Saturday, March 28, 2020

අටවිසි මහල - 2 ( බිම්මහල )



(මේ නවකතාවේ මුල් කොටස මෙතනින් .. )
මනම්පෙරී මහත්තයාද එව්වේ කියා ඇසු විට තුටු පහටු  මුහුණින් යුතුව තරුණයා .

' ඔව් මහත්තයා මෙන්න දෙන්න කියල දුන්නු ලියුම " යි පරෙස්සමට නැවු කරදාසියක් මනෝරන්ජන් වෙත පෑවේය.

"ඕනි නෑ.ඔය ලියුමේ තියන දේවල් මම දන්නවා . නම මොකක්ද කිව්වේ ?"

"අසේල මහත්තයා ". 
"මම අසේල කියන්නද නැත්නම්  මහත්තයා කියන්නද  ?"
මුලින් වික්ෂිප්ත වූ තරුණයා ඊළඟට හිකිස් ගා හිනා වුනේය . වරද නිවැරදි කරගෙන ආයෙත් කතා කළේය

' මගේ නම අසේල. අසේල ලංසක්කාර"

' වාඩි වෙන්න '
අසේල වටපිට බලා බොහෝ යටහත් පහත්ව වාඩි වුනේය. මේ අතර මනෝරන්ජන්  ප්ලාස්ටික් වතුර බෝතලය  ගෙන වීදුරුව පුරවා බීගෙන බීගෙන ගියේය '. එක වතුර බින්දුවක් ඉහිරවන්නේ නැතිව බෝතලය හා කෝප්පය හැසිරවූ විලාසය දෙස බලා සිටි අසේලට සිතුනේ මෙතැන නම් හරි පිළිවෙලට ඉන්න වෙනවා. කියලාය.

' වතුර  ඕනිද ?  "
" එපා මහත්තයා "
' එහෙනම් සැර බීමක් බොනවද ?"
අසේල තිගැස්සී  ගියේය . ඒත් චකිතය සඟවාගෙන සිය බෑගයේ සිපරය  ඇර සහතික මිටිය එලියට ගත්තේය

සහතික දැමු ෆයිල්  කවරය   අතට ගත් මනෝරන්ජන් එය උඩින් පල්ලෙන් පෙරලා බලන  අතරේම පෙර ඇසු ප්‍රශ්නය නැවත ඇසුවේය.

'සැර ජාති බොනවාද ?"

අසේල කල්පනාවට වැටුනේය . මේ ඔහු පැමිණ සිටින්නේ ඉන්ටවිව් එකකට බව යලි සිහියට ගත්තේය .

"මෙහෙමයි මහත්තයා ඉඳ හිටලා බියර් එකක් බොනවා . සැර බීමක්නම් බොහොම කලාතුරකින් . සයිට් එකේ ස්ලැබ් එකක් දාන දවසට එහෙම .."
එවේලේ මනෝරන්ජන් කන්තෝරු දොරෙන් එලියට බැස සිල්වා යි මුර ගෑවේය .

සිල්වා වනාහී ඉතා විශාල ශරීරයක් ඇති හිසේ කෙස් සේම මුවේ දත් ද සියල්ල වියෝ වී ගොස් සිටියද මුව පුරා හොඳින් සිනාසෙන සිල්වාමය. ඔහු හැමදාම ඇන්දේ අලුතින් සෝදා මදින ලබන ටී ෂර්ටයක් හා  කොට කලිසමකි . ඔහු එකම ඇඳුම් කට්ටලය එක දිගට දවස් දෙකක් ඇන්දේම නැත .

සිල්වා දොරෙන් ඇතුලට එද්දී මනෝරන්ජන්ට කල්පනා වුනේ මුල්ම දවසේ සිල්වා ඉන්ටවිව් ආ හැටියි.  වැඩබිම් කන්තෝරුවට සහායකයෙක්  ඕනෑ බව දන්වා ගාලු පාරේ තේ කඩ කිහිපයක අලවා තිබු දැන්වීමක් දැකපාර සොය සොයා මෙතැනට ආ පිරිස අතරේ ඔහුද සිටියේය .ඒ දැන්වීමේ සම්මුඛ පරීක්ෂණයට අයුතු දිනය හා වෙලාවද ලියා තිබුනේය.

 කන්තෝරු ඉස්තෝප්පුවේ සිල්වා වාඩි වී සිටියේ තමන්ගේ වාරය එනතුරුය. එදාත් ඔහු ඇඳගෙන ආවේ කොට කලිසම හා ටී ෂර්ට් එකය . කාමරය  ඇතුලේ වෙනත් සාකච්චාවක හිටියා වුනත් මනෝරනජන්ට එළියේ  පොරොත්තු පුටු පෙලේ වාඩි වී සිටින පිරිස පෙනේ. ඒ අතරින් සිල්වා කැපී පෙනුනේය . සිල්වා ආගන්තුක  බවක් නොපෙන්වා තමන් ඉදිරියේ  බිත්තියේ එල්ලා තිබු කුඩා  කන්නාඩිය අසලට ගොස් එහි දාරයේ වූ පනාව අතට ගන්නා හැටි හා ඉන්පසු සිය  කෙස්ගස් එකකුදු නැති හිස මත අතුල්ලා  ආපහු පනාව තබන හැටි ,  හිනැහෙමින් සිය අසුනවෙත යන අයුරු ඇතුළේ සිටි මනොරන්ජන් බලා සිටියේය,  එදා ඉන්ටවිව් පටන් ගන්නා වෙලාවට ඒ වැඩේ කිරීම ස්ටෝර්කීපර්ට බාර දෙමින්  මනොරන්ජන්  රහසක් කියා පිට වී ගියේය.

"ඔය කට්ටිය එක්ක පොඩ්ඩක්  කතා කරපන් . ඉන්ටවිව් එකක් තිව්ව කියන්නත් එපැයි. ඊට පස්සේ අර ඉන්න තට්ට මහත මෑන්ට හෙට ඉඳන් වැඩට එන්න කියාපන් "

මේ ලෙස කල්පනා ලොවකට  වැදී  සිටින සිය ලොක්කා දෙස සිල්වා මද වෙලාවක් බලා සිටියේය.

සිල්වා හා ඔහුගේ ලොක්කා යන දෙදෙනාම දෙස අසේල කුහුල් සිතින් බලා සිටියේය . ඒ අතරේ රුහුණූ කුමාරී කෝච්චිය හඬ තලාගෙන මුහුද අද්දරින් හැල්මේ දිව්වේය  .

කෝච්චියේ ශබ්දය  නිසා මනොරන්ජන්  හා සිල්වා අතර කෙරුණු සංවාදයේ එක වචනයක්වත් අසේලට අසුනේ නැත . ඒත් අර  දෙන්නාට දෙන්නා කතා කරන දේ ඇහෙන්නේ කොහොමදැයි ඔහු කල්පනා කළේය.

අඳුර වැටෙද්දී  අලුත්  සුපර්වය්සර්වරයා  තේරීමේ  සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙමින් තිබිණි . අයදුම්කරු අතේ අඩක් පිරවූ  සැර බීම වීදුරුවක් තිබුණු අතර ඔහුගේ සහතික තිබු ෆයිල්  කවරය කලින් තිබූ තැන දැන්  බැදපු සුදුළුණු පීරිසියක් තිබුනේය .

මනෝරනජන්  ඉන් එක ලුණු ගෙඩියක්  ගෙන රොඩු  ඉහිර වෙන්නේත්  නැතිව ලස්සනට පොතු හැර බික් සියල්ලම  එකින් එක වරින් වර හැපුවේය.

' අසේල  මේ ඉන්ටවිව් එකෙන් තේරිලා මෙහෙට ගත්තොත් එහෙම මේ වගේ හැමදාම බොන්න ලැබෙන්නේ නෑ . ස්ලැබ් වල කොන්ක්‍රීට් දාන දවසට විතරයි.  ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු දෙකටම විසිඅට පාරයි "

බොනවා වගේ පෙන්වන්නට වීදුරුවට දමා ගත් ජින් ස්වල්පයට වැඩිපුර ටොනික් දමා මුවට ලං කරගත් මනොරන්ජන්  යලි වීදුරුව පැත්තකින් තිබ්බේය . ඉන්පසු  පුටුව පස්සට දමාගෙන යලි කෙලින් වී වාඩි වුනේය

මේ වනවිට නුපුරුදු බීමෙන්  වඩි දෙකක් උගුරෙන් පහළට යවාගෙන ලා බමන මතයකින් සිටි අසේලගේ කෝල ගතිය දියවී ගොස් තිබුනේය.

" අසේල මට විස්තර කියන්න .  වැඩ කරපු තැන්වලයි සිමෙන්තියි කොන්ක්රීටුයි ගැන විස්තර ඇර ඕනි දෙයක්"
" ඒ කිව්වේ මහත්තයා  "
" අම්මා ගැන , තාත්තා ගැන, ගම ගැන ගෑනු ළමයා ගැන. ඔය මොනවා හරි කියන්න "

අසේල  කෝල ලෙස හිනැහුනේය. යලි කල්පනාවට වැටුනේය .

අම්මා ගැන ලස්සනට යමක් කියන්නට තිබුනා නම් හොඳ නොවේද? එහෙත්  ඈ ගැන කියන එක තේරුමක් නෑ.  බැටරි ඒජන්සිය නැති වූදා සිට තාත්තා තමාත් නංගිලා දෙන්නාත්  ජීවත් කරවීමට විඳි දුක. අවසාන කාලයේ ආතරයිටිස් හා  ඩිමෙන්ශියා රෝගවලින්  පීඩා වින්ද ඔහු මිය ගිය අන්දම ශෝකී මතකයක් සේ ඔහු වෙතට ආවේය. එහෙත් ඔහු සොම්නස් සිතින් මතක් කළේ තාත්තා සමග අලුත් කාරයෙන් පානදුර සිට හිනිදුම අම්මලා ගමේ ගිය දවස් ගැනය . අසේලට පොඩි කාලේ පටන්ම කාරයේ ඉදිරි පෙළ අසුනේ යන්නට ඉඩ ලැබුනේ අම්මා තාත්තා අසලින් වාඩි වී යෑමට කැමැත්තක් දැක්වුයේ නැති නිසාය. ජපන් සකාඩා බැටරි ඒජන්සිය  තිබුණු කාලේ තාත්තාගේ අතේ යහමින් මුදල් තිබ්බේය. ඒ කාලේත් ඉන් පස්සෙත් අම්මා හා තාත්තා හැසුරුනේ එක ගෙදර සිටිනා අමුත්තන් දෙන්දෙනෙකු වගේය.

මොකක්දෝ හේතුවක් නිසා තාත්තාගේ බැටරි  ඒජන්සිය නැතිව ගියේ කාර් එක හැර හැම දේම ඔහුට අහිමි වුනේ  ණයතුරුස් නිසාය . මේ කරදර කාලයේදී දවසක් ඔහු අසේලට කතා කළේය. අසේල ඒ වනවිට සිටියේ  අටේ පංතියේය .
' පුතේ ඔයා දන්නවනේ ඒජන්සිය නැතිව ගියායින් පස්සේ අපට සල්ලි අමාරු උනා.  ෂොප් එකත් දෙන්න උනා . ණයට බඩු ගත්ත මිනිස්සු පොලු තිබ්බා." අසේල තාත්තා දෙස මහත් පුදුමයෙන් බලා සිටියේය. පාඩම් වැඩ  ගැන දෙන අවවාද හා නංගිලා සමග රණ්ඩු නොකරන්නැයි කියවෙන  තරවටු කිරීම් හැර මේ වගේ බරපතල කතාවකට තාත්තා කවදාවත් තමන්ව අල්ලා ගත්තේ නැත. ඒ නිසා තමන් වැඩිහිටියෙක් බවට පත් වී ඇතැයි යන සන්තෝෂයෙන් අසේල හිනැහුනේය.  අනෙක් අතට මේ වගේ තීරණාත්මක දෙයක් කතා කරන්නට කෙනෙක් තාත්තට හිටියේ නැති බව , අඩුම තරමේ අම්මාවත් ඔහුට ඇහුම්කන් නොදෙන බව අසේල දැන සිටියේය.

මදහස පිරි මුහුණින් ඔහු දෙස   බලා සිටි මනෝරන්ජන් මෙසේ ඇසුවේය.

' මොකද තාත්තා කිව්වේ කාර් එක විකුනලා කඩයක් දාමු කිව්වද ? "

අසේල තැති ගත්තේය . තමන් මෙතෙක් වෙලා කල්පනා කරමින් සිටියා පමණකැයි  දැනුණු හැම දෙයක්ම ඔහු බමන මතින් කියවා ඇත . දැන් ඉතින් මොනවා කරන්නද දිගටම කතා කරනවා .


-මීළඟ කොටස

Photo Source_ Depositphotos.com















Tuesday, March 24, 2020

ගෝලයෝ අට දෙනාගේ කතාව


හැටේ  දශකයේ මුල් අවුරුද්දක ගුරු මාරුවක් ලද තරුණ ගුරුවරයාට හමුවන්නේ අන්ත අසරණ දුෂ්කර ගම් පියසක පාසැලකි. මේ පාසැලේ පන්ති තිබුනේ අටවැන්න වෙනතෙක් පමණි . වාර දෙකක් තුනක් ඉගැන්වීම් කළ විට  ගුරුවරයා එක් පොරොන්දුවක් සිය පන්තියේ දරුවන්ට ලබා දෙයි.

"මේ ගමේ ඉස්කෝලේ  කවරදාකවත් අටේ පන්තියෙන් ඉහලට කිසිම ළමයෙක්  පාස් වෙලා නෑ . ඒ හන්දා තමයි ඉහළ පන්ති දාන්න කවුරුවත් උනන්දු වෙලා නැත්තේ .මම උඹල සියලුම දෙනා අටේ පන්තිය පාස් කරවලා මේ ඉස්කෝලෙට සීනියර් පන්ති  දානවා"

 ළමයි  වෙනදාට වඩා උනන්දුවෙන්  ඉගෙන ගත්හ. ඒ අතර තරුණ ගුරුවරයා ඔවුන්ට නාට්‍ය කලාව, චිත්රපට, විශ්ව සාහිත්‍ය ඈ නොයෙක් විෂය භාහිර ක්‍රියාකාරකම් ගැන හෙළිදරව් කළේය. තමා විශ්ව  විද්‍යාලයේදී හැදෑරූ ජගත්  සාහිත්‍යය ගැනත් , ලෝක දේශපාලන තොරතුරුත්  ළමයින් සමග කතා බහ කළේය .  අනිත් සියලු පන්තිවල සිටි ළමයින්ට වඩා විශේෂ ගතිගුණ හා විෂය අවබෝධයක් සහිතව  මේ පන්තියේ සිටි කොල්ලන් හය දෙනා හා කෙල්ලන් දෙදෙනා ඉගෙන ගත්හ.

අවසාන වාර විභාගයෙන් පන්තියේ සියලු දෙනා ඉතා හොඳ ලකුණු ලබා ගත් නිසා ඉතා සතුටටත් උද්යෝගයටත් පත් තරුණ ගුරුවරයා ඉන්පසු සිය උපරිම ශක්තිය යෙදවූයේ පාසැලට  ජේෂ්ට පන්ති ලබා දී තම ගෝල පිරිසට ඉහළටම  ඉගැන්වීමටය. ඒ ඉලක්කයට යාමට  පන්තියේ සිටි පිරිමි දරුවන්ද මහත්  උනන්දුවෙන් සිටියෝය. එහෙත්  සාම්ප්‍රදායික ගම්මානවල ගෑනු ළමයින්ට ඉහළට ඉගැන්වීමට  මාපියන්ගෙන් අවසර නොලැබුණු නිසා කෙල්ලන් දෙදෙනා අටේ පන්තියෙන් පාසැල් ගමන හමාර කරන්නට තීන්දු වී තිබුණි.

හැමදේම සුබවාදීව අවසන් වේ යැයි සිතුවත් ඒ සටනේදී  තරුණ ගුරුවරයා හා සිසු පිරිස පරාජයට පත් වුහ.  ගුරුවරයාගේ ඊළඟ  උත්සාහය වන්නේ කිට්ටුවෙන්ම පිහිටි උසස්පෙළ පන්ති තිබෙන පාසලකට මේ දරුවන්ව  ඇතුලත් කිරීමයි . ඒත් එවන් පාසලක් තිබ්බේ අඩුම වශයෙන් හැතැම්ම දහයකටවත්  එපිටින්ය  . අනෙක් අතට ගමට හරිහමන් පාරක් තිබ්බේ නැති නිසා බස් ආවේත් නැත. .  අසරණ වූ ගුරුවරයා බලපොරෝතු  සුන් කරගෙන සිටින  ගෝල පිරිස අමතා කතා කළේය . පොඩි වේලාවක් නොවෙයි පැය තුනක  හතරක කතාවක් . ඔහු කීවේ කුමක්ද ?.....

ළමයිනේ ඉගෙන ගැනීම කියන්නේ මේ ලෝකේ මිනිහෙකුට ලබන්න පුළුවන් ලොකුම සම්පතක්. අපි වගේ දුප්පත් දුෂ්කර ගම්වල මිනිස්සු නුගත්කමින්, දුප්පත්කමින් , මෝහයෙන්,  වහල්කමින් පිරිලා ඉන්නේ අපට හරි  හමන් ඉගෙනුමක් නොලබිච්ච නිසා .  මමත් මේ වගේම දුප්පත් ගමක ඉපදිලා විශ්ව විද්යාලෙකට යන්න අහම්බෙන් වරම් ලබපු කෙනෙක්. අපේ ගම් හත අටෙන්ම ඒ වෙනකොට විශ්ව විද්‍යාලේ මොකක්ද කියල දැන ගෙන හිටපු කෙනෙක් නෑ.  අපේ පන්තිය උනන්දු කෙරෙව්වේ දුර පළාතකින් ආපු උපාධි රුවරයෙක්. ඔහු නිසා තමයි මම ලෝකේ දැක්කේ . විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් වුනේ. මේ ගම ලස්සනයි. සනීපයි ඒත් අපි මොන තරම් දුක් කන්දරාවක් විඳිනවාද? මොන තරම් නම් හූරා කෑමකට ලක් වෙනවද? අපි දුක් මහන්සියෙන් වගා කරන දේට හම්බ වෙන්නේ මොන තරම් සොච්චමද ? ඒක වෙළෙන්දෝ ඇවිල්ල ගසා කන විදිහ උඹලට පේනවා නේද?  මේ ගමේ ඉඳන් අමාරු ලෙඩෙක් ඉස්පිතාලෙට ගෙනියන්නේ  ලීයක ගැට ගහපු රෙද්දක බුදි කරවලා නේද ? 

තාමත් සනීප කර ගන්න පුළුවන් ලෙඩ්ඩු අකාලේ මැරෙන්නේ සන්නිය හදුනා, යකා ගැහුවා නැත්නම් හුනියමක් පෑගිලා කියල හිතල නේද? කොකු පණු අමාරුව හැදිලා බඩ ඉදිමිච්ච ළමයි ඔහොම වෙලා තියෙන්නේ අපලෙට කියල බෙල්ලට තඩි යන්තරයක් දාලා අතේ නුලක් බැඳලා මන්ද පොශනේන් මැරී මැරී ජීවත් වෙනවා . ගමේ  කපුවෝයි, පුජකයෝයි  හොල්මන් අවතාරයි දෙයියෝයි  ගැන කියල  උඹලව කොච්චර රවට්ටනවද ?  අල්ලපු ගෙදර  හිතවතා නෑදැයා කොඩිවින අණවින කළා කියල උඹලම  එකිනෙකා කොච්චරනම්  කොටවනවද ? 

මෙන්න මේ හේතුව හින්දා තමයි මට උඹලට ඉහළට උගන්වන ඕනි උනේ . ඒත් දැන් අපි පළවෙනි උත්සාහය පරාජයි. අපි ප්‍රායෝගික නොවන ඉලක්ක වලට ගිහින් මේ වෙලාවේ නැත්තටම නැති වෙන්න ඕනි නෑ. මේ සමාජෙටම ආපහු බැහැලා ඔය ඉගෙනීම කරන්න පුළුවන්. අලුත් දේවල් හොයන්න පුළුවන් . ඇයි මෙහෙම වෙන්නේ කියල හිතන්න පුළුවන් . උඹලගේ දරුවොවත් මේ නාරාවලෙන් ගොඩ ගැන බලපල්ලා .උන්ට හොඳට උගන්නපල්ලා. 

උඹලගෙන් එකෙක් කිතුල් මදින්නෙක්  වෙන්න පුළුවන්, ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන් ඒත් ජීවිතේ සාර්ථක කර ගන්න මුලධර්ම උඹලට අනුගමනය කරනන් පුළුවන්. ටික ටික ඉතිරි කරලා  ගෙයක් දොරක් හදලා හොඳින් ඉන්න බැරි නෑ . විශේෂයෙන්ම සමාජේ ඔලුව උස්සලා නිවටයෝ වගේ නැතිව ජීවත් වෙන්න බලාපල්ලා . 
උඹලා මොන විදිහේ පුංචි රස්සාවක් කරත් ඒක සන්තෝෂෙන් අභිමානෙන් කරපල්ලා,  එතකොට උඹලගේ  දරුවන්ට හීනමානයක් දැනෙන  එකක් නෑ තමන්ගේ අප්පා කරන රස්සාව ගැන . මෙහෙ ජීවත් වෙන්න ලොකු සල්ලියක් ඕනි නෑ. ඒ නිසා ළමයින්ට උගන්වන්න අනිවාර්යයෙන්ම හොඳට වියදම් කරපල්ලා  .  ඇල දිගේ,  ඔය දිගේ ඇවිද්දත් ඕනි වත්තකට ගියත් බඩ පිරෙන්න කන්න දේවල් තියෙනවා. කොස් තියෙනවා. පලා තියෙනවා, බිම්මල් තියෙනවා.  එලියට විසිකරන පැපොල් ඇටේ, දොඩම් ඇටේ  නිකම්ම පැලවෙනවා .

නිතරම පොත පත කියවපල්ලා. පැත්තක් ගන්නේ නැතිව කරුණු විමසපල්ලා. ගමේ අනිත් උන්ටත් වැදගත් දේවල් කියල දීපල්ලා. හොඳ මිනිස්සු ආශ්‍රය කරපල්ලා. සතුටින් විනෝදෙන්  ඉඳපල්ලා . 

