Thursday, May 21, 2015

පිටස්තරයා සමග රාත්‍රියක්

ම්බලපිටිය වෙරළට ඝෝෂාව දාගෙන , ලුනු රසැති  මුහුදු හුළං හමද්දී  අපි දෙන්නා එකිනෙකට නුදුරින්  පිහිටි ගල්ගෙඩි දෙකක් මත වාඩි  වී සිටියෙමු.
උන් තැනම ඇන තියාගෙන වට පිට අත ගාද්දී හමු වූ පුංචි ගල් කැටයක් අතින් ගත් පිටස්තරයා නැගී සිටියේය.  ගල් කැටය ඈත දියඹට විසි කළේය.
සැන්දෑ කළුවර නිසා එය  කොයි අත  ගියාදැයි පෙනුනේ නැත. මුහුදේ ඝෝෂාව නිසා කැටය  දිය තලය මත ගැටෙන හඬ ඇසුනේද නැත. එහෙත් ඇස්දෙක පියාගෙන වුව ගල් කැටයේ ගමන හා ඉරණම ගැන චිත්තරුප මවා ගන්නනට පුළුවන් විය.

පහුගිය අවුරුදු විසි දෙකක් තිස්සේ උඹ ගැනත් මම ඔහොමයි හිතුවේ. පිටස්තරයා කිව්වේ.

ඒ කිව්වේ ?

හම්බුන් නෑ  දැක්කේ නෑ . ඒත් මෙහෙම තැන්වල  ඇති මෙහෙම ඉන්නවා  ඇති කියල දැනුණා

උඹට මතකද දවසක් සිගරට් තුනක්  අතේ තියාගෙන අපි මේ වැල්ලේම  එහෙ මෙහෙ ගියා ගින්දර ටිකක් හොයා ගන්න බැරිව. ටුටුත් අපිත් එක්ක හිටිය . පස්සේ මුරට හිටි පොලිස් කාරයෙක් අපිව චෙක් කරා.

පාරේ රස්තියාදු වෙන්න එපා කියල අපිට දෝස් මුරෙත් දැම්මා .

ඊට පස්සේ යන්නම් කියල අපි යන ගමන් නිකමට වගේ මිනිහගෙන් ඇහුව ගින්දර තියෙනවද කියල .

ඒ භීෂණ කාලේ ඉවර  වෙලා අවුරුදු කීපයකට පස්සේ.. කොළඹ කොටි ගහන  කාලේ . කොළඹත් කෝච්චි පාරේ තැන තැන මුර. අපි වැඩ කලේ මුහුද අයිනේ සයිට් එකක

මල්ලි මමත් මේ සිගරට් එකක් බොන්න විදිහක් නැතිව හිටියේ . සිගරට් තියෙනවා. ගිනිපෙට්ටියකුත් තියෙනවා . හැබැයි එකම එක ගිණි කුරයි තියෙන්නේ. ඒක ගහන්න බයයි මේ අලුගුත්තේරු මුහුදු හුලඟටයි පින්නටයි ඒක නිවිලා යාවි. එලි වෙනකන් හීතලේ ඉන්න වෙනවා එහෙම වුනොත්.

ටුටූ  හිනාවෙලා ගිණිකුර  ඉල්ලාගත්තා
මුහුදු හුළං අතින්  මුවා කරගෙන ඒක නිවෙන්න කලින්  සිගරට් හතරක් පත්තු කරා.

ඇයි අපි අර මුරපොලේ හේත්තුව දාගෙන ඊට පස්සේ පැය දෙකක් විතර කතා කරපු එව්වා.
ඌ හොඳ එකා බන්.

උඹේ බ්ලොග් එක මම බලනවා . මම තාමත් කැමති උඹේ පළවෙනි පොස්ට් එක යවුල ගහට. අදට  හරියටම අවුරුදු දෙකකට කලින් ලියපු එක. .
ඊළඟට භීෂණයේ මල් පෝච්චි . ඒත් උහුලා ගන්න අමාරු ඒවා ලියනවට වඩා මං  කැමතියි චුටි උක්කුන් අයියා, 23 ශ්‍රී පාන් භාගේ වගේ  මුණු ජොලි මූඩ් කරවන එව්වා වැඩිපුර ලිව්වනම්.

උඹ ඉස්සර කලාකවයට අපි කවි ලියල දෙනකොට බනිනවා නේද ගණිකාවන්ගේ දුකයි, පාන් කෑල්ලක් නැති වුන් ගැනයි විතරක්ම  ලියන්න එපා එම්පයර් ස්ටේට් බිල්ඩිම හදපුවා  එහෙමත්  ලියපන් කියල. ගේ ඉස්සරහ නිකන් වැවෙන ගස් ලබු ගහක් හදා ගන්න බැරි දුප්පතුන්ට උඹ බැන්නා .

උඹයි උඹ ලියන ඒවගේ ඉන්න එකයි දෙන්නෙක්.

ඔව් බන් . මම ගිය සතියේ ලෝකේ උසම බිල්ඩිම  බලන්න ගියා . ඉතින් කාටවත් කියන්න එපා මට හිතුනා අපි කරලා තියෙන්නේ මොනාද කියල. සාහිත්‍යය ලෝකෙත් එහෙම්මම තමයි.

ෂ් ෂ් පිටස්තරයා මාව නැවැත්තුවා.

යකෝ උඹ දන් නෑ සංස්කෘතියක් බිහි වෙන්නේ කොහොමද කියල. ඒවා රටකින් රටකට වෙනස්. බොහොම සියුම් කලා නිර්මාණ ගැන ඔහොම රළු විදිහට කතා කරන්න එපා .

උඹ ඉසිස්සෙලම රස්සාවට ගිහිල්ලා අදට  අවුරුදු විසි දෙකක් වෙනවා.

ඔව් මට මතකයි .

උඹට ඒක විතරක් මතකයි.

ඒත් උඹට මුල අමතකයි .

ඇයි උඹ එහෙම කිව්වේ? .

උඹට මතකද උඹ ඉස්සෙලාම රස්සාවට යන්න කලින් ප්‍රොසෙසින් ලැබ් එක ළඟ දැවටී දැවටී හිටි හැටි. අර ඉන්ස්ට්‍රක්ටර් වේකන්සිය උඹේ කියල හිතාගෙන. එතකොට අනුරාධපුරේ රස්සාවට යන්න ලැබිච්ච ලියුමත් උඹේ අතේ.
ඔව් බන් ඒ මම කැම්පස් එකේම රැඳිලා ඉන්න කැමැත්තෙන් හිටි නිසානේ.

 අර ලයිබ්‍රරියේ තිබ්බ පොත් කන්දරාව. තව පොත් ලියන්න නාට්‍යය කරන්න උඹට තිබ්බ ආශාව. තව තව ඒවා.

ඒත් ශාන්තිනී නෝනා මොකද කිව්වේ. මේ පැත්ත පළාතේ එන්න එපා. එලියට ගිහිල්ලා ලෝකේ බලල වරෙන් . තව අවුරුදු පහලවක් විතර ගියාම උඹට ආයෙත් මෙහේ එන්න පුළුවන් . මේකේ ඇතුලේ හිටියොත් උඹ කොටු වෙනවා කිව්වා මතකද.

