Monday, April 27, 2020

අටවිසිමහල 10 ( පළමු මහල )


කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ දහවෙනි කොටසයි මේ ( අප සිටින්නේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය)  මීට පෙර කොටස් මෙතැනින් .

ම්පැත්තෙන් පෙනෙන ලුනාව කලපුව දෙස බලාගෙන මනෝරන්ජන් කතා කළේය .
"පිරිමියෙක් ගෑනියෙකුට  ආකර්ෂණය වෙන එක , කොල්ලෙක් කෙල්ලෙකුට නැත්නම් කෙල්ලෙක් කොල්ලෙකුට  නොදැනීම ලං වෙන එක වරදක් නෙවෙයි අසේල. ඒකට වයස පරතරයක් නෑ. වෙන බේදයකුත් නෑ . අන්තිම සොබාවික දෙයක්  . ඒත් ඒ වැඩේ පාලනය කර ගන්න එක තම තමන්ගේ වුවමනාවෙ හැටියට තමයි. එච්චර කලබල වෙන්න දෙයක් නෑ . සමහරු ඔලුව ගල් වෙනකම් මේවා නිසා විඳවනවා . අසේල පොත් කියවලා නැති නිසා විරාගය ගැන දන්නේ නැතිව ඇති . මම ෆෝචුන් බුකියට ගිය දවසේ නෙතදරා ගාව තිබ්බේ කේ ජයතිලකගේ ' චරිත තුනක් " පොත . විරාගයේ අරවින්ද වගේම චරිත තුනක් එකේ ඉසාත් දෙන්නම  මොකක් හෝ නොගැලපිල්ලක් ගලපගන්න බැරිව වුවමනා වෙලාවට අඩියක් ඉස්සරහට තියන්න බැරිව සාගරයක් තරම් දුක් වින්ද දෙන්නෙක්. ඇයි මිනිස්සු ඔච්චර විඳවන්නේ ?. තමන් කැමති කෙනා මුඩුක්කුවක ඉඳල හම්බුනත් මාලිගාවක ඉඳල හම්බුනත් එයා දකිද්දී හිතට අමුත්තක් තේරෙනවනම්  , සතුටක් දැනෙනවනම් එතැන මොකක් හරි  සම්බන්ධයක් තියෙනවා. මේ හැමෝම කසාද බඳින්න ඕනි කියලවත් පෙම් සුව විඳින්න කොහේ හරි අරන් යන්න ඕනි කියල එකක්වත්  නෑ. විවෘතව  කතා කළා. දැනෙන දේ වින්දා .එච්චරයි"

ඉසා ගැනවත් , අරවින්ද ගැනවත් කියවලා නොතිබුනා වුනත් අසේලට තේරුනේ මනෝරන්ජන් කතා කරන්නේ ඇත්ත හංගාගෙන බවය . එහෙම නැත්නම් ඔහු කියන දේවල් ප්‍රායෝගිකව වෙන්නට බැරි දේවල් බවය .

"අනික බලන්න අසේල අපේ රටේනේ මේ කොල්ලෙක් කෙල්ලෙක් එකට හිටියොත් , ගමනක් බිමනක් ගියොත් , පොතක් බෙදාගෙන බැලුවොත්, දෙන්නට දෙන්නා  උදව් කර ගත්තොත් උන් දෙන්නා ආදරවන්තයෝ  කියල හිතන්නේ . අසේලත් පුළුවන් වෙච්ච දවසක රටෙන් එලියට බැහැල බලන්න . නැත්නම් අම්රිතාගෙන් අහන්න.  කිසි බයක් නැතිව ඕනි පිරිමි ගොඩක් එක්ක දවසක් ඉන්න හරි,   ඕනි ගමනක් යන්න හරි එන්නේ එයා උන් එක්ක ප්‍රේම සම්බන්ධතා තියෙන හින්දද ? නැත්නම් උන් එක්ක එකට නිදා ගන්න ඕනි  හින්දද? නෑ ! "

" මං  ෆෝචුන් රේස් බුකියට ගොඩ වෙලා බැලුවේ මමත් කාලයක් බුකියක බුක් කීපින් කරපු මතකෙට . මටත් හිතුනා නිකමට වගේ ඔට්ටුවක් දාලා බලන්න "
අසේල පුදුමයෙන් මෙන් ඔලුව උස්සා මනෝරන්ජන් දෙස බැලුවේය .    රහස් මතක ගබඩාවකට වැරදීමකින් අනෙකෙකුට  දොර හැර දෙන්න හැදුවා නේදැයි මනෝරන්ජන් බියට පත් වුනේය .
ඉන්පසු ඔහු  කතාව වෙනතකට යොමු කරන්නට වල්පල් දෙඩවුයේය . ඒවා මනෝරන්ජන් දැන් මොහොතකට කී  වදන් හා ගැලපුනේ නැති බවක් ඔහුට වැටහුනේය . .

" මම ඒ කෙල්ලට කැමතියි අසේල . ඒ කෙල්ලත් මට කැමතියි කියල දැනෙනවා . ඒකෙන් කියන්නේ නෑ අපි දෙන්නා කසාද බඳින්න ඕනි කියල. මට ඉස්සෙල්ලම ඕනි වුනා මේ වත්තේ ඉපදිච්ච කෙල්ලකට ' නෙතදරා' වගේ නමක් දැම්මේ කවුද කියල දැන ගන්න . ඊළඟට ඒ ළමයා අර වගේ පොතක් පතක් කියවන්න පුරුදු වෙලා තියෙන්නේ කොහෙන්ද කියල දැනගන්න  . නෙතදරා ඒ ලෙවල්  පාස් වෙලා හිටියේ. කැම්පස් යන්න ලකුණු මදි හින්දා බුකියේ වැඩ කළා. එයාගේ අම්මත්  කොන්වන්ට්  එකක ඉගෙන ගත්තු පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්ලු.  ඒ අම්මගේ ගෙදර තීන්ත ගාන්න  ගිය බාස්ගේ  ගෝලය තමයි පොකුටු නන්දේ. දෙන්නා යාලු වුනා .පැනලා ආවා . අම්මගේ  යාලුවෙක් තමයි නෙතදරා තෙලවල ඉස්කෝලෙන් අස් කරගෙන පානදුර සුමංගලේට දාලා උගන්නලා තියෙන්නේ . කෙල්ල හිතන විදිහ වෙනස් . මඩේ පිපුන නෙළුමක්"

එසේ කියා මහා හඬින් සිනාසුනු මනෝරන්ජන් නැගිට හුළං අතට මුවා වී සිගරට්ටුවක් දල්වා ගත්තේය .

අසේල කතාවේ අමුතු ඉසව්ව රස විඳිනා අතරේ මනසින් බූස්සේ කඳවුරු ජීවිතයට  ගියේය . මනෝ මහත්තයා කියන ගොඩක් පොත් ඔහු කියවා නැති වීම පිලිබඳ ශෝකයක් ඉපදිණි . එමනිසා  ඇති නැති ගානට තිබු ඔහුගේ ගර්යවයට යම්තමින් හෝ  හානි කළ බවක් ඔහුට දැනුණේය.

"  අපි ගොඩක් පොත් කියෙව්වා කඳවුරේ ඉද්දි. පොතක් හම්බුනේ කලාතුරකින් . එහෙම ලැබිච්ච  පොත එකෙක්  අරන් කියවනවා. වටේ ඉන්න සේරම අහගෙන ඉන්නවා. පත්තරයක් හම්බුනත් එහෙමයි. ඒකෙ පලවෙනි පිටුවේ තියෙන පත්තරේ නමේ ඉඳන් අග පිටුවේ පහළ කෙලවරේ තියෙන මෙය අහවල් අය විසින් අහවල් තැනදී මුද්‍රණය කරන ලදී ' කියන එකට එනකම් කියවනවා. ප්‍රවෘත්ති විස්තර, කෙටි කතා , චිත්‍රකතා විතරක් නෙවෙයි නම මාරු කරපු දැන්වීම්, මරණ දැන්වීම් උනත් ලස්සනයි . ඒ පත්තරේ තිබ්බ විස්තර  තරම් සමහර පොත් ලස්සන නෑ කියල මට හිතුනා මහත්තයා. ඒක හින්දා තමයි පස්සෙවත් මට පොත් කියවන ආසාවක් දැනුනේ නැත්තේ  "

මනෝ රන්ජන් යළි හඬ නගා සිනාසුනේය .

++++++++=

මනෝරන්ජන් දිනපොත ලියමින් සිටිනා හැන්දෑවේ , තරුණියන් තිදෙනාත් සමග ගාලු පාර දිගේ පානදුර දෙසට ඇදෙන රියේ සිටි අසේල වාහනය රාවතාවත්තෙන්  පිළියන්දල පාරට හැරෙව්වේ අම්රිතා නතර වී සිටින්නේ ඒ පාරේ බව දන්නා  නිසාය .
" නෑ අපි ඕගොල්ලන්ගේ ගෙදර ගිහින්ම එමු . නංගිලා ඇරලවලා එනකොට මාව ඇනෙක්සියෙන් දාන්න "
ඒ කතාවත් සමග අසේලගේ හිතේ සියුම්  කිති කැවීමක් ඇති වුනේය . මනෝරන්ජන් රථයෙන් බැස්සාට පසු අසේල බලා සිටියේ  අම්රිතා පැමිණ ඉදිරි අසුනින් වාඩි වන තුරුය.  ඒත් ඈ ඒ වෙනුවට අනුරාධා ඉදිරි අසුන වෙත එව්වාය "
" යන්න අනූ. අයියා ලඟින් වාඩි වෙලා යන්න ආසා ඇතිනේ " මේ වෙලාවේ රාධා තුළ තුනී ඉරිසියාවක් ඇති වූ නමුත් සිය සොයුරියගේ සතුටු මුහුණ දැක සැනසීමක් ලැබුවාය .  " අපි දෙන්නටම අයියෙක් තාත්තෙක් නැති සෑහෙන කාලයක් තිබ්බා . වැඩියි වැඩියි ඒ කාලේ හොඳටම දිග වැඩියි " එසේ සිතද්දී රාධාගේ දෙනෙත් තෙත්  වී දෙකොපුල් දිගේ කඳුළු පේළියක් බේරී ආවත්  ඇය එය වසන් කරන්නට උත්සහයක් නොගත්තාය '
 අම්රිතා මේ සියල්ල දෙස බලා සිටියාය . රාධා හඬන්නේ ඇයිදැයි ඇය තේරුම් ගත්තාය . ඇය ඉන් සතුටක් වින්දාය . සුපුරුදු විඳීම .ජීවිතයේ ශෝක රසය .

පානදුර පින්වන්තේ කුඩා පන්සලක් අසලින් ගොඩබිම පැත්තට හැරවූ රිය ගල් ගැලවුණු තාර පාර දිගේ ගැස්සෙමින් යද්දී අනුරාධා මෙසේ කීවාය "
"බලන්නකෝ අයියේ මම හිතාගෙන ගිටියේ අර අනුරාධපුරෙන් එහා ගම්වලට යන පාරවල්වලට  වඩා අපේ පාර හොඳ  ඇති කියලනේ. දැන් බැලුවම අපේ පැත්ත වන්නියටත් අන්තයි "

තිදෙනාම සිනා සුනෝය. ඒ අතරේ අසේල  අටේ පන්තියට එනතුරු ඉස්කෝලේ ආගිය  පාරේ කොට කලිසමක් ඇඳගෙන පයින්ම ඇවිද යමින් සිටියේය. ඔහු පසු පස සුදු ගවුම් හැඳගත් හයේ පන්තියේ සිටි එක වගේ කෙල්ලන් දෙන්නෙක්ද ගාට ගාටා ඇවිද එමින් සිටියෝය . දැම්මම ගෙදර  ගියාට එය ගෙදරක් වෙන්නේ කළුවර වී තාත්තා ආවාට පසුවය . මොනවා හෝ උයා තබා කතාවක් බහක් නැතිව අම්මා සුපුරුදු ප්ලාස්ටික් පුටුවට වී වාඩි වී මුළු හවස් වරුවම  සිටින්නීය .
තාත්තා එනවා යැයි පළමු ඉව වැටෙන්නේ ගෙදර සිටි පුසාටය . ඊළඟට  බුලාටය. ඌ වලිගය කැඩෙනතුරු කරකවමින්ගේ ගේට්ටුව දෙසට දුවයි. ගෙදර ඉදිරිපස පාරේ ටික දුරක් ගොස්  වත්තේ කෙලවරේ ගේට්ටුවෙන් කාරය ගෙමිදුලට ගන්නා විට පෙරමුණට විත් සිටින්නෝ පස් දෙනෙකි. පුසා, බල්ලා , අසේල හා නංගිලා දෙන්නාය. තාත්තා මේ හැමෝටම මොනවා හෝ දෙයක් රැගෙන එයි. මොටයි, සීනි බනිස්, නෙලකඩල, සව් බොරවා, 
' සව් බොරවා පාර්සලය අසේලට දෙන තාත්තා, "සේරමල්ලා බෙදාගෙන කාපල්ලා" කියා  කීවත් එලෙස  ගෙනා කිසි දෙයක් අම්මානම් කෑවේ  නැති බව අසේලට මතක් වුනේය. ඒත් අම්මා එසේ කළේ  ඇයි කියා දැන් අසේල දනී.
ගෙදර මිදුලට රිය  හරවන විටම මිදුල පිළිවෙලක් වී අලුතින් මල් පෝච්චි තබා තිබෙනවා අසේල  දුටුවේය. මින් මාස කීපයකට කලින් ඔහු මෙහි ආවේ අවුරුදු දොළහකට  පසුවය.  ඒ අවුරුදු දොළහටම  ගෙදර හෝ වටාපිටාව මොනම වෙනසක්වත්  ලබා නොතිබුණද දැන් මේ ළඟක සිට  එය වෙනස් වී තිබේ. ගෙදර සියලු දෙනාගේ මනසේ පැල් බැඳගෙන තිබු පාලු හුදෙකළාව තමන්ගේ පෙරළා පැමිණීම නිසා මැකී ගොස් ඇති බව ඔහුට වැටහුනේය .

අම්රිතා හැමෝටම පෙර ආඩම්බරෙන් රියෙන් බැස එද්දී පානදුර අම්මා පැමිණ ඈ වැළඳ ගත්තාය .

ජීවිතයේ කිසිදා නොදුටු ප්‍රබෝධයකින් පානදුරේ අම්මා කෑම පිළියෙළ කර  දුන්නාය. අලුත් බල මාළු ලොකුවට කපා මිරිසට උයා රතු හාලේ බතකුත් සම්බලයක් හා එළවළුවක් පමණක් වූ ඒ ආහාරය ඉතාමත් ප්‍රනීත එකක් විය .
හතරවටින්  කරුවල වැටී තිබුනේය.  පිටත්වන්නට සැරසෙන අසේල අතින් ඇදගෙන " එන්න අයියේ බඩ්ඩක් කියන්න තියෙනවා ' කියමින්  පසෙකට කැඳවා ගිය රාධා මෙසේ කිව්වාය.
" අයියේ මම දවල් දැක්කේ නෑ වගේ හිටියට මම බලා හිටියා ඔයාලගේ මනෝ මහත්තයා කවුරු හම්බ වෙන්නද අඹේපුස්සේදී තදියමේ  බැස්සේ කියල "

අසේලගේ ඇස් ඉහළ ගියේය.

" ඔයා කොහොමද  නංගී එයා  ගැන දන්නේ ? "

" මම මොකද නොදන්නේ එයා අපේ පන්තියෙනේ හිටියේ .  එයා දක්ෂයි. ලස්සනයි. ඒත් අයියේ එයා එච්චර හොඳ  ළමයෙක්නම්  නෙවෙයි " කී ඇය සිය සොයුරිය හා අම්රිතා අසලට දිව ගියාය.

අසේල සිටි තැනම ගල් වී බලා සිටියේය

මීළඟ කොටස

Photo Source-Bigstock
"






10 comments:

  1. වැඩබිමක කොච්චර හැංගිච්චි කතා තියෙන්න පුළුවන්ද නේද? 

    ReplyDelete
    Replies
    1. කතා දහස් ගණනකින් ටිකයි ලියන්න පුළුවන්

      Delete
  2. අටවිසිමහල හා බැදුණු ගොඩක් කතා තව තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවායින් ගැලපෙන ඒවා ටිකක් අටවිසි මහලට ගන්නවා

      Delete
  3. [මේ හැමෝම කසාද බඳින්න ඕනි කියලවත් පෙම් සුව විඳින්න කොහේ හරි අරන් යන්න ඕනි කියල එකක්වත් නෑ. විවෘතව කතා කළා. දැනෙන දේ වින්දා .එච්චරයි"] මේ ටික තේරෙන්න සෑහෙන ජිවිතාවබෝධයක් ඕනේ..

    දැනෙන දේ විඳලා සැනසිලා ඉන්න හැකිවෙන එක හරිම විරල දෙයක් ..

    ReplyDelete
    Replies
    1. අපි බලමු මනෝ ඉස්සරහට මොන විදිහට මේ ප්‍රතිපත්ති රකියිද කියල

      Delete
  4. එක කොටසක් මිස් වෙලානෙ, නෙතදරා වගේම ඒකත් අහම්බෙන් හොයාගත්තෙ.150ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉදිරි පෙළ කට්ටිය නැතිව පාලුවෙන් හිටියේ . බොහොම ස්තුතියි ඉවාන්

      Delete
  5. //ඒ අතරේ අසේල අටේ පන්තියට එනතුරු ඉස්කෝලේ ආගිය පාරේ කොට කලිසමක් ඇඳගෙන පයින්ම ඇවිද යමින් සිටියේය. ඔහු පසු පස සුදු ගවුම් හැඳගත් හයේ පන්තියේ සිටි එක වගේ කෙල්ලන් දෙන්නෙක්ද ගාට ගාටා ඇවිද එමින් සිටියෝය . // මට එකපාරටම කොනෙක්ෂන් එක ආවේ නැහැ. ලස්සන් කතාව මචන්. කියවගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්. මේ අසේලගේ නිවුන් සොයුරියෝ දෙන්නා

      Delete