Sunday, November 1, 2026

චිත්‍ර­ප­ටි­යක් වන් වෙරිබී මන්දි­රයේ ආදර කතාව

 

2023 වසරේ මුල් භාගයේ ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් නුවර ගත කළ සති කිහි­ප­ය­කදී වෙරිබී දුම්රිය මාර්ගය ඔස්සේ නගර මධ්‍යයේ සිට තර­මක් එපි­ටට ගමන් කර­න්නට මට අව­ස්ථාව ලැබිණි. අප ගියේ නග­ර­යම ව්‍යාප්ත වූ ආසන්න පෙදෙ­ස­කට වුවත් මෙල්බර්න් නග­රයේ කල­බ­ල­කාරී පරි­ස­ර­යෙන් ටිකෙන් ටික ඈත්වන විට දුම්රිය කවු­ළු­වෙන් දිස්වන්නේ තර­මක් වෙනස් ලෝක­යකි. නවීන නිවාස සංකීර්ණ අත­රින් තැනින් තැන මතු­වන තණ­බිම්, ඈතට විහි­දුණු තැනි­තලා සහ පැරණි ඔස්ට්‍රේ­ලි­යානු ගම්බද ජීවි­තයේ ඉති­රිව ඇති සල­කුණු සොය­න්නට මට වුව­මනා විය.

මා විසින් ඊට වසර කිහි­ප­ය­කට පෙර සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කරන ලද රොස්ලි හැම්ගේ The Dressmaker හෙවත් මැහු­ම්කාරී නව­ක­තා­වට පසු­බිම් වී තිබු­ණේද 1950 දශ­කයේ ඔස්ට්‍රේ­ලි­යාවේ කුඩා ගම්බද සමා­ජ­යකි. එහි මිනි­සුන්ගේ ජීවි­තය ගෙවෙන හැටි, ඔවුන්ගේ ආද­රය, ඊර්ෂ්‍යාව, සමාජ පන්ති භේද සහ එකි­නෙකා පිළි­බඳ ගොඩ­නඟා ගත් ආකල්ප කදි­මට ගෙත්තම් කර තිබිණි. එබැ­වින් ඔස්ට්‍රේ­ලි­යාවේ ගම්බද පරි­ස­රය දකින සෑම විට­කම ඒ නව­ක­තාවේ චරිත මට සිහි­පත් වෙයි.
එදා අපේ ගමනේ එක් අර­මු­ණක් වූයේ වෙරිබී උද්‍යා­නය සහ එහි පිහිටි සුප්‍ර­සිද්ධ වෙරිබී මන්දි­රය දැක­බලා ගැනී­මය.
උද්‍යා­න­යට ඇතුළු වූ විට මුලින්ම මගේ සිත ඇදී ගියේ එහි මන­රම් පරි­ස­ර­ය­ටය. පිළි­වෙ­ළට සැකසූ තණ­පිටි, විශාල ගස්වැල්, රෝස මල් පාත්ති සහ ඈතින් දිස්වන යුරෝ­පීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදි­කළ සුවි­සල් මන්දි­රය අපූරු දසු­නක් මැවීය.
එහි තවත් සිත්ගන්නා දසු­නක් තිබිණි. අලුත විවාහ වූ යුවළ කිහි­ප­යක් මංගල ඇඳු­මින් සැරසී ඡායා­රූප ගනි­මින් සිටි­යහ. සුදු පැහැති මංගල ගවුම්, මල් කලඹ සහ ප්‍රීති­මත් මුහුණු අත­රින් දිස්වූයේ අනා­ග­තය පිළි­බඳ සුන්දර බලා­පො­රො­ත්තුය.
එහෙත් මේ සුන්දර මන්දි­රය 19 වන සිය­වසේ දිරි­මත් සොයු­රන් දෙදෙ­නෙ­කුගේ දිරිය, ආලය හා වියෝව මිශ්‍ර වූ අපූරු කතා­වක් සඟ­වා­ගෙන සිටින බව මා දැන­ගත්තේ එදාය.
