Monday, January 12, 2015

ඇමතිතුමාගේ කෙනෙක්

හුගිය මාස දෙකක් තිස්සේ හිතට ආ දහසකුත් එකක් අදහස් හැම එකක්ම දේශපාලනික ඒවා වූ නිසා, ජීවන කතන්දර  ලියන්නට පමණක් වෙන් කර ගත්  මේ බ්ලොගයේ නොලියා සිටින්නට තීරණය කලෙමි.

ඒත් මේ දීර්ඝ නිහැඬියාව නිමා කරන්නටත් ඕනෑය . ඔන්න ඔහේ ඉස්සර දවසක අපේ සයිට් එකට ආ දේශපාලක ගෝලයෙක් ගැන ලියන්නට සිතුනි. මේ අලුතින් ඇමතිලා පත් වෙන කාලයයි . දෙපාර්තමේන්තු සංස්ථා, වරාය වගේ තැන්වල  වැඩක් ඇතත් නැතත් අලුත් ඇමතිවරුන්ගේ ගම්පලාත්වලින් ආ සේවකයන්ගෙන් පිරෙන්නේ මේ වගේ කාලවලය.

මීට  කාලයකට පෙර අපේ වැඩබිම් කන්තෝරුවට අලුතින් පත් වූ  ඇමතිගේ ලේකම් කෙනෙක් ආවේය. ඔහු අප වෙත කැඳවාගෙන ආවේ  අපේ සමාගමේ වැඩ කරමින් සිටි  සම්බන්ධීකරණ ලිපිකරු විසිනි.

'මේ ඇවිල්ලා ඉන්නේ අලුත් ඇමති තුමාගේ සම්බන්ධීකරණ ලේකම් මහත්තයා මෙහෙට්ට ඉන්ටවිව් එකකට. අද ප්‍රොජෙක්ට් මනේජෙර් මහත්තයා හම්බ වෙන්න ඇවිල්ලා'.

විදේශික ව්‍යාපෘති කලමනකාරයෙක් අපිට සිටි අතර ඔහුගේ කාමරය පිහිටියේ අප සිටි කන්තෝරුවේ කෙළවරකය .
ඇමති සම්බන්ධීකාරකයා මා ලඟට කැඳවාගෙන ආ වැඩබිම් ලිපිකරුවා කාරණය සැල කර සිටියේය.

'ඉතින් ගිහින් හම්බ වෙන්න අතන සෙක්‍රටරි ඉන්නවා එයාට කියන්න' . මම මගේ වැඩක් බලා ගන්නට හැරුනෙමි.

ඔහු ලේකම්වරිය  වෙත ගොස් මොනවාදෝ කුටු කුටු ගෑවේය
ලොක්කාගේ කාමරයේ දොර ඇරිණි .
ටිකකින් මට  ලොක්කාගෙන් ඇමතුමකි.
මා  ඔහුගේ  කාමරයට යන විට ලොක්කා  ඉදිරියේ ටයි පොල්ලක් දමාගෙන ඇටි  කෙහෙල් කෑ උගුඩුවෙකු සේ අමුත්තා  සිටියේය.

අපේ ලොක්කා  මට අමුත්තා පෙන්වමින්  කියා සිටියේ මේ ඇවිත් ඉන්නා පුද්ගලයා කියනා දේ ඔහුට තේරෙන් නැති නිසා මට පරිවර්තන සහයක් දෙන ලෙසය.

'හා හොඳයි' මමත් වාඩි වුනෙමි
ඔය මහත්මයාට මොකක්ද කියන්න තියෙන්නේ ?.

'මේකයි මිස්ටර් මාව මෙහෙට්ට එව්වේ ඇමති තුමා, මේ සුදු මහත්තයාට අපේ ඇමතිතුමා හම්බ වෙච්ච වෙලාවක මා ගැන කියලා තියෙනවා මට මෙතන රස්සාවක් තියෙනවා කියල' .

