අක්බාර් පාලමෙන් ඉංජිනේරු පීඨය දෙසට ඇවිද විත්, පේරාදෙණිය – ගම්පොළ අලුත් පාර පැන ඉදිරියට යන්නට ඇති කුඩා පටු මාවතේ වම්පසින් හමුවන්නේ අක්බාර්, ඇන්ඩ්රියාස් නෙල් සිසු නේවාසිකාගාර පෙළයි. දකුණු පස ඇති ගොඩනැඟිලි සමූහයේ ඉතා දිගු කොරිදෝරය කෙළවර, ආපණශාලා දොරටුව අසල විශාල පුවරුවක් තිබුණි. එය අපේ “කලා කවය” හෙවත් බිත්ති පුවත්පතයි. කලකට පෙර ඔය කලා පුවරුවේ අතින් කවි, කතන්දර ලියූ කිහිපදෙනෙක්ම පසුකාලීනව සයිබර් අවකාශයේ ජනප්රිය බ්ලොග්කරුවන් බවට පත් වූහ.
එම පටු මාවතේ හැරෙන්නේ නැතුව කෙළින්ම ගියහොත් කොච්චි පාරට පහළින් ඇති පැණිදෙණිය කඩමණ්ඩිය හමුවෙයි. හන්දියෙන් ගෙලිඔය පැත්තට මඳක් ඇවිද ගොස් අතුරු මාවතකට හැරුණු විට, මගේ හිතාදර මහාචාර්ය දෙපළක් වූ කීර්ති වල්ගම සහ ආර්. ශාන්තිනි යුවළ මිලට ගත් තුරු වදුලින් පිරි නිස්කලංක නිවහන හමුවේ. සොඳුරු බ්ලොග් රචකයකු වූ රවී වීරසිංහ ජීවත් වූයේ ද ඒ කිට්ටුවම බව මා දැනගත්තේ පසු කලෙක දෝහා නගරයේදී ඔහුව මුහුණට මුහුණ හමු වූ දිනකය.
“අර ශාන්තිනි නෝනලාගේ වත්තේ තිබුණු උණ පඳුරකින් අපි වෙසක් සැරසිලිවලට උණ ගස් වගයක් කපාගත්තා. හරිම හිත හොඳ මිනිස්සු…”
ඔහු එදා මන්දස්මිතයකින් යුතුව ඒ අතීතය ආවර්ජනය කළේය.
මෙම උණ පඳුරු කතාව කියද්දී මට මතක් වූයේ, රවී ඒ වන විටත් සිංහල බ්ලොග් අවකාශය තුළ අතිශය ජනප්රිය “පඳුරු තළන්නකු” වී සිටි වගයි!
අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරගන්නා ඉතිහාසය දෙස හැරී බැලීමේදී, බ්ලොග්කරණය යනු ලෝක සන්නිවේදන රටාව උඩුයටිකුරු කළ සුවිශේෂී සන්ධිස්ථානයකි. අද වන විට කෙටි සමාජ මාධ්ය සටහන් සහ ක්ෂණික වීඩියෝ දර්ශන ඉදිරියට පැමිණ තිබුණද, ගැඹුරු සංවාදයන් සහ නිර්මාණශීලී සාහිත්යයක් සයිබර් අවකාශය තුළ බිහිවීමට පදනම වැටුණේ බ්ලොග් අඩවි හරහාය.
වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සාමාන්ය පරිශීලකයකුට සංකීර්ණ තාක්ෂණික කාර්යයක්ව පැවති යුගයක, එම බාධකය බිඳ හෙළමින් 1997 දෙසැම්බර් මාසයේදී ජෝර්න් බාර්ගර් විසින් අන්තර්ජාලය තුළ තමන් කැමැති සබැඳි හා සටහන්, සටහන් කර තැබීමේ ක්රියාවලිය හැඳින්වීමට ‘Weblog’ යන වචනය භාවිතයට ගෙන ආවේය. පසුව 1999දී පීටර් මෙරහෝල්ස් එය ‘we blog’ ලෙස වෙන් කර දැක්වීමෙන් ‘Blog’ යන කෙටි නාමය ලොව පුරා ජනප්රිය විය.
බ්ලොග් කලාව තාක්ෂණික ප්රවීණයන්ගෙන් මිදී සාමාන්ය ජනතාව අතට පත් වීමට ප්රධානතම හේතුව වූයේ 1999 අගෝස්තු මාසයේදී ඉවන් විලියම්ස් සහ මෙග් හවුරිහන් විසින් Pyra Labs සමාගම හරහා Blogger.com වේදිකාව හඳුන්වා දීමයි. පරිශීලකයාට කිසිදු කේතකරණ දැනුමකින් තොරව, වෙබ් පෝරමයක් පිරවීමෙන් පමණක් සිය අදහස් ක්ෂණිකව අන්තර්ජාලයට මුදාහැරීමේ පහසුකම ලැබුණු අතර, 2003 වසරේදී Google සමාගම විසින් Blogger සේවාව මිලදී ගැනීමෙන් පසු එහි බොහෝ සේවාවන් නොමිලේ ලබාදෙමින් බ්ලොග්කරණය ලොව පුරා සාමාන්ය ජනතාව අතර තවත් ජනප්රිය කළේය.
