Wednesday, November 6, 2024

අශ්ව කරත්ත පාරේ ගිය උඩුගුවන් යානා - සිළුමිණ ඉස්තාම්බුල් දිනපොත 1

 

(2024 ඔක්තෝබර්  06 පටන් සිළුමිණ පත්තරේ පළවන ඉස්තම්බුල් දිනපොතේ මුල් කොටස් සති කිහිපයක් ප්‍රමාද වී හෝ   තිලකසිතේ වෙනම කොටසක පළ  කරන්න තීරණය කළා.)

ම ඉන්නේ මානව ඉතිහාසය පුරා ජනී ජනයා එහාට මෙහාට ගිය මංමාවත් ජාලයක්  එකතු වෙන හන්දියක.

එහෙන් සේද මාවතේ බලසම්පන්න කේන්ද්‍රස්ථානයක් . අනෙක් පැත්තෙන් අධිරාජ්‍ය බර ගානක අගනුවරක්. දැන් වුනත් ගුවන් ගමන්වල , දුම්රිය ගමන්වල ආසියාව හා යුරෝපය යා කරන කාර්ය බහුල මංසන්ධියක් . 

මම කරන රස්සාවටත් සම්බන්ධ නිසා කොච්චි  පාරවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. මට නිතර හම්බවෙන යාලුවෝ ගොඩක් වෙලාවට ඒවා  සම්බන්ධ රාජකාරි කරන අය  නිසා මේ තත්වය තවදුරටත් බරපතල වෙනවා. 

ලෝකයේ දෙවැනියට භූගත දුම්රිය මාර්ගයක් හෙවත් සබ්වේ එකක් හදල තියෙන්නේ තුර්කියේ . ඒ ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ 1875 දී . ලෝකෙන්ම පළමු සබ්වේ එක ලන්ඩන් නුවරදී හදල යන්තම් අවුරුදු 13 කදී . තුර්කියේ කිලෝමීටර් 12,500කට වැඩි කෝච්චි පාරවල් තියෙනවා. ඉනුත්  සියයට විස්සකට වැඩිය විදුලි දුම්රිය .

තුර්කියේ ඉඳල කෝච්චියේ නැගල යුරෝපේ ඕනි රටකට යන්න පුළුවන් .  ඉස්තාම්බුල්  නුවරින් කොටසක් තියෙන්න භුගොලියව යුරෝපේ.  ලෝක ප්‍රසිද්ධ අන්තර් මහද්වීපික  සුඛෝපභෝගී දුම්රිය ඔරියන්ට්  එක්ස්ප්‍රස්  1979 වනතුරු ඉස්තාන්බුල් නුවරට ආවා . මේ දුම්රිය පුරාවෘතයක් . ච්ත්‍රපට හා නවකතා බරගාණක පසුබිමේ දිවෙන්නක්. එය ඉස්තාන්බුල් ඇවිත් ගිමන් හරිපු  පරණ ඉස්ටේෂම බලන්න ලඟදි අපි යනවා. ඒ ගියාම ඒ ගැන ලියන්නම්. 

   ඒ විතරක් නෙවෙයි රුසියානු කලාපයේ බොහොමයක් රටවලට ඉස්තාම්බුල් නුවර ඉඳල  කෝච්චියේ යන්න පුළුවන්. ඒත් ඉස්තාම්බුල් ඉඳන් යුරෝපෙට කෝච්චියේ යනකොට වගේ නෙවෙයි රුසියානු කලාපයට යනකොට අලි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා . මෙහෙන් යන කෝච්චි පාරේ  පළල නෙවෙයි ඒ පැත්තට යනකොට .  ලෝකෙට එක සම්මුතියක් හදා ගන්න බැරි වෙච්ච  දේවල් ගොඩක් තියෙනවා ඉන් එකක් තමයි කෝච්චි පාරවල පළල .