දැන් මොකද උඹට ඒ ගැන  හිතෙන්නේ, එදා ගත්ත තීරණේ ගැන.

ඔව් බන් ඊට පස්සේ කොච්චරක්  නම් දේ වුනාද? මොනා වුනත් ගත වෙච්ච කාලේ ගැන සතුටුයි.

මම ප්‍රොෆ්  ශාන්තිනී ගැන කවදාවත් ලියල නෑ. ඒක කොච්චර් සුන්දර කාලයක්ද. ලේක්චර්ස්  වැඩ ඉවර වෙලා අංශ ප්‍රධානියෙක් තමන්ගේ ගෝලයෙකුට තේ එකක් හදල දීල පැය ගණනක් නාට්‍ය ගැන, සංගීතය ගැන  කතා කර කර හිටපු කාලයක්. මහා යන්ත්‍ර සුත්‍ර , බීකර බියුරෙට්ටු දෙපැත්තේ තියාගෙන. බිත්තියේ එල්ලාපු න්‍යෂ්ටික බලාගාරේක පින්තුර දිහා බලාගෙන .

ඉතින්
ඉතින් තමයි දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ?.
ලියනවා

අර කිව්ව නවකතාවද

ඔව්

හාහ් හාහ් හා . පිටස්තරයා මහා හයියෙන් හිනා වුනා .

ඇයි උඹ හිනා වෙන්නේ ?

ඒකට උත්තර දෙන්න පිටස්තරයා හිටියේ නැත  . වෙරළත් නැත.. මුහුදු හුළඟත් නැත .

මේ මගේ 75 වැනි පොස්ටුවයි. පෝස්ට් කර නිදා ගන්නට ඕනෑය .


Phopto:  absolutebility.com

Monday, May 18, 2015

පොඩි විජේ, අඹ විජේ හා බට්ටී

රණ තාලේ වැඩබිම් කන්තෝරුවේ දොරකඩට වී බාච්චු කමිසයක් හා  හිර දිග කලිසමක් ඇඳ  තට්ට හිසින් බේරෙන  දාඩිය පිටි අත්ලෙන් පිසදාමින් හිනැහුණු පුද්ගලයාගේ මුවේ ඉදිරිපස දත් දෙක තුනක අඩුවක්  තිබිණි. පෙනුමෙන් ඉතා කුඩා වූ ඔහු මා එන බව කල් තියා දැනගෙන සිටියේය.

යං  මහත්තයා වාඩි  වෙන්න.

බොහොම ස්තුතියි. කෝ ලොකු මහත්තයා ?

ලොකු මහත්තයා මැකී ගියා. මමත් මැකී ගිහින් දැන් තමයි ආවේ .
මට විහිලු කරනවද කියා අසන්නාක් මෙන් ඔහු දෙස බැලීමි.
පැන්ට්‍රියේ තේ හදමින් සිටි ජයසේකරට කතා කළ ඔහු මේ මහත්තයාට තේ එකක් ගෙනත් හෑන්ඩ් ඕවර්  කරපන් කියා කීවේය.

මේ වෙන කවුරුවත් නොව  වැඩබිම් කන්තෝරුවේ කාර්යාල සහකරු බවත් ඔහුගේ හැබෑ නම තෝමස් වගේ එකක් වුනත් කවුරුත් ඔහු අමතන්නේ ' පොඩි විජේ' කියා බවත් මම පසුව දැන ගතිමි.

පොඩි විජේ මොන කතාවාක්  මැද්දට වුනත්  ' හෑන්ඩ් ඕවර් ' කියන වචන දෙක දැම්මේය. ඊට හේතුව බොහෝ විට ඔහුට ලැබෙන්නේ කාට හෝ ' හෑන්ඩ් ඕවර් ' කරන්න කියා දෙන ලිපියකි.
වතාවක් ඔහු මට කිව්වේ 'මහත්තයා අපේ ඉස්ටෝරුවේ දොර පුංචියටනේ හදලා තියෙන්නේ . බලන්න ඒකෙන් දෙන්නෙකුට එක පාර හෑන්ඩ් ඕවර් වෙන්ඩ  බෑනේ කියලාය.

කාගේදෝ මරණයක් ගැන කියද්දී මැද්දට පන්න ඔහු කිව්වේ 'එකනේ අනිච්චාවත සංඛාරා උප්පාධ  වය ධම්මිනෝ කියල බුදු හාමුදුරුවෝ හෑන්ඩ් ඕවර් කරලා තියෙන්නේ' කියලාය.
සෙස්සන්ගේ  රැවුම් ගෙරවුම් මැද  පොඩි විජේ  ඒ වැරදි  කතාව ගැනනම් පසුතැවිලි වන බව පෙන්නුවේය.

ඔහු ඒ දවස්වල ප්‍රිය කළ දෙයකි මැකී යෑම' . මැකී යනු අපි ගනුදෙනු කළ පුද්ගලික ආයතනයක නමකි.

පොඩි විජේ යන නම ඔහුට පට බඳුනේ ඔහු නිතරම අඹ විජේ හා කැඳ  විජේ යන මිතුරන් දෙදෙනා සමග කයිවාරු ගසමින් සිටි නිසාය. ඒ දෙන්නටම වඩා උසින් හා මහතින් අඩු නිසා පොඩි විජේ යන්න ඔහුට සින්නක්කරේ අයිති විය.

කැඳ විජේ උදේ පාන්දර අලව්වේ සිට වැඩට එන වැඩබිම් සේවකයෙකි. පාන්දර තුනට නැගිටින ඔහු බිරිඳ විසින් සාදා දෙන කොළ කැඳ පාප්පය සුදු පාට ප්ලාස්ටික් කෑන් එකක දමාගෙන පැය දෙක තුනක් තිස්සේ බස්වල රස්තියාදු වී මුත් උදේ හය හමාර වෙන විට වැඩබිමට එයි. ඉන්පසු කැන්ටිමේ  ලිපක මුට්ටියක් තබා කොළ කැඳ  තුනී වෙන්නට වැඩිපුර වතුර දමා උණු කර ගනී. වැඩ පටන් ගන්නා හෝරාව  වන තුරු කොළ කැඳ විකුණන ඔහුගේ පාරිභෝහිකයන්  අතර වැඩබිම් සේවකයෝ පමණක් නොව ඉන්ජිනේරු  මහත්තුරුද සිටියෝය.

