Friday, April 29, 2016

හාවාට මොකද උනේ ?

බ්ලොග් ලියන සහෝදරය, සහෝදරිය, අම්මේ, තාත්තේ , දුවේ, පුතේ. මීට සති කීපයකට පෙර මා විසින් ලියන ලද 'හාවාගේ කතාව' වාරණයකට ලක් වූ බව ඉතා වගකීමෙන් දැනුම් දෙමි . නිදහස උපරිමයකින් තියෙනවා යැයි කියන බ්ලොග් අවකාශයේ මා ලියු සටහනක් ඉවත් කර ගන්නට සිදු වුයේ පළමු වතාවටයි.  මේ තත්ත්වය පිලිබඳ  බ්ලොග් ලියන අප සියලු දෙනා අවදියෙන් සිටිය යුතුය . ලබ්බට තියාපු  අත පුහුලටද  තබන්නටද ඉඩ තිබෙන්නාක් මෙන්ම අද මට වූ දේ හෙට ඔබටද සිදු විය හැක.

මේ සියලු බලවේග පරදවා හාවාගේ කතාවේදී පොරොන්දු වූ පරිදී ' ගුණතිලකගේ මගවරුණ '( මේ නම යෝජනා කලේ නිර්මාණී තමයි ) කතා මාලාව සකස් කරගෙන යමි.

කෙසේ වුවද  මැරුණු හාවා කැබ් එකේ  දමාගෙන යද්දී කැබ්රිය පැන පැන ගිය කතාව බොහෝ දෙනෙක් විශ්වාස කළේ  නැත . ඒත් ඉයන් විසින් ලෝකයේ නොයෙක් රටවල මෙවැනි සිද්දි බර ගානක් සිදු වූ බවට සාක්කි ඉදිරිපත් කරාට පසුව  මගේ ප්‍රකාශය බොරුවක් බව මුලින්ම කියූ දේශකයාටද කට උත්තර නැති විය.
ඒත් දැන් හාවාත් නැත ඌ ගැන ලියූ පෝස්ට් හා කොමෙන්ටුත් නැත .

ඒ කතාවේ එන විදිහට වහනයට වැදුණු හාවාගේ මස් කෑම වැරැද්දක් බවත් මිනිස්සු වුවමනාවෙන්ම වාහනවලට සතුන් යට කර මස් කන්නට ඉඩ තිබෙන බවත් මා සමග තර්ක කරමින් ඒ කතාව මකා දමන්නැයි  මට කිව්වේ මගේ බ්ලොග් අඩවියේ චිත්‍ර ශිල්පිනිය වන ඔවිනීය. ඇය ඒ කතාව ඉවත් කරන තුරු දිගටම සටන් කළාය . පෝස්ටුව බ්ලොගයෙන් මකා දැම්මාට පසු ඇය බෙහෙවින් සතුටට පත් වී මට මෙසේ කිව්වේ පත්තරකාරියකගේ වෙස් ගනිමිනි.

'ඔයා ඔය බ්ලොග් ලිව්වට , පොත ලිව්වට කිසිම පත්තරේක ඉන්ටවිව් එකක් ගියේ නෑනේ. මම ඔයාව ඉන්ටවිව් කරන්නද' ?

මම එක පයින් එකඟ වීමි.

මෙන්න ඒ කතාබහ.

ඔවී - තාත්තා ජීවිතේ ගැන තෘප්තිමත්ද?

මම- ( හත්තිලව්වේ මෙච්චර බරපතල එව්වා අහයි කියල කව්ද හිතුවේ ) බොරු කියන්නේ මොකටද තව සටන් ටිකක් තියෙනවා කරන්න.

ඔවී- ඒ කියන්නේ තාත්තා තාමත් ජීවිතේ ගැන තෘප්තිමත් නෑ . ඒත් ඔයාට කිසි ප්‍රශ්නෙකුත් නෑ ?

මම: හරි හරි ඊළඟ පප්‍රස්නේ අහන්න

ඔවී : තාත්තා බ්ලොග් එකක් ලියන්නේ ඇයි ? 

මම: ඒ අනේ අක්කටයි ඔයාටයි කතන්දර කියල දෙන්න වෙලාවක් නැති උන හින්දනේ. අම්ම කෙනෙකුට කිරි එරෙනවා වගේ තාත්තා කෙනෙකුට කතන්දර උණනවා. ළමයින්ගෙන් ඈත්  වෙලා පිටරටක ඉන්න උනාම ඒ  කතන්දර ටික අපරාදේ. ඉතින් ලියල දැම්මම  ඉතිරි වෙනවා.

ඔවී: ඒත් අපි දෙන්න විතරක් නෙවෙයිනේ ඔයාගේ යාළුවො ගොඩ ඒ කතන්දර කියවනවානේ ?

මම: ඒ ගොල්ලෝ හැමෝම පොඩි ළමයි වෙලා ඉඳල තියෙනවනේ .අනික හැමෝම ළමයින්ට ආදරෙයිනෙ.  එකයි කතන්දර අහන්න කැමති

ඔවී: ඒ වුනාට ඔයා ලියන්නේ ළමා කතා නෙවෙයිනේ?

මම: ඒත් මම ලියනකොට අනිවාර්යයෙන්ම හිතනවා මේ කතාව කවුරුහරි ළමයෙක් කියවාවි කියල. එයාට සතුටක් දැනෙන්නත් එක්ක තමයි මම ලියන්නේ.

ඔවී: එතකොට ඔයාගේ  යාළුවොත් අපිත්  ඔයා ලියන කතන්දරවලට කැමති නැති උනොත් ඔයා දිගටම ලියනවද?

මම : එහෙම උනොත් ලියන්න හිතෙන එකක් නෑ

ඔවී : එතකොට අපි ඔක්කොම කැමතිනම් ඔයා කොච්චර කාලයක් බ්ලොග් එක ලියන්න බලාපොරොත්තු වෙනවද?

මම : ජීවත් වෙනකම් . සිහි කල්පනාව තියෙනකම්

ඔවී  : ඔයා කැමතිද ඔයාගේ ළමයි පිටරටක ඉගෙන ගන්නවානම්? 

මම : හ්ම්ම්ම් ඔව් හැබැයි ආපහු ලංකාවට එන්න ඕනි. ඔයා මොන රටේද ඉගෙන ගන්න කැමති?

ඔවී : ජපානේ . හැබැයි මම ලංකාවට ආපහු එයිද දන්නේ නෑ 

මම : ඔයා ලංකාවේ ඉන්න ආස නැත්තේ ඇයි?

ඔවී: මේ පරිසරේ  කවුරුවත් පිළිවෙලකට තියා ගන්නේ නෑ . 

මම : එතකොට ඔයා අපිව දාල දුර රටක පදිංචි වෙනවා ?

ඔවී: කවුද කිව්වේ ඔය දෙන්න දාල යනව අකියල. ඔය දෙන්නත් එක්ක  තමයි යන්නේ ?

මම : එතකොට අක්කා ?

ඔවී : එයා ලංකාවේ ඉන්න ආසනේ. අපි නිතර එමු එයා බලන්න 

මම: ඒත් කවදාහරි ඔයාගේ මහත්තයා අකමැති වුනොත් අපිත් ඒ ගෙදරම ඉන්නවට?

ඔවී : එහෙමනම් මම බඳින්  නෑ . 

මම: (සීරියස් පිට ) මේ ඔය විකාර ඔලුවේ තියාගන්න එපා. රට දාල යන ඒවයි බඳින් නැති ඒවයි.

ඔවිනි : ( කේන්තියෙන්,) අනේ ඔයත් නියම ටිපිකල් තාත්තා කෙනෙක් තමයි. 

ඔවිනි තරහ වෙලා ගිය නිසා මේ සාකච්චාව මදකට නතර වුනේය. මේ විවේක කාලයේදී මම කල්පනා කරේ ඇය  කියන ඒවා බර පතලේට ගන්න ඕනි නෑ  කියලාය. ටික  කලක් ගෙවල් පේන්ට් කරන්නියක් වෙන්නට කැමැත්තෙන් සිටි ඔවිනි ඉන් පසුව ගෙඹි විශාරදයෙක් හෙවත් frogologist කෙනෙක් වෙන්නට කැමැත්තෙන් සිටියාය . කාලයක් නමට ඉස්සරහින් Fm ඔවිනි කියා ලියා ඇය කිව්වේ  Fm යන්නේ අදහස Farmer යන්න කෙටි කර යෙදෙන වෘත්තීය නමක් බවයි. ඒ කාලයේ ඇය සිතාගෙන සිටියේ ගෙවිලියක් වෙන්නටය.

ටික වෙලාවකට පසු ආයෙමත් ඔවිනිව ශේප් කර ගන්නට මට පුළුවන් වූ නිසා නැවත අපේ සාකච්චාව අරඹන්නට හැකි විය.
දැන් ප්‍රශ්න අහන්නේ මම.

මම : ඔයා මම ලියන ඒවාට කැමතිද?

ඔවී : මම අම්මගේ ලැප්ටොප් එකෙන් ඔයාගේ බ්ලොග් එක නිතරම බලනවා. පොතනම් හැමදාම අරන් චුට්ටක් කියවනවා. ඒක කියවපු වාර ගැන කියන්න බෑ .

මම : ඔයා  තිලකසිත  පොතේ දෙවන කොටස පළ කරනවාට කැමතිද?

ඔවී: අපෝ තව ගොඩක් කතා ලියන්න ඕනි. පළවෙනි පොත ලිව්වට පස්සේ ඔයා කතා බොහොම ටිකයි ලියල තියෙන්නේ . ඒක නිසා දැන්ම දෙවන කොටස ගහන්න එපා

මම : ඒ වුනාට අලුත්  කතා පණහකට වැඩිය තියෙනවනේ 

ඔවී:  ඒවයෙන් තෝරාගන්න කතා තියෙනවද? ඔයා ලස්සනට ලිව්වේ පළවෙනි අවුරුද්දෙනේ. ඒවායේ තෝරන්න දෙයක් නෑ . දයාබර මාරේ වගේ කතාවකට ගහන්න කතාවක් ඔයා මෑත කාලේ ලියලම නෑ .

මම : (තරමක් වික්ෂිප්තව) . ඔයා මම ගිය අවුරුදේ ලියපු සිල්වියාගේ තාත්තා ගැන මොකද කියන්නේ ?

ඔවී : අනේ ඒ කතාව මම කියවලා නෑ

මම : ඉතින් ඔයා හරියට කියවන්නේ නැතිවනේ  අලුත් කතා හොඳ නෑ කියන්නේ ?

ඔවී : ඒ කතාව ඇර අනික් කතා ඔක්කොම මම කියවලා තියෙනවා.

මම : එතකොට 'අටවිසි මහල' පොත ඉවරකරන්නත් එපා කියලද ඔයා කියන්නේ 

ඔවී : ඔව් දැන්ම එපා

මම . ඒ ඇයි ?

ඔවී : අනේ තාත්තේ මට ඒකට කවරයක් අඳින්න තේරෙන් නෑ . ඒ හින්ද පොත දැන්ම ලියන්න එපා

****
ඔන්න ඔහොමයි මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල ' ඔයා බත් කෑවද ' කියා මගෙන් ඇසූ ඔවිනි දැන් හිතන විදිහ

(චිත්‍රය ඇන්දේ ඔවිනි)

Tuesday, April 12, 2016

නිමලේගේ අවුරුද්ද

සුරංග විසින් ලියු රතිඤඤා කතාව  නිසා මෙවර සිංහල අවුරුදු පෝස්ටු අලුතින් ලියන්නට අවශ්‍ය නැති තරම්ය. ඒ තරමට ඒ කතාව හිතට සමීපය.

කප්පරක් අවුරුදු  මතකයන්  අතරේ මගේ හිතේ දිගටම රැඳවී  තිබෙන නිමලේගේ කතාව ලියන්නට කැමතිය.

අපේ ගෙවල් ළඟ පිහිටි කිරිල්ලවත්තේ ගෙදර නිමලේ අපේ අයියාගේ වයසේ පසුවෙන්නට ඇත. ඒත් ඔහුට දෙපයින් හිටගනීමට නොහැකි වුයේ ඔහුගේ දෙපා උපතින්ම අබාධිත වී තිබු නිසාය. කිරිල්ලවත්තේ ගෙදර කිරි අම්මා උදේම සෝදා කවා මිදුලේ සෙවනැති තැනක නිමලේ වාඩි  කරවා තබයි. ඉන්පසු ඔහු ගල් කැටයක් උඩ දමමින් හෝ මොනා හෝ කියවමින් සිටී . කිරිල්ලවත්තේ ගෙදර ඇත්තෝ කොහේ හෝ ගමනක් යනවිට නිමලේද හොඳට අන්දවා ගෙන කරේ තබා ගෙන යන හැටි අපට සුපුරුදු දසුනකි. ඇවිදීමේ බැරිකම අරුණුවිට ඔහු ගමේ සාමාන්‍ය කෙනෙකු සේ ජීවත් වුනේය. හැබැයි විමලේව ඉස්කෝලේ අරින්නටනම් උත්සහ කළ වගක් මට මතක නැත.

අප කිරිල්ලවත්තේ  ගෙදර අවුරුදු කාලයට නිතිපතා යන්නේ සිංහල අවුරුදු උදා වෙන්නට සති දෙක තුනකට පෙර පටන් ගන්නා පංච දැමීමට හා හෙඩ් බුරුස් දැමීමට සම්බන්ද වෙන්නටය.  කාසි දෙකක් එකට දමා  'නෝනද පොල්ලද' අහන සෙල්ලමට අපි කිව්වේ හෙඩ් බුරුස් දානවා  කියලාය.

මේ සෙල්ලම් කරන පිරිස දෙස  උතුරා යන ආසාවෙන් බලා සිටින නිමලේ ගැන මුලින් මුලින් කවුරුවත් ඒ හැටි වද වුයේ නැත. පංච දමන කාණ්ඩ දෙක තුනක් තිබූනද සමහර විට නිමලේ සමග සෙල්ලම් කරන්නට කවුරුවත් හිටියේ නැත.  ටික කලක් යනවිට නිමලේගේ හොඳම යාලුවා බවට අපේ අයියා පත් විය. කවුරු නැතත්  නිමලේ සමහ පංචි දැමීමට අපේ අයියා එකතු වී සිටියේය. ලෝක අණ්ඩපාලයකු වූ අපේ අයියා මුලින් මුලින් නිමලේ සමග සෙල්ලම් කරන්නට කැමති වෙන්නට ඇත්තේ ඔහුගේ කාසි ලේසියෙන් දිනන්න පුළුවන් නිසා වන්නට ඇත. ඒත්  දින ගණනක් ගෙවී යද්දී මේ යාලුකම තව තවත් වැඩී  ගියේය. අයියාට නිමලේ දකින්නට නැතිව ඉන්නට බැරි විය. හවස් වෙද්දී  කාසි ටිකක් හොල්ල හොල්ලා කිරිල්ලවත්ත ගෙදරට ගොස්  නිමලේ සමග හෙඩ්   බුරුස් දමන්නට පටන් ගනී. ටිකකින් තව කීප දෙනෙක් එතෙන්ට සෙට් වෙති. ඔහොම් අවුරුද්ද ගෙවී වෙසක් මාසය උදා උනද අපේ තත්තා කියන මේ  ' සුදු කෙලිය' නතර වුනේ නැත.

මේ ඇබ්බැහියෙන් අයියා මුදවා ගැනීමට අපේ අම්මා හා තත්තා අපමණ වෙහෙසුනේය. ඒත්  අලුත් අවුරුදු දවසේ අලුත් කමිසයක් ඇඳගෙන උජාරුවෙන් පැදුරේ වාඩි  වී සිටි දෙපා අහිමි නිමලේටත් අවුරුද්දක් තිබුනා නේදැයි මතක් වෙනකොට නිමලේ සහ අපේ අයියා අතර තිබු මිතුරු සමාගම ගැන එදාට වඩා අද සොම්නසින් සිහි කරන්නට පුළුවන.

ඔබේ ආදරය ලැබිය හැකි මානයේ නිමලේ වගේ කෙනෙක් සිටීදැයි මදක් සොයා බලන්න .

ඔබට වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !

( චිත්‍රය ඇන්දේ ඔවිනි )

Friday, March 18, 2016

තුම්මංහන්දියේ ලොකුමාමා හෙවත් අපේ සමන් රන්ජිත්

කාරයේ පිටුපස අසුනේ හරස් අතට මම නිදාගෙන ආවා .වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි . බණ්ඩාරවෙල හපුතලේ පසුකරමින් රිය බෙරගල පල්ලම බසිමින් සිටියා . කාරය පදවමින් සිටි බන්දු ඇහැරවා තබා ගනිමින් උපාලි ඉදිරි වම්පස අසුනට වී ඔහේ දොඩවමින් ආවා. වරින් වර මා ඔලුව උස්සා කතාවට සම්බන්ධ වෙන්න උත්සහ කළා .
එවිට බන්දු  මෙහෙම කියනවා
'නිදා ගනින් . ඊයේත්‍ නිදි නෑ . දැන් මෙහෙම්මම එයාර්පෝර්ට් ගිහින් පැය පහක් ප්ලේන් එකේ ඉඳලා හෙට ආපහු වැඩට යන්නත් ඕනිනේ'
මගේ පෙබරවාරි විසිනවවනිදා රාත්‍රිය ගෙවුනේ එහෙමයි .
ෂාහ් අවුරුදු  හතරකට පස්සේ සමන් හම්බුනේ ඊයේ. ඌ එක්ක පැය දෙක තුනක්වත් ඉන්න බැරි වුනා . කොයිතරම් දේ කතා කරන්න තිබ්බද?. ඒත් හෙට පළවෙනිදා බෙල්ල කඩාගෙන හරි වැඩබිමේ ඉන්න ඕනි. හෑන්ඩින්  ඕවර් එකක් තියෙනවනේ.

ඉදිරි අසුනේ ඉන්න මිත්‍රයෝ දෙන්නටත් සමන් හම්බුනේ අවුරුදු හතරකුත් මාස දෙකකට පස්සේ . උන් දෙන්නානම් සමන් ලංකාවට ආ බව දැනගත්  සැනින්  එහෙ ගිහින් තිබුනා. 2011 අවුරුද්දේ දෙසැම්බර් මාසේ දවසක එතෙක් මැද පෙරදිග රස්සාව කරමින් හිටි සමන් මාසෙකට ලංකාවට ආවේ සිය පවුලත් එක්ක ඔස්ට්‍ර්ලියාවට සංක්‍රමණය වෙන්න හිතාගෙන . එදා අපි සමන්ගේ ගෙදර රූෆ් ටොප් එකේ පොඩි මිතුරු සාදයක් දැම්මා. අපි ආයේ හම්බවෙලා සෙට් වෙන හැටි කතා කළා. 'උඹල ඔක්කොම එහෙ වරෙල්ල' . සමන්  කිව්වා.

මේ කල්පනාවල් අතරේදී ඉදිරි අසුනේ මතක කතා බහ ඇවිස්සෙනව .

සමන්ගේ දේශපාලනය. බණ්ඩාරවෙල වධ කඳවුරේ දින කීපයක් ගත  වෙච්ච හැටි.   මුතු කැට වගේ ලස්සන අත්අකුරු හින්දම ඔහුට වෙච්ච නිමක් නැති කරදර.

අඩි  සීයක් විතර දිගට පේරාදෙනි හිල්ඩා ශාලාවේ,  ආර්ට්ස් ෆැකල්ටියේ උඩ ගහපු 'පළමුව මව්බිම දෙවනුව උපාධිය' කියපු පෝස්ටර් . සමන්ගේ අත් අකුරු.

අපේ  බැච් එකේ කාගේ හරි නෑදෑයෙක්ගේ මළගෙදරක්,  මගුල් ගෙදරක්, පිරිත් ගෙදරක් තිබ්බොත් සමන් අඬ ගහගෙන යනවා . මගුල්පෝරු , පිරිත් මණ්ඩප , ගොක්කොල සැරසිලි හැම එකක්ම කරන්න සමන්ට  පුළුවන්.බැනර් අඳින්න සොහොන් කොත බඳින්න මුල් වුනේ සමන් .

ඒ දවස්වල අත් අකුරින් ලියන්න ඕනි කෝස්වර්ක්වල සෑහෙන දෙනෙක්ගේ මුල් පිටුව  සමන්ගේ නිර්මාණයක්.

අපේ කාලේ පීඨ දිනවල ජනප්‍රියම වෙච්ච නාට්‍ය දෙකේ කතා තේමාව, අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන නළුවා වුනෙත් සමන් . මම කලේ ඌ කියපු අදහසට  සින්දු ලියපු එක තමයි.
හැබැයි මේ කිසිම දේක කීර්තිය ගන්න සමන්  උනන්දු උනේ නෑ , කරපු දේ ක්‍රෙඩිට් එක සමහර විට කාට හරි ගියා . ටික දවකින් සමන් කාටත්  අමතක වෙනවා. මේ සිද්දිය පුනරාවර්තනය වෙමින් කාලාන්තරයක් සිද්ද වුනත් සමන් ඒ ගැන තැවුනේ නෑ . අලුතින් ප්‍රබෝධමත් යමක් කරලා කාව හෝ සතුටු කළා .
තුන්මන් හන්දිය නවකතාවේ ලොකු මාමගේ චරිතය සමන්ට බොහෝ දුරට ගැලපුනා .

සමන් ඉස්සෙල්ලාම කොළඹ ගිහින් වල්ලවත්තේ තට්ටු  නිවාස ව්‍යාපෘතියක වැඩ කළා . සමනටත්, ඔහු සමග වැඩ කළ මාහිටිටත් හම්බුන කුඩා නවාතැන ඒ දවස්වල අපේ  මිත්‍රයන්ගේ කොලඹ තානායම. ඉන්ටවිව් එනකොටත්, ලෙඩුන් බලන්න හෝ මොනයම්ම වැඩකට කොළඹ එනකොටත් කවුරුත් පාහේ නතර වෙන්නේ සමන්ගේ නවාතැනේ. ඒ විතරක්ද ඉස්සෙල්ලම කොළඹ රස්සාවක් හම්බ වුනාම නවාතැනක් සෙට් වෙනකන් යාළුවො කාලයක් තිස්සෙම ලැඟුම් ගත්තේ සමන්ගේ  නවාතැනේ. මේ සියලු දෙනාටම ඉඳුම් හිටුම්, තුන්වේල කෑම විහරක් නෙවෙයි හවසට බීර බෝතල්ද සැපයුනා.

දවසක්  සයිට් ඉංජිනේරුවන් දෙදෙනාට දුන් කාමර දෙකේ නිල නිවාසයට සමාගම් ලොක්කා මහා රාත්‍රියේ ආවේ හදිසි විදෙස් ගමනකට එයාර්පොර්ට් යනගමන් . ඔහුට ඉංජිනේරුවන් දෙන්නා හොයාගන්න බැරි වුනා. මොකද දෙන්නා වෙනුවට සාලේ කාමරවල  එක වයසේ දාහත් දෙනෙක් නිදා සිටි නිසා .

කටාර්වලට ඇවිල්ලා සමන් කුලියට ගත්ත කාමර දෙකේ  නිවසත් ඒ වගේ. එක කාමරයක කාලයක් මම හිටියා . අනෙක් හැමතැනම හැමවිටම තව දෙතුන් දෙනෙක් හිටියා බොහෝ විට මේ රටේ ඉස්සෙල්ලම රස්සාවට ඇවිල්ල බෝඩිමක් හොයාගන්නතුරු නැවතිලා හිටි අය . මේ සමහර දෙනෙකුට රස්සා හොයලා දුන්නේ සමන්මයි . ඒ විදිහට බැලුවම ලංකාවේදීත් පිටරටදීත් කී දෙනෙක් රස්සාවලට දාන්න සමන් මුල් වෙන්න ඇත්ද ?

වෙන එකක් තියා මේ මට  කසකස්තානෙත් මැදපෙරදිගත් රස්සාව කරන්න ලැබුනේ සමන් නිසා. ඌ මගේ CV එක කණපිට හරවලා සහතික අමුණලා පියවරෙන් පියවර සීරුවට හොයා බලපු නිසා තමයි මට මේ රස්සා කරන්න ලැබුනේ.  සමන් ඕස්ට්‍රේලියා ගියාට පස්සේ සතියකට දෙකකට වතාවක් මට කතා කළා. ඒ හැම විටම කාට හෝ රස්සාවක් දෙන්න මාව උනන්දු කළා. කාගේ  හෝ ජීව දත්තයක්  මට යොමු කළා. මේ විදිහට සමහරුන්ගේ ජීවිතේම වෙනස් පැත්තකට හරවන්න සමන්ට පුළුවන් වුනා .

පිටිපස අසුනේ වැතිරී නින්දත් නොනින්දත් අතරේ මට මෙවැනි දේවල් කල්පනා වෙමින් සිටිද්දී ඉදිරි අසුනේ බන්දුගේ හඬ උස්ව නැගෙන්නට වුනා.

'උඹ දන්නවද සමනුයි මායි  88 මුල කැම්පස් වහල තියෙන කාලේ රස්සාවක් හොයාගෙන ගිය හැටි . පත්තරේ තිබ්බ අවිස්සාවේල්ල පැත්තේ සයිට් එකකට සුපර්වයිසර්ල ඕනි කියල අපි දෙන්නා  සන්තකේට තිබ්බ රුපියල් එකසිය පණහත් අරගෙන අවිස්සාවේල්ලේ යන්න හිටියා වැලිමඩ බණ්ඩාරවෙල පාරේ. බණ්ඩාරවෙල පැත්තට සෑහෙන වෙලාවකින් බස් එකක් නෑ . මෙන්න එකපාරට ආව අනිත්පැත්තට යන  මහනුවර බස් එක . දෙන්නම පාර පැනලා ඒකට ගොඩ වුනා . නුවර ගිහිං අපි අම්පාරට ගියා. අතේ ඉතිරි වුනේ රුපියල් දෙකයි. පස්සේ උපුල්ගේ ගෙවල් අහ අහ පයින් ගියා . අම්පාරේ උපුලගේ  අයිය ඉස්කෝලේ මහත්තයෙක්. එයාගේ ගෙදර යන්තම් හොයාගත්තයින් පස්සේ අපට ගමනාන්තයක් ලබුනා . අවිස්සාවේල්ලේ ගමන එතනින් ඉවරයි. මම දවස් දෙක තුනකින් උපුල්ලා අක්කාගෙන් සල්ලි ඉල්ලගෙන ගෙදර ආවා. සමන් මාස තුන හතරක් අම්පාරේ කුඹුර වල ගම්  වල ඇවිද ඇවිද ඉඳල තමයි ආවේ.'

ඒ අම්පාරේ ජීවිතේ ගැන සමන් මට විස්තර කිව්වා කසකස්තානේ අපි රස්සාව කරද්දී .  ඒ කතා බොහොමයක් හරිම සුන්දරයි. අලුත් තැන්වල ඇවිදින්න අලුත් රටවල් බලන්න යන්න මිනිහට තිබ්බේ පුදුම ආසාවක්. කසකස්තානේ වගේ රටකට රස්සාවකට යන්න හිතන්නේ එහෙමත් කෙනෙක්. එහෙදි අපි කතා වුනා කවද හරි ඉඩක් ලැබුනොත්  මොන්ගෝලියාව , බටහිර ඉන්දීය දූපත් වගේ රටවල රස්සාව කරමු කියල.

මට තරමක් නින්ද යාගෙන එද්දී ඉදිරි අසුනෙන් රස කතාවක් ඇසෙන්නට උනා .

'අපි  ෆස්ට් ඉයර් එකේ ඉද්දි මතකද ඌ අපිව කෝච්චියට ඇරලන්න ඇවිත් දුන්න අණ්ඩරයක් . පේරාදෙණියෙන් රෑ එකොළහ හමාරට පිටත්වෙන කෝච්චියෙන් තමයි අපි බොහෝ විට ගෙදර එන්නේ. උදේ හයහමාර වෙනකොට බණ්ඩාරවෙල.  බණ්ඩාරවෙලින් බැස්සම ඉස්සෙල්ලම යන්නේ දියතලාව පාරේ තිබ්බ පුංචි තේ කඩේකට . සැර ලුණු මිරිස උලපු පොල් රොටියයි කාලා, ස්ට්‍රොන්ග් ප්ලේන්ටිය බිව්වම මාර ගතියක් දැනෙනවා'.

අපිව කෝච්චියට ඇරලන්න බැචාලා කීප දෙනෙකුත් එනවා . ඒ වගේ දවසක බන්දුයි උපාලියි ඇරලන්න එන උන් එක්ක සමනුත් ආවා . මේ උපාලිගේ වචන .

' ඉතින් අපිව පෙට්ටියකට නග්ගලා  මිනිහා යන්නම් මචන් කියල ගියා.

පහුවදා උදේ අපි බණ්ඩාරවෙලින් බැහැලා සුපුරුදු රොටි කඩේට යනකොට මෙන්න සමන් ඒ කඩේ වාඩි වෙලා රොටි කනවා . හිකි හිකි ගගා හිනා වෙවී. අපිටත් එක්ක රොටි ඔර්ඩර් කරලා . ටික වෙලාවක් යනකම් අපි හොල්මන් වෙලා හිටියා. පස්සෙයි තේරුනේ මේ යකත් ඒ කෝච්චියෙම වෙන පෙට්ටියකට රිංගලා  ඇවිත් කියල' .

ඉදිරි අසුනෙන් නැගී පුපුරා හැලුන සිනාවට මමත්  එකතු වුනා. ඒත් ඒ සිනහවේ  කෙළවර  ඉතා බරපතල දීර්ඝ නිහඬතාවයක් .මේ අප සිටින්නේ සමන්ගේ මළගමට ගොස් ආපසු එනගමන් වග තුන්දෙනාටම සිහිපත්වෙලා තිබුනා.

*********************.

සමන් රන්ජිත් මනතුංග යනු මට ජීවිතයේ හමුවූ ඉතාම කිට්ටුවන්ත සොඳුරු මිතුරෙක් . ඒ වගේම ඔහු ලංකාවෙන් බිහි වෙච්ච සුවිශේෂී ඉංජිනේරුවෙක්. පහුගිය පෙබරවාරි 28 වැනිදා ඔහු මිය ගියේ මා දන්නා විශ්වයේ විශාල හිස් පදාසයක් මවමින්.

මම ලියපු කැස්පියන් හඳ කතා මාලාවේ මහතුන් තමයි සමන් කියන්නේ. මගේ  මගුල් පෝරුව හැදුවේ සමන්. මා ලියු ගොඩක් කතාවල ඔහු ගැන සඳහන් වුනා.
ඔහු ගැන පොතක් ලියන්නට තරම් දේ තිබුනත්, ඔහුගේ වියෝවින් පසු කිසි දෙයක් ලියා ගන්න බැරිව  හිත හිරි වැටුණු සති  තුනක් ගෙවා දමන්නට මට සිදු  වුනා.   මට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ඔහු සොඳුරුතම  මිතුරෙක් හා දුර්ලභ වටිනා මිනිසෙක්. මගේ ඊළඟ සටහන වෙන්වන්නේද ඔහු වෙනුවෙනුයි.


Monday, February 15, 2016

අපේ බබා බත් කෑ හැටි

ලොකු  දෝනීගේ උපන් දවසේ කතාන්දරය ඇයත් එක්කම එකතු වී මීට කලින් මගේ බ්ලොගයේ ලියා ඇත . ඒ මීට හරියටම අවුරුදු  දෙකකට ඉස්සරවෙලා දවසකය

උපන් දවසේ ඒ වගේ වුනාට ඊට  පස්සෙද ඇය ගැන කතන්දර එමට  කියන්නට තිබේ .

සිය කුළුඳුල් දරුවා වෙනුවෙන් තරුණ මවුපියෝ ඕනෑවට වඩා කරදර වෙති.  ඒ කාලේ අපි දෙන්නා ඔය ඔක්කොටම වඩා හපන්ය.

අපේ ලොකු දෝනී  ඉතා කුඩා කාලයේදී දොස්තර කෙනෙක් ලඟට වඩාගෙන ගියේ හැම තිස්සෙම අඬනවා කියලාය . උපදේශක දොස්තරවරයා අපේ දෝනිව පරික්ෂා කොට බලා කිව්වේ  කිසිම ලෙඩක් නැතිය කියලාය.
ඒත් ඩොක්ටර් පොඩි දේටත් අඬන එක?
ආ ඒක ගණන් ගන්න එපා. ලෙඩක් නැතිව අඬනවානම් අඬන්න දෙන්න. අඬලා වැඩි වෙලා ළමයෙකුට මොකුත් වෙලා  තියෙනවද ?

තව දවසක් අපි බබා පෙන්නන්නට එකක්ගෙන ගියේ  රාගම ලීසන් එකටය. බබා කිරි විතරක් බොන බවත් කිසිම කෑමක් කන්නේ නැති බවත් අපි දොස්තර නෝනාට පැමිණිලි කළෙමු .

'දැන් මොනවද බබාට දෙන්නේ'
'අපි නෙස්ටම් හදල දෙනවා අර රස්ක්ස් කිරිවල ඔබල දෙනවා'

'මේ පිස්සු වැඩ කරන්න එපා. ඕගොල්ලෝ ගෙදර කන එකෙන් ටිකක් බබාට කවන්න . ඔය පරිප්පු ටිකක් බත් ටිකක්'

අපේ හිතට  වැඩේ ඇල්ලුවේ නැත.

අපි එන ගමන් බොහොම විස්සෝපෙන්  කෑම කන්නේ නැති දරුවෙකුගේ අසරණ දෙමවුපියන් සේ කඩේකින් දවල්ට කෑවෙමු. බබා අම්මාගේ උකුලේ නිදිය. මේ අතරේ අප පුදුමයට පත් කරමින් අම්මාගේ උකුලෙන් එසවුණු සිඟිති අතක් මේසයේ වැටී තිබු බත් ඇට අහුලනවා දුටුවෙමු.  හීන් සීරුවේ ඒවා මුවේ රුවා ගන්නා  හැටිද දුටුවෙමු . එදා සිට අපේ බබා  බත් කන ජීවියෙක් බවට පත් විය.

මේ  සිද්දිය වෙනකොට ඇය හිටියේ  තුනේ පංතියේය.දුගේ උදේ කෑම එක ඔතා  ගන්නට බැරි  වෙච්ච  දවසක මම පේස්ට්‍රි ෂොප් එකෙන් දූගේ  කෑම පෙට්ටියට දමන්නට කෙටි කෑම මොනා හරි අරන් දෙන්නයි කියා වහනයෙන් බැස ගියෙමි. ඇයද මා පසු පස ආවාය.   මගේ සාක්කුව අදිද්දී  ලේන්සුවට ඇමිණී තිබූ රුපියල් සීයේ කොලයක් බිම වැටෙනු මම නුදුටු මුත් දෝනී දුටුවාය. ඒත් ඇයට මොකුත් කර කියා අගන්නට ඉඩක් නොතබාම පෝලිමේ සිටි මරුමුස් පහේ මිනිහෙක් ඒ නෝට්ටුව සැනෙන් අහුලාගෙන සාක්කුවට දමාගෙන තිබිණි. මේ සිද්දිය ඇයව කොපමණ කම්පා කර තිබුණාද යත් වහනයටත් නැගී  ටික දුරක් යනතුරු ඇයට කතා කරගන්නට  බැරි විය .

ටික දුරක් ආපසු ඇය බියපත්  හඬකින්  මෙසේ ඇසුවාය  .

'තාත්තේ ඔයාගේ සාක්කුවෙන් වැටුණු රුපියල් සීය අර ඔයාට පිටිපස්සෙන් හිටි නපුරු මනුස්සය අහුලා ගත්ත. ඇයි මිනිස්සු එහෙම කරන්නේ?'.  .

'ඒ වෙලාවේ කිව්වනම් හරිනේ දුව. ඒත් කමක් නෑ දුප්පත් මිනිහෙක් වෙන්න ඇති'.
මම ඇගේ හිත හදන්නට උත්සහ කළෙමි .මම හිතුවේ වැඩේ ශේප් ඇති කියලාය . ඊට මාස හයකට විතර පස්සේ අර සිද්දිය මට මුළුමනින්ම  අමතක වෙ තිබ්බ කලෙක අපේ දෝනිට ආච්චි ඒවා තිබු තෑගී අතර  රුපියල් දෙසීයක්ද තිබිණි . ඇය පළමුවෙන්ම කලේ  එතැනින් රුපියල් සීයක් අරගෙන අත්  දෙකින්ම මට දෙන එකය.
'තාත්තේ  මෙන්න ඔයාගේ අර පේස්ට්‍රි ෂොප් එකේදී නැති වෙච්ච රුපියල් සීය .

අපි ඇයට නැකතට බත් කවලා නැත . නැකතට අකුරු කියෙව්වේ නැත. කිසිදාක දහම් පාසැල් යැව්වේ නැත.

ඒත් මගේ දුව මනුස්ස ගුණ යහපත්කම් පවත්වාගෙන යන බවත් හොඳ ආත්ම විශ්වාසයකින් පසු වෙනවාද යන වගත් ගැන අපි පරීක්ෂාවෙන් සිටිමු . අනාගත අභියෝග මොනවා වුනත් ඒවාට මුහණ දිය හැකි පෞරුෂයක් ඇය විසින් හීන් සීරුවේ  ගොඩ නගා ගනිමින් සිටිනු දැක දැක අපි බෙහෙවින් තුටු වෙමු .

දැන්නම්  මගේ අතින් වැටුණු රුපියල් සීයක් වෙන කවුරුහරි අසාදාරන ලෙස ගන්නට ආවානම් ඇය කෑ ගසා ඊට එරෙහි වන බව මම දිනිමි.

(චිත්‍රය  ඇන්දේ ඔවිනි )

Thursday, January 28, 2016

අකීකරු පොඩ්ඩාගේ ඩයරිය


නිතර ටී වී බලන, ෆේස් බුක්  එකේ  දවසින් වැඩි වෙලාවක් සරන මගේ මිත්‍රයෙකුට අකීකරු පුත්‍රයෙක් සිටියේය. පහළොස්‌ හැවිරිදි මේ පුත්‍රයා නිතර දෙවේලේ අසන ප්‍රශ්නවලින් සමහරක් ගැන හා ඔහුගේ කල්ක්‍රියාව ගැන මගේ මිත්‍රයා කණස්සලු වෙන බව මම දනිමි. මේ අකීකරු පුත්‍රයා දිනපොතක් ලියන බවද මට දන ගන්නට ලැබිණි .   ඔහුගේ ඩයරියේ මේ වගේ සටහන් තිබෙන්නට පුළුවන් බව මට සිතෙයි.

ජනවාරි 10 
අප්පච්චිලා හැමෝම කතා කරන්නේ සින්දුවක් ගැන . මීට කලින් කවදාවත් අහල නැති සිංදුවකට කට්ටිය ඇවිස්සිලා . ඒත් ඒක කියන ඇක්සන්ට් එකවත් කලින් සින්දුව හොඳද අලුත් සින්දුව හොඳද කියන එකවත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ . ඒකෙ කියන 'පව් කාරයෝ' කව්ද කියන එක. උතුරෙදියි දකුනේදියි මිනිස්සු මරුණලු. ඒකට වග කියන්න ඕනි පව් කාරයෝලූ . අප්පච්චිගෙන්  මේ ගැන ඇහුවම කෙලින් උත්තරයක් දුන්නේ නෑ ?  ඒ පව්කාරයෝ දන් මැරිලද අප්පච්චී ?

අප්පච්චී  කරබාගෙන ඉඳල මෙහෙම කිව්වා . 'ඔය ප්‍රශ්නෙට මැරිච්ච අයයි නැති අයයි සේරම බයයි . හැමෝම ටික ටික පව් කාරයෝ නිසා' .

අර ආන්ටි සින්දුව කියල 'තෙපි නෙවේද පව් කාරයෝ ' කියල ඇඟිල්ල දික්කරනකොටත්  ගොඩක් දෙනෙක් මූණ  හංගාගන්න බලනවා මම දැක්කා . අනික කවුරුත් ඔය සින්දුව එලියට ගන්නේ  නැතිව සෑහෙන කාලයක් හංගලා තිබ්බෙත් ඔය ප්‍රශ්නෙට  බය වෙලා හින්ද වෙන්න ඇති .
.
ජනවාරි 25 

ඔන්න අද දෙවැනි සින්දුවක් ගැන බර කතාවක් . යුගයේ සින්දුව හම්බ වෙලාලු . අප්පච්චිලා බියර් බිබී ඒ ගැන කතාව . අලුත් පරපුරේ හඬය කියන්නේ .අප්පච්චිලා ආයේ ආයේ දදා අහනකොට මම පරණ සින්දුවයි අලුත් එකයි දෙකම ඇහුවා . අනේ මමවත් අපේ පන්තියේ එවුන්වත් ඔය සින්දුවටවත් පරණ සින්දුවටවත් වැඩිය ආස නෑ . අර හෝ ගාන පොකුණ බලන්න ගියාම දැක්ක සින්දුයි  ඒ වගේ කතාවලටයි තමයි මම ආස . අනාගතේ අයිති අපිටයි කිව්වට අපේ  කාලෙට අයිති වෙන්න ඕනි මොනවද කියල අපෙන් අහන් නැතිව අප්පච්චිලා තීරණය කරන්නේ ඇයි කියල මම අම්මගෙන් ඇහුව . අම්ම කිව්වේ ඒක එහෙම තමයිලු වෙන්න ඕනී කියල.
මේක මාර කතාවක්නේ!

ජනවාරි 27 

මම අද අප්පච්චිගෙන් ඇහුව අර ආන්ටි වගේ කෙනෙක් තව අවුරුදු දහයකින් විතර අර 'සොයා දියාව් හේ' කියන  සින්දුව කියයිද අප්පච්චී කියල  . 'ආයේ කවදාවත්  එහෙම වෙන් නෑ මයේ පුතේ. උතුරෙවත් දකුණේවත් කොල්ලො කේල්ලෝ මරන්න අපි ඉඩ දේන්නේ නෑ ' කියල අප්පච්චී කිව්වා .

ඒත් අප්පච්චී බැරි වෙලා හරි එහෙම උනොත් ඒ සින්දුවේ හැටියට පව්කාරයෝ වෙන්න ඕනි දැන් ඉන්න කවුරුහරි නේද කියල මං ඇහුවම අප්පච්චී තුෂ්නිම්භූත වෙලා මගේ දිහා බලාගෙන හිටියා . මං ආයේමත් ඇහුවා 'කවුද අප්පච්චී පව් කාරයෝ' ?

අප්පච්චී උත්තරයක් දෙන් නැති නිසා මම ඔහේ ටී වී නිව්ස් දිහා බලාගෙන  හිටියා . ගොඩක් මිනිස්සු ඒකෙ පෙන්නුවා

'ඔය පෙන්නන්නේ ඒ පව්කාරයෝ තමයි' කියල අප්පච්චි බිම බලාගෙනම කාමරේට ගියා

Photo : cathtatecards.com

Thursday, January 14, 2016

අපේ ගෙදර ආ මහගම සේකර

කලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා  ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය . අපේ තාත්තාට ට්‍රේනින් කොලිජියේ යාලුවෙක් මේ බන්දේසිය තෑගී කරදදී කියා තිබුනේ  චිත්‍රය ඇන්දේ ඔහු හඳුනන ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන මහගම සේකර බවයි . මහගම සේකර බන්දේසිවල චිත්‍ර ඇන්දා කියා විශ්වාස කරන්නට බැරි වුනත්  අපේ ගෙදර වහරට එකතු වූ 'මහගම සේකර' යන නමට නොදන්නා වටිනාකමක් ලැබී තිබිණි .මෙකී හේතුව නිසාම ඒ වීදුරු බන්දේසිය පසුකලෙක ඉස්තෝප්පු බිත්තියේ චිත්‍රයක් මෙන් එල්ලා තිබුනේය.

ලා කොළ පාට පසුබිමක සුදු පාටින් නටන නළඟනක්  එහි සිටියාය. පසෙකින් ඇදෙන රතුපාට මල්වැල මා සිතා සිටියේ නළඟන ගිල දැමීමට සැරසෙන මකර  රුවක් සේය. මල්වැල අගිස්සෙන් පැන මතුවූ අතු දෙක කට අරින්නා සේ නැට්ටුක්කාරියගේ  හිස පැත්තට යොමු වී තිබිණි . මම විටින් විට බන්දෙසියට ලං නොවී වුනත් සොයා බැලුවේ මේ මකරා  බවලතාගේ ඔලුවට අවදානම් ලෙස ලං වී ඇත්දැයි කියලාය.

මහගම සේකර කියන විට මුලින්ම මගේ කල්පනාවට ආවේ  අපේ අයියාට ටිකක් වැඩිමල් කොලු ගැටයෙක්ගේ රුවකි . ඒ වුනත් ඔහු අපේ තාත්තාටත් වඩා අවුරුදු කීපයක් වැඩිමල් රටම පිළිගත් අයෙක් බව මා දැන ගත්තේ සේකර මලාටත් පසුවය.

ඔහුගේ මරණයත් සමග මහගම සේකරගේ කවි ගීත ගැන උනන්දුව ඇවිලෙද්දී අර වීදුරු බන්දේසිය දෙස මම බැලුවේ දිනෙන් දින වැඩිවන ආදරයකිනි .
++++++

මම අම්මා හා තාත්තා බැලීමට ගමේ ගිය මෑත කාලයේ දිනෙක අර බන්දේසිය එල්ලා තිබු බිත්තිය දෙසම බලාගෙන ගෙට ඇතුල් වුනෙමි. එහෙත් බිත්තිය හිස් වී තිබුණ අතර අම්මා කුස්සියේ කුමක්දෝ කරමින් සිටින හඬ ඇසිණි .
මළහිරුගේ අවසන් රැස් දහර සපුගස් මණ්ඩියට හොරෙන් අපේ සාලයට පෙරී ඇවිත් තිබුනෙන් වේවැල් හාන්සි පුටුවේ අමුත්තෙක් වාඩී  වී සිටින බව මට පෙනිණි. ඔහුගේ සාක්කුවේ තිබුන අලුත්ම පාකර් පෑනටද  හිරු රැස් කැරැල්ලක් පතිත වී තිබුනේය. ඔහුගේ අතේ තිබ්බ ත්‍රී රෝස් සිගරැට් පැකට්ටුව නිසා මගේ කුතුහලය තවත් වැඩි විය .

'මම සේකර' ඔහු සිනාසුනේය . 'එනවා කියල ආරංචි වුන නිසා මම පොඩ්ඩක් කතා කරලා යන්න හිටිය' . ඔහු නිරෝගී දසන්පෙල දක්වා ලෙන්ගතුව සිනාසුනේය. මා සිතා සිටියාට වඩා ඔහු තරුණය. කඩවසම්ය.

'වෙන්ඩ  බෑ' . මම මටම කියා ගත්තෙමි .
සේකර කියන්නේ පාකර් පෑන් එපා කියපු දුප්පත් කලකාරයෙක්නේ. අනික සංවේදී මිනිහෙක්නේ . හොඳට බොන්න ඇති. මීට වඩා දිරා ගිහින් ඉන්න එපැයි .

මගේ සිත කියෙව්වාක් මෙන් ඔහු මා ඇමතීය .

'මම ආවේ පණිවිඩයක් කියල යන්න' .
මොකක්ද ? මම ගරුසරු ඇතිව අසීමි .
'අලුත් සේකරලා හොයාගන්න කියල සමාජෙට කියන්න' .

'ඒ වුනාට ඔබ තරම් අව්‍යාජව ලියපු. බෞද්ධ දර්ශනයෙන් පදම්  වෙච්ච  ගැමි කමෙන් මටසිලිටි වෙච්ච විශ්ව සාහිත්‍යයෙන් පෝෂනයවෙච්ච කලාකරුවෙක් ඊට පස්සේ බිහි වුන් නෑනේ'.

ඔහු මහා හඬින්  හිනා වුනේය.

'හිටියා බ්‍රෑන්ඩ් වුන් නෑ . එක්කෝ උන් විසින් විනාශ වුනා නැත්නම් සමාජේ ඒ මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩුවක් ලොකුවට අරන් නොසලකා ඇරියා'.

'ඒත් ඔබට ඉතිහාසේ තියෙන්න ඕනි ප්‍රතිරුපේ?' .

'ඒකට හානියක් වෙන එකක් නෑ පුතා . මම අවංකව මිනිස්සුන්ට ආදරේ කළා . රස අඳුනා ගත්තා .හිතට එන දේ ලිව්වා. මටම තේරෙන විදිහට ඒවායින් බොහොමයක් සෞන්දර්ය අගයෙන් ඉහළයි' .

'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.

එහෙනම් ?

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ  කියා මම හඬ නගා අම්මා ඇමතීමි .

අම්මේ !

චීත්තයෙන් අත්ල පිසලමින් අම්මා කුස්සියේ සිට දිව ආවාය.

' අම්මේ මේ ' මම සේකර වාඩි  වී සිටි තැන අම්මාට පෙන්වීමි.

මොකක්ද පුතා ?

අම්මා විපිලිසරව එසේ අසන විට මොහොතකට කලින් සිටි පුටුවේ සේකර නැති බව මට පෙනිණි .

අම්මා පුදුමයෙන් මා දෙස බලද්දී මම  ඇයගෙන් මෙසේ ඇසුවෙමි .

'අම්මේ ඔතැන බිත්තියේ  එල්ලලා තිබ්බ පරණ වීදුරු බන්දේසිය කොහෙද' ?

'ආ ඒක මේ ගෙයි සමර ගාන්න ආපු වෙලාවෙ කවුදෝ ගලවලා අයින් කරලා . හොයලා දෙන්නද ආයේ එල්ලන්න?' .

' එපා අම්මේ. අලුත් පින්තුරයක් එල්ලන්න කියල තමයි සේකරත් කිව්වේ'


(මා වැඩියෙන්ම  ආදරය කරන ලාංකික කලාකරුවාවන මහගම සේකරයන්ගේ හතලිස්වන ගුණ සැමරුම වෙනුවෙනි )

Friday, January 1, 2016

බයිසිකල් අනතුර හා අගලට වැටුණු ගැහැණිය

ගිය අවුරුද්දේ මට හමු වූ හෝ අසන්නට ලැබුණු මතක හිටින චරිත කීපයක ලැයිස්තුවක් තිබේ . ඉන් දෙදෙනෙක් ගැන අද ලියමි.
පළමු කතාව
බස්නාහිර පලාතේ  උසාවියක විබාග වෙමින් තිබුණු නඩුවක නිමිත්ත වුයේ පාර මාරුවෙමින් සිටි වයෝවෘද ගැමියෙකු මෝටර් සයිකලයක හැපී දැඩි සේ තුවාල වීමය. මෝටර් බයිසිකලය පදවාගෙන ගියේ ලයිසන් නැති  ගැටයෙකි.
'අනේ අපරාදේ තාත්තා මොන එහෙකට මේ හවස් ජාමේ ඇවිදින්න ගියාද' කියා ඇසු ඔහුගේ දරු මුණුපුරන් බයිසිකල්කරු ගැන ඒ හැටි තද ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වුනේද නැත.
හිස පිටුපස පාරේ ගැට්ටක වැදීම නිසා මගියාගේ සිහිකල්පනාව අහිමිව යෑමේ අවදානමකට මුහුණ දී සිටියේය.
එසේ  තිබියදීත් සිය පියාට මොන තරම් ආදරේ වුනත් බයිසිකල් කරුවා මිරිකා වධ බන්ධනයට ලක් කිරීමට ඒ දූ දරුවෝ  උනන්දුවක් නොගත්හ.
එහෙත් උසාවියේදී අනෙක්  පාර්ශවයට විශාල වන්දියක් ගෙවන්නට සිදු වෙතයි ඇති බිය නිසාම විත්තිකරුවන්ගේ පැත්තෙන්  බාල තර්කයක්ද ඉදිරිපත් විය.
'මේ බයිසිකලයට හැපුණු  පුද්ගලයා මානසික රෝගියෙක්, පිස්සෙක් . එකපාරට  බයිසිකලේ දෙසට පැන්න නිසා එය පදවන්නාට හසුරුවා ගන්න බැරි වුනා' මෙන්න මේ වචන ටික  ඇසෙනවාත් සමග වින්දිතයාගේ දුරු මුනුපුරු හා නෑදෑ පිරිස විශ්මයටත් , ශෝකයටත් කෝපයටත් පත් වුහ.
නෑ අපේ තාත්තා පිස්සෙක් නෙවෙයි! .
ඊළඟ නඩු දිනයේදී ඔවුහු සුදානම් වී ආවෝය.
"මේ තියෙන්නේ තාත්තා ගමේ පන්සල හා ගමේ ඉතිහාසේ ගැන ලියපු පොතක්  . මේ තියෙන්නේ අවුරුදු පණහක් තිස්සේ ලියන දිනපොතේ අවුරුදු කීපයක සටහන්.
බලන්න මේ අනතුර වෙච්ච දවසට කලින් දවසේ ලියපු දින සටහන. කොච්චර නිරවුල් මනසකින්ද ලියල තියෙන්නේ . මෙන්න ඔහු ළමයින්ට ලියපු සින්දුවක් . මේ වගේ කවි සින්දු අහගන්න ඒවා තාලයට කියන්න අපේ පවුලේ විතරක් නෙවෙයි අහලපහළ  ගෙවල්වල ළමයිනුත් හැන්දෑ  වෙද්දී අපේ මිදුලට එනවා. සමහර දවස්වල තාත්ත මේ ළමයින් අල්ලාගෙන නාට්‍ය රඟ  දක්වනවා.
මේ දරුවෝ  ඒවාට මොන තරම් කැමතිද කියනවා නම් අලුත් කොම්පියුටර් ගේම් රුපවාහිනී නාට්‍යවලට නැති කැමැත්තක් ඔහු කියන දේට දක්වනවා . ඔහු ඒ තරම් සොඳුරු මිනිසෙක්.
ඔබ තුමාම කියවලබලන්න මේ දින සටහන් කවි සින්දු ටිකක් "
උසාවිය මීයට පිම්බා සේ නිශ්ශබ්ද වුනේය.
නඩුකාර තැන කල් වෙලා අරගෙන පොත් ටික අතරින් පතර එහෙත් සැලකිල්ලෙන් කියවා බැලුවේය
ඉන්පසු බොහෝ ගැඹුරු  විලාශයෙන් මෙසේ කිව්වේය. "මේ මිලක් කියන්නට බැරි තරම් වටිනා මිනිහෙක්. ඔහු උම්මන්තකයෙක් නෙවෙයි. ඔහුට වූ අසාධාරණයට කැමති වන්දියක් ඉල්ලන්න".
පවුලේ සියලු දෙනා එක්වී කතිකා කර ගත්හ.
අවසන පවුලේ තීන්දුව ප්‍රකාශ විය.
"මේ නෑදෑ පිරිස වන්දි මුදල් ගන්නට කිසි සේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ .
ඒත් දඬුවමක් වශයෙන් නොව තවත් එවැනි දෙයක් නොකරන්නට පාඩමක් ලෙස විත්තිකරුවන්ගෙන් යම් වන්දි මුදලක්  හෝ සේවාවක් ගමේ පන්සලට ලබා දෙන ලෙස ඉල්ලා හිටිනවා."

මේ මගේ හිතවතෙකුගේ මාමණ්ඩිය  සෝමසිරි ඉස්කෝලේ මහත්තයාගේ කතාවය.
ඔහු කලකට පෙර විශ්‍රාමගත්  කලාකාමී පාසැල් ගුරුවරයෙකි
අනතුරින් පසු සිහි කල්පනාව අහිමිව සිටි ඔහුට හැඳිනිය හැකි වුනේ සිය බිරිඳ පමණකි.
සිය දුවා  දරුවන් බලන්නට ආවද ඔහුට ඔවුන් ගැන නිච්චියක් නැති විය .
එක දවසක් නිවාඩුවට ගිය මා මිතුරා  අරන් ආවේ සුබාරංචියකි.
"තාත්තට දැන් හෙමිහිට පරණ මතකය ලැබෙනවා'".
නොබෝ දිනකින්ම ඔහු ආයෙමත් දිනපොත ලියන්නට පටන් ගනු ඇත.
මගේ එක් අලුත් අවුරුදු පැතුමක් වන්නේ නිවාඩු පාඩුවේ  සෝමසිරි ඉස්කෝලේ මහත්තයා හම්බ වෙන්නට යාමය .
දෙවන කතාව
ටෝස්ට්මාස්ටර් කථික වැඩ සටහනක් බලන්නට මම ගිය අවුරුද්දේ ගියෙමි . එහිදී කෙන්යානු ජාතිකයෙක් හරි අපුරු කතාවක් කළේය . ඔහුගේ නම ඔම්බුගේ  වගේ එකකි.
'මම මීට අවුරුදු පහළොවකට ඉස්සර  එවකට සිටි පෙම්වතිය සමග නිතර ගැටුම් ඇති කර ගත්තා . ඒත් මම ඇයට මහත්සේ ආදරය  කළා.  මෙහෙම තියෙද්දී මට ඇගේ වෙනත් සම්බන්ධයක් අතටම අසු වූ දවසේ මට මුළු ලෝකෙම එපා වුනා . මම සිය දිවි නසා ගන්නට තීරණය කළා.
හවස වැඩ ඇරිලා ආපු මම නයිලෝන් ලණුවකුත් උරේකට දාගෙන අපේ ගමේ කැලෑ  රොදට ගොඩ වැදුනා . තොණ්ඩුව  ගැට ගැසීමට හොඳ ගසක් හොයමින් මම මේ වන රෝදේ ටිකක්  ඇතුළටම ඇවිදගෙන ගියා . ඒ යන අතරේ මට ඇහුනා කාන්තාවක් උදව් ඉල්ලා කෙඳිරි ගාන හඬ . හෙමින් සැරේ හඬ ආ දෙසට ලං වී බලද්දී මම දැක්කා වල් බුටෑවෙන් වැසී ගිය  පරණ ගල්වලකට පෙරලීම නිසා කකුල බදාගෙන විලාප දෙන තරුණියක්.
මම ආපු කාරණය අමතක කරලා ඇයව ගොඩට ගත්තා. ඉන්පසු පස් කණ්ඩියක් උඩ  වාඩි  කරවා ඇය තනිවම මෙහි පැමිණියේ මන්දැයි ඇසුවා .
ඇය පැමිණ තිබුනෙත් වනයට වැදී වස පානය කොට මිය යන්නයි . එසේ දිවි තොර කර ගන්නා අදහසට ඇයව තල්ලු කළ පසුබිම් කතාත්  මම අසා සිටියා .
එවිට මට තේරුණා මට තිබුණු ප්‍රශ්නය  මොන තරම් සුළු දෙයක්ද කියලා .
කළුවර වැටෙන තුරු අප කතා කර කර හිටියා . ඉන්පසු ඇයව වත්තම් කරගෙන ගෙදර ආවා. අදත් අපේ ගෙදර ඉන්නා මගේ ආදරබර බිරිය ඇයයි.
අගලක වැටී නිරාහාරව මිය යන්නට සිටි ඒ ගැහැණියගේ වටිනාකම මට කියන්නට බෑ .'
****
මේ වගේ මිනිසුන් ගැන  මට අසන්නට සැලැස්සු  2015 අවුරුද්දට මම කැමතිය .
2016 අවුරුද්දේ ලැබෙන දුක සැප සමසිතින් දරාගෙන ජීවිතයේ වටිනාකම ඉහළ නංවා ගන්නට මටද ඔබටද  හැකි වේවායි පතමි .

Image:canvasspainting4less.com