ඔන්න ඔහොම කියල ඔය ගුරුවරයා ගොලයින්ගෙන් වෙන් වෙලා ගියා .  මේ ගෝලයෝ පිරිසත් තමන්ට පුළු පුළුවන් හැටිය හොඳින්  ජීවත් වුනා. හැමෝටම හොඳ ගෙයක් දොරක් තිබා. ළමයින්ට හොඳට ඉගැන්වුවා. නිතර බලන්න ආවේ නැතත් අර ගුරුතුමා එක්ක තිබ්බ බැඳීම ආදරය දිගටම තිබ්බා.

***
මෙන්න මේ කතාව කවුරුවත් නොදැන ඉන්න තිබ්බා ගිය මාසේ  නිවාඩු දවසක හැන්දෑවේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ ඉද්දි තාත්තගේ අතීත ගෝලයෝ ගැන මම හාරා අවිස්සුවේ නැත්නම් .  මට ආයෙමත් පාරක් පහුවෙලා හමු වූ තාත්තා කතාවත් සිල්වා සර්ගේ කතාවත්  මතක් වුනා .

තාත්තා ඒ කිව්වා වගේම කතාවක් මට තවත් පිරිසකට කියන්න තියෙනවා . ඒ කතාවත් මම ලියාගෙන යනවා

Image Source: Viet Vision Travel
 . 

Monday, March 23, 2020

අටවිසි මහල -1 බිම් මහල



මේ ගොඩනැගිල්ලේ  මහල් විසි අටකි . මේ නව කතාවද පරිච්චේද 28 කින් සමන්විත වෙයි. එක් පරිච්චේද්යක කතාව ලියවෙන්නේ අනුරුප ගොඩනැගිලි තට්ටුවේ ඉදිකිරීම්  වැඩ කරද්දීය.   2015 අවුරුද්දේ ලියන්නට පටන් ගත් "අටවිසි මහලේ"  සාරාංශය මුලින්ම හිතවත් කීප දෙනෙක් අතර බෙදා ගත් අතර ඒ ගැන සංවාදය දිගට ඇදුනේ නැතිකමත් මගේ කම්මැලි කමත් එක්කාසු වීම නිසා වැඩේ ප්‍රමාද විය.

නවකතාවක් ලියද්දී කවුරුවත් ඒ  කතාවේ සාරාංශය හා අවසානයට වෙන්නේ මොකක්ද කියා  මුල්ම පරිච්චේදයේ  කියන්නේ නැත. එහෙත් මම එහෙම නොවේය . මේ කතාවේ තට්ටුවෙන් තට්ටුව කතානායකයාට ජීවිතේ විවිධ අවධි සිහිපත් කරවන චරිත හා සිද්දීන් හමු වෙයි. අවසානයේ අටවිසි මහලේදී ඔහුට ලැබෙන ජීවිතාවබෝධය මහලින් මහලට ඔහුගේ අතීතාවර්ජන, පුද්ගල සම්බන්ධතා ,  මිතුරු සංවාද ඇසුරෙන් ලබුවක්ද ? නොඑසේනම් මහලින් මහල ඉහළට යද්දී තමා මුලින් සිටියේ මොන තරම් කුඩා වපසරියකද කියා පැහැදිලි වීමද ? මේ සියල්ල දැන ගැනීමට මා සමග එකතු වන්න. දින විසි අටක් හෝ සති විසි අටක් ඊට ගත වේවි  . අවසානයේ මේ කතාව සියලු අද උදහස් හා ප්‍රතිචාර සලකා  බලා මුළුමනින්ම අලුතින් සංස්කරණය කර පොතක් සේ පළ කරන්නට බලාපොරොත්තු වෙමි. 


බිම් මහලින් කොටසක් 

අගනුවරට ආසන්න නගරයක  වෙරළට යාබදව පිහිටි තැනිතලා අවලස්සන ඉඩම මුලින්ම එළිපෙහෙලි කරද්දී මේ සා කෘතිම යන්ත්‍ර සූත්‍ර වලින් නැගි ගාලගෝට්ටියක් මැවෙතැයි අසල්වැසි කිසිවෙක් නොසිතූහ.
පළමුවෙන්ම කරන ලද්දේ හතර වටෙන් එළි පෙහෙලි කර ගැල්වනයිස් රැලි තහඩු වැටකින් මේ භූමිය රහස් බිමක් බවට පත් කිරීමයි. තඩි උස ගේට්ටුව ඉඳහිට ඇරී එන යන ලොරිවලින් ගේන්නේ මොනවාද ගෙනියන්නේ මොනවාද යන කසු කුසු සෑම තැනින්ම ඇසෙන්නට විය.මේක ඇතුලේ නිධන් හාරනවාද, කසිප්පු පෙරනවාද නැතිනම් තහනම් ගුබ්බෑයමක්වත්ද කියා සිතන්නට ඉඩ දෙන තරම් ගුප්ත නිහැඬියාවකින් යුත් දවස් ගණනාවක් ගත වුනි.
මුලින්ම පොළව හෑරුනේ උදළු, සවල් හා යවුළු, අලවංගුවල උදව්වෙනි. පොළවෙන් මතුවී එන කලුපාට පස් කැටිති ප්ලාස්ටික් කැබලි අතරේ ලෝකයට නිරාවරණය වෙන නොයෙක් හුරුබුහුටි වස්තූන් දෙස මනෝරංජන බලා සිටියේ කුහුල් සිතිනි.

පළමු දවසේ පොළවෙන් උඩට මතුවූ පරණ ප්ලාස්ටික් මල් පොකුර  නිකම්ම කසල ගොඩට විසිවෙද්දී ඔහුගේ හිතේ දුකක් ඇති නොවිනි. එහෙත් ඔහු කල්පනා කලේ එය  මංගල  මල් කළඹක කොටසක් විය නොහැකිද කියලාය . දෙවන දවසේ පොළව හාරන විට මතුවූ සෙල්ලම් බෝනික්කා හැත්තෑව දශකයේ තමන් දැක හුරුපුරුදු එකක් බව මනෝරංජන්ට සිහිපත් විය. ඔහු එය පරෙස්සමින් අතට ගෙන සෝදා වියලා ගෙන වැඩබිම් කන්තෝරුවේ ලියන මේසය පසෙක තබා ගත්තේය. ඊළඟ දවසේ ඔහුට හමුවූ මිනී ඇට කැබැල්ල මොන තරම් පරණදැයි සොයන්නට ඔහු නොවෙහෙසුනේය. ඒ දෙස නොබලා ඔහු වැඩබිමේ අනෙක් පස මායිමේ පයිල් යන්ත්‍ර සවි කරන හැටි බලන්නට ගියේය.

එය තරමක්කො විශාල ඉඩමකි . කොටස් දෙකකට බෙදා තිබු වැඩබිම් කන්තෝරුවද ඊට යාබදව පරාල ඉන්දවා තුනී ලෑලි සහ ටකරන් තහඩු ඇසුරෙන් නිමවා තිබූ ඉසටෝරුවද  හැරුනුවිට මුලු වැඩ බිමම එකම මඩ ගොහොරුවක් වි තිබේ. සේවක නවාතැන හා නිලධාරි නිවස මුහුද පැත්තට වෙන්නට එකිනෙකින් තරමක් ඈත්ව පිහිටියේය. ලොකු බූට් සපත්තු දෙකක් දමාගෙන තමාට ලැබුණු කුඩා සේවක පිරිසත් සමග මනෝරන්ජන් මේ යුහුසුලු වන්නේ මහල් විසි අටකින් යුත් නිවාස සංකීර්ණයේ අත්තිවාරම ඉදි කිරීමටයි. උදේ එළිය වැටුණ මොහොතේ සිට සහ කළුවර වැටෙන තෙක් වෙහෙසෙන වැඩබිම් ශ්‍රමිකයන් තනි නොකර ඔවුන් පසෙකින් සිට උපදෙස් දෙන්නටත් කන්තෝරුවට එන ඇමතුම් වලට පිළිතුරු දෙන්නටත් පොත්පත් ලියකියවිලිවල වැඩ සම්පූර්ණ කරන්නටත් මනෝරංජන කාලය කෙසේ හෝ කළමනාකරණය කර ගත්තේය.

මුහුදු සුළඟ විසින් හැන්දෑ හිරිකඩ වෙරලිනුත් ඔබ්බට ගෙනැවිත් අත අරිද්දී ගොම්මන් අඳුර අතරින් අවුල් වී ගිය කෙසින් යුත් තරුණයෙක් වැඩබිම් ගේට්ටුව ළඟ හිටගෙන සිටියේය. මඩ පිරුණු වැඩ බිමේ ඈත කෙළවරේ සිට මේ දසුන දෙස බලා සිටි මනෝරන්ජන්ට එක්වරම යමක් සිහි වූයෙන් තරුණයා සමග පිරුක්සුම් කතාබහක යෙදී සිටින තලත්තෑනි සිකුරුටි නිලධාරියාට අත්පුඩියක් ගසා ඊළඟට මුර ගෑවේය.

“ඒයි ඔය මනුස්සයා මෙහාාට එවනවා.”

එකෙනෙහිම පටි මහත ට්‍රැවලින් බෑග් එකක් අතින් ගත් තරුණයා සිකුරුටි තෙමේද නොතකා චිරි චිරි මඩ ගොඩැලි වගේ වගක් නැතිව පාගමින් තමන් දෙසට එන හැටි බලා මෙසේ ඇසුවේය.

“මනම්පේරි මහත්තයද එන්න කිව්වෙ?”

ආගන්තුක තරුණයාගේ දෑස් දීප්තිමත්ව බැබලිණි.

- මීළඟ  කොටස මෙතැනින්
Picture  Source: Think Wood

Sunday, February 9, 2020

නව කැළණි පාලම හා බ්‍රව්නිගේ වියෝව

මේ සතියේ  ලියන්නට කරුණු කාරනා කීපයක් යෙදුනෙන්  ඒවායින්  දෙකක් තෝරාගෙන  කෙටි සටහන් හැටියට ලියන්නට තීරණය කලෙමි.
නව කැළණි පාලම  ගැන පරණ සටහනක් 
උපුටා ගැනීම 1994 පෙබරවාරි 09 විදුසර  පත්‍රය . අදින් හරියටම වසර විසි හයකට පෙර

//කැළණි ගඟ නිසලව ගලා බසී .
ගඟ හරහා වූ පාලමෙන් රිය ගඟ ගලන්නේ ඊට නොදෙවෙනි වේගයකිනි.

නිසංසලේ ගලා යන ගං දියට මග ඇහිරෙයිනම් අවට පෙදෙස් ගංවතුරෙන් යටවන්නට පටන් ගනී .

ඒ වාගේම කැළණි පාලම විනාඩි කීපයක අවුරා තැබුවේනම් කොළඹට එන්නට හා කොළඹින් යන්නට සිටින රථ වාහන මං මාවත් වල ගංවතුරක් සේ පිරෙන්නට පටන් ගනී .

මෙවන් පසුබිමක අද කොළඹ නගරයේ ඇති ගොඩනැගිලි අතරින් අතිශයින් වැදගත් වුවකි නව කැළණි පාලම. ,,,

නව කැළණි පාලම ඉදි කරන්නට පටන් ගත්තේ 1954 දී එංගලන්ත සමාගමක් විසිනි. එය 1959  පෙබරවාරි තුන් වැනිදා මහජනතාවට විවර විය.

එවක් පටන් එය බොහෝ දේ දරා සිටියේය.

ලෝකයක බර හිසින ගත්  මිනිසුන්ගේ බර මෙන්ම බස්, ලොරි හා කන්ටේනර් පැටවූ වාහන පවා තමා මතින් ගමන් කරද්දී කැළණි පාලම ඉවසා සිටියේය .

එහෙත් කැළණි පාලමට ඒ දුක් කන්දරාව එක සේ දරා ගත නොහී පසුගියදා රෝගාතුර විය.

ඒ බව හෙළි වීමෙන් අනතුරුව දැන් එහි සුළු ශල්‍ය කර්මයක් කෙරෙමින් තිබේ .

ඒහේත් මේ සැත්කම එතරම්ම සුළු එකක් නොවන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොවූ විරූ තාක්ෂනයන් රැසක් භාවිතා වන බැවිනි . // උපුටා ගැනීම අවසන්.


ඉහත ලිපිය එදින පත්තරේ කවරයේ කතාවෙන්ද , මැද පිටු දෙක සහ තවත් පිටුවක විස්තර කර තිබුනේ පාලම ඉදි කිරීමේ තාක්ෂණය, පෙර සවි කොන්ක්‍රීට්, පාලම් බෙයාරින්ග් හා වෝටර් ජෙට් කටින් තාක්ෂනය ආදී දේවල් පිලිබඳ  විස්තර වර්ණනා සමගය .

එය ලියා අවුරුදු විසි හයකට පසුවත් ආයෙමත් වතාවක් කැළණි පාලමේ නව ඉදි කිරීමක් ගැන ලිපියක් සංස්කරණය කරමින් සිටිමි. එය ලියා ඇත්තේ අදට  අවුරුදු විසි හයකට පෙර මුල් ලිපිය ලියු විද්‍යා ලේඛකයාගේ දෙටු දියණියයි . වැඩි විස්තර ඉදිරි සතියක විදුසරේ පළවනු ඇත .


බ්‍රව්නිගේ වියෝව 
2006 පෙබරවාරි මාසයේදී අප සිටියේ ගෙදරින් ඈත තාවකාලික නිවසකය. ඒ මා රත්මලානේ සේවය කරද්දී කඩවත සිට යන්නට එන්නට බැරි නිසාය . අපේ ගෙදරට බලු පැටවෙකු ඕනෑ කියා පොඩි උන් දෙන්නා කරදර කළ නිසා මම ඒ ගැන පණිවිඩ කීපයක් යවා තිබිණි. දවසක් අප ඉල්ලා සිටි පරිදි අපට බලු පැටියෙක් ලැබී තිබුනත් ඌව දැක බලා ගන්නට  අපට තකහනියක් කඩවත යන්නට බැරි විය. ඒ නිසා  අප එනතුරු දවස් ගානක් නැනදා හා මාමා බාරයේ  ඌව තබන්නට සිදු විය. බලු පැටියා මොන පාටද කියා අසන්නටත් කලින් අපි ඌට බ්‍රව්නී කියා නම දුනිමු..  ඒ අපේ ගෙදර කලින් සිටි බල්ලා බ්ලැකී වූ නිසාය. ඌනම් නමට සරිලන පරිද්දෙන් කට්ට කළු එකෙක් වුනේය. අපේ මාමා දෙන දවල් කෑම එක උදේ කෑම එකට ඉස්සෙල්ලා කාලා දැම්මේ ඌය. 

අප හිතුවා හරිය . අපට ලැබී තිබුනේ දුඹුරුවන් මුව පොව්වෙක් වන් බලු  පැටියෙකි. ඌ පොඩි උන් රැළට වැටී සෙල්ලම් කළේය.
රෑට වත්තේ වෙනම කුඩුවකට  ඌ  දමා අප කීවේ එය ගෙදර ආරක්ෂාවට හොඳ බවය. සමහර දවසක  කාලා ඉවර වෙන කෑමද ඌට දුන්නෙමු. තවත් විටෙක ගේ ඇතුලට පැමිණ කරදර කරද්දී ඌට බැන වැදී එලවා දැමුවෙමු.
මේ සියල්ල දෙස නොපහන් සිතින් බලා සිටි ඔවිනී මගෙන් ඇසුවේ තාත්තේ  බ්‍රව්නිව ගෙනාවේ අපි ඉල්ලපු නිසා නෙවෙයිනේ?  හරියට කියන්න ඔයාලා  ඌ ගෙනාවේ ඉතිරි වෙන කෑම දෙන්නද, වත්ත මුර කරන්නද නැත්තම් කේන්ති ගියාම බනින්නද ?

එදා සිට බ්‍රව්නීට අප වැදගත් විදිහට සැලකුවෙමු . මුලින් මුලින්  ඔවිනිගේ කතාව නිසා ඇති වූ ලජ්ජාවට එහෙම කලද ටික දවසක් යද්දී ඌ ගැන හැබෑ ආදරයක් අපට ඇති විය .

තව දවසක් උන්චිල්ලා පදිමින් සිටි ඔවිනී ඉන් ලිස්සා වැටුණු වෙලාවක ඈ වැටෙනවා දුටු බ්‍රව්නී ඊට  හිනා වුනු බව කියමින් හඩා වැටුනාය . ඒ අසා අප සියල්ලන් හිනා වෙන්නට පටන් ගනිද්දී ඔවිනී ඇසුවේ බල්ලන්ට හිනා වෙන්නට බැරිද කියලාය.

මම කිව්වේ බල්ලන්ට හිනා  වෙන්න පුලුවන්ද දන්නේ  නෑ ඒත්  බල්ලෝ හා පූසොත් හීන දකිනවා කියලා මම පත්තරේක දැකලා තියෙනවා.  ඉන් පසු බල්ලන් ගැන හොය හොයා කියවන්නට පටන්  ගත්තෙමු. බල්ලන් සිය ස්වාමියන්  ගැන සිතා සිට්න්නේ උන්ට වඩා තරමක් සිරා බල්ලන් වර්ගයක් ලෙසය . ඒ සිරා බල්ල්ලන් අතරින් එක අයෙක් උගේ හාම්පුතා ලෙස තෝරා ගනී  .

 අප මහ ගෙදර හැරදා යද්දී ඌ ඒ පරිසරයෙන් මුදවා  ගෙන එන්නට බැරි විය . පහුගිය කාලයේ   ඌ බලා කියා ගත්තේ අපේ මාමණ්ඩිය  හා මස්සිනා විසිනි. ඒත් ඒ දෙන්නා කොයිතරම් බ්‍රව්නිට සැලකුවත් බ්‍රව්නිගේ වැඩි රෙස්පෙක්ට් එක  තිබුනේ මටමය. ඒ උන්ගේ  හැටිය .

කොහොම උනත් අවුරුදු දා හතරක් තනිකඩව සිටි  අපේ බ්‍රව්නි ඊයේ අවසන් ගමන් ගියේය. ඌ මගේ මතකයේ වැඩිම කලක්  සිටින සුරතලා වනු ඇත.

Tuesday, February 4, 2020

කොස්ලන්ද තානායමේ මීටින් මිනිට් එක


මේ ලිපියට පසුබිමක් සකස් කෙරෙන සටහනක්  මම පහුගිය සතියේ ලීවෙමි.

මා සිටියේ කොස්ලන්ද තානායමේ ඉතිහාසය හා අනාගතය ගැන විශේෂ රැස්වීමකට සහභාගී වෙමිනි.  ලෝ පතල ව්‍යවසායකෙකු  වූ තෝමස් ලිප්ටන් හා සුප්‍රසිද්ද ලේඛක ලෙනාඩ් වුල්ෆ්  සමග මා තානායමේ සුවපහසු අසුනකට  වී බලා සිටියේ මගී ප්‍රවාහන සේවයේ පුරෝගාමිකයකු වූ  සර් ලියෝ  ප්‍රනාන්දු එනතුරුය. මේ තිදෙනාම කොස්ලන්ද තානායමේ ඉතිහාස කතාව ලියද්දී වැදගත්වන පුද්ගලයන්ය.  රැස්වීමට මත්තෙන්  පොඩි නින්දකට වැටී සිටි  මා සේවකයෙකෙකුගේ හඬින් අවදි වද්දී මා මුලින් සිටි පරිසරය සහමුලින්ම වෙනස් වී තිබිණි.

ලන්දෙන් වැසී ජන ශුන්‍ය වූ ඉඩමක තිබු  ගල් පුවරුවක් මත අප සිව් දෙනෙක් වාඩි වී සිටියෙමු. දියළුම ඇල්ල සිලි සිලි ගා ඇද හැලෙන හඬ තරමක් ඈතින් ඇසේ. ඒ හැර හාත්පස නිශ්ශබ්දය . මම දින සටහන් පොතේ අලුත් පීටුවක් පෙරලා  ගතිමි. ඉන්පසු අනෙක් තිදෙනා දෙස හිසෝසවා බැලීමි. අරුමයකි එහි සිටින්නේ මුලින් සිටි තිදෙනා නොව  මා හොඳින් හඳුනන මිතුරන් තිදෙනෙකි. එකෙක් 88 -89 කාලයේ මා සමග සරසවියෙම උගත් පාලිතය, දෙවැන්නා මට කොස්ලන්ද ගැන බොහෝ දේ කියා දුන් මිතුරා උදේෂ්ය   . තුන්වැන්නා කොස්ලන්ද පමණක් නොව ශ්‍රී ලංකාවේ වනාන්තර හා ජන ජීවිතය ගැන හසල දැනුමක් ඇති පරිසර වේදියෙකි . හේ සමාජ විද්වතෙක්ද වෙයි.

රැස්වීම පටන් ගන්නට මත්තෙන් මම කැෂුවල් පර්ශනය්ක් ඇසුවෙමි . " මගේ ගිය පාර බ්ලොග් පෝස්ට් එකෙන් පස්සේ ගොඩක් දෙනෙක්  මගෙන් අහනවා කොස්ලන්ද තානායම ගැන . එහෙ ගිහින් නිවාඩුවක් ගත කරන්න ආසයි කියලත් සමහරු කියල තිබ්බා. මටත් එතෙන්ට ගිහින් බිස්නස් කාඩ් එකක් අරන් යන්න පුළුවන් වෙයි නේද ?" අනිත් තිදෙනා කිසිවක් නොකියා උණුනුන් දෙස බලා ගත්හ  .

මීටීම  ඇරඹිණි. ඉස්සෙල්ලාම  මම කතා  කලෙමි. "1960 දශකයේදී අපේ තාත්තා කොස්ලන්දේ ඉස්කෝලේ උගන්නලා තියෙනවා. ඒ පාසැලේ වග විස්තරත් පළාතේ සාර  සොබාව ගැනත් තාත්තා නිතර කියෝන නිසා මේ පලාතට එන්න මට ලොකු වුවමනාවක්  ඇති වුනා . වරින්වර කොස්ලන්ද හරහා බස් එකේ ගියා වුනාට කොස්ලන්ද නගරයේ බැහැලා ඇවිදින්න ලැබුනේ අනිල්ගේ  මල ගෙදර ආපු වෙලාවේ. ඒ වෙලාවේ මට හොඳටම වුවමනා වුනා මේ පුංචි කඩ මණ්ඩිය ගැන  විස්තරයක් ලියන්න ඕනි කියල".

