම දොරේ බෙල් එක හදවනවා.
ඔහු ඉදිරියට පැමිණ යටහත් පහත ලෙස මගේ අත්  දෙකම අල්ලාගෙන කඳුළු පිරිච්ච දෙනෙතින්  මා දෙස බලා හිටියේය. ඉන්පසු වතුර කෙතලයේ ස්විචය දමා ' මසාල ටී ' එකක් හදන්නදැයි ඇසුවේය.

කේන්තිය නිවී  නොගියා උනාට මම අභිෂේක්ගේ හැසිරීම දෙස සැටියේ  වාඩි වී නිසොල්මනේ බලා සිටියෙමි.

මුව එලවනවද ? අනික මේ යකාටත් නවාතැනක් හොයාගන්න මෙච්චර අමාරුවක් නෑනේ. ඉංජිනේරුවෙක් වෙච්ච මේ මිනිහා වැරැද්ද බාරගෙන පිටවෙලා ගියානම් මට සහනයකි.

ඔහු වෙත මා එල්ල කළ වාග් ප්‍රහාර කිසිවකට උරණ නොවී ඔහු මා සමග එකම නවාතැන්පොලේ ඉන්නට තීරණය කල සෙයක් පෙනේ. ඔහුත් ආපිට බැන්නානම් එකකි.
උණු උණු මසාල තේ එකක් සහ කුකීස් පිරිසයක් මා ඉදිරියේ තබා ඔහු  තවත් ලොකු තේ කෝප්පයක් අතට ගෙන මා ඉදිරියේ බයාදු ලෙස ඉඳ ගත්තේය.

ඔහුගේ මුහුණේ ඇත්තේ සමාව ඉල්ලීමේ අවිහිංසක බව පමණි. යතුර ඇතුලේ කවුලුවේම තියන්නට එපා යැයි මම මේ මිනිහාට කී දවසක්  කිව්වාද. ඊයේ හවස අලුත් අවුරුදු පාටියට එන්නත් අදි  මදි කළ  අභිෂේක් කලින්ම නිදා නිදා ගන්නට ඇතැයි  මමසිතුවෙමි.
කොහොමින් කොහොම හරි 2013 ජනවාරි පළමුවෙනිදා ආරම්භ උනේ මේ විදිහේ මුස්පේන්තු විලාසයකිනි. ඒත් එලවන්නට බලා සිටි මගේ කුලී ගෙදර හවුල්  කාරයා මා කළ  කී දෙයින් උරණ වෙනවා වෙනුවට මේ අභියෝගයත් ජයගෙන අවුරුද්දම මා සමග සිටින්නට තීරණය කළේය.

රට රස්සාව කරන කාලයේ මා පමණක් නතර වී සිටි නිවසේ අතිරේක කාමරය ප්‍රයෝජනයට ගත්තේ පාසැල් නිවාඩු කාලවල පැමිණෙන පවුලේ උදවිය හා ඉඳ හිට පැමිණෙන මගේ යහළු මිත්‍රයෙක් පමණකි. අනිකුත් දවස්වල බොහෝ සෙයින් වැසී තිබු මේ කාමරය බෝඩින් කාරයෙකුට දෙන්නට මම තීරණය කෙරුවෙමි.

මගේ හිත මිතුරෙකු දුන් ආරංචියකට අනුව කාමරයක් සොයාගෙන අභිෂේක් අපේ ගෙදර ආවේ මේ අතර වාරයේය. වෙජිටේරියන් කෙනෙකු වූ ඔහු ඉතා දැඩි ආගම භක්තිය ඇති පුද්ගලයෙක් විය. මේ නිසා මම මස් මාළු ඉව්වෙත් කෑවේත් ඔහු නිවසේ නැති වෙලාවක් බලාගෙනය. ඔහු වෙනුවෙන් මගේ සුහදත්වය පල කරන්නට මේ ආකාරයේ කැප කිරීම් මහා ගොඩක් මම කර තිබියදීත් ජනවාරි පළමුවැනිදාට එළිවන රාත්‍රියේ මට ගෙදර එන්නට බැරි විදිහට දොර අගුළුලා බුදියාගත් නොසැලකිලිමත් සගයා ගැනඋපන් කේන්තිය මම ඉවසා සිටින්නේ කෙසේද?

