Sunday, May 21, 2023

නැත ලොවේ අන් රසඳුනා බ්ලොග් ලොවේ මෙන් සුව දෙනා

දැනට යලට මහට ඔහේ  අප්ඩේට් වන මගේ බ්ලොග් අඩවිය ආරම්බ කර අදට හරියටම අවුරුදු දහයකි . මුහුණුපොතේ වරින්වර ලියා තිබු සටහන් කිහිපයක්  එකම දවසේ පබ්ලිෂ් කර මම තිලකසිතට මුල්ම ජිවන හුස්ම පිම්බේ 2013 මැයි  මාසේ විසිඑක්‌ වැනිදාය . ඉන්පසු දෙමසයක් පමණ යනතුරු සතියකට එක ගානේ සමහර විට  දෙක ගානේත් බ්ලොග් පෝස්ට් ලියමින්  බ්ලොගය පවත්වාගෙන ගියත් බ්ලොග් රෝල් ගැන , අනෙකුත් බ්ලොග් අඩවි ගැන මගේ දැනුම ඉතා සීමාසහිත එකක් විය.  

2013 අවුරුද්දේ මාස හතකට කතන්දර තිස් හතරක් ලියු මම 2014 අවුරුද්දේ කතා තිහක් ලිව්වෙමි. කතා මුළු එකතුව පණහක්  වෙද්දීම බ්ලොග් කතා එකතුව පොතක් ලෙස පළකරන්නට මට මහා උනන්දුවක් ඇතිවුනෙන් තෝරාගත්  කතා හතළිහක් ඇතුලත් කොට තිලකසිත පළමු පොත නිකුත් වුනේ 2014 අවුරුද්දේ අගෝස්තු අට වැනිදාය. මේ බ්ලොග් අඩවිය  හා පොත නිසා මට සුන්දර මිනිසුන් රාශියක් දන හඳුනා ගන්නට ලැබුනේය. ඔවුන්ගේ සහාය ලියන කියන වැඩවලට පුදුමාකාර ලෙස ලැබුණු අතර. සමහර මිත්‍ර සම්බන්ධකම් ඉතා දැඩි බැඳීම් බවට ස්ථාවර විය. 

බ්ලොග් කතා එකතුවක් පලකරාට පසු ලිවීමේ වෙගය තරමක් අඩුවුනත් 2018 අවුරුද්ද දක්වා මම දිගටම බ්ලොග් පොස්ට් ලිව්වෙමි. ඒ අනුව දෙවැනි  කතා එකතුවත් 2019 අවුරුද්දේ පෙබරවාරු 15 වැනිදා පළ  වුනේය. ඉන්පසු ලිවීමේ වේගය සිඝ්‍රයෙන් පල්ලම් බැස  ගියත් ජිවිතයේ ආශ්වාදයෙන්ම මතක් කරන්නේ මම අතදිගහැර බ්ලොග් ලියු කාලයයි .  මේ කාලය මගේ  ආර්ථික තත්ත්වයේත්, වෘත්තීය  හා සමාජීය වැඩවලත්  ඉතා සතුටුදායක තත්ත්වයක් තිබුනේය .

මුල්ම දවසේ බ්ලොග් අඩවියේ පළවුන කතා තුන මේවාය :

යවුලගහ 

හෝඩියේ පන්තියේ ටීචර් 

කිතුල් හකුරු 

මිට  සති දෙකකට පමණ පෙර මම තාත්තා සමග මගේ මුල්ම බ්ලොග් කතාන්දරයේ සඳහන් යවුල  ගහ අසලින් ගමන් කළෙමි . යවුලගහ  කතාවේදී  මහා රෑ   යෝධයෙකු සේ මගේ ආරක්ෂාවට හොරෙන්ම පස්සෙන් ආ තාත්තා මෙවර  මා සමග වාහානයෙන් ගියේ හොඳටම ඔත්පළ මිනිසෙකු ලෙසය.  ඒ  අභිරහස්  යවුලගහ දැන් නැති බව එදා අපට පසක් විය.  ඒත්  එදා කුඩය වැටුණු තැන මෙතන යැයි  කියන්නට අපේ තාත්තාට  කල්පනාව තිබුනේය.  පසුපසු අසුනේ ගිලන්ව සිටි තාතාව වාරුකරගෙන සිටියේ හෝඩියේ පන්තියේ ටිචර්ය.යවලගහ තිබුණු තැන මදක් නතරවූ රිය තුල සිට අපි තිදෙනාම සොම්නස් සහගත අතීතාවර්ජනයක යෙදුනෙමු.

පසුගිය  අවුරුදු නිවාඩුව මා ගතකලේ කිතුල්හකුරු කතාවේ කියවෙන පස්සර මියනකඳුර ග්රාමයේය. එහිදී මට හමුවූ පරණ යාලු මිත්‍රයන් හා වැඩිහිටියන් සමහර දෙනෙක් මා ලියු දේවල් කියවා තිබුනේය . මට අලුතින් ලියන්නට කතන්දර වරුසාවක් තෑගී ලැබුණේය.

මෙකී  හේතු කාරණා නිසා මා ලියු ජිවන කතාන්දරවලින් මට ගැලවෙන්නට බැරිය. . ඒ නිසා මම මේ බ්ලොග්  අවකාශය අතහැර යන්නේ නැත. 

කවුරු මොනවා කිව්වත් මට හමුවූ සුන්දරම සයිබර් අවකාශය බ්ලොග් අවකාශයයි. .වඩාත්ම වටිනා  කරුණනම් ඒ නිසා මගේ මිත්‍ර සම්පත සීග්‍රයෙන් වර්ධනය වීමය.

ඒ නිසා තිලකසිත සමග බැඳීසිටිනා  සුන්දර මානව මානවිකාවනි, දස වසරක් පුරා තිලකසිත වෙත පෑ . ඒ ආදරයට ස්තුතියි .

සමහර කාලවල ලියන දේවල් අඩුවෙන්නට පුළුවන. ඒත්  අපෙ යාලු ෆිට් එක වෙනස් නොවෙන ගානට සවිමත් වී තිබේ. 

 

Saturday, May 6, 2023

බළහරුව බස් එක

 


බළහරුව තියෙන්නේ වැල්ලවාය තණමල්විල පාරේ, කුඩාඔය නගරයෙන් හැරිලා දකුණු පැත්තට කිලෝමීටර් දාහතරක් විතර ගියාම. තණමල්විල ඉඳන් හම්බෙගමුව හරහා කපුගල බලන්ගොඩ පැත්තට එන පාරේ ආවත් බළහරුවට එන්න පුළුවන්. දැන්නම් ඇතිලිවැව  ඉඳන් ඊටත් කෙටි පාරක් තියෙනවලු. බළහැරුව කියල නම හැදිච්ච හැටි හොයල බැලුව . වැඩිදෙනෙක් විශ්වාස කරන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ  බළ සේනාවන් පුහුණු කරපු තැනක් නිසා ඒ නම වැටුන කියල . බළ+හුරුව බළහැරුව වුනාලු. 

බළහරුව කියන්නේ ඩී ඇස් සේනානායක උන්නැහැ  අගමැති වුනාම් ඉස්සෙල්ලම වැව්අමුණු පිළිසකර කරලා ගොවිජනපද හදපු හඳපානාගල, වෙහෙරයාය, ඇතිලිවැව වගේ ගම්මානයක් . 

බළහරුව කියන නම මතකේ හිටින්න පුද්ගලනාම තුනක් බලපෑවා . පළවැන්නා අපේ බැචා සුසිල්. ඔහුගෙ ගම බළහරුව කියල දැනගත්ත සීනියර් උත්තමයෝ අනිවාර්යයෙන්ම අහපු ප්‍රශ්නයක් තිබ්බ. 

'ඒයි උඹ බළහරුවේ සෝම අඳුනනවද ?'

බළහරුවේ සෝම කියන්නේ 1987-89 කාලේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයේ   කැඳවුම්කරු. 1987 පිටකොටුවේ උද්ඝෝෂණය ගැන විස්තර හොයද්දීත් මුලින්ම හමුවෙන චරිතයක්. භීෂණ කාලෙන් පස්සේ බළහරුවේ සෝම කියන නම කොහෙවත් ඇහුනේ නෑ . ඉන්න තැනක් හොයා ගන්නත් නෑ . තුන්වෙනි නම තමයි බළහරුවේ සිරිසුමන. තනියම ඉංග්‍රීසි ඉගෙනගෙන පිරිවෙන්වල ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සේවය කරපු බළහරුවේ සිරිසුමන හාමුදුරුවෝ මැදිවියට එළඹෙද්දී පේරාදෙණියේ ඉංග්‍රීසි ගුරු විද්‍යාලයට ඇතුල්වුණා. ඒ කාලේ  අපි පේරාදෙණි සරසවියේ ඉගෙනගත්තා .

ආපහු ගමට ගිය සිරිසුමන හාමුදුරුවෝ පරිසරවෙදියෙක් විදිහටත් නිදහස් මතධාරියෙක් විදිහටත් කටයුතු කළා . පසුගිය අප්‍රේල් මාසේ අපවත් වෙනකොට බළහරුවේ රජමහ විහාරයේ අධිපති.