තුර්කියේ භාවිතා වෙන්නේ යුරෝපය පුරා හා ලෝකයේ සියයට  පණහකට  වඩා කෝච්චි පාරවල භාවිතා කරන ස්ටීවන්සන් ගේජ් එක . ජෝජ් ස්ටීවන්සන් ගැන අපි අහල තියෙන්නේ ලෝකයේ පළමුවරට මගී ප්‍රවාහන දුම්රිය නිපදවපු ඉංජිනේරුවා හැටියට. ඔහු සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. නවීන දුම්රිය ගමනාගමනයේ පියා හැටියට හඳුන්වන්නේත් ඔහු. ඒත් ඇත්තටම ඔහු සම්මානයට පාත්‍ර වෙන්න ඕනි ලෝකය පුරා  සම්මුතියකට එන්න බැරි වෙලා තිබ්බ කෝච්චි පිලී  දෙකක් අතර ඇතුළෙන් ඇතුළ දුර  සඳහා සුම්මුතියක් හදල දුන්න එකට. අදටත් යුරෝපයේ, තුර්කියේ , චීනයේ, ඇමෙරිකාවේ, කැනඩාවේ  හා ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ ස්ටීවන්සන් ගේජ් එක හෙවත් අඩි  හතරයි අඟල් අටහමාරක් වන ගේජ් එක .  ඒත් තාමත් මේ රටවල් වලම වුනත් සමහර පාරවල ගේජ්  අතර මද මද වෙනස්කම් තියෙනවා. 

පුදුමයකට වගේ ලංකාව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා සමහර ලතින් ඇමෙරිකානු රටවල පමණක් වෙනමම ගේජයක් භාවිතා වෙනවා . මේක ස්ටීවන්සන් ගේජ් එකට වඩා පළලින් වැඩියි . අඩි පහ හමාරයි. කැළණි වැලි  දුම්රිය මාර්ගයේ විතරක් 1992 වෙනකම් ඉතා කුඩා අඩි  දෙක හමාරක් පළල ගේජයන් පාවිච්චි වුනා. 

ඉස්සර සෝවියට් සමුහාණ්ඩුවට අයත් වෙලා තිබ්බ රටවලට  විශේෂිත වූ වෙනමම ගේජයක් තියෙනවා. මෙය අඩි  පහකට ආසන්නයි . 

මෙන්න මේ හේතුව නිසා තමයි මම අර මුලින්ම කිව්වා වගේ එකම කෝච්චියේ යුරෝපෙට යනවට වඩා කරදරකාරියි ඉස්තාම්බුල් ඉඳන් රුසියානු කලාපයට යන්න . ඒත් යනවා . මේ කෝච්චි පීලි අතර පරතර වෙනසට මුහුණ දෙන්නේ කොහොමද ?

ඉස්තාන්බුල්  සිට පැරණි සෝවියට් කලාපයට ඇතුල් විය හැකි මාර්ග කිහිපයක් තිබෙන අතර සෑම දුම්රියක් පළමුව බල්ගේරියවටත් ඉන්පසු රුමේනියාව හරහාත් යා යුතු වෙනවා. රුමේනියාවේ සිට මොල්දාවියා පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් යුක්රේනය පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් මේ ගේජ් වෙනසට අනුව වෙනත්  යාන්ත්‍රික චැසියකට දුම්රිය එහෙම පිටින් මාරු කිරීම හෝ මගීන් බස්සවා වෙනත් දුම්රියකට මාරු කිරීම සිදු කරනවා. 

මෙන්න මේ ක්‍රියාවලිය අවුරුදු  එකසිය ගණනක් තිස්සේ නිතිපතා සිදු වෙමින් තිබෙනවා. ළඟදීම මේ මාර්ගයේ ගමනක් යන්නට බලාපොරොත්තු වෙන නිසා තව ටිකක් සවිස්තරව ලියන්න පුළුවන් වෙයි. 

