තිලක සිත

Thoughts of Tilakasiri Ekanayaka; tekanayaka@gmail.com. ජීවිත අත්දැකීම් හෝ ඇසූ දුටු දේ අනුසාරයෙන් ලියූ කෙටි කතන්දර එකතුවකි . පුද්ගල නාම,ස්ථාන නාම හා කාල වකවානු බොහෝවිට සත්‍ය ඒවා නොවේ

Friday, July 26, 2019

ලාල්ගේ මතක පොත - කළු ජුලිය

අතේ ගෙන යා හැකි දුරකථන තිබුනෙම  නැති ලෑන්ඩ් ෆෝන් පවා ඉතාමත් සීමිත වූ කාලයක ඉදිකිරීම්    සංස්ථා ප්‍රධාන කාර්යාලය හා වැඩබිම් අතර බොහොමයක් දේ සන්නිවේදනය කෙරුනේ රේඩියෝ සෙට් වලිනි .

ඒ 1983 ජුලි 24 වැනිදා හවස් ජාමයයි .
Head Office calling . head office calling .. ඕවර්.
 මාලිගාවත්ත පයිලින් වැඩබිම බාරව සිටි තරුණ ඉංජිනේරු ලාල් වහා රේඩියෝ සන්නිවේදන උපකරණය අසලට ආවේය .
."අද ඇඳිරි නීතිය පනවලා. වහාම වැඩබිම වසා සේවකයන් පිටත් කරන්න ඕවර්...'
"පණිවිඩය පැහැදිලිද ඕවර් "

"මාලිගාවත්ත කෝලින් පණිවිඩය පැහැදිලියි ඕවර් '

 ලාල් සිය කන්තෝරුවේ නිලධාරීන් කැඳවා වහාම තත්ත්වය  දැනුම් දුන්නේය . ඒ වනවිටත් කටකතා හා වෙනත් ආරංචි මාර්ග වලින් ඔවුහු වෙන්න යන දේ දැනගෙන සිටියෝය  . හැමෝම යුහුසුළු වෙමින් තම තමන්ගේ අත් බෑග, කන්තෝරු පයිල් බෑග, ඉටි කොලේ එතූ කෑම පෙට්ටි හෝ  හිස් අත් සමහ  මගට බටහ.  අනෙක් සියලු දෙනා කෝච්චියේ හෝ බස් එකේ හෝ පයින්ම ගෙදර යා  යුතු නිසා ඔවුන් කලින් පිටත් කර හැරී ලාල්  සිය නිල වහනය වන වෙස්පා ස්කුටරය දෙස දයාබර බැල්මක් හෙළුවේය.

වෙනකක් තබා කන්තොරුවේම නිදා ගන්න කෝකියා ජෙමිසුත් සෙකියුරිටි නිමලසේනත් වැඩබිම හැර දමා අකමැත්තෙන් වාගේ පිටත්  වී ගිය පසු ලාල් පමණක් ඉතිරි වී සිටියේය. කන්තොරුව් පෙටි කෑෂ් පෙට්ටිය. බිල්පත් හා වවුචර් පොත් යන සියල්ල එහෙ මෙහෙ විසුරුවා තිබුණෙන් ඔහු ඒවා පිළිවෙලක් කොට හැම දොරක්ම ලඟට ගොස් දෙවරක් චෙක් කළේය. කන්තෝරු කාමර දෙක. කෑම කාමරය, සේවක විවේකාගාරය. රේඩියෝ ඔපරෙටෝර් කුටිය. ඉස්ටෝරුව හා මුර කුටිය පවා හොඳින් අවුරා යන්නට ඔහු තීරණය කොට ගත් සෙයකි.

මේ සියල්ල අවසන් වෙද්දී වටින් ගොඩින් කළුවර වීම වේගවත් වුනේ   මරදාන, දෙමටගොඩ හා කොටුව දෙසින් අහසට නැගුනු අමුතු විදිහේ දුම් වලාකුළු නිසාය .

දැන් ඉතින් පිටත්ව යා යුතුය . ලාල්ට බලන්න බැරි වූ එකම තැන . දොරේ "බැරිම තැන" කියා ලියා තිබු වැසිකිලි කුටිය වෙත ඔහු ලං වුයේ පිටත්ව යන්නට පෙර මුත්‍රාශය සැහැල්ලු කර ගන්නත් එක්කමය . රට අඹ ලෑලි දොරේ එළියෙන් ගැට ගසා තිබු තංගුස් නුල ඔහු ඇද්දේය . යලි යලිත් ඇද්දේය.
ම්හු..  දොර ඇරෙන පාටක් නැත . කවුරුන් හෝ ඇතුලෙන් ලොක් කරලාද ?  එහෙම වෙන්නත් බැරිය. තමා හැර වෙන බලු කුරුට්ටේක්වත් අහල මායිමක නැති බව ලාල් සක්සුදක් සේ දනී.

තමන්ගේ අතින්  දවසට තුන් හතර වතාවක් ඉතාම සුව පහසුවට ඇරෙන මේ දොර ගැන වෙනදා නැති  අමුත්තක් ලාල්ට දැනුණු නිසා ඔහු පසෙක තුබූ බැරල් බාගයක් දොර අසලට තල්ලු කර ගෙන ආවේය. ඒ මත නැගී එසවී උළුවස්සත් වහලත් අතර තිබු හිඩැසින් ඇතුලට දෑස් රින්ගේව්වේය.

ඊළඟට දුටු දසුනින්  ඔහුගේ උගුර කට වියලී ගියේය. ප්‍රේමණීය බඩේ ගින්දරකින් ලාල්ගේ සියොළඟ දැවෙන්නට  පටන් ගත්තේය .

( ඉතිරි ටික හෙට උදේ   මෙතැනම)

***************  දවසක් ප්‍රමාදව ඉතිරි ටික ලියමි *****

වැසිකිලි දොර ඇතුලතින්  වසාගෙන දොරට වාරු  වී ඉකි බිඳින රුව කලයාරසීගේ බව පැහැදිලි වෙත්ම ලාල්ගේ මනස ව්‍යාකුල වී ගියේය.

කන්තෝරුවේ පිය දසුන ටයිප් රයිටරය ළඟ මදක් නැවී වට පිට නොබලා සිය කාරිය කරගෙන ගිය ඇය තමයි ඒ .  මන බඳින තලෙළු මුහුණක්  හා පිරිණු ඇඟ පසඟක්  හිමි  යුවතිය දුටු කෙනෙක් වීනම් තව වරක් හැරී බලනවාමය. 

ලාල්  වහා දොර ලඟට ගොස් ඊට තඩි බාන්නට විය .
‘ කලයරසී දොර අරිනවා . නැත්නම් මට මේක පයින් ගහලා කඩන්නයි වෙන්නේ එහෙම උනොත් ඔහේට තුවාල වෙයි ‘

ඇතුලෙන් අසුනේ ඉකිබිඳින හඬ පමණි .

කෑ ගහලා වැඩක් නෑ කියා ලාල්ට හිතුනේ ඒ ඉකි බිඳුමේ හා හීල්ලුමේ පණිවිඩය  නිසාය .
ඔහු යාප්පුවෙන් කරුණු පහදන්නනට තීරණය  කළේය
“රසී එලියට එන්න ඔයා කරදරයක් නැතිව ගෙදරට ඇරලවන්නම් “
එසේ කීවා උනත් තමන්ගේ  හඬේ විශ්වාසනීයත්වයක් නැති බව ලාල්ට වැටහුනේය .

‘ මහත්තයා බේරිලා යන්න . පාර කලබලයි කියල මම දන්නවා . මට වත්තලට යනකන් යන්න බෑ .මම මේකෙම ඉඳල මැරෙන්නම් ’
‘ පිස්සු නැතිව එනවා රසී. වෙන දෙයක් වෙච්චාවේ. දවස් කීයක් ඇඳිරි නීතිය තියෙයිද දන්නේ නෑ”
ඇතුලෙන් සද්දයක් නැති තැන ලාල් ඉදිරියට පැමිණ දොරට තඩි බාන්ට වුනේය. ඒත් දොර ඇරුනේ නැති තැන ලාල් කෑ ගැසුවේය.

‘ මම මෙතැන මැරුණත් ඔහේ ඔය කූඩුවේ දාලා යන්නේ නෑ . එක්කෝ මෙතැන මැරෙමු. නැත්නම් බේරිලා යන්න උත්සහ කරලා මැරෙමු. මොකක්ද හොඳ  කියල තීරණය කරන්න"

ලාල් අසල තිබු සූරිය ගහට  හේත්තු වුනේය .

ඔහු අවට ලෝකයේ වෙන සියලු සිදුවීම් අමතක කර සිතුවිලි හිස් කර ගැනීමට උත්සහ කළේය. දෑස් අඩවන් කරගන කල්පනා කළේය .ටික වෙලාවකින් ඔහුගේ දෑස් අබියස පච්ච වර්ණ දිග ගවුමක  රත්රන් පාට මල් වැල මෝදු වෙමින් පිපුණේය. ඒ වර්ණ පිරුණු කාන්චුකය යට සිටියේ බියෙන් සලිතවී  සිටි සාවියකි.

ලාල් කිසිත් නොකියා කන්තෝරු කාමරය දෙසට ඇවිදගෙන ගියේය.  මියුලැසිය ඔහු පසුපසින් ගෑටුවාය. 
  මිනිස් පුළුටක් නැති කන්තෝරු කාමරය යතුරු දමා ලොක් කර ඇත . රසීගේ ලාච්චුව ඇර ඇගේ අඩුම කුඩුම ගැනීමට එය විවුර්ත කළ යුතුය . ඒත් මේ වෙලාවේ මේ යුවතියත් සමග කන්තෝරු කාමරය  තුලට පිවිසීම නුසුදුසු යැයි සිතූ ලාල් සිය ස්කුටරය පුටුපස අසුනට තබා ගැට ගසා තිබු කලුපාට ජැකට්ටුව දිග හැරියේය .

‘ මේක අඳින්න ‘

 කලයාරශීගේ වර්ණවත්  මෝස්‌තර ගවුමේ උඩ කොටස කලුපාට ජැකට්ටුවට වැසී යද්දී ලාල් ස්කුටරය ස්ටාර්ට් කළේය.

‘ඔහු කලයාරසී දෙස තිර ලෙස බැලුවේය. ඈ ඔහු පසුපසින් වාඩි වුනාය.   

‘ ඈ උණුසුම්ය . වෙවුලමින් සිටී . බියපත් බව  නිසා ඔහුගේ සිරුරට වාරු වී සිටියාය.
‘ ඔලුව පාත් කරගෙන මගේ ඇඟට හේත්තු වෙන්න ‘
ලාල් මුවින් නොකීව්වා උනත් ඔහුගේ සිතැඟි වටහාගෙන ඈ එසේ කටයුතු කළාය.

ස්කුටරය ගිනි ගන්නා  නගරය  මැදින් ඉදිරියට ඇදෙයි  .
පළමූ නැවතුම ඔරුගොඩවත්තේදීය ‘
තරුණයෝ පිරිසක් ඉදිරියට පැමිණ ස්කුටරය නැවැත්වූහ .
“අය්යා නම මොකක්ද . ඔයා සිංහලද “ ලාල් ඔව් කියන්නට හිස වැනුවේය.
‘ අපිට මේකේ ටැංකියෙන් පෙට්‍රල් ටිකක් ගන්න වෙනවා ‘
‘ පිස්සුද මල්ලි මේ අපේ නංගීට හොඳටම අමාරු වෙලා බේත් අරන් යන ගමන්. අපි මිනුවන්ගොඩට යන්න ඕනි”

හිතුවාට  වඩා පහසුවෙන් ඔවුන්ගෙන් බේරී යනට පුළුවන් වුනත් පැලියගොඩදී ඔහුගේ ස්කුටරය නතර කෙරුණේය .
පොලු මුගුරු ගත් කොල්ලන් රංචුවක් ඔවුන්  නවතා වට කර ගත්හ.

‘ නවත්තනවා. නවත්තනවා .ඔය දෙන්නගේ නම් මොනවද?. නංගී මුණ උස්සලා මෙහේ  බලන්න’
ලාල්ගේ සිරුර  වඩාත් වැරෙන් බදා ගත් කලයාරසී සට සට ගා ගැහෙන්නට වුවාය “
ලාල්ගේ කටහඬත් ගොත ගැසෙයි.
:මම ලාල් . නංගීට  අසනීපයි හොඳටම උණ . බෙහෙත් අරං යන ගමන්.’
පිරිස දමනය වුනේ නැත .
‘ කෝ ගත්ත බේත් . කෝ බලන්න නංගීගේ මුණ පොඩ්ඩක් “
කලයාරසීටත් වඩා ලාල් වෙවුලන්නට පටන් ගත්තේ ඇගේ මුහුණේ වූ තිලකය මතක් වීමෙනි .

පිරිස අතරේ සිටි තරමක් තලතුනා පුද්ගලයෙක් දැක ඔහු වෙතට සිය රාජකාරී හැඳුනුම්පත දික් කරන්නට තරම් සිහියක් ලාල්ට ලැබුණේය.

හැඳුනුම්පත අතට ගෙන බලා ඔහු ‘ මේ මහත්තයාට යන්න දීපල්ලා’ කියද්දීත් අනිත් පිරිස ඊට අවනත බවක් නොපෙන්වූහ. එහෙත් ඒ සමග වෙනත් යමක් දෙසට පිරිසගේ  අවධානය යොමු වීමේ වාසනාව නිසා ලාල් රූන් ගා මැර පිරිස අතරින් රිංගා  ඉදිරියට ගියෙය්.

ඔලියමුල්ල පසුකර ගිය ස්කුටරය වත්තලින් හැරී හුණුපිටිය පාරේත් මද දුරක් යනතුරු දෙදෙනාටම පියවි  සිහියක් නොතිබුනේය.

කලයාරසී  කලබලකාරී ලෙස ස්කුටරය නවත්වන්නැයි කීවේ අතුරු පාරක් අද්දරය.

ඇය පැලියගොඩදී  කලහකාරීන් දුටු අවස්ථාවේ කලාක් මෙන් ඉතා වැරෙන් ලාල්ගේ දෙවුර බදා ගත්තාය. එය සමුගැනීමේ උණුසුම් වැළඳ ගැනීමක්ම බව ලාල් තේරුම් ගත්තේය  .


ඉන්පසු  කඩුමුඩියේ  බිමට පැනගත් ඇය අතුරු පාර දිගේ පසුපස නොබලා දිව්වාය . 

පසු සටහන :
මේ කතාවේ ප්‍රධාන චරිතය  මට හමු වුනේ 1998 දීය. ඔහු අවුරුදු පහළවක් පරණ  මතක සැමරුමක් අප ඉදිරියේ දිග හැර අවුරුදු 21කට  පසු මම එය ලියා තබන්නේ කතා සාරය වෙනස් නොකොටගෙනය. මේ කතාවේ අවසානයක් නැත . එය අවුරුදු තිස් හයක විඳීමක් පමණි

Image : amazon.in


Posted by තිලකසිත at 7:27 PM 24 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, February 12, 2019

ඊලියන්ද සිල්වා හෙවත් ටයිටස් තොටවත්තගේ ලොකු අයියා



පසුගිය ලිපියෙන් මා  කතා කළ  " සන්නිවේදන කරළිය   එක දෙක කරන  අතුරු ජාලය' යන හෙඩිමෙන් යුත් සතියේ විශේෂාංගය මවිසින් විදුසරට ලියන ලද්දේ 1994 අගෝස්තු මාසයේය .
සිංහලෙන් ලියන ඉන්ටනෙට් පිලිබඳ ලිපියක් හෝ කිහිපයක්  අභියෝගයට ලක් කළ  ' හිම කන ඔටුවෝ'  නිර්නාමික ලිපිය පළ වුයේ ඊට පෙරද පසුද කියා සොයා ගන්නට විදිහක් නැති  නිසා එය මගේ ලිපියම ඉලක්ක  කරගෙන එල්ල කළ විවෙචනයක්යැයි හරියටම කියන්නට බැරි  වුනත් , මමද තොප්පිය දා ගන්නට කැමැත්තෙමි.

ඇත්තෙන්ම 1994 මැදක් වන විටත්  ඉන්ටනෙට් යන්නට හරි හමන් සිංහල  නමක් තිබුනේ නැත . ඒ වන විට සමහරුන් ' අන්තර් ජාලය' යන වචනය  භාවිතා කරමින්  තිබුනත් එය පිළිගත් බවක් පෙන්නේන්ට තිබුනේ නැත . සමහරුන් ඊට කීවේ  "අන්තර් ජංජාලය" කියලාය .

එසේ හෙයින් විශේෂාංගය ලිවීම සඳහා ඉන්ටනෙට් යන්නට  අලුත් සිංහල වචනයක්  සෙවීමට තීරණය කළෙමි.  මේ සඳහා මා උපදෙස් ගත්තේ වරලත් ඉංජිනේරු ඊලියන්ද සිල්වාගෙනි. ඉංජිනේරුවා වෙනුවට මැවිසුරා කියනවාට කැමති වූ ඊලියන්ද සිල්වා කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ හෙළ හවුලේ නයුවෙකි . තවත් වැදගත්  කරුණක්  වන්නේ ඔහු ප්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ  වැඩිමහල් සහෝදරයා වීමයි .

ඉන්ටනෙට් එකට සිංහල නමක් ලෙස ඔහු යෝජනා කලේ ' අතුරු දැලටිය" යන්නයි.

 "අන්තර් මැතිවරණෙට අතුරු මැතිවරණය කියනවා . අන්තර් කියන වචනෙට පිරිසිදු සිංහල වචනය තමයි අතුරු. අනික අතු ඉති ඇති ජාලයක් හඳුනවා දෙන්න  හොඳම විදිහ 'දැලටිය' .  ඔහු කීවේය.

අතුරු දැලටිය- අන්තර් ජාලය . වචන දෙක දෙපැත්තට කිරා බලමින් සිටි  මම ලිපිය සකසා දීමට පොරොන්දු වූ දවසේ උදේද කල්පනා කරමින් සිටියේ  internet යන්නට හොඳම සිංහල වචනය කුමක්ද  කියලාය . ඕනි එකක් වෙන්නට කියා මම කලින් තිබ්බ නමෙන් කොටසක් හා ඊලියන්ද සිල්වා දුන් නමෙන් කොටසක්ද ගෙන  ' අතුරු ජාලය ' ගැන  ලිපිය සැකසීමි .

ලිපිය පළ වී දවසකින් විතර පසු මම මැවිසුරු  ඊලියන්ද සිල්වා ඇමතුවේ ස්තූතියක් කිරීම සුදුසු  යැයි හිතුනු නිසාය .
මොකක්ද ඉන්ටනෙට්  එකට දාපු  නම ? ඔහු ඇසුවේය
"අතුරු ජාලය"  මම කීවෙමි

ඔහු ඊට තදින් කිපුනේය.
" මොකක්ද ඒ ?. කිසිම ගැලපීමක් නැති පදයක්නේ ළමයො. අර කලින් තිබ්බ වචනේ ' අන්තර් ජාලය' තව හොඳයි. මේක අතුරු ජාලය නෙවෙයි. අතුරු දැලටිය , දලටිය දැලටිය.. . ඔහු දිගටම කියෙව්වේය.

දැන් බලන්න computer එකට සිංහලෙන් දාගෙන තියෙන නම ' පරිගණකය '  ඒ වචනේ යොදා ගන්න පුලුවන්ද ඕනි ඕනි විදිහට . පරිගණක ගත කිරීම පරිගනකීකරණය බලන්න මොනතරම්  අවලස්සන වචනද ?  ඉන්ටනෙට් එකට හරි යන්නේ ' අතුරු දැලටිය තමයි ' කියා ඔහු දුරකථනය විසන්දි කළේය .

කොහොමින් කොහොමින් හෝ  ' අතුරු දැලටිය' වෙනුවට ' අන්තර්ජාලය' ස්ථාපිත වූ අතර  එහෙටත් නැති මෙහෙටත් නැති මගේ වචනය ' අතුරු ජාලය" යන්න යොදා ගත්තේ මා ලියු පළමු ලිපියේ විතරය. ඉන් පසු මේ රටේ කවුරුවත් ඒ වචනය යොදා ගත්තේ නැත ,

ඒ වුනාට ඊලියන්ද සිල්වා නිර්මාණය කළ තාක්ෂණ වචන රාශියක් අප නිතිපතා භාවිතා කරමින් සිටිමු.

තෙකලා ව්දුලිය , පිරිපහදුව , රැහැන වැනි වදන් දහස් ගණනක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ අතර තොටවත්තගේ ඊලියන්ද සිල්වා හා  ටයිටස්  තොටවත්ත  යන දෙසොහොයුරන් සිංහල භාෂාවට හා සාහිත්‍යයට කරන ලද සේවය හරි හැටි ඇගයීමකට ලක් වී නැත , මේ ගැන කරුණු සොයා බලා ලියන්නට සිතා සිටිමි.

මේ අතරේ මට පරණ කතාවක් මතක් වුනේය .
මහේන්ද්‍ර ප්‍රසාද් යනු එකල විදුසරට  ලියු පේරාදෙණිය කෘෂි ව්ද්‍යා පීඨයේ සිසුවෙකි. මගේ හිත මිත්‍රයෙකි. ඔහු දිනක් ඊලියන්ද සිල්වා හමු වන්නට ගියේ  යම් විෂයයක් ගැන සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නටය.

මහේන්ද්‍ර කියන පරිදි කතාබහ අවසානයේ ඊලියන්ද සිල්වා මෙසේ ඇසුවේය.

මොකක්ද ඔය ළමයාගේ නම
'මහේන්ද්‍ර ප්‍රසාද් '

' අයියෝ තනිකර අසිංහල නමක්නේ "

එවිට මහේන්ද්‍ර කිසිවක්  නොකියාම ඊලියන්ද සිල්වා දෙස මද සිනහවකින් යුක්තව බලා සිට ඇත .
මේ මද සිනහවේ පණිවිඩය තේරුම් ගත ඊලියන් ද සිල්වා මෙසේ කීවේය .