මම අපේ ලොක්කාට කතාව බස් පෙරලා  කිව්වෙමි

'ආ ඔව් මට ඔය පණිවිඩේ ලැබුනා හරි දැන් අපිට තියෙනවා මේ රජයේ ආයතන එක්ක සම්බන්දීකරනය කරලා මේ ව්‍යාපෘතියට අවශ්‍ය ලියකියවිලි හදන වැඩේ. හැබැයි මේ ඇවිත් ඉන්න මනුස්සයාට ඉංග්‍රීසි බෑනෙ ඔය ලියුමක්වත් ලියන්න'  .

මම අමුත්තාට ඒ බව කිව්වෙමි.
'ඉංග්‍රීසි ඕනි නෑ . මට ඕනි වැඩ ටික කියන්න මම එහෙට මෙහෙට කෝල් කරලා හරි කරලා
දෙන්නම්'.

මම අපේ ලොක්කාට එය කිව්වෙමි.

එතකොට පඩිය කීයක් ඕනිද කියන්න.

'මට පනස් දහකුයි වහනයකුයි'

මම ඒ බව ලොක්කාට කිව්වෙමි.

අපේ ලොක්කා මදක් කල්පනා කොට මෙහෙම කිව්වේය.

'හොඳයි කමක් නෑ . පඩියනම් ඒ ගාන දෙන්න පුළුවන් හැබැයි වහනයක්නම් නම් වෙනම දෙන්න බෑ , උදේට හවසට අපේ ට්‍රාන්ස්පෝර්ට්  බස් එකේ යන්න එන්න පුළුවන්නේ. මුළු සටාෆ් එකම එන්නේ එහෙමනේ'.

මම අමුත්තාට ලොක්කා කියූ දේ පැහැදිලි කර දුනිමි.

එවිට අමුත්තා උඩඟු ලෙස කිව්වේ මට වැඩට මෙහෙට එන්න බෑ .මට වාහනේ ඕනි ඇමතිතුමාගේ වැඩවලටත් එක්ක. .මොකද මම ඇමති තුමාගේ දිස්ත්‍රික්  කාර්යාලේ වැඩ තියෙනවා.
ඕනනම් මට පඩි ගන්න දවසට එන්න පුළුවන් .

මේ යකා එන්නේ මොකටදැයි මට තේරුණේය. සිංහල නොතේරෙන අපේ ලොක්කා කුහුල් මුහුණින් අමුත්තා හා මා දෙස බලා සිටී.

'මේ ඇවිත් ඉන්නේ වැඩ කරන් නැතිව පඩි ගන්න එක්කෙනෙක් එයා මෙහෙ එන් නැල්ලූ. පඩි දවසට එන්නම් කිව්වා'.

ලොක්කා ආයේ පාරක් මා කයු දේ කියන්නයි කිව්වේය. ඉන් පසුව බස බස ගා හිනා වෙන්නට පටන් ගත්තේය

'මට  ෂුවර් නෑ ,  මේ  මනුස්සයා විහිළු කරනවද කියල' හාහ් හාහ් හාහ්

අමුත්තා  පසු බා ගොස් ඇත්තේ අපේ ලොක්කාගේ නොනවතින  හිනාව දැකීමෙනි .

'ඇයි මොකුත් අවුලක්ද?' ඔහු අසයි , නෑ අපේ ප්‍රොජෙක්ට් මැනේජර් අහන්නේ  මෙහෙ එන් නැතිව වැඩ කරන්නේ කොහොමද , එහෙම වුනාම පඩි ගෙවන්නේ  කොහොමද කියල ?

නෑ නෑ  ඇමති තුමා මේ සේරම දන්නවා . ඇයි මෙයාට කියලා නැද්ද ?

මම එසැනින් පරිවර්තනය කලෙමි.

'ඇමති තුමත් දන්නවා කියන්නේ'

 හාහ් හාහ් හා .