ඊළඟට කතා කලේ උදේෂ් . "ඔව් අපේ අයියා අනිල් මම අපි හැමෝම හැදුනේ වැඩුනේ කොස්ලන්දේ. ඉස්කෝලේ ගියේ කොස්ලන්දේ . අපේ තාත්තා , අම්මා  දකුණේ ඉඳන් මෙහෙට ඇවිත් පදිංචි වුනා. අපේ තාත්තගේ  ගම අහංගම  අම්මා මාතර . ඉතින් අපි හැමෝම ගමේ ගියේ  නොම්මර 12 බස් එකේ තමයි. අපේ ගේ ලඟින් බස්සෙකට නැග්ගම  ආච්චිලා ගේ ලඟින් බහින්න පුළුවන් ඒ කාලේ. ඒ බස් එක නැති වුනාට පස්සේ මේ නගරේ ටිකක් ආපස්සට ගියා. අපේ තාත්තා  වගේ දකුණේ ඉඳන් ඇවිත් බිස්නස් පටන් ගත්ත අය තමයි මේ පැත්තේ වැඩිපුර ඉන්නේ" .

ඊළඟට අප සමග සිටි පරිසර වේදියාගේ අවස්ථාවය.
"1850 ඉඳන් 1890 කාලේ තමයි හම්බන්තොට වැල්ලවාය, කොස්ලන්ද හරහා හපුතලේ පාර හදල තියෙන්නේ. ඒ වකවානුවේම තමයි කොස්ලන්දෙන් පුනාගල හරහා බණ්ඩාරවෙලට යන පාර හැදිලා තියෙන්නෙත්."

ඔහු කතාව මදකට නතර කරද්දී  පාලිත මෙසේ  කීවේය.
" ඒ පාරවල් ඉස්සර  ඉඳන් තිබ්බ ඒවා. තවලන්වලින් බඩු පටවාගෙන ගිහින්  තියෙන්නේ. ඉස්සර බලන්ගොඩ විකිලියෙන් කොස්ලන්දේ මාවෙලගමින් ගන්න වී කොස්ලන්ද හරහා බණ්ඩාරවෙලට ගෙනිහින් තියෙන්නේ ඔය කොස්ලන්ද පුනාගල පාරෙන්  කියල අපේ තාත්තා කීවා. දැන් හාල්අටුතැන්න කියන්නේ විකිලිය පැත්තෙන්  ගෙනාපු හාල් තාවකාලිකව ගබඩා කරලා තිබ්බ ගමක්ලු".

ඉන්න මම කතා කරනකං. පරිසරවේදී මිතුරා දිගටම කතා කළේය.
"මෙහෙමයි හම්බන්තොට  ඉඳන් හපුතලේට කරත්ත වල ලුණු අද්දා කියල මම අහල තියෙනවා. ඒවා හපුතලෙන් කෝච්චියේ පටවලා තමයි කොළඹ ඇරලා තියෙන්නේ .

"හපුතලෙට කෝච්චි දාලා තියෙන්නේ 1890 ගනන්වලනේ . මම කිව්වේ ඊට කලින් කතාවක් " පාලිත  කීව්වේය.

"හරි හරි .  එහෙම හරි කොහොම හරි හම්බන්තොට ඉඳන් හපුතලේ ආපු කරත්ත වල උඩරටට බඩු භාණ්ඩ ගෙනාවා. මේ කරත්ත සාමාන්‍යයෙන් දවසකට යන්නේ හැතැම්ම එකොළහක් විතර . එහෙම දුරක් ගියාම හම්බවෙන දිය කඩිත්තක් ළඟ රෑට වාඩිලා ගෙන ඉඳලා තමයි පහුවදා ගමන පටන් ගන්නේ. ඔය වගේ කරත්ත නැවතිච්ච තැන්වල තමයි මුල්ම කාලේ පොඩි පොඩි කඩවත්  හැදුනේ . කොස්ලන්දත් එහෙම එකක්. හැබැයි විශේෂත්වයක් තියෙනවා. කොස්ලන්ද තේ වතු යායවල් වලට සම්බන්ධ වෙච්ච නිසා ඒවායේ පාලකයන්ට සේවා සපයන්න දියුණු පිටිසර නගරයක් වුන. මුල්ම කාලේ ඉඳන් හොඳ තානායමක්, ඉස්පිටිතාලයක්, තැපැල් කන්තෝරුවක් , ඉස්කෝලයක් එහෙම හැදුනා . පොඩි මිනිස්සුනුට විතරක් නෙවෙයි ඉහළ පැලැන්තියේ වතු පාලකයන්ට , ව්‍යාපාරිකයන්ට හා දේශපාලකයන්ටත් කොස්ලන්දේ  නගරයත් තානායමත් වැදගත් වුනේ ඒ නිසයි". 

ඔහු කුඩා කල සිය පියාත් සමග  කොස්ලන්ද ප්‍රසිද්ද වැඩ දෙපාර්ත මේන්තු හෙවත් පී ඩබ්ලිව් ඩී කන්තෝරුවට  යන්නට  පුරුදු වී තිබුනේය . ඒ එහි සිටි ඉංජිනේරුවා  ඔහුට ලොකු ලොග් පොතක් දිග ඇරගෙන කතන්දර කියා දෙන නිසාය. වැල්ලවායේ සිට කොස්ලන්ද පොලිසියට අසරුවකු පිට නැගී ආ පොලිස් නිලධාරියෙකු වල් අලියෙකුගේ පහරදීම නිසා මිය ගිය බවට වූ ලොග් සටහනක්ද මෙහි තිබුන බව  අපේ පරිසරවේදී මිතුරාට මතකය. ඔහු කියන්නේ රස්සාව කරමින් සිටියදී මියගිය පළමුවන පොලිස් නිලධාරියා 1864 දී සරදිල්යල් අතින් මියගිය සභාන් නොව  මේ කියන වල්  අලි පහලින් මැරුම්   කෑ නිලධාරියා බවය. කොස්ලන්ද පී ඩබ්ලිව් ඩී එකේ තිබු ලොග් පොත අයිතිහාසික ලේඛනයකි. කොස්ලන්ද හරහා ආ ගිය  රාජ්‍ය නායකයන් පවා මේ ලොග් පොතේ සටහනක් තබා යන්නට පුරුදු වී තිබු බව ඔහු කීවේය.

කොස්ලන්ද තැපැල් කන්තොරුවද පළාතේ පැරණිම තැපැල් කන්තෝරුවක් වූ බව උදේෂ්  කීවේය  . එය එතැන් සිට තිස්සමහාරාම දක්වා සියලුම තැපැල් කටයුතු මෙහෙයවා තිබුනේ එමගිනි. කොස්ලන්ද රෝහලද ඉතා දිගු ඉතිහාසයක් ඇති රෝහලකි. එය දැන් අවුරුදු සීයක් පමණ පැරණිය . මුල් කාලයේ පවා එහි ශල්‍යාගාරයක් තිබී ඇති බවද ඔහු  කීවේය.

පාලිත සිහිපත් කලේ 1988 ඔක්තෝබර් මාසයේදී   සරසවි සිසුවෙක් ඇතුළු තරුණයන් තිදෙනෙක් අති   අමානුෂික ලෙස මරා දමා තිබුනේද කොස්ලන්ද ආසන්න වතුයායකදී බවයි.

" ඉතින් ඒ පැත්තේ භීෂනේ මදිවට මේ පැත්තෙන් මෝඩ භීෂණයක් ආවා " පරිසරවේදියා කීවේය .

"හැබැයි ඒ හැම දේම කලේ මේ පැත්ත පළාතේ මිනිස්සු නෙවෙයි" පාලිත කීවේය .

 ඊළඟට යෝජනා වුනේ කොස්ලන්ද පී ඩබ්ලිව් ඩී එකට ගොස් අර අයිතිහාසික ලේඛනය හෙවත් ලොග් පොත බලමු කියලාය .

පරිසරවේදී මිතුරා කීවේ ඒ පොත පමණක් නොව පී ඩබ්ලිව් ඩී ගොඩනැගිල්ල පවා අසූ නවයේදී  ගිනිගත් බවය. .

"ඒ විතරක් නෙවෙයි තැපැල් කන්තෝරුවටත් ගිනි තිබ්බා . ඒක 2008 ආපහු හදා ගන්නකම් පවත්වාගෙන ගියේ තාවකාලික ගොඩනැගිල්ලක . උදේශ් ලා   ගමේ ගිය නොම්මර 12 බස් එකත් ගිනි තියන්න හැදුවා  . ඒ බස් එක ආයේ කවදාවත් මේ පාරෙන් ගියේ නෑ"

බොහෝ විශ්මයපත් හා ශෝකයට පත් දෑසින් මා අවට බලද්දී ඔහු මෙසේද කීවේය.

ඔහෙට ඕනි කිව්වා නේද කොස්ලන්ද තානායමේ බිස්නස් කාඩ් එකක් . ?  මම ඔව් කීමි

අපි මේ ඉන්නේ අර තරම් ඉතිහාසයක් තිබ්බ කොස්ලන්ද තානායම 1851 ඉඳන් 1989 වෙනකම් තිබ්බ තැන තමයි.

මම හාත්පස  බැලීමි . විශාල ඉඩක තැන තැන විසිරී  ගිය කළු ගල් හා ගඩොල් , දැවී ගිය දොර උළුවහු හා ඒවා අතරින් තැන තැන විසිරුණු පිඟන් මැටි කැබලි මගේ නෙත ගැටිණි.




විශේෂ ස්තුතිය මේ ලිපියට අවශ්‍ය තොරතුරු රැසක් ලබා දුන් නම හෙළි කිරීමට අකමැති පරිසරවෙදියාට  හා කොස්ලන්දේ  අලුත් ෆොටෝ ටිකක් මට එවූ විජේසුන්දර මිතුරාට 












Saturday, January 25, 2020

ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්

රතනපුර බණ්ඩාරවෙල පාර පුනරුත්තාපනය කරන කාලේ මම හිටියේ කියන්නෑම් සමාගමේ සැලසුම් අංශේ.  මාසෙකට දවසක් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමත් හරිම උද්කවේගරයි, භයානකයි.  ඒත් අවසන් කොටස රසවත් .  මේ වගේ රැස්වීම් තිහකට විතර මම ඉන්න ඇති . අපි සේරම රැස්වීම ඉවර වූ හැටියේ දවල් කෑමට ගියේ බෙලිහුල්ඔය රෙස්ට් හවුසියට. මම පළමු වතාවේ හනිමුන් ගියෙත් ඔතෙන්ට තමයි.   ඒ නිසා බෙලිහුල්ඔය  කියන්නේ මට සෙන්ටිමෙන්ටල් ස්ථානයක්.