අඹ විජේ අපේ වැඩ බිමට හේත්තු වුනේ අමුතුම ආකාරයකටය. සීරුවට පොතු සුරා හීනි පෙතිවලට පලා ලුණු දැමු අඹ වට්ටියක් උස්සාගෙන උදෙන්ම  වැඩබිමට  එන්නට පුරුදු වී සිටි විජේ ටික කලකින් අඹ විජේ බවට පත් විය. කැපූ අඹවලට අමතරව නොකැපු අඹද ඔහුගේ වට්ටියේ විය. ඒවා හොඳ පැසුණු කර්තකොලොම්බන් වීම නිසා ඔහුගේ අඹ වට්ටිය වැඩබිම් සීමාවෙදීම ඉවරයක් විය. ඉන්පසු අඹ විජේ කැරකි කැරකී ඒ අවටම සිටි නිසා මහත්තුරු ඔහුව පොඩි පොඩි වැඩවලට කඩේ යවන්නට පටන් ගත්තෝය. අවුරුද්දක් විතර යනකොට ඔහු අනියම් සේවයකයෙක් ලෙස රස්සාවට බැඳුනේය. ඔහු පර්චසින් සහකරු විය. ආමර්වීදිය පුරා ඇවිද  අවශ්‍ය තරමේ පීරී, යකඩ ඇණ , කියත් තල ආදී සුළු සුළු මිලදී ගැනීම් කරගෙන එන්නට ඔහුට පැවරිණි.

පොඩි විජේ කළුතර සිට රස්සාවට එමින්  යමින්පොඩි උන්  තුන් දෙනෙකුගේ කුස ගින්න නිවා ගන්නට අපමණ වෙහෙසක් දැරුවේය. කිසිදාක හොර බොරු නොකලා වුනාට උපක්‍රමශීලීව මහත්තුරුන්ගෙන් ගතමනාවක් කොටා ගන්නට ඔහු හුරුබුහුටි විය.

ගෙදරින් බත් එක ගෙනාවාදයි නිතර අමතක වන ජයවීර මහත්තයා කෑම කාමරයේ වාඩි කරවා  කැන්ටිමෙන් බත් එකක් ගේන්නට රුපියල් විස්සක් ඉල්ලා ගනී. ඉන්පසු පොඩි විජේ කෙලින්ම යන්නේ ජයවීර මහත්තයාගේ කාමරයටය. ඔහුගේ පයිල්  බැගය ඇර කෑම පාර්සලය ගන්නා ඔහු එය මැටි පිඟානක දමා වතුර වීදුරුවක්ද සමග කාගේ හෝ සමග මෙලෝ සිහියක් නැතිව කයිවාරු ගසමින් සිටින ජයවීර මහතා ලඟින් තබයි.

පොඩි විජේ කළ දේ දන්නා අපට කෑම කද්දී බත් එකට අනා ගන්නට නොමිලේම සිනා රසය ලැබිණි.

ඇතැම්විට කාගේ හෝ  කාරයක්  සෝදා දමන ඔහු කමිසයේ හා කලිසමේ අත් නමාගෙන ඇඟපුරා  වතුර ඉහගෙන රථය  හිමි නිලධාරියා පෙනෙන මානයේ එකෙල මෙකෙල වෙයි.

වාහනේ   හොඳටම ජරා වෙලා මහත්තයා. ඔහොම පාරේ යන්න පුලුවන්ද? හිනාමුසු මුහුණින් විජේගේ  අතේ කීයක්  හරි තියන නිලධාරියා විහිලුවට මෙන් ඔහුට තරවටුවක් කරයි.

එක නිවාඩු දවසක ජයවීර මහතා මහා පාන්දර ඇහැරී ඇත්තේ කවුදෝ සර බර ගාමින් මිදුල අතු ගාන හඬක් ඇසීමෙනි . අසනීපයෙන් සිටින සිය බිරිඳ මේ වෙලාවේ එලියට බහින්නේ  නැති බව දන්නා ජයවීර හීන් සැරේ  ජනේලය ඇර බලද්දී දුටුවේ තාප්පයෙන් මිදුලට පැන ඉදලද සොයාගෙන මිදුල අතු ගාන පොඩි විජේය.
සිය දරුවාගේ අසනීපයකට මුදල් හදිස්සියක් වී කීයක් හරි සොයා ගන්නට පොඩි විජේ ආවේ එහෙමය.

පොඩි විජේ මරු ආවේශ වී කෑ  කොස්සන් ගැසුවේ ඔහු හා බට්ටී අතර තිබෙන සම්බන්ධයක් ගැන අනික් උන් උසුළු විසුළු කරන විටය.

අපේ වැඩබිමට නුදුරින් පිහිටි බට්ටිගේ කඩයට හැන්දෑ වෙද්දී මදක් ගොඩවී එන්නට පුරුදු වී සිටි කීප දෙනෙක්ම විය. පොඩි විජේ ඒ පැත්තට වැඩිපුර ගියේ නැතිවාට බට්ටී ගැන කියමින් ඔහුව බයිට් කිරීම නොකඩවා සිදු විය.

එක් හැන්දෑ වරුවක උතුරන කේන්තියෙන් සිය සගයින්ට බැණ වදිමින් ඔහු මා සොයා ආවේය.
බලන්න මහත්තයා අපේ  කාලකන්නි මිනිස්සු අර අහිංසක ගෑනියෙකුට  එක එක කතා කියන විදිහ. මටනං මොනා කීවත් කමක් නෑ .

' ඉතින් විජේගේත් ඒ මනුස්සයා ගැන පොඩි අනුකම්පාවක් තියෙනවා වගේනේ'  මා කී දෙයින් විජේ තව තවත් පරල විය.

යං  මහත්තයා මේ දැන්ම  යං . මං  බට්ටිව මහත්තයාට පෙන්නන්නම්. එතකොට තේරෙයි මේ  කියන්නේ මොකක්ද කියල.

අපේ ෆෝමන් මහත්තුරු පවා ඉඳ හිට බලන්නට යන බට්ටී කවුදයි දැක බලා ගැනීමේ ආසාවක් මා තුලද තිබු නිසා මිදුලේ  නවත්වා තිබු ජයසේනගේ පරණ පර්ජෝ කාරයට විජේවත් නංවාගෙන හා යමන් කියා කීවෙමි.

වැඩම්බිමට පිටිපස්ස්සේ දුර්වර්ණ ලෑලි ගෙවල් පේලිය පසුකළ  පසු කොහොඹ ගහක් සෙවණේ  පෙට්ටි කඩ කැල්ලක්  තිබුනේය .
 ඔහොම නවත්තන්න.

මහත්තයා අන්න බලා ගන්න බට්ටි කියන්නේ කව්ද කියල.

කෝ කවුරුවත් නෑනේ .

පෙනෙන්න සිටියේ ඉස්සරහ තැඹිලි ගෙඩි දෙක තුනක් හා වීදුරු බෝතලයකට දැමු ලොසින්ජර  කීපයක් පමණක් විකුණන්නට තිබු කඩයේ වාඩි  වී සිටි වියපත් ගැහැණියක් පමණි. උඩුකය නිරුවත්  පුංචි උන් දෙන්නෙක් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.

ඔය වයසක උන්දැට තමයි මුන් බට්ටි කියන්නේ. මේ ගමේ කියන නම. ඔය මනුස්සයාගේ දූ ළමයි දෙන්නෙක් හදාගෙන උන් දෙන්නා අම්ම ළඟ තියල තව එකෙක් එක්ක පැනල ගහින්.

