Tuesday, November 17, 2026

අන්තාලියා -සංචාරක අග නගරයක සිට ලියමි


 සංචා­ර­යක් නිමවා ආපසු එන විට අපේ මත­කයේ රැඳෙන්නේ කුමක්ද? දැක බලා­ගත් සුන්දර ස්ථානද? ඡායා­රූ­ප­ව­ලට හසු කර­ගත් අපූරු දර්ශ­නද? එසේත් නැති නම් ඒ ගම­නේදී සිතට දැනුණු සුව­යද? දකුණු තුර්කියේ මධ්‍ය­ධ­රණී මුහුදු වෙරළේ පිහිටි අන්තා­ලි­යාවේ දින කිහි­ප­යක් ගත කර ආපසු පැමිණි අපට සිතුණේ, එය තුන්වැනි කරුණ බවයි.


කොළඹ කල­බ­ල­යත්, ඉස්තා­න්බුල් නග­රයේ නිමක් නැති රථ­වා­හන තද­බ­ද­යත් හුරු­පු­රුදු අපට අන්තා­ලි­යාව වෙනස්ම අත්දැ­කී­මක් විය. උදෑ­සන මුහුදු සුළඟ විඳි­මින් නිද­හසේ ඇවි­දී­ම­ටත්, කිසි­ව­කට හදිසි නොවී කෝපි කෝප්ප­යක් තොල­ගෑ­ම­ටත්, පැය ගණ­නක් මුහුද දෙස බලා සිටී­ම­ටත් එහි ඕනෑ තරම් ඉඩ තිබිණි.
මෙහිදී ‘මෙය නම් බැලිය යුතු­මය’ කියා කිව හැකි සුවි­ශේෂී ස්මාර­ක­යක් සොයා යෑමේ අව­ශ්‍ය­තා­වක් අපට දැනුණේ නැත. එයින් අද­හස් වන්නේ සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කරන කිසි­වක් එහි නැති බව නොවේ. ඉති­හා­සය සම්බන්ධ දේ, මන­රම් වෙරළ තීර, විනෝ­දා­ස්වාද මාර්ග ඒ සියල්ල මෙහි තිබේ. එහෙත්, ඒ සිය­ල්ල­ටත් වඩා අන්තා­ලි­යාව අපට දෙන්නේ මාන­සික නිද­හ­සකි. සම­හර විට කිසි­වක් නොකර සිටී­මට ලැබී­මත් සංචා­ර­යක වටිනා අත්දැ­කී­මක් නොවේද? සතියේ හෝ දින දහයේ තුර්කි සංචා­රක පැකේ­ජ­ව­ලට අන්තා­ලි­යාව අනි­වා­ර්ය­යෙන් අඩංගු වන්නේ නැත. ඒ, එහි කැප­දො­කි­යාවේ, ට්‍රෝයි නග­රයේ හෝ පමු­ක්කලේ වැනි මහා විස්ම­කුරු දේ නරඹා සැණින් එන්නට පුළු­වන් තැනක් නොවී­මය. එහි ඇත්තේ නිවී­මය. එහි යා යුත්තේ දින තුන-හත­රක් නැති නම් සති­යක් හමා­රක් විවේක සුවය විඳි­න්න­ටය.
මෙහි සංචා­රක කර්මා­න්තය නග­රයේ සාමාන්‍ය ජීවි­තය සමඟ මුහු වී තිබේ. සංචා­ර­ක­යාගේ අව­ධා­නය දිනා­ගැ­නී­මට හැම­තැ­නම තර­ග­යක් පව­තින බවක් අපට නොදැ­නිණි. වෙළෙ­ඳ­සල්, ආප­ණශාලා, හෝටල් තම තමන්ගේ වැඩ කර­ගෙන යයි; තෝරා­ගැ­නීමේ නිද­හස සංචා­ර­කයා සතුය. අප ගිය ආප­ණ­ශාලා කිහි­ප­යක ආහා­ර­පා­න­වල මිල ඉස්තා­න්බුල්හි සංචා­රක ප්‍රදේ­ශ­ව­ලට වඩා අඩු බවක් පෙනිණි. සුඛෝ­ප­භෝගී හෝටල් සහ ජන­ප්‍රිය වෙර­ළ­බඩ ස්ථාන­වල මිල ඊට වෙනස් වුවත්, විවිධ විය­දම් මට්ට­ම්ව­ලට ගැළ­පෙන තෝරා­ගැ­නීම් රාශි­යක් තිබේ.

අන්තා­ලි­යාව වෙර­ළ­කට සීමා වූ කුඩා නග­ර­යක් නොවේ. එය විශාල භූමි ප්‍රදේ­ශ­යක පැති­රුණු සංචා­රක කලා­ප­යකි. කොන්යාල්ති හා අපේ හෝට­ලය තිබූ ලාරා වැනි වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­වල පළල් මාර්ග, උද්‍යාන සහ ඇවි­දීමේ මංතීරු යහ­මින් දක්නට තිබිණි. එබැ­වින් සංචා­රක සමයේ ජනා­කීර්ණ ස්ථාන තිබු­ණත්, අප ගිය බොහෝ තැන්වල විවේකී බවක් දැනිණි.

පැරණි නග­රය සහ නූතන සංචා­රක ලෝකය මෙහි එකි­නෙ­කට ආස­න්නව පවතී. කාලෙ­යිචි නම් පැරණි නගර කොටසේ ගල් අතුරා ඇති පටු වීදි, පැරණි නිවාස අත­රින් ඇවිද යන විට වෙනත් යුග­ය­කට පිවි­සු­ණාක් මෙන් දැනේ. රෝම අධි­රාජ හැඩ්‍රි­යන්ගේ නමින් හැඳි­න්වෙන දොර­ටුව එහි ප්‍රසිද්ධ ස්ථාන­යකි. එයින් මඳක් ඈත් වන විට නවීන හෝටල් සහ වෙළෙඳ සංකීර්ණ හමු වේ. අතීත ස්මාරක විනාශ නොකර අනා­ග­ත­යට ඉඩ සැල­සීම මේ පුර­ව­ර­යේද සිදු වෙමින් තිබිණි.
දුදෙන් දිය ඇලි ද්විත්වය අපේ ගමනේ තවත් සුන්දර අත්දැ­කී­මක් විය. නග­ර­යට ඈතින් රට ඇතු­ළට වන්නට ඇති ඉහළ දිය ඇල්ල මීටර් 15ක් පමණ උසය. පහළ දුදෙන් දිය ඇල්ල නම් මීටර් 40ක් පමණ උස පාෂා­ණ­මය බෑවු­ම­කින් කෙළින්ම මධ්‍ය­ධ­රණී මුහු­දට කඩා­හැ­ලෙයි. එකම දිය ඇල්ල වෙර­ළ­බඩ උද්‍යා­නයේ සිටත්, මුහුදේ යාත්‍රා­වක සිටත් දකින විට එහි සුන්ද­ර­ත්වය වෙනස් වෙයි.

මුහුදේ සිට බලන විට, පාෂා­ණ­මය බෑවුම් මත ගොඩ­නැ­ඟුණු නග­රය, මුහුද දෙස බලා සිටින දැවැන්ත ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් මෙනි. නග­ර­යද පේන්නට දුදෙන් ඇල්ල නර­ඹ­න්නට ගිය සංචා­රක බෝට්ටු ගමන මගේ මත­කයේ වඩාත්ම රැඳුණු අත්දැ­කී­මයි. බෝට්ටුවේ සිටි සංචා­ර­කයෝ ගී ගය­මින්, නට­මින්, සිනා සෙමින් විනෝද වූහ. එකි­නෙ­කාගේ භාෂා නොදන්නා මිනි­සුන්ට එකම රිද්ම­ය­කට එක් වීමට පරි­ව­ර්ත­ක­යකු අවශ්‍ය නොවීය. එහිදී ජාතිය, වයස, තත්ත්වය කිසි­වක් වැද­ගත් නොවීය.
එහෙත් මා වඩාත් පුදු­ම­යට පත් කළේ මේ නිහඬ නග­රය පිටු­පස ඇති සංචා­රක කර්මා­න්තයේ පෘථු­ල­ත්ව­යයි. 2025 වස­රේදී අන්තා­ලි­යා­වට පැමිණි සංචා­ර­ක­යන් සංඛ්‍යාව මිලි­යන 17ක් පමණ විය. අන්තා­ලියා ගුව­න්තො­ටු­පොළ හරහා ඒ වසරේ ගමන් කළ මගීන් සංඛ්‍යාව මිලි­යන 39කි. ඒ පැමි­ණීම් සහ පිටත් වීම් දෙකම ඇතු­ළත් සංඛ්‍යා­වකි.

මේ සංඛ්‍යා ශ්‍රී ලංකාව සමඟ සස­ඳන විට අපට තවත් යන්නට තිබෙන දුර හිතා­ගත හැක. අන්තා­ලි­යාව තුර්කියේ එක නග­ර­යකි; ශ්‍රී ලංකාව සමස්ත රටකි. අපේ රටේ වෙරළ තීර, දිය ඇලි, පුරාණ සැම­රුම්, සංස්කෘ­තික ගුණාංග ආදි විවි­ධ­ත්ව­යෙන් පිරී තිබේ. එහෙත් 2025 වස­රේදී ශ්‍රී ලංකා­වට පැමිණි මුළු සංචා­ර­ක­යන් සංඛ්‍යාව මිලි­යන තුන­කට අඩුය. අන්තා­ලි­යා­වට පැමිණි සංචා­ර­ක­යන් ඊට හය ගුණ­ය­ක­ටත් වැඩිය. ගුව­න්තො­ටු­පොළ අතින් බැලු­වද එසේ­මය. 2025දී ශ්‍රී ලංකාවේ සියලු අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­පොළ හරහා ගමන් කළ මගීන් මිලි­යන 10 ට මඳක් වැඩි වන අතර, අන්තා­ලියා ගුව­න්තො­ටු­පොළ පම­ණක් මගීන් මිලි­යන 39ක් හසු­රුවා ඇත.
අන්තා­ලි­යාව යුරෝ­පයේ සහ රුසි­යාවේ ප්‍රධාන නගර රැසක සිට පැය කිහි­ප­ය­කින් ළඟා විය හැකි ඍජු ගුවන් සම්බ­න්ධතා ගොඩ­න­ඟා­ගෙන තිබේ. සියලු පහ­සු­කම් එක මිල­කට සල­සන ‘ඕල් ඉන්ක්ලූ­සිව් රිසෝට්’ සංස්කෘ­තිය පවුල් පිටින් පැමි­ණෙ­න්නන්ට සාධා­රණ පිරි­වැ­ය­කට නිවා­ඩුව ගත කිරී­මට ඉඩ සල­සයි. වඩාත්ම වැද­ගත්, අන­වශ්‍ය හිරි­හැ­ර­ව­ලින් තොර, සුමට, සුර­ක්ෂිත පරි­ස­ර­යක් පව­ත්වා­ගැ­නී­මට ඔවුන් සමත් වී තිබී­මයි.

එබැ­වින් සංචා­ර­ක­යන් අද්දා­ගැ­නී­මට ආක­ර්ෂ­ණීය ස්ථාන පෙන්වීම පම­ණක් ප්‍රමා­ණ­වත් නොවන බවත්, ඔවුන්ට නිද­හසේ විවේක සුව විඳි­න්නට, සාධා­රණ මිල­කට ආහාර ගන්නට, ආර­ක්ෂි­තව ගමන් කර­න්නට, කන්ක­ර­ච්ච­ල­ය­කින් තොරව නිවා­ඩුව විඳි­න්නට ඉඩ සැල­සී­මත් ඒ තර­ම­ටම වැද­ගත් බවත් මට සිතිණි.
අන්තා­ලි­යා­වෙන් සමු ගන්නා මොහොතේ මට සිතුණේ, අප සංචා­රය කරන්නේ ලහි­ල­හියේ අරුම පුදුම තැන් බල­න්නට පම­ණක් නොවන බවයි. ඒ සම­හර විට අප­ටම අම­ත­කව ගිය ජීවි­තයේ සරල සතුට නැවත සොයා­ගැ­නී­ම­ටය. සම­හර නගර අප­ව ­පු­දු­ම­යට පත් කරයි. තවත් නගර අපට දැනුම දෙයි. එහෙත් අන්තා­ලි­යාව වැනි නගර ජීවි­තය ටිකක් සෙමෙන් ගත කර­න්නට උග­න්වයි. එවැනි තැන­කට නැවත යන්නට හිතෙන්නේ නොදුටු දෙයක් ඇති නිසා නොවේ; එහිදී දැනුණු සැහැ­ල්ලුව නැවත විඳි­න්නට ඇති ආශාව නිසාය. මේ මාන­සික වින්ද­නය නිර්මා­ණය කිරීම සඳහා හීන්සී­රුවේ දැවැන්ත සංචා­රක පද්ධ­ති­යක් එපුර නිර්මා­ණය වී තිබෙන නිසා එය ලෝකයේ සංචා­රක අග­නු­ව­රක් ලෙස හැඳින්වේ.

No comments:

Post a Comment