මම ඔහු සාදා දුන් තේ එක බොද්දීත් කල්පනා කලේ එයමය.
2013   ජනවාරි පළමුවැනිදා සිට මාස දහයක් යනතුරු මට අභිෂේක් ගෙදරින් එලවා දමන තීරණය දැනුම් දෙන්නට බැරි විය. ඒ අතරේ සතියකට එක වතාවක් හෝ ඔහු ජනවාරි පළමුවැනිදා ඔහුගේ අතින් වූ අත් වැරැද්ද ගැන මගෙන් සමාව ඉල්ලුවේය.
දිනපතා  ඔහුගේ රස්සාවේ ප්‍රශ්න, ගෙදර අලුත් තොරතුරු මා සමග බොහෝ මිත්‍රශීලී ලෙස කතා බහ කළේය.
තමන්ගේ අවුරුද්දේ රස්සාව අවසන් කර නොවැම්බර් පළමුවැනිදා ඔහු සිය රට බලා යද්දී මට ප්‍රියේහි විප්පයෝගී දුක හොඳටෝම දැනුනේය.

මේ වාගේම අකරතැබ්බයක් මීට අවුරුදු විස්සකට කලින් 1993 ජනවාරි පළවනිදාද මට සිද්ද විය. පේරාදෙනි ජේමිස් පිරිස්‌  ශාලාවේ මගේ කාමරයට අමුත්තෝ  කිහිප දෙනෙක් පැමිණ සිටියහ. ඒ අනෙක් ශාලාවල සිටි අපේ මිතුරන් කිහිප දෙනෙකි. දෙසැම්බර් 31 රැබෝ වන තුරු සතුටු සාමීචියේ යෙදී  සිටි අපි හැමෝම එකම කාමරයක නින්දට ගියෙමු. ඇඳන් උඩ  දෙන්නයි. බිම ඇතිරූ මෙට්ටවල දෙන්නයි. ජනවාරි පළමුවැනිදාට එළිවන පාන්දර මට දැඩි දිය පිපාසයක් ඇතිවිය. බිම නිදා සිටිනවුන් අමතක වී සිටි මම කළුවරේ ඇඳෙන් බිමට අඩිය තබනවාත් සමගම එකෙක් අමු තිත්ත කුණු හරුපයක් කියාගෙන කෑ ගැසුවේය. දෙයියනේ මම කළුවරේ අඩිය තියලා තිබ්බේ බිම නිදාගෙන සිටි අපේ රූමාගේ බෙල්ල උඩය. නින්දෙන් ඇහැරවුවහොත් මොන එකා සමග හෝ දබරයට යන රූමා එදා හැන්දෑ වනතුරු මා සොයමින් ඇවිද්දේ නින්දෙන් ඇහැරවා බෙල්ල පැගු පලිය අතින් පයින් බේරා ගන්නටය.

2014 අවුරුද්ද උදා වූ පසු මට පළමුවෙන්ම මතක් වූ මුහුණ අභිෂේකගේ මුහුණයි,  දෙවැනි මුහුණ 1993 අවුරුද්දේ ජනවාරි පළවැනිදා මට පහර දෙන්නට කොරිඩෝර දිගේ අඩ නින්දෙන් පන්නාගෙන ආ රූමාගේ මුහුණයි.

ඔබේ ජනවාරි පළමුවනිදාත් මුස්පේන්තු එකක් වුනා කියා කලබල නොවන්න . අවුරුද්ද සුන්දර කර ගැනීමට ඔබට තවත් දවස් 364ක් ඉතිරි වී තිබේ.

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

44 comments:

  1. උඹටත් වෙන දේවල් මචං.... ඉතිං තිලකේ කථාව රහයි වෙනදා වගේම.
    උඹටත් සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. මේ සැරේ මගේ පොස්ට් එකේ රටාව ගැන මටම සැටිස් නෑ , මේ ටිකේ වැඩිපුර ඇවිද්දා. විවේකය අඩුයි .

      Delete
  2. දොරේ යතුර නොගලවා එලෙසම තැබීම තමයි ආරක්ෂාකාරී ක්‍රමය. හදිසියකදී, ගින්නක් වැනි, එලියට පැන ගන්න ලේසියි.

