ශ්‍රී ලංකාවේ ලස්සනම පාලම කුමක්දැයි කවුරුන් හෝ ඇසුව හොත් මම දෙවරක් නොසිතා කියන්නේ එය පේරාදෙණියේ සරසවි බිමේ එගොඩ මෙගොඩ යා කරමින් ඉදි කර ඇති ‘අක්බාර් පාලම’ බවයි. පාලම මතට ගොඩ වූ පසු හාත්පස පෙනෙන නාඹර මහවැලිය, සරුසාර ගංදෑල හා තුරු වදුලේ සැඟවුණු ‘ලවර්ස් ලේන්’ එක පමණක් නොව; ඈතින් ඉස්මතුව පෙනෙන හන්තාන කඳුවැටියද පින්තූරයකින් දැක්කා වුවද ප්‍රේමණීය නොස්ටැල්ජික් මතකයන් පුපුරුවා හරිනසුලුය.
පේරාදෙණිය අක්බාර් පාලම යටින් ගලන මහවැලි ගඟ ගැනද, අක්බාර් පාලමේ නිර්මාණකරුවා ගැනද එපමණක් නොව, අක්බාර් පාලමෙන් මෙගොඩ පිහිටි ඉංජිනේරු පීඨයට ගොඩවෙද්දීම දකින්න ලැබෙන කොටස් කරන ලද ජෙට් එංජිම ගැනද ඇති අර්ධ ප්‍රබන්ධමය ප්‍රවාදයන් තුනක් ගැන මා අද කතා කරන්නට බලාපොරොත්තු වෙමි. මේ මාතෘකාවට මගේ සිත අවදි කළේ පසුගියදා පැවති පේරාදෙණි සරසවියේ උපාධි ප්‍රදර්ශනයට අදාළ චිත්තාකර්ෂණීය සේයාරූ පෙළක් විසිනි.
දියතලාවේ අපේ ගම පහළින් ගලන කුඩා ඔය, මා කලක් සිතා සිටියේ මහවැලියේ උපත කියාය. ඉදල්ගස්හින්න ස්ටේෂම වහලෙන් අපේ ගෙවල් පැත්තට වැටෙන වතුර එන්නෙත් මේ ඔයට බව මම දැන සිටියෙමි. මඟ දිගට උල්පත් දිය උරා බොමින්, හමු වන දියකඳුරු ළෙහි හොවාගෙන, එය උස්මහත් වූ තරුණියක සේ පේරාදෙණියේදී මට මහවැලිය යළි හමු වූ බව මම කලකට පෙර ‘තිලක සිත’ බ්ලොග් අඩවියේ කවියකින් ලියා තැබුවෙමි. මේ එහි කොටසකි.
‘වයස විස්සක් වෙද්දී
මට ආයෙ හම්බුණා
මගෙ ඔයම ගඟක් වී…
දැන් ලොකුයි හරි හැඩයි
දෑල උණ පඳුරු ටික
නැමී නැමී හාදු දෙයි!’
එහෙත්, තවදුරටත් සොයා බැලීමේදී මට පසක් වූයේ අපේ ගමේ ඔය මහවැලියට එකතු වන මුත්, එය කිසිදාක පේරාදෙණියට නොඑන බවයි. එය මාතැටිල්ල ඔයෙන් උමා ඔයට එක් වී, රන්ටැඹේදී පේරාදෙණිය පසු කර දුම්බරින් පහළට ආ මහවැලියට එකතු වෙයි. අනෙක් අතට මා මෙන්ම බොහෝ දෙනකු මුළා කළ කරුණ නම්, මහවැලි ගඟේ උපත සම්බන්ධයෙන් පී.බී. අල්විස් පෙරේරා ලියූ මේ කවි පද පේළි දෙකයි:
‘මහවැලි කැලණි කළු වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැනනැංගා…’
මහවැලිය කවදාවත් සමනොළ කන්දෙන් පටන් නොගත් බවත්, එහි ප්‍රධාන ධාරාව උපත ලබන්නේ හෝර්ටන් තැන්නෙන් බවත් අදටත් බොහෝ දෙනා නොදනිති.
