2023 වසරේ මුල් භාගයේ ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර ගත කළ සති කිහිපයකදී වෙරිබී දුම්රිය මාර්ගය ඔස්සේ නගර මධ්යයේ සිට තරමක් එපිටට ගමන් කරන්නට මට අවස්ථාව ලැබිණි. අප ගියේ නගරයම ව්යාප්ත වූ ආසන්න පෙදෙසකට වුවත් මෙල්බර්න් නගරයේ කලබලකාරී පරිසරයෙන් ටිකෙන් ටික ඈත්වන විට දුම්රිය කවුළුවෙන් දිස්වන්නේ තරමක් වෙනස් ලෝකයකි. නවීන නිවාස සංකීර්ණ අතරින් තැනින් තැන මතුවන තණබිම්, ඈතට විහිදුණු තැනිතලා සහ පැරණි ඔස්ට්රේලියානු ගම්බද ජීවිතයේ ඉතිරිව ඇති සලකුණු සොයන්නට මට වුවමනා විය.
මා විසින් ඊට වසර කිහිපයකට පෙර සිංහලයට පරිවර්තනය කරන ලද රොස්ලි හැම්ගේ The Dressmaker හෙවත් මැහුම්කාරී නවකතාවට පසුබිම් වී තිබුණේද 1950 දශකයේ ඔස්ට්රේලියාවේ කුඩා ගම්බද සමාජයකි. එහි මිනිසුන්ගේ ජීවිතය ගෙවෙන හැටි, ඔවුන්ගේ ආදරය, ඊර්ෂ්යාව, සමාජ පන්ති භේද සහ එකිනෙකා පිළිබඳ ගොඩනඟා ගත් ආකල්ප කදිමට ගෙත්තම් කර තිබිණි. එබැවින් ඔස්ට්රේලියාවේ ගම්බද පරිසරය දකින සෑම විටකම ඒ නවකතාවේ චරිත මට සිහිපත් වෙයි.
එදා අපේ ගමනේ එක් අරමුණක් වූයේ වෙරිබී උද්යානය සහ එහි පිහිටි සුප්රසිද්ධ වෙරිබී මන්දිරය දැකබලා ගැනීමය.
උද්යානයට ඇතුළු වූ විට මුලින්ම මගේ සිත ඇදී ගියේ එහි මනරම් පරිසරයටය. පිළිවෙළට සැකසූ තණපිටි, විශාල ගස්වැල්, රෝස මල් පාත්ති සහ ඈතින් දිස්වන යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකළ සුවිසල් මන්දිරය අපූරු දසුනක් මැවීය.
එහි තවත් සිත්ගන්නා දසුනක් තිබිණි. අලුත විවාහ වූ යුවළ කිහිපයක් මංගල ඇඳුමින් සැරසී ඡායාරූප ගනිමින් සිටියහ. සුදු පැහැති මංගල ගවුම්, මල් කලඹ සහ ප්රීතිමත් මුහුණු අතරින් දිස්වූයේ අනාගතය පිළිබඳ සුන්දර බලාපොරොත්තුය.
එහෙත් මේ සුන්දර මන්දිරය 19 වන සියවසේ දිරිමත් සොයුරන් දෙදෙනෙකුගේ දිරිය, ආලය හා වියෝව මිශ්ර වූ අපූරු කතාවක් සඟවාගෙන සිටින බව මා දැනගත්තේ එදාය.
මේ කතාවේ ආදර අන්දරය ලේඛනගත ඉතිහාසයට වඩා චර්න්සයිඩ් පවුලේ පරම්පරාගත කතා වටා ගොඩනැඟී ඇති බව පෙනේ. සමහරුන් කියන්නේ කාලයත් සමඟ ඊට ප්රබන්ධ කොටස්ද එකතු වී ඇති බවය. එහෙත් වෙරිබී මන්දිරයේ ඉතිහාසය හා බැඳුණු තොරතුරු ඔස්සේ තෝමස් චර්න්සයිඩ්, ඔහුගේ බාල සොහොයුරු ඇන්ඩෘ සහ මේරි බෙග්බී නම් තරුණිය පිළිබඳ කතාව ගළපාගන්නට මම උත්සාහ කළෙමි.