මෙම තාක්ෂණික විප්ලවය ලංකාවට පැමිණ සිංහල යුනිකෝඩ් තාක්ෂණය සමඟ මුසු වීමත් සමඟ, මාගේ නිරීක්ෂණයට අනුව 2010 පමණ සිට 2018 දක්වා කාලය ලාංකේය බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකිය.
ඉන් වසර ගණනාවකටම පෙර සිට ශ්රී ලාංකික බ්ලොග්කරුවෝ විවිධ තාක්ෂණ ඔස්සේ ලියමින් එකමුතු වෙමින් සිටියහ. එදා රචකයන් බ්ලොග් දර්ශක හෙවත් සින්ඩිකේටර් හරහා එකිනෙකාගේ ලිපි කියවමින් ඉතාම සජීවී සහෝදරත්වයකින් යුත් ප්රජාවක් ගොඩනඟා ගත් අතර, සංස්කෘතික අමාත්යාංශය පවා දැනුවත් විය යුතු සුවිශේෂී සාහිත්ය හා ප්රකාශන මාධ්යයක් ලෙස සිංහල බ්ලොග්කරණය එළිදුටුවේය. සංස්කෘතික සීමා හා උස්මිටිකම් නොතැකූ බ්ලොග් ලේඛන අතරින් පෙරාගත හැකි මිණිකැට එමටය.
Blogger හා WordPress ඇතුළු බ්ලොග් වේදිකා ඔස්සේ ලියන ලක්ෂ සංඛ්යාත ජාත්යන්තර බ්ලොග් රචකයන් අතරට සිංහලෙන් ලියන බ්ලොග්කරුවෝ ද විශාල පිරිසක් එක්වූහ. ලෝකය තනි යායක් කළ, උස්පහත් භේද නැති මේ අවකාශයේ සරසවි ආචාර්යවරුන්, දේශපාලනඥයන්, විවිධ වෘත්තිකයන්, ව්යාපාරිකයන් මෙන්ම, කාර්මිකයන්, ගොවියන්, සිල්ලර වෙළෙන්දන් සහ සරසවි සිසුන් ආදි සියලු තරාතිරම්වල ලිවීමට හා කියවීමට ලැදි එකමුතු ජන සමාජයක් බිහි විය. ඉන් සමහර දෙනෙක් පසුකාලීනව දිගටම ලේඛන කලාවේ රැඳෙමින් ප්රසිද්ධ කතුවරුන් බවට පත් වූහ. අනෙක් අය නොයෙක් විෂය ක්ෂේත්රවල ඉදිරියට යමින් තම තමන්ගේ දැනුම සහ අත්දැකීම් තවදුරටත් බෙදා හදා ගනිමින් සිටිති.
සිය නිර්මාණවලින් දැනුම, සාහිත්යය, ප්රහසනය, දේශපාලනය සහ අතීත සිදුවීම් ආදී මේ සියල්ල රසවත්ව පාඨකයා හමුවේ තැබිය හැකි සිංහල බ්ලොග් රචකයන් අතරින් ප්රමුඛයකු වූයේ, පසුගියදා හදිසියේම අපෙන් සමුගත් ප්රවීණ බ්ලොග් ලේඛක රවී වීරසිංහයන්ය. ඔහු සම-කර්තෘත්වය දැරූ ‘නිදහස් සිතුවිලි’ අඩවිය ද ලාංකේය පාඨක හදවත් පිනවූ තෝතැන්නක් වූ අතර, ඔහුගේ ලේඛන ශෛලියෙහි වූ සුවිශේෂීම ලක්ෂණය වූයේ “Beat around the bush” යන ඉංග්රීසි ව්යවහාරයට සමීප වූ, පඳුරට තළමින් වටවංගු ගසමින් කතාව ඉදිරිපත් කිරීමේ අපූර්ව කලාවයි.
එකම ලිපියක් තුළින් විවිධ මාතෘකා එකට මුසු කිරීමට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවකි. ඔහු කතාව කෙළින්ම නොකියා වටවංගු ගසමින් ඇදගෙන යන විට පාඨකයාට කිසිදු කම්මැළිකමක් දැනුණේ නැත. ඒ වෙනුවට දැනුණේ තව තවත් කියවීමේ කුතුහලයකි. වසරක් තුළ මේ සියලු අංගවලින් පොහොසත් අපූර්ව නිර්මාණ 90ක් බ්ලොග් අවකාශයට දායාද කරමින් කළ අනුපමේය මෙහෙවර උදෙසා, 2016 නෙළුම්යාය බ්ලොග් සම්මාන උලෙළේදී “වසරේ බ්ලොග්කරු” ලෙස සම්මානයට පාත්ර වූයේ ද ඔහුගේ මෙම සුවිශේෂී කුසලතාව නිසාමය.