 මේ රේල් ගෙජ් ගැන කතා කරමින් සිටිද්දී නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටින් අධිරාජ්යයේ අගනුවර වෙච්ච පරණ කොන්ස්තන්තිනොපල් නගරය ගැන නොකියම බැහැ .  චිර ප්‍රසිද්ද කොන්ස්තන්තිනෝපලය කියන්නේ වත්මන් ඉස්තාන්බුල් නගරයෙන් කුඩා කොටසක. මෑත දශක කිහිපයේදී ඉස්තාන්බුල් නගරය නොසෑහෙන්න ව්‍යාප්ත වෙලා තියෙනවා. 

ඉතිං මේ  නැගෙනහිර රෝම අධිරාජ්‍යය සෞභාග්‍යයෙන් උතුරන සමයේ අශ්ව රේස් වලට ප්‍රසිද්දයි . ඒ තරග පැවැත්වූ ක්‍රීඩාගාරවල නටබුන් අදටත් තියෙනවා. මෙන්න මේ අශ්ව කරත්ත ගල් අතුරාපු වීථි දිගේ ගිහින් ගිහින් හැදිච්ච  රෝද සලකුණු අතර දුර තමයි පසු කලක  දුම්රිය ගෙජ් වලට ගත්තේ කියල කතාවක් තියෙනව. ඒක බොරුවක් කියල කියන පිරිසකුත් ඉන්නවා. මොකද මෙච්චර තාක්ෂනය , සන්නිවේදනය දියුණු කාලේත්  දුම්රිය පිළී දෙකක් අතර පරතරයට එක සම්මුතියක් නැතිකොට අශ්ව කරත්තවලට   එහෙම සම්මුතියක් තියෙන්නේ කොහොමද? එහෙම සම්මුතියක් තිබ්බා කියන්නට කිසිම සාක්ෂියක් තාම  හම්බ වෙලා නෑ . ඒත් සමහර එකඟතා එන්නේ භාවිතයෙන්. කතා කර ගත්තේ නැති සම්මුති තියෙන්න පුළුවන්. 

මේ කතාව ඇත්ත කියල පිළිගන්න මගේ මිත්‍රයෙක් කියන්නේ රෝම අශ්ව කරත්තවල රෝද අතර  දුරට අභ්‍යවකාශ යානා වලත්  සම්බන්ධයක් තියෙනවා කියල. 

ඒක ටෙක් ප්‍රලාප ගොන්නට වැටෙන  කතන්දරයක්.  වෙන්නේ මෙහෙමයි . අභ්‍යවකාශයට යවන නවීන  රොකට් ප්‍රමාණයෙන් සෑහෙන්න දිගයි. මේවා හදන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඉඳන් සෑහෙන   දුරක පහිටි කර්මාන්ත ශාලාවල . මේ කර්මාන්ත ශාලාවල ඉඳන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කොටස් වශයෙන් ගෙනියන්නේ කෝච්චිවල . ඉතින් ඒ පාරේ ප්‍රමාණයට හරියන්න තමයි රොකට්වල ප්‍රමාණය සැලසුම් කරන්නේ .  මෙන්න මේ හේතුව නිසා තමයි රෝමන් අධිරාජ්‍යයේ අශ්ව කරත්ත  , නවීන  අභ්‍යවකාශ යානා අතර නෑ කමක් ඇති වෙන්නේ . 

මේ කතාව  ඇත්ත උනත් නැති වුනත් අතීතය රෝම අධිරාජ්‍යය හරහා ඉස්තාන්බුල් නගරයට ඇවිත් , බල්ගේරියාව, රුමේනියාව හරහා රුසියානු කලාපයට දිව යනවා විතරක් නෙවෙයි අඟහැරු ග්‍රහයා වෙත වුනත් යන්න  පුළුවන්. අනෙක් අතට මුලින්ම රෝදය සොයා ගත් බැබිලොනියන්වරු හිටි මෙසපොතේමියන් සිෂ්ටචාරය පැතිරුණේ යුප්‍රටීස් ටයිග්රිස් ගංගා  නිම්න ආශ්‍රිතව. මේ ගංගා දෙකේ උපත සිදුවන්නේ තුර්කියේ දකුණුදිග කොටසේ. එහෙව් රටේ පුරාණ  අගනුවර ඉඳන් ලියන මේ දිනපොත අතීතය, වර්තමානය හා අනාගතය යා කරන සටහන් පෙළක් කරන්නයි මම සැරසෙන්නේ .

