Saturday, October 24, 2026

කෙල්ලෙ පාචා සුප් බඳුන

සමහර සංස්කෘති හා පාලන තන්ත්‍රවල මූලික අභිප්‍රායක් වන්නේ සිය රටවැසියන් කුසගින්නේ නොතැබීමය. එතැනින් එහාට ගිය සමහර ශිෂ්ටාචාර තම වැසියන්ගේ කුසගින්න නිවීම පමණක් නොව, ඔවුන්ට ගුණාත්මක ආහාර වේලක් සපයා දීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ. මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය යනු එක් අතකින් කුසගින්න සමඟ කළ අරගලයක ඉතිහාසයයි.

මින් විසිපස් වසරකට පමණ පෙර මා සේවය කළ ආයතනයක් මඟින් වැඩසටහනකට ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවක් මට සිහිපත් වෙයි. රජයත් පුරවැසියනුත් නිසි ලෙස මැදිහත් වන්නේ නම්, තුන්වේල හරිහැටි කන්නට නොලැබෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා ගැනීමට අවස්ථාව සැලසිය හැකි බව එහි මූලික අදහස විය.
අප අවට ඇති ආහාරයට ගත හැකි දේ පිළිබඳ නොදැනුවත්කමත්, අඩු මිලට සපයාගත හැකි කුඩා මාළු, පලා වර්ග හා දේශීය ආහාරවල පෝෂණ ගුණය නොතැකීමත් මෙහිදී වැදගත්ය. ඇතැමුන් සිතන්නේ තෙල්, පිටි හා කහ පැහැයෙන් පිරුණු ෆ්‍රයිඩ් රයිස් පිඟානක් සැපවත් ආහාර වේලක් බවය. තවත් සමහරු විශාල බත් පිඟානක් සමඟ එක එළවළුවක් තිබීම සම්පූර්ණ ආහාර වේලක් ලෙස සලකති.
මුහුණුපොතේ හෝ සමාජයේ කතාබහ කරන තැන්වල අපට හමු වන්නේ රටේ සියලු පුරවැසියන් නොවේ; බොහෝ විට අතමිට යමක් ඇති, අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණු පිරිසකි. ඔවුන්ගේ ලෝකයෙන් පිටත ඇතැම් පවුල්වලට ප්‍රමාණවත් ආහාර නොලැබෙයි. තවෙකකුට ආහාර ලැබුණත් පෝෂණය ප්‍රමාණවත් නොවිය හැකිය.
මම රජයටත් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනවලටත් යෝජනාවක් කරමි. රට පුරා නියෝජිත පවුල් නියැදියක දින දහයක් තිස්සේ ආහාරයට ගන්නේ මොනවාදැයි සටහන් කර බලන්න. පාසල් දරුවන්ගේ කෑම පාර්සල්වල ඇත්තේ මොනවාදැයි විමසන්න. රිළා සංගණනයකට වඩා ක්‍රමවත්, එහෙත් අධික වියදමක් නොවන වැඩපිළිවෙළකින් රටේ පෝෂණය පිළිබඳ වටිනා තොරතුරු සොයාගත හැකි වනු ඇත.
මේ කතා සියල්ල මැද මා අද සැරසෙන්නේ සියවස් ගණනාවක් ලෝ පුරා දුප්පත් පෝසත් මානවයන්ගේ කුසගිනි නිවූ සුප් ගැන කියන්නටය. සුප් යනු ඉතා සරල ආහාරයකි. එහෙත් එහි ඉතිහාසය සරල නැත.