වැලිකන්ද මහවැලි ව්යාපාරයේ තාක්ෂණ නිලධාරියකු ලෙස ලැබූ අත්දැකීම් ද, අනුරාධපුරයේ පුරාවිද්යා වැඩබිම්වල මතකයන් ද, මළගෙදරකදී හමු වූ සිත්ගත් තරුණියකගේ රූපය ද, කටාර් රාජ්යයේ ප්රමාණ සමීක්ෂකයකු ලෙස දුටු සමහර දේවල් මෙන්ම චේතන් භගත්ගේ නවකතාවක කොටසක් ද එකට අල්ලාගෙන ඔහු ලියූ ලිපි මාලාවන් හා අදහස් දැක්වීම් රසයෙන් අනූන විය.
ඔහුගේ ලිපිවලින් පෙනුණු ඒ මෘදු මොළොක් බව, සුහදශීලී හාස්යය සහ උගත්කම ඔහුගේ සැබෑ ජීවිතයේ ද එලෙසින්ම ගැබ්ව තිබුණි. බ්ලොග් ලෝකයේ නොයෙකුත් මතභේද සහ “බ්ලොග් වලි” ඉඳහිට තිබුණද, රවී පිළිබඳව කිසිවෙකුගේ හෝ සිතක අමනාපයක් තිබුණු බවක් මා කිසිදා අසා නැත. ඔහු සැමවිටම සිය සහෝදර බ්ලොග් රචකයන්ගේ නිර්මාණ අගය කරමින්, උපදෙස් දෙමින් පෙරගමනේ යෙදුණු නිහතමානී මිනිසෙකි.
2014 වසරේදී මා කටාර් රාජ්යයේ සේවය කරන බව අසා, මා හමුවීමට පොත් කිහිපයක් ද රැගෙන ඔහු පැමිණියේය. ඉන්පෙර අප හමුවී තිබුණේ බ්ලොග් අවකාශයේ කෙරෙන සංවාදවලදී පමණකි. එදා ඔහු මා වෙත තිළිණ කළේ නීල් විජේරත්නයන් ලියූ තීරු ලිපි එකතුවක් වූ ‘බෙංගාලි යෙහෙළිය’ පොතයි. මගේ ප්රථම පොත වූ ‘තිලක සිත 1’ බ්ලොග් තීරු ලිපි එකතුව ඔහු ඒ වන විටත් කියවා තිබුණි. ඔහු එදා පැවසුවේ ඒ පොත් දෙකෙන්ම ඔහුට දැනුණේ එකම රසවත් බවක් බවය. ඒ රවී මා දිරිමත් කළ සුන්දර උපක්රමයයි.
අද වන විට තාක්ෂණය තවදුරටත් ඉදිරියට ගොස් ඇත. Blogger.com වැනි වේදිකා පසුකර මිනිසුන් ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් වැනි සමාජ මාධ්ය වෙත යොමුවීමත් සමඟ, එදා තිබූ ඒ සුන්දර සහෝදරත්වයෙන් පිරි බ්ලොග් ප්රජාව අද වන විට විසිරී හුදෙකලා වී ඇත. එහෙත් තවත් සිය ගණනක් නවක ලේඛක ලේඛිකාවෝ බ්ලොග් රචනයට නිතිපතා පිවිසෙති. ඔවුන් අතරින් අනාගත සාහිත්යයේ සහ ලේඛන කලාවේ දැවැන්තයන් බිහිවිය හැකිය. සමහර ප්රවීණ රචකයෝ ද අදටත් නොනැවතී නිර්මාණකරණයේ යෙදෙති.
එනිසා බ්ලොග් රචනය යනු යළි බැබළවිය යුතු, වැඩි අවධානයක් යොමු විය යුතු ලේඛන මාධ්යයකි. සැබැවින්ම රවී වීරසිංහ පඳුරු තළමින් නොකියා කියා ගියේද එයමය.
(Silumina 19 July 2026 Thilakasitha Column)

රවී මුලින් නං බ්ලොග් එකේ ලස්සනට ලිපි ලිව්වා. පහුකාලේ මිනිහා ජේවීපී එකට කඩේ ගිහිං කුඩුකේඩු කුහක කෙනෙක් උනා. මට මතකයි මිනිහගේ ෆේස්බුක් එකේ දාපු දේවල්. මහින්ද මහතාට නාකි මයිනා කියමින් ඔහුගේ මරණය පාර්ථනා කරා.
ReplyDeleteඑම නිසා මා ඔහුව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරා. මැරුණු මිනිසුන් ගැන ගුණ කතනම කලයුතු නැහැ කියලා අජිත් පැරකුම් ලියලා තිබ්බා.
Great Tribute to Ravi.
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete