Sunday, August 25, 2013

ජේෂ්ට උත්තමයා


නවක  වදය ගැන විවිද ආරංචි හා විවිද අදහස් උදහස් දකින්නට අසන්නට ලැබුනත් මේ කියන දේ සිදු  උනේද කලකට පෙර නවක වද සමයකදීය. 
අක්බාර් ශාලාවේ දිග කොරිඩෝරය මතින් එහා මෙහා යන්නන්ගේ  කතා බස් දෙපස කාමරවල සිටි වුන්ට හොඳින් ඇසෙයි . දෙටු සිසුන්  නවකයන්ගෙන් විස්තර අහන්නේද  මේ කොරිඩෝරයේදීය. 
එවන් එක දෙබසක් මෙසේ විය. 
ඒයි උඹ කව්ද ?
ජේෂ්ට උත්තමය මම පුංචා
මොන කාමරේද ඉන්නේ?
29 කාමරේ 
ගම ?
බදුල්ලේ 
බදුල්ලේ කොහෙද ?
ගඟ පාරේ 
තාත්තා මොනවද කරන්නේ?
ළමයින්ට අන්ඩර දෙනවා (උගන්වනවා)

තව මොන මොනවදෝ ඇසේ .අඩි  පොලවේ හප්පන ජේෂ්ට උත්තමයා බොරු තර්ජනයක් දමා නවකයා  පන්නා ගනී 
මේ කතා බහ කන වැකුණු අය  අතර අසල කාමරයක සිටි  පැන්ටියා උත්තමයාද විය .

එදා රෑ බෝ වී අක්බාර් නෙල් එකේ 35 කාමරයේ සිටින ජේෂ්ට උත්තමයා  පුංචාට  එන්න කියා පණිවිඩයක් ඒවා ඇත . ඔහු පණිවිඩ කරු වූ තවත් නවකයෙකුට  කියා ඇත්තේ මෙසේය. 
'බදුල්ලෙන් ආපු  පුංචා කියල එකෙක් ඇති උගේ තාත්තා ගුරුවරයෙක් . මම හොඳට අඳුනනවා  ගඟ පාරේ ගෙවල් තියෙනේ. අන්න ඌට එන්න කියාපන්  
මේ පණිවිඩය අසා  පුංචා සතුටින් ඉපිලී ගියේ, අඳුනන ජෙෂ්ට උත්තමයකු සිටීම විශාල ආඩම්බරයක් වූ නිසාය. පණිවිඩයේ හැටියට ඔහු පවුලේ සමීප හිතවතෙක් විය යුතුය.  
මනා සේ සරසාගත් මුහුනින් යුතුව  පුංචා නෙල් ශාලාවේ 35 කාමරයට යයි  . දොරට තට්ටු කරයි . දැන් දැන් පැමිණ තම හිතවත් ජෙෂ්ටයා තමන් පිළිගන්නා  හැටි ගැන සිහින මවයි. 
දොර ඇරිණි.
‘ආ උඹ කාවද හොයන්නේ. කෝකටත් ආව එක හොඳයි. මට මේ පණිවිඩයක් ඇර ගන්න කවුරු හරි එනකන් බලා හිටියේ. ඉක්මනට ගිහිල්ල  29 කාමරේ ඉන්නවා බදුල්ලෙන් ආපු  පුංචා කියල එකෙක් මිනිහගේ ගෙවල් තියෙන්නේ  ගඟ පාරේ.  තාත්ත උගන්වනවා . අනේ හොඳ එකා වගේ ගිහින් ඌ  එක්කරගෙන වරෙන්.. ජෙෂ්ටයා  එක දිගට කියවයි 

දෙටු  හිතවතා හමුවේ සිය අනන්‍යතාවය පෙන්නීමට බලාසිටි  පුංචා මුවේ මදහසක් නංවාගෙන යමක් කියන්නට උත්සහ ගනියි. 'ජෙෂ්ට උත්තමය මන් ..

ඔහුට කියන්න ලැබෙන්නේ එපමණකි 
'උඹට මෙච්චර හොඳින් කියලත් උඹ තව තව ඒවා කියන්න එනවා. කට වහගෙන ගිහින්  පුංචාව එක්කරගෙන වරෙන් ' 
පුංචා ආයෙමත් කට අරින්නට උත්සහ කරයි  . 
'කට අරින්න එපා. නිදහසට කාරනා එපා. ගිහින් ඌව එක්කරගන වරෙන් '

දෙටු උතුමාගෙන් ගිගිරුමෙන්  පුංචා විසි වී යයි. කොරිඩෝව දිගේ මද වෙලාවක් එකෙල මෙකෙල වෙමින් සිටි  පුංචා නැවතත් සෙමින් සෙමින් 35 කාමරය බලා පිය නගයි. දොරට සන් කරයි.

' ජේෂ්ට උත්තමයා මන් කියන එක අහන්නකො. මම තමයි .....................

දෙටු උතුමා කේන්තියෙන් වියරු වැටෙයි. කට වහ ගන්නා ලෙස  පුංචාට දැඩි ලෙස තර්ජනය කරයි.

"උඹ බොරු කතාවක් හදාගෙන ආවද ආයෙමත්. මම දැක්ක ගමන් හිතුව උඹ ලෝක කපටියෙක් කියල. වහාම පලයන්. තව විනාඩි පහළොවක් ඇතුලත  පුංචා එක්කරගෙන නාවොත් මම  නරක මිනිහා කියන්න එපා. උඹට වෙන දේ එතකොට දැන ගන්න පුළුවන් '

අනේ දුප්පත්  පුංචා !. දැන් මොකද කරන්නේ. ඔහු  රෝගියකු මෙන්  බිත්ති අල්ල අල්ලා   ආපසු කාමරයට යයි.

අඳුනන ජේෂ්ට උත්තමයා හමු වී සතුටින් ආ යුතු  පුංචා මෙතරම් විස්සෝපයෙන් හා කනස්සලෙන් පසුවන්නේ මන්ද ?. ඔහු පෙළන පීඩනය කුමක්ද? සගයෝ විමසති. 
මංජුල  සිදු වූ  ඇබැද්දිය සිය සගයන්ට කියයි.දැන් විනාඩි පහළොව ගෙවෙන්නට  ළඟය . සගයන් අතර සිටි දැන මුත්තෙකුගේ උපදෙස්  පුංචාට ලැබෙයි. ඔහු නැවතත් 35 කාමරය බලා යයි .

දොරෙන් පිට සිටම මහා හඬින් කතා කරයි. " ජේෂ්ට උත්තමය මම ආව .මම තමය  පුංචා. බදුල්ලෙ ගඟ පාරේ ඉන්න ඉස්කෝලේ මහත්තයාගේ පුතා".

සෙමින් දොර හැරේයි.

ජේෂ්ට උත්තමයා  මදහසක් පායි . 'ආ උඹද  පුංචා ? . අනේ බන් උඹව හොයාගෙන එන්න කියල මම දැන් එකෙක්ව පිටත් කලා . ඌ  දෙතුන් පාරක් මෙතෙන්ට ඇවිත් වාත වුනා . හොඳ එකා  වගේ ගිහින් මිනිහවත්  එක්කරගෙන දෙන්නාත් එක්කම වරෙල්ලා ' කියා දොර වසා දැම්මේය.


මෙය මොන විදිහේ නවක වදයක්දැය් කාටවත් තෝරා  ගන්නට බැරි විය.  

Saturday, August 17, 2013

වට්ටක්කා



පහුගිය සතියේ බ්ලොග් සටහනක් ලියන්න බැරි වුනේ මහගෙදර එකතු වූ පවුලේ සාමාජිකයන් සමග ගත කළ නිසාය.
අම්මා තාත්තා පමණක් නොව ඩක්කා බබා, බලිතියන්නී, කිත්තා, වට්ටක්කා හා දිලුකාපානි යන මගේ පණ වන් සොයුරු සොයුරියන් පරණ කතා අවුස්සමින් සති අන්තය රසින් පිරෙව්වෝය.

අපේ එක අක්කා කෙනෙකුගේ අන්වර්ථ නාමය උනේ වට්ටක්කාය. අක්කා කෙනෙකුට වට්ටක්කා කීම හරිම හුරතල් කතාවක් වුවද ඒ නම කියා අඬ  ගැසූ දවසක අපේ අක්කා මට ටොක්කක් ඇන්නාය , ඊළඟට මම අම්මා ලඟට දිව ගියේ 'වට්ටක්කි මට ගැහුවා' කියාගෙන ආන්ගිරි ගාමිණි. අම්මාට මේ කන්කරච්චල් ගැන වද  වීමට වෙලාවක් තිබුනේ නැත. ඇය ඒ වන විට රාත්‍රී  ආහාර පිළියෙළ කරමින් සිටියාය. ඉදෙමින් තිබු වට්ටක්කා හැලිය දුටු මට ටොකු පාර අමතකව හිතට මහා නොරිස්සුම් ගතියක් ආවේය. මම ආපසු අක්කා ලඟට ගියේ බලන්නකෝ අක්කේ අදත් වට්ටක්ක උයනවා. අක්කා ඒ කතාව ඇයට කළ  කවටකමක් ලෙස නොසැලකු මුත් අැයත් මුහුණ නොරොක් කර ගත්තේ ඒ දවස්වල නිතර දෙවේලේ කෑමට එක් වන වට්ටක්කා කෙරෙහි උපන් නොකැමැත්ත නිසාය. අපේ කුඹුරේ වැඩිපුර තිබෙන එළවලුව කාලයෙන් කාලයට අපේ ගෙදර තුන් වේලටම ඉදෙයි. කාලයක් වට්ටක්කා . කාලයක් බෝන්චි , කාලයක් ගෝවා නැත්නම් වම්බටු.
           
ඒ වනවිට මම ගණන් බලා තිබු හැටියට අපේ ගෙදර පොඩි සාලයේ වට්ටක්කා ගෙඩි හැත්තෑ ගණනක් ගොඩගසා තිබුණි. අපට තිබු කුඹුරේ නම දබර කිතුලය. දබර කිතුලේ හෙල්මළු ලියදි දිගේ බොහෝ විට රනිල බෝගයක් වන  බෝංචි වග කෙරුණු අතර නියරි අයිනට වෙන්නට අඩි  දහයෙන් දහයට පමණ වට්ටක්කා මණ්ඩි පැල කර තිබුණි.

බෝංචි පල නෙලා ඉවර වූ කුඹුරේ මීළඟට අණසක පතුරවන්නේ වට්ටක්කා වැල්ය . රනිල බෝගයෙන් පොළවට එකතු වූ වැඩිපුර නය්ට්‍රජෙන් පොහොර නිසා වට්ටක්කා වැල සරුවට වැවෙයි.
වට්ටක්කා දළු හීනියට ලියාගෙන පොල් සමග මුසු කර  දෙන වට්ටක්ක කොළ මැල්ලුම තරම් රස මැල්ලුමක් මට තරු පහේ හොටලයකදීවත් හමු වුනේ නැත. කුඩා වට්ටක්කා ගැට අපේ අම්ම හඳුන්වන්නේ 'බොරු ගැට; කියලාය. බොරු ගැට හතරට පහට කපා වැඩිපුර අබ දමා තෙලෙන් බැද ගත් විට වට්ටක්කා පිලිබඳ අකමැත්ත හැමෝගෙන්ම ගිලිහී යයි. ඊළඟට හැදෙන මෝරාපු වට්ටක්කා ගෙඩිය අලුත් පිට හඳුන්වන්නේ පිටි වට්ටක්කා කියලාය. තැම්බූ වට්ටක්ක පොල් සහ රතුළුණු සමග උදේ අහාරයට වරින් වර ගන්නා අතර පිටි වට්ටක්කා වෑ න්ජනය ඉතා රසට උයන්නට අපේ අම්මා දැන හිටියාය.  එත් ඒ දවස්වල අපට එපා වී තිබුනේ ' පැණි වට්ටක්කා ඇඹුලයි. 

මේරු වට්ටක්ක ගෙඩි තෙතමනය නැති තැනක මාස හත අටක් වුවත් කල් තබා ගන්නට පුළුවන් අතර ඒවා හැඳින්වුයේ පැණි වට්ටක්ක කියලාය. ගොරකා හෝ සියඹලා සමග බැදපු තුනපහ දමා සාදන පැණි වට්ටක්කා ඇඹුල දැන් නම් මගේ ප්‍රියතම ආහාරයකි.

උදේට අපේ ගෙදර සියළු දෙනාම ඉස්කෝලේ ගිය ගුරු පවුලක් වූ මුත් හවස සියලු දෙනාම කුඹුරේ සිටි ගොවි පවුලක් විය. අපේ කුඹුරේ හැදුනු වට්ටක්ක ගෙඩි කෙතරම් විශාල වූවාද කියතොත් අම්මා කිව්වේ කවුරුත් දැක්කොත් ඇස්වහ කට වහ වදිනු ඇත කියලාය. ඒ නිසා අපි හවස කුඹුරේ සිට වට්ටක්කා ගෙඩි ගෙනාවේ පරණ සරොම්, ජර්සි හා ගවුම් වල ඔතා කරේ තබා ගෙනය.

ඒවා ගෙදර තබා ගන්නට තරම් මෝරා තිබුනොත් හොඳ මිලක් ලැබෙන තුරු පොඩි සාලයේ බිම දිගේ ඉන්දවා තැබුවෙමු. කල් තබා ගන්නට බැරි යයි සිතෙන ඒවා විකුණා දැමුවෙමු. ඒ අතර හැම කැම වේලකටම වට්ටක්ක මාලුවද එකතු වුනේය.

දවසක් විශාල පිටි වට්ටක්කා  ගෙඩියක් විකුණන්නට තාත්තා තීරණය කළේය. තාත්තා සාමාන්‍යයෙන් කරන්නේ ඉස්කෝලේ ඇරලා එන ගමන් හමු වන මය්කල්ලා කඩේට පණිවිඩයක් දෙන එකය. මයිකල්  කවුරුන් හෝ ඒවා විකුනන්නට තියෙන දේ රැගෙන යයි. එදා කඩෙන් එවන්නට කවුරුත් සිටියේ නැත. මම මේ කාරියට අති මහත්  උනන්දුවෙන් ඉදිරිපත් වුනෙමි.ගේ ලඟින් යන  හවස හතරේ බස් එකේ වට්ටක්කා ගෙඩිය පටවා  ගෙන මය්කල්ලා කඩේ ලඟින් බා ගත්තේ කාගේ කාගේත් උදවුවෙනි.

කිලෝ හත අටක් වූ වට්ටක්කා ගෙඩිය බදා ගෙන කඩයට ගෙන ගියෙමි. මය්කල් වට්ටක්කා ගෙඩිය කිරුවේය. ඉන් පසු සල්ලි ගැන්නේ ය . නැවත වට්ටක්ක ගෙඩිය දෙස බැලුවේය. 
තට්ටුවක් දැමුවේය. පිහියක් ගත්තේය. සිදුරු කළේය. වට්ටක්කා ගෙඩිය ඇල  කර බැලුවේය. සිදුරු කළ  තැනින් හීනියට ඉස්මක් ගලාගෙන ආ නිසා අනේ ළමයෝ  මේක නරක වෙන්න ඇවිල්ලනේ කියා සල්ලි ටික ආපසු ලාච්චුවේ දමා ගත්තේය. දැන් මොනවා කරන්නද ?ආපසු යන්නට බස් එකත් නැත. හැතැප්ම එක හමාරක් වට්ටක්ක ගෙඩියත් කරේ තබා ගෙන මම ගෙදර ගියෙමි. 

මම යනවිට තාත්තා මිදුලේ පිච්ච වැල ළඟ බංකුවක්  තියා ගෙන පත්තරය බලමින් සිටියේය. 
වට්ටක්කා ගෙඩිය කරින් ගෙන දාඩිය පෙරාගෙන එන මා දැක මොකද මොකද මේ කියා ඇසුවේය. 

වට්ටක්ක ගෙඩිය නරක් වෙලා .
එහෙනම් මොකටද මනුස්සයෝ විසි කරලා එන්  නැතිව මෙච්චර දුර උස්සාගෙන ආවේ කියා වට්ටක්ක ගෙඩිය ගේ ළඟ අකුළට පෙරලා  දැම්මේ හිනාව සඟවා ගත් බොරු කේන්තියක් පෙන්වමිනි.

Saturday, August 3, 2013

දේවතා එළිය

අපේ ගෙදරින් එලියට බහිද්දීම හමු වන කුඩා තාර පාරේ රේසර් රෝද හතරක් සවි කළ  ඩක්කු කරත්තය තබා වාඩි වූ විට එය  කෙලින්ම ගොස් නතර වන්නේ ආච්චිලා ගෙදර මිදුලේය. ආච්චිලා ගෙදරට අපේ ගෙදර සිට හැතැප්ම කාලක් පමණ තිබ්බත් එය තනි බෑවුමකි. මේ බෑවුම එක දිකට අද්දන්නට හිතාන සැර දමා ගෙන එන කිසියම්ම හෝ  වාහනයක් බෑවුම මැදදී, අනේ නතර නොවී තිබුනේ එහෙමත් වෙලාවකය.
අපේ ආච්චි මේ කන්ද බොහොම අමාරුවෙන් නැග දනිස් දෙකට දැත්  තියාගෙන අපේ ගෙදරට ගොඩ වෙන දර්ශනය අපේ පවුලේ පමණක් නොව ගමේ හැම දෙනාම පාහේ අනේක වාරයක් දැක තිබේ. ඒත් ඇය වතාවක් ඇඹුල් කැත්තක් කර තබාගෙන මේ කන්ද නොනැවතී දිව ආ අපුරුව දැක්කේ මා පමණකි.
දැනුත් ඉඳ හිට දරු පැටියන් සමග ගමේ ගිය විට මේ පල්ලම දිගේ ගොස් ආච්චිලා ගෙදර තිබු තැන නටබුන් නරඹා කන්ද දිගේ ආපසු  දිව එන්නට අපි පුරුදු වී සිටිමු. එවිට ආච්චී මට ඉදිරියෙන් දිව යන්නාක් සේ මට පෙනෙයි.
ආච්චී පිලිබඳ මගේ මතකය පටන් ගන්නේ හැත්තෑව දශකය මුල සිටය.පොඩි මාමාගේ මළගමින් පසු ඇය දිගින් දිගටම හුල්ලමින්, සුසුම් හෙලමින් ලොකු පොරෝනය තුළ  වකුටු වී දවසම ගතකල කාලයක් තිබිණි. ගෙදරට කවුරුන් ගොඩ වුවාත් ඇය හඬා  වැළපුනාය.අවුරුදු හතරක්ම ඇඳේ  වැතිරී ඇය සිය ආදරණීය බඩ  පිස්සා, යස ඉලන්දාරියකුව සිටියදී ඇගෙන් උදුරා ගැනීම නිසා හඬ හඬා  සිටියාය.  වරින් වර ඇතිවන ඇවිලිල්ල  හා හතිය නිසා පපුවේ ගාන්නට සිද්දාර්ථ, සර්වවිෂාධී  හා කෝළ සෙලෙෂ්මා තෙල් කුප්පි පේලියක්  ඇඳ  ළඟ කනප්පුවක තබා තිබුනා මතකය.
ආච්චී සිසිර කාරක නින්දෙන් නැගිට්ටා සේ යලි අළු ගසා දමා නැගිට්ටේ සීයා මිය ගිය ගොස් සතියක් දෙකක් යද්දී ගේදොර වතු පිටි අරාජිකා වී යන ශෝකය නිසාය. ඇය මිදුලට වැටෙන කොස් කොළ හා සපු කොළ අතු ගා ගිනි තැබුවාය. ගෙය් දොරකඩටම  හොස්ස පොවන්නට ලක ලැහැස්ති වී සිටි ගඳපාන, බුත්සරණ හා ගම්පාලු  ලැහැබ් ඇයගේ උදලු කෙටියට බියෙන් ඈතින් ඈතට පලා ගොස් රැ කුමරිය ලන්දේ ඔලුව හංගා ගන්නා හැටි මට පෙනිණි. ඒ වෙනුවට මිදුලට අතු ඉති දික්කර ඇයගේ මල් වට්ටිය පුරවා ලු සේපාලිකා, සමන් පිච්ච හා වතුසුදු පඳුරුවලටද ඇය බුදුන් පුදද්දී  පින් දුන්නාය. .
 අන්කුරි, රත්ති හා වසුපැටියන් තෙමි තෙමී නිදා ගත්  ගාල අලුතින් පිදුරු දමා සෙවිලි කෙරෙව්වාය. කිරි අම්මා දානයක්ද, දේව දානයක්ද, අවුරුදු පතා දෙන මාමාගේ දානයද, සීයාගේ දානයද ලක ලැහැස්ති කරමින් දසත විසිරී පවුල් පන්සල් වී සිටි  දරු මුණුපුරන් අවුරුද්දකට අඩුම තරමින් හතරවාරයක් එක් රැස් කෙරෙව්වාය. 
මෙකී නොකී කාරිය බහුල කඩිසර දිවි පෙවෙතක් ගෙවූ ආච්චිගේ දෙවන උපත අපේ ජීවිතවලට මිහිර උපරිමයෙන් ගෙන ආවේය. වට වන්දෙනවේ යද්දී අගේ තනියට ගෙදරින් ගියේ මමයි. ඇය සිරීපාදය නැග්ගේ මගේ අතින් අල්ල්ලාගෙනය. නගරයේ පුංචි සිනිමා ශාලාවේදී අජාසත්ත හා සිරිපතුල චිත්‍රපට බලන්නට මම ගියේ ඇය සහ අගේ ම්තුරු උපාසක  අම්මලා පිරිසක් සමගය.
 අජාසත්තගේ අණින් බිම්බිසාර රජ්ජුරුවන් සිරකොට ඔහුගේ දෙපා පලා ලුණු දමන දර්ශනයේදී ඇය මහා හඬින් බැන වැදුනාය. ' පවුකාරය උඹ දැනගනින් ඔය කරගන්න යන්නේ ආනන්තරීය පාප කර්මයක් බව'.  වරින් වර ආච්චී හා ඇගේ මිතුරියන් සාදුකාර දුන්නෝය. සමහර විට ඉකි බිඳ හඬා වලපුනෝය.
 ආච්චිගේ කඩිසර එහෙත් ශාන්ත දාන්ත පැවැත්ම වෙනස් වු එක්තරා වකවානුවක්ද විය. එය සිදු වුයේ මහා ඡන්දයකින් පසු අපේ ගෙදර ගිනි තබා සුන්නද්දුලි  කරනවායයි පැතිරුණු ආරංචියත් සමගය. පොලිසියටද නිවාඩු දී තිබු ඒ  දවස් වල අපේ පිහිටට සිටියේ ආච්චීත්, ගමේ හිතවතුන් පිරිසත්ය. අලවංගු හා එරමුදු පොලු අතේ තියාගෙන තාත්තාත් සමග ගමේ හිතවතුන් ගෙදර රැකවල් කළෝය. හැන්දෑ වන විට ආච්චී ඇඹුල් කැත්තද කර තබාගෙන ඇවිත් අක්කලා හා පොඩිවුන් ආච්චිලා ගෙදරට කැඳවාගෙන ගියාය. ඔවුන්ට නිදන්නට ඉඩ සලසා දී ඇය ගේ වටා හක්මන් කළාය. මේ බියමුසු කාලකන්නි දවස් කීපය ගෙවී යමින් තිබියදී  දවසක් ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් අතර වූ කුඩා හතරමන් හන්දියේ ගොම්මන් අඳුරේ සිටි එකෙක් මට කිව්වේ ‘අන්න අරුන් ඇවිල්ල මල්ලිලා ගෙට පහළ හැංගිලා ඉන්නවලු’. කියලාය.
‘අරුන්’කියද්දී ඒ කවුදැයි මට වැටහිණි. මම වේගයෙන් දිව ගොස් ආච්චීට ආරංචිය කිව්වේ ඇය ඒ වන විට අපේ පවූලේ සිටි කල්පනාකාරීම ආරක්ෂකයා බව මට ඉවෙන් මෙන් දැනී තිබුණු නිසාය.

මගේ ගොතය මැද්දෙන් කියැවුණු පණිවුඩය වහා වටහා ගත්  ආච්චී ඒක්ෂණයකින් ඇඹුල් කැත්ත අතට ගත්තාය. ' හත් දෙයියනේ කෙල්ලෝ දෙන්න මට එක්කරගෙන එන්න බැරි වුනා' කියා විලාප දුන්නාය. ඉන්පසු මැරතන් ශුරියක් පරදන වේගයෙන් ඇඹුල් කැත්තද කර තබාගෙන චීත්ත පොටක් උඩට නවාගෙන හැල්මේ කන්ද දිගේ අපේ ගෙදරට දිව්වාය.ඇය කෙලින්ම ගෙදරට දිවගොස් අම්මාද අක්කලාද ඇගේ බාරයට ගත්තාය. එදා  මැරයන් අපේ ගේ ගිනි තබන්නට නොආමුත්,වැරදිලාවත් ආවානම් ඉන් එකෙක්වත් ආච්චිගේ ඒක පුද්ගල ආරක්ෂක  බලකායේ  සීමා බිඳ අප අසලට ළං නොවන බව නම් ස්ථිරය. උන්දෑගේ දෑසේ එවේලේ  තිබු අදිෂ්ටාන ශක්තිය දේවතා එළියක් වී හාත්පස ඒකාලෝක කරමින් මා ඉදිරියෙන් ඉඳ හිට  දිස් වෙයි.