    ජනේලයකින් පැමිනි හොරෙකුට වුවත් පහසුවෙන්පිටවී යා හැකි නිසා අපේ ජීවිත ආරක්ෂාවත් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඒ ආරක්ෂාව සම්බන්ද වැදගත් කරුණු දෙක කලින් හිතිලාම තිබ්බේ නෑ . ස්තුතියි

      Delete
    2. කකාගේ කතාව ඇත්ත. මේක කරන්න ඕනේ මටක ඇතුවම යතුරෙන් ඇරගෙන කවුරුත් ගෙදරට එන්න නැත්නම් තමයි.
      මම ඉස්සර 2008 ද කොහෙද යාළුවෙක් එක්ක හවුලේ ගෙයක් ගත්තා. එක දවසක් මම වැඩ ඇරිලා ආවේ පාන්දර දෙකට. පට්ට වින්ටර් එකේ. පැය දෙකක් එලියේ. ගෙදර මිනිස්සු කාලා බීලා හොඳට දොරවල් වහගෙන නිදි. ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. ලංකාවේ මිනිස්සු බෝම්බ ගැහුවත් ආයේ නැගිටින්නේ නෑනේ. පහුවදා උදේ මම ඔක්කොමලාව ගෙදරින් යැව්වා. අනිත් අයට වැඩිපුර උදව් කරන්න ගියාම මේ වගේ වෙනවා. එයාලා හිතලා නොකලා වුනාට මුළු ජීවිත කාලෙම සමාව ඉල්ලුවත් මටත් ඒක අමතක කරන්න බැරිවුනා. ඒ වගේද මම පැය දහයක් පහලොවක් වැඩ කරලා මහන්සිවෙලා ගෙදර එනකොට පැය දෙකක් සීතලේ පඩි වෙලේ ඉන්න වුනාම.

      Delete
  3. මං මේ ළඟදි ටීවී සීරීස් එකක් බලලා ඉගෙන ගත්ත දොරේ තියෙන යතුර, එළියෙ ඉඳලා අයින් කරගන්න සිස්ටම් එක.. අවුලක් නෑ... දැනටත් පැය බාගයක් විතර දැඟළුවාම වැඩේ ගොඩ දාගත්තතෑකි... හි හි ( ටීවී සීරීස්, ෆිල්ම් තොග පිටින් බැලීමේ ප්‍රයෝජනය... හි හි)

    මට නං මුස්පේන්තු දවස් කියල විශේෂ ජාතියක් නෑ... හැම දවසෙම මුස්පේන්තු බාගයයි, ජොලි බාගයයි, තව අනිත් හැම එකෙන්ම පොඩ්ඩ පොඩ්ඩයි තියෙනව... හි හි

    සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු. දවසේ මුස්පේන්තු සිදුවීම් අඩු වී ජොලිබර අර්ධය වැඩි වන නව වසරක් පතනවා

      Delete
  4. ආ චූටිඋක්කුන් මාමා, බොහොම කාලෙකින්.
    සුභ අලුත් අවුරුද්දක් කිව්ව.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !! කවුද මේ ළමයා ...??

      Delete
  5. අභිෂේක් හොද මුනියෙක්. ඒත් අනිකා ගැනත් සිතන්න තිබ්බා. සුළු දෙයක් නේ කරන්න තිබ්බේ.. අනේ මේ අපිටනං ජනවාරි පළවෙනිදට ඔය මුසුපේන්තු මුනු පේන්නෑ.. හැක්.. ලබව වසර මුණු වලින් තොර සුනවවේ!! ජය වේවා තිලකේ..

    ReplyDelete
    Replies
    1. සුනවවේ!! ඒ වුනාට මචන් මුස්පේන්තු සිදුවීම් හා මුහුණු ටිකකුත් නැති අවුරුද්ද පාලුයි පාලුයි වගේ වෙය් නේද.හොඳයි නැද්ද ?

      Delete
  6. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිලුක.සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  7. ඔය දොරේ යතුර දාලා තියෙන එක නම් අපි පාවිච්චි කලේ රූමා ට පණිවිඩයක් තියන්න... හිහ්.. හිහ්.. නිකන් හරි, මම එන වෙලාවට දොර අරින්න බැරිනම්, ඒ කියන්නේ රූමා තවත් රූමියෙක් එක්ක දොයි... Or vice versa... ලොල්...