සුප් මුලින්ම හැදුවේ කවුදැයි කිසිවකුට නිශ්චිතව කියන්නට බැරි මුත්, මිනිසා ගින්දර භාවිත කරන්නද, ආහාර තම්බා ගන්නද ඉගෙනගත් කාලයේම සුප්වල මුල් ස්වරූපයන් බිහි වන්නට ඇත. චීනයෙන් හමු වූ වසර විසිදහසකට ආසන්න පැරණි මැටි බඳුන් ආහාර තම්බා පිසීමේ ඉතා පැරණි සාක්ෂි අතර වෙතත්, ඒවායේ පිසූයේ සුප්ම බවට නිශ්චිත සාක්ෂි නැත. අද ඉරාකය පිහිටි පුරාණ මෙසපොතේමියාවේ බැබිලෝනියානු මැටි පුවරුවල, ක්‍රි.පූ. 1700 පමණ කාලයට අයත් මස්, එළවළු හා සුවඳ ද්‍රව්‍ය යොදා පිසූ හොදි වට්ටෝරු හමු වී තිබේ. මධ්‍යකාලීන යුරෝපයේ දුප්පත් පවුල්වල එකම බඳුනක එළවළු, ධාන්‍ය හා ලැබෙන මස් කැබැල්ලක් තම්බා සකස් කළ පොටේජ් නම් ආහාරය බොහෝ දෙනකුගේ කුසගිනි නිවීය.
ඉස්තාන්බුල් නුවර ජීවත් වන මට තුර්කි ජාතිකයන්ගේ විචිත්‍ර ආහාර සංස්කෘතියේ නොවරදින අංගයක් වන සුප් බඳුන් ගැන ඇත්තේ රස උතුරන කුතූහලයකි. මෙරට සුප් හඳුන්වනු ලබන්නේ ‘චෝර්බා’ යනුවෙනි. රතු පරිප්පු යොදා සකස් කරන ‘මෙර්ජිමෙක් චෝර්බා’ ඉතා ජනප්‍රියය. සමහර ආපණශාලාවල උදෑසනම සුප් ලැබෙයි. රාත්‍රියේ බොහෝ ප්‍රමාද වීත් උණුසුම් සුප් බඳුනක් පානය කළ හැකිය.
ඔටෝමාන් අධිරාජ්‍යය සමයේ සුප් පාලකයන්ගේ මාලිගාවල සිට පුණ්‍යායතනවල පොදු මුළුතැන්ගෙවල් දක්වා පැතිරී තිබිණි. දුප්පතුන්ට ආහාර දුන් එවැනි මුළුතැන්ගෙවල් තුර්කි සමාජ ඉතිහාසයේ වැදගත් කොටසකි. අදටද නගරයේ ඇතැම් තැන්වල සුප් හා පාන් දන්සල් අවුරුද්ද තිස්සේම පවත්වාගෙන යන බවත්, සමහර පුස්තකාලවල පරිශීලකයන්ට දිවා ආහාරයට සුප් හා පාන් නොමිලේ පිරිනමන බවත් මා අසා තිබේ.
අපේ වැඩබිම ආසන්නයේ ඇති අවන්හලක පිළියෙල කරන ‘කෙල්ලෙ පාචා’ (Kelle Paça) නම් සුප් වර්ගය බොහෝ දෙනා තලු මර-මරා රස විඳින අහරකි. ‘කෙල්ලෙ’ යනු හිසය. ‘පාචා’ යනු සතුන්ගේ පාද ආශ්‍රිත කොටස්ය. බැටළුවන්ගේ හිස, පාද සහ ඇතැම් විට වෙනත් ඇටකටු හා මස් කොටස් දිගු වේලාවක් තම්බා, සුදුලූනු, විනාකිරි හා වෙනත් රසකාරක එක් කර මේ සුප් පිළියෙල කරනු ලැබේ. රෝගි වූවන්ට හා ශල්‍යකර්මයකින් පසු සුවය ලබන්නන්ට එය ලබාදීමේ සම්ප්‍රදායක්ද තුර්කියේ තිබේ. එහෙත් එහි රෝග සුව කිරීමේ විශේෂ බලයක් ඇතැයි විද්‍යාත්මකව තහවුරු වූ බවක් මා දන්නේ නැත. මට වඩාත්ම වැදගත් වන්නේ වෙනත් කරුණකි. අපේ රටේ බොහෝ විට ඉවත දමන අලුත් සත්ත්ව කොටස් පවා ඔවුහු දිගු වේලාවක් පිස, රසවත් ආහාරයක් බවට පත් කරගනිති. ආහාරයක් නිර්මාණය කිරීම යනු මිල අධික අමුද්‍රව්‍ය සොයාගැනීම පමණක් නොව, තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්නා දැනුම හා සංස්කෘතියද බව මේ සුප් බඳුන අපට කියා දෙයි.
