Saturday, February 2, 2019

දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය


දුම්මැස්ස photo source ; roar/srilankafor91days
සුගිය දවසක මා බලන්නට පැමිණි පරණ පත්‍ර මිත්‍රයන් දෙතුන් දෙනෙක්  සමග සුන්දර සැන්දෑවක් ගත වුනා .  එතෙන්දි  අන්තර්ජාලය ලංකාවට  එන්න කලින් අපේ ජීවිතේ ගෙවුණු හැටි ගැන කතා වුනා .

"දන්නවද මචන් 94 අවුරුද්දේ මැද අපේ පත්තරේ කවරයේ කතාවක් ගියා අන්තර්ජාලය ගැන. ඊට පස්සේ සතියේ වෙන පත්තරේක අර ලිපියට මඩක් ගහලා තිබ්බා . ප්‍රතිමල්ලව ලිපියේ මාතෘකාව මෙහෙම එකක්.
 "' හිම කන ඔටුවෝ "
ඉන්ටනෙට් එක ජීවිතේට අත්දැකලා නැති කෙනෙක් ලියපු මුල් ලිපිය නොසෑහෙන  ලෙස විවේචනය කරල තිබ්බ. රුවන් කියපු  විදිහට දෙවැනි ලිපිය මඩක්ම නෙවෙයි සාධාරණ විවේචනයක්.  මොකද ඒ වෙනකොට ලංකාවේ විශ්ව විද්‍යාල අතර සන්නිවේදන ජාලයක් තිබ්බා වුනත් අපි වගේ මිනිස්සුන්ට ඉන්ටනෙට් එකක් ගැන මෙලෝ අත්දැකීමක් තිබ්බේ නෑනේ .

අවුරුදු විසිපහකට වඩා පැරණි මේ වගේ සිද්දි දින වකවානු හා මාතෘකා එක්කම රුවන් ගමගේට මතක තිබ්බේ කොහොමද කියල මම පුදුම වුනා .

මේ කතා බහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට වැදී පරණ පත්තර ගොන්නක් ඇවිස්සුවා . එහි තිබු එක්තරා පත්තර පිටුවක්  දුටු මගේ ඇඟ හීතල වෙලා ගියා .

මම සද්ද නැතිව ඇවිත් ආපහු මිතුරු සමාගමට එකතු වුනා .

ඒ වනවිටත්  රස කරමින්  තිබ්බේ පරණ මතක සැමරුම් වුනත් අනෙක් අතීතාවර්ජනවලට  වඩා තරමක් වෙනස් වුනේ මේවා විද්‍යාවට සම්බන්ධ වූ නිසා. එතැන සිටි  බොහෝ දෙනෙක් විද්‍යා සන්නිවේදනයෙන්  සිය ලේඛන කලාව පටන් ගත්තු වුන් .

පළවෙනිවරට පරිගණකයක් දුටු දවස වගේම පළවෙනි වරට ඊමේලයක් යැවූ දවස බොහෝ දෙනෙකුට  මතක තිබ්බා ,

එදා හැන්දෑවේ මම මතක මං පෙතේ ඇවිදමින් සිටිද්දී  ජීවිතේ පළමුවරට සිදු වුවා යැයි මතකයේ රැඳුණු  දේවල් කීපයක් සිහිපත් වුනා . මේ ඒ අතරින්   කීපයක්  :

ඉස්සෙල්ලාම මැෂින් තුවක්කුවක් දැක්ක දවස 

යන්තම්  අවුරුදු හතරක් විතර වෙද්දී මට මැෂින් තුවක්කුවක් දැකීමේ  (අ)වාසනාව ලැබුනා. දවසක්  අපේ ගමේ පාර කෙලවර වෙන තැන ආමි එකෙන් මුර දාලා තිබ්බා . අක්කලා  කිව්වේ චේගුවේරා කාරයෝ අල්ලන්න ඇවිත් කියලා. ඒත් ඒ හමුදා භටයන් ළඟ  තිබුණූ කළු පාට ආයුධය මට මාර සංවේදනයක්ගෙ ගෙනාවා. මේකෙන් මිනිස්සු මරනවා කියලා කිසිම විදිහකින් හිතුනේ නෑ. තරමක් ලොකු වෙනකම් මම ඇඳපු හැම චිත්‍රයකම වගේ තුවක්කුවක් ගත්තු හමුදා බටයෙක් හිටියා.  1971 ට පස්සේ  83 ඉඳන් 2009 වෙනකම් තුවක්කු  දැක්කා වුනාට අපේ පරම්පරාව හරියාකාරව පරිණත වුනේ නැති බවයි මටනම් තේරෙන්නේ.

පළමු වරට කේක් කෑම

ළදරු වයසේදී කේක් කෑවද කියල මට මතක නෑ. මට මතක පළමු කේක් රස වින්දේ  ආච්චිලා ගෙදරදී. "කොළඹ මාමා  ඇවිත්"
අපේ ගෙදර  ඇවිස්සෙන සිද්දියක් තමයි මාමා ගමේ ඒම. ඒ ඔහු ගෙනෙන වයිවාරන රසකැවිලි නිසා .  මේ කියන දවසේ අයියාත් අක්කලාත් කලින්ම ආච්චිලා ගෙදර  ගිහින් .
 "අන්න චුටික්කුන්ට  මාමා කේක් ගෙනල්ලා  බලා ඉන්නවා "
 කවුදෝ මාව වඩාගෙන ආච්චිලා ගෙදර ගියා . මාමා පෙන්න හිටයද මතක නෑ. ආච්චී කුස්සියේ දුම්මැස්ස යට හාල් සෝදමින්  සිටියා. කොරහයි නෑඹීලියයි ඇගේ දෑතේ නැළවෙනවා . අපි දුටු ගමන් ඈ "පොඩි එකාගේ කේක් කෑල්ල" කියමින් නැගී හිටියා . ආච්චී  ලිපට උඩින් තිබු දුම්මැස්සේ උණ්ඩි කොට තිබුණු සව් කරදාසියක් දිග ඇරියා . එසේ දිග අරිද්දී ...
අහෝ ඛේදයකි .!  අර කේක් කෑල්ල සව් කරදසියෙන් හා ආච්චිගේ දෝතින් ලිස්සා විත් ජබෝග් ගාලා කොරහට වැටුණා.

ඒත් මම එතරම් අවාසනාවන්ත වුනේ නෑ . ආච්චී හාල් හේදු වතුරෙන් මෙලෙක් වූ කේක් කෑල්ල දෙපැත්තට ගසා දමා ආපහු මගේ  සිඟිති මුවට රින්ගේව්වා .
ඒ තමයි මා රසවිඳි මුල්ම කේක් කැබැල්ල . හාල් සේදු වතුරෙන් පොඟවා ගත් බටර් කේක් තමයි මේ ලෝකේ රසම කෑම. අත්දුටුවයි සත්තයි.

ඉස්සෙල්ලාම කුකුල් මස් ගැන කතා වුනු දවස 

ඉස්සර කඩවල බ්‍රොයිලර් චිකන් තිබ්බේ නෑ. සීතකරන තිබ්බ කඩ ගැන අහලා තිබ්බේ නෑ. කරවල, සැමන් ඇරුනහම ඉඳහිට හරක් මස් ගෙදරට ගෙනාවා.  ඒත් කුකුල් මස් කාලා තිබ්බද කියල මතකයක් නෑ මේ සිද්දිය වෙනකම්. දවසක් අර කියන කොළඹ  මාමා සිය පවුලත් සමග දියතලාවේ එද්දී කෝච්චියේදී ඉරාක ජාතික පවුලක් හමු වෙලා. ලංකාවේ සංචාරයකට ආපු මේ පවුල අපේ ගමේ ගෙදර ඇඩ්රස් එක හොයාගෙන ආවේ ඊට පස්සේ. අබ්බාස් කියල හුරු බුහුටි දඟකාර ළමයෙක් හිටියා මේ පවුලේ. මට ඔහුගේ හැම හැසිරීමක්ම මතකයි. මේ පවුලට ආගන්තුක සත්කාර කරන්න ඕනි වුනා. ඔවුන්ට  කුකුල් මස් හා කහ  බතකින් සංග්‍රහ කරන්න ඕනි කියලා මාමා කී නිසා කවුරුන් හෝ එහා ගමට ගිහින් කුකුල් මස් ගෙනාවා මතකයි. මේ තමයි කුකුල් මස් සම්බන්ධ මතකයක් තියෙන පළමුවෙනි දවස .

කුකුල් මස් නැති , කේක් නැති ලෝකෙක ජීවත් වූ අපි පරිගණක හෝ අන්තර්ජාලය නැති යුගයකත් ජීවත් වුනා .

ඉස්සෙල්ලාම අතුරු ජාලය ගැන ලියු ලිපිය 


මේ  තියෙන්නේ 1994 ලංකාවේ ජනප්‍රිය විද්‍යා පත්තරේක කවරය. එදා සතියේ විශේෂාංගය නම් කරලා තිබුනේ ' සන්නිවේදන කරලිය එක දෙක කරන අතුරු ජාලය " කියලයි .


කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
ඒ ගැන පස්සේ ලියන්නම්


26 comments:

  1. මට AOL සහ කොම්පුසර්ව් ඊමේල් දෙකක් තිබ්බ වගේ මතකයි 1995-1996 කාලේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඊමේල් එකක් තිබ්බ අය හිඟයි

      Delete
  2. 1997 හෝ 1998 කාලෙ තමා මම හිතන්නෙ මම අන්තර්ජාලය මුලින්ම අත පත ගෑවෙ. ඒ ofc එකෙන්ම තමා.. මාර මැජික් තමා ඒ කාලෙ..netscape browser එක තමා තිබුනෙ..

    කුකුල් මස් කියන්නෙත් රාජකීය කෑමක් තමා අපි පොඩි කාලෙ.. අපේ ගෙදර හදපු කුකුලෙක්ව මරලා තමා ඉස්සෙල්ලම කෑ⁣වා මතක.. ඒ කාලෙ මේවගේ කුකුල් මස් කඩෙන් ගන්න තිබුනෙ නෑ...

    කේක් ගැනනම් මතකයක් ඇත්තෙම නෑ...මම හිතන්නෙ අම්මා පරණ බිස්කට් ටින් එකේ වඩලා වැලි මුට්ටියෙ දාලා බේක් කරපු කේක් එක තමා මුල්ම කේක් අත්දැකීම...

    ReplyDelete
    Replies
    1. ඉන්ටනෙට් එකට සම්බන්ධ වෙන්න ඉස්ස්සර ඩයල් අප්‍ හරහා කොච්චර වෙහෙසක් ගන්නවද. 'ඩෙන්ග ඩෙන්ග පරි රඹුට කැකිරි ' සද්දෙන් කොනෙක්ට් වෙන්න ගත වෙච්ච කාලේ ගැන මතක් වෙනවා

      Delete
  3. 56K ඩයල් අප් මොඩම් එකකින් ටෙලිකොම් ලයින් එක දිගේ ඉන්ටනෙට් යනව කියන්නෙ ඉතිං මැජික් තමයි.

    මුලින්ම කුකුල් මස් කාපු දවසකුත් මතක නෑ. ඒ කාලෙ ඉතිං බෙල්ල දොරට තියලනෙ කුකුළට ගේම දෙන්නෙ. දැන්නං ෆාම් එකේ ඉන්නවට වඩා කාලයත් ප්‍රිජ් එකේ ඉන්න කුකුළො තමයි කන්න වෙන්නෙ. මුලින්ම හරක් මස් කෑවෙනං ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ රත්නපුරේ කඩේකිං.

    මුලින්ම කේක් කාපු දවසත් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්‍රසන්නටත් ඩයල් අප් අතීතයක් තිබිලා

      Delete
  4. //මේ කතා බහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට වැදී පරණ පත්තර ගොන්නක් ඇවිස්සුවා . එහි තිබු එක්තරා පත්තර පිටුවක් දුටු මගේ ඇඟ හීතල වෙලා ගියා .//

    යාලුවව පතුරු ඇරලා ලියල තිබ්බේ ඔහේ නේද

    ReplyDelete
  5. කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
    ඒ ගැන පස්සේ ලියන්නම්

    චානුකද
    නාලකද
    තිලකසිතද

    ReplyDelete
    Replies
    1. මගෙත් ඔලුවට ආවා ඔය නම් ටික... ෂුවර් එකටම තිලක තමයි

      Delete
  6. ඉස්සර රුපවාහිනියේ අන්තර්ජාලය ඔබේ නිවසට කියල වැඩ සටහනක් ගියා. ඕක මම නොවරදාම බලපු එකක්. දවසක් ඕකේ ඊමේල් ගැන කියද්දී මට ආපු ප්‍රශ්නේ තමා මගේ නමින් වෙන කවුරු හරි මට කලින් ඊමේල් එකක් හදයි ද කියන එක... හෙහ් හෙහ්... Gmail මුලින්ම රිලීස් කරපු වෙලාවේ මට ඕනේ වුනා pathum@gmail.com ගන්න. හැබැයි මට කලින් කවුරු හරි ඒක අරගෙන... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් කරලා ගන්න තිබ්බ . මට .com මිල් තියනවා හොට්මේල් එකයි ගුගල් එකෙයි . දැන් දෙන්නේ නැහැ

      Delete
    2. මතකද ඒ දවස්වල gmail beta වර්ෂන් එක තිබුනේ.. කව්රු හරි ඉන්වයිට් කරන්න ඕනා අලුත් එකක් හදාගන්න..

      Delete
    3. අජිත් ඒ දවස් වල වැඩි දෙයක් දන්නේ නෑනේ...

      සෙන්නා, ඔය ඉන්විටේෂන් එන්ඩ පරක්කු වෙලා තමා නම ගන්න බැරි වුනේ. ඒ දවස් වල ඔය ඉන්විටේෂන් ආපු උන් හෙන ලොක්කෝ වගේ නේ හිටියේ.. හෙහ් හෙහ්..

      Delete
    4. මමත් මුලින්ම gmail එකවුන්ට් එකක් හද ගත්තේ යාලුවෙක් ඉන්වයිට් කරලා .

      Delete
  7. මුලින්ම ඊමේල් ගණුදෙණු කිරීම ඇරඹුවේ 1992 සැප්තැම්බරයේ දී. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ දී. අපට මුලින් තිබුණේ එක එකවුන්ට් එකයි [postmaster@kln.ac.lk]. ඩයල් කළේ මොරටුවට. එතැනින් ස්ටෑන්ෆර්ඩ් හරහා ලෝකයට.

    මගේ ඊ-මේල් ලිපිනය: rasika@kln.ac.lk

    ReplyDelete
    Replies
    1. ඒ මුල්ම කාලේ තිබ්බ සරසවි අතර සම්බන්ධය ඉන්ටනෙට් පැතිරීමත් එක්ක අඩු වුනාද කියලත් හිතෙනවා

      Delete
  8. මුල්ම ජංගම දුරකථනත් ගඩෝල බාග වගේනේ . ඒත් ඒකලේ ඒවා හරිම වටිනවා කොයි දේත් මුලින්ම එනකොට ටිකක් අමුතුයි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මටත් තිබ්බා ගඩොල් බාගේ මොටොරෝලා ෆෝන් එකක්.

      Delete
  9. මම මුලින්ම පරිගණකයක් ඇල්ලුවේ 99 අවුරුද්දේ.එක තවමත් පුදුමයක් වගේ.මේ කියලා තියෙන අනිත් එව්වා ගැන නම් එච්චර විශේෂිත මතකයක් නැහැ.ඒ ඒ වෙනකොට ඒ දේවල් සාමාන්‍යකරණය වෙලා තිබ්බ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. 1999 වෙනකොටත් ඉන්ටනෙට් භාවිතය අවමයි ලංකාවෙනම්

      Delete
  10. ඉන්ටර්නෙට් නම් වැල.. වැල නම් ඉන්ටර්නෙට්.. ඔන්නොහොමයි මං මුලින් ඉන්ටර්නෙට් ගැන දැනගෙන හිටියේ.. :)))

    ReplyDelete
    Replies
    1. ඉන්ටනෙට් නිසා වල නම් වැටෙනවා

      Delete