ඉතින් අපේ මිනිස්සු මෙහෙ එන්නේ මොකටද?
ඔය මනුස්සයා කඩේ පිටිපස්සේ කසිප්පු විකුනනවා. පව්. ජීවත් වෙන්නනේ  මහත්තයෝ ඔක්කොම කරන්නේ.

එදා සිට පොඩි විජේ මට ලොකු විජේ කෙනෙක් ලෙස පෙනුනේය.


සටහන:

මේ දවස් වල වැඩ නැවතී ඇති ඉදිකිරීම් නිසා විජේලා හා බට්ටිලාට කුමක් වී ඇත්දැයි සිතෙයි

Photo: pagalaparrot.com

Thursday, May 14, 2015

කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ

පාසැල් , සරසවි හා ගුරු විදුහල් කලා පුවරුවලින් ලියන්ට පටන් ගත්ත රචකයෝ රචිකාවෝ එමටයි. මේ වෙන වෙනම ගුරුකුල හදා ගන්ට හදනවා  නෙවෙයි. ඒත් මට පුරුදු පේරාදෙනි ඉංජිනේරු පීඨ කලා පුවරුව ගැන විශේෂයෙන් සඳහන් කරන්ට හිතුනේ මට බොහොම ප්‍රියමනාප මාතෘකාවක්  හින්දා. සිංහල බ්ලොග් ලියන්නන් අතරේ කීප දෙනෙක්ම ඔය කියන කලාකවයේ කාලයක් රඟ දක්වාපු අය. . ඉස්සර කතන්දර ලියපු රසිකලොජිස්ට් මේ පුවරුවේ පිනුම් ගහපු හාදයෙක් කියල ඔහුගේ කතන්දර කියවලා තියන අයට අමුතුවෙන් කියන්ට ඕනි නෑනේ. ඇයි අපි කාගේත් හිතවතා ඉවාන් පවුලුෂා  එතකොට බ්ලොගේට වඩා බුකියෙන් සමාජ සත්කාරකම් කරන කවි ලියන ලන්ඩන්වාසියා සඳුන් සේවනේ චන්දන. කවි, නවකතා හා කෙටිකතා  රචකයෙක් වගේම නිතර පුවත්පත්වලට ලියන හෙන්රි වර්ණකුලසුරියත් ඔය කලාකවයේ සුමිතුරෙක් වෙලා ඉඳලා  තියෙනවා.

රසික සුරිආරච්චි මට උදවු වෙයි මේ වගේ කම්මල් කලාකවයෙන් පටන් අරන් බ්ලොග් හා පොත්, පත්තර ලියන තව කීප දෙනෙක්ගේ නම් මතක් කරන්න.

තව හිටියා විදුර තෙන්නකෝන් කියල බොහොම දක්ෂ ලියන්නෙක්. දැන් අන්න චන්දන හඳුන්වලා දුන්න දුරුරට තොරතුරු කියන FB ගෘප් එකේ ලස්සනට ලියනවා. විදුර ළඟදීම බ්ලොගක් ලියන්න පටන් ගනීවි කියල හිතනවා.

මගේ බ්ලොග් පෝස්ට් වලට රසබර කොමෙන්ට් ලියන  රුවන් රත්නායක අපේ කාලේ කලාකව පුවරුවට සොඳුරු නිර්මාණ ලිව්වා. ගායක  සමන් ජයනත් ජිනදාසගේ මලයා ලක්මාල් ජිනදාස වගේම ඔහුගේ බැච් එකේ හිටි වසන්ත ඇහැලපිටිය හා ගජසිංහ එහෙම නිතරෝම කවි ලිව්වා. ගජසිංහගේ කවි වලට පැත්තකින් මල් මල් චිත්තරෙකුත් දාලා තිබ්බා මතකයි.

අපේ බැචාලා වූ ඉස්කොලයා හා සමරක්කොඩි කාටුන් චිත්‍ර ඇඳීමට දක්ෂයි. සමරේ පාර්ට් ටයිම් චිත්‍රපටි කටවුට් බෝඩ් ඇන්දා කියල කාඩ් එකකුත් තිබ්බ. ෆොටෝ එකක් අරගෙන ඒක පුංචි පුංචි කොටුවලට බෙදලා ඊළඟට විශාල කොලේක ඒ විදිහටම අඳින්න මේ දෙන්නම දක්ෂයි.

කලා  කවයේ වැඩවලට ගොඩක්ම සම්බන්ධ වුන දෙන්නෙක් තමයි STB හා සමන් රන්ජිත් .
දැන් විදුලි ඉංජිනේරු අංශයේ  ආචාර්ය ජනක විජේකුලසුරිය 92 අවුරුද්දේ  කලා  කවය බාර අරගෙන සංස්කරණය කලා . හොඳට ලියන්න පුළුවන්. නන්දන හෙවත් පුංචි ඉස්කොලයා කැනඩාවට වෙලා දැන් හිටියට කලා  කවයත බොහෝ දේ ලියු කෙනෙක්. තව මට අමතක වූ නම් බොහොමයි. ඉංග්‍රීසී කවි සින්දු ලියපු අයත් හිටියා. තව ලස්සන ෆොටෝ හා චිත්‍ර නිර්මාණත් පුවරුවේ ඇලවුණා. ඔය අපි දන්නා සීමිත අවුරුදු කීපයට පෙර හා පසු තවත් බොහෝ පිරිසක්  ඔය කලා  කවයෙන් සිය නිර්මාණ විලිරුදාව  නිවා ගන්න ඇති

මේ කලා  පුවරුවට උනන්දුවෙන්  ලියපු ගැහැණු ළමයි අඩුයි. එහෙම උනේ අපේ කාන්තාවන් හිටියේ බැච් එකකට සියයට දහයක් විතර  වුණු  නිසා වෙන්ටැති .

ඉස්සර කලා  පුවරුවට මොනා හරි ලියන කොල්ලෝ කෙල්ලෝ නිතරම ඒ අවට තියෙන කැන්ටිම පැත්තේ ගැවසෙනවා. ඒ කවුරුවත් බෝඩ් එක කියවනවද කියල බලන්ට. කවුරුහරි එතන ඉන්නවනම්  එතෙන්ට වෙලා හොරෙන් බලනවා මොනාද කියවන්නේ කියල. දැන් උනත් FB එකට හරි බ්ලොග් එකට හරි මොනාහරි දැම්මොත් සැරින් සැරේ ෆෝන් එකෙන් හරි ලොග් වෙලා බලන්නේ ලයික් කීයද කොමෙන්ට් කීයද  කියල.අන්න ඒ වගේ. දැන් පේරා කම්මල් ආදී ශිෂ්‍ය සංගමේ ලොකු තනතුරක් දරන ගාමිණී නන්ද වරක් කිව්වා මේ කලා පුවරුවට සෑහෙන පෙම් කවි ලිව්වා කියලා.

88-89 අවුරුදුවලදී කම්මල්  කලා  පුවරුවත් ඇඳිරි නීතිය දවසේ බස්ටෑන්ඩ් එකක් වගෙයි තිබ්බේ . ඒත් 90 අවුරුද්දේ මේක නැවත පණ ගහල ගන්නේ දැන් එංගලන්තයන්ට වෙලා ඉන්න මෙකට්‍රොනික්ස් වැඩ කරුවෙක් . ඒ අපේ පලී . පලියා නැවත ලියන්ට පටන් ගන්නවානම් කොච්චර හොඳද කියලා හිතෙනවා. දැන්නම් මිනිහ සමාජ ජාල, බ්ලොග් හා සිංහල පත්තර වලින් ඈත් වෙලා. ෆුල් ඩීසන්ට්. ඒත් ඒ කාලෙනම් පුදුම ෆන් එකේ හිටි චරිතයක්. ගොන්පාර්ට් නිර්මාණ ශිල්පියෙක්.

මේ පලීගේ සංස්කරණයෙන් පටන් ගත්ත දෙසති කලා  කව පත්තරේ ඒ කාලේ රස ගුලාවක්. විද්‍යුත් විනෝද මාධ්‍ය ඉතාම අඩු කම්මල් වාසීන්ට මේ කලාපුවරුව සිහිල් දියපිරි දොළක් වුනා.

ඔය කාලෙම පටන්  ගත්  ' පිටස්තරයා' නම් වූ තීරු ලිපිය සතියකට වතාවක් සඳුදා උදේට කොහොම හරි පළ  වෙනවා. ඉතින් සඳුදා පිටස්තරයාව  නොවැරදීම කියවන පිරිසකුත් හිටියා. මහා ඇකඩමික් හා ටෙක්නිකල් පෙනුම තියෙන සීරියස් අදුරු තුමෝත් ටික ටික කලාපුවරුව කියවන්ට පටන් ගත්තේ ඔය කාලේ.

අර මම කිව්ව  මාරේගේ කවිය  තමයි පිටස්තරයා අන්තිමට ලිව්වේ. මුල් කාලේ පිටස්තරයා ලියවුනේ පලීගේ අත් අකුරුවලින් , දෙවැනියට සමන් රංජිත්ගේ අත් අකුරින්. ඒත් ලියන්නේ වෙන කවුරු හරි කියල හැමෝම දැනගෙන හිටියා . ඒත් කොච්චර ඇහුවත් කවුරුත් කිව්වේ නෑ මේ නිර්නාමිකයා ගැන හෝඩුවාවක්.

සරෝජිනී බලන්න අස්ස කෝච්චියෙන් ගිය කතා, හෝර්ටන් තැන්නේ නිරුවත්ව වැතිරිච්ච කතා, අජිත් තිලකසේනගේ  කෙටි කතා ගැන වගේම  නිව්ටන්ට වැරදිච්ච තැන් ගැන හිටන්  එකකට එකක්  වෙනස් අපබ්‍රංශ ඒ කෙටි තීරු ලිපිවල පල වුනා.

මේ වැඩේ මාට්ටු වෙන්නේ සමන් රන්ජිතුත් අසනීප වෙලා තවත් අත් අකුරු ලස්සන එකෙකුට පිටස්තරයා තීරු ලිපිය  පිටපත් කරන්න දුන්නම. මෙන්න බොලේ අරූ එක රැයින් පීඨය පුරා පතුරුවනවා. පිටස්තරයා ලියන්නේ කවුද කියල.

පිටස්තරයා ගැන වැඩිපුර ලියවුනේ අවුරුදු 22කට පසු පසුගියදා මට හමු වූ 'පිටස්තරයා' සමග කළ සාකච්චාවක් ලබන 21 වැනිදා ලියන්ට හිතාගෙන ඉන්න නිසා.

දැන් ඔන්න පලී  ගැන කියනවානම් 1991 අවුරුද්දේ පලී කලා  කවයේ සංස්කාරක ධුරය මට භාර දීලා සරසවි ජීවිතෙන් සමු ගත්තා .

මෙන්න මේ වගේ කවියක් තමයි පලී අන්තිම දවසේ බෝඩ් එකේ අලවලා ගිහින් තිබ්බේ .( අන්තිම පදේ විතරයි හරියටම මතක, අනික්වා මට මතක තිබිච්ච වචන)

කම්මලේ යකඩ මැද යව්වනය දිය වුනේ
කොල්ලෝ දැන් වයසකයි තව ඉන්ට බෑ අනේ
ටිකට් එක හම්බුනා යන්න යනවා   පනේ
කෙල්ලො  ටික බලාගෙන හොඳින් හිටපන් රණේ


දැන් හැමෝටම ප්‍රශ්ණයක් වුනේ කවුද මේ රණේ කියන්නේ කියල . හැබැයි එදා කෑම පැයේදී කලා කව පුවරුව ඉස්සරහ යටි රැවුල අත ගගා මේ කවිය කියවමින් හිටි අපේ පිඨාධිපති මහාචාර්ය රණවීර දකිනකොට මේ කුතුහලය දියවෙලා ගිහිං හැමෝගෙම මුණුවල අලුත් හිනාවක් මතු වුනා.



පසු සටහන :

කම්මල් කලා  කවයේ නිර්මාණ බෙදා හදා ගන්නම නිර්මාණය  කළ පින්තාරු වූ  යන්තර බ්ලොග් අඩවිය ගැන මට හෝඩුවාව කී එරන්ද තරිඳුට ස්තුතිය. ඉහත නම් සඳහන් කම්මල්වාසීන් දෙන්නෙක් පසුව  ආරම්බ කරපු බ්ලොග් දෙකක් තමයි ඉකොනොමැට්ටා හා නොකී කතා

( සේයා රූ  අන්තර්ජාලයේ තැනින් තැනින්)

Tuesday, April 28, 2015

කඳුළු රසැති මොමෝ

ම මුලින්ම හඳුනාගත් නේපාල ජාතිකයා අර්ජුන් වෙන්නට ඇති. ඒ වසර කිහිපයකට පෙර මා මුල්වරට මේ රටට  ආ විටදී. ඉස්සෙල්ලාම දවසේ මා වැඩබිම් කන්තෝරුවේ හැමෝටම හඳුන්වා උන් අපේ ලොක්කා මට අර්ජුන්වත් හඳුන්වා දුන්නේ මෙසේ කියමිනි.

' ඔයාට ඕනිම වෙලාවක තේ එකක් කෝපි එකක් බොන්න හිතුනොත්  අර්ජුනට කතා කරන්න'

මම කන්තෝරුවේ නුපුරුදු  පුටුවේ වාඩි වී ටික වෙලාවක් ගත වෙත්ම තේ එකක් බොන්නට සිතිනි. අල්ලාපු ගොඩනැගිල්ලේ තියෙනවා කී  කුස්සියේ ඉන්ටකොම් නොම්මරය සොයාගෙන බොත්තම් එබූ මම  අර්ජුන් ඇමතීමි.
මට තේ එකක් බොන්න ඕනි.
කව්ද කතා කරන්නේ? .
 මම අලුතින් ආපු අහවලා . මම කිව්වෙමි.
 පැය බාගෙකින්වත් තේ එක නොලැබුන නිසා නැවත අර්ජුන් ඇමතීමි
 එවරත් සුපුරුදු ප්‍රශ්නය ඇසිණි .
 'මම අර අලුතින් ආපු අහවලා උදේ කතා කරේ' .
හරි මහත්තයා මේ දැන් ගේනවා .
 තව විනාඩි විස්සකින් පමණ  මට නැවතත් කුස්සිය ට කතා කරන්නට සිදු විය . කෝ අර්ජුන් මම දෙපාරක් තේ එකක් ඉල්ලුවා තාම නෑනෙ .
'දැන් මම ගෙනාවනේ සර් . හරි මම ආයේ ගේන්නම්'
ටික වෙලාවක් බලා සිටි මම මේ වැඩේ හරි යන්  නෑ කියා සිතාගෙන කුස්සිය සොයාගෙන ගියෙමි. කුස්සියට යනවිට නේපාල මල් පත්තරයක් කියවමින් මේසයට හේත්තු වී ගෙන අර්ජුන් සිටියේය.
කෝ අර්ජුන් මම ඉල්ලපු තේ එක?.

අර්ජුන් ඔලුවේ අත  ගහ ගත්තේය. 'අයියෝ ඔය මහත්තයාද තේ ඉල්ලුවේ?.  අද අලුතින් ආපු තවත් මහත්තයෙක් ඉන්නවනේ එයාට තුන් පාරක් තේ ගෙනිච්ච. තුන්වෙනි පාර බැනුමුත් අහගෙන තේ එක ආපහු ගෙනාවා' .
ඔය විදිහට හිතවත් වූ අර්ජුන් හරිම හිත හොඳ අහිංසකයෙක්  බව මට නොබෝ දවසකින් පසක් විය. සන්තෝෂම් මුදල් කිසිවක් නොපැතු ඔහු ඉඳ හිට ඉල්ලා සිටියේ නගරයට සතිපතා ගුවනින් එන නේපාල යොවුන් පත්තරයක් ගෙනල්ලා දෙන්න කියලාය. අපේ වැඩබිම පිහිටියේ තරමක් නගරයෙන් බැහැරව නිසා අර්ජුන්ලාට  නගරයට යන්න ඉඩක් ලැබුනේ කලාතුරකිනි.

ඒ   වැඩබමේ සිටි නේපාල ජාතික ලිපිකාරිණිය ගෞරි  පිළිබඳවද මතකයේ හිටින කතන්දරයක් තිබේ. ජපන් බෝනික්කන් සේ ඇඟ  පසඟින් හා ඇඳුමෙන්  වූ පිලිපීන ලියන් අතරේ කෘෂව ගිය සිරුරින් යුතුව ගෞරි මුළුගැන්වී සිටියාය. වරක් මම නිවාඩු ගොස් එනවිට  අපේ පරණ වැඩබිම් කන්තෝරුවේ කොටසක් කඩා දමා තිබුනේ අලුතින් ඉදිවන සුවපහසු කන්තෝරුවට ඉඩ පහසුකම් සපයමිනි. කලින් තිබුණු කන්තෝරුවේ පුටු මේස ඉවත් කර  තිබුණ අතර අලුත් ගොඩනැගිල්ලේ පැකින් නොකැඩූ අලුත්ම පුටු මේස ලොරිවලින් බාමින්  තිබිණි.

මට ඉඳ ගන්නට ඉතිරි වී තිබුනේ පුංචි ස්ටූලයකි . ලඟපාත මේසයක වැඩ කළ  නේපාල ලිපිකාරිණිය ඇය මෙන් දෙගුණයක් උස විධායක පුටුවක වාඩි  වී සිටියාය. මම ලංකාවේ කලින් සිටි කන්තෝරුවක  අලුතින් පුටු ගන්නා  විට උස්  පහත්  බේදයකින් තොරවම හැමෝටම හොඳ තත්ත්වයේ එකම වර්ගයේ පුටු ගත්තා මතකය. ඒත් මෙතැනදීනම් නම්  මට මදි පුංචිකමක්  වුණායැයි සිතෙන්නට පටන් ගත්තේය. එතැන් සිට මම අර ලිපිකාරිනිය දෙස බැලුවේ තරමක් නොමනාපයෙනි.

මේ අස්සෙම ඇය මා දෙස බලා මෙසේ කිව්වාය.
'මහත්මයා ඔය පුටුවේ ඉන්න අමාරුයි නේද? අපි අලුත් කන්තෝරුවට තව දවසකින් දෙකකින් මාරු වෙනවා. එතන ඔබට ඉතාම සුවපහසු මේසෙකුයි පුටුවකුයි ලැස්ති කරලා තියේවී .

මම කිසිත් නොකීමි. ' මට අපහසුයි  කියල තේරෙනවනම් මේ පොඩි පුටුවක් තිබ්බේ මොකටද ' කියන්නාක් මෙන් ඈ දෙස නුරුස්නා බැල්මක් හෙළුවෙමි.ඇය අසුනින් නික්ම ඉවතට ගිය මොහොතක මම මදක් ඇයගේ  පුටුව දිස බලා සිටියේ පහන් සිතින් නොවේ. ඒත්  පුටුව පාමුල තිබු ගඩොල් කැටයක් දුටුවිට මට මා ගැනම මහා අප්‍රසන්නබවක්  ඇති විය.
ඈ  රෝදයක් ගැලවුණු , කැඩිච්ච කැරකෙන පුටුව අපහසුවෙන් අටවා ගන්නට ගඩොලක් තබා තිබිණි.  තිබිච්ච පුටු අතරේ වඩා හොඳ පුටුවය  මට ඉතිරි කර තිබුණේ .
ඔය සිදුවීම්  දෙකෙන් පසුව මම නේපාල ජාතිකයන් දෙස හිතවත් කමින් බලන්නට පුරුදු වුනෙමි.

මේ ළඟදී නේපාල ජාතික යුවලක් මට රාත්‍රී අහර වේලකට ඇරයුම් කළහ. ඇත්තෙන්ම ඔවුන්ගේ මුල් නිජ භුමිය වී තිබුනේ ටිබෙට් රටය. ඉතාම දුෂ්කර පරිසරයක අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් ඉහළට ඉගෙන ගෙන තිබූ ඔවුන් දෙදෙනා මේ රටේ සිටින ලක්ෂ හතරක් පමණ වූ අනෙකුත් නේපාල ජාතිකයන්ට වඩා වෙනස් වුයේ රැකියාවෙන් හා අධ්‍යාපන මට්ටමිනි.

ජනාකීර්ණ දෝහා නගරයේ ඔවුන්ට අනුව ඉස්තරම් නේපාල රස්ටෝරන්ට් එකකදී මා කැමැත්තෙන් කතැයි සිතා  මොමෝ නම් මස් රොටි වැනි අහරක් ඔවුන් ඇනවුම් කළහ. ඉහත සේයාරුවේ පෙනෙන්නේ මේ මොමෝ සංග්‍රහයයි .

ඇත්තෙන්ම මට එහි රසයක් නොවුනි. එහෙත් අනන්ත දුෂ්කර ගිරි දුර්ග අතරේ වැඩී  ශීතල ශුෂ්ක පරිසරයක හැදුණු ජන කොටසකගේ කඳුළු, දහදිය හා අහිංසක කමේ රසය එහි විය. මොමෝ ගෙඩියක හැඩයත් කඳුළු බින්දුවක් වගෙය.

ඒ නිසා මම සතුටු මුණක්  පෙන්වා සුප් කෝප්පය සමග මොමෝ හතරක් ගිල දැම්මෙමි.

 මේ රටේ දෙවැනි විශාල් ජනගහනය වුනත් නේපාල ජාතිකයන් පොදුවේ දුප්පත්ය. අහිංසකය. ඔවුන්ට කියා හොඳ තත්ත්වයේ ආපනශාලාවක්වත්  නැත. ලක්ෂ විසි දෙකක් පමණ වූ කටාර් ජනගහනයෙන් ලක්ෂ හතරකට වැඩි නේපාල් ජාතිකයන් පිරිසක් සිටිනවා කියා හිතන්නත් අමාරුය. ඒ ඔවුන් සමාජයේ කැපී පෙනෙන මට්ටමේ මිනිසුන් නොවීමය. කරණවෑමියන් , වේටර්වරුන්, ගෘහ සේවිකාවන් හා කම්කරුවන් ලෙස ඉතා දුක්බර ජීවිතයක් ගෙවන ඔවුහු පෝෂ්‍ය ගුණයෙන් හීන , ඉතා  සහැල්ලු අහරකින් , මිල  අඩු ඇඳුමකින් සැනසී හම්බ කරන සියල්ල නේපාලයට මනි ඔර්ඩර් මගින් යවති. මැද පෙරදිග වෙසෙන නේපාල ජාතිකයන් යවන මුදල සමහර විට එරට  ප්‍රධාන ආදායම වෙන්නට පුළුවන.

ගිය සතියේ ඇතිවූ භුමි කම්පාව මගේ හදවතේ තාමත් ප්‍රතිකම්පන මතු කරන්නේ සොබාදහමත් අන්තිමේ හිරි ඇර ගන්නේ මෙවැනි හද්දා අහිංසකයන්ගේ කඳුළුවලින්  නේදැයි අසමිනි. 

Sunday, April 19, 2015

අර අපූරු ෆෙල්ට් පෑන

නගාමී එඩ්වින් ඕල්ඩ්රින් සමග රුසිරු(walesonline)
ඳ ගැන ලියවී ඇති අනන්ත කවි අතරේ අපූරු පුංචි කවියක් මට හමු විය.ඒ කවිය නොබෝදා පළවූ කවි පොතක තුබුණකි. පොත කියවන්නට මග බලා සිටි මට පොත ලැබෙන්නට පෙරම එහි පළ වී තිබු කුඩා පැදි  තුනක් ඊ තැපෑලෙන් ඒවා තිබිනේ කවියාගේ මව විසිනි. ඔහු අමුතුම ඇසකින් ලෝකය දකින කවියෙකි . හඳේ  ඉන්නා  හාවා ගැනත්, රන්තැටියෙන් බේරෙන පැණි බින්දු ගැවත් කියවන වයසේදීම  ඔහු සඳ මඩල ජයගත් මිනිසුන් ගැන සොයා බලන්නට උනන්දු වුනේය.
මේ කියවන ලැයිස්තුව කුමක්දැයි ඔබට පසක් වෙන්නට එතරම් වෙලාවක් ගත නොවනු ඇත.

1. සඳවතින් ගත් පස් මිටක්
2 වෙඩි බෙහෙත් ගඳ මුසු අමතර මේස් යුවලක්
3 බියපත් විට තුරුලට ගන්නට ටෙඩි බෙයාර් කෙනෙක්
4. නොසිතු අකරතැබ්බයකදී පිහිටට එන අර අපූරු ෆෙල්ට් පෑන
5. පින්තූර ගැනීමට හැසල්බ්ලඩ් කැමරාවක්
6. පොඩි පොඩි දේ කර ගැනීමට පරණ ආයුධ පෙට්ටිය
7.රැවුල බෑමට හොඳින් කැපෙන රේසරයක්  
8.සතුටින් වැනීමට ඇමෙරිකන් කොඩියක්
9. සුබ පැතුම් පතක්
10. 'මහා හුදෙකලාවක' පොත

මේ රුසිරු තාරණ  කොඩිතුවක්කු නම් වූ එකොලොස් හැවිරිදි කවියා ඉංග්‍රීසියෙන් ලියු පැදි පෙළක මගේ රළු  පරිවර්තනයයි. මෙන්න රුසිරුගේ කවිය:
Ten Things Found in Buzz Aldrin’s spacesuit.
1.     A specimen of lunar rocks,
2.     And a spare pair of smelly socks.
3.      A teddy for cuddling whilst in terror,
4.   And a felt tip pen for an unexpected error.
5.     A Hasselblad camera for taking pictures,
6.      And a rusty toolbox for making fixtures.
7. A sharp razor for shaving,
8. The US flag for waving.
9. A card saying congratulations,
10.            And a copy of the Magnificent Desolation.
එක්සත් රාජධානියේදී ළඟදී පල වූ රුසිරුගේ කවි පොතේ  පළවූ එක කවියකි ඒ . පොතේ රචකයා සිය ප්‍රියතම විද්වතා වූ එඩ්වින් ඕල්ඩ්‍රින් ගගනගාමී  ඇඳුමේ තිබුනා යැයි චිත්ත රුප මවා ගත් අංගෝපාංග දහයක් ගැන ලියු හැටි එහෙමය. මේ කවිය ලියන්නට කලින්  එඩ්වින් ඕල්ඩ්‍රින්  පුද්ගලිකව මුණ ගැසීමටද පුංචි කවියාට වාසනාව ලැබුණි. ඒ ප්‍රථම සඳ ගමනේ 45 වන සංවත්සරය නවෙනුවෙන් ඕල්ඩ්‍රින් ලන්ඩන් නුවර කළ  සංචාරය අතර වාරයේය.
 මේ කවියේ එන අංගෝපාංග හැම එකක්ම පිටුපස රුසිරු විසින් කියවූ අපූරු තොරතුරැක්   හෝ කතන්දරයක්ද වෙයි. මා දන්නේත් ඉන් එකක් දෙකක් පමණි. මුල්ම සඳ ගමනට එකතු වූ ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන්ග් , එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන තිදෙනා අතරින් සඳ මත පා තැබීමට වාසනාව ලැබුනේ ආම්ස්ට්‍රෝන්ග් හා ඔල්ඩ්රින්  දෙදෙනාට පමණකි.  සිය සගයන් දෙදෙනා සඳ මත පා තබන ඉතිහාසගත මොහොත වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කරමින්  ඔවුන් නැවත පැමිණෙන තුරු සඳ වටා  කක්ෂ ගත වී තිබු කොලොම්බියා උප යානයට වී මග බලා සිටින්නට  මයිකල් කොලින්ස්ට සිදුවිය.

සඳ මත පා තබා ආපසු එන ගමනේදී කුඩා ඊගල් යානය  පිටත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යානයේ  සර්කිට් බ්රෙකරයක් කැඩී  ගියේය. තව පොඩ්ඩෙන් ඉතිහාසය වෙනස්කරමින් ගගන ගාමීන් දෙදෙනාගේ ජීවිත පාලු සඳ මඩලේ අවසන් වෙන්නට ඉඩ තිබිණි. එහෙත් එඩ්වින් සතුව තිබු ෆෙල්ට් පෑනේ  උදව්වෙන් යානය නැවත පණ  ගන්වාගෙන සඳ මතින් නික්මී කොලම්බියා යානය හා එක වීමට අපේ ගගනගාමීන් දෙදෙනාට හැකි විය. මේ නිසා රුසිරුට මෙන්ම මානව සංහතියටම එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ ෆෙල්ට් පෑන අගනා සමරුවකි.
ඒ විතරක්ද ඔහුගේ  රේසරය!. නීල් ආම්ස්ට්‍රෝංග්ට පසු තව නොබෝ වෙලාවකින් සඳ මත පා තැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඕල්ඩ්‍රින් තනිවම මුමුණන හඬ හුස්ටන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි කාටත් ඇසුනි.
 ' හඳට බහින්න කලින් රැවුල බා ගන්න ඕනි'

ඉතින් ඕල්ඩ්‍රින්ගේ රේසරය කවියෙකුට කවි නිමිත්තක් නොවන්නේද?
හඳ   මත පා තැබූ  ගගනගාමීන් හඳේදී දැනුණු පරණ වෙඩි බෙහෙත් ගඳක් ගැන කියා  ඇත. සමහර විට රුසිරු  smelling socks ලෙස ලියා ඇත්තේ මේ ගඳ ඇති  මේස්  දෙක වෙන්නට ඇත.

ආපසු නික්ම යද්දී නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් යානයේ ඉහළ  නගින  මට්ටම් ආදී ශුක්ෂ්ම තොරතුරු ගැන කරදර වෙද්දී එඩ්වින් ඕල්ඩ්‍රින් බලා සිටියේ යානයේ පිටාර දුම වැදී ඇමරිකානු කොඩිය සඳ මත හොඳින් ලෙල දෙන ආකාරයයි. ඉතින් ඒ ඇඳුමේ තිබුණු ඇමෙරිකානු කොඩියේ සලකුණ රුසිරුගේ සිත් ගන්නටත් ඇති.

මොන ආකාරයෙන් අභිමානයට පත් කරනු ලැබුවද මේ ගගන ගාමීන් මුහුණ දුන් අවදානමේ තරම  තේරුම් ගැනීමට අපහසු තරම් සංකීර්ණය. සමහර විට නීල් හා එඩ්වින් දෙදෙනාම දී පෙරලා නොඑන්නටද ඉඩ  තිබුණි. ඒ නිසාම ඇමෙරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සෝන් සිය ජයග්‍රාහී කතාවට අමතරව ශෝකය ප්‍රකාශ කිරීමේ කතාවක්ද සුදානම් කරගෙන තිබූ  බව කියවෙන්නේ.
ගගනගාමීන් එසේ තනිවී මිය යන්නට ඉඩ   තිබූ  හුදෙකලා විශ්වීය පාළුව රුසිරුගේ  කවියේ අවසන් පදයෙන් කියවෙතැයි මට සිතුනි. එය ඕල්ඩ්‍රින් විසින් ලියන ලද ' Magnificent Desolation' කෘතිය කියවන්නට පෙළඹුමක්ද  වෙයි.  
 මේ රුසිරුගේ පොතේ එන තවත් කවි දෙකක් .

The Universe
The universe is everlasting,
Sometimes it is flabbergasting,
To the past you can travel,
Mysteries you might unravel,
Sometimes things are curiously magic,
Sometimes things are very tragic,
In time when we come to the brim,
Big Bang Two might begin.

I am a snake in captivity
I live in the busy, boring, dangerous city,
People goggle at me when they go past, 
saying “oh, look at that snake isn’t it vast,”
The zoo-keepers only give me a dead mouse to eat,
Even though I deserve rather finer meat,
Why would they do this to a cobra this fine?
If they replaced me in the jungle the pleasure would be mine,
I know that I was a talented thief, 
but as they say anyone can turn over a nice, new leaf.



මේ ආදී වෙනස් , නැවුම් මාතෘකා ඔස්සේ චිත්ත රූප මැවූ කුඩා කවියාගේ කුළුඳුල් කවිපොත දොරට වැදීමේ උළෙල ඉතා සාර්ථක එකක් වූ බව දැන ගන්නට  ලැබිණි.


කවුරුත් ගෙයින් එලියට බහින්න හිතෙන්නේ  නැති යුරෝපයේ රුදුරු කුනාටු සහගත හීගොතුව උහුලාගෙනම  11 හැවිරිදි රුසිරුගේ පොත දොරට වඩිනා උත්සවයකට 140ක් විතර ආවා කියා අසු විට මට දැනුනේ පුදුම සතුටකි.. මේ පොත් දොරට වැඩුම තිබ්බේ පහුගිය මාර්තු 29 වැනිදා හන්දෑවේදීය.අමුතුම අද උදහස්වලින් ලෝකය දකින කුතුහලයෙන් පිරුණු දරුවෙක් වශයෙන් කාලයක් තිස්සේ ඔහු ලිව්ව කවි දෙස බලා සැනසුණු ඔහුගේ දෙමව්පියෝ  රුසිරුගේ පළමු පොත එලි දක්වන්නට වෙහෙස මහන්සිව වැඩ කලෝය. සතුටුදායක ප්‍රවෘත්ති අඩු මේ කාලේ මෙවැනි සිතට සැනසුම් දෙන යමක් අහන්න සැලැස්සු ඔවුන් දෙදෙනාටද අපේ ස්තුතිය හිමි විය යුතය .

රුසිරුගේ My Universe හෙවත් 'මගේ විශ්වය' පොත දොරට වැඩි දා රුසිරුගේ පාසලේ විදුහල්පතිනිය විසින් කියූ කතාවකින් කොටසක් walesonline වෙබ් පිටුවෙන් උපුටා සිංහලට පෙරලා ලියන්නට   කැමතිය.
' ඔහුගේ අලුත් කවි නිර්මාණ බොහෝ විට අපි ගුරු විවේකාගාරයට ගෙන ගොස් කියවනවා. ඒවා මුලින්ම කියවන්නට අප අතර තරගයක් ඇති වන්නේ එවිටයි'

( රුසිරු කොඩිතුවක්කු  හිතවත් ලේඛිකාවක වන මදාරා  සරසිගේ ආදරණීය පුතනුවන්. කුඩා කාලයේ සිට සිංහලෙන් නොයෙක් ලිපි ලේඛන ලියන ඇය  විදුසර පුවත්පතේ යාවජීව ලේඛිකාවකි. රුසිරුගේ පොත සරසවි  , විජිත යාපා ඇතුළු ප්‍රධාන පොත් හල්වලින් ගන්නට පුළුවන)