මේ කතන්දර සියල්ල කිව්වේ බළහරුවේ බස්එක ගැන  පරණ කතාවක් කියන්න ඕනි නිසා, මේකට පසු කතාවකුත් තියෙනවා .

*********

ඒ 1989 අවුරුද්දේ දවසක් . බළහරුවට තියෙන අන්තිම  බස් එක වැල්ලවායෙන් පිටත් වෙන්නේ හවස හයට . පස්සර  ඉඳන් බළහරුවේ සුසිල්ලා ගෙදර යාමට පැමිණි ගැමුණු බළහැරුවේ බස් එක එනකම් බස්ටෑන්ඩ් එකේ හිටියා .සෑහෙන වෙලාවක් බලා  හිටියා .  එහෙමෙහේ  ඇවිදින්න හොඳ කාලයක් නෙවෙයි. බස් එක නැති නිසා කිහිප දෙනෙක් එක්ක ඇවිදගෙන  ගියා ඩිපෝව පැත්තට. මොකද බස් එක එන්නේ ඩිපෝවේ ඉඳන් . ගේට්ටුව ළඟ බලා  හිටියා  බස් එක ඩිපෝව ඇතුලේ තියෙන වග ආරංචි වුනා . දැන් එයි දැන් එයි කියල බල බලා හිටියා . හතර වටින්  අඳුරු වුනා . බස් එකේ යන්න හිටි ටික දෙනාත් කොහෙට කොහෙට හරි යන්න බලාගෙන හෙමි හෙමින් එතනින් සීරුමාරු වුනා . ගැමුණු විතරයි  ගේට්ටුව ලඟ ඉතිරි වුනේ . 

ඔන්න එතකොට බස් එකේ ඩ්‍රයිවරයි  කොන්දොස්තරයි  පයින් ඇවිදගෙන එනවා. මේ බස් එකේ වතාවක් දෙකක් ගිහින් තියෙන නිසා දෙන්නගේ මූණූ  මතකයි. රියදුරා මද හිනාවක් දැම්මා .

' බළහරුවේ බස් එක නැද්ද?"

' නෑ  මහත්තයෝ   ඒක කැඩිලා . අපි මෙච්චරක්වෙලා හදාගෙන එන්න .තමයි මහන්සි වුනේ . බැරි වුනා. හෙට තමයි ඉතිං 'කියාගෙන දෙන්න පයින්ම ඇවිදගෙන ගියා . ගැමුණුගේ කකුල් දෙක වෙවුලුවා. හිත  ගිණියම් වුනා. දැන් ඉතින් කොහේ කියල යන්නද  ? 

මද දුරක් ඇවිදගෙන ගිය  බස් රියදුරා ආපහු හැරිලා ඇහුවා. 

' මහත්තයා කොහේ ඉඳලද ?"

 බස් කොන්දොස්තර නොනැවතී ඉස්සරහට ගියා. ගැමුණු රියදුරා සිටි දෙසට ගාට ගාටා  යන ගමන් මෙහෙම කිව්වා.

" මම පස්සර ඉඳන් ආවේ. මේ වෙලාවේ ඒ පැත්තට යන  බස් එකක් තියෙයිද?"

" මේ දවස්වල කළුවර වැටුනම බස් එනවා අඩුයි. තණමල්විල පැත්තටනම් බස් එකක් එනවා දැන් "

ගැමුණු විපිලිසරව බලා හිටියා . ' ඒ  පැත්තට හිහින් කොහේ කියල යන්නද ? " කෙඳිරිලි හඬින් කියවුනා .

ඒක  බස් රියදුරාට ඇහුණා . ටිකක්  කල්පනා කළා .

" මහත්තයා අතරමං කරලා මෙහෙම යන්නත් බෑ . ඒත්  අපේ ගෙවල්වල  එහෙම අමුත්තෙකුට ඉන්න පහසුකමකුත් නෑ . අනික් අතට  මේ අවදානමේ මග  ඉන්න හොඳ කාලයක් නෙවෙයි. යමු මහත්තයා අපේ ගෙදර . පුළුවන් හැටියකට ඉමු"

ගැමුණු මුවින් නොබැනම ඔහුගේ පස්සෙන් වැටුනා. දෙන්නත්තෙක්ක පාර අයිනට ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් තණමල්විල හරහා කතරගම අන්තිම බස් එක ආවා. නැග්ගා. ටිකට් ගත්තද මතක නෑ . අතිලිවැව හන්දියෙන් බැස්සා .

එතනින් දකුණට හැරිලා කුඩා ගුරු පාරකින් හැරී හැරී කිලෝමීටර් දෙකක් විතර ගියාම කුඩා ගම්මානෙකට  සේන්දු වුනා .  දෙන්නගෙම  ඉහින් කණින්  දාඩිය දාලා.

රියදුරා නතරවෙලා හති ඇරියා. "දැන් බයවෙන්න දෙයක් නෑ. මමත් පොඩ්ඩක් හෝදිසියෙන් හිටියේ අලි ඉන්නවනේ . මේ දවස්වල නම් අලි නෙවෙයි වෙන වෙන සත්තුත් ඉන්නවා "  කියල හාහ් හාහ් ගාල් හිනා වුනා .

ගමට ඇතුල් වෙච්ච හැටියේම වගේ තිබ්බ  රියදුරු වාසභවනේ ඉස්සරහ කාමරේ ලැහැස්ති වුනා.   පුංචි පවුලක්. පුංචි ගෙදරක්  . දඩිබිඩියේ හදපු කීලන් කරවල හොද්දයි, කවුපි දළු මැල්ලුමයි එක්ක රෝස කැකුළු බත් එකක් බෙදාගෙන කෑවා . ආයේ කියන්න දෙයක් නෑ. ඒක අතිරහ කෑම එකක් .

පහුවදා  ආපහු ඇතිලිවැවට ගිහින් එතනින් වැල්ලවායට බස් එක අරගත්තා දෙන්නත්තෙක්කම. දහය එකොළහ වෙනකොට බස් එකත්  හදාගෙන කුඩාඔය හරහා බළහරුවට ගියා . 


*** 

මේ කතාව මගේ මිත්‍රයා විසින් මතක් කරන්ට යෙදුනේ පසුගිය සතියක අපි  කොළඹ ඉඳන්  මත්තල දක්වා හයිවේ එකේ ගොස් වැල්ලවාය පැත්තට යන අතරේ තණමල්විලට ඉස්සරින් හම්බවෙච්චා  කඩේකින් රෑට කෑම ගනිමින් ඉන්න වෙලාවේ . එතකොට රෑ දහය හමාරයි. කඩේ බුෆේ එකක් . බත් මාළු පිණි ගොඩක් තිබ්බා . පානුත් තිබ්බ. .  කපල නෑ . "මුදලාලි මේ පාන් කන්නේ කොහොමද කපල නෑ" . අපි සද්දෙන් කිව්වා.

තරුණ මුදලාලි දුවගෙන ඇවිත්  බොහොම ගරුසරු  ඇතිව පාන්පෙති  කපල ලොකු තැටියකට දල කිවා මේ පරිප්පුයි මිරිස් මාලුයි හොඳයි කන්න. තුඹ කරවිල හොද්දනම් ටිකක් දවාලෙන් හැදුවේ ඇඹුල් වෙලා ඇති .

 අපි ඉතිං හොඳට කෑවා . 

බිල ගෙවන්න  කවුන්ටරේට ගියා. එතැන  කවුරුත් නෑ . මුදලාලි ගෝලයෙක් එක්ක   හෝටලේ සුද්ද පවිත්‍ර කරනවා. 

'මුදලාලි අපේ ගාන කීයද  ?"  මුදලාලි හිනාවුනා 

'මහත්තයෝ මේ කඩේ දහයට වහනවා. කෑම ඉතිරිවුණ නිසා තමයි ඇරලා තිබ්බේ . දහෙයෙන්  පස්සේ අපි කෑමවලට සල්ලි ගන්නේ නෑ"

මුදලාලි ගැන කතාකරමින් වැල්ලවාය පැත්තට එනකොට කුඩාඔය කඩමන්ඩියේ  රථය මොහොතකට නතර වුනා."ඔය වම්පත්තේ පාරේ තමයි බළහරුවට යන්නේ". එතැන් සිට ගමන කෙළවර වෙනකම් රස මැව්වේ බළහරු කතා . 

ඔන්න ඔහොමයි අපිට  අවුරුදු නිවාඩුව උදා වුනේ.


Photo : handapanagala Tank, Source : Sunday Observer

Wednesday, May 3, 2023

පේරාදෙණියෙන් කල්පිටියට


මේ  මගේ ට්විස්ටින්ග් දිනපොතේ දින සටහන්. දිනය පටලවා නොගෙන ප්‍රවේශමින් කියවන්න 

1993 අප්‍රේල් 30

අද අපට අවසාන අවුරුද්දේ අන්තිම විභාගේ .අන්තිමට තිබ්බ සබ්ජෙක්ට් එක කාර්මික ඉංජිනේරු විද්‍යාව . අතිරේක විෂයක් . තෝරා ගන්න තිබ්බ සබ්ජෙක්ට් එකක්.  