තෝමස් චර්න්සයිඩ් 1838 පමණ වසරේදී ස්කොට්ලන්තයේ සිට ඔස්ට්රේලියාවට පැමිණ එහි නව කෘෂි ව්යාපාරික ජීවිතයක් ආරම්භ කළේය. 1841 පමණ වන විට ඔහුගේ බාල සොහොයුරු ඇන්ඩෘ ද ඔහු සමඟ එක්විය. ගවයන් හා බැටළුවන් ඇති කිරීමෙන් සහ විශාල ඉඩම් හිමිකර ගැනීමෙන් මේ සහෝදරයෝ ක්රමයෙන් ධනවත් ව්යාපාරිකයෝ බවට පත්වූහ.
එකල ඔස්ට්රේලියාවේ බ්රිතාන්ය යටත්විජිත සමාජය තුළ විශාල ඉඩම් හිමියන්ට හිමිවූයේ සුවිශේෂී බලයකි. ඔවුන්ගේ තණබිම්, බැටළු රංචු සහ මන්දිර යුරෝපයෙන් පැමිණි සංක්රමණිකයන්ගේ ධනවත් වීමේ සිහිනයේ සංකේත බවට පත්විය. එහෙත් එම සමෘද්ධිය පිටුපස එරට ආදිවාසී ජනතාවට තම පාරම්පරික භූමි අහිමි වූ තවත් ඉතිහාසයක්ද තිබිණි.
මේ අතර තෝමස්ගේ ජීවිතයේ එක් අඩුවක් තිබිණි. ඒ තමන් ආදරය කළ තරුණිය තමා ළඟට කැඳවා ගැනීමට නොහැකි වීමය.
1840 දශකයේ මැද භාගයේදී, එනම් 1845 පමණ වසරේ ස්කොට්ලන්තයට ගිය ඔහු තම ඥාති සොහොයුරියක වූ මේරි බෙග්බී සමඟ ආදරයෙන් බැඳුණු බව පැවසේ. ඔහු ඇය විවාහ කරගෙන ඔස්ට්රේලියාවට කැඳවාගෙන යාමට බලාපොරොත්තු වුවද මේරිගේ මවුපියන්ගේ විරෝධය හමුවේ ඒ සිහිනය ඉටු නොවීය. තෝමස්ට ආපසු පැමිණෙන්නට සිදුවූයේ තනිවමය.
කලකට පසු ඔහුගේ බාල සොහොයුරු ඇන්ඩෘ ස්කොට්ලන්තයට යාමට සූදානම් වූ විට තෝමස් ඔහුගෙන් එක් ඉල්ලීමක් කළ බව කියැවේ. ඒ කෙසේ හෝ මේරි ඔස්ට්රේලියාවට කැඳවාගෙන එන ලෙසය.
ඇන්ඩෘ සිය සොහොයුරාගේ එම ඉල්ලීම ඉටු කළේය.
එහෙත් තෝමස් බලාපොරොත්තු වූ ආකාරයට නොවේ. 1852 වසරේ ඇන්ඩෘ නැවත ඔස්ට්රේලියාවට පැමිණියේ මේරි සමඟය. ඒ වන විට ඇය ඔහුගේ බිරිඳ වී සිටියාය.
මේ සිදුවීම දැනගත් තෝමස්ගේ සිතට කුමක් දැනෙන්නට ඇත්ද?
තමන් ආදරය කළ තරුණිය තමන්ගේම සොහොයුරාගේ බිරිඳ වී පැමිණීම මිනිසකුට දරාගත හැකිද? එසේ වූ විට සහෝදර ප්රේමයත් ආදරයත් අතරින් කුමක් තෝරාගත යුතුද?
අනෙක් අතට මේරිගේ සිතේ තිබුණේ කුමක්ද? ඇය සැබවින්ම ආදරය කළේ ඇන්ඩෘටද? නැතහොත් තෝමස් සමඟ ගොඩනැඟුණු සම්බන්ධය අතීතයේ ඉතිරි කර පැමිණීමට ඇයට සිදුවූවාද?
ඉතිහාසය මේ ප්රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා නොදෙයි.
පුදුමයට කරුණ වන්නේ මේ සිදුවීමෙන් පසුවත් සහෝදරයන් දෙදෙනාගේ ව්යාපාරික සහයෝගිතාව නොබිඳී පැවතීමය.
1874 සිට 1877 දක්වා කාලයේ ඔවුහු වෙරිබීහි කාමර හැටකින් යුත් අතිවිශාල මන්දිරයක් ඉදිකළහ. එය ඕස්ට්රේලියාවේ යටත්විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිදසුනක් ලෙස අදත් සැලකේ.