ලොක්කා කාමරය පුපුරන තරම් වේගයෙන් හිනා වුනේය.

මාර විහිලු කාරයෙක්නේ . එතකොට ඇමති තුමා දන්නවා රටේ වැඩ නොකර පඩි ඉල්ලන මිනිස්ස්සු ඉන්නවා කියලා . ඔහු නොනවත්වා හිනා වෙයි .
ඊළඟට අසුනින් නැගී සිටි විදේශික ව්‍යාපෘති කළමනාකාරවරයා බඩ අල්ලාගෙන හිනැහෙමින් කාමරය පුරා ඇවිද්දේය.

 බොහෝ තෙදබල ඇත්තෙකු සේ මුලින් මෙහි පැමිණි අමුත්තා නිවට නියාලු ස්වරයෙන් මගෙන් මෙසේ අසයි .

'එහෙනම් මන් යන්ඩද කියලා අහන්න'

එක  දිගටම හිනා වීම නිසා හුස්ම හිර වී සිටි ලොක්කා ලඟට ගොස් මම මේ මිනිහා යන්ඩද අහනවා කියා කීවෙමි.

ලොක්කා එයටද සිනා සුනේය .

තවදුරටත් මෙහි  සිටීමෙන් පලක් නොවන බව තේරුම් ගත් ඇමති සම්බන්ධීකාරකයා හීන් සැරේ දොර ලඟට පා අද්දා  අද්දා ගොස් වැරෙන් දොර ඇරගෙන කාමරයෙන් පිට වුනේය.

ඇමති සම්බන්ධීකාරකයා ඉන්පසු කිසි දිනෙක අපේ ප්‍රොජෙක්ට් එක පැත්තේ ආවේ නැත .
ලොක්කානම් ඔහු ගැන මතක් කරමින් ඉන් පසුවද කිහිප දිනක්‌ම  මහා හයියෙන් හිනා උනේය.
විදේශික කුමන්ත්‍රණකරුවන් අපේ දේශීය ගති පැවතුම්වලට හිනා වෙන්නේ මේ විදිහටය .

Photo; pressmach.com

44 comments:

  1. ඉතා අගෙයි,

    මගේ ආයතනය අයිති ඇමතිගෙ පෞද්ගලික කැමරාකාරයෙක් හිටියා (හිටියා කිව්වෙ හිතාමතා). ජේෂ්ඨතම නිළධාරියෙක් වෙච්ච මටත් මචං කියාගෙන හම්බුවෙච්ච තැන පැනල කතා කරල පංපෝරි ගහන මේ හාදයට ස්ටුඩියෝවකුත් තියෙනවා. මමත් ඉතින් වැඩිය ගනං ගත්තෙ නෑ ඇමතිගෙන් කන එකා කියල. මේ ලඟකදි මිනිහට කියවුනා ඌ මගේම ආයතනයේ ගබඩා කළමනාකාර කෙනෙක් විදියට පඩිය විතරක් ගන්නව, අපේ පඩි ලැයිස්තුවෙ ඉන්න මේ මිනිහා පසුගිය අවුරුදු 10ට මේ පැත්තෙ පස් පාගලවත් නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරිට්ටකී .මේ වගේ සිදුවීම් ගොඩක් තැන් වල වෙලා තියෙනවා . ඉස්සරහ පරම්පරාවට ඒවා දකින්නට නොලැබේවා කියා පතනවා

      Delete
  2. විමල් වීරවංශද එව්වේ.... අපේ රටේ කරුමයයි මේ... මේළිපිය ළොකු කතාවක් කියනවා.. අදත් මම දන්න උන් ඉන්නවා... ප්‍රේමදාසගේ කාළේ වරායට ගිහින්.. ගෙදර ඉඳගෙන පඩි ගන්න .... ආන්ඩු වෙනස් වෙලා.. ඒත් අරුන් තවම එහෙමමයි..

    ReplyDelete
    Replies
    1. නෑ මාතේ මේ ඊට කාලෙකට ඉස්සර සිද්ද වෙච්ච දෙයක්. කොහොමත් මේවා දිගටම වෙන්න ඇති

      Delete
  3. //පහුගිය මාස දෙකක් තිස්සේ හිතට ආ දහසකුත් එකක් අදහස් හැම එකක්ම දේශපාලනික ඒවා වූ නිසා, ජීවන කතන්දර ලියන්නට පමණක් වෙන් කර ගත් මේ බ්ලොගයේ නොලියා සිටින්නට තීරණය කලෙමි.//

    අද ලිපියේ දේශපාලනය ගැවිලාවත් නැතිලු...:P

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පොඩ්ඩි . දේශපාලනේ ගැන නොලියා ඇමති ගැන ලිව්වා D

      Delete
    2. දේශ පාලනයට සම්මාදම් නොවෙන ඇමතිලා ද සිටිති ?

      Delete
  4. පව් හැබයි ...දාගෙන ආපු ටයි එකවත් තිබ්බ එක හොඳයි දාඩිය පිහදගන්න ,

    විදේශිකයෙකු ඉදිරියේ අපේ හෙලයෙකුගේ අභිමානය පලුදු කිරීමට දායක වූ බටහිර ගැති තිලකේ හෙලා දකිමු

    :D

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා ගොඩක් දෙනෙක් මාව හෙලා දකීවි කියල D

      Delete
  5. පඩිදවසට එන්නෙත් රාහු කාලය බලලයි කිව්වෙ නැද්ද?

    ReplyDelete
  6. දීර්ඝ නිහැඬියාවකින් පස්සේ ලොකු හිනාවකුත් අරං ඇවිත්..

    සුපිරිසිදු ඩිලාන් පෙරේරා හිටපු ඇමතිතුමා වරාය නියෝජ්‍ය ඇමති ඉන්න කාලේ, වරායේ අවුරුදු 5ක් වැඩකරපු සේවකයෙක් හිටියා වරායේ ගේට් නම්බර් 1 දන්නෙ නැති.. ඒක දැනගත්තේ දවසක් බදුල්ලේදී හම්බෙලා කියනවා 'මං ලබන මාසේ වරායට එනවා, එතකොට ඔයාව හම්බවෙන්න එන්නම් කියලා..' මං කිව්වම මං ඉන්නේ අලුත් ප්‍රොජෙක්ට් එකේ ඒක නිසා ගේට් නම්බර් වන් එක ලඟට ඇවිත් කෝල් එකක් දෙන්න කියලා මිනිහා උඩ බිම බලනවා.. අවුරුදු 5 ටම හතර පස් පාරකට වඩා වරාය ඇතුලට ඇවිත් නැතිලු. හා හා හා.... තමයි කියන්න වෙන්නේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හප්පේ වරාය ගැන නම් කතා එමටයි.
      ජය ශ්‍රී!

      Delete
  7. කැතයි හොඳේ....

    ඌ එහෙම හිනාවුනේ අපේ නිවහල්කමට නොවේද? සුද්දාට වැඩකරනවාට වඩා ගෙදර ඉදිල්ල හොදයි කියලා 'ඒ' නිවහල් ඇමතිතුමාගේ කෙනාට තේරුනාට ඔබට තේරිලා නැති හැඩයි...! බලවත් විරෝධය!! අන්න දැක්කද අපේ මනුස්සයෙක් ආවම කපන හැටි... ( අතින් කට වසා ගනිමි. තව මොනවා කියවෙයිද දන්නේ නැහැ)

    මම ඔතන හිටියා නම් තිලකේ... සුද්දා හිනාවෙන්නේ මගේ පළවෙනිම translation එක ඇහුන වෙලේමයි.. හෙක්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ . මම කොහොමත් ටිකක් ඉවසන නිසා පළවෙනි පාරම සුද්දා හිනැස්සුවේ නෑ

      Delete
  8. අපිටත් ටික දවසක් හිනා වෙන්න එකක් ලියල තියෙන්නේ. අර සම්බන්ධිකාරකයා බෝම අහිංසක විදියට ඔය වචන කිව්ව වෙන්න බැරිද? හැක්.. ජය වේවා.. වෙල්කම් බැක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශෝ . ජය වේවා !