අවුරුදු හතර වෙනුවට හතක්  වින්ද දුක අහවරයි.හවසට ඊරියගම පැත්තේ ඇවිදලා කිතුල් රා ටිකක් හරි හොයා ගන්න ඕනි .  ඒ මදිවට  හෙට කැම්පස් ග්‍රවුන්ඩ්  එකේ දැවැන්ත සාදයක් ගැන කසුකුසු ඇහෙනවා. ඒත්  කා ගාවවත් සල්ලි නෑ . එන සති අන්තය හොස්ටල් එකේම  ඉන්නවා. ඔහොම හිත හිතා  අපි අක්බාර් පාලම පහු කර‍ගෙන ලයිබ්රිය පැත්තෙන් වීරසුරිය ස්මාරකෙත් පහුකරලා, වී සී හවුස් එක ඉදිරිපිට පාරේ  අඳුරු සොඳුරු ගස් අතරින් ඇවිත් කිස් බෙන්ඩ් එකත්  පහු කරා. ලස්සනට හදාපු ෂර්ලි  ද අල්විස්ගේ  නිර්මාණශීලි  මන්දිර හා භුමි සැකැස්ම මැදින්  ජේමිස් පිරිස් ශාලාවට පිවිසෙන  අඟර  දඟර  පඩිපෙළ නැග්ගා . සතර දිබ්බාගෙන් ඇවිත් අවුරුදු හතක් වාත වේවි වැඩේ  හමාර කළ අපි තව දවසකින් දෙකකින් විසිරිලා යනවා . කරන්නේ මොකක්ද  කියල නිශ්චිත නෑ .ගොඩක් දෙනෙක්ගේ අතේ පිච්චිය නෑ . ලබන අවුරුදේ අපි මොනවා කරයිද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ  තව අවුරුදු දෙකකින් අපි මොන වගේ මිනිස්සු වෙයිද ?  අවුරුදු තිහකින්? අනේ හිතා  ගන්නවත් බෑ . සිරා පොරවල් වෙයි. සමහරවිට ලොන්ත නාකියෝ වෙලා ඉඳියි .

කොහොමත් අපි සියලු අනාගත බලාපොරොත්තු අමතක කරලා අද රාත්‍රියේ හා හෙට පැවැත්වෙන සාද ගැන කතා කරමින් හා හිතමින් තමයි හොස්ටල් එකට ගියේ. 

2023 අප්‍රේල්  30

අද අපි හැට  දෙනෙක් කොළඹින් එක බස් එකකත්  කුරුණෑගලින් තව බස් එකකුත් අරන් පිටත් වුනේ අපේ සරසවි දිවියේ අවසන් දිනය සිහිපත් කරන්න . හරියටම කිවොත් තිස්වන සංවත්සරය. අපි යමින් හිටියේ පුත්තලමින් වම්  පැත්තේ මුහුදට දික්වෙලා තියෙන ලංකාවේ සුලැඟිල්ල  කෙළවරට . කල්පිටියට.  

අර අක්බාර් පාලමින් විභාගේ ඉවරකරලා ගාටපු  කොල්ලේ කෙල්ලෝ දැන් තනිකර තලත්තෑනි වෙලා . ඒත්  සියලුම ජානමය ගති ලක්ෂණ එක බිඳුවකින් වෙනස්වෙලා නෑ . හවස පාටියයි හෙට පාටියයි ගැන  කතා කරා. මඩ  අවලාද . තිස් හතලිස් පාර ඇහුනු එකම විහිලුව ආයේ ඇහුනා . ඒත්  ඇස්වලින් කඳුළු පනිනකම් හිනා වුනා . සමහර පොඩි විහිලු කෑලිවලට බෝම්බ පුපුරන සද්දෙන් හිනා පුපුරා ගියා . අතරින් පතර දේශපාලනේ ගැන කතා කළා. බයියෝ, ටෝයියෝ ටෝබයියෝ ඔක්කොම ඉන්නවා. 

අපි අන්තිම දවසේ කරපු විභාගේ මතක්වුනා.  ඒ කාර්මික ඉංජිනේරු විද්‍යාව. පාලවියෙන් පොඩ්ඩක් හැරිලා පුත්තලම්  සිමෙන්ති ෆැක්ටරිය ටිකක් බලාගෙන ගියේ ඒ  හින්ද . 1993 වෙනකොට ලංකාවේ සිමෙන්ති ෆැක්ටරි  දෙකක් තිබ්බ  . දෙකම ආණ්ඩුවේ. පුත්තලමේ හා කන්කාන්තුරේ. 1996 ඉඳන් කන්කසන්තුරේ ෆැක්ටරිය දිරාපත් වෙමින් අතහැරලා දාලා තියෙනවා  . පුත්තලම පුද්ගලික සමාගමකට දීලා  කරගෙන යනවා. මෙතැන  තමයි ලංකාවේ වැඩියෙන්ම විදුලි බලය පාවිච්චි කරන  තැන . ලංකාවේ උණුසුම්ම  තැන . දවසකට ගල් අඟුරු ටොන් සිය ගණනක් ගිලින උඳුන සෙන්ටිග්‍රේඩ් අංශක දෙදහකට විතර රත් වෙනවා .

 හවස තිබ්බ කෙටි උත්සවේ වෙලාවේ මට අපේ අතීතය මතක් කරලා දෙන්න තිබ්බ. 1971 කැරැල්ල වෙනකොට බහ තෝරපු, හැත්තෑ  පහේ අවුරුද්දේ පාන් පෝලිමේ  ඉඳපු , හැතතෑ  හතේ ධර්මිෂ්ට පාදඩකරණය  බලන් හිටපු. 83 , 89 90 පහුකරලා දසක දෙක තුනක් කට්ට කාපු අපේ පරම්පරාවට විශේෂයෙන් පිට රටකට නොයා මෙහෙම ඉන්න තීරණය කරපු උන්ට  ඉන්පස්සේවත්  සැනසිල්ලේ තැන්පත් වෙන්න බැරි වුනා.  අසාර්ථක ජරාජීර්ණ පාලන කාල යලි යලිත් ආවා.  කොවිඩ් ආවා , පැට්‍රල් පෝලිම් ආවා , අරගලේ ආවා . දැන් 93දී අතේ සතේ නැතිව හිටි අපිට ඒ හා තරමක් සමාන  කාලයක් ආයෙමත්  ඇවිත් .මහලොකු මැද  පන්තියේ හිටියට ගොඩක් දෙනෙක්ගේ ආදායම වියදමට වඩා අඩු වෙලා. මාස අටකින් පඩි හම්බවෙච්ච නැති ඉංජිනේරු ලොක්කොත් අපිත් එක්ක හිටියා. ලබන අවුරුදේ අපි මොනවා කරයිද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ.

1993 මැයි 01

අද නැගිට්ටේ පරක්කු වෙලා ඒත් රට වෙලාගත්තා නොසන්සුන්කම කෘර පාලනයක ලක්ෂණ එක්ක දේශපාලනේ මඩ  ගොහොරුවක් වෙලා  . කිසිම විදිහක  සාධාරණ මතයකට ඉඩ  දෙන්නැති උද්දච්ච පාලකයෙක් ඉන්න රටක සමාජෙට බහින්න අපි තරමක් බයෙන් ඉන්නේ. ඒවා අමතක කරලා නුවර ගියා උදෙන්ම. අපි ආපහු එනකොට  පාර දෙපැත්තේ සෙනග පිරිලා  . මිනිස්සු ජයකෙහෙලි නංවනවා. චීන පටස් පුපුරනවා. 

'ලොක්ක මැරිලා . ආමර් වීදියේදී බෝම්බ ගහල .  එතැනමයි ' . දකින දකින  මුහුණුවල තිබ්බේ සතුටක් සැහැල්ලුවක්, උත්සවශ්‍රියක් . 

මම ගලහ බස් එකේ හිටගෙන හිටියා . මම  හිටි තැනට කිට්ටු අසුනේ කුඩා දරුවන් දෙන්නෙක් සහ මවක් හිටියා. පොඩි දුව අවුරුදු හතක විතර ඇති. ඇය  මෙහෙම කිව්වා 

' අපි අදනම් පාටියක් දාන්නම ඕනි අම්මේ  '

මල්ලි මෙහෙම කිව්වා ' තාත්ති මට අයිස්ක්‍රීම් අරන් දෙන්න ඕනි "

මේ කතාව දුරදිග යන්න කලින් හිටගෙන හිටි තාත්තා සිය පැටවූ  දෙන්නගේ මුවපොඩි  දෙක අතින්  වසා ගත්තා . ඒ වෙනකොටත් භීෂණයේ භීතිය යන්තමින්  තිබ්බා. මිනිහෙක් මළාම  සතුටු වීම අශෝබන වුනත් රටේ තිබ්බ පීඩනය හා ජන මනස්වල තිබිච්ච  අසහනය පිටවුනේ එහෙම තමයි. 

2023 මැයි  01

අද නැගිට්ටේ පරක්කු වෙලා . ඊයෙ  සාදයේ සැර  වැඩිකමට නින්ද  ගියා  . කල්පිටි වෙරළේ ඇවිද්දා. ඊයේ  හවස ගිය ධීවරයෝ එහෙන් මෙහෙන් එනවා . එච්චර සරු අස්වැන්නක් නෑ . ධීවරයෝ මුහුදු ගියාට අදත්   කොළඹ මැයි රැලි. අවිනිශ්චිතතාවය , ආර්ථිකයේ අනාරක්ෂිත බව අවුරුදු තිහකට කලින් වගේම තමයි. 

එනගමන් නොරෝච්චෝලේ පැත්තටත් ඔලුව දාලා ආවා. මෙගාවොට් තුන්සියේ විදුලි ජනක තුනකින් දවසකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් දවමින්  රටට බලශක්තිය  දෙන රටේ ලොකුම බලාගාරය. 1993 වෙනකොටත්  රටේ බලශක්ති සැපයුම පිලිබඳ මහා සැලසුම් තිබුනා. ජයිකා ආධාරවලින් හදන්න තිබ්බ ගල් අඟුරු බලාගාරේ මාවැල්ලෙන් , සාම්ම්පුර්වලට, සාම්පුර්වලින් නොරෝච්චෝලේට වගේ තල්ලු වෙමින්  ගිහින් අන්තිමේ හෙන ගානක් වියදම් කරලා චීන ණයකින් හදා ගන්න තැනට රට පත් කළේ කවුද? මේ සියලු දේ ගැන ඉදිරි සටහනකින් සවිස්තරව කතා කරමු .

 මොනා උනත් දැන්නම් නොරොච්චෝලේ බලාගරේ පුළුවන් උපරිමෙන් රටට විදුලිය සපයනවා. ඒත් කෝකටත් තයිලය වගේ තියෙන්නේ මේක විතරක් වුනාම මොනා හරි වෙලා නොරොච්චෝලේ කැඩුනොත් රටටම විදුලිය  කපන්න වෙනවා. වෙන රටවල ඒ  වගේ වෙලාවට බල ගන්වන බැකප් බලාගාර  තියෙනවා.අපට නැහැ.  ළඟ කාලේක  ඉදි කිරීමක් පේන්නත් නෑ . බලශක්ති අර්බුදේ වගේම අනෙක් අර්බුද ගැනත් විසඳුමක්  පෙන්න නෑ 

අවුරුදු තිහකට කලින් තිබ්බ සැලසුම් විරහිත, සුන්දර රටේ සිදුවෙමින් ඇති එකම වෙනස අපි වයසට යාම විතරයි.   

මේ අවුරුදු  තිහෙන් විසිතුනක් සැලසුම් ඉංජිනේරුවෙක් වෙලා හිටි  මගේ රස්සාව ගැන තව දුරටත් පම්පෝරි ගහන්න බෑ  . ඒත් මේ අවුරුදු තිහම දේශපාලනේ හිටි කිසිම කෙනෙකුට මේ ගැන කම්පාවක් ඇති වගකුත් පෙන්න නෑ 

Saturday, December 31, 2022

වුඩ්ක්රෝෆ්ට් විලේ කුරුළු ජෝඩුව

 වුඩ්ක්රෝෆ්ට් ( Woodcroft)  යනු  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරාසන්නයේ පිහිටි උප නගරයක්. මේ නගරයේ පිහිටි විල වටේ රවුමක් ඇවිද්දොත් හරියටම කිලෝමිටරයකි. ජලාශ්‍රිතව ජිවත්වන ලස්සන කුරුල්ලන්ගෙන්ද මනරම් තුරු වදුලෙන්ද අලංකෘත වූ විල වටේ රවුමක් දෙකක් ඇවිදීන්නට  විල අවට පදිංචි වී සිටින  පරිඝනක ඉංජිනේරුවෙක් ප්‍රිය කරයි. ඔහු චමින්දය. චමින්ද මේ විල රවුමේ ඇවිදිදිදී දුටු අපුරු කුරුළු වතගොත කැමරාවට අසු  කර ගන්නේය . සමහර ඒවා වීඩියෝ කර ගත්තේය. 

වතාවක් මෙහි සිටි කළු හංස ජෝඩුවක්  සහ පැටවුන් දෙදෙනෙක් ගැන නිරීක්ෂණය  කළේය. ඔවුන්ගේ අසනීප ගැන වනජීවී කාර්යලය සමග කතා කළේය. තවත් වතාවක් ඔහු දුටුවේ එක කකුලක් අහිමි ජලජ කුරුල්ලෙකි . ඌ රේල්  පවුලට( rail family) ඩස්කි මොර්හෙන් ( dusky moorhen  ) කුරුල්ලෙකි .දින කීපයකට පසුව දුටුවේ සතුටු හිතෙන දසුනකි. ඩස්කි මෝහෙන් කුරුල්ලාට සහකරුවෙක් හමු වී තිබේ. ඊටත් වඩා විශේෂත්වය වුනේ මේ අලුත් සහකරුවාද මුල් කුරුල්ලා මෙන්ම තනි කකුලින් සිටගෙන සිටීමය . මේ නම් අසිරියක් යයි සිතු චමින්ද මේ දසුන වීඩියෝ ගතකරගත්තේය . මෙහි ඇත්තේ එයයි. ( Video by Chaminda Aththanayaka)

මා  දන්නා පරිදි බොහෝ කුරුලු වර්ග තම ශරීර උෂ්ණත්වය රැකගැනීමට හෝ තාමත් හරියටම තේරුම්ගෙන නැති හේතුවක් නිසා බොහෝ  විට තනි කකුලෙන් සිටගන සිටියි , එහෙත් මේ කුරුළු  ජෝඩුවේ  එක කුරුල්ලෙක්ගේ කකුලක් ඇත්තටම කැඩී  වෙන් වී හෝ උපතින් ලැබී නැත.  ඒ කුරුල්ලාගේ සහකරුද  කොච්චරවත් සිටින්නේ තනි කකුලෙනි . මේ සමහර විට  කකුල නැති කුරුල්ලාට සහය දැක්වීමක් වෙන්නට බැරිද? මේ දෙවන කුරුල්ලා පළමු කුරුල්ලාට වඩා පෙනුමෙන් වෙනස් වෙන්නේ කොහොමද ? මේ වගේ ප්‍රශ්න ටිකක් දැන ගැනීමට මම කතා කලේ යොවුන් කුරුළු පර්යේෂකයෙකු වූ චනිත් විජේරත්නටය. ඔහු ඕස්ට්‍රේලියාවේ  මොනෑෂ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකි. 

 ලංකාවේ කුරුල්ලන්ද ඇතුළු ලෝකයේ  විවිධ ප්‍රදේශවල කුරුල්ලන් ගැන පොත් කිහිපයක්ම ලියා ඇති චනිත් කිව්වේ මේ දෙවන කුරුල්ලා යුරේශියන් කූට් කෙනෙකු බවය. මුල් කුරුල්ල්ලා හා දෙවන කුරුල්ලා එකම  කුරුලු පවුලට   අයත්වුනත් මේ දෙවර්ගය එකතු වී අභිජනනය කරන බවට තොරතුරු ලැබී නැත  , එහෙත් ඔවුන් එකට හිඳී .ඔවුන් එකට ඉන්නේ තමන්ගේ ආරක්ෂාව හා පහසුව සඳහා උය . එකම  වාසස්ථානය බෙදාගන්න එකම පවුලේ කුරුළු විශේෂ  දෙකක් එකට ඉන්නා අවස්ථා තිබේ. චනිත් කිව්වේ දෙවන කුරුල්ලා කකුල ඔසවාගෙන සිටින්නේ ඔහුගේ සාමාන්‍ය පුරුද්දට මිස මුල් කුරුල්ලට සහය දැක්වීමට නොවන බවය .

Dusky Moorhen ( Source Wikipedia)

චනිත් කියන පරිදි කුරුල්ලන් හා වන සතුන් තම ආරක්ෂාව හා පහසුව පිණිස එකට සිටියද නගරයේ මිනිසුන් සිතන තරම් ඔවුන් සාමකාමී නොවන බවයි . රුදුරුකම් හා සැහැසි කම් සත්තව ලෝකයේ අප සිතනවාට වඩා පවතියි . 

ඒ නිසාමයි සතුන්ගෙන් මිනිසුන් වෙනස් වන්නේ . සහකම්පනය හා අනුන් පිලිබඳ ගැඹුරු දයාවක් දක්වන හැකියාව වැඩිපුරම ඇත්තේ මිනිසුන්ටය. එය සත්තව පරිනාමයේ ජයග්‍රහණයකි. සුවිශේෂ හැකියාවකි.

ඉතින් මිනිසුන් ලෙස ජිවත් වෙන්නට ලැබීම ආඩම්බරයක් වන්නේ මෙකි සහකම්පනය හා දයනුකම්පන්ය නිසිපරිදි සුසර වන පරිසරයකදීය.

ඔබ සැමට මේ බව පසක් වන නව වසරක් වේවා 

Eurasian Coot ( Source Wikipedia)

Thursday, December 29, 2022

ෆිලිප් දුපතේ දරු උපත

පිලිප් දුපතේ ගොවිපලක් 

පිලිප් දුපතට පිවිසෙන පාලම ( දිග මීටර්  540)
රුසියානු කෙටි කතාවක් ' කැකිරි දුපතේ දරු උපත' නමින් කලකට පෙර සිංහලට පරිවර්තනය කර තිබුනා. ඒ කතාවත් මේ කියන්නට යන කතාවත් අතරේ කිසිදු සමානකමක් නැතත්  එක්තරා හේතුවක් නිසා ඒ නමම යොදන්නට හිතුවා. 

මේ අතීත කතාව පටන් ගන්නේ   මම ඉපදිච්ච අවුරුද්දේ  විතර.  කොළඹ  සිට වේයන්ගොඩ බලා යන පාසල් සිසුවෙකුට  හමු වෙනවා සුදු ජාතික සංචාරකයන් පිරිසක්.  ඔවුන් යම්කිසි ගමනක් යාමට මාර්ග විස්තර හොයමින් අසරණ වෙලා. දුම්රිය මගින් අතරේ ඉංග්‍රීසි උගත් කෙනෙක් නැති තරම් උනත් මේ  සිසුවාට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා. ඉතින් ඔහු තමන්ට පුළුවන් විදිහට සංචාරකයන්ට වුවමනා  මාර්ග විස්තරේ  පැහැදිලි කරනවා.   සංචාරකයන්  පිරිසේ  සිටි එක්  සුදු ජාතිකයෙක්  කරදාසි කබල්ලික ලියු තමන්ගේ එංගලන්තේ ගෙදර ලිපිනය මේ තරුණ සිසුවාට  දෙනවා. 

' නුඹට කවදාක හරි මොනම විදිහේ උදව්වක් හරි ඕනි වුනොත් මට ලියමනක් එවපන් '

ඉතින් කාලය ගත වෙනවා .  සිසුවා තරුණයෙක් . ඔහු උසස්පෙළ කරලා කාර්මික අධ්යාපනයකුත් ලබා ගත්තා . ඉන්පස්සේ රස්සාවක් නැතිව එකෙල  මෙකෙල වේවි ඉද්දි කෝච්චියේදී මුණ  ගැහිච්චා සුද්දා මතක් වෙනවා . තරුණයා ලියමනක් දානවා. 

සති කීපයකින් උත්තරය   එනවා.

"මම ලබන මාසේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ දුම්රිය දියුණු කිරීමේ උපදේශකයෙක් . එහෙන් උඹට රස්සාවක් හොයල දෙන්නම් . ලියකියවිලි ටික එවපන්." ඉතින් තව තුන් මාසෙකින්  අපේ තරුණයා ඔස්ට්‍ර්ලියාවේ .

ඔහු ඔස්ට්‍ර්ලියා දුම්රිය සේවයේ සිග්නල් ඉංජිනේරුවෙක් විදිහට ඉහළ නගිනවා. 1998 දී කල් ඇතිව විශ්‍රාම ගන්නවා . ඒ ලංකාවට ගිහිල්ලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාරය තමයි  තවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික හවුල්කරුවෙක් එක්ක ඉදිකිරීම් කරන එක . ඔවුන්  ඕස්ට්‍රේලියානු සමාගමක් එක්ක එකතු වී විශාල ගොඩනැගිලිවල අලුමිනියම්  හා විදුරු ආවරණ  සවි කරනවා. වත්තල පැත්තේ පැක්ටරියකුත් දානවා  . 

මෙන්න මේ  සමාගමෙන් තමයි කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ හෙවත් පිට්ටු බම්බුව වටේට සුදු පාට අලුමිනියම් තහඩු අල්ලන්නේ . මේ  වැඩේට ඉස්සෙල්ල ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගලධාරි හා මහබැංකු ගොඩනැගිලි ඉලක්ක කරලා කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ  බෝම්බවලින් දැඩි හානි වෙනවා. ඒ පිටස්තර විදුරු හා ඇලුමිනියම් රාමු අලුතින් දාන්නෙත් මේ කොම්නපැනියම  තමයි. මම 98 -99 අවුරුදුවල වැඩ කලේ එතන . මම මේ ගැන කීප වතාවක් ලියල තියෙනවා .   

දැන් තියෙන ලංකා බැංකු ගොඩනැගිල්ලේ විශාල නාමපුවරුව  වන  බිත්තියට  ඇල්ලු සුදු යකඩ අකුරු නිර්මාණය කර සවි කිරීමත් අපිට පැවරුන රාජකාරියක්. මේ වැඩේට ගැලපෙන පුද්ගලයෙක් හොයමින් සිටියා  . 1996 ලෝක ක්‍රිකට් කුසලානය නිර්මණය කලේ අපේ රටේ සමාගමක්. අර්ජුන රණතුන්ගලා පාකිස්තානේ ඉඳන්  ලංකාවට ආපහු ගෙනාව මේ කුසලාන නිර්මාණය කරපු සමාගම තිබ්බේ නුගේගොඩ . මේ සම්ගමේ හිටි ඉංජිනේරුවෙක් වුන තිලක්  අපිත් එක්ක එකතු වෙන්නේ  පෙරකී  වුවමනාව සහ තව ගොඩක්  වැඩවලට .

මේ ව්‍යාපෘති දෙක ඉවර වෙනකොට සමාගමේ ලංකාවේ ප්‍රධාන වැඩ ඉවරවෙනවා . ඕස්ට්‍රේලියාවේ සිට විශ්‍රාම අරන් ආපු සිග්නල් ඉංජිනේරුවා රෝයි අපහු එහෙට යනවා. ඒ ගිය ගමන ඇත්තටම විශ්‍රාම  සුවයෙන් ඉන්නවා .  ටික දවසකින් තිලක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. තිලක් හා රෝයි අසල්වැසියන්  වෙනවා  . තිලක් තමන්ට සුපුරුදු ක්ෂේත්‍රයේම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇලුමිනියම් හා විදුරු ගොඩනැගිලි ආවරණ , නාන කාමර ෂවර් වගේ දේවල් එකලස් කරන පැක්ටරියකුත් දානවා. මේ මින්ස්සුන්ට සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නෑ . මමත් ඔස්ට්‍රේලියාවට සවාරියක්  එනවා . සැන්දෑ  සාදයකට ඇරයුම් ලැබෙනවා . 1998-99 කොළඹ පිට්ටු බම්බු වල ඇලුමිනියම් , විදුරු  ආවරණ හා සුදු යකඩ නාම පුවරු සමග එකට ඔතටු වෙච්ච තුන් දෙනෙක් අවුරුදු විසිපහකට විතර පස්සේ ආයෙත් හමු වෙනවා .

සාදය රසවත්. පරණ කතා අලුත් කතා සමග අනාගත සැලසුම් දිගෑරෙනවා.

ඉතින් මම ආපහු යන්න හදනකොට තිලක් මෙහෙම කියනවා .

ආයේ කවද්ද මෙහෙ එන්නේ?. මම ඔයාව එක්කරගෙන යන්නම් බලන්න තැන්  තියෙනවනේ මහා ගොඩක් .

"එහෙම තිබ්බට ඔයාගේ රාජකාරි පාඩු කර ගන්න එපා මම නිසා" මම කියනවා  . තිලක් ටිකක් කල්පනා කරනවා . ඉන් පස්සේ  මෙහෙම කියනවා .

"හරි මරු වැඩක්  තියෙනවා , අපි පිලිප් අයිලන්ඩ් යමු" . 

දවස් කීපයකට පස්සේ තිලක් මාවත් අරගෙන ෆිලිප් අයිලන්ඩ් යනවා . පිටිපස්සේ ඇලුමිනියම් රාමුවක් පටවාපු ලොකු වැන්  එකක යන ගමන් තිලක් කියනවා මේ ගමන ගැන , තිලක් මට කතා කරන්නෙත් තිලක් කියල 

' මෙහෙමයි තිලක් මේ ගමන මම අපේ ගෝල යෝ දෙන්නෙක් යවන්න හිටියේ . ගෝලයෝ කිව්වත් මේ රටේම උපන් සුදු ජාතිකයෝ තමයි. ඒත්  මට මේ ක්ලයන්ට් හිතට අලල්ලා ගියා . අනික ඔයාටත් මේ මනුස්සයා ගැන ලියන්න දේවල් තියෙයි".

අපි ඒ ක්ලයන්ට ෆිලිප් කියල කියමු. මෙල්බර්න් නගරයෙන් කිලෝමීටර් එකසිය හතළිහක්  විතර දකුණට වෙන්න පිහිටි පිලිප් දුපත ආකර්ශනීය සංචාරක පුරයක්. නිවාඩු නිකේතන හා දර්ශනීය වෙරල නිසා විතරක් නෙවෙයි පෙන්ගුයින්ලා බලන්නත් , සිල් මත්ස්‍යයෝ බලන්නත් කාර් රේස් පදින්නත්  මහා ලොකු පිරිසක් මේ දිවයිනට එනවා . 

 ගිය මාසේ දවසක ෆිලිප් මෙල්බර්න් වලට එන්නේ තමන්ගේ කන්තෝරුවේ පොඩි පාර්ටිෂන් එකක් කරගන්න කවුරුහරු හොයාගෙන. තිලක්ගේ ෂෝරුම්  එක දැකල එතනට එනවා  . :මට මේ වගේ වැඩක් කර ගන්න හියෙනවා ෆිලිප් දුපතේ" . 

තිලක් කල්පනා කරනවා . එච්චර දුරක් ගිහින්  වැඩක් කරණ එක පාඩුයි. අනික මෙෂර්මන්ට් එක ගන්නත් එක පාරක් යන්න ඕනිනේ .

තිලක්ගේ හිත කියවපු ෆිලිප් මෙහෙම කියනවා .

' මම මෙෂර්මන්ට් එක අරගෙන ආවා . මෙන්න මගේ අත්  අකුරින්ම ලියල තියෙනවා. ඔයාට තියෙන්නේ මේ ගානට ෆ්‍රේම් එක හදවලා කාව හරි එවල හයි කරන්න .. මම දන්නවා ගාන  ටිකක් වැඩිපුර යනවා කියල දුර නිසා . ඒ ඔක්කොම අල්ලලා ඔයාගෙ ගාන කියන්න '

ටිකක් කල්පනා කරපූ තිලක් කියනවා  ' ළඟ පාතකනම් ඔය වැඩේට ඩොලර් එක්දාස් පන්සියක් යන්නේ . දුර එන්න තියෙන නිසා එක්දාස්  අටසීයක්වත් ඕනි. අනික ඒකෙන්  බාගයක් ඇඩ්වාන්ස් එකක් ගන්න වෙනවා '

ෆිලිප් මෙහෙම කියනවා . 

"ඇඩ්වාන්ස් කතාවක් ඕනි නෑ . මම මුළු ගානම  දෙන්නම්. මෙන්න තියෙනවා ඩොලර් දෙදාහක්ම" .

 අන්න එහෙම කියපු ෆිලිප් හම්බ වෙන්න තමයි අපි මේ යන්නේ . පැය  එක හමාරක් විතර යනකොට අපි  දර්ශනීය පිලිප් දුපතට ලඟා වුනා. ලස්සන ලස්සන සංචාරක නිවාස, උද්‍යාන,නැරඹුම් ස්ථාන පහුකරගෙන අපි පිලිප්ගේ ගෙදරට ළඟාවූනා .

මුහුද අයිනේ ලස්සනට හදාපු නියම ගෙස්ට්  හවුස් එකකුත් බෝට්ටු වැඩපොලකුත් ඔහුගේ ඉඩමේ තිබුනා . 

තිලක් කෙලින්ම ගියා පාර්ටිෂන් එක කරන්න ඕනි තැනට . ටේප් එක අරන් මැන්නා. ඔලුව කැසුවා. 

'මේ මෙෂර්මන්ට් එක වැරදියිනේ. මම ගෙනාපු ෆ්‍රේම් එක මේකට හරි යන්නේ නෑ . මේ බලන්න  ඔහේ ලියල දීපු  මෙෂර්මන්ට් එක. දැන් මට ආයේ පාරක් එන්න වෙනවා.' තිලක් නෝක්කාඩුවෙන් කිව්වා . ෆිලිප් ඉතාම ශාන්ත විදිහට උත්තර  දුන්න . 

' මමත් ගෝලයෙකුට කියල ඔය මිනුම ගත්තේ. මගේ වැරැද්ද පිලිගන්නවා. අපි වැරැද්ද නිවැරදි කරලා ඉවරවෙලා ඉතිරි ටික කතාකරමු" කියල ඔෆිස් කාමරේට ගියා . "මෙන්න ඔයාගේ අද දවසේ ගාස්තුවයි ට්‍රාන්ස්පෝර්ට් වියදමයි . මේ ගැන අමනාප වෙන්න එපා. ආයේ දවසක නිවාඩුවේ මේ වැඩේ කරමු" ෆිලිප් එහෙම කිව්වම තිලක්හේ හිත උණු වුනා . '  වෙච්ච දේ වුනා . මේකට සල්ලි එපා. ආයේ දවසක මම ඇවිත් මේක ෆික්ස් කරලා යන්නම් ;

ඒත් ෆිලිප් පෙරැත්ත කරලම   අලාබය ගෙව්වා.

මේ සිද්දිය බලාගෙන හිටි අමුත්තා වෙච්ච මං  දිහාට පිලිප් ඇවිදගෙන එද්දී තිලක් මාව ඔහුට හඳුන්වල දුන්න . 'ඉතින් ඔබ දැන් කොහෙද පදිංචි වෙලා ඉන්න රට ? පිලිප් ඇහුව 

ශ්‍රී ලංකාව මම කිව්වා.

පිලිප් මා දිහා අනුකම්පාවෙන්   බැලුවා. 

මට බොහොම කනගාටුයි උඹල රටේ මේ දවස්වල තියෙන ප්‍රශ්න ගැන. ලංකාව් කියන්නේ මම .කැමතිම රටක්. මගේ වැඩවලට ලංකාවෙන්  ආපු විසිපස් දෙනෙකුට මම රස්සා ගන්න ස්පොන්සර් කරලා  තියෙනවා .

මේ වියපත් , ප්‍රසන්න  සුදු ජාතිකයාගේ ප්‍රභාමත් දෑස  දුටු  මට මිට දශක ගණනකට ඉස්සර වේයන්ගොඩ කෝච්චියේදී රෝයිට හමු වූ සුදු ජාතිකයා මොහුමදැයි සැකයක් මතු වුනා . 

සටහන : ෆිලිප් දුපතට ඒ නම ලැබිල තියෙන්නේ 1788 දී එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාවාට පැමිණි පළමු  නාවික  සමුහයේ ආණ්ඩුකාරයා වූ සර් ආතර් ෆිලිප් සමරනු සඳහායි. 

(කතාවට යොදාගත් සමහර  නම්ගම් මනක්කල්පිතයි )

Sunday, December 18, 2022

අහුබුදු දුන් බබාගේ නම

 

මට ඉස්සෙල්ලම අරීසෙන්  අහුබුදු  කියන නම  කියවන්න ලැබුනේ පරණ රසවාහිනි සඟරාවල තිබිලා. ඔහු හැම මාසෙම වගේ  ඒවාට ශාශ්ත්‍රීය ලිපි ලිව්වා .ඊට ගොඩක් කාලෙකට පස්සේ මම  ඔහුගේ ගෙදරට පේන  දුරින් ජිවත් වුනා .ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ  බේකරිය හන්දියට කලින් පාරේ දකුණු පසට  වෙන්නට සාදා  තිබු කලාපුරේ ගෙවල් දීලා තිබ්බේ රටේ ප්‍රවීන කලාකරුවන්ට.  මට එහෙ ගේක ටික කාලයක්  ඉන්න ලැබුනේ මම කලාකරුවකු වෙච්ච  නිසා නෙවෙයි  කලාකරුවකුගේ පුතෙකුගේ මිත්‍රයෙක් වෙච්ච අසෝක  කරපු උදව්වක් හැටියට  . 

තාවකාලිකව වසා දමා තිබ්බ  මේ ගෙදර ලැබීම අපිට ලොකු  අස්වැසිල්ලක් වුනේ ඒ වෙනකොට අපි කාටවත්  කොළඹින් ස්ථිර තැනක් තිබුනේ නැති නිසා  .කලා පුරයේ ජීවත්වෙමින් මාසික සඟරාවක්ද  ළමා පත්තරයක්ද සකසමින් අපි  ගෙවූ  කාලය ගැන තව වෙනතුරු බ්ලොග් සටහනක් ලියා නැත්තේ ඒ කතාව එහෙම ලේසියෙන් පාසුයෙන් ලියන්නට  බැරි තරම් සංකීර්ණ නිසා . හපන්කම්, මෝඩකම්, අපරිණතකම් මැද  ණය  කාරයෙක්ද , තරහකාරයෙක්ද, පෙම්වතෙක්ද විදිහට  විවිධ චරිත රඟ පෑ  මේ කාලයේ මට බොහෝ විචිත්‍ර  මිනිසුන් ඇසුරු කරන්නට ලැබුණා . ඒ ගැන වෙනම ලියන්නම්. . කලාපුරේ ඉද්දි හමුවුනු  කිහිප දෙනෙක් නම් ඉදිරිපස නිවසේ විසු ලයනල් අල්ගම, , වම්පස නිවසේ විසු පියසර ශිල්පාධිපති , ගෙවල් කීපයක එපිටහින්  විසු අරීසෙන්  අහුබුදු වගේ නම් දරපු පුද්ගලයන් .

 ළමා පත්තරයකට  කතා කීපයක් ඉල්ලා  ගන්නට මම අරීසෙන්  හහුබුදු හමු වුනා . දවසක් දෙකක් එහෙ ගියා.  ගල්කිස්ස මුහුදේ ඉර ගිලෙන්න කිට්ටුව ලා රතු පාට සන්ධ්යාලෝකය මැද විවෘත ආලින්දයට වෙලා  හාන්සිපුටුවක වාඩි  වී ප්‍රසන්න මුහුණින් සිටි අහුබුදුවන්  මට රජගොනා හා වප්මගුල ගැන කතාව කිවා . තවත් ළමා කතා කීපයක් කිව්වා .. ඒ කතා සේරම වගේ ඒ වෙනකොට පළවෙලා  තිබුනා.  දෙතුන් වතාවක් ගිහින් කතා කර කර හිටියට අලුත් කතාවක් ලියා ගන්න බැරි වුනා . මෙහෙම ගෙවිච්ච කාලෙන් පස්සේ මට කලාපුරෙන් නික්මිලා කඩවතට යන්න වුනා . හුණුපිටියේ  රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රස්සාවට ගියා . මෙන්න බොලේ මගේ අල්ලපු මේසේ ඉන්නවා අරීසෙන්  අහුබුදුගේ පුත්‍රයා උදම් . අපි දෙන්න ටික කාලයක්  උදේ හවා මුණ ගැහුනා  . අරීසෙන් අහුබුදුගේ බබාලට නම් දැමීමේ වැඩේ නගලම  ගියේ මේ කාලේ.   ඔහු  ව්‍යාපාරික නම් රාශියක් දාල තිබ්බ.  මම අහල තිබ්බ විදිහට උපාලි ප්‍රකාශන වෙච්ච දිවයින , විදුසර, වත්මන වගේ නම් ඔහු දාපුවා. මෙහෙම නැගල යන නමක් දාන්න  හොඳ බිස්නස් ඉවකුත් තිනන  ඕනි .  

ඒ දවස්වල අපේ කන්තෝරුවේ මගේ එහා පැත්තේ හිටි මිත්‍රයට තොරතෝංචියක් නැතිව ඉල්ලීම්  එනවා. කන්තෝරු මිත්‍රයෝ  ඔෆිස් බස්  එකේදී , කෝච්චියේදී  කයිවාරු ගහල තිබ්බේ අපි එක්ක තමයි අහුබුදුගේ පුතා වැඩ කරන්නේ කියල . ඉතින් කාගේ හරි දුර නෑයෙක්ට  බබෙක් හම්බුනොත් "අනේ අහුබුදු මහත්තයට කියල නමක් දාලා  දෙන්නකෝ" කියනවා . ඉතින් තාත්තට නෙවෙයි පුතාට කියල තමයි නම ඉල්ලන්නේ  . "අනේ මල්ලි තරහ නැතිව තාත්තට කියල හොඳ නමක් දාලා  දෙන්නකෝ අපේ ලොක්කු අම්මගේ දුවට පුතෙක් හම්බවෙලා උයන්න හරි ඔයන්න හරි කමක් නෑ "  . අපි ඉතින් හිනා වෙනවා . උදම් කියනවා මේවා අපේ තාත්තට කිව්වොත් බැනුම් අහන්න වෙනවා කියල. කොහොම හරි අර බබාට  නමකුත් දවසකට  දෙකකට පස්සේ ලැබෙනවා. මම දන් නෑ  ඇත්තටම තාත්තට කියල නම ලියා ගත්තද නැත්නම් තාත්තගේ ලිස්ට් එකින් ගත්තද කියල . 

හැබයි මමනම් අහුබුදු මහත්තයාගේ නම් ලිස්ට් එකෙන් සෑහෙන්න වැඩ ගත්තා . ඒ කාලේ වෙනකොට තිබ්බේ බොහොම සරල නම් ලැයිස්තුවක්. පස්සේ තමයි ඒ ලිස්ට් එකට වයිවාරන්න නම් එකතුවෙලා තරමක විකාරයක් වුනේ. අනික අර මුල් ලිස්ට් එකේ තිබ්බ නම් අලුත් , අන්කොමන්  නම් . ඒත්  ටික කාලෙකට පස්සේ ඒ නම්  හැම තැනින්ම ඇහෙන්න පටන් ගත්තා . අපේ දුවලගේ පන්තිවල හරි අඩකට වඩා තිබ්බේ අහුබුදුගේ මුල් ලයිස්තුවේ නම් .  

අපේ ලොකුදුව හම්බුනාම  අපි දෙපාරක් නොහිතම කතාවුනා අහුබුදු ගෙදරට ගිහින් නමක් ඉල්ලා ගන්න .

ඉතින් මම හවස වැඩ ඇරිලා  ගියා කාලෙකට පස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අහුබුදු නිවසට . එදා මම යනකොටත් ඔහු විවෘත ආලින්දයේ හිටියේ . අමුත්තෙකුත් හිටියා වගේ මතකයි. මම දුවක් හම්බුනා නම දාගන්න ආවේ  කිව්වම . මට කිව්වා " දුත ලක්ෂණ අනුව වාසනාවන්ත ළමයෙක් ලැබිල තියෙන්නේ  නැත්නම් මෙච්චර හැන්දෑ වෙලා මම කාටවත් නම් දෙන්නේ නෑ  . අපි කේන්දරෙත් හදමු" කිව්වා  . මම  කේන්දරවත්  දුත ලක්ෂනවත්  විශ්වාස කලේ නැතත් මේ කතාව ගිහින් කිව්වට පස්සසේ ළමයින්ගේ ආච්චි අම්මලා  එහෙම අතිශයින් සතුටු  කරන්න පුළුවන් කියල මතක් වෙලා මම සතුටින්ම අහගෙන හිටියා. 

මට නම් ලැයිස්තුවක් ලියල දීලා අහුබුදු මහත්තයා මෙහෙම කිව්වා . 

' පුතාගේ යාලුවෙකුත් හින්දා නම දානවට සල්ලි ගන්න බෑ '  එහෙම කියල ආයේ මෙහෙමත් කිව්වා . "හැබැයි මම කේන්දරේ හදල දෙනවා පස්සේ වෙලාවක එන්න" කියල . ආයේ කිසිදාක මට අහුබුදු ගෙදරටවත් කලාපුරේටවත් යන්න බැරි වුනා .

ඉතින් දූට  අරිසෙන් අහුබුදු මහත්තයා යෝජනා කරපු නම තමයි ' පුල්මි මිහාරා' පුල්මි කියන්නේ පිරුණු මැණිකය මිහාරා  කියන්නේ මිහිරි ගංගාවය කියලත් කිව්වා මතකයි  . ඒත් අපි ගෙදර ඇවිත් දැම්මේ වෙනම නම් ටිකක් . ලිස්ට් එකේ වෙන තැන්වල තිබ්බ නම්  දෙකක් එකතු කරලා දැම්ම . පොඩි දුවගේ නම දැම්මෙත් ඒ විදිහට .   

ඔහු කි  නම්වල තේරුම් ගැන සමහර භාෂා විශාරදයෝ එකඟ වුනේ නෑ . ඒ වගේම ඔය සරල නම් ලස්සන නම් මොකක්වත් පිටරටකට ගියාම වැඩකුත් නෑ . මට ඊයේ පෙරේදා හම්බුනා පිට රටක ඉන්න මගේ යාලුවෙක් . ලස්සන කෑලි  තුනේ නමක් තිබ්බ  මිනිහ කියනවා මචන් මගේ පරණ නම කිව්වට මෙහෙ කවුරුත් මාව දන්නේ නෑ  . මගේ නම දැන් ජෝන්   කියල . 

Image : Freepik

Saturday, October 22, 2022

ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද ?


ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද නැද්ද ? මේ ප්‍රශ්නය මම  ප්රෝජෙක්ට් මැනේජ්මන්ට්  උගන්නා සිසුන් පිරිසකට යොමු කළෙමි. සමහරු ඔව් කීහ . සමහරු නෑ  කිහ . ඉන්පසු මගේ අදහස් දැන ගැනීමේ කුහුලින් ඒ සියලු දෙනා බලා සිටියෝය. මේ සමග ඇරඹුණු කතා බහ ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් සම්බන්ධ බොහෝ  අහුමුලු කතා කිරීමට මුලාරම්භයක් වුනේය. 

මට අනුවනම් එය ප්‍රොජෙක්ට් එකක් හෙවත් ව්‍යාපෘතියකි . ඉතා සංයුක්ත හෝ පැහැදිළි  නොවුනත් එහි අරමුණු තිබුනේය. ඊට බල පෑ පසුබිම් අවශ්‍යතාවක්  තිබුනේය.  ඊට කාලයක් වැය වුනි. කෙතරම් කාලයක් වුවමනාදයි මුලින් දැන සිටියේ නැත. එයට පිරිවැයක් තිබිණි. ඒ ශ්‍රමය, මුදල් හා ද්‍රව්‍යමය ආධාර යනාදියයි . 

එය අවසන් වුනාද නැත්නම් එහි කොටසක් පමණක්  අවසන් වුනාද කියා හරියටම කියන්නට බැරිය. යමක් ඩිලිවර්  වූවානම් එසේ  ඩිලිවර්  උනේ මුලින් අරමුණු කළ  දේද නැතිනම් ඉන් කොටසක්ද එසේත් නැතිනම් වෙනස්ම දෙයක්ද යන්න විමසා බලා තීරණය කළ  යුතුය. 

අපි ව්‍යාපෘති කළමනාකරණය යන මාතෘකාවට යමු. 

ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (PMI) විසින් ව්‍යාපෘතියක් අර්ථ දක්වා ඇත්තේ මෙසේය :

"ව්‍යාපෘතියක් යනු නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත ඕනෑම තාවකාලික ප්‍රයත්නයකට නිශ්චිත ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්යයන් අනුපිළිවෙලකි"

මෙම නිර්වචනය  වඩාත් විස්තාරනය කර ඇත

ව්‍යාපෘතිය යනු අද්විතීය නිෂ්පාදනයක්, සේවාවක් හෝ ප්‍රතිඵලයක් නිර්මාණය කිරීමට ගන්නා තාවකාලික උත්සාහයකි. ව්‍යාපෘතිවල තාවකාලික ස්වභාවය ව්‍යාපෘති කාර්යයේ ආරම්භයක් සහ අවසානයක් හෝ ව්‍යාපෘති කාර්යයේ අදියරක් පෙන්නුම් කරයි. ව්‍යාපෘතිවලට තනිව ක්‍රියාත්මක වීමට  හෝ වැඩසටහනක  කොටසක් විය හැකිය

නිර්වචනය පවසන්නේ ව්‍යාපෘති තාවකාලික බවයි. එබැවින් ව්‍යාපෘතියකට නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් ඇත

ව්‍යාපෘති කුඩා කාර්යාල මාරු කිරීමේ සිට ගුවන් තොටුපළක් ඉදිකිරීම දක්වා විවිධ පරිමාණයන්ගෙන් යුක්ත වේ.

ව්‍යාපෘතියේ සංකීර්ණත්වය සහ පරිමාණය අනුව, ව්‍යාපෘති පිරිවැය, කාල නියමය සහ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ ප්‍රමාණය වෙනස් වේ.

ඔබ ඔබේ කාර්යාලය මාරු කිරීමට තීරණය කළා යැයි සිතන්න. එය තාවකාලික කාර්යයකි. නමුත් තවමත්, එයට නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් ඇත.  එයට මුදලක් වියදම් වේ .කාර්යාලයේ බඩු  මූට්ටු වලින් ප්‍රවාහනය  කළ යුතු දේ, ඔබ මාරු කරන්නේ කොතැනටද, සහ මාරු කරන්නේ කෙසේද යන්න ව්‍යාපෘති විෂය පථය තීරණය කරයි. එමනිසා, කාර්යාලයක් මාරු කිරීම ව්යාපෘතියක සියලු ගුණාංග ඇත.

අපගේ එදිනෙදා ජීවිතයේදී හෝ නිවසේ හෝ රැකියාවේදී අප නිරත වන ක්‍රියාකාරකම් රාශියකි. ඒවායින් සමහරක් ව්‍යාපෘතිවල කොටසක් වන නමුත් ඒවායින් බොහොමයක් අපගේ කාර්යයේ නිත්‍ය කාර්යයන් සඳහා පුනරාවර්තන ක්‍රියාකාරකම් වේ. මෙම පුනරාවර්තන ක්‍රියාකාරකම් මෙහෙයුම්(operations) ලෙස හැඳින්වේ. කාර්යාලය පිරිසිදු කිරීම, සාමාන්‍ය නඩත්තු කිරීම, රැස්වීම් පැවැත්වීම සහ කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් මෙහෙයුම් සඳහා උදාහරණ වන අතර කාර්යාලයක් මාරු කිරීම, නිවසක් අලුත්වැඩියා කිරීම සහ ඔබේ කාර්යාලයේ නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම ව්‍යාපෘති සඳහා උදාහරණ වේ.

ඊළඟ ප්‍රශ්නය: ව්‍යාපෘති කළමනාකරණය යනු කුමක්ද?

'ව්‍යාපෘති කළමනාකරණය' යන යෙදුම පිළිබඳ බොහෝ නිර්වචන ඇත, නමුත් මම PMI විසින් ලබා දී ඇති අර්ථ දැක්වීමට කැමැත්තෙමි;

"ව්‍යාපෘති කළමනාකරණය යනු මිනිසුන්ට වටිනා දෙයක් ලබා දීම සඳහා නිශ්චිත දැනුම, කුසලතා, මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමයි"

 ව්‍යාපෘතියකට නායකයෙකු අවශ්‍යයි; ව්‍යාපෘති කළමනාකරණ පරිසරය තුළ, ඔවුන් ව්‍යාපෘති කළමනාකරු (PM) ලෙස හැඳින්වේ. ව්‍යාපෘති කළමනාකරුට ඔහුගේ කාර්යයන් ඉටු කිරීමට සහාය වීමට කණ්ඩායමක් අවශ්‍ය වේ.

පාර්ශවකරුවන් හෙවත් stakeholdersලා  යනු ව්‍යාපෘති සඳහා විවිධ අවශ්‍යතා සහ බලපෑම් ඇති පුද්ගලයින් ය.

ව්‍යාපෘතියක ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ව්‍යාපෘති හිමිකරු, ව්‍යාපෘති කළමනාකරු, ව්‍යාපෘති කණ්ඩායම, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ තරඟකරුවන් ය.

මේ නයින් ගත්  කළ  ගෝල්ෆේස් අරගලය ව්‍යාපෘතියකි . දැන  හෝ නොදැන එය ක්‍රියාත්මක වුනේ  agile  ක්‍රමවේදයටය  . අවසාන අරමුණ පිලිබඳ දළ අදහසක් මුලින් තිබ්බා වුනත් එය ඉතා පැහැදිලි හා සවිස්තර එකක් නොවුනේය. ඒ නිසා අවශ්‍යතාවය  වරින්වර විශාල ලෙස වෙනස් වුනේය. පාර්ශවකරුවන් හෙවත් ස්ටේක්හෝල්ඩර්ලා මහ ගොඩක් හිටියෝය. සමහරවිට එය රටේ ජනගහනයෙන් සැලකියයුතු කොටසක්  වුනේය. මුලින් මුලින් අරගලකරුවන් ක්‍රියාත්මක වුනේ ස්වකාර්යසාධක කණ්ඩායම්  හෝ self performing  teams   හැටියටය. වැඩවල ප්‍රගතිය හෝ වැඩ පෙන්වන  හැටියට එතැන මෙහෙයවන්නකු වීමත්, විනය පාලකයා වීමත්, පහසුකම් සපයන අංශයේ සාමාජිකයෙක් වීමත්  පිරිස අතරින්ම තීරණය වුනේය .  නිසා එය agile  ක්‍රමයට ක්‍රියාත්මක වුනු ව්‍යාපෘතියක් යැයි  යෝජනා කරන්නට පුළුවන. එනමුත් එයට ප්‍රොජෙක්ට් මැනේජර්  කෙනෙක්වත් , ස්ක්රම්  මාස්ටර් කෙනෙක්වත් ප්‍රොඩක්ට් ඔව්නර් කෙනෙක්වත් හිටි බවක් නොපෙණින. 

මේ සියලු දේ සපිරී පැහැදිළි  අරමුණක්‌ , ක්‍රියාවලිය තෝරා  ගැනීමක්, කලයුතු දේ හඳුනා ගෙන කාල සැකසුම් කිරීමක් , නිසි කණ්ඩායම් හැසිරවීමක්, සන්නිවේදන කළමනාකරණයක් , අවදානම් කලමනා ක රණයක් තිබුනේනම් ගෝල්ෆේස් ප්‍රොජෙක්ට් එක වැනි අති සංකීර්ණ ව්‍යාපෘති පවා සාර්ථකව නිමා කළ  හැකිය . ආණ්ඩු පෙරළීම  හා පත් කිරීම කෙසේ වෙතත් ඉතා ප්‍රශස්ත මට්ටමේ සමාජ, ආර්ථික දේශපාලන මොඩලයක් කෙටුම්පත් කරගෙන ස්ථාපිත කිරීම සඳහා බලසම්පන්න ලෙස බ්‍රෑන්ඩ් කළ  හැකිව තිබිණි . 

ඒත්  කලබල විය යුතු නැත සමහර ප්රෝජෙක්ට්වල  වටිනා ප්‍රතිඵලය ලෝකයට නිරාවරණය වන්නේ නැතිනම් හරියටම තේරුම් යන්නේ ප්‍රොජෙක්ට් එක අවසන් විත්  අවුරුදු ගානකට පසුවය. 

( ප්‍රොජෙක්ට්  මැනේජ්මන්ට්  ගැන ලියවෙන ලිපි පෙළක පළමුවැන්න මෙයයි . උප ඇමතිලා පත්කිරීම, සමහර පක්ෂ ඉක්මනින් කඩා වැටීම, අහිංසක ගැමියෙක් මහා ව්‍යාපෘතියකදී අවලංගු වන හැටි වගේම ඇමෙරිකානු  තානාපතිනිය  අරගලය උත්සන්න වූ දිනෙක ට්විටර් පණිවිඩයක් යවා inclusive  government  එකක් පිහිටුවන්නැයි  කළ ඉල්ලීම  ගැනද ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්  යටතේ කතා කළ  හැකිය .)