දවසක් කොළඹ ඉඳන් මහා පාන්දර ඇවිත් කලින්දා නින්දකුත් නැති නිසා නිදි කිර කිරා රැස්වීමටත් ඉඳලා රැස්වීමේ රසවත් කොටස ගෙවා දමන්න බෙලිහුල්ඔය යන ගමන් අපේ රතු පාට කැබ් එක එලවාපු රියදුරු කරුණාතිලක මෙහෙම කිව්වා . "ඉක්මන් කරලා යන්න ඕනි අද දවල් කෑම ලැස්ති කරලා තියෙන්නේ බෙලිහුල්ඔය නෙවෙයි කොස්ලන්දේ  රෙස්ට් හවුස් එකේ ".

දුර වැඩි නිසා ගමන ටිකක් ප්‍රමාද වුනත් කොස්ලන්ද  රෙස්ට් හවුස් එකත් හරිම රමණීය පෞරාණික තැනක් නිසා එහි රථගාලේ නවත්වාපු කැබ් රියෙන් මම බැස්සේ ප්‍රබෝධමත් සිතින්. මම යනවිට රැස්වීමට දෙදෙනෙක් ඇවිත් හිටියා . දෙදෙනාම සුදු ජාතිකයන්.  එහි සිටි  කුඩා වියපත් සුදු ජාතිකයා තමන්ව හඳුන්වා දුන්නා . ' මම 1911 මෙහෙන් ගියාට පස්සේ තමයි මේ පාර ලංකාවට ආවේ"
.
මම දනිපනි  ගාලා කැලැන්ඩරේ දිහා බැලුවා. 1960 මාර්තු 25.   කුඩා සුදු ජාතිකයා දිගටම කතා කළා .
' මම ලංකාවේ වැඩ කලේ අවුරුදු තුන හතරයි .  හම්බන්තොට ඉඳන් හපුතලේ යද්දී ඒ  කාලේ අනිවාර්යයෙන්ම කොස්ලන්දේ තානායමේ රැයක් ඉඳලා  තමයි ගියේ.
මම තාමත් අන්දුන්  කුන්දුන්ව සිටනා බවක් පෙන්වූ නිසා ඔහු මෙහෙම කිව්වා .
' මම තමයි ලෙනාඩ් වුල්ෆ් '
"නෑ.. හෑ..." කියාගෙන විවර කරගත්  මුවින්ම මම අනිත් සුදු ජාතිකයා දෙසට හැරුනා .
මේසයේ පසෙකින් තුබූ සුදු ටොප් හැට් තොප්පිය හිසේ රුවා ගත් ඔහු "මම තෝමස් ලිප්ටන්" යැයි කියද්දී මම නැවතත් පුදුමයෙන් කැලැන්ඩරය දෙස බැලුවා . එවිට එහි තුබුන ලී පුවරුවක අතින් ලියන ලද දින සටහනක් අනුව අද දවස 1894 මැයි හත් වැනිදා කියා මම දැන ගත්තා .

ඔහේ අර්තාපල් ගැන ලියනවා නේද? ඒත් අර්තාපල් වසංගතය නිසා අපේ අම්මයි තාත්තයි දහදුක් විඳලා තියෙනවා. ඒ ගොල්ලෝ අයර්ලන්තෙන් පලා ගියෙත් ඒ හින්දා . රටේ ප්‍රධාන ආහාරේ වෙච්ච අර්තාපල් වලට හැදිච්ච රෝගේ හින්දා ලක්ෂ ගානක් කන්න නැතිව මැරුණා . ඒ කරදර මැද උපන්න මම ලෝකේ හැම තැනම කරක් ගහල උඹලගේ රටේ වතු වවන්නත් ආවා  . අපේ වතු වැවිලි  කාරයෝ නිතර මේ තානායමට එකතු වෙනවා. කොළඹ යන්න ඕනි උනාම මෙහෙදී  එකතු වෙලා අශ්ව කෝච්චියෙන් යනවා හපුතලේ ඉස්ටටේෂමට   . ආ දැන් හපුතලේට දුම්  කෝච්චිය එනවනේ"

කතාව ඇදී  ඇදී යනවා මිස රැස්වීම පටන්ගන්නා සෙයක් පෙනෙන්නේ නෑ . ලිප්ටන් හා වුල්ෆ් දෙදෙනා වරින් වර ඉදිරි පාර දෙස බලනවා දුටු මම 'වෙන කවුද එන්න ඉන්නේ?" කියා ඇසුවා.

ඇයි ලියෝ ප්‍රනාන්දු මේ පාරේ ඉස්සෙල්ලම බස් දාපු හාදයා. කොස්ලන්ද තානායම ගැන ලියනවානම් ලියෝ  ප්‍රනාන්දුගේ බස් ගැනත් ලියන්න ඕනි. 1940  ගණන් වල පැට්‍රල් ලොරි බස්වලට හරවලා ගාල්ලේ  ඉඳන් වැල්ලවාය හරහා බදුල්ලට  බස් දැම්මේ නැත්නම් .. ඔවුන්  මා දෙස බලා සරදම් සිනාවක් පාමින් දිගටම  කතා කරා.

' මේ පාර දිගේ තමයි දකුණේ ව්‍යාපාරිකයෝ කන්ද උඩ රටට ආවේ .  ඔහේ දන්නවද මේ වෙනකොට ලියෝ ප්‍රනාන්දුට  බස් 350යි ලොරි 200යි  තියෙනවා කියල . තව තේ අක්කර දහදාහක් විතර.  බුත්තල මන්ත්‍රී වෙලා හිටි කාලේ එයා  නිතර මෙහෙ අවා ගියා"

ලස්සනම වැඩේ කියන්නේ ඉංග්‍රීසි රජ පවුලට  අයිති  වෙලා තිබ්බ ගීකියන කන්දේ  ඉඩම  ආපහු ගත්ත හැටි . ඔප්පුව ලියා ගන්න මිනිහා බකින්හැම් මාලිගාවටම ගියානේ ".

මම ආයෙමත් කැලැන්ඩරය දිහා බැලුවා. 1953 දෙසැම්බර් 15 .

මීටීම මදක් ප්‍රමාද  වන බව පෙනුණා . අමුත්තන්   දෙදෙනා පරණ කතා බහක. මට අදාළ පාටක් පෙනුනේ නෑ. මම   බීර වීදුරුවක් තොල ගාමින්  බැදපු මාලු පෙත්තක් හප හපා මකුළු දැල් බැඳීච්ච   මගේ බ්ලොග්  එකට සටහනක්  ලියන්න තීරනය කළා. මේ වගේ මීටිමක් මැද අහම්බෙන් වෙලාවක්  හම්බුනොත් තමයි.

මම ලැප්ටොප් එක දිග හැර කල්පනා කරා . හොට්ස්පොට් දා ගත්තා . ඒ අතරේ  මෑතකදී මිතුරෙක් කී දෙයක් මතක් වුනා. ' උඹ රස්සාව  කරද්දී ලියන්නේ කියන්නේ  ස්මාර්ට්  ප්‍රවාහන විදි ගැන , වරාය නගරය ගැන , අහස උඩින් යන කෝච්චි ගැන , තොරතුරු තාක්ෂණ  පද්ධති  ගැන, මොබයිල් ඇප්‍ ගැන  . ඒත් බ්ලොග් එකේ ලියන්නේ දුම්මැස්ස ගැන නැත්නම් ආදී කාලේ වංගෙඩි ගැන. ඒක හරි කුහක කමක් බාන්..  "  මේ කතාවත් හිතේ තියාගෙන මම ලියපු බ්ලොග් කතන්දරේ තමයි මේ .

******************

වැලිමඩ පැත්තේ  සිටි මගේ ආදරණීයම  මිතුරෙක් ඔහුගේ ආච්චිගේ ආච්චි ගැන මා සමග කතා කළේ පිට රටක රස්සාව කරද්දීය. ඔහු කිව්වේ පරම්පරා හයක අතීතය දැන ගන්න ඕනිනම්  ළමයෙකුට තියෙන ස්වර්ණමය අවස්ථාව වන්නේ තමන්ගේ  ආච්චීගෙන්, ආච්චිගේ ආච්චි කී කතන්දර හා ගම රට විස්තර පුළුවාන් තරමක් අසා දැන ගන්නා එකය .
ඔහු කිව්ව කතාවේ සාරය වෙනස් නොකර මම කතාව තරමක් සංස්කරණය කළා .

මේ කියන කාලේ ආච්චිගේ ආච්චි වැන්දඹුවක්. දරුවන් මල්ලන් ළඟක හිටියේ නෑ. ගේ කෑල්ලට අමතරව ආච්චිට තිබ්බා අක්කරේක විතර ගොඩ ඉඩමක් . පුවක්  ගස්, කොස් ගස්, සපු ගස් කීපයක්, තව කොපි ගස් කීපයක් තිබ්බ මේ ඉඩමෙන්  ඒ හැටි ආදායමක් නොලැබුනත්  ආච්චිගේ ආච්චිට තිබ්බ මහාර්ඝ වස්තුව, එයාගේ ජීවිතේ වගේ වෙච්ච මේ ඉඩමම තමයි . මේ 1930 දශකයේ කතාවක්. ඉඩමට අවුරුදු පතා අයබදු හැටියට පුංචි මුදලක් ගෙවන්න ඕනි. ආච්චිගේ ආච්චිට එක්තරා අමාරු කාලෙක මේ සල්ලි ගෙවා ගන්න බැරි වෙලා. ප්‍රමාද වුනාම දඩේකුත් ගහනවා. ආරච්චිගෙන්  බුරුලක් නෑ. විඩෙන් විඩේ ඇවිත් මතක් කරනවා. කොහොමින් කොහොම හරි ආච්චිගේ ආච්චිට බදු ඇරියස් හා දඩ මුදල් කියාපු දිනේට ගෙවා ගන්න බැරි වුනා .  ආරච්චි ගෝලයොත් එක්ක ආවා ඉඩම වටේ තිබ්බ මහා ගස්වල දැන්වීම් කීපයක් ඇලෙව්වා.

මහා රාජෝත්තමයාගේ ආණ්ඩුවට පවරා ගන්නා ලද ඉඩමකි . අනවසරයෙන් ඇතුළුවීම තහනම් .
අණ පරිදි . ආරච්චිල,  අහවල් වසම

ආච්චි දහ අතේ කල්පනා කළා එහෙට දිව්වා මෙහෙට දිව්වා. ගෙයි  තිබ්බ කොස් ඇට, පරණ කෝපි , තඹ සෙම්බු, පිටලෑලි විතරක් නෙවෙයි පිඟන් කෝප්ප හිටන්  විකුණලා දැම්ම .  කවදාවත් කාටවත් ඇත නොපා ජීවත් වෙච්ච ආච්චිගේ ආච්චි විශ්වාසවන්ත කීප දෙනෙක්ගෙන් අතමාරු හිටන් කර ගත්තා. අන්තිමේදී  බදු සල්ලියි, දඩෙයි දෙකටම හරි යන්න සල්ලි හොයාගෙන ආරච්චිගේ ගෙදරට ගියා.