මේ කතාවේ ආදර අන්ද­රය ලේඛ­න­ගත ඉති­හා­ස­යට වඩා චර්න්ස­යිඩ් පවුලේ පර­ම්ප­රා­ගත කතා වටා ගොඩ­නැඟී ඇති බව පෙනේ. සම­හ­රුන් කියන්නේ කාල­යත් සමඟ ඊට ප්‍රබන්ධ කොටස්ද එකතු වී ඇති බවය. එහෙත් වෙරිබී මන්දි­රයේ ඉති­හා­සය හා බැඳුණු තොර­තුරු ඔස්සේ තෝමස් චර්න්ස­යිඩ්, ඔහුගේ බාල සොහො­යුරු ඇන්ඩෘ සහ මේරි බෙග්බී නම් තරු­ණිය පිළි­බඳ කතාව ගළ­පා­ග­න්නට මම උත්සාහ කළෙමි.
තෝමස් චර්න්ස­යිඩ් 1838 පමණ වස­රේදී ස්කොට්ල­න්තයේ සිට ඔස්ට්‍රේ­ලි­යා­වට පැමිණ එහි නව කෘෂි ව්‍යාපා­රික ජීවි­ත­යක් ආරම්භ කළේය. 1841 පමණ වන විට ඔහුගේ බාල සොහො­යුරු ඇන්ඩෘ ද ඔහු සමඟ එක්විය. ගව­යන් හා බැට­ළු­වන් ඇති කිරී­මෙන් සහ විශාල ඉඩම් හිමි­කර ගැනී­මෙන් මේ සහෝ­ද­රයෝ ක්‍රම­යෙන් ධන­වත් ව්‍යාපා­රි­කයෝ බවට පත්වූහ.
එකල ඔස්ට්‍රේ­ලි­යාවේ බ්‍රිතාන්‍ය යට­ත්වි­ජිත සමා­ජය තුළ විශාල ඉඩම් හිමි­යන්ට හිමි­වූයේ සුවි­ශේෂී බල­යකි. ඔවුන්ගේ තණ­බිම්, බැටළු රංචු සහ මන්දිර යුරෝ­ප­යෙන් පැමිණි සංක්‍ර­ම­ණි­ක­යන්ගේ ධන­වත් වීමේ සිහි­නයේ සංකේත බවට පත්විය. එහෙත් එම සමෘ­ද්ධිය පිටු­පස එරට ආදි­වාසී ජන­තා­වට තම පාර­ම්ප­රික භූමි අහිමි වූ තවත් ඉති­හා­ස­යක්ද තිබිණි.
මේ අතර තෝමස්ගේ ජීවි­තයේ එක් අඩු­වක් තිබිණි. ඒ තමන් ආද­රය කළ තරු­ණිය තමා ළඟට කැඳවා ගැනී­මට නොහැකි වීමය.
1840 දශ­කයේ මැද භාග­යේදී, එනම් 1845 පමණ වසරේ ස්කොට්ල­න්ත­යට ගිය ඔහු තම ඥාති සොහො­යු­රි­යක වූ මේරි බෙග්බී සමඟ ආද­ර­යෙන් බැඳුණු බව පැවසේ. ඔහු ඇය විවාහ කර­ගෙන ඔස්ට්‍රේ­ලි­යා­වට කැඳ­වා­ගෙන යාමට බලා­පො­රොත්තු වුවද මේරිගේ මවු­පි­යන්ගේ විරෝ­ධය හමුවේ ඒ සිහි­නය ඉටු නොවීය. තෝමස්ට ආපසු පැමි­ණෙ­න්නට සිදු­වූයේ තනි­ව­මය.
කල­කට පසු ඔහුගේ බාල සොහො­යුරු ඇන්ඩෘ ස්කොට්ල­න්ත­යට යාමට සූදා­නම් වූ විට තෝමස් ඔහු­ගෙන් එක් ඉල්ලී­මක් කළ බව කියැවේ. ඒ කෙසේ හෝ මේරි ඔස්ට්‍රේ­ලි­යා­වට කැඳ­වා­ගෙන එන ලෙසය.
