Sunday, November 29, 2026

ලෝකයේ අංක එකට ආ දෝහා ගුවන්තොටුපොළ සමඟ මතක සැරිසර

 

සමහර ගුවන්තොටුපොළ අපට හමු වන්නේ ගමනක් අතරතුර පමණි. තවත් සමහර ගුවන්තොටුපොළ අපේ ජීවිත කතාවේ කොටසක් බවට පත් වෙයි. කටාර් රාජ්‍යයේ දෝහා ගුවන්තොටුපොළ මට

එවැන්නකි. කටුනායකට පසු මා වැඩිපුරම පය තබා ඇති ගුවන්තොටුපොළ දෝහා විය හැකිය. එහෙත් එහි ඇති විශේෂත්වය එපමණක් නොවේ. එකම නගරයක ගුවන්තොටුපොළ දෙකක යුග දෙකක් දැකගන්නත්, ඒ අතර සිදු වූ දැවැන්ත පරිවර්තනයක මතක සමඟ ජීවත් වන්නත් මට අවස්ථාව ලැබිණි.

2008 සහ 2009 වසරවල මා සේවය කළේ අන්තර්ජාතික ඉංජිනේරු උපදේශක සමාගමක් වූ AECOM ආයතනයේ දෝහා කාර්යාලයේය. ඒ මා කටාර් රාජ්‍යය සමඟ හුරුපුරුදු වූ මුල් කාලයයි. එවකට මා නිතර භාවිත කළේ පැරණි දෝහා අන්තර්ජාතික ගුවන්තොටුපොළයි (DIA). අපේ ප්‍රධාන කාර්යාලය පිහිටි නජ්මා ප්‍රදේශයට නුදුරින් පිහිටි එය, අද අප දකින හමාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සමඟ සැසඳිය නොහැකි තරම් කුඩා වුවද, ඉතා කාර්යක්ෂම ගුවන්තොටුපොළක් විය. දෝහා නගරයේ ‘Old Airport’ නමින් හැඳින්වෙන ප්‍රදේශයක්ද තිබිණි. මා දැන සිටි ගුවන්තොටුපොළට තරමක් ඔබ්බෙන් පිහිටි ඒ ප්‍රදේශයට එවැනි නමක් ලැබුණේ කෙසේදැයි මට කුතූහලයක් තිබිණි. එය 20 වැනි සියවසේ මැද භාගයේ සිට කටාර් රාජ්‍යයේ ගුවන් සේවා ඉතිහාසය සමඟ බැඳුණු නාමයක් බව පසුව මම දැනගතිමි.

එදා කටාර් රාජ්‍යය හා එහි ගුවන්තොටුපොළ අද තරම් අන්තර්ජාතික අවධානය දිනාගෙන නොතිබුණද, ඒක පුද්ගල ආදායම අතින් එරට ලෝකයේ ඉහළම රටවල් අතර සිටියේය. මහපටඇඟිල්ලක් මෙන් පර්සියානු බොක්කට දිගු වූ කුඩා අර්ධද්වීපයක් වූ එරට, මැද පෙරදිග කාන්තාරයේ වියළි බව අබිබවා නව ආකර්ෂණයක් ගොඩනඟමින් සිටියේය. ඒ වන විටත් Qatar Airways ගුවන් සේවාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවති අතර, පැරණි ගුවන්තොටුපොළ මේ වෙනස්කම් සමඟ ඉල්ලුමට සරිලන සේවාවක් සැපයීමට පොරබදමින් සිටියේය. වසරකට මගීන් මිලියන 12ක පමණ ධාරිතාවකට සීමා වී තිබූ එම ගුවන්තොටුපොළේ පෝලිම් දිගු වූ අතර, රැඳී සිටීමේ ශාලා පිරී ගියේය. එහෙත් අලුත් රටක රැකියාවක් සඳහා පැමිණි මට මුල් කාලයේදී ඒ කිසිවක් විශාල ගැටලුවක් නොවූයේ, එය මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වූ තැනක් වූ බැවිනි.

වරක් දින තුනක කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණීමට මම සැලසුම් කළෙමි. නිවාඩුව කෙටි නිසා පැයක්වත් අපතේ යැවිය නොහැකිය. උදෑසන ගුවන්යානයකට ප්‍රවේශ පත්‍රයක් වෙන් කරගෙන නියමිත වේලාවට ගුවන්තොටුපළට ගියද, එහිදී අසන්න ලැබුණේ ගුවන්යානයේ ආසන සියල්ල පිරී ඇති බවයි. ගුවන් සමාගම ආසන ගණනටත් වඩා වැඩියෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කර තිබිණි. ගුවන් සේවා කර්මාන්තයේ මෙය හඳුන්වන්නේ ‘Overbooking’ යනුවෙනි.

පසුදා උදෑසන ගුවන්යානයෙන් යා හැකි බවත්, ඒ වෙනුවෙන් කටාර් රියාල් නවසියයක වන්දියක් ගෙවිය හැකි බවත් නිලධාරීහු දැනුම් දුන්හ. අනෙක් මගීන් වන්දි මුදල භාර ගෙන පිටත්ව ගියද, මට තිබුණේ දින තුනක නිවාඩුවකි. ඉන් එක් දවසක් දෝහාවේ ගත කිරීමේ තේරුමක් නොතිබිණි. ගුවන් සේවා නිලධාරීන් සමඟ දිගටම සාකච්ඡා කිරීමෙන් පසු, එදිනම මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට යා හැකි විකල්ප ගුවන් ගමනක් සොයාගැනීමට මට හැකි විය. ඒ මුදල සැලකිය යුතු මුදලක් වුවත්, එදා මට දවසක නිවාඩුව ඊට වඩා කිහිප ගුණයක් වටිනා විය. නාගරික තද බදයෙන් වට වී තිබූ පැරණි ගුවන්තොටුපොළ තවදුරටත් පුළුල් කළ නොහැකි බව තේරුම් ගත් කටාර් බලධාරීහු, 2004 වසරේදී ‘නව දෝහා අන්තර්ජාතික ගුවන්තොටුපොළ’ (NDIA) නමින් දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කළහ. 2012 වසරේ සිට 2016 අවසානය දක්වා මා සේවය කළේ ඉංජිනේරු උපදේශක සමාගමක් වූ Parsons International ආයතනයේය. ඇමෙරිකානු අධිවේගි මාර්ග ව්‍යාපෘතියක මා සේවය කරන අතරතුර, අපගේ ආයතනය ද නව ගුවන්තොටුපොළ ව්‍යාපෘතියේ ඇතැම් කටයුතු සඳහා සම්බන්ධ වී තිබිණි. ඒ නිසාම ව්‍යාපෘතියේ ප්‍රගතිය, ඉංජිනේරු අභියෝග සහ ඉදිකිරීම් කාලසටහන් පිළිබඳ සගයන්ගෙන් සමීපව තොරතුරු දැනගැනීමට මට අවස්ථාව ලැබිණි. එහි කලක් සේවය කර අපේ ව්‍යාපෘතියට පැමිණි ප්‍රමාණ සමීක්ෂකයෙක් මගේ හොඳම මිතුරකු බවටද පත් විය.


මා වඩාත් විස්මයට පත් කළේ එහි ඉදිකිරීම් සැලසුමයි. නගරය ආසන්නයේ ඉඩකඩ සීමිත වූ බැවින්, හෙක්ටයාර 2,200ක (වර්ග කි.මී. 22ක) පමණ වූ මෙම ගුවන්තොටුපොළ භූමියෙන් අඩකටත් වඩා නිර්මාණය කරනු ලැබුවේ පර්සියානු බොක්ක ගොඩ කරමිනි. ගොඩ කළ කලාපය පමණක් අපේ පොර්ට් සිටියට වඩා පස් ගුණයකට ආසන්න වෙයි. මුහුදු පතුලෙන් වැලි හා පස් පොම්ප කරමින් සාගරයෙන් ගොඩ කරගත් භූමියක, දැවැන්ත Airbus A380 ගුවන්යානා පවා ගොඩබැස්සිය හැකි අතිශය දිගු ධාවන පථ දෙකක්, පර්යන්ත ගොඩනැඟිලි, මගී ප්‍රවාහන පද්ධති සහ ආරක්ෂක පහසුකම් ඉදි කිරීම සුළුපටු ඉංජිනේරු අභියෝගයක් නොවීය. එමෙන්ම, කාර්යබහුල අන්තර්ජාතික ගුවන් ගමන් මධ්‍යස්ථානයක සියලු මෙහෙයුම් වෙනත් ස්ථානයකට මාරු කිරීමද අතිශය සංකීර්ණ කළමනාකරණ ක්‍රියාවලියකි.

2014 අප්‍රේල් 30 වැනිදා නව ගුවන්තොටුපොළේ මෙහෙයුම් ආරම්භ වූ අතර (එය ගුවන් සේවා කිහිපයක් සහිත කෙටි ‘soft opening’ එකකි), මැයි 27 වැනිදා Qatar Airways ඇතුළු සියලු වාණිජ ගුවන් සේවා නව පර්යන්තයට මාරු කෙරිණි. දශක ගණනාවක් කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගුවන් දොරටුව වූ පැරණි ගුවන්තොටුපොළේ යුගයක් එසේ නිමාවට පත් විය. හිටපු එමීර්වරයාට ගෞරවයක් ලෙස ‘හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ’(HIA) ලෙස නම් කෙරුණු එම පර්යන්තයට මුල්වරට ඇතුළු වූ අවස්ථාව මට තවමත් මතකය. ඉහළට විහිදුණු සිවිලිම්, ස්වාභාවික ආලෝකය, පුළුල් ශාලා සහ පර්සියානු බොක්කේ මුහුදු රළ සිහිපත් කරන රැළි හැඩැති වහලය එහි මුල්ම ආකර්ෂණය විය. එහි ඇවිදින විට දැනුණේ ගුවන්තොටුපොළක නොව සන්සුන් කුඩා නගරයක ඇවිදිනවා වැනි හැඟීමකි.

ශ්‍රී ලාංකිකයකු ලෙස කටුනායකින් ඇරඹුණු මගේ බොහෝ අන්තර්ජාතික ගමන්වලදී දෝහා ගුවන්තොටුපොළ නැවත නැවතත් මට හමු විය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර පැරණි ගුවන්තොටුපොළ තාවකාලිකව නැවත විවෘත කෙරුණු අතර, හමාද් ගුවන්තොටුපොළ 2021, 2022 සහ 2024 වසරවලදී ‘Skytrax’ සම්මාන උලෙළේදී ලෝකයේ හොඳම ගුවන්තොටුපොළ ලෙස කිරුළු පැලඳීය. 2025 දීත් එය ලෝකයේ හොඳම ගුවන්තොටුපොළ අතරට නම් විය. 2025 මාර්තුවේ D සහ E පර්යන්ත විවෘත කිරීමත් සමඟ එහි වාර්ෂික ධාරිතාව මගීන් මිලියන 65කට වඩා වැඩි විය. දැනට එය මිලියන 70ක ධාරිතාවක් ඉලක්ක කරගනිමින් තවදුරටත් පුළුල් වෙමින් පවතී. එදා ආසනයක් නැතිව අතරමං වූ පැරණි දෝහා ගුවන්තොටුපොළේ සිට, අද කිසිවකු මේ මොහොතේ සිටිනුයේ කාන්තාරයක් මැද බව අමතක කරවන හරිත උද්‍යාන, කලා නිර්මාණ සහ කෘත්‍රිම බුද්ධියෙන් (AI) මෙහෙයවන ස්මාර්ට් තාක්ෂණයන්ගෙන් සමන්විත හමාද් ගුවන්තොටුපොළ දක්වා සිදු වූ පරිවර්තනය විස්මිතය. මෙවැනි ගුවන්තොටුපොළක ඩිජිටල් හා AI තාක්ෂණය බලය පතුරවන්නේ කෙසේද යන්න ඉදිරියේදී කතා කරමු.

(Silumina Thilakasitha 22 Nov 2026)

No comments:

Post a Comment