    සුභ අළුත් අවුරැද්දක් වේවා ! ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. හිහ්.. හිහ්. සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  8. මසාල තේ කියන්නේ මොනවද..මම දන්නේ නෑ ..? දවස් 364 ක සතුට එක දවසකට යට කරලා දාන එකනම් මෝඩ කමක් තමයි. නියම කතාව වෙනදා වගේම .....සුබ අලුත් අවුරුද්ද්දක් වේවා තිලකයියේ

    ReplyDelete
    Replies
    1. මසාලා තේ හදන්නේ ඉන්දියන්කාරයෝ. 'මසාලා' කියන්නේ කුලු බඩු (කුරුඳු වගේ) කීපයක් එකතු කරලා හදාගත්ත පව්ඩර් එකකට. (කුලු බඩු කියන වචනේ හරි ඇති කියලා හිතනවා ). ඉතින් මෙයාලා තේ කොල කිරිවලට දාලා ඒක උණු කරලා, ඊට පස්සේ සීනිත්, අර මසාලත් දානවා. හරි රසයි. පොඩි සැර ගතියක් තියෙනවා. සීතල දවසකට බොන්ට හොඳයි. :)

      Delete
    2. ඔය මසාලා කතාව නම් දන්නවා එත් මසාලා තේ ගැන ඇහුවේ අදමයි...අපේ අයට ඉතින් සීතල දවසට රත් වෙන්න මසාලා තේ ඕන නෑනේ ...ලංකාවේ ඕක වැඩිය ජනප්‍රිය නැතිව ඇති. නැත්තම් මෙලහකට මාකට් කරලා හෝ ගාලා

      Delete
    3. ස්තුතියි ඉවාන් මලේ, පොඩ්ඩි . ඔවු උතුරු ඉන්දියානුවන් තමයි වැඩිපුර මසාල තේ වලට කැමති. ඒක රහ උනත් ඉඳහිට මිසක් හැමදාම බෝන්නනම් බෑ

      Delete
    4. @පවුලිස්.........දැන් ඔය කෑම වලට දාන මසාලායි තේ වලට දාන මසාලයි දෙකක්. කෑම වලට දාන එක තේ වලට දාලා බිව්වොත් උඹට සාම්බාර් එකක් මොලගතන්නි එකක් වගේ තේ එක බොන්න පුළුවන්. තේ වලට දාන මසාලා කරදමුංගු, කරාබු නැටි වගේ දේවල් වලින් හදාගන්න දෙයක්. පොඩ්ඩි කියනවා වගේ මසාලා කියන්නේ අර්තයෙන් කුළුබඩු. භාවිතයේදි නොයෙක් වෙනස් කම් තියෙනවා.

      Delete
    5. දැන් මසාලා ටී පැකට් තියෙනවා. ඉන්දියාවේ චායි කියන්නෙත් ඒකම නේද? මම නම් කිරි ගොඩාක් බොන්න අකමැති හින්දා මසාලා ටී බෑග් එකට උණුවතුර දාලා සීතල කිරි හැඳක් දාලා බොනවා. දිව්‍යලෝකේ රස.

      Delete
  9. ඒ කියන්නේ 365 න් දවසෙන් එකක් ඔය වගේ උණාට කමක් නෑ කියලනේ. හොඳ පණිවිඩයක්, මුලු අවුරුද්දටම බලපාන. හොඳට කල්පනා කලොත් අභිෂේක් පව් ඉතින්. මමත් ෆෝන් එකට ඔයවගේ කෝල්ස් එනකොට දකින්නේ නැතුව ඉඳලා තියෙනවා අනන්තවත්. යාලුවොන්ගෙන් බැනුම් අහලා ඇති ඇතිවෙනකල්. ඒත් මම තාමත් එහෙමයි. :D

    තිලක්ට ඔය වගේ දේවල් සිද්ධ නොවෙන සුබ නව වසරක් වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි . මේ පණිවිඩය තමයි මට කියන්න ඕනි වුනේ. ඒකට අනුපාන වශයෙන් තමයි මගේ කතා මතක් කලේ. අභිෂේක් පවු තමයි. ඒත් අභිෂේක් මේ තරම් සමීප මිතුරෙක් බවට පත් වුනේ එදා සිද්දිය නිසයි. ළඟපාතක නොහිටියත් දැන් ඔහුගේ පවුලම අපේ පවුලේ කිට්ටු හිතවතුන්.