ඇන්ඩෘ සිය සොහො­යු­රාගේ එම ඉල්ලීම ඉටු කළේය.
එහෙත් තෝමස් බලා­පො­රොත්තු වූ ආකා­ර­යට නොවේ. 1852 වසරේ ඇන්ඩෘ නැවත ඔස්ට්‍රේ­ලි­යා­වට පැමි­ණියේ මේරි සම­ඟය. ඒ වන විට ඇය ඔහුගේ බිරිඳ වී සිටි­යාය.
මේ සිදු­වීම දැන­ගත් තෝමස්ගේ සිතට කුමක් දැනෙ­න්නට ඇත්ද?
තමන් ආද­රය කළ තරු­ණිය තම­න්ගේම සොහො­යු­රාගේ බිරිඳ වී පැමි­ණීම මිනි­ස­කුට දරා­ගත හැකිද? එසේ වූ විට සහෝ­දර ප්‍රේම­යත් ආද­ර­යත් අත­රින් කුමක් තෝරා­ගත යුතුද?
අනෙක් අතට මේරිගේ සිතේ තිබුණේ කුමක්ද? ඇය සැබ­වින්ම ආද­රය කළේ ඇන්ඩෘ­ටද? නැත­හොත් තෝමස් සමඟ ගොඩ­නැ­ඟුණු සම්බ­න්ධය අතී­තයේ ඉතිරි කර පැමි­ණී­මට ඇයට සිදු­වූ­වාද?
ඉති­හා­සය මේ ප්‍රශ්න­ව­ලට පැහැ­දිලි පිළි­තුරු ලබා නොදෙයි.
පුදු­ම­යට කරුණ වන්නේ මේ සිදු­වී­මෙන් පසු­වත් සහෝ­ද­ර­යන් දෙදෙ­නාගේ ව්‍යාපා­රික සහ­යෝ­ගි­තාව නොබිඳී පැව­තී­මය.
1874 සිට 1877 දක්වා කාලයේ ඔවුහු වෙරි­බීහි කාමර හැට­කින් යුත් අති­වි­ශාල මන්දි­ර­යක් ඉදි­ක­ළහ. එය ඕස්ට්‍රේ­ලි­යාවේ යට­ත්වි­ජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිද­සු­නක් ලෙස අදත් සැලකේ.
එම මන්දි­රය ඇන්ඩෘ, මේරි සහ ඔවුන්ගේ දරු­වන්ගේ නිව­හන බවට පත්විය. තෝමස් බොහෝ කාල­යක් පදිං­චිව සිටියේ ඒ අසල පිහිටි පොයින්ට් කුක්හි තම නිවෙ­සේය.
මෙතැ­නදී මට තවත් ප්‍රශ්න­යක් මතු විය.
තෝමස් මේ සුවි­සල් මන්දි­රය ඉදි­කි­රී­මට සහය වූයේ තමන් ආද­රය කළ කාන්තා­වට සැප­වත් ජීවි­ත­යක් ලබා­දී­ම­ටද? නැත­හොත් එය සහෝ­ද­ර­යන් දෙදෙනා ගොඩ­නැඟූ ධන­වත් ව්‍යාපා­රික අධි­රා­ජ්‍යයේ ජය­ග්‍ර­හ­ණය ප්‍රද­ර්ශ­නය කිරී­ම­ටද?
එසේත් නැත­හොත් තෝමස්ගේ ආද­රය පිළි­බඳ අප අසා ඇති කතාව පසු­කා­ලී­නව මන්දි­රයේ ඉති­හා­සය වටා ගෙතුණු ප්‍රබ­න්ධ­යක්ද?