ප්‍රංසයේ ලූනු සුප් අඩු වියදම් ආහාරයක්ව පටන්ගෙන, පසුව චීස් දමා පිළිගන්වනු ලබන ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් විය. ‘රෙස්ටුරන්ට්’ යන වචනයේ ඉතිහාසයද සුප් සමඟ බැඳේ. දහඅට වැනි සියවසේ ප්‍රංසයේ ශරීර ශක්තිය යළි ගෙනදෙන්නේ යැයි සැලකූ පෝෂ්‍යදායි මස් හොදි ‘රෙස්ටොරටිව්’ ලෙස හැඳින්විණි. එවැනි ආහාර අලෙවි කළ ස්ථාන සමඟ නූතන ‘රෙස්ටුරන්ට්’ සංකල්පය වර්ධනය විය.
ජපානයේ ‘මිසෝ සුප්’ සෝයා බෝංචි පැසවීමෙන් සාදාගත් මිශ්‍රණයකින් පිළියෙල කරන අතර, රාමෙන් වැනි නූඩ්ල්ස් සුප් සම්පූර්ණ ආහාර වේලක් බවට පත්ව තිබේ. යුක්රේනයේ බීට්රූට් යොදා සකස් කරන බෝර්ෂ්ට් එරට ජාතික අනන්‍යතාවේ කොටසකි. යුනෙස්කෝව 2022 දී ‘අස්පර්ශනීය සංස්කෘතික උරුමයක්’ ලෙස මේ සුප් පිළියෙල කරන සම්ප්‍රදාය පිළිගත්තේය. මොරොක්කෝවේ ‘හරීරා’ රාමසාන් උපවාසය අවසන් කරන අවස්ථාවල පවුල් එකතු කරන ආහාරයකි.
තුර්කියේ ‘චෝර්බා’ යනුවෙනුත්, උතුරු ඉන්දියාවේ ‘ෂෝර්බා’ යනුවෙනුත් සුප් හැඳින්වෙන්නේ එකම පර්සියානු වචනයකිනි. ‘පාචා’ යන වචනයටද පර්සියානු මූලයක් ඇත. හින්දී භාෂාව ඉන්දු-යුරෝපීය පවුලටත් තුර්කි භාෂාව තුර්කි පවුලටත් අයත් වුවද, පර්සියානු භාෂාව හරහා ආහාර වචන දෙපැත්තටම ගමන් කළේය. බත් හඳුන්වනු ලබන ‘පුලාව්’ හා ‘පිලාව්’, චීස් හඳුන්වන ‘පනීර්’ හා ‘පෙයිනිර්’ ඒ අතර වෙයි. එහෙත්, නම සමාන වුවත්, ආහාර මුළුමනින්ම සමාන නොවේ; තුර්කියේ පෙයිනිර් යනු සියලු චීස් වර්ග සඳහා පොදු වචනයකි.
මේ අතර ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට සුප් සම්පූර්ණයෙන්ම ආගන්තුකයැයි කිව නොහැකිය. දකුණු ඉන්දියාවේ රසම්, අපේ තැම්බුම් හොදි හා කොළ කැඳ එවැනි දියරමය ආහාර සම්ප්‍රදායන්ය. එහෙත් බටහිර රටවල මෙන් ප්‍රධාන ආහාරයට පෙර වෙනම සුප් බඳුනක් පිළිගැන්වීම අපේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වූයේ නැත. එනිසාම අඩු වියදමකින් පිළියෙල කරගත හැකි ප්‍රායෝගික ආහාර ක්‍රමයක් අපට අහිමි වුණාදැයි මට සිතේ.
සුප් බඳුනක් යනු හැම විටම සුඛෝපභෝගි ආහාරයක් නොවේ. එය දුප්පත්කමට මුහුණ දුන් මිනිසුන්ගේ නිර්මාණශීලිත්වයත්, ආහාර අපතේ නොයැවීමේ පුරුද්දත්, ඇති දෙයක් බෙදාගෙන කෑමේ මනුෂ්‍ය ගුණයත් එක්තැන් වූ තැනකි. එමෙන්ම එය තරුපහේ අහර වේලටද ගැළපෙන දෙයකි.
රටක සියලු දෙනාගේ කුසගිනි නිවීමට අවශ්‍ය වන්නේ හැම විටම මිල අධික ආහාර නොවේ. දැනුම, සැලසුම, සාධාරණ බෙදාහැරීම හා එකිනෙකා ගැන සිතන මනුෂ්‍යත්වය නොවේදැයි අද රාත්‍රී සුප් බඳුන තොල ගමින් මම කල්පනා කළෙමි.
( Silumina Thilakasitha 18- 10 -2026)

No comments:

Post a Comment