Thursday, April 9, 2020

අටවිසිමහල -5 ( බිම්මහල )


සතියට දෙවරක් සඳුදා හා බ්‍රහස්පතින්දා පළවන අටවිසි මහලේ පළමු පරිච්චේදය වන බිම් මහලේ - පස්වන කොටසයි .

පෙර කොටස් සඳහා සබැඳියන් : පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස, සිව්වන කොටස 

දා වෙරළ අද්දර පාරෙන් ඇදී ඉංජිනෙරු කන්තෝරුව වෙත යනු ඇතැයි සිතා සිටි උසැති  තළෙළු, නෙත්කළු යුවතිය කෙළින්ම ආවේ තමා සිටි කාමරයට  බව අසේල සිහහිපත්  කළේය. ඇගේ දිගු ගෙල   මනස්කාන්ත ලෙස ඇළ කර
"ගුඩ් මෝර්නින් . අද ඉඳන් ඔයා මෙහෙ වැඩ නේද? මට සිල්වා කිවා මගදී හම්බ වෙලා . මෙහෙ හොඳයි සතුටින් වැඩ කරතහැකි." යැයි ඉංග්‍රීසියෙන්  කීවාය .

ඒ මතකයත් සමග ඇගේ දිගු ගෙළ හා පියකරු සිනාව යළිත් දකිණු රිසියෙන් ඔහු රියේ පිටුපස අසුන වෙත හිස හැරෙව්වේය.

ඇය තමන්  දෙපස සිටි යව්වනියන් දෙදෙනා සමග තොරතෝංචියක් නැතිව කතා කරයි . රිය පදවන මනෝරන්ජන් ගැනවත් ඉදිරි වම්පස අසුනේ සිටින අසේල ගැනවත් ඒ තිදෙනාටම මෙලෝ තැකීමක් නොවීය .

මුලින්ම හමු වූ දවසේ අම්රිතා කතා කරද්දී  තමන්ගේ ඉංග්‍රීසි බස හැසිරවීමේ දුර්වල කම ගැන අසේලට සෑහෙන අආත්මානුකම්පාවක් දැනුනද ඒ වගක් නොඅඟවා ඔහු සිංහලෙන්ම කතා කළේය.

" ගුඩ් මොර්නින්ග් මිස් .  මම අසේල . අද තමයි ඉස්සෙල්ලාම    වැඩට ආවේ"

අම්රිතා ශ්‍රී ලාංකික යුවතියක් නොවන බවත් තමාට බැරි වුනාට සිල්වාට  හොඳට ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් බවත් අසේල දැන ගත්තේ එදාය. සිල්වා පැමිණ සියලු පරිවර්තන සහායයන් ලබා දුන් නිසා ඈ සමග සන්නිවේදනය ආරම්බ කර ගැනීමට අසේලට පුළුවන් වුනේය.

 ටික දවසක් යද්දී අම්රිතා යනු ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලු දෙනාගේ ජීවිත හැසිරවිය හැකි මිත්‍රශීලී එහෙත් බලගතු  හස්තයක් වුනේය . උදේම කන්තෝරුවට එන ඇය දවල් එක දෙක  වෙද්දී සියලු ලියකියවිලි වැඩ නිමා කර කයිවාරු ගැසීමට පටන් ගන්නීය .  මනෝරන්ජන් හා අසේල  පමණක් නොව ස්ටෝර් කීපර් මිස්කින් හා සිල්වා සමගද ඇය පිළිසඳරේ යදී සිටිනට කැමැත්තක් දක්වයි.  ඈ සමග කතා කරද්දී වෙන කිසිවෙකුට කතා කරන්නට ඉඩක්  ලැබෙන්නේ කලාතුරකිනි. ඒත් සියලු දෙනාගේ සියලු තොරතුරු ඈ ගබඩා කර තබා ගන්නීය . මනෝරන්ජන් නිරන්තරයෙන් විමසිලිමත් හා පරිස්සම් සහගත ලෙස ඇය ඇසුරු කළේය. ඔහු සිය පුද්ගලික විස්තර කතා කළේ නැති තරම්ය. එහෙත් සියලු දෙනා අසල තිබු පුද්ගලික ආරක්ෂක  කලාප ආක්‍රමණය කරමින් අම්රිතා නම් ප්‍රබෝධමත් සංවේදනාවක්  හැම තැනම පැතිරෙමින් තිබියදී මුඩු ගොරහැඩි ඉදිකිරීම් වැඩබිම ප්‍රියමනාප පරිසරයක් බවට පෙරලණි .  හෙඩ් ඔෆිස් එක සමග දබරයක් කරගෙන පොත් පොළවේ ගසමින්  ආවේගය පිට කරන මනොරන්ජන් පසුව පුරුදු වුනේ අම්රිතා සමග  සියලු වේදනාව පිටවනතුරු කතා කර කර සිටීමය. ඒත්  මේ කතාබහ වරින්වර අසා සිටියෙක් හැටියට අසේලටනම් අසුනේ  අම්රිතා කතා කරන හඬ පමණි .

කාගේ හෝ දුක් ගැනවිල්ලක් අසා සිටීමට එන ඇය ඒ දුක් ගැනවිල්ල නොගිනිය හැකි බවට පත් කළ හැකි වෙනත් කතාවක් කියවන්න්නීය. සමහරවිට ඊට කිසිම සම්බන්ධයක් නැති ආකාරයේ යමක් කියා කොක් හඬ ලා සිනා සෙන්නීය . කොහොම කොහොම හෝ අවසානයේ සිදුවන්නේ ආතතිය සමනය වීමය.
අගේ රාජකාරිය , ලිය කියවිලි පාලනයද  ,  ගිණුම් හා පෙටි කෑෂ් පාලනයද, පිරිස් කළමනාකරණයද නැතහොත් ආතති කලමනකරණයද කියා තෝරා බේරා ගන්නට අසේලට අපහසු විය.

අසේලගේ කල්පනා ලෝකය බිඳ වැටුනේ මනොරන්ගන්ගේ  ගඩොල් බාගේ මොබයිල් ෆෝනයට ලැබුණු විශේෂ දුරකතන  ඇමතුමත් සමගය .  ඔහු වාහනය  පාර අයිනේ  නවත්වා පිටුපස අසුනේ වූ තරුණියන් තිදෙනාට කිචි බිචිය නවත්වා ගන්නා ලෙස අතින් සන් කළේය .

දුරකථන සංවාදය අවසන ඔහු මෙසේ කීවේය. "චෙහ් මේ සිල්වයි මිස්කිනුයි දෙන්නම සයිට් එකේ නැතිලු. රිචර්ඩ් ඇවිල්ලා. අර ෆයිල් ටෙස්ටින් රිපෝර්ට් ටික ගෙනියන්න .  සිල්වා ෂුවර් එකටම බුකියට වෙලා කට අරගෙන අස්සයෝ දුවනවා බලාගෙන ඇතී. එතකොට මිස්කින් කොහේ ගියාද? . ඒ යකා සාමාන්‍යයෙන් සයිට් එකෙන් එලියට යන්නේ නෑනේ''

ඉනපසු මනෝරන්ජන් තවත් ටෙලිෆෝන් කෝල් එකක් ගත්තේය. ඒ ගන්නේ කොහාටදැයි අසේල දනී. මනොරන්ජන් හා අසේල රේස් බුකියේ වැඩ කරන තරුණියන් දෙදෙනා හඳුනති. ඒ කතාව වෙන වෙලාවක අම්රිතාට කියන්නට ඕනෑ යැයි අසේල සිතුවේය.

' යම්තම් සිල්වා හොයා ගත්තා" යැයි කී මනෝරන්ජන් රථය ප්‍රධාන වීදියට යොමු කර වේගය වැඩි කළේය .  ඉන්පසු පුරසාරම් දොඩන්නට වුයේ වැඩිපුරම නිවුන් සොයුරියන්  දෙදෙනාට ඇහෙන්නටය . අසේලට හා අම්රිතාට  ප්‍රසාදය  පල කිරීමක්ද ඒ අතරේ කතාවට ඇතුළත් විය.

" අපිට පහුගිය ටිකේ මොන තරම් දුක් කන්දරාවක් විඳින්න උනාද ? හැමදාම පීඩනේ. හෙඩ් ඔෆිස් එකේ එවුන් තේරුම් ගත්තේ නෑ මෙච්චර පොඩි පිරිසකගෙන් අච්චර ලොකු සයිට් එකක් කරන්නේ කියල. පයිලින් ගහන එව්වෝ දුන්නු වදයක්. ඒ අස්සේ වටේ පිටේ එව්වෝ බැලන්ස් කර ගන්ත හැටි . ඇත්තටම මටනම්  මාස තුනකින් විතර පස්සේ අද තමයි පොඩ්ඩක් සයිට් එකෙන් පිට ලෝකයක් ගැන කල්පනා කරන්න පුළුවන් වුනේ.  අසේල මේ ගමන යමු කියල ඉන්ටවිව් එක දවසේ කිව්වට මම හිතුවේ නෑ මේ අවුරුද්දෙම යන්න පුළුවන් වයි කියල. කොහොම උනත් අම්රිතත් එක පයින්ම යන්න කැමැති වුනානේ . ඒ මදිවට මේ කිරිල්ලියෝ  දෙන්න  හොයාගෙන ගිහිල්ලා ගමනටත් එකතු කර ගත්තානේ "

ඔහු තමා ඉදිරියේ වූ පසු පස පෙනෙන කන්නාඩියෙන් පෙනෙන තරුණියන් තිදෙනා දෙස සෙනෙහසින් බැලුවේය . එක පාට එක වගේ හැඩ ගවුම් දෙකක් ඇඳ සිටි යව්වනියන් දෙදෙනාගේ  මුහුණු  රෝස කානේෂන් මල් දෙකක් මෙන්  පිපී තිබිණි. ඒ මැදට වී තලෙළු පාටට අම්රිතා ආඩම්බරෙන් ඉදිරිය බලා ගෙන හුන්නාය . පිටුපස අසුනේ මල් තුනක පොකුරක් තිබෙන්නාක් මෙන් මනෝරන්ජන්ට සිතිනි. ඒ මල් පොකුරේ මැදින් තිබෙන මලට කියන්නට නමක් ඔහුට කල්පනා  වුනේම නැත.

මේ අතරේ හදිස්සියේ ඔහුට යමක් මතක් වී මෙසේ කෙවේය . " අපරාදේ කලින් කියල තිබ්බානම් රිචර්ඩුත් අපිත් එක්ක එනවා. මිනිහට මම පෙරේදා  කියනකොට තමයි දන්නේ. මිනිහා හරියටම අද රැස්වීමක් දාගෙන අනෙක් ප්‍රොජෙක්ට් එකේ.  මේ ගමන මාර ජොලි එකක්  වෙනවා මිනිහා ආවනම් "

මනෝරන්ජන් රිචර්ඩ් ගැන කියද්දී අසේල හොරෙන් වාගේ පසුපස අසුන වෙත දෑස් යවා අම්රිතාගේ මුව මඩල දෙස බැලුවේ කිසියම් හෝඩුවාවක් දැනගනු රිසියෙනි. ඒත් ඔහු බලාපොරොත්තු වූ පරිදි ඒ මුනේ කිසියම් ප්‍රභෝධයක් හෝ චලිතයක් නොවිණි.

ඒ වෙලාවේ අම්රිතා සිටියේ සැතපුම් දහස් ගණනාවක එපිට චීනය හා නේපාලය අතර ටිබෙටයේ දුෂ්කර මාර්ගයේ ඇදෙන විශාල මෝටර් බයිසිකලයක පිටුපස අසුනේය . කැබිතිගොල්ලාවේ සිට හඳගල පාරට රිය හැරෙව්වාට පසු ඇයට පෙනෙන්නට පටන් ගත් දුප්පත් ගැහැණු, පිරිමි හා ළමා ළපටින් පටවා ගත් අත් ට්‍රැක්ටර් හා දර කරත්තද, පාර අයිනේ පිදුරු හෙවිලි ලු මැටි ගෙවල්ද  ඈට ඒ ගමන සිහිපත් කළේය . සිත සන්තෝෂයකින් පිරෙනන්ට පටන්ගෙන සැනෙකින් එය ශෝකී මතකයක් පමණක්  බව ඇය තේරුම් ගත්තාය. මේ කතාව මෙතැන සිටින සගයන්ට කවදාවත් කියන්නට වුවමනා නැතැයි  ඇය සිතුවාය. ජීවිතය වසාගත් දුක්බර දේ කියන්නට කියන්නට කාටවත් සතුටක් නොලැබෙන බවත් අසා සිටින්නන් ඉදිරියේ තමාගේ වටිනාකම දිය වෙවී යන බවත් ඇය සිතා සිටියාය .  බොහෝ හිතවතුන් සිය දුක් ගැනවිලි ඈ සමග කියන්නට හදද්දී  කතාව වෙනතක හරවා වල්පල් කතා කරන්නට ඇය පුරදු වී සිටියේ එනිසාය . "එහෙම කරාම කාගේ කාගේත්  වටිනාකම ආරක්ෂා වෙනවා" . ඇය සිතුවාය.

දුෂ්කර මගේ ටික දුරක් ගිය විට වන වදුලෙන් වට  වූ දිය කඩිත්තක්  ළඟ රිය නතර විය. රථයෙන් එලියට බට මනෝරන්ජන් සිගරට්ටුවක් ද්ලවාගෙන දිය කඩිත්තේ කැළතෙන පෙණ පිඩු හා දියේ පීනන තිත්ත පැටවුන් දෙස බලා සිටියේය . අසේල  මදක් ඔබ්බෙන් තිබු පලු ගසක් යටට වී ඉදුණු පලු ගෙඩි ටිකක් කෙල්ලන්ට කඩා දෙන්නට ඇත්නම් කියා උඩ බිම බලමින් සිටියේය.

මෙවෙලේ රිය තුලින් එලියට බහින්නට තිබ්බානම් හොඳයි කියා  තරුණියන් දෙදෙනාට සිතුනත්, මැද අසුනේ තුෂ්නිම්බීත වී බලා සිටින වැඩිමහල් මිතුරියගේ  දැහැන බිඳින්නට බිය වුහ .

ටික වෙලාවකින් අම්රිතා කල්පනා දැහැනින් මිදුණාය. පිරිමින් දෙදෙනා අසලක නැතියෙන් මෙතෙක් වෙලා අසන්නට අමතකව සිටි ප්‍රශ්ණයක් ඇ නිවුන් සොයුරියන් වෙත යොමු කළාය.

' ඔයාල දෙන්නයි අම්මයි දාලා ඇයි තාත්තලා ආයේ නොඑන්නම ගමට ගියේ  ?


-මීළඟ කොටස මෙතනින් 

Photo Source : Easy Tour China







22 comments:

  1. මනෝ රංජන් දියතලාවේ උපන් එකෙක් කියගලා හිතෙනවා😂😂ස්ලැබ් එකක් දාපු දවසට සෙට් වීම ගැනනම් කියලා වැඩක් නෑ.වැඩේ ඉවර කරලා රෑ එකට මයියොක්කා මුට්ටියක් තම්බා ගෙන වැඩ පටන්ගත්තු මතකය.....ඒක හරිම සුන්දර අත්දැකීමක්.උඩවලවෙUTEසයිට් එකේහිටියෙ කව්ද කියලා දන්නවා නෙ😍😍😍😍😍

    ReplyDelete
    Replies
    1. උඩවලවේ සයිට් එකට මම ආපු කතාවකුත් ලිව්වා මීට කලින්. එහෙ ජීවිතේ ජොලි තමයි. අර මනෝරන්ජන් දියතලාවේ එකෙක් නෙවෙයි. දිගටම බලන්නකෝ එතකොට තේරෙයි.