තෝමස් කිසිදා විවාහ නොවීය. ජීවි­තයේ අව­සාන කාලයේ රෝගා­තු­රව සිටි ඔහු වෙරිබී මන්දි­රයේ පදිං­චි­යට පැමි­ණි­යේය. 1887 ජුනි මාස­යේදී ඔහු සිය­දිවි නසා­ගෙන මිය ගිය බවත් ඔහුගේ මර­ණය අහිමි වූ ආද­රයේ ප්‍රති­ඵ­ල­යක් පම­ණක් බව පැව­සීම නිවැ­රදි නොවේ. දිගු­කා­ලීන රෝගා­බා­ධ­ය­කින් පීඩා විඳි ඔහු, තමා බංකො­ලොත් වී ඇතැයි වැරදි ලෙස විශ්වාස කළ බවද ඉති­හාස වාර්තා සඳ­හන් කරයි.
ඇන්ඩෘ 1890 වස­රේදී මියගිය බවත් මේරිගේ ජීවි­ත­යද අව­සන් වූයේ ඛේද­ජ­නක අන­තු­ර­කින් බවත් සඳ­හන් වේ . මිනි­සුන් තිදෙ­න­කුගේ ජීවි­ත­ව­ලට සම්බන්ධ වූ ඒ මන්දි­රය අදත් ඉති­හා­සයේ නිහඬ සාක්ෂි­ක­රු­වකු ලෙස නැඟී සිටියි.
එදා වෙරිබී උද්‍යා­නයේ මංගල ඡායා­රූප ගනි­මින් සිටි තරුණ යුවළ දෙස මම නැවත බැලු­වෙමි. ඔවුහු තම ජීවි­තයේ සුන්ද­රම දින­යක මතක සට­හන් එකතු කර­මින් සිටි­යහ. එහෙත් ඔවුන්ගේ ඡායා­රූ­ප­වල පසු­බිමේ තිබුණේ සතුට පම­ණක් නොව, අහි­මි­වීම, හුදෙ­ක­ලාව සහ මිනිස් ජීවි­තයේ අන­පේ­ක්ෂිත හැර­වුම් පිළි­බඳ නිහඬ සාක්ෂි­යකි.
ඉහත කී කතාව අර්ධ වශ­යෙන් සත්‍ය වුවද එය ජාත්‍ය­න්තර සම්මාන දිනිය හැකි චිත්‍ර­ප­ටි­යක හෝ නව­ක­තා­වක තේමාව නොවූයේ මන්දැයි මට විශාල කුතු­හ­ල­යක් ඇති වී තිබේ. මේ ගැන කතා කරද්දී එක් පැහැ­දිලි කිරී­මක් මට ලැබු­ණේය. එනම් තමන්ට හරි­යට ස්ථිර නැති පවු­ලක පෞද්ග­ලික තොර­තුරු සිය­ව­සක් තරම් පරණ වුවද වැඩි­පුර උලුප්පා දැක්වීම එත­රම් ශිෂ්ටසම්පන්න නැතැයි සම­හර කලා­ක­රු­වන් සිතන බවය.
අනෙක් අතට තෝමස් හා ඇන්ඩෘ සොහො­යුරු යුවළ තුළ තිබූ ව්‍යාපා­රික හා ව්‍යව­සා­යක අධි­ෂ්ඨා­න­යද මට නැවත හිතන්න දෙයක් ඉතිරි කර තිබේ. ඒ අධි­ෂ්ඨා­නය අති­ශය සංවේදී පවුල් ප්‍රශ්න­ය­කදී වුව නොබිඳී ඔවුන්ට මුල් අර­මුණු කරා ගෙන යන්නට තරම් ශක්ති­මත් එකක් වන්නට ඇත. එනි­සාය අරුම පුදුම වාස්තු විද්‍යා නිර්මා­ණ­යක් හා එහි ඇති මන­රම් උද්‍යා­න­යක් ඔවුන්ගේ කතාව මුමු­ණ­මින් සිය­ව­සක් එක­හ­මා­ර­කට පසුත් ජීව­මා­නව සිටි­නුයේ.
( Silumina Thilakasitha 01 Nov 26)

1 comment: