අටවිසි මහල නවකතාවේ නව වැනි කොටසයි මේ ( අප සිටින්නේ පොතේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය) පෙර කොටස් මෙතැනින්
එදා හවස නංගිලා හා අම්රිතා නිවෙස්වලට ඇරලවීම අසේලට බාර දී වැඩබිම ලඟින් බැස ගත් මනෝරන්ජන් සිය නවාතැනට ගොස් ඇඟපත දොවා ගත්තේය . සිල්වා දෝතින්ම අල්ලා ගෙනත් දුන් කිරි කෝපි කෝප්පය රස වින්දේය.
"තේ එක හොඳයි පුතා " මනෝරන්ජන් තමන්ට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සිල්වාට පුතා යැයි කියද්දී සිල්වා හිනැහුණේ වෙන කාරනයකටය .
" ඔය තේ නෙවෙයි බොස් කෝපි. නිකම් කෝපිත් නෙවෙයි කිරි කෝපි "
" හරි හරි මම පුරුද්දට වගේ කිව්වේ. තැන්කිව් සිල්වා අපි නැති දවසේ මේ ටික බලා ගත්තට"
මනෝ රන්ජන්ට සිතුනේ සිල්වා හිතුවටත් වඩා හොඳ මනුස්සයෙක් බවයි .
" හිතේ කහටක් නැති හාදයා " මනෝරන්ජන් තමාටම කියා ගත්තේ ආපසු හැරී යන සිල්වා දෙස බලමිනි.
ඊළඟට ඔහු කඩිමුඩියේ යතුරු ලා තිබු මේස ලාච්චුව ඇර සී ආර් පොත එලියට ගත්තේය .සීරුවට ලියන දිනපොත . ඒත් ඔහුට නුපුරුදු බවක් දැනුනේය.
වෙනදානම් ඔහු සතියේ දින වාර්තාව ඉංග්‍රීසියෙන් ලිව්වාට පසු එය තවත් වතාවක් කියවා බලා කාමරේ දොර වහගෙන දිනපොත ලියන්නට පටන් ගනී . ඒත් අද එසේ පිළිවෙලට කරන්නට ඕනෑ නැත. සයිට් එකේ වැඩ ආයෙමත් පටන්ගන්නේ හෙටින් පසුවය. දොර වසා දැමීමට වුවනාවක් නැත . සිල්වා හැර වෙන කවුරුත් මේ වෙලාවේ එන්නේ නැති බව ස්ථිරය.
ඔහු ලියන්නට පටන් ගත්තේය .
කැබිතිගොල්ලෑ හමනේ විස්තර එහෙන් මෙහෙන් ලියු ඔහු අඹේපුස්සේදී නෙතදරා යලි හමු වීම ගැන කොළය පිරෙන්නට ලියා තිබුනේය.
සයිට් එක අද්දර සිටි නෙතදරා නොකියා අතුරුදන් වී මාසයකට පසු මේ ආකාරයෙන් හෝ යළි දකින්නට ලැබීම ඔහුගේ සිත ප්රීත්මත් කර ඉන්පසු වගකීම් සහගත බරක් පැටවූ බව එහි ලීවේය. ඉන්පසු යලි කල්පනාවට වැටුනේය .
සයිට් එකට ගොඩ බැස සති කිහිපයක් යද්දී සිදු වූ සිද්දීයක් මෙසේය . ඒ අසේල විතරක් නොව සිල්වාත් වැඩට එන්නට පෙරය. අම්රිතා ආවෙත් මේ සිද්දියට පසුය. මුහුද පැත්තේ තාවකාලික තහඩු වැට ගසා හමාර කොට වම් පස වැටේ කණු හිටවන්නට පටන් ගත් දවසය . ඒ පැත්තේ ගෙවල් පේලිය වැසෙන්නට ටාපොලින් රෙද්දක් දිගට ඇද පයිප්ප බට ගසා තිබුනේය. එය ටිකෙන් ටික අයින් කරමින් අලුත් කණු හිටවා ශක්තිමත් තහඩු බිත්තිය හදද්දී කාගේදෝ අතින් වැඩබිම මායිමෙන් යන වතුර බටයක් කැඩී ගියේ හොඳටම කළුවර වැටී තිබියදීය .
කළුවරේ දනිපනිගා වතුර උතුරා යාම වලක්වා වතුර බටයට ඇබයක් ගසා ගත්තද පෙර තිබුණු පරිදි හදා ගන්නට බැරි වුනේය. "හෙට උදේම වෝටර් බෝඩ් එකට කියලම වැඩේ කරනවා" මනෝරන්ජන් සිතුවේය.
පහුවදා උදෙන්ම රිචර්ඩ් කන්තෝරුවට ආ නිසා මනෝරන්ජන්ට කැඩුණු වතුර බටය මුළුමනින්ම අමතක වුනේය .
වැඩබිමේ හතර මායිම් හා ගොඩනැගිලි සීමා සහිත ලොකු ට්‍රේසින් කරදාසිය රැස්වීම් මේසය මත දිග හැරගෙන බරසාර සාකච්චාවක යෙදී ඉන්නා වෙලාවේ ගේට්ටුවේ මුරකරු තල්ලු කරගෙන දෙදෙනෙක් ඇතුළු වන්නට උත්සහ ගත්හ . එකෙක්ගේ කරේ සාලුවකි . කටේ සුදුපාට පෙන පුරවාගෙන දත් මදිමින් සිටියේය. අනෙකා බෙලෙක් පනිට්ටුවක් හා සබන් පෙට්ටියක් අතේ එල්ලාගෙන යට කලිසමකින් පමණක් සැරසී සිටියේය .
" කෝ තමුසෙලා මහා ලොකු මහත්තුරු?. අපි අවේ අද මෙහෙ පදිංචි වෙන්න " සෙකුරිටි අමරේ ඔවුන් දෙදෙනා ඇතුලට එන්නට නොදී නතර කර ගැනීමට උත්සහ දරයි. මිස්කින් ඔහුගේ සහයට ආවත් කලහකාරීන් දෙදෙනා ඒ දෙන්නාත් පෙරලාගෙන ගේට්ටුව ඇරියෝය.
කවුරුත් සිතා සිටියේ මේ ගොරියට එන්නේ මින්නිසුන් දෙදෙනෙක් පමණක් බව වුනත් උන් දෙදෙනා පසු පසින් විවර වූ ගේට්ටුව තුලින් වැඩබිමට ඇතුළු වුවේ අමුතුම ජන කොටසකි.
දිය රෙදි හැඳ ගත් ගැහැණුන්, පොලු මුගුරු ගත් කොල්ලන් හා අමු හෙලුකොට්ටෙන් සිටි ළමයින් පිරිසකි. කීප දෙනෙක්ගේ අතේම පාට බේසම් , රෙදි පොට්ටනි හා සබන් පෙට්ටි තිබුනේය.
කන්තෝරු දොරකඩට ගොස් මේ වෙන්නේ මොකක්දැයි බලා සිටි රිචර්ඩ් හා මනෝරන්ජන් දුටු දාමරික පෙනුමැති මිනිසුන් දෙදෙනා හා පිරිස ඔවුන් වෙත එන්නට පිය මනිද්දී මනෝරන්ජන් තනිවම ඉදිරියට ඇවිද ආවේ මෙසේ සිතමිනි . "මටනම් ඉතිං ගුටි කන්න වුනත් කමක් නෑ. ඒත් මේක ඇතුලෙදි පිටරටක එකෙකුට ගුටි කන්න වුනොත් ඒක වස වැරැද්දක් "
ගේට්ටුවත් කන්තොරුවත් අතර මැදදී පිරිස නතර වුහ . මනෝරන්ජන් හා පිරිස අතර තිබ්බේ අඩි කිහිපයක දුරකි .
රිචර්ඩ්ට ඇතුලට යන්නැයි මනොරන්ජන් අතින් සන් කළද ඔහු ගියේ නැත. මිස්කින් හා සිකුරිටු අමරේ පැමිණ මනෝරන්ජන් දෙපස සිට ගත්හ .
" සර් ඔහෙලගෙ අම්මලා ගෙදරින්ද අපි නාන්න බොන්න වතුර ගන්නේ . මේකේ බිල්ඩින් හදනවා දුප්පත් අපේ වතුර බටේ වහලා . මේකේ බිල්ඩින් නෙවෙයි හදන්නේ සොහොන් සොහොන් . දත් මැද මැද සිටි මිනිසා සිය කලිසම් වාටියේ රඳවාගෙන සිටි පිහියක් එලියට ගත්තේය.
මනෝරන්ජන්ට හීන් දාඩිය දැම්මේය. "කවුරුත් නැද්දෝ මිනී මරනවෝ" කියාගෙන අමරේ එලියට දිව්වේය.
බිය වූ වගක් නොපෙන්වා මනෝරන්ජන් අතක් ඔසවා
' හෝව් හෝව්! අපි කතා කරමු. කලබල වෙන්න එපා. වතුර බටේ කැඩුනේ අත් වැරද්දකින් .අපිට සමාවෙන්න . ඒක තව පැයක් යන්න ඉස්සර හදලා දෙන්නම් . ඕනි කෙනෙක් ඉන්නවානම් මේ ඇතුලෙන් නාගන්න පුළුවන්"
මනෝරන්ජන් ගේ ස්වරය නිසා ඉදිරිපෙළ කැරලිකරුවන් මෙල්ල වූ බවක් පෙන්වද්දී ගැහැනුන් පිරිස කච බච ගාන්නට වුනෝය ." අපි කොහොමද ළමයි නාවන්නේ .උයන්නේ . ඔය මහත්තුරුන්ට වගේ අපිට ගේ ඇතුලටම වතුර එන්නේ නෑ. මේ අපිට තියෙන දේත් නැති කරොත් ඔහෙලගෙ බඩ කඩත්තු බිමට සමතලා කරනවා" තාවකාලික කන්තෝරු කාමර දෙස බලමින් ඉතා කෙසඟ කට සැර ගැහැනියක් කීවාය .
ඉතා ඉක්මනින් කැඩුණු පයිප්පය හදා දෙන්න්නටත් ඊටත් කලින් වතුර බවුසරයක් ගෙන්නා දෙන්නටත් පොරොන්දු වුනාට පසු ගින්දර නිවී ගියේය. උදේ සිද්දියත් සමග රිචර්ඩ් උපදෙස් දුන්නේද පුළුවන් තරම් ඉකමනින් වට තාප්ප හදා භාහිර පරිසරයෙන් වැඩබිම සපුරා වෙන් කර ගත යුතු බවය.
දවල් අහාරය ගෙන නිස්කාන්සුවේ සිය ප්‍රියතම විනෝදාංශය වන කොම්පියුටරෙන් කාඩ් ගසන සෙල්ලම කරමින් විවේකීව සිටි මනෝරන්ජන් වෙත ආ අමරේ කවුදෝ අමුත්තන් දෙදෙනක් ඇවිත් තිබෙන බව කීවේය . ඔහු අකැමැත්තෙන් වාගේ ගේට්ටුව ගාවට ගියේ උදේ සිද්දියෙන් පසු ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට නොදන්නා කාටවත් එන්න දෙන්නට එපායැයි අමරේට තදින්ම කියා තිබු නිසාය .
ඒ ඇවිත් සිටියේ ෆොර්චුන් බුකියේ කෙල්ලන් දෙනෙනාය .
' නෙතදරා " ඕගොල්ලෝ මොකද මෙහෙ ?
" අනේ මහත්තයා අපිට සමාවෙන්න කියන්නයි ආවේ . අපේ තාත්තා ගමේ කට්ටිය එක්කගෙන ඇවිල්ල මහත්තයාලට උදේ කරදර කලාලු නේද ? අනේ අපි . දන්නවානම් කීයටවත් මේ ගමන එන්න දෙන්නේ නෑ"
නෙතදරා කඳුළු පුරවාගත්දෑසින් ඔහු දෙස බලා හෙමින් කීවාය. කවුද ඔයාගේ තාත්තා ? ඔහුට නොදැනුවත්වම මුවින් එලියට පැන්නේය /
" අර නන්දේ කියන්නේ කොන්ඩේ පොකුටු ."
එවිටම පිහියක් අතින් ගෙන ශිල්ප දක්වන්නට ආ මැරයාගේ රුව ඔහු ඉදිරියේ මැවී පෙනුණේය. අපුලක් හා අනුකම්පාවක් එකවරම දැනුණෙන් මනොරන්ජන් ඔවුන් පිටත් කර හැරියේ මෙසේ කියමිනි .
" අනේ කරදරයක් වුනේ නෑ . අපි කතා බහ කරලා ප්‍රශ්නේ විසඳා ගත්තා . අපේනේ වැරැද්ද. ගෙවල්වලට යන වතුර බැටේ කැඩුවම හදන්න පරක්කු වෙච්ච එකේ වැරැද්ද "
ඒ කතාවෙන් පසුව ආපසු යන්නට හැරුණද නෙතදරාගේ මුහුණේ වරදකාරී හා ලැජ්ජාවට පත් වුනා වැනි පෙනුම ඉතිරි වී තිබුනේය . .
රේස් බුකියට මුලින්ම ගොඩ වූ දවසේ එහි සිටි කෙල්ලන් අත තිබී කේ ජයතිලකගේ පොතක් ඉල්ලා ගෙන ආ හැටිත් , ඔවුන් දෙදෙනා කාලයක් සිට දන්නා දෙදෙනෙක් මෙන් තමන්ට රේස් ඔට්ට්වක් දාන්නට නොදී වැළකු හැටිත් ඔහුට සිහිපත් විය.
" මහත්තයා මේ පැත්තේ නෙවෙයි නේද? දැක්කම කියන්න පුළුවන් . මේව තියෙන්නේ මහත්තයාලට නෙවෙයි . ඒ නිසා ආයේ එන්න එපා "
ඉන් පසු කිහිප විටක් ඔහු තනියම බුකියට ගියත් ඔට්ටු දමන්නට අවසර ලබුනෙ නැත. අසේල ආවාට පස්සෙද ඔහුත් කැටිව කීප වතාවක් බුකියට ගියේය .
එහි සිටින එක කෙල්ලක් මනෝරන්ජන් දකින විට සතුටින් උදම් වෙන අයුරුත් මනෝරන්ජන් පවා ඈ කෙරෙහි ආකර්ෂණය වෙමින් සිටින බවක් අසේලගේ ඇස ගැටුණු වග මනෝරන්ජන්ට තේරුම් ගියේය .
ඉන්පසු වූ පොත් හුවමාරු වීම් කිහිපයක් හැරුණු විට කියන්නට තරම් සම්බන්ධයක් අසේලට අසු නොවුනත් බොහෝ දේ සිදු වෙමින් තිබුනේය .
වැඩ රාජකාරී පිරිච්ච නිසා බුකිය පැත්තේ යන්නට බැරි වූ සතියකට පසු එහි යන විට නෙතදරා එතැනින් ඉවත්ව ගොස් තිබුනේය . ඒ වෙනුවට අලුත් කෙනෙක් වැඩට අරගෙනය . නෙත්දරා ගිය තැනක් කියන්නට කවුරුත් දන්නේ නැත .
" අර වසවර්තියාගෙන් අහන්න කියලයැ? ඔහු සිතුවේ අගේ පියාගේ රුව මවා ගනිමිනි .
එදා හවස ඔහු අසේලත් සමග කලපුව අසල මුහුදු වෙරළට ගියේය. ගල් පතුරක් මත වාඩි වී මෙසේ කිව්වේය.
" අසේල අර බුකියේ ගෑණු ළමයා අස්වෙලා ගිහින්නේ . කොහෙට ගියාද කියල කවුරුවත් දන්නේ නෑ"
"මේක හොඳ සෙල්ලමක් නෙවෙයි. මහත්තතයා තමන්ගේ තත්තෙට ගැලපෙන වැඩ කරන්න ඕනිනේ. අනික වයස් පරතරේ වුනත් අවුරුදු දහයකට වැඩියි : අසේල කිව්වේය. ඒ වගේ දෙයක් කියන්නට ඔහුට දහිරියක් ලැබුනේ කොහොමදැයි මනොරන්ජන් කල්පනා කළේය .
" අසේල ඒක කතා කරපු එක හොඳයි. අසේල විරාගය පොත කියවලා තියෙනවද ? මනොරන්ජ්න් ඇසුවේය .
මීළඟ කොටස
( මේ මගේ එකසිය පනස් වන බ්ලොග් සටහනයි. 2013 මැයි මාසයේ සිට මා ලියන දේ කියවූ , කොමෙන්ට් ලියා දිරි දුන් , මිතුරන් අතරේ බෙදා ගත් හා නන් අයුරින් ප්‍රචාරය කළ ඔබ සැමට මගේ දයාබර ස්තුතිය. මේ ස්තුතිය බ්ලොග් සින්ඩිකේටර් සාදා අපට ප්‍රචාරය දෙන සියලු දෙනාටද නොඅඩුව හිමේ වේ )
Image Source; iStock
150 ට සහ හොඳ කතාවක් කියවන්න දෙනවට සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි කුමාර
Deleteහැමදාමත් කියනවා වගේ ඔබ අපව එක එක තැන්වලට ගෙනයනවා හිතාගන්න බැරි විදිහට. ඊලග කොටස කියවන්නටත් මුහුණු පොතේ බෙදා ගන්නත් බලාගෙන ඉන්නවා .
ReplyDeleteමේ උද්යෝගිමත් සහයෝගයට ගොඩක් ස්තුතියි
Deleteකතාව ඇතුලේ හැමෝටම වෙන්වූ වෙන වෙනම කතා තියෙන හැඩයි ඔහොම යං
ReplyDeleteඔව් තට්ටු විසි අටක් නගින්නත් එපැයි. ප්‍රධාන ලයින් තුනයි තියෙන්නේ
Delete150ට සුබ පැතුම් 1500පන්නන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා
Deleteමේ කතාවේ තියෙන්නේ අපි හැමෝටම සමීප දේවල්. කතාව ලස්සන වෙන්න එක හේතුවක් කියල මට හිතෙනවා. 150ට සුභ පැතුම් අයියේ .
ReplyDeleteබොහොම ස්තුතියි පැතුම් . මේ චරිත කොහේදෝ හෝ මට හම්බවෙලා තියෙනවා. පොඩ්ඩක් වෙනස් විදිහකට
Deleteසුභ පැතුම් ඔබ තුමාට !!!
ReplyDeleteආසාවෙන් කියවන බ්ලොග් අඩවියක්. තවදුරටත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි . ඔබේ සටහන දිගටම් ලියන්න ශක්තියක්
Delete150 වන එකතුවට සුබ පැතුම් ......අපට තව තවත් වෙනස් තැන් ගැන හිතන්න තවත් බොහෝ කල් ලියන්න වාසනාව ලැබේවා !
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ හැමදාම දෙන දිරියට
Deleteසුබ පැතුම් ඔබ තුමාට. 150 ම වගේ ආසාවෙන් කියවලා තියෙනවා. තව තවත් ලියන්නට දිරිය ලැබේවා!
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ්. 150ම කියෙව්වා කියා දැන ගැනීම සතුටක්
Deleteහරිම රහට යනවා කතාව දැන්.
ReplyDelete150 ට ජය!
බොහොම ස්තුතියි මල්ලි . බලමු මේ විදිහ තව ටිකක් ඉස්සරහට ගෙනියන්න
Delete150 ට සුබ පැතුම් ..!!!!
ReplyDeleteබොහොම ස්තුතියි ජීවන්ත
Deleteඔක්කොම කොටස් ටික එක පෙළට දැනුයි කියවලා ඉවර උනේ.. හොඳ වැඩක්.. ඊලඟ කොටස එනතුරු බලා ගෙන ඉන්නවා.. ජය වේවා 150 ටත්!
ReplyDeleteසුභ පැතුම් , බලාගෙන ගියහම් මම තිලකෙට වැඩිය ලියල තියනවනේ.
ReplyDeleteසුබපැතුම්
ReplyDelete