එම මන්දිරය ඇන්ඩෘ, මේරි සහ ඔවුන්ගේ දරුවන්ගේ නිවහන බවට පත්විය. තෝමස් බොහෝ කාලයක් පදිංචිව සිටියේ ඒ අසල පිහිටි පොයින්ට් කුක්හි තම නිවෙසේය.
මෙතැනදී මට තවත් ප්රශ්නයක් මතු විය.
තෝමස් මේ සුවිසල් මන්දිරය ඉදිකිරීමට සහය වූයේ තමන් ආදරය කළ කාන්තාවට සැපවත් ජීවිතයක් ලබාදීමටද? නැතහොත් එය සහෝදරයන් දෙදෙනා ගොඩනැඟූ ධනවත් ව්යාපාරික අධිරාජ්යයේ ජයග්රහණය ප්රදර්ශනය කිරීමටද?
එසේත් නැතහොත් තෝමස්ගේ ආදරය පිළිබඳ අප අසා ඇති කතාව පසුකාලීනව මන්දිරයේ ඉතිහාසය වටා ගෙතුණු ප්රබන්ධයක්ද?
තෝමස් කිසිදා විවාහ නොවීය. ජීවිතයේ අවසාන කාලයේ රෝගාතුරව සිටි ඔහු වෙරිබී මන්දිරයේ පදිංචියට පැමිණියේය. 1887 ජුනි මාසයේදී ඔහු සියදිවි නසාගෙන මිය ගිය බවත් ඔහුගේ මරණය අහිමි වූ ආදරයේ ප්රතිඵලයක් පමණක් බව පැවසීම නිවැරදි නොවේ. දිගුකාලීන රෝගාබාධයකින් පීඩා විඳි ඔහු, තමා බංකොලොත් වී ඇතැයි වැරදි ලෙස විශ්වාස කළ බවද ඉතිහාස වාර්තා සඳහන් කරයි.
ඇන්ඩෘ 1890 වසරේදී මියගිය බවත් මේරිගේ ජීවිතයද අවසන් වූයේ ඛේදජනක අනතුරකින් බවත් සඳහන් වේ . මිනිසුන් තිදෙනකුගේ ජීවිතවලට සම්බන්ධ වූ ඒ මන්දිරය අදත් ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවකු ලෙස නැඟී සිටියි.
එදා වෙරිබී උද්යානයේ මංගල ඡායාරූප ගනිමින් සිටි තරුණ යුවළ දෙස මම නැවත බැලුවෙමි. ඔවුහු තම ජීවිතයේ සුන්දරම දිනයක මතක සටහන් එකතු කරමින් සිටියහ. එහෙත් ඔවුන්ගේ ඡායාරූපවල පසුබිමේ තිබුණේ සතුට පමණක් නොව, අහිමිවීම, හුදෙකලාව සහ මිනිස් ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් පිළිබඳ නිහඬ සාක්ෂියකි.
ඉහත කී කතාව අර්ධ වශයෙන් සත්ය වුවද එය ජාත්යන්තර සම්මාන දිනිය හැකි චිත්රපටියක හෝ නවකතාවක තේමාව නොවූයේ මන්දැයි මට විශාල කුතුහලයක් ඇති වී තිබේ. මේ ගැන කතා කරද්දී එක් පැහැදිලි කිරීමක් මට ලැබුණේය. එනම් තමන්ට හරියට ස්ථිර නැති පවුලක පෞද්ගලික තොරතුරු සියවසක් තරම් පරණ වුවද වැඩිපුර උලුප්පා දැක්වීම එතරම් ශිෂ්ටසම්පන්න නැතැයි සමහර කලාකරුවන් සිතන බවය.
අනෙක් අතට තෝමස් හා ඇන්ඩෘ සොහොයුරු යුවළ තුළ තිබූ ව්යාපාරික හා ව්යවසායක අධිෂ්ඨානයද මට නැවත හිතන්න දෙයක් ඉතිරි කර තිබේ. ඒ අධිෂ්ඨානය අතිශය සංවේදී පවුල් ප්රශ්නයකදී වුව නොබිඳී ඔවුන්ට මුල් අරමුණු කරා ගෙන යන්නට තරම් ශක්තිමත් එකක් වන්නට ඇත. එනිසාය අරුම පුදුම වාස්තු විද්යා නිර්මාණයක් හා එහි ඇති මනරම් උද්යානයක් ඔවුන්ගේ කතාව මුමුණමින් සියවසක් එකහමාරකට පසුත් ජීවමානව සිටිනුයේ.
( Silumina Thilakasitha 01 Nov 26)