(මෙය මුලින්ම පළවුණේ 2024 ඔක්තෝබර්  06 සිළුමිණ පත්තරයේය.  )

20 comments:

  1. අජිත් ධර්මකුමාර-මග්ගොනNovember 6, 2024 at 7:33 PM

    තිලකේ මල්ලි කුමාරට හට කඩේ යයි
    එයට හිලව්වට සිළුමිණේ ඉඩක් දෙයි
    ලංකාවේ අපි හාල් පොල් නැතුව වෙලෙයි
    තිලකෙලා කුමාරලා රජ බෝජන කයි

    ReplyDelete
    Replies
    1. මම කඩේ ගියේ අතිරේක ලේකම් කමක්වත් ලැබෙයි කියල හිතාගෙන. අන්තිමේ හම්බුනේ පත්තර කොලමක් විතරයි. මේ පාරත් අපිට වැරදුනා අජිත්. මේ අපේ ලැබීම. කුරිරු දයිවය

      Delete
  2. තාමත් එහේ ද?
    මං ජූලි මාසයේ ස්තාන්බුල් පැමිණ දින දෙකක් හිටියා.
    ඒ කාලයේ පණිවිඩයක් එව්වා, ලැබෙන්න නැතුව ඇති?

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම පණිවිඩයක් දැක්කේ නෑ රසික. ආයේ එනවනම් හමුවෙමු. තව ටික කලක් මෙහෙ ඉන්නවා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මේ මගේ කැමතිම අංශය
    "චාරිකා සටහන්"
    අපූරු විස්තර ලැබෙන තුරු බලා ඉන්නම්

    ReplyDelete
    Replies
    1. විස්තර ලියනවා දිගටම . ස්තුතියි

      Delete
  5. ගොඩක් විස්තර දැන ගත්තා . ස්තුති.

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න . ස්තුතියි ලලිත්

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. https://www.irfca.org/articles/ng-srilanka.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා . හොඳ ලිපියකට ලින්ක් එකක්

      Delete
  8. //ළඟදීම මේ මාර්ගයේ ගමනක් යන්නට බලාපොරොත්තු වෙන නිසා තව ටිකක් සවිස්තරව ලියන්න පුළුවන් වෙයි//

    ස්තූතියි. තව දාහක් වටිනවා.💐🙏👌

    ReplyDelete
    Replies
    1. මමත් ආශාවෙන් ඉන්නේ ඒ ගමන යන්න හා ඒ ගැන ලියන්න

      Delete
  9. තිලක . ආසාවෙන් කියෙව්වා . ආයෙමත් පත්තරයකට ලියන එක ගැන සතුටුයි. ලිපි පෙල බ්ලොග් එකෙත් දාන්න. අජිත්ගේ පොතෙනුත් කියවා තිබූ දුම්රිය මාර්ග පලලේ වෙනස නිසා වන බොගි මාරුව ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ . ඒ දුම්රිය ගමන යන්නම ඕනි වැඩි විස්තර ලියන්න

      Delete
  10. යන්නට හැකිද ලෝකේ හැම අහකටම
    බැහැනෙ, ඒත් හරි වටිනව කියෙව්වම
    හැබැහින් ගියා වගෙ හැඟෙනව ඇත්තටම
    නියමයි තිලකෙ මේ වගෙ සටහන් තැබුම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිදි

      Delete