මේ ආකාරයෙන්ම, පේරාදෙණිය සරසවි බිමට අලුත් හැඩයක් දෙමින් මහවැලිය හරහා අක්බාර් පාලම ඉදි වීම ගැන විකිපීඩියා, අන්තර්ජාලය හෝ AI ඔස්සේ කළ විමසුමකදී අපට වැඩිපුරම තොරතුරු සපයන්නේ, එය නිර්මාණය කළේ මෙරට සිටි කීර්තිමත් සිවිල් ඉංජිනේරු ආචාර්යවරයකු වූ, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා හා කලක් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ මහාචාර්ය අලගයියා තුරෙයිරාජා බවටයි. ඒ තොරතුරු වැඩිදුරටත් පවසන්නේ 1964 දී පේරාදෙණියේ ඉංජිනේරු පීඨය පටන් ගනිද්දී, එහි පළමු වසර සිසුන් මේ පාලම ඉදි කරන්නට හවුල් වූ බවය. මෙය හරිම චමත්කාරජනක විස්තරයකි. ඒ නිසා අන්තර්ජාලය, ඉංජිනේරු සංගම් සඟරා හා තවත් තැන්වල විමසා බැලුවද තිබුණේ ඔය තොරතුරමය. හරි නම් අක්බාර් පාලම ගැන ලියද්දී මා යෙදිය යුතුව තිබූ මාතෘකාව ‘තිස් හැවිරිදි තරුණ ඉංජිනේරුවරයා හා පළමු වසර ඉංජිනේරු සිසුන් තැනූ ලංකාවේ ලස්සනම පාලම’ යන්නයි.
එහෙත් මට සැකයක් පැවතිණි. මහාචාර්ය තුරෙයිරාජාගේ උපන් වර්ෂය ලෙස සඳහන් වන්නේ 1934ය. එවිට 1964දී ඔහුට වසර 30ක් වන අතර, ඔහු ඒ වන විට ආචාර්ය උපාධිය සම්පූර්ණ කර මෙවැනි බරසාර නිර්මාණයක් කිරීමට අවශ්‍ය පළපුරුද්ද ලබා සිටිය යුතුය.
මේ ගැන හිත හිතා එකෙළ මෙකෙළ වෙමින් සිටි මගේ මතකයට ආවේ පේරාදෙණිය ඉංජිනේරු සිසුවකුව සිටියදී අපට ද්‍රව යන්ත්‍රණය ඉගැන්වූ ආචාර්ය ජීවානන්ද කීර්තිසේනයන්ය. රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදි වූ ඉංජිනේරු පීඨයේ පළමු පීඨාධිපතිවරයාද වූ ආචාර්ය කීර්තිසේන 1964දී පේරාදෙණියේදී ඉගෙනුම ඇරඹූ පළමු ඉංජිනේරු සිසුන් කණ්ඩායමේ සාමාජිකයකු බව මම කියවා තිබිණි.
මම ඉරිදා උදේ ආචාර්ය කීර්තිසේනගේ ජංගම දුරකතනය අමතා සුවදුක් විමසා මගේ කුතුහලය ඔහුට කිවුවෙමි. එවිට ඔහු සරදම් සිනාවක් පා මට කිවුවේ විකිපීඩියා හෝ අන්තර්ජාලයේ ඔය පාලම සම්බන්ධයෙන් තියෙන තොරතුරු නිවැරදි නොවන බවයි. අක්බාර් පාලම සැලසුම් කිරීම එංගලන්තයේ ‘හස්බන්ඩ් ඇන්ඩ් කම්පැනි’ සමාගමට පැවරී ඇත්තේ 1960දී විතරය. මෙහි ඉදිකිරීම් භාර දී ඇත්තේ ‘වෝකර්ස්’ සමාගමකටය. ඒ අනුව මේ පාලමට මහාචාර්ය තුරෙයිරාජාගේ හෝ පළමු වසර ඉංජිනේරු සිසුන්ගේ කිසිදු සම්බන්ධයක් නැත. සමහර විට මුලින්ම අඳින ලද පේරාදෙණියේ භුමි සැලැස්මේ අක්බර් පාලම තිබුණාද කියා හිතෙන තරමට එය සමස්තය සමග ගැළපෙන සේ නිර්මාණය වී තිබේ.
“අනෙක, ඉංජිනේරු පීඨය කොළඹ ඉඳන් පේරාදෙණියට සම්පූර්ණයෙන්ම ගෙනාවේ අක්බාර් පාලම හදලා ඉවර වුණාට පස්සේ. ගඟෙන් මෙගොඩ හදපු ඉංජිනේරු පීඨයයි, අක්බාර් ශාලාවයි, කැම්පස් එකේ අනෙක් කොටස එක්ක සම්බන්ධ කරන්න තිබ්බ එකම මාර්ගය ඔය පාලම. තුරෙයිරාජා කියන්නේ ඉතා දක්ෂ ඉංජිනේරුවෙක් හා ආචාර්යවරයෙක්. ඒත් ඔහු ඔය පාලම නිර්මාණය කරන්න සම්බන්ධ වුණේ නැහැ,” ආචාර්ය කීර්තිසේන යළි තහවුරු කළේය.
මම තවත් කරුණක් ඔහුගෙන් විමසුවෙමි:
“අර ඉංජිනේරු පීඨයට ඇතුළු වන තැනම තියෙන ‘ඇව්රෝ’ (Avro) ජෙට් එංජිම මහාචාර්ය මහලිංගම්ට තෑගි ලැබුණු හැටි ගැනත් නොයෙක් වැරදි කතන්දර තියෙනවා නේද?”
මහාචාර්ය එස්. මහලිංගම් යනු මගේත් ගුරුතුමකු වන අතර, අඩ සියවසකට ආසන්න කාලයක් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉගැන්වූ ආදරණීය සරසවි ආචාර්යවරයෙකි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ‘යාන්ත්‍රික කම්පනය’ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා ජගත් පිළිගැනීමකට ලක් වී ඇත. පේරාදෙණිය ඉංජිනේරු පීඨ ආලින්දයේ ප්‍රදර්ශනයට තබා ඇති, ඉවත් කරන ලද ජෙට් එන්ජින් හරස්කඩ හා මහාචාර්ය මහලිංගම් සම්බන්ධයෙන්ද තහවුරු නොකරන ලද කටකතා රාශියක් තිබුණේය.
මේ, ආචාර්ය කීර්තිසේන සිය සමකාලීනයා ගැන කළ සඳහනයි. ඔහු මහාචාර්ය මහලිංගම්ව හැඳින්වූයේ ‘මහා’ යන ළෙන්ගතු නමිනි.
“මහා කවදාවත් කියලා නැහැ ඔහුට ජෙට් එංජිමක් තෑගි ලැබුණා කියලවත්, රෝල්ස් රොයිස් සමාගමේ ගැටලුවක් විසඳුවා කියලවත්. ඔහුගේ විනෝදාංශය වුණේ පරණ එංජින් හා යන්ත්‍ර කොටස් එකතු කරන එක.”
ආචාර්ය කීර්තිසේන සමඟ කළ කතාබහේදී හා ඉංජිනේරු නිව්ටන් වික්‍රමසූරිය සිය හිතවත් මහාචාර්ය මහලිංගම් ගැන කලකට පෙර ලියා තැබූ සටහනකින්ද පැහැදිලි වන දෙයක් තිබේ. ඒ අනුව, මහාචාර්ය මහලිංගම් විසින් රෝල්ස් රොයිස් සමාගමෙන් ඉවත ලන එංජිමක් තිබේ නම් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඒ සමාගම ප්‍රදර්ශනයක් සඳහා කොටස් කරන ලද ඉවත් කළ ඇවුරෝ ජෙට් එංජිමක් දෙන්නට එකඟ වූ බවය. මේ එංජිම නැව් ගාස්තු ගෙවා ලංකාවට ගෙන්වා ගන්නා ලද්දේ පේරාදෙණි සරසවියේ මුදලිනි. මේ කතාව මහාචාර්ය මහලිංගම් හා ජෙට් එංජිම සම්බන්ධ සිය-දහස් වරක් ‘ෂෙයාර්’ වුණු ජනප්‍රිය කතාවට පටහැණිය.
මේ කතා දෙක-තුනෙන්ම කියන්නට තිබෙන්නේ, සමාජයේ පුරාවිද්‍යාත්මක, ආගමික හා සංස්කෘතික කරුණු ගැන තිබෙන නිවැරදි නොවන තොරතුරු මෙන්ම, ඉතා මෑත ඉතිහාසයට සම්බන්ධ තාක්ෂණික කරුණුවල පවා වැරදි තොරතුරු ඇතුළත් වී ඇති බවය. මේ සමාජයේ පවතින දුස්තොරතුරු අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල පමණක් නොව, පුහුණු වූ කෘත්‍රිම බුද්ධිය (AI) ලෙසද අප වෙත පෙරළා ලැබේ. අනෙක් අතට, අප වඩාත් කැමති කරුණු තහවුරු කරගන්නේ නැතිව වුවද, යම් සුවිශේෂ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇස් උඩ යන විස්මකුරු කතා කියන්නටය. තමන් විශ්වාස කරන එවැනි දෙයක ඇත්ත තත්ත්වය මූලාශ්‍රය සහිතව හෝ කිසිවකු පැහැදිලි කර දුන්නොත්, ඉන් හිත අමනාප කරගන්නද සමාජයේ එමටය. අපි වසර දහස් ගණනක් ඉතිහාසය හාර හාරා නිවැරදි තොරතුරු ලේඛනගත කරන්නට වෙහෙසෙන මුත් මෑතකාලීන වැදගත් තොරතුරු ‘ගොසිප්’ හා හැඟීම්බර විස්තරවලින් පුරවමින් සිටිමු; ඒවා කර ගසාගෙන අපි AI යුගයට යමින් සිටින්නෙමු.
( Silumina 12-07-2026 by Thilakasitha. Image Wikimedia)

No comments:
Post a Comment