' ම්හු උක්කු මැණිකා' . දැන් ඉඩම පවරාගෙන ඉවරයි. දැන් ඔප්පුව ආණ්ඩුවට අයිති වෙලා. උඹ ගනන්වානම් මුළු ඉඩමේම වටිනාකම ගෙවල ආණ්ඩුවෙන් සල්ලි දීල ගන්න ඕනි '.
ආරච්චිගෙන් බුරුලක් නොලබිච්ච තැන ආච්චිගේ ආචිචි බොහොමත්ම කනස්සල්ලෙන් ගෙදර ඇවිත් කන්නේ බොන්නේ නැතිව දවසක් තිස්සේම  කල්පනා කරා.

ඊට පස්සේ මේ වගේ අමාරු අවස්තාවක් උපදෙසක් ගන්න ඉන්න හොඳම කෙනා වෙච්ච වේද මහත්තයා මුණ ගැහුණා.  බලාපොරොත්තු දල්වන සුළු උපදෙසක් ලැබුනා. ඒත් ලබන මාසේ පළවෙනි බදාදා වෙනතුරු ඉවසන්නත් ඕනි .

මේ කියන බදාදා දවස එනකං ඇඟිළි ගැන ගැන හිටි ආච්චිගේ ආච්චි එදා උදේ පාන්දරම ගෙදර තිබ්බ ඉඩම සම්බන්ධ හැම ලියකියවිල්ලක්ම පන් මල්ලකට දාගෙන සිල් ගන්න අඳින ඇඳුමත් ඇඳගෙන ඔලුව වැහෙන්න තව සුදු සාලුවකුත් දාගත්තා . පාන්දර හතර වෙද්දී උන්දෑ පාරේ. ලැසි ගමනින් පයින්ම  වැලිමඩ, පාළුගම, බොරලන්ද , වල්ගහවෙල හරහා හැතැම්ම ගානක්   මග ගෙවාගෙන මද්දහන ගෙවෙන්න ඉස්සෙල්ල හපුතලේට ආවා.

ඒ වෙනකොට හපුතලේ තාවකාලික කුඩාරමක පවත්වාගෙන ගිය ජංගම කච්චේරියේ වැඩ ඉවර වෙන්නත් ලඟයි. ඒජන්ත උන්නැහේ  කොස්ලන්ද තානායමට යන්න ලැස්ති වෙනවා. ඒරොප්පෙන් ආපු අමුත්තෝ වගයක් පිළිගන්න . එතැන හිටි මුලෑදෑණින්ගෙන් ආච්චිට දැන ගැන ලැබුනේ එහෙම . ආච්චිගේ ආච්චිට  මෙච්චර දුර ගෙවාගෙන ආපු දුක් කන්දරාවේ ආවේගය, කෙටි ඒ වුනත් බලසම්පන්න හෑල්ලක්   හැටියට කියා ගන්න  පුළුවන් වුනා .

අනේ වාසනාවන් , දවසේ අවසාන රාජකාරිය හැටියට මේ පලහිලව්වට ඇහුම් කන් දෙන්න ඒජන්ත උන්නාන්සේ කැමති උනා . තෝල්කයෙක් මාර්ගෙන්  හදිස්සියට හදිස්සියට කැරුණු පැහැදිළි කරගත් ඒජන්ත කටු පෑනෙන් සටහනක් දුන්නා . එතැන හිටි ලිපිකරුවෙක් තව මොනවද රාජකාරි පෝරම වගයක් පිරෙව්වා. ආච්චි ගෙනා හිඟ බදු , දඩ මුදල් සේරම අරන් කුවිතාන්සියකුත් දුන්නා .

' මේක අරන් පළයන් අම්මේ . දැන් ඉඩම ආයෙමත් උඹේ!"  කියල ආරච්චිට දෙන්න ලියමනකුත් දුන්නා .

ආච්චිගේ ආච්චිට වෙහෙස, බඩගින්න , කකුලේ අමාරු කිසි දෙයක් මතක නෑ. සන්තොශේ ඉහවහ ගිහින් ආපහු එනපාරේ දැක්ක මනුස්සයෝ, බල්ලෝ බළල්ලු, දිගේලි කරපු හරක් මේ සේරටම ' ඉඩම ආපහු හම්බ වෙච්ච සන්තොශේ' පෙන්න පෙන්නා  කට්ට කළුවරේ ගෙදරට ආවා.

පහුවදා නැගිටපු ආච්චිගේ ආච්චි අත් උදව්වට කොලු ගැටයෙකුත් එක්කගෙන ගිහින් අර ඉඩමේ අලවලා  තිබ්බ ආරච්චිගේ තහනම් නියෝග දැන්වීම් ගලවලා ඉරල දැම්ම . ඉඩම් මායිමේ වල් බුටැව යන්තමින්  සුද්ද කරලා , පොලොස් ගැට දෙකකුත් කඩාගෙන ගෙදර ආවා.

දවල් කෑම කාලා ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන අහල පහළ හිතවත්තු කීප දෙනෙක් එක්ක ආච්චිගේ ආච්චි ඉඩම බේරා  ගත්තු එකේ පුරාජෙරුවයි , ඒජන්ත උන්නාසේගෙයි මුලාදෑනින්ගේයි වරුණාවයි  කියව කියවා කැකිරි පල පලා ඉන්දැද්දී පොලව දෙදරවාගෙන කේන්තියෙන් පුපුරමින් එතනට කඩාපාත් උනේ  ආරච්චිල .

' උක්කු මැණිකා මම උඹව පොලිසියට බාර දෙනවා. තහනම්  දැන්වීම් කොලේ ගලවලා ඉඩමට ඇතුළු උනාලු නේද. උඹයි අප්පු කොලුවයි දෙන්නටම අච්චු කරනවා. උඹලා හිරේ දානවා".  කියපු ආරච්චිල තමන් එක්ක ආපු ගෝලයෙකුට අලුත් කොළයක් දුන්නා   "මෙන්න මේ දැන්වීම් කොලේ  අලවාපිය  මුන්දෑගේ   ඉඩමේ උස ගහක" .

ආච්චිගේ ආච්චි හිනා මුණින්ම නැගිට්ටා.

"කොලුවෝ ඔහොම හිටින්. ඔය දැන්වීම් කොලේ අලවන්න හොඳ තැනක් මං කියන්නම්" කියල නැමිලා පිටුපස්සට හැරිලා මෙන්න මගේ මේ පැත්තේ අලවාපිය කියල තමන්ගේ ප්‍රශ්චාත් භාගය පෙන්වද්දී  ආරච්චිල විතරක් නෙවෙයි එතන හිටි හැමෝම තුෂ්නිම්භූත වෙලා ගියා , ඒ අල්ලපනල්ලේ ආච්චි ගෙට දුවල ට්‍රන්ක පෙට්ටියේ පතුලේ තිබ්බ ලියමනක්  ගෙනල්ල ආරච්චි දිහාට විසික් කරා.

ආරච්චි ඒක කියවලා. ඒතැන තිබ්බ රතු පස්  ගොඩල්ලෙන් දුවිලි විසි වෙන්න පයින් පාරක් ගහලා යන්න  ගියා.

ආච්චිගේ ආච්චිගේ ගෙදරින් අහිච්ච කැකිරි පාලන හිනා හඬ එදා රෑ මැදියම වෙනකම් නතර වුනේ නෑ.

** *
අන්න ලියෝ ප්‍රනාන්දු මහත්තයා එනවා කී තානායම් පාලකගේ හඬ නිසා මම  නින්දෙන් ඇහැරුණා. අපේ රැස්වීමේ කතාව ඊළඟ කොටසින් ලියන්නම්








Saturday, January 11, 2020

අර්තාපල් මුත්තාපල් හා ආචාර්ය යෝගරත්නම්


අර්තාපල් කියන්නේ ලන්දේසි නමක් . ලංකාවට තාමත් වැඩිපුර බීජ අල ගේන්නේ ලන්දේසීන්ගේ රට වන නෙදර්ලන්තෙන් නැත්නම් ඕලන්දෙන් .  තාමත් අපේ යාලුවෝ කීප දෙනෙක්ගේ ජීවිත ඉතිරි වෙලා තියෙන්නේ අර්තාපල් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නෑ.  ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අර්තාපල් හෙවත් අල අපේ ජීවිතවලට සම්බන්ධ වුනු හැටි මට ආපහු චිත්ත  රූප එක්කම මතක්   වුනේ පහුගිය සතියේ කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණායතය අයිනෙන් වැටිලා තියෙන පාරේ දියතලාව, බණ්ඩාරවෙල හා  වැලිමඩ හරහා, සීතා එලියටත් එතැනින් නුවර එලියටත්  ගිය ගමන නිසා . 

අඟල්, අඩි, රාත්තල්, හොන්ඩර යුගයේ ඉඳන් අපි මෙට්‍රික් යුගයට පිවිසුනේ 1980දි විතර. එත් තාම අල ගොවීන් අතර අර්තාපල් ගැන කිරුම් මිනුම් සිද්ද වෙන්නේ  හොන්ඩර වලින් . අල හොන්ඩර කීයක් හැදුවද? බිජ අල හොන්ඩරයක් ගත්තාද , අල හොන්රඩයක් හදලා දහයක් ගන්න පුළුවන්. එකට දහයයි" ආදී වශයෙනි  .ඒ කාලේ  අල ප්‍රවාහණය කලේ ලී පෙට්ටි වල . අල හොන්ඩරයක් හෙවත් කිලෝ පණහක් දාන්න  පුළුවන් පෙට්ටිවල තමයි රට ඉඳන් බීජ අල ආවේ. 
කාඩිනල්, ඩිසයිරී, ගිනිකේ,  ආකා , බාරකා  කියන්නේ අල භාෂාවේ වචන . ඇන්ට්‍රකොල්, රෙඩොමිල් , ටමොරෝන් කියන්නේ තවත් වචන පේලියක් . මේ මොනවද ?  මුලින් කිව්වේ ඉස්සර 1990ට කලින් අපි වගා කරපු අර්තාපල් වර්ග කීපයක්. කාඩිනල් හා ගිනිකේ කිව්වේ මුල් කාලේ වවපු  පොත්ත රතු අල වර්ග දෙකක් . ඒත් පස්සේ ඩිසයිරී රතු අල වර්ගේ තමයි ජනප්‍රියම වුනේ . ආකා හා බරාකා නමින් තිබ්බ පොත්ත සුදු අල වර්ග දෙක පහු පහු වෙනකොට කවුරුත් වවන එක අත ඇරියා. ඒවාට ලෙඩ වැඩියි .

