ඉතින් කලාගාරයේ මේ සතියේ තිබ්බේ හන්ග්රියානු කැමරා ශිල්පින් තිදෙනෙකුගේ පින්තුර. ප්‍රදර්ශනයේ තේමාව ජලය.
මේ පින්තූර අතර හංගේරියාවේ ටිස්සා ගංගාව සම්බන්ධ පින්තූර කිහිපයක්ම තිබ්බ. ටිස්සා ගංගාව යුරෝපයේ රටවල් දහයක් මැදින් එන ඩනියුබ් ගඟේ අත්තක් මේ ඩනියුබ් ගඟ තමයි කළු මුහුදට වැඩිම වතුර කන්දරාවක් ගේන්නේ.
ප්‍රදර්ශනය බලල ඉවර වෙලා අපි පේන මානයේ තිබ්බ කබාටාස් තොටුපළට ඇවිදගෙන ආවා . තොටුපලට ඔබ්බෙන් පේන විසල් මුහුදු තීරයේ මගී යාත්‍රා මෙන්ම වෙළඳ නැව් සෑහෙන ගණනක් එහා මෙහා යනවා . මෙන්න මේ ස්වභාවික මුහුදු ඇළ තමයි බොස්පරස් කියන්නේ . ආසියාව හා යුරෝපය වෙන් කරන අන්තර් මහද්වීපික දේශ සීමාව එයයි . ඒත් පුදුමය කියන්නේ මේ දේශ සීමාවෙන් එතෙර මෙතෙර තියෙන්නේ එකම නගරයක කොටස් වීම . මම ඉන්නේ යුරෝපියන් කොටසේ . අනෙක් පස ආසියාව. මගේ තුර්කි ජාතික යාලු මිත්‍රයෝ බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ ආසියානු කොටසේ නොහොත් ඇනටෝලියන් කොටසේ . ඔවුන් කන්තෝරු ඇරිච්ච හැටියේම ලහි ලහියේ සුදානම් වී බොස්පරස් මුහුදු ජල තීරය යටින් දුවන මාමරේයි දුම්රියේ නැගල අනෙක් කලාපයට යනවා. සියුම්ව බලපු කෙනෙකුට මේ දෙපැත්තේ තියෙන වෙනස්කම් තේරෙනවා. යුරෝපීයන් කොටසේ තරමක් තද බදයක් සහිත වාණිජමය ස්වභාවයක් තියෙනවා කියල සමහරු කිව්වට මටනම් හිතෙන්නේ මේ තදබදය මැදින් සුවපහසුව ජිවත් වෙන්න අවශ්‍ය සියලු දේ ඒ කලාපයේ තියෙනවා කියල . බොස්පරස් සමුදුරු ඇලට ලම්බකව උතුරු දිශාවේ පිහිටි බල්ගේරියානු දේශසීමාව පැත්තට යනකොට කෙමෙන් මේ ජනාක්ර්ණ බව අඩුවෙනවා. ඒ වුනත් ආසියානු කලාපය තරමක් සරල හා සශ්‍රික, ජිවත් වෙන්න වඩා සුදුසු කලාපයක් කියල හිතන මගේ මිත්‍රයන් එක්ක එකඟ වෙන්නත් වෙනවා.
කිලෝමීටර් තිහක් දිග මේ සමුද්‍ර තීරය හෙවත් බොස්පරස් කියන්නේ ඉස්තාන්බුල් නගරයේ හදවත . මිගමු ජනයාට මිගමු කළපුව වැදගත් වන්නේ යම්සේද ඊජිප්තු වැසියන්ට නයිල් නදිය වැදගත් වන්නේ යම්සේද ඊටත් වඩා බරපතල විදිහට ඉස්තාම්බුල් නගරයටත්, මුළු තුර්කියටමත් , කළු මුහුද ඉවුරේ පිහිටි රටවල් සියල්ලටමත් , ඩනියුබ් හා ඩොන් ගංගා හා සම්බන්ධ වෙන අනෙකුත් රටවලටත් බොස්පරස් මුහුදු මාර්ගය වටිනවා.
ඉස්තාන්බුල් නගරය දෙකඩ කරන මේ මුහුදු අළ මාර්ගය ලෝක ඉතිහාසයේ වැදගත් කොටසක්, නවීන මුහුදු ගමනාගමනයේත් ලෝක ආර්ථිකයේත් , ජාත්‍යන්තර සහයෝගීතාවෙත් වැදගත් පරිච්චේදයක්. අර මා මුලින් කී පින්තූර ප්‍රදර්ශනයේ දුටු හංගේරියානු ටිස්සා ගංගාව හා සම්බන්ධ ජර්මනිය ඕස්ට්‍රියාව ඇතුළු යුරෝපයේ රටවල් දහයක් දිගේ එන ඩනියුබ් ගංගාව වගේම රුසියානු කලාපය හරහා ගලන අනෙක් ගංගා දිගේත් ඉතිහාසය පුරා යාත්‍රිකයෝ මේ බොස්පරස් වෙත ඇවිත් එතනින් මධ්‍යදරණී මුහුදෙන් මහා සාගරයට ප්‍රවේශ වෙලා තියෙනවා.