      Delete
  2. පළමු කොටස් හතර නොකියවා පස්වන කොටස කියැවීමි....එතැනින්ම පටන් ගන්නවා

    ReplyDelete
    Replies
    1. පළමු කොටස් ටික කියවන්නම ඕනි නැත්නම් මේක පැටලිලා එපා වෙයි මලේ

      Delete
  3. kataragama site....same.....will come back

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . දිගටම එන්න

      Delete
  4. අපේ සයිට්වල පීඩනේ නං ලඟ හිටපු එකා පිටිං තමා ගියේ 😂

    ReplyDelete
    Replies
    1. ළඟ හිටි එකා පව් . ඒක නෙවෙයි ආපහු ඒ කතා ටික බ්ලොග් එකේ ලියමුකෝ

      Delete
  5. සඳුදා වෙනතුරු බලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ බලා සිටීම නිසා තමයි උනන්දුවෙන් ලියන්නේ . ස්තුතියි

      Delete
  6. අර හැලප කඩේ සහ නිදහස් සිතුවිලි ලියන මහත්තුරුන්ට කිව්වා මේ දවස්වල මොනව හරි කොටල දාන්න කියලා.හා කියලා කිව්වට තවමත් මොකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කාන්තාවන් වරිතමානයේද නැතිවා නොවේ.
      විචාරක දියණිය

      Delete
    2. ඔව් කුමාර රවීටයි හැලපෙටයි කියන්න ඕනි . බ්ලොග් ලියන්නෝ දැන් නැගිටින්න ඕනි

      Delete
    3. @විචාරක දියණිය - ඔව් අදටත් එහෙම අයඉන්නවා . මේකත් එච්චරම පරණ කතාවක් නෙවෙයි

      Delete
  7. අවුරුදු දෙකේ ප්‍රොජෙක්ට් එක පටංගත්ත ගමන් ට්‍රිප් එකක්.. ? එහෙම කොම්පැනි අපිට අහුවුනේ නෑනෙ.. ඒ නිසාම කතාව තවත් රසවත්...

    ReplyDelete
    Replies
    1. මේ ට්‍රිප් එක ඊයේ මාස තුනකින් . පයිලින්ග් වැඩ ඉවර වෙලා. කතාව ටිකක්ඉ ස්සරහට ගිහින් ආයෙත්ප ස්සට එනවා . ලබන සතියේ හමු වෙමු

      Delete
  8. ආතති කලමනාකරු. ගොඩක් ඔෆ්ෆිස් වල මෙහෙම එකෙක් ඉන්නවානේ නොකිව්වට.
    සදුදා වෙන්කම් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපිටත් හිටියා දුක්ගන්නාරාලලා . ඒ ගොල්ලෝ නොහිටින්න කතා මීට වඩා වෙනස් වෙනවා . සඳුදා හමුවෙමු

      Delete
  9. ආතති කළමනාකරුවෙක් ඉතිං ඔපිස් එකක ඉන්නම ඕනෙ කෙනෙක් :D

    ReplyDelete
    Replies
    1. ගෙදරටත් එහෙම කෙනෙක් ඕනි සමහර දවස්වල නේද ?

      Delete
  10. කතාව ලස්සනට ඇදීල යනවා......

    ReplyDelete
  11. අම්රිතා අපේ බොස් වගේ , එයාගේ ඔෆිස් එක ඇතුලට අනවශ්ය ඔක්කොං දේ කතා කරලා කියන්න ගිය දෙකත් අමතක වෙලා එනවා

    ReplyDelete