එතකොට ඇන්ට්‍රකෝල් , රෙදොමිල් යනාදිය අර්තාපල් වගාවට ඉහින දිලීර නාශක දෙකක් . ටමරෝන් කොළ පණුවෝ කනවට එකතු කරපු සැර වැඩි කෘමිනාශකයක් . මේ මොන ජාති තිබ්බත් අල ගස් හිටු මැරෙන එක හෙවත් අංගමාර රෝගේටනම් බෙහෙත් තිබ්බේ නෑ.  කරන්නේ හිටු මැරිච්ච අල ගස්  ගලවලා වගා බිමෙන්  ඈතට වීසි කරන එක .  දවස්පතා මේ වගේ ගස් දහයක් පහළවක් ගලවලා විසි කරනවා . ඒ වුනත් මේ නොමේරු අර්තාපල් ගස්වල මුලින් මතුවෙලා ආපු ටීක් බෝල  වගේ අල ගෙඩි පොකුර වෙනම එකතු කර ගන්නවා . දැන් සුපිරි කඩවල තියෙන බේබි පොටෙටෝම තමයි ඒ.  අම්මා මේවා ගෙඩිය පිටින්  තම්බනවා. පොත්ත අයින් කරලා බදිනවා. නැත්නම් හොදි හදනවා  . ඒත් මේ විදිහට ගලවන හිටු මැරුණු අල කොට්ට උර බාගයක් විතර සතියකට ඉතිරි වෙනවා.  වට්ටක්කා වෙළඳාම නිසා හොඳ අත්දැකීම් තිබ්බ මම මේ අල ටික උරේකට දාගෙන දියතලාවේ දිසානායක  කඩේට ගෙනියනවා.  ආපහු එනකොට  අනිවාර්යයෙන්ම  ගන්න දෙයක් තමයි සතොසෙන් පැතලි මාළු ටින් එකයි, පෙරේරාගේ කඩෙන්  පත්තරයයි .

අපි බඩු ගත්තු සතොස  ගැන ආයෙමත් කතාවක් කියන්න තියෙනවා.  දියතලාවේ තිබ්බ සනානි මන්දිරය  තෙමහල් ගොඩනැගිල්ලක්.  පාර මට්ටමෙන් පහළ තිබ්බ තට්ටුවේ තමයි සතොස තිබ්බේ . පළමු මහල සෙත්සිරිය, සමුපකාරය හා සනානි පොත් හල තිබ්බා . දෙවැනි මහලේ බැංකුවක් හා තව කාර්යාල කීපයක් තිබ්බා . මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලලගේ පවුලට මේ මන්දිරය අයත්ව තිබූ බව අහල තියෙනවා.

අල වගාවේ එදා ඉඳන් අද වෙනකම් තිබ්බ ප්‍රශ්නයක් තමයි බීජ අල නැති කම. මේ පාර  අල වවන්නේ නැද්ද කියල අහපුවාම අපේ මස්සිනා කිව්වේ දැන් අල හොන්ඩරයක් හදන්න රුපියල් පනස්දාහක් විතර යනවා කියල. රටින් ගේන බීජ අල හොන්රඩයක් රුපියල් දාහත්දහයිලු. මේ රටේම සීතා එලිය ගොවිපොළේ හදන අල හොන්රඩයක් රුපියල් එකොලොස් දහයි . ඒ වුනත් අපේ බීජ අලවලින් පලදාවක් නෑ ලෙඩ වැඩියි කියලයි මට අහන්න ලැබුනේ.  බිජ අල කර්මාන්තෙ එක්තරා මාපියාවක් කියල සමහරු කියන්නේ . ඊළඟ  ප්‍රශ්නේ තමයි මේ වෙනකොට අල වගා කරන්න කම්කරුවෝ නෑ. ඉස්සර වගේ පවුලේ සමජිකයෝ  කුඹුරට බහින්නේ නෑ. 

අර්තාපල් වගාව කියන්නේ හරියට ක්‍රමවත්ව කරනවානම් ලංකාවේ ගොවි ආර්ථිකය විතරක් නෙවෙයි රටේ ආර්ථිකයත් උස්සන්න පුළුවන් වගාවක්.  ආචාර්ය යෝගරත්නම්ලා වගේ මිනිස්සු ඒ කාලේ වෙහෙසුනේ අපේ රටේම  බීජ අල හදල  අල හොන්ඩරයක් වවන්න යන වියදම අඩු කරවන්න . තාමත් වැඩේ කෙරිලා  නෑ. වෙන රටවලනම් කෘෂිකර්ම අමාත්‍යාංශයක් එහෙම තියෙනවා . 

  අපි අල වගා කරේ 1980 දශකයේ . සතොසෙන් හරි සමුපකාරෙන් හරි තමයි බීජ අල ගත්තේ. තාත්තගේ ප්‍රියතම වර්ගය ඕලන්දෙන්  ගේන ඩිසයිරී කියන රතු අල වර්ගය . ඒකෙන්  පෙට්ටි දෙකක් ගන්න  තාත්තා ගෙදර වත්තේ ඉස්සෙල්ලලම ඒ ටික  වවනවා . පලදාව ලෙස එතරම් විශාලෙට නොවැඩුණු අල ගෙඩි හොන්ඩර හත අටක් ලැබෙනවා මාස දෙක හමාරකින්. මේ මාස දෙක හමාර ඉවර වෙනකම් පුදුම දුකක් විඳින්න ඕනි . ඌරන්ගෙන් හා හොරුන්ගෙන් අල ටික බේරා ගන්න. නිතිපතා පොහොර  වතුර දාන්න . ගෙදර වත්තෙන්  නෙලා ගත් අස්වැන්න තමයි බීජ අල . මේ අල පෙට්ටි හත අට මාස හයක් විතර ගියාම ඊළඟ කන්නේ කුඹුරේ  හදනවා. පස්සේ කාලෙක බීජ අල ලොකු ගෙඩි දෙකට කපලා , කැපුම වැහෙන්න දිලීර නාශකයක් ගාන්න උපදෙස් ලැබුනා . මේ විදිහට වැඩි ඉඩ ප්‍රමානෙක වවන්න අල ලැබුණා. හැබැයි කුඹුරෙන් ගත්ත අල කවදාවත් බීජ අල විදිහට තියන්න බෑ. ඒවා මාසයක් දෙකක් තිබ්බම නරක්  වෙනවා. බීජ අල වවන චක්‍රය එතැනින් නවතිනවා. ආයිමත් රට බීජ තමයි.

කුඹුරේ අල හදන්න , වතුර දාන්න, බෙහෙත් ගහන්න හා පැල් රකින්න අපේ නව යව්වන කාලයෙන් සෑහෙන වැයවුනා. කුඹුරේ පැලේ ඉන්න ආශා හිතෙන තව සිද්දියක් තමයි තිස්සෙම ලිපේ අල තැම්බෙන මුට්ටියක් තිබීම. සමහර දවසට අල්ලපු  කුඹුරේ ලියදි අයින දිගේ හිටවලා තිබ්බ ඉරිඟු කරලුත් මේ මුට්ටියේ තැම්බුනා. වැඩිපුරම පැල් රැක්කේ අයියයි අයියගේ යාළුවොයි.  දවසක් අල රකින්න රෑ පැලට ගියේ අයියයි මායි. රෑ මැදියමේ කුඹුරේ පහළ මායිමෙන් කාගේදෝ බර අඩි සද්දයක් ඇහිලා මම අයියව ඇහැරෙව්වා . "අන්න සද්දයක් ඇහෙනවා" මම කීවා . 
"අර ටෝච් එක අරන් පොඩ්ඩක්  බලන්න" . කියපු අයියා  අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා . මරු පොර අල රකින්න.  ඒ දවස්වල අයියා උසස් පෙලට පාඩම් කරනවා. 

තව වතාවක් අපේ අල රකින්න ආවේ  සෙනෙවි. එතකොට අයියා කැම්පස් ගිහින් .  සෙනෙවියි මායි මාස දෙකක්  පැල් රැක්කා. අන්තිමට අල ගලවලා විකුණන්න හිතන් හිටි දවසට කලින්දා අපි පැලට ගියේ රාත්‍රී නවයට විතර. ඒ යද්දී  අපිට අල ගස් පෙරලලා තියෙන වග පෙනුනා . තව ටිකක්‌ විපරම් කරද්දී අල වගාවේ හොඳම හරියට  හොරු වැඩේ දීලා. ඒ විදිහට අපේ ගේ ළඟ වත්තෙයි  කුඹුරෙයි හදාපු අල තුන් පාරක් හොරු ගැලෙව්වා. තුන් හතර පාරක්ම ඌරෝ විනාශ කළා. අපි සැලුනේ නෑ. එක වතාවක් අපි ගමෙන්ම වැඩිපුර අල වවපු පවුල වුනා . අල හොන්ඩර දහයක් හිටෙව්වා . එකට දහයක් වෙච්ච අස්වැන්නක්  ඒ කියන්නේ හොන්ඩර සීයකට  වැඩිය ගැලෙව්වා. බණ්ඩාරවෙල හිටි පුංචිරාළ  මුදලාලි  ලොරි දෙකක් අරගෙන අපේ ගමට ඇවිත් අල පටවාගෙන ගියා. ඒ සැරේ සල්ලිවලින් අපි ගමට හැතැප්ම තුන හතරක් ඈත ලස්සන සානුවක තිබ්බ කන්දේ ආරාව කියන කුඹුර සල්ලිවලට ගත්තා . ඒ කුඹුරට යන්න ඕනි හිඹුටු , පේර හා කටුවැල් පිරිච්ච ලන්ක්දක් මැදින්. අපි කන්න දෙකක් විතර ඒ කුඹුර වගා කරලා ආපහු මුල් අයිතිකාරයාටම දීලා දැම්මා. 

ඉතින් අපි අල වවන කාලේ දියතලාව , බණ්ඩාරවෙල , වැලිමඩ, නුවර එලිය වගේ පැති අල ආර්ථිකයෙන් සශ්‍රික වෙලා තිබ්බේ .  ඒ කාලෙත්  බීජ අල සම්බන්ධ ප්‍රශ්නෙත්  තිබ්බ . පොහොර ප්‍රශ්නේ තිබ්බා . ඒ වෙනකොටත් කහගොල්ලේ හා සීතාඑලියේ පර්යේෂකයෝ ලංකාවේම බීජ අල වවන හැටි හොයමින් හිටියා . මේ අතර ප්‍රමුඛයා ආචාර්ය වී යෝගරතන්ම. ඔහු තමයි ඉන්දියානු අල  ප්‍රබේධ  මුහු කරලා ශීතා හා කෘෂි කියන අපේම අල වර්ග දෙක හොයා ගත්තේ . 1989 වෙද්දී ඔහු හිටියේ බණ්ඩාරවෙල , කහගොල්ල සහකාර කෘෂි අධ්‍යක්ෂකවරයා වෙලා. ඒ වෙනකොට අපි යන එනමන් නැතිව අනාත වෙලා . කැම්පස් වහලා . ආචාර්ය යෝගරත්නම් අපි හැමෝටම කෘෂි පර්යේෂනායතනේ සුළු සුළු රස්සා දුන්නා. බීජ ගනින්න, පැකට් කරන්න. දත්ත වගු  ගත කරන්න වගේ ඒවා  . මේ රස්සා දීම නිසා කීප දෙනෙක්ගේ ජීවිතත් බේරුනා . ගෙවල්වල හිටියානම් වෙන කොහේ හරි ගියානම් පොලිසියෙන් උස්සන කාලයක් ඒක. මමයි තිස්සය් ආචාර්ය යෝගරතම් ගැනත් ඔහුගේ පර්යේෂණ ගැනත් ලිපි කීපයක්ම ලිව්වා. දැන් ඒ පත්තර හොයා ගන්න නෑ

මම මේ ළඟදී අන්තර්ජාලය පීරා පීරා හෙව්වා ආචාර්ය වී යෝගරත්නම් ගැන තොරතුරු ටිකක් හොයා ගන්න . ඒත් හම්බුන් නෑ. ඒ වෙනුවට මෙන්න මේ ලිපිය හම්බුනා . 

Photo : The Grower