මම ඉස්තාන්බුල් නුවරට ආපු මුල් දවස්වල මේ මහා විසල් නගරය තේරුම් ගන්න පාවිච්චි කරපු බේස්ලයින් එක තමයි බොස්පරස් කියන්නේ. ඒක හරියට සිතියම් දන්නා කෙනෙකුට කොළඹ නගරය තේරුම් ගන්න බේස්ලයින් පාරේ පිහිටීම හදාරන එක වගේ වැඩක්.
මට ලැබුණු නවාතැන පිහිටියේ බොස්පරස් තීරයට කිලෝමීටර් හය හතක දුරින්. එතැන ඉඳන් මගී බසයක නැගල කබාටාස් කියන නැව්තොටට එන එක මම කැමතිම සති අන්ත ගමනක් . මේ නැව්තොට තරමක් විශාල හා රමණිය යාත්‍රා තොටුපළක් හෙවත් ජෙටියක්. එතැනින් මගී යාත්‍රාවක නැගල ආසන්නයේම පිහිටි අනෙක් මහද්වීපයේ පිහිටි නගර උප නගර හා කුඩා දුපත්වලට යන්න පුළුවන් .පැයක් හෝ පැය බාගයක් ඇතුලත යුරෝපය හරහා ආසියාවට කුඩා යාත්‍රාවක යන ගමන අශ්වදනියයි .
ඉස්තම්බුල් ආගමනයෙන් ටික දවසකට පස්සේ මමත් තව මිතුරු මිතුරියන් පිරිසකුත් පුරාණ කොන්ස්තන්තිනොපල් නගරයේ ප්‍රසිද්ද නිල් පල්ලිය එහෙම බලල උද්‍යානයක ගිමන් හරිමින් හිටියා . හාත්පස තේ සුවඳයි. සිමිට් සුවඳයි. සිමිට් කියන්නේ රවුම් බනිස් ගෙඩියක් වගේ මැද හිස් ඩෝනට් හැඩයේ ජනප්‍රිය කෑමක්. තිරිගුපිටි බනිසේ තලඇට ඉහපු මේ සිමිට් එක පලා චීස් හෝ චොකලට් පේස්ට් තවරලා විකුණන්න තියෙනවා. ඔන්න ඔය සප්පායම ගනිමින් තිබියදී අපි ලඟට ආ මැදිවියේ පුද්ගලයෙක් මෙහෙම කිව්වා.
"බොස්පරස් දිගේ පැය එක හමාරක යාත්‍රා සවාරියක් යන්න කැමතිද? එක්කෙනෙකුට යුරෝ විස්සයි. යුරෝපය පැත්තේ ඉවුර දිගේ කළු මුහුද කිට්ටුවටම ගිහින් ආසියාව පැත්තෙන් ආපහු එන්නේ. ඉවුරු දෙකේම තියෙන වැදගත් ස්ථාන, මාලිගා එහෙම විස්තර කරලා පෙන්වනවා .
අමුත්තාගේ කතාවෙන් වශී වුන අපි හවස උස්කුදාර් කියන ආසියානු කලාපයේ කුඩා නගරය බලල රෑට කෑම කාලා එන සැලැස්ම අවලංගු කරලා මේ ගමන යන්න තීරණය කළා .
කටකපල සෙනග හිටි යාත්‍රාවේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ ඒ විශේෂිත වූ ස්ථානය අසලින් යනකොට ප්‍රමාණවත් පැහැදිළිලි කිරීමක් ප්‍රචාරය වුනා . යුරෝපීය ඉවුරෙයි ආසියානු ඉවුරෙයි තියෙන මනරම් ගොඩනැගිලි හා වැදගත් ස්ථාන බලාගෙන විස්තරෙත් අහගෙන මූළු ගමන ගිහින් එන්න පැය දෙකක් විතර ගත වුනා . මේ ගමනේදී මුළු බොස්පරස් තීරයම ආවරණය වුණේ නැතත් සති කිහිපයක් ලියන්න තරම් තොරතුරු ලැබුණා.
වාණිජ නිෂ්පාදන, ඛනිජ තෙල් හා ධාන්‍ය රුසියාව, යුක්රේනය වගේ රටවල ඉඳන් පිටත ලෝකයට අරන් යන්නේ මේ මුහුදු තීරය දිගේ. නාවුක අංශයේ වැඩ කරන මගේ යහළු මිත්‍රයෝ නිතරම කියනවා බොස්පරස් ඇවිත් බංකරින් කරපු කතා . බංකරින් කියන්නේ මුහුදු යාත්‍රාවලට තෙල් සැපයුම් කිරීම . ඉස්තාන්බුල්වල තියෙන බංකරින් තොටුපළ ඉතා ප්‍රසිද්ධයි . මේ ඇළ අයින දිගේ කාර්ය බහුල වරායවල් කිහිපයකුත් තියෙනවා.