      Delete
  9. ගොඩක් ඇමතිලගේ මිනිස්සුන්ට වෙන්නේ ඔය වගේ වැඩ තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට විදේශිකයෙක් නොහිටියානම් ගොඩක් තැන්වලදී උන්ට රස්සාව හම්බ වෙනවා .

      Delete
  10. කාලෙකට පස්සෙ හරි සුපුරුදු කතා රසයත්, කාලෙටම ගැලපෙන හාස්ය රසයත් විදගන්න “තිලක සිතට” ආපහු ගොඩවෙන්න සැලැස්සුවට ස්තුතියි...
    මම මේ ඉන්න රටේ කෙනෙක් රස්සාවට ගන්න මාස ගානක් සම්මුඛ පරීක්ෂණ තියනවා. ඒකට එක හේතුවක් වෙන්නෙ මෙයාලගෙ ඒ ඒ අධ්යාපන මට්ටමට දිය යුතු අවම වැටුප් පරිමාණයක් තියෙන නිසා දෙන වැටුපට සරිලන සේවයක් එයාලා බලාපොරොත්තු වෙනවා.....2016 මාර්තු උපාධි ලබාගන්න අය අප්රේල් මුල ඉදලා ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙනවනම් 2015 පෙබරවාරි වල ඉදලා තමයි සම්මුඛ පරීක්ෂණ පටන් ගන්නෙ (Job Hunting)...පෙබරවාරි ඉදලා ජුනි ජූලි වෙනකල් අදාල ආයතනයේ පහලම සේවකයාගේ සිට ඉහලම සේවකයා දක්වා විවිධ තරාතිරම් වල අය සමග වෙන වෙනම සම්මුඛ පරීක්ෂණ පවත්වලා සමහර ආයතන වල රාත්රි භෝජන සංග්රහයකටත් කැදවනවා.ඒකට හේතුවක් විදිහට මට මගේ මහාචාර්යවරයා කිව්වෙ "බිව්වම හැබෑ මනුස්සයා අදුරාගන්න ලේසිලු" කියලයි. ආයතනයක දියුණුව රදා පවතින්නෙ සියළු තරාතිරම් වල අය එකිනෙකා අතර හොද අවබෝධයකින් වැඩ කිරීමෙන් නිසයි ඒ හැම ස්ථරයකම අයට සුදුස්සන් තෝරාගැනීමට ඉඩ දෙන්නෙ. කොහොමහරි විශිව විද්යාලකින් පිටවෙන ළමයි උපාධිය ලබාගන්න මාස හය හතකට කලින් ඉදලම දන්නවා තමන් කරන්න යන ජොබ් එක මොකක්ද කියලා....
    ඔන්න ඕකයි තමන්ගෙ මහන්සියෙන් හරි හම්බ කරගෙන දියුණු වෙන මිනිස්සුන්ගෙයි පිනට කාලා බීලා ඉන්න හදන සහ ඒවාට ඉඩ ප්රස්තා හදලා දෙන අපේ රටේ සමහරක්ගෙයි වෙනස....
    පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් මේ 9 වෙනිදා මෙහෙ පත්තරේක අපේ රටේ දේශපාලනය හුවා දක්වන ලිපියක්.....ලිපිය කියවන්න බැරි උනාට ඒකෙ තියෙන කාටුන් එකෙන් තේරෙනවා කියන්නෙ මොකක්ද කියලා..
    http://www.nhk.or.jp/kaisetsu-blog/300/206840.html?utm_source=twitterfeed&utm_medium=twitter

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි සඳමාලි. ඔබ ඉන්න රට මේ තරම් දියුණු වෙලා තියෙන්නේ මේ විනය ගරුක, වැඩ කරන මිනිස්සු නිසා නේද .