      Delete
  10. සුබ නව වසරක් වේවා ඔබටත්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි. ඔබටත් සාමය සතුට පිරි වැඩියෙන් කවි ලියන්නට හිතෙන සුබ නව වසරක් වේවා !!

      Delete
  11. දොර ලොක් කරන්න හිලට රිංගවන යතුරු තවමත් පාවිච්චි කරන එකයි ‍මෙතන තියෙන ප්‍රශ්ණය. ගෙවල් අයිති කාරයව දැනුවත් කරන්න අද තියෙන දියුණු තාක්‍ෂණය ගැන. ඊට අමතරව හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න 'මර නින්දේ' සිටින කෙනෙක් පවා අවදි කළ හැකි විකල්ප ක්‍රමයකුත් සූදානම් කරල තියා ගන්න. ඒක තනියෙන් ඉන්න ඔබේ ආරක්‍ෂාවටත් අවශ්‍ය වෙන්න පුළුවන්.
    අනිත් කාරනය මුස්පේන්තු අවුරුද්ද හෝ දිනය හෝ මොහොත නොවේ; ඔබේ සිතේ ඇතිවන සිතුවිල්ලයි. ඒවා ඇති වීම වලක්වා ගන්න බැරිමනම් වැඩි වේලා සිතේ නොරැ‍‍ඳෙන්නට අවශ්‍ය පසුබිම සකසා ගන්න.
    සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්දුල. තාමත් මේ යතුර හිලට දාන තාක්ෂනය තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. අර කිව්වා වගේ ඇතුලේ ඉන්න මනුස්සයා අසනීපයක් වෙලා සන්නිවේදනය නැවතුනොත්, මේ වගේ වෙලාවට දොර ඇර ගන්න බෑ කඩන්න්නේ නැතිව.

      Delete
    2. ඒවගේ ක්‍රම හරි භයානකයි. මෙහේ ඉන්න හොරුන්ගෙන් එවායින් බේරෙන්න බෑ. අපේ ගෙවල් වලට දොරේ මැදින් යකඩ් බාර්ස් දාලා, ඒවා බිමටත් ෆික්ස් කරනවා යතුරු වලින්ම. හදිසියක් වුනොත් ෆයර් බ්‍රිගේඩ් එකෙන් ගෙන්නන්න වෙනවා තමයි. ඒත් ආරක්ශාව සම්බන්දයෙන් නම් ගොඩාක් හොඳයි. බොහොමයක් ගෙවල් වල තනියම මිනිස්සු ඉන්න හින්දා. එකම ප්‍රශ්නේ යතුරු තුනක් විතර බරට උස්සගෙන යන්න වෙන එක.

      Delete
  12. මනුෂ්‍ය ස්වභාවය ගැන කියවෙන මේ වගේ කතා ලියන්න උඹ කොහොමත් දක්ෂයා මචං.
    උඹටත් මුස්පේන්තු අවම සුභ අලුත් අවුරුද්දක් පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. උඹ වගේම මමත් පහුගිය ටිකේ අවිවේකී ගමන් බිමන් වල දීලා හිටි නිසා විවේකයෙන් ලියන්නවත් කොමෙන්ට්වලට උත්තරයක් ලියන්නවත් බැරි උනා. මේ ලියමන උනත් කලබලෙන් ලියපු එකක්. දැන් උඹ නිවාඩුව හමාර කරලා ආවාද. කෝ මොකුත් ලියලා නෑ නේද. උඹටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  13. කතාව ඇත්ත. පළවෙනිදා කියන්නෙත් තවත් එක දවසක් විතරයි නේ... :)

    ඉස්සර අපි ට්‍රිප් එකක් ගිහිං නැවතුනු පරණ ගෙදරක ආච්චි අම්මටයි සීයයි හිටිය කාමරේ එක්කම නාන කාමරයක් තිබුණ. ඒක දෙපැත්තෙන් අගුළු දාන්න පුළුවන් නාන කාමරයක්. එක පාරක් ආච්චි අම්මාට අමතක වෙලා සීයා නාන අතරේ නාන කාමරේ පිටින් අගුළු දාල ඇවිත් මහ ජරමරයක් උණා!

    ReplyDelete
    Replies
    1. ඔව් නිරෝෂිනී. අවුරුද්දේ සුබ අසුබ දවස් විසිරිලා තියෙනවා. ජනවාරි පලමුවනිදාත් ඒ දෙවර්ගයෙන් එකක් වෙන එක ස්වබාවික දෙයක් . දවස ගත්තත් එහෙමයි උදේම මුස්පේන්තු වෙලා හවස්වෙනකොට ජෝලිබර වෙන එව්වාත් ඕනි තරම් තියෙනවා අර හිරු කිව්වා වගේ

      Delete
  14. මනුස්සයෙකුට මනුස්සයෙක්ම ඇරෙන්න වෙන කව්ද ඉන්නෙ උදව් කරන්න..ඔහොම තමයි කෙනෙක්ගෙ වෙන්ව යාම තව කෙනෙකුගේ හමුවීම වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔවු මිනිස් සම්බන්දතා සංකීර්ණ වෙලා තියෙන්නෙත් මිනිසසුනට මිනිස්සු නැතිව බැරි නිසා නේද ?

      Delete
  15. වටිනා කියන කතාව. අනික පලවෙනිදා හොඳ වෙලා අනිත් දවස් සේරම අවුල් නම් එකත් කිසිම වැඩක් නැනේ

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි . දවසක් සුබ වීම හෝ අසුබ වීම ඊළඟ දවසට බලපාන්නේ අපි හිතන විදිහට නෙවෙයි

      Delete
  16. අදයි ඉස්සෙල්ලම මම මේ පැත්තේ ඇවිත් යන්නේ.. ඔය වගේ ඉතින් අප්ස්ට් දවස් අපේ ජීවිත වල නැත්තෙමත් නැහැනේ.. පළවෙනිදත් ඉතින් මම දකින විදිහටනම් තවත් එක දවසක් විතරක්මයි..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා තිලකසිතට . දිගටම එන්න

      Delete
  17. තිලකේ......අභිශේක් උඹට කරපු වැඩේ මම වයිෆ්ට කරා දවසක්. ගම ඊටින්. මිස්ඩ් කෝල්ස් විසිගානක්. මට මහන්සියටම නින්ද ගිහින් දිග ශිෆ්ට් එකකට පස්සේ. පස්සේ මගේ යාළුවෙක්ට කෝල් කරලා ඌ ඇවිත් දොර කඩා ඇතුල් වෙලා මාව කීද්දුවා. මට හිතුනා ආපහු ඇහැරුනේ නැත්නම් හොඳයි කියලා ඒ කතා වැල අහන් ඉන්න කොට.

    ReplyDelete
    Replies
    1. //මට හිතුනා ආපහු ඇහැරුනේ නැත්නම් හොඳයි කියලා ඒ කතා වැල අහන් ඉන්න කොට.//ඒක නම් පිළිගන්න වෙනවා. බලාගෙන ගියාම මේ වගේ අත්දැකීම් අපි හැමෝටම තියෙනවනේ බන් .

      Delete
    2. හා හා... මට මේකම වෙලා තියෙනවා ඒත් රෑ වැඩ කරලා මහන්සි වෙලා ආවේ මම. එදා මම ගෙදර දොරවල් ගැලෙව්වේ නැතී එක විතරයි. එදා හිතා ගත්තා මැරුණත් ලංකාවේ මිනිස්සු එක්ක නම් ගෙවල් ශෙයා කරන්නෙ නෑ කියලා.බීලා බීල නිදි. බෝම්බ ගැහුවත් ඇහැරෙන්නෙ නෑ

      Delete
  18. එක දවසක් මුස්පේන්තු උනාට ඒ ගැන හිතුවෙ නැතුව හිටියොත් ඉතිරි දවස් ඔක්කොම සුභදායී කරගන්න පුලුවනි.. :)

    ReplyDelete