බොස්පරස් කියන්නේ කළුමුහුදට තියෙන එකම පිටවීමේ මාර්ගය . බොස්පරස් දිගේ යන යාත්‍රා තුර්කි භුමිය තුලම පිහිටි මාමරා මුහුද හරහාත් යන්න ඕනි , එතනින් පසු ඒජියන් මුහුදටත් ඉනුත් ඉක්බිති මධ්‍යධරණී මුහුදෙන් මහා සාගරයටත් ප්‍රවේශ වෙනවා.
මෙන්න මේ නාවික ගමනාගමන කේන්ද්‍රය නිසා හා තවත් නොයෙකුත් හේතු නිසා තමයි ඉතිහාසයේ වරින්වර ලෝකයේම අග නගරයක් හැටියට ඉස්තාන්බුල් නගරය ඉස්මතුවෙලා තියෙන්නේ.
(මෙය මුලින්ම පළවුයේ 2024 ඔක්තෝබර් 13 වන දින ඉරිදා සිළුමිණ පත්රයේය )
තිලකේ මහත්තය යයි සංචාරේ
ReplyDeleteඅප එය කියවයි අන්තර්ජාලයේ
රසවත් කවියක් ලියා අගයන්නේ
එයයි විය යුතු දේ මා සිතන්නේ
ඇවිදිනවා ඇවිදිනවා සංසාරේ
Deleteලියවෙනවා ඒ තොරතුරු සංචාරේ
කියවනවට ස්තුතියි හැම වාරේ
'මහත්තයා' හලපන් බං එන වාරේ
++++++++++++
ReplyDeleteඉස්තාන්බුල්
ReplyDeleteහා කොන්ස්තන්තිනොපල්
විස්තර ටිකත් මල් මල්
රීඩබල් වගෙමයි යූස්ෆුල්!
මේ කොන්ස්තන්තිනෝපල්
Deleteඔටෝමන්ලා හිටිය බොහොකල්
ග්‍රීක හා රෝමානු හැඩ මනකල්
මේ දිරිය ගෙන ලියන්නම් තවකල්
තිලකෙ මහත්තයට බොහොම පින් මේ විස්තරේ අරගෙන ආවට. මගෙත් බකට් ලිස්ට් එකේ තියෙන තැනක් තමයි ඉස්තාන්බුල්. මේ වගේ නගර ඉතින් සංචාරක විසිට් එකක් දාලා විඳගන්න අමාරුයි මම හිතන්නේ. තිලකෙ කොච්චර කල් වගෙ ඉඳන් ඔහෙ ඉන්නවද?
ReplyDeleteමම ඇවිල්ල අවුරුද්දක් වෙනවා කෞශල්‍ය . මෙහෙ එනවනම් දවස් තුන හතරකින් බලන්න සැලැස්මක් හදල දෙන්නම් - කොන්ස්තන්තොනොපල්, තක්ශිම්-ගලාටා , බොස්පරස් සවාරිය, බුර්සා ගමන ඇතුළුව
Deleteස්තුති තිලකෙ. ඔබ තුමා ඔය පැත්තෙ තව කොච්චර කල් ඉන්නවද?
Delete2004 වසරේදි මුලින්ම බොස්පරස් හරහා කලු මුහුදට යාත්‍ර්‍රා කලේ. ඇත්තෙන්ම බොස්පරස් කියන්නේ සුන්දර කලාපයක්. මුහුදු මාර්ගයේ යද්දී පැරැණි බලකොටුවක් හෝ මාලිගාවක් විශාල ස්මාරකයක් එහෙම දකින්නට ලැබෙනවා. ඔබ නම් ඒ ගැන සවිස්තරාත්මකව දන්නවා ඇති. වරක් ඔය මාර්ගයේ එද්දී සිදුවු අනතුරක් හින්දා දවස් පහක් විතර ස්තාන්බූල් වල නැංගුරම් දාගෙන ඉන්නත් උනා. ස්තුතියි මාව අවුරුදු 20ක් ආපහු අතීතයට අරන් ගියාට.
ReplyDeleteමට මේක ලියද්දි අසන්ගවත් මතක්වුන. කලින් අපි කතා කළානේ මෙතනින් නැවේ ගිය ගමන් ගැන
Deleteතිලක අපිව හරි අපූරුවට ඉස්තාන්බුල් වටේ ගෙනියනවා. හරිම රසවත්.
ReplyDelete