      ඔය දවල් ලන්ච් එකක්ද ඇතුලත් අමුතු තාලේ ඉන්ටවිව් එකකට මම වරක් ගියා INGO එකක . හැබැයි මම fail උනා . හැසිරීමේ අවුලක් තියෙන්න ඇති. D
      ලින්ක් එකට ස්තුතියි . ඒක හොඳ කාටුන් එකක් .

      Delete
  11. හත්තිලව්වේ මේක යකාගේ රටක් නොවැ................

    ReplyDelete
    Replies
    1. මේක තමයි සිරි සැප දෙන සිරි ලංකා දීපේ ...

      Delete
  12. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. ඇමරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ........

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ තරූ .මේක වෙන රට වෙච්ච එකක් වෙන්නැති . මගේ මතකයේ අවුලක්ද මන්දා

      Delete
  13. රට හදන්න නම් ඔය වගේ වැඩ දේශපාලකයින් නොකර ඉන්න ඕනේ,අනෙක් අතට දේශපාලකයින්ගෙන් රස්සා බලපොරොත්තු වීමත් වරදක්.

    මේ වගේ කතා රසවත් වුනත් අපි හිනා වෙන්නේ අපිටම නෙමේද තිලකයියේ ?

    ReplyDelete
    Replies
    1. //මේ වගේ කතා රසවත් වුනත් අපි හිනා වෙන්නේ අපිටම නෙමේද තිලකයියේ ?//ඔව් මේ වගේ මිනිස්සුන්ට පඩි හැටියට ගෙවන්නේ අපේම සල්ලි

      Delete
  14. පොරට වෙන තැනක රස්සාව හම්බවෙන්නැති නේද තිලකේ?

    ReplyDelete
    Replies
    1. තව රස්සා දෙක තුනක් කරන්න ඇති මයේ හිතේ

      Delete
  15. මේක රාජ්ජ විරෝධී කතාවකි
    (මං කීවෙ මං කියන්න යන දේ)
    මෙහෙ සත්ව නිෂ්පාදන හා සෞක්‍ය ඇමති(පලාත්) (මම නම කියන්නෙ නෑ) පහුගිය දවස් වල උගෙ ගෝලයො දැම්ම ස්ථිර කර කර... ඒ දැම්මෙ පළාත පුරා විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය තුල තියෙන පශු වෛද්‍ය කාර්යාල වල පුරප්පාඩුව පවතින මුරකරු සහ දිස්පැන්සරි කම්කරු කියන පෝස්ට් වලට... ඒත් ඒ වෙද්දිත් 18 දෙනෙක් අනියම් හා ආදේශක අය හිටිය ඔක්කම අවුරුදු පහට වැඩි ස්ථිර නොකරපු... ඇමතිය දාපු එකෙන් අර මනුස්සයො කරපු වැඩ වලිනුත් වැඩක් වුනේ නෑ.. අර දාපු උං එන්නෙත් පඩි ගන්න විතරයි... බහුතරයක් උදුගොඩ ෆාම් එකට වෙලා යකා නටනව...
    පහුගිය දවස්වල අමාත්‍යංශයෙන් ඉල්ලල තිබ්බ අර මිනිස්සු ස්ථිර කරන්න ඒ කිව්වෙ අර වැඩ කරන මුරුකාරයො ඈ පිං බත්තු නෙවී...
    ඒත් මොකද වුනේ පුරප්පාඩු නෑ ඔක්කම පුරවල ඒත් වැඩේ කියන්නෙ ඒ ස්ථිර උං එකෙක් වත් හොයා ගන්න නෑ... එකෙක් ඇමතියගෙ පුද්ගලික රියැදුරු අනික නෝනගෙ පුද්ගලික රියදුරු තව එකෙක් මොකෙද්ද සම්බන්ධීකරණ ලේකමෙක් ඉතුරු උං ගෙන් බාගයක් උදුගොඩ(කරන්න වැඩක් නෑ) අනික් උං හොයාගන්න.ත් නැ ඒත් පඩි යනව
    ඔන්න තත්තෙ...