' ඇත්ත නේන්නම් මගේ නම ඊලියන්ද සිල්වා . ඒකත් අසිංහල නමක් වෙලා තියෙද්දී අනුන්ගේ නම් ගැන මම කතා කරන්නේ කොහොමද."
ඉන්පසු ඔහු සුසුමක් හෙලා ' මට ඒ නම දෙමාපියන්ගෙන් ලැබුණු නිසා වෙනස් කරන්න බැරි වුනා "

සිංහල තාක්ෂණ වදන් දහස් ගණනක් හඳුන්වා දුන් ඊලියන්ද  සිල්වාට ඔහුගේම නම  වෙනස් කරගන්නට බැරි වුනා වගේම 'අන්තර්ජාලය' වෙනුවට  ඔහු හඳුන්වා දුන්   හුරුබුහුටි  වචනය වන   ' 'අතුරු දැලටිය'   ට සාධාරණයක් කරන්නට අපටද බැරි විය.


මේ ඔහු පිළිබද සිතුම් කොදෙව්වේ ලියවුනු  බ්ලොග්  සටහනකි  ඉහත සේයාරුව ලබා ගත්තේද එම බ්ලොග් අඩවියෙනි.

පසු සටහන :




මගේ දෙවන පොත වන "තිලකසිත දෙක"  මේ සිකුරාදා(පෙබරවාරි 15) එලි දකින අතර පොතත් මමත් දෙදෙනාම කොළඹ මහජන පුස්තකාලයේ 15-16 දෙදනා පුරාම ඔබ හමු වීමට බලා ඉන්න  බවත් දන්වන්නේ සතුටිනි. 16 සෙනසුරාදා හවස මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී බ්ලොග් හා තීරු ලිපි ගැන රසික කතා බහක්ද පැවැත්වේ, වැඩි විස්තර  හෙට .







Posted by තිලකසිත at 4:49 PM 34 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, February 2, 2019

දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය


දුම්මැස්ස photo source ; roar/srilankafor91days
පසුගිය දවසක මා බලන්නට පැමිණි පරණ පත්‍ර මිත්‍රයන් දෙතුන් දෙනෙක්  සමග සුන්දර සැන්දෑවක් ගත වුනා .  එතෙන්දි  අන්තර්ජාලය ලංකාවට  එන්න කලින් අපේ ජීවිතේ ගෙවුණු හැටි ගැන කතා වුනා .

"දන්නවද මචන් 94 අවුරුද්දේ මැද අපේ පත්තරේ කවරයේ කතාවක් ගියා අන්තර්ජාලය ගැන. ඊට පස්සේ සතියේ වෙන පත්තරේක අර ලිපියට මඩක් ගහලා තිබ්බා . ප්‍රතිමල්ලව ලිපියේ මාතෘකාව මෙහෙම එකක්.
 "' හිම කන ඔටුවෝ "
ඉන්ටනෙට් එක ජීවිතේට අත්දැකලා නැති කෙනෙක් ලියපු මුල් ලිපිය නොසෑහෙන  ලෙස විවේචනය කරල තිබ්බ. රුවන් කියපු  විදිහට දෙවැනි ලිපිය මඩක්ම නෙවෙයි සාධාරණ විවේචනයක්.  මොකද ඒ වෙනකොට ලංකාවේ විශ්ව විද්‍යාල අතර සන්නිවේදන ජාලයක් තිබ්බා වුනත් අපි වගේ මිනිස්සුන්ට ඉන්ටනෙට් එකක් ගැන මෙලෝ අත්දැකීමක් තිබ්බේ නෑනේ .

අවුරුදු විසිපහකට වඩා පැරණි මේ වගේ සිද්දි දින වකවානු හා මාතෘකා එක්කම රුවන් ගමගේට මතක තිබ්බේ කොහොමද කියල මම පුදුම වුනා .

මේ කතා බහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට වැදී පරණ පත්තර ගොන්නක් ඇවිස්සුවා . එහි තිබු එක්තරා පත්තර පිටුවක්  දුටු මගේ ඇඟ හීතල වෙලා ගියා .

මම සද්ද නැතිව ඇවිත් ආපහු මිතුරු සමාගමට එකතු වුනා .

ඒ වනවිටත්  රස කරමින්  තිබ්බේ පරණ මතක සැමරුම් වුනත් අනෙක් අතීතාවර්ජනවලට  වඩා තරමක් වෙනස් වුනේ මේවා විද්‍යාවට සම්බන්ධ වූ නිසා. එතැන සිටි  බොහෝ දෙනෙක් විද්‍යා සන්නිවේදනයෙන්  සිය ලේඛන කලාව පටන් ගත්තු වුන් .

පළවෙනිවරට පරිගණකයක් දුටු දවස වගේම පළවෙනි වරට ඊමේලයක් යැවූ දවස බොහෝ දෙනෙකුට  මතක තිබ්බා ,

එදා හැන්දෑවේ මම මතක මං පෙතේ ඇවිදමින් සිටිද්දී  ජීවිතේ පළමුවරට සිදු වුවා යැයි මතකයේ රැඳුණු  දේවල් කීපයක් සිහිපත් වුනා . මේ ඒ අතරින්   කීපයක්  :

ඉස්සෙල්ලාම මැෂින් තුවක්කුවක් දැක්ක දවස 

යන්තම්  අවුරුදු හතරක් විතර වෙද්දී මට මැෂින් තුවක්කුවක් දැකීමේ  (අ)වාසනාව ලැබුනා. දවසක්  අපේ ගමේ පාර කෙලවර වෙන තැන ආමි එකෙන් මුර දාලා තිබ්බා . අක්කලා  කිව්වේ චේගුවේරා කාරයෝ අල්ලන්න ඇවිත් කියලා. ඒත් ඒ හමුදා භටයන් ළඟ  තිබුණූ කළු පාට ආයුධය මට මාර සංවේදනයක්ගෙ ගෙනාවා. මේකෙන් මිනිස්සු මරනවා කියලා කිසිම විදිහකින් හිතුනේ නෑ. තරමක් ලොකු වෙනකම් මම ඇඳපු හැම චිත්‍රයකම වගේ තුවක්කුවක් ගත්තු හමුදා බටයෙක් හිටියා.  1971 ට පස්සේ  83 ඉඳන් 2009 වෙනකම් තුවක්කු  දැක්කා වුනාට අපේ පරම්පරාව හරියාකාරව පරිණත වුනේ නැති බවයි මටනම් තේරෙන්නේ.

පළමු වරට කේක් කෑම

ළදරු වයසේදී කේක් කෑවද කියල මට මතක නෑ. මට මතක පළමු කේක් රස වින්දේ  ආච්චිලා ගෙදරදී. "කොළඹ මාමා  ඇවිත්"
අපේ ගෙදර  ඇවිස්සෙන සිද්දියක් තමයි මාමා ගමේ ඒම. ඒ ඔහු ගෙනෙන වයිවාරන රසකැවිලි නිසා .  මේ කියන දවසේ අයියාත් අක්කලාත් කලින්ම ආච්චිලා ගෙදර  ගිහින් .
 "අන්න චුටික්කුන්ට  මාමා කේක් ගෙනල්ලා  බලා ඉන්නවා "
 කවුදෝ මාව වඩාගෙන ආච්චිලා ගෙදර ගියා . මාමා පෙන්න හිටයද මතක නෑ. ආච්චී කුස්සියේ දුම්මැස්ස යට හාල් සෝදමින්  සිටියා. කොරහයි නෑඹීලියයි ඇගේ දෑතේ නැළවෙනවා . අපි දුටු ගමන් ඈ "පොඩි එකාගේ කේක් කෑල්ල" කියමින් නැගී හිටියා . ආච්චී  ලිපට උඩින් තිබු දුම්මැස්සේ උණ්ඩි කොට තිබුණු සව් කරදාසියක් දිග ඇරියා . එසේ දිග අරිද්දී ...
අහෝ ඛේදයකි .!  අර කේක් කෑල්ල සව් කරදසියෙන් හා ආච්චිගේ දෝතින් ලිස්සා විත් ජබෝග් ගාලා කොරහට වැටුණා.

ඒත් මම එතරම් අවාසනාවන්ත වුනේ නෑ . ආච්චී හාල් හේදු වතුරෙන් මෙලෙක් වූ කේක් කෑල්ල දෙපැත්තට ගසා දමා ආපහු මගේ  සිඟිති මුවට රින්ගේව්වා .
ඒ තමයි මා රසවිඳි මුල්ම කේක් කැබැල්ල . හාල් සේදු වතුරෙන් පොඟවා ගත් බටර් කේක් තමයි මේ ලෝකේ රසම කෑම. අත්දුටුවයි සත්තයි.

ඉස්සෙල්ලාම කුකුල් මස් ගැන කතා වුනු දවස 

ඉස්සර කඩවල බ්‍රොයිලර් චිකන් තිබ්බේ නෑ. සීතකරන තිබ්බ කඩ ගැන අහලා තිබ්බේ නෑ. කරවල, සැමන් ඇරුනහම ඉඳහිට හරක් මස් ගෙදරට ගෙනාවා.  ඒත් කුකුල් මස් කාලා තිබ්බද කියල මතකයක් නෑ මේ සිද්දිය වෙනකම්. දවසක් අර කියන කොළඹ  මාමා සිය පවුලත් සමග දියතලාවේ එද්දී කෝච්චියේදී ඉරාක ජාතික පවුලක් හමු වෙලා. ලංකාවේ සංචාරයකට ආපු මේ පවුල අපේ ගමේ ගෙදර ඇඩ්රස් එක හොයාගෙන ආවේ ඊට පස්සේ. අබ්බාස් කියල හුරු බුහුටි දඟකාර ළමයෙක් හිටියා මේ පවුලේ. මට ඔහුගේ හැම හැසිරීමක්ම මතකයි. මේ පවුලට ආගන්තුක සත්කාර කරන්න ඕනි වුනා. ඔවුන්ට  කුකුල් මස් හා කහ  බතකින් සංග්‍රහ කරන්න ඕනි කියලා මාමා කී නිසා කවුරුන් හෝ එහා ගමට ගිහින් කුකුල් මස් ගෙනාවා මතකයි. මේ තමයි කුකුල් මස් සම්බන්ධ මතකයක් තියෙන පළමුවෙනි දවස .

කුකුල් මස් නැති , කේක් නැති ලෝකෙක ජීවත් වූ අපි පරිගණක හෝ අන්තර්ජාලය නැති යුගයකත් ජීවත් වුනා .

ඉස්සෙල්ලාම අතුරු ජාලය ගැන ලියු ලිපිය 


මේ  තියෙන්නේ 1994 ලංකාවේ ජනප්‍රිය විද්‍යා පත්තරේක කවරය. එදා සතියේ විශේෂාංගය නම් කරලා තිබුනේ ' සන්නිවේදන කරලිය එක දෙක කරන අතුරු ජාලය " කියලයි .


කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
ඒ ගැන පස්සේ ලියන්නම්


Posted by තිලකසිත at 8:54 AM 26 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, January 12, 2019

ඝරේ බයිරේ හෙවත් ගෙදර සහ ලෝකය



රවින්ද්‍රනාත් තාගෝර්ගේ ඝරේ බයිරේ  නම් නවකතාව ඇසුරෙන් සත්යජිත් රායි  එනමින්ම යුත් චිත්‍රපටියක් නිර්මාණය කලේ 1984 දීය . ඝරේ බයිරේ යන බෙන්ගාලි යෙදුමේ තේරුම  'නිවාස හා ලෝකය' වගේ එකක්ලු.

ඔහුගේ කතාවේ තේමාව  එහි නම තරම් සරල එකක් නොවුවත් මම කියන්නට යන ගෙදර හා ලෝකය ගැන කතාව අමුතුම එකකි .

මධ්‍යම අධිවේගය පාරේ මිනුම් වැඩ වගේකට  යද්දී එක්තරා ගම්මානයකදී මා දුටුවේ පාලු වී ගිය සුවිසල් නිවහන්ය . විශාල  උයන් වතු මද හැදු  මේ නවීන පන්නයේ ගෙවල් බොහෝ ඒවා හිස්ව පැවතීම මට මහත් ගැටළුවක් විය. මගේ කුතුහලය නිවා ගැනීමට ගම්වැසියෙක් උදව් වුනේය.

' ඔය ගෙයක් දොරක්  දුක් මහන්සියෙන් ලස්සනට හදන මිනිස්සු ඔක්කොම වගේ ළමයින්ටත්  හොඳට උගන්වනවා. අනේ අර ඉගෙන ගත්තු ළමයි ගමේ තියා රටේවත් ඉන්නේ නෑ . හදාපු ගේ තනියම ඉන්නේ මහළු ජෝඩුව  විතරයි.  නැත්නම් ඒ දෙන්නත් කවුරුහරි ගාවට  වෙලා ඉන්නවා. ගොඩක් ගෙවල් වගලා".

මේ කතාවත් සමග මට මතක් වුනේ ගෙයක් හදන්නට අවුරුදු තිහක් උත්සහ කළ මගේ වැඩිමහල් මිත්‍රයෙක් ගැනය. ඔහු දක්ෂ ඉංජිනේරුවෙකි. අවුරුදු තිහක්ම රස්සාව කළේ පිටරටය. සල්ලි හොය හොයා ලංකාවට එව්වේය. ළමයින්ට උගන්වා රට යැව්වේය .

ඔහුගේ එකම සිහිනය උනේ කවදාහරි ලංකාවට ඇවිත් ලස්සන ගෙයක් හදාගෙන නිදහසේ විශ්‍රාම දිවියක් ගෙවීමය .

මැද  පෙරදිග රටකදී වරක්  ඔහු කී කතාවක් මට තාමත් මතකය .

"තිලක මම පුංචි කාලේ සිද්දියක් කියන්නම්.  අපේ තාත්තා රජයේ නිලදාරියෙක් . නොයෙක් මිනිස්සු ඔහුගෙන් රාජකාරී වැඩ කරවාගන ගෙදරට එනවා . එහෙම ආපු කෙනෙක්  දවසක් ලස්සන ලොකු චොකලට් පෙට්ටියක් ගෙනාවා . මම දොරට මුවා වෙලා බලා හිටියා ඒ මනුස්සයා පිටත් වෙලා යනකම්. ටී පෝව උඩ තිබ්බ චොකලට් පෙට්ටිය දිහා ඇසිපිය දල්වාගෙන.  ඒ තරම් විශාල ලස්සන කවරෙක දාපු චොකලට් පෙට්ටියක් මීට කලින් මට ලැබිලා තිබ්බේ එකම වතාවක් විතරයි "

ඔන්න දැන් මනුස්සයාගේ වැඩේ ඉවරයි . තාත්තට  අත් දෙක එක්කහු කරලා ආයුබෝවන් කියල යන්න දොරට බැස්සා. මම සාලේ ටීපෝව දිහාට අඩියක් තියන්න හදනකටම අපේ තාත්තා  අර පිටත් වෙලා යන අමුත්තාට  කතා කළා.
"පොඩ්ඩක් ඉන්න මේ ඔයා ගෙනාව පාර්සලෙත් අරන් යන්න. මම තෑගී ගන්නේ නෑ '

' අනේ මහත්තයෝ මගේ සන්තෝසෙට බොහොම පුංචි තෑග්ගක් ගෙනාවේ. පොඩි  දරුවෙකුත් ඉන්න  නිසා '

' නෑ ඒක මගේ ප්‍රතිපත්තියක්. රාජකාරී  වැඩක් කර ගන්න  ආව කාගෙන්වත් තෑගී ගන්නේ නෑ . ඔහේ මාව හිතවත් කමට බලල යන්න ආපු කෙනක්නම් මට මේක ගන්න තිබ්බ. කරුණා කරලා අරන් යන්න '

තාත්තා ආපසු හරවන්න බැරි දැඩි ස්වරුපයෙන් කියපු නිසා අමුත්තා ඔළුව කහ කහ චොකලට් පෙට්ටියත් අරන් ගියේ වරදකාරී ලෙස පස්ස හැරී හැරී බලමින්

චොකලට් පෙට්ටිය ගැන ආසාවෙන් හිටපු මගේ හිතේ ඇවිලුණු ගින්න මහා ඉකියකින් පිට වුනා
අමුත්තා ගිය හැටියේම මම තාත්තගේ අතේ එල්ලුනා. ' ඇයි තාත්තේ එහෙම කලේ. එයා තෑග්ගක්නේ  ගෙනාවේ . ඒ මටනේ?   '

ඒගමන තාත්තා  මටත් සැර  වුනා . "අපිට අයිති  තෑගී, අයිති නැති තෑගී කියලා දෙවර්ගයක් තියෙනවා පුතා. ඒක හොඳට මතක තියා ගන්න" .

ඔයා දන්නවද එදා මගේ ජීවිතේ මාර විදිහට වෙනස් වෙච්ච දවසක්.
මම පේරාදෙණියෙන් අවුට් වෙලා වැඩ කරන්න හම්බ වෙච්ච ප්‍රොජෙක්ට්  වල ධන ඉල්ලම් තිබ්බ . තෑගී බෝග වැහි වහලා. අවුරුද්දට දෙපාරක් විතර හම්බෙන හැම්පර් එක  ඉස්තරම් . ඒත් මේ එකකටවත් මට ආසා හිතුනේ  නෑ. මගේම සල්ලිවලින්  රට රටවල ඇවිදින එක හොඳ ගෙයක් හදන සිහිනය විතරක් තිබ්බා" .

මම කවදාවත් රට දාල කැනඩාවට ඔස්ට්‍රේලියාවට යන්න හිතුවේ  නැතත් මැද පෙරදිග රස්සාවක්  කරනවා කියල හිතාගෙන පිටත් වුනා . ඒ මීට අවුරුදු 30කට  කලින්. හොඳ ලස්සනට ගෙයක් හදන හීනේ මගේ ළඟ හැම තිස්සෙම තිබ්බා  "

මුලින්ම ඩුබායි හි රස්සාවක්  කළ මා මිතුරා ගෙයක් හදන්නට අවැසි සියලු දේ වරින් වර මිලට ගත්තා. බිම්  ගඩොල්. නාන කාමර කට්ටල, දොර ලොක්, සරනේරු, පැන්ට්‍රි බඩු ඒ අතර වුනා . අවුරුදු කීපයක් රස්සාව කරලා මිත්‍රයා ලංකාවට ආවේ ගෙයක් හදන්න බලාගෙන . එත් ලංකාවට ආ හැටියේම ආපහු හොඳ තනතුරක් එක්ක රස්සාවක් ලැබුනා ඩුබායි වලම. ගෙනාපු බඩු සේරම යාලු මිත්‍රයන්ට බෙදා හදා  දීලා ආපහු රට ගියා . ඔන්න දැන් වැඩට ගිහින් ඇවිල්ලා හවස් වරුවල, සති අන්ත නිවාඩු දවස්වල කඩ ගානේ ඇවිදිනවා . ගෙදර හදන්න හොඳම බඩු  ගන්නවා. ගේ වෙනම කාමරයක් පුරවන්න තරම් දොර ජනෙල් සරනේරු  විදුලි පංකා , කාපට් ආදිය.

ඒත් ටික දවසකින් ඩුබායි සිට කටාර්වලට ස්ථාන මාරුවක් ලැබෙනවා. අර ගේ හදන්න ගත්තු බඩු භාණ්ඩ සියල්ල කන්ටේනරයක පටවාගෙන කටාර් එනවා. මිත්‍රයා මට හමු වනේ ඒ කාලේදී  . මගේ කටාර් ජීවිතය රසවත් කල අපූරු මිත්‍රයෙක් . පවුලේ සියලු දෙනා මිත්‍රශීලීයි. කලාකාමීයෝ .

 ඔහුගේ කැමතිම මාතෘකා වුනේ සංගීතය, ක්‍රිකට්, ෆොටෝග්‍රපි හා ගෙවල් හදන එක .

අනාගත ගෙදරට ඕනෑ ප්රෙසර් පොම්ප,ජල කරාම, විදුලි ස්විච වරින් වර මිලට  ගන්නා ඔහු ඒවා වෙනම කාමරයක අහුරනවා. මේ එක භාණ්ඩයක ගන්න සමහර විට  දවස් ගානක් කැටලොග් බලනවා. ඉන්ටනෙට් පීරනවා, තුන් හතර දෙනෙක් එක්ක කතා කරනවා, කඩ දහයක පහළොවක ඇවිදිනවා.

ලංකාවට එන්න අවුරුද්දකට කලින් හැමදේම සැලසුම් කළා . ආකිටෙක්ට් කෙනෙක් තෝරා ගත්තා , සැලසුම් අන්දා , වෙනස් කරා.  නැවත නැවත  වෙනස් කරා . අන්තිමේ  ආකිටෙක්වත් වෙනස් කරා .
ගිය අවුරුද්දේ ඇඳලා නිමා  කරපු  ලස්සන නිවාස සැලසුමකුත්  අරන් අලුත්  ගෙදර හදන්න  ඕන හාඩ් වෙයාර් අයිටම් මහා ගොඩක් නැවේ දාගෙන ලංකාවට ආවා .

ගේ හදන්න තෝරා ගත්තු ඉඩම කිට්ටුව ගෙයක් කුලියට අරං පදිංචි උනා . දැන් ගේ හදන්න අනුමැතිය ගන්න , කොන්ත්‍රාත් කරුවන්  හොයන්න ඇවිදිනවා. මටත් කතා කරනවා. ඔහොම කාලයක් ගියා . ගේ හදන පාටක් නැ.

අනිතීමේ ඔහු මෙහෙම කතාවක් කිව්වා . "මේක පුදුම රස්තියාදුවක්. මම ගේ හදන එක ඇත ඇරියා . ආකිටෙක්ලත්, ඉන්ජිනේරුවොත්, බාස්ලත්, නගර ස්බාවත් මේ හැමෝම මට ගේ හදන  එක එපා කළා".

ඉතින් දැන් ගෙයක් සල්ලිවලට  ගන්නවද ? මම ඇහුවා .

"නෑ අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට  යනවා. දුවලත් එක්ක එකට ඉන්න පුළුවන් එතකොට  මම පහුගිය ටිකේ ආසාවෙන් හිටියේ අලුත් ගේ හදලා යාලුවොත් එක්ක සංගීත සාජ්ජ දාන්න. මට ඒක මිස් වෙනවා.  ඒත් අරෙහෙ ගිහින් මම ගෙයක් ගන්නවා".

මට බොහෝ වැඩිමහලු මුත් තරුණයෙකුටත් වඩා ජීවිතය දෙස බලාපොරූත්තු තබාගෙන සතුටින් සිටි මගේ මිත්‍රයා අන්තිමේ රට හැර ගියේ ඔහොමය .

එත් ඔහු කවදා හෝ ලංකාවේ ගෙයක් හදන්වාමයි කියන සිහිනයද යම්තාක් දුරකට සාක්සාත්   කර ගත්තේය .
ඒ මීට වසර 30කට පෙර තම කන්තෝරුවේ සේවය කළ පියන්වරයා තාමත් ගෙයක් හදාගෙන නැති බව ආරංචි වී ඔහු සොයාගෙන ගොස් ලස්සන පොඩි ගෙයක් හදා දීමෙනි .

ගෙදර හා ලෝකය සම්බන්ද වී ජීවිතය ගලාගෙන යන්නේ ඔහොමය. ඒ අතරේ යළි යළිත් ප්‍රත්‍යක්ෂ වෙනවා  අපට අයිති තෑගී හා අයිති නැති තෑගී කියල වර්ග දෙකක් තියෙන වග.


Photo Source :  releasesoon.com




Posted by තිලකසිත at 3:07 PM 16 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, December 22, 2018

ඔහේ කවුපි ගන්නවැයි ?

උඩවලවේ ජලාශය-
උඩවලවේ වැව් බන්ට් එක දිගේ ගිය ගමනක් ගැන සිලිකන් වැල්ලේ ලිව්වා . එහෙම යද්දී පරණ සිද්දියක් මතක් වී තනියම හිනා ගියා. මේ දුටු ඔවිනී මගෙන් ඇහුවා "ඇයි තාත්තේ තනියම හිනා වෙන්නේ" . ඉතින් මම කතාවේ කොටසක් ඇයට කිව්වා . මේ කතාවේ ඇයට නොකීව කොටස .
කාලෙකට   ඉස්සර මම ඇඹිලිපිටි කරදාසි කම්හලේ පුහුණුවකට ආවා. මටයි අපේ බැචා පොඩි බමුණුටත්  මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් . ඒ දශක කීපයකට ඉස්සර .  ඒ වෙද්දී කරදාසි කම්හලේ නිෂ්පාදන කෙරෙනවා. ඒ කතන්දර මම පත්තරේටත් ලියලා තියෙනවා .

බැචාටත් මටත් නවාතැන් හම්බුනේ කරදාසි කම්මලට අයත් ගෙස්ට් හවුසියේ . එය හොඳම තත්ත්වයේ නවාතැනක් . මෙහිම නවාතැන් ගත් තව කිහිප දෙනෙක් හිටියා . ගර්කින් සහ කෙසෙල් වගා කරන සමාගමක සේවය කළ මිතුරන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්නාට තිබ්බ විවිධ උන වර්ග නිසා අපි නම් දෙකක් දාලයි තිබ්බේ ඩෙංගු සහ සහලෝලා කියලා .  ඒ දෙන්නා  හරිම ක්රියාශීලීයි. වැඩ, වලි , සිරා ටෝක්.කෙළවරක් නෑ.

ඒ කාලයේ මම ඉරිදා හවස බණ්ඩාරවෙලට ඇවිත් එතනින් කොළඹ බස් එකක රතන්පුර තිබ්බ බමුණුසින්හලා ගෙදරට යනවා . බමුණුගේ  අම්මාගේ ආදර සැලකිලි ලබමින්,  තාත්තාගේ පොරටෝක් හා රස කතා අසමින් රාත්‍රිය ගත කොට අපි පහුවදා පාන්දර බස් එකේ ඇඹිලිපිටි යනවා.  යද්දී හම්බවෙන ගම් නගර නාමවල පවා තිබ්බේ අමුතු රසයක් .  පැල්මඩුල්ල, කෙටේතැන්න , කහවත්හ, වැල්ලඳුර, ගොඩකවෙල, කොළඹගෙආර  . ..

සිකුරාදා ආපහු ගෙදර යනකොට මම තෝරා ගත්තේ ඇඹිලිපිටි ඉඳන් උඩවලව වැව් බන්ට් එක දිගේ තණමල්විලටත් එතැනින් වැල්ලවාය හරහා බණ්ඩාරවෙලටත් යන මාර්ගය.
උඩවලවේ ඉඳන් තණමල්විල පාර ඒ දවස්වල හරිම දුෂ්කරයි. බස් ඉතාම අඩුයි , වැව් බන්ට් එකෙන්  එහාට හද්දා දුෂ්කර ගම්මාන. ඉලුක් හෙවිල්ලු වරිච්චි ගෙවල්  තැනින් තැන තිබුනා .පෙට්ටි  කඩයක් හෝ දෙකක්  තිබුනා .

සෙවනගල උක් පර්යේෂණ ආයතනය ඉදි කරන්න අපේ අයියාගේ හොඳම යාලුවෙක් වූ කරු අයියා ඇවිත් හිටියා. ඔහුට පරණ නිල නිවෙසක්ද තුබුණා. එක සිකුරාදාවක් හවස ඔහුගේ නවාතැනේ ගතකර සෙනසුරාදා පාන්දර උඩවලවේ බන්ට් එක උඩට ආවේ තණමල්විල බසයක් අල්ලා ගන්නයි.

පැය බාගයක් විතර හිටියාට බස් එකක් නැති පාටයි. ඒත් ඒ හරියෙන් කොළඹින් බඩු පටවා ගත් ලොරි කීපයක්ම ගියා. මේ ලොරිවලත් ඉඳ හිට මගීන් එකෙක් දෙන්නෙක් ගමන් කළා. ඒ නිසා අපි ලොරි වලටත් අත දැම්මා .

එක කුඩා ලොරියක් නතර කළා . රියදුරා විතරයි . බුරුස් රැවුලක් තියෙන හිනා වෙන්නේ නැති කෙනෙක්.
' තනමල්විලටද යන්නේ? කරු අයියා ඇහුවා /
බුරුස් ඔව් කිව්වේ  අංග චලනයෙන්.
' මේ අපේ මල්ලී  තණමල්විලෙන් බස්සලා යන්න පුලුවන්ද. ගානක් දෙන්නම් '
බුරුස් ' හ්ම්" කිව්වා  .
මම ලොරියේ වම්පස අසුනෙන් ඉඳගත්තා. යනගමන් මම ඔහුව කතාවට අල්ලා ගන්න හැදුවා .
කොළඹ ඉඳන්ද එන්නේ ?
'ම්හු'  කිව්වා
එහෙනම් රත්නපුර  ඉඳලද :
'හ්ම්'
මට දුක හිතුනා . අනේ ගොළු මනුස්සයෙක් . මමත් එතනින් එහාට අතින් පයින් පොඩි පොඩි කතාවක් කරැගෙන මේ ගොළු හිතවතා එක්ක දිගටම යනවා.

ඔහොම ලොරිය ටික දුරක් ගිහින් . පාලු තැනක තිබ්බ කඩයක් ගාව නැවැත්තුවා. වට්ටක්ක ගෙඩි ටිකක්. ඉරිඟු , කුරක්කන්  වගේ ඇට පිරිච්ච කුඩා බක්කි කීපයක් ඇරෙන්න කෙහෙල් කැනක්වත් ඒ කඩේ තිබ්බේ නෑ.
ඒත් කඩේ ඇතුලේ හිටි මුදලාලි හාමිනේ පුෂ්ටිමත් මෙන්ම පැහැපත් එකියක් වුනා . අපේ රියදුරා දුටු හැටියේම ඇගේ මුහුණ පිපී ගියා .

ඔහු ලොරියෙන් බැස්සා . මෙන්න කතා කරන්න බැරි මිනිහා මහා හයියෙන් අහනවා .
" අලුත් කවුපි ආවේ නැතෙයි ?
"ආවා අවා එන්ඩ එන්ඩ අයියා
 ඇය කීවා . බුරුස් කඩේට ගියා . කඩ බක්කිය අද්දර ඔහේ කතා කර කර හිටි  දෙදෙනාම ටික වෙලාවකින් මගේ දර්ශන පථයෙන් ඈත් වුනා වගේ  දැනුණා  .

මම තනියම කල්පනා කරනවා. මාර තොප්පිය මේ යකා කොච්චර වෙලා මෙතන ලගියිද දන්නේ නෑ . බැහැලා යන්න  හැටියකුත් නැතියෙන් මම ඔහේ බලාගෙන හිටියා. මට පොඩි නින්දක් ගිහින් ඇහැරෙනකොට බුරුස් බුලත් විටකුත් එහෙම  කාලා පොඩි හිනාවක් දාගෙන එනවා අත් දෙකම වනමින්.

මම  එක පාර මෙහෙම ඇහුවා  . ( ඒ වෙනකොට මම මාතර ඇඹිලිපිටි කටවහරට හුරුවෙමින් හිටියේ )
" ඔහේ කවුපි ගත්තේ නැතෙයි ?"
අපේ යාලුවා කතා නොකරම ලොරිය මදක් ඉදිරියට පදවා ආපහු වේගය අඩු කර මගේ දිහා බැලුවා . ඒ බැල්මේ තිබ්බේ මෙහෙම එකක් .

' ඔහේ කවුපි ගන්නවැයි?



සේයාරුව : දෙව්නි
_
සිලිකන් වැල්ලට මෙතනින් යන්න 





Posted by තිලකසිත at 2:27 AM 23 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Sunday, December 2, 2018

ගෙට්ටු ගෙදර හා ගොඩමුන්නේ

අම්මේ මෙහෙනම් මට ඉන්ඩ බෑ තාත්තගේ ගෙට්ටුගෙදර යමු..  කියමින් බෙරිහන් දෙන අපේ හිතවත් පවුලක දියණියක් එසේ අඬන්නේ මන්දැයි වරක් මම විපරම් කළෙමි .

එවිට දැන ගන්නට ලැබුනේ මගේ මිතුරාගේ  ඩිප්ලොමා පන්තියේ උන්  විසින් ලොකු හෝටලයක සාර සොබාවට  වාර්ෂික මිතුරු හමුව පවත්වා ඇති බවය . නැටුම් ගැයුම් වැයුම් හා රසමසවුළු පිරි රාත්‍රිය දරුවන්ටද අසිරිමත් එකක් වූ සෙයකි. ගෙදර ආ වෙලාවේ ඉඳන් පොඩි එකා කෑ මොර දෙන්නේ ආපහු සාදය තිබුණු හෝටලයට  එක්කාගෙන යන ලෙසයි.

මේ  get-together සාද  හෙවත්  ගෙට්ටු  අපේ මිතුරන් අතරේ හරි ජනප්‍රිය වදනකි. බලාපොරෝත්තු  දනවන්නකි . මගේ සමහර වැඩිහිටි මිතුරන් අවුරුද්ද ජීවත් කරවන බලාපොරොත්තුව ඊළඟ ගෙට්ටුවට යෑමය. ලැබෙන ඇරයුම් සියල්ල පිළිගන්නවානම් සතිපතා මොකක් හෝ ගෙට්ටුවක් තිබේ.   පන්තියේ උන් සෙට් එක. ඉස්කෝලේ උන්ගේන්  ගෙවල් ගාව ඉන්න සෙට් එක . ඉස්කෝලේ කොළඹ ඉන්න සෙට් එක . අහවල් රටේ වැඩ කරලා ඇවිත් ඉන්න සෙට් එක. මරණාධාර සමිතියේ සෙට් එක හා අර කොම්පැනියේ වැඩ කරපු උන් කට්ටිය  වාගේ විවිධ හමුවීම්  අතරින් මම වඩාත් කැමති මිතුරු හමු එකක් දෙකක් තිබේ .  මම කැමති විවිධත්වයෙන් යුක්ත වූ මිනිසුන් හමුවන තැන්වලටය. අපේ අල්ලපු ගෙදර අන්කල් ගේ වැඩිහිටි මිතුරු  පාටියේ ගෙට්ටුව එහෙම එකකි. නගරාසන්න මුල් ගම් වැසියන්, ඉඩම් හිමියන්, විශ්‍රාමිකයන් මෙන්ම සාමන්‍ය ගම්වාසීන්ද  එකතුවන මේ පාටියට මම සහභාගී වුනේ අමුත්තෙකු ලෙසයි. එය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එන විසිතුරු මිනිස් එකතුවකි. .

දෙවැන්න  අපි 1986 නත්තල් දවසේ පටන් ගත් දහයේ පන්තියේ සිටි උන්ගේ ගෙට්ටුවයි. සහුර්දයන්ගේ රාත්‍රිය නමින් කරගෙන ගිය මේ පාටි දැමිල්ල . පොඩි ට්‍රිප් එකකින් , කඳු නැගීමක්  හෝ වෙනත්  ආකාරයේ  දෙකින් අමුතු මිහිරක් දෙමින් කෙරගෙන ගිය එකකි .  දහයේ පන්තියේ සිටි උන් විවිධ විෂය ක්ෂේත්‍ර වලට බෙදී ගියෝය. කමුදා පොලිස් නිලධාරියෝ , ගුරුවරු ,ඉන්ජිනේරුවෝ , දොස්තරලා, ලොයර්ලා  මෙන්ම ප්‍රාදේශීය සභා  මන්ත්‍රීලා, කඩ මුදලාලිලා , ගොවි  මහත්තුරු මේ හැමෝම එතැන සිටින නිසා එම හමුව පණ ගැහෙන විචිත්‍ර එකකි. මේ පන්ති ගෙට්ටුවේ ජීවය වී ඇත්තේ  එක් දිරිමත් මිතුරෙක්ගේ හයියයි. අවුරුදු තිස් දෙකක් තිස්සේ වැඩිම බරක් අදින්නේ ඔහුය .

ඒ අතරේ අපේ බැච් එකේ ගේට්ටුවත්  නරකම නැත. බොහෝ දෙනෙක් සමරන්නේ තමන්ගේ පන්තියේ මිතුරු සාදය හෝ සරසවි බැච් ගේට්ටුව යන දෙක හෝ ඉන්යි එකකි . ඉස්සර අපි කැම්පස්  ඉන්නා කාලේ පවා ගේට්ටු තිබුනේය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආපු මුළු සරසවියෙම විවිධ පීඨ වල ඉගෙන ගන්නා  කොල්ලෝ  කෙල්ලෝ අවුරුද්දකට සැරයක් පළාත් ගෙට්ටුවක් දැම්මෝය.   ඒ අනුව  බදුලු බණ්ඩාරවෙල උන්, කුරුනෑගල උන් ආදී වශයෙන් වෙන වෙනම සෙට් වුනෝය.

ඉස්කෝල ගෙට්ටුද කැම්පස් එකේ තිබුන අතර ඒවා සමහර විට කාන්තා හා පිරිමි ඉස්කෝල දෙකක් හවුලේ තිබිණි. ඒවා හරි ආඩම්බරෙන් හා අවශේෂ උන්ගේ ඉරිසියාව දනවන සිරියෙන්  පැවැත්විණි . අනුරාධපුර ගෙට්ටුව සංවිධානය කළ අපේ STB අත අවුරුද්ද පුරා පයිල් කවර දෙකක් තිබුනේය. ඉන් එකක සියලු අධ්‍යයන විෂයන්ට අදාළ සටහන්, කෝස්වර්ක් ආදිය සම්බන්ද ඒවාය. අනිත් පයිල් එකේ තිබ්බේ ගෙට්ටුව් සම්බන්ධ ලිය කියවිලිය.

අපේ බැච් එකේ දෙසිය  පණහක් විතර හිටියාට මුල් කාලයේ ගෙට්ටුවට එකතු උනේ යන්තම් විසිපහක් විතරය. . ඒ කාලයේ අපට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් ජයසේකකර මහත්තයාගේ  බැච් ගෙට්ටුවට හත්තෑවක් විතර  හිටියේ මුළු ගණන එකසිය පනහකිනි .ඔහු අපේ වැඩබිමේ උපදේශක සමාගමේ නේවාසික ඉංජිනේරුවා වූ අතර මම හිටියේ කොන්ත්‍රාත්  සමාගමේ සැලසුම් ඉංජිනේරුවා හැටියටයි . ජයසේකර මහතා නිල රාජකාරිමය හෝ ඇකඩමික් විදිහට ඇර උනන්දුවක් දැක්වූ වෙනත් කිසිම අංශයක් ගැන මා හැර වෙන  කවුරුත් දැනගෙන හිටියේ නැත . එහෙත් එවැන්නක්ම ම දැන සිටියෙමි . ඒ ඔහුගේ වාර්ෂික බැච් ගේට්ටුවයි . ඒ නිලය අල්ලා ගත්තාට පසු මම සමහර වැඩ කර ගත්තේ ඔහුට ලබා දුන් මානසික  අල්ලස්වලිනි .

ඔහු මොන තරම් රුලට වැඩ කලාද යත් ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනත් වාර්තාවක් සැලැස්මක් අනුමත කලේ නැත . වතාවක් වගා ඇලක් සඳහා පාරේ  බෝක්කුවක් දමන කටයුත්තකදී ඔහු අපේ උන්ට දස වද දුන්නේය.
" අපි වැඩ කරන්නේ ගොවිතැන්  කරන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක . ඒක නිසා මේ වැඩේ හරියටම   කරන්න ඕනි" .  මේ වැඩේ සැලැස්ම . වැඩ කරන පිළිවෙල,  දළ සටහන් ආදී සියල්ල කීප වරක් සංශෝධනය කරා වුනත් අනුමත වූයේ නැත . වැඩේ එක තැන හිර වෙලාය. අපේ විදෙස් ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්ද ඔහු සොයා ගොස් පින්සෙන්ඩු උනත් ඔහුත් පරාදය.

ඔහු ආපසු පැමිණ මේසය උඩ හැම දේම දමා ගසා මේසේ කීවේය.
' මේකේ තාක්ෂණ කරුණු ඔක්කොම හරි. කොන්ක්‍රීට්, කම්බි , බෝක්කු බට , දිග පළල හැම දේම පොතේ හැටියට . තවත් මොනවද ?

" මේ වෙලාවේ මම ලකණු දමා ගැනීමට සරසුනෙමි. "
දෙන්න ඕක මං දෙකක් කතා කරන්නම් . ජයසේකර උන්නැහැ අද මගෙන් පාඩමක් ඉගෙන ගනන්වා .

' මම මුළු කන්තෝරුවටම ඇහෙන්න හඬ  නගා පැවසුවෙමි . ඉන්පසු අපෙ ලොක්කා දමා ගැසූ ලියකියවිලි ටිකත් උස්සාගෙන ජයසේකර මහත්තයාගේ කන්තෝරුව පැත්තට  වේගයෙන් ඇවිද ගියෙමි .

මම ඇතුළු වත්ම . ඔහු මද සිනා  පෑවේ ඔහෙත් ඕක ඉස්සාගෙන ආවාදැයි අසමිනි .

"නෑ නෑ . මම මේක මගදී අපේ ලොක්කගෙන් ඉල්ලා ගත්තේ. නිකම් බලන්න  කියල  . මේ එක නෙවෙයි මිස්ටර් ජයසේකර මේ සැරේ බැච් ගෙට්ටුව කවද්ද තියෙන්නේ ?"
  කියා ඇසුවේ එය පසුගිය සතියේ ජයට පැවැත්වූ  බව ඔහුම කී හැටි  අමතක වුන විලාසයෙනි.

වහා හරිබරි ගසා වාඩි වූ ඔහු මුහුණ පුබුදු  කර ගන්තේය .

' ඈ ඒක තිබ්බනේ ළමයෝ ගිය සුමානේ දඹුල්ලේදී . මේ සැරේ නියමයි. රට ඉන්න සෙට් එකත් ඇවිල්ලා හිටියා. : අපි සේරමල්ල සීගිරි ගියා 'අපි කතා උනේ ලබන පාර එක මේ දැම්ම ඉඳලා ඔර්ගනයිස් කරන්න පටන් ගන්න .
ඔහු හොඳටම අප් වෙලාය .

' ඉතින් ඉතින් ජයසේකර මහත්තයාගේ පරණ ගෑණු ළමය එහෙමත් එන්න ඇති නේද ? ;

ජයසේකර කොක් හඬලා සිනා සේද්දී මම හීන් සීරුවේ ෆයිල් මිටිය දිග ඇරියෙමි. මේ බලන්න අපේ උන්ට කිව්වට වැඩක් නෑ . අනේ මිස්ටර් ජයසේකර ලොකු අඩුපාඩුවක් නැති එකේ මෙන්න මේක ඇප්රූ  කරලා දෙන්න .

' ඔහු සිනා සෙමින්ම මගේ ලියකියවිලි තොගය අතට  ගත්තේය' ඉන්පසු ඇත්තටම ඉතිරිව තිබු පොඩි පොඩි ස්පෙලින්ග් මිස්ටේක්  කීපය  සකසා දී අනුමතයි කියා සටහනක් යෙදුවේය'

ඔහු දිගටම  ගෙට්ටුව ගැන කියද්දී  මම පස්සේ කතා කරන්නට එන්නම් කියා ඔහු අස්වස්සා ආපසු කන්තෝරුවට දිව ආවෙමි.

මම අපේ ලොක්කාටත් වඩා වේගෙන් කොළ කෑලි ගොඩ රවුම් මේසය උඩ අත හැරියෙමි .
' හෙට වැඩ පටන් ගන්න කියන්න කට්ටියට '
මගේ ප්‍රොමෝෂන් පිටුපස මේ වගේ කතාද තිබෙයි.

******************

මේවා කොයි හැටි උනත්  අද උදේ මම ගෙට්ටුවක් ගැන කල්පනා කරමින්  හිටියේ මේ විදිහට ලියන්නට නෙවේය. හැමදාම හැම තිසේම දකින එකම ක්ෂේත්‍රයේ උන් හමුවීම එපා වී සිටි සමයක අපේ ඉස්කෝලේ ගෙට්ටුව මෙන්ම නැවුම් තාලේ කැම්පස් ගෙට්ටුවක් ගැන ලියන්නටය .විද්‍යා, කලා, ඉංජිනේරු, මෙඩිකල් , ඩේන්ටල්, ඇග්රි ඇතුළු ෆැකල්ටි සියල්ලේම එකතුවෙන් පටන් ගෙන මෝදු වෙන තවත් විසිතුරු ගෙට්ටුවක් ගැනය.  වැඩේ හරියට කරන්න නම් මේ කියන ෆැකල්ටි සියල්ලේ සිටි හැමෝම දන්නා එකෙක් සිටිය යුතුය. ඔහු හෝ ඇය  අවුරුදු විසි පහක් තිස්සේවත්  හමු වූ සියලු දෙනා සමග අඛණ්ඩ ඇසුරක් පවත්වාගෙන යන හොඳම හොඳ පී ආර් එකක් තිබෙන එකෙක් විය යුතුය.

පුදුමය කියන්නේ එහෙම එකෙක් සිටියේය . මා දන්නා උන් අතරින් හොඳම මානව සම්බන්ධතා හැකියාවන් තුබුණේ ඔහුටය. ඔහු කරමින් සිටියේ ඔහුගේ හැකියාවට ගැලපෙනම රස්සාව වූ පේරාදෙනි සරසවියේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරයි.   ඒත් අවාසනාවක මහත අපට ඒ ගෙට්ටුව හෙවත් මිතුරු හමුව තියන්නට වන්නේ අපේ සමකාලීන සරසවි සගයෙකු  වූ, මේ සුවිශේෂ මිතුරාගේ  මළ ගෙදරදීය. අද උදේ කුමාර  ගොඩමුන්නේ හර්දයාබධයකින් මිය ගියේය. ඒත් සමග ඉසියුම් තතකින් දශක දෙක හමාරක් තිස්සේ එක්කාසු කොට  තිබූ බොහෝ මිනිස් බැඳීම්  ජාලයක්ම  දුර්මුඛ වී ගියේය.




Posted by තිලකසිත at 8:43 AM 22 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, November 24, 2018

බහීගේ දවස් හත -2




2018 නොවැම්බර් 18- මාලබේ බයිසිකල් ලේන් එක

අද මාලබේ සිට කඩුවෙල පැත්තට යනවිට පාරේ වම් පැත්තේ බයිසිකල් ලේන් එකක් සලකුණු කොට තිබෙනු දුටුවා. මෙය ඉතා සතුටු හිතෙන දැක්මක්. ඒත් එක්කම බයිසිකල් හා සම්බන්ධ වූ කතා වැල නොකැඩී මතක මං පෙතේ  ඉදිරියට මතු උනා . 

වරක්  මගේ මිතුරෙක් බයිසිකල් ගැන කිව්වේ වත්තල පැත්තේ හිටි දොස්තර  කෙනෙක්වත්  සිහිපත් කරමින්. 

'මචන් ඉස්සර   මමයි නෝනයි ළමයි දෙන්නයි අතරින්  එකෙක් හරි  හැමදාම සෙම වැඩි වෙලා අසනීප වෙනවා .  සතියකට දෙතුන් පාරක්  කාටහරි බෙහෙත් ගන්න අර කියන  දොස්තර  ගාවට යනවා .මෙහෙම මාස ගානක් ගියාම  දොස්තර දවසක් අහනවා මිස්ටර් ගාව රුපියල් හාරදාහක් විතර ගන්න තියෙනවද කියලා. ඒ කාලේ එක  වතාවක දොස්තර  ගාස්තුව රුපියල් දෙසියක් විතර තමයි වුනේ . මම පුදුමෙන්  වුනත්  සල්ලි හොයා ගන්න පුළුවන් කිව්වා" 
"එහෙනම් මෙන්න ඇඩ්‍රස් එක. අද හෙටම මෙතනට ගිහිල්ලා ඔය හතර දෙනාට බයිසිකල් හතරක් ගන්න. එතැන තියෙනවා රටින් ගෙනාපු රීකන්ඩිෂන් බයිසිකල්.  හොඳ එකක් රුපියල් දාහකට විතර ගත හැකියි. 
උදේට හවසට ගෙදර හතර දෙනත්තෙක්ක  බයිසිකල් රවුමක්  පදින්න . මටනම් බිස්නස් පැත්තෙන් පාඩු වෙයි . ඒත් කරලා බලන්නකෝ "

"මචං අපි එදාම ගිහින් බයිසිකල්  හතරක් ගෙනාවා  ළඟ පාත පාක් එකකට  දාලා හැමදාම බයිසිකල් පදින්න පටන් ගත්තා. සෙම දොස්තර හම්බවෙන්න ආයේ යන්න ඕනි වුනේ නෑ '

සිද්දියේ විද්‍යාත්මක පැත්ත මම දන්නේ නැතිමුත් ලෝකයේ බොහෝ රටවල බයිසිකල් පැදීමට දිරි  දෙන්නේ සෞඛ්‍යමය හේතු මෙන්ම පාරිසරික හේතු නිසා. ලෝකයේ මොන තරම් අලුත් සොයා ගැනීම තිබුනත් බයිසිකලය කියන්නේ  අපූරු නිර්මාණයක් . 
ස්ටේෂන් අසලින් කුලියට හෝ නොමිලේම ගන්නට තිබෙන බයිසිකලයක් තමන්ට ඕනෑම ගමනක් ගොස් නියමිත බයිසිකල් නැවතුමක රඳවා  යන්නට වෙනත්  දියුණු රටවල අවකාශ සලසා තියෙනවා. මැලේසියාවේ  බයිසිකල් කුලියට ගැනීම සඳහා  මොබයිල්  ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා .  

මෑත දවසක මට දැන ගන්න ලැබුනා මාදිවෙල පාරේ බයිසිකල් ණයට දෙන තැනක් ගැන. එතෙර රැකියාවක් කර හරි හම්බ කරගත් මුදලින් මේ බයිසිකල් සැපයුම් හල පවත්වාගෙන යන සොඳුරු මිනිසා ගැන කිහිප දෙනෙක් මට කියා තිබෙනවා.   ඔහුගෙන් බයිසිකල් ඉල්ලාගෙන ගිය සමහරුන් ඒවා රැගෙන අතුරුදන් වී තිබුනත් ඔහු තාමත් සේවාව සපයන්නේ නොමිලේ බව ආරංචි උනා.
ලබන සතිය දිහාවට ඔහු බලන්නට යන්නට ඕනි.

නොවැම්බර් 19 - සැශේ ජීවිත හා බිග් ඩේටා

අද ගෙදර යන  ගමන්  පාන් ගෙඩියක් මිල දී ගන්නට ඕනෑ වී සුපර මාකට්ටුවක් දෙසට වාහනය හැරවුවා. ඒත් එක්කම ඔවිනි විසින් අම්මාට දෙන ලද පැහිච්ච උපදෙසක් සිහියට ආවා . " අම්මේ ඔයාට ගන්න ඕනි පොඩි දෙයක්නම් ඔය ලොකු මාකට්වලට යන්න එපා පොඩි කඩේකට යන්න. මොකද අම්මා ගන්න ගිය එකට වඩා තව හතර පස් වර්ගයක් අරන් සල්ලි වියදම් කරගෙන තමයි එතනින් එලියට එන්නේ" .

මේ අතරේ වෙනදා යන සුපිරි වෙළඳ සැලේ බඩු තෝරා ගැනීමේදී මුහුණ දෙන ගැටළුවක් ගැන ඔවිනිලා අම්මා වරක් දෙවරක් මට පැමිණිලි කර තිබෙන්නේ මේ විදිහට .
" බලන්න අනේ  මේකේ මොනවත් හොයල ඉක්මනට බඩුවක් ගන්න බෑ . රාක්ක සැරින් සැරේ මාරු කරනවා. ගිය සැරේ තුනපහ තිබ්බේ පිටිපස්සේ රාක්ක පේලියේ දැන් ඉස්සරහටම අරන්. ඒ අස්සේ අර සබන් එව්වා මේවා කෙළවරකට දාලා "

" ඕවා කරන්නේ ඔයාලාගේම රුචි අරුචි කම් බලල තමයි "

" ඒ කොහොමද ?"
"මෙන්න මෙහෙමයි "  මට මෑත කාලේ මගේ IT මිතුරෙක් කියූ විස්තරයක් මම හොයා ගත් දෙයක් ලෙස දිග ඇරියෙමි

" දැන් මේකනේ ඔයාලා ඔය හැම මාකට් එකේම කස්ටමර් කාඩ් එකක් කියල දෙනවනේ. ඒකට පොයින්ට් වැටෙනවා. ඉතිරි සල්ලි වැටෙනවා  වගේ පොඩි වාසි අපට ලැබුනට මේ ෂොප් වලට හොඳ තොරතුරු මහා ගොඩක් ලැබෙනවා.  මිනිස්සු බඩු ගන්න රටාව  . සතියේ ඒ ඒ දවසට වැඩිපුර විකිණෙන දේවල්.  වේගයෙන් ඉවර වෙන දේවල්. නැවත  නැවත  ගන්න පෙළඹෙන්නේ මොනවද? එක පාරක් විතරක් අරන් නිකා ඉන්නේ මොනාද ඔය සේරම විස්තර .

"ඒවා අරගෙන මේ මාකට් චේන් අයිති සමාගම් විවිධ උපාය ක්‍රම  කිර්යාත්මක කරනවා.   ඒ වගේ ගන්න එක පියවරක් තමයි  මාස කීපයකට සැරයක්  රාක්ක පිටින් මාරු කරන එකත්  '

"තව ඔයා දන්නවද දැන් දැන් මිනිස්සු වැඩිපුර ගන්නේ සැශේ පැකට් . ග්රෑම් පනහේ කිරිපිටි පැකට් අරන් ඒ වෙලාවට විතරක් කිරිතේ හදන මිනිස්සු ඉන්නවලු "
.
ඇය පුදුමෙන් බලාගෙන හිටියා . ඒත් අපි ආයෙත් මතක් කර ගත්තා මීට අවුරුදු ගානකට ඉස්සර ගමේ කඩේ රුප රාමු  .

තේ කොළ අවුන්ස බාගයක්  , සීනි රාත්තල් කාලක්. පොල් තෙල් කාලක්, පරිප්පු  රාත්තල් අරික්කාලක්.  මේ මිනිස්සු නිතරම කඩෙන් ගත්තු දේවල් වල කිරුම් මිනුම් පරිමාණ.

අපේ ගමේ කඩේ සල්ලි  ලාච්චුව  ළඟ තංගුස් නුලක් එල්ලලා  තිබ්බා  . ඇයි දන්නවද ? සබන් කපන්න.

' සල්ලයිට් බාගයක් දෙල්ල මාමේ"  කියාගෙන රූන් රූන් කියාගෙන  කඩේට ආපු කොල්ලන් හිටියා , ඒකත් පොතට .
මුදලාලිගේ ණය පොත අර බිග් ඩේටා එකතු කරන කාඩ් එක වගේ . එක එක ගෙවල් වලින් ගන්න බඩු වර්ග. ණයට අරන් පරක්කු කරන උන් ගැන විස්තර ඒකෙ තියෙනවා .  මුදලාලි නිකන් ඉන්න හැම වෙලේම කරන්නේ ඔය පොත අරන් එහෙට මෙහෙට පෙරළමින් කල්පනාවට වැටෙන එක .

ඒ කාලෙ සුන්දරයි කියා සිතන යාලුවන්ට කියන්න සුබාරංචියක් තියෙනවා. සමහර ආර්ථික ගුරුන් අනුමාන කරන විදිහට අපි ආපහු ඒ (ණය) යුගයට පිය මනිමින් ඉන්නවා.

2018 නොවැම්බර් 21 - දිනපොතේ අනාගතය 

කත්යානා අමරසිංහ කියන්නේ පුවත්පත් කලාවේදිනියක්. නවකතා හා පරිවර්තන පොත් කිහිපයකම කතුවරිය. මුලින්ම විදුසරෙන් පිටියට පිවිසි ඇය ලක්බිමේ මංජුසාව අතිරේකය  සංස්කරණය කරමින් සිටියා හරිම අපූරුවට.  2016 වසරේදී ඇයට ඕනෑ වුනා අලුත් විදිහේ විද්‍යා හා තාක්ෂණ තීරු ලිපියක් ලක්බිම මන්දාකිණියේ පළ කරන්න . ඒ සඳහා ඈ මට ආරාධනා කළා . "අයියේ අර 'අසඩක්ගේ දිනපොත ' වගේ දින සටහන් වුනත් හොඳයි ".
අසඩක්ගේ දිනපොත කියන්නේ 1993-94 විතර කාලේ විදුසරේ පළවෙච්ච තීරු ලිපියක්. රචකයා අසෝක ඩයස්.  ඒ දින සටහන් හරිම සරල සිත් ගන්නා ආකාරයෙන් අසෝක ලිව්වා. ( ඒ දින සටහන් එකතුව 95 වසරේදී පොතක් වශයෙන් පළවුනා)

මම සිලිකන් වැල්ල  නමින් සති හත අටක් ලියාගෙන ගියේ ක්ත්යානාගේ ඇරයුමෙන් බිහි වූ ඒ තීරු ලිපිය. ඒක අසඩක්ගේ දිනපොත වගේ මටසිලිටි එකක්නම්  නොවෙයි. තරමක් දිග හෑලි. මගේම විදිහ.  ලිපිය  වඩා හොඳින් ලියවා ගැනීමට ඇය ගත් වෙහෙස හරිම ප්‍රසංශනීයයි . පස්සේ කාලෙක සිලිකන් වැල්ල බ්ලොග් අඩවිය පටන් ගත්තේ මේ විදිහේ ලිපි දිගටම ලියන්න හිතාගෙන. 

ඉතින් ලබන සතියේ ඉඳන් මගේ දින සටහන් ටික සිලිකන් වැල්ල බ්ලොගයේ  ලියන්නට තීරණය කළා.  මීට වඩා කෙටි සරල රටාවකට .
තිලක සිතට පරණ පුරදු ඉස්ටයිල් එකේ  කතන්දර කියන්නට ඉඩ තබමින් .....

Photo by Dewni




Posted by තිලකසිත at 4:46 PM 18 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

My Blog List

  • ඉකොනොමැට්ටාගේ බොජුන්හල
    දළ නිල සංචිත - සැප්තැම්බර් 2026
  • අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya
    සාඩම්බර දසවන වසර සපුරන “ ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඬ” රූපණ ගැන ලියැවුනු සිළුමිණ සටහන
  • Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
    පොකුරු පොකුරු මතක පොකුරු - සිව්වෙනි කොටස
  • Chandima Gomes
    දියුණු වෙමින් පවතින රටක සංවර්ධන ප්‍රමුඛතාවය
  • Hot Chocolate Days
    පර්සි මා ඇහැරවයි
  • THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column
    310 කළු ජූලියේ අඳුරු මතක . . !
  • ලියනගේ අමරකීර්ති (Liyanage Amarakeerthi)
    ප්‍රබුද්ධ ජීවිතයක් වෙනුවෙන් චිත්තරූප සංචිතය ගොඩනැගීම හෙවත් සෞන්දර්ය අධ්‍යාපනය- ලියනගේ අමරකීර්ති
  • කාර් පිස්සුව
    ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි)
  • දේශකයා
    සරත් විමලසූරිය කොයි වගේද??
  • යාං හෑල්ල
    නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං
  • ඉවාන් පවුලූශා
  • අනිත් කොන - a doctor's heart sutra
  • 18 සන්නිය | 18 Sanniya
  • අටම්පහුර atampahura
  • කොළඹ ගමයා
  • විසිරි සිහින
  • මාතලන් | Maathalan
  • රසිකොලොජි - Rasikology
  • නිදහස් සිතුවිලි
  • පරිවර්තන....Parivarthana
  • හැලපයා helapaya
  • තරුරසී
  • කල්‍යාණ මිත්‍ර
  • අධ්‍යාපන රසකතා
  • අනිත් කොන - a doctor's heart sutra
  • බිත්තිය
Show 3 Show All

Blog Archive

  • ▼  2026 (17)
    • ▼  September (1)
      • බර්නාර්ඩ් සොයිසා සමඟ මෙල්බර්න් ‘මියුසියම්’ නැරඹුවෙමි
    • ►  August (3)
    • ►  July (4)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  March (2)
    • ►  February (2)
    • ►  January (1)
  • ►  2025 (5)
    • ►  November (2)
    • ►  October (2)
    • ►  September (1)
  • ►  2024 (15)
    • ►  December (5)
    • ►  November (4)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (1)
    • ►  January (2)
  • ►  2023 (13)
    • ►  December (3)
    • ►  November (4)
    • ►  October (2)
    • ►  August (1)
    • ►  May (3)
  • ►  2022 (4)
    • ►  December (3)
    • ►  October (1)
  • ►  2021 (4)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  June (1)
  • ►  2020 (34)
    • ►  September (2)
    • ►  August (4)
    • ►  July (4)
    • ►  June (4)
    • ►  May (5)
    • ►  April (8)
    • ►  March (3)
    • ►  February (2)
    • ►  January (2)
  • ►  2019 (7)
    • ►  December (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  July (1)
    • ►  February (2)
    • ►  January (1)
  • ►  2018 (10)
    • ►  December (2)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (3)
  • ►  2017 (10)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (1)
    • ►  April (3)
    • ►  February (2)
  • ►  2016 (24)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (4)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  April (2)
    • ►  March (1)
    • ►  February (1)
    • ►  January (3)
  • ►  2015 (22)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (3)
    • ►  September (1)
    • ►  August (3)
    • ►  July (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (2)
    • ►  March (2)
    • ►  February (2)
    • ►  January (2)
  • ►  2014 (30)
    • ►  November (2)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (3)
    • ►  July (2)
    • ►  June (3)
    • ►  May (2)
    • ►  April (3)
    • ►  March (3)
    • ►  February (3)
    • ►  January (3)
  • ►  2013 (34)
    • ►  December (4)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (4)
    • ►  August (4)
    • ►  July (5)
    • ►  June (4)
    • ►  May (7)

Istanbul Diary

  • Istanbul Diary (6)
  • නව කතාව (28)

Followers

Popular Posts

  • පේරාදෙණියේ මැදුරු කුළුණුවල සැඟවුණු චරිත කතා - හිල්ඩා ඔබේසේකර, රාමනාදන්, අක්බාර් ඇතුළු පිරිස -1
    Photo-Sunday Times පේ රාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි.  බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ 'කාඩ්' එකක...
  • සර් කියලා කියාපන්
    මී ට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිව...
  • වේවැල් කසාය හා සඳුදා අක්කා
    උ ගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම හුරු වී  සිටි හොඳ පුරුදු දෙකකි . මේ අතුරු කතාව ඊට සාක්කි කියනු ඇත. ***** දඬු...
  • කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ
    පා සැල් , සරසවි හා ගුරු විදුහල් කලා පුවරුවලින් ලියන්ට පටන් ගත්ත රචකයෝ රචිකාවෝ එමටයි. මේ වෙන වෙනම ගුරුකුල හදා ගන්ට හදනවා  නෙවෙයි. ඒත් මට ප...
  • අක්බාර් කැන්ටිම සිර අඩස්සියක් වූ දවස
    Akbar Hall- from AllTravels මා කලකට පෙර කියවූ එක්තරා විදෙස් කෙටි කතාවක සාරය මට මතක හැටියට මේ විදිහය . රටවල් දෙකක් අතර කලක් තිස්සේ පැ...
  • මගුල් ගෙදර
    ම ට බොහොම වැදගත් වූ මගුල් ගෙවල් දෙකක් තිබුණි. එකක් අපේ අයියාගේ මගුල් ගෙදරය. අප්‍රේල් මාසයක එකොලොස් වැනිදා අයියා මගුල් ගෙදර ගන්නා  බව මට ක...
  • අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස
    ඔ බට  ලෝකය වටා හතරපාරක් ගිහින් එන්නට කියා කවුරුහරි කීවොත් අනේ අම්මේ කොච්චර දුරක්ද කියා හිතේවි. ඒත් දන්නවද වැඩක් ? අපේ මොලයේ ඇති සියුම් ස...
  • එදාට එනවා නේද?
    උ ඹ නිවාඩුවේ එහෙ මෙහෙ ඇවිදිනවා විතරයි.මොනවා හරි බ්ලොග් එකටත් ලියලා දාපන්, නැත්නම් අර වතාවක් දුවට කියල ලියලා දැම්ම වගේ පොස්ට් එකක්වත් දාහන...
  • විසි අට වෙනි කොටස A - අටවිසි මහල පොත නිකුත් වෙයි
      (මේ පලවන්නේ අටවිසි මහල නවකතාවේ විසි අට Aවෙනි කොටසයි. මින් පෙර කොටස් සියල්ල මෙතනින්  .  මේ  කොටස කියවීමට පෙර කල් වේලා අරගෙන මුල් කොටස් ටික...
  • අපේ ගෙදර ආ මහගම සේකර
    ක ලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා  ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය ....

Labels

  • Istanbul Diary
  • නව කතාව

දින පොත

  • Home
  • Diary

Labels

  • Istanbul Diary
  • නව කතාව

ජීවන කතන්දර

  • Istanbul Diary
  • නව කතාව

චරිත කතා

  • Istanbul Diary
  • නව කතාව

කෙටි කතා

  • Istanbul Diary
  • නව කතාව

දින සටහන්

  • Istanbul Diary
  • නව කතාව
Picture Window theme. Powered by Blogger.