    ReplyDelete
    Replies
    1. මේ අය වැයෙන් පඩි වැඩි වෙන්නේ ඔය වගේ මිනිස්සුන්ටත් එක්ක කියල හිතෙනකොට මාර දුකක් දැනෙනවා

      Delete
  16. මගෙ සේවාකාලෙදි හැම ආණ්ඩුවකින්ම මෙහෙම නිකමෝ එවලා රස්සා දුන්නා.. සමහරු වැඩකලේ ඇමතිගෙ ගෙදර .. සමහරු බිස්නස්.. එක පාරක් ආණ්ඩුවක් ආ අළුතම අපි ඔහොම 140 ගානක් හොයලා ආපහු වැඩ තියෙන තැන්වලට දැම්මා. ඔන්න බොලේ ඒ ආණ්ඩුව කොට උඩ ගියා. ඊලඟට ආ ආණ්ඩුවෙ උප ඇමති දැම්ම සහන මණ්ඩලේට පැමිණිලි කරලා අර නිකමෝ හිටි තැන්වලටම ගියා. ඔය ඉල්ලව්වල් එක්ක ආණ්ඩුවෙ තැන් පරිපාලනය කරන්න බැරි හින්දයි අපි මෙහෙම ඇවිත් ඉන්නෙ.. බලමුකො ඔව්ව වෙනස් වෙයිද කියල..

    ReplyDelete
    Replies
    1. සරත් අයියන්ඩිට නම් මේ වගේ කතා කෝටියක් ඇති ලියන්න.

      Delete
  17. ඉස්සර බීබීඇන් එකේ වැඩ කරපු බුද්ධික මහත්තය අම්බලන්ගොඩයා කොළමටත් ඔය වගේ කතාවක් ලියල තිබ්බ මතකයි!

    අපේ ඇමතිලට එහානෙ කොහොමත් ගෝලයො. උන් හිතන්නෙ ඇමති උන්ගෙ මිසක් අපේ නෙමේ කියල ( ඇත්ත තමයි ඒක ඉතින් )

    ReplyDelete
    Replies

    1. අම්බලන්ගොඩයාගේ කොළම මම ආශාවෙන් කියවපු එකක්

      Delete
  18. මගේ කලමනාකාර අධ්‍යක්ෂක විදේශිකයෙක් එයාටත් වැඩ කරනවා නම් මම ඔලුවෙන් හිටගෙන හිටියත් කමක් නෑ.
    මගේ යාලුවෙක් පලාත් සභා කාර්්‍යලයක වැඩ කරනවා (පිනට පඩි ගන්නවා) නිකන් ඉදලා පඩි ගන්නවා මදිවට කයිවරැත් ගහනවා ඒ වෙලාවට බෙල්ල කරකන්න හිතෙනවා..

    ReplyDelete
  19. දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති විය යුතු කිව්වට තිලකේ වැඩ කරපු තැන එහෙම නෑ වගේ

    ReplyDelete
  20. තාමත් ඉන්නවා මේ වගේ චක්ගොලයෝ! නිකම් පඩි ගන්න හැදුනු උන්

    ReplyDelete
  21. එනමුත් අප රටයි ලෝකෙන් උතුම් රට....!

    ReplyDelete
  22. නියම පෝස්ට් එක. මේ වාගේ ගොන් වැඩ තමා නතර කරන්න ඕනේ.

    ReplyDelete
  23. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15621-2015-02-02-23-06-00

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්. මේ සටහන කලින් දැක්කත් උත්තරයක් ලියන්න පමා වුනා

      Delete