Saturday, December 7, 2024

සබිහාගේ ගුවන් තොටුපලට ගියෙමි -ඉස්තාන්බුල් දිනපොත 6

 

සුගිය ජූලි මාසයේදී මගේ  බිරිඳ ලංකාවේ සිට ඉස්තාන්බුල් බලා ඒමට ගුවන් ටිකට්පතක් වෙන් කර ගත්තා.  මම මේ රටේ තරමක් කාර්යබහුලව සිටි  නිසා ටිකට් බුක් කරන  වැඩේ ගැන හොයා බලන්නට බැරි වුනා . මුදල් ගෙව්වාටත්  පස්සේ ටිකට් එකේ විස්තර කියවනකොට තමයි මට දෙලොව රත් වුනේ. ඉස්තාන්බුල් නගරයේ ජාත්‍යන්තර  ගුවන්තොටුපළවල් දෙකක් තියෙන බව ඇයට අමතක වෙලා . මට ඒ ගැන කියන්නත්  අමතක වුනා .  ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ( IATA ) සංකේත අංක  අනුවනම් IST කියන්නේ ඉස්තාන්බුල් නව ගුවන්තොටුපල . ගුවන්පථ  පහකින් යුත් තවත් දෙකක් ඉදි කෙරෙමින් තිබෙන නව ඉස්තාන්බුල් ගුවන් තොටුපල තියෙන්නේ ඉස්තාන්බුල් යුරෝපිය කොටසේ. එය හීත්රෝ ගුවන්තොටුපල හැරුණු විට යුරෝපයේ තිබෙන කාර්ය බහුලම ගුවන් තොටුපල . මගේ නිවහනට  තරමක් ආසන්නයි. අපේ ගෙදර කිට්ටුවෙන් තියෙන මෙට්‍රෝ ස්ටේෂමෙන් නැගල කෙලින්ම ගුවන්තොටුපලටම  යන්න පුළුවන්.  විනාඩි විස්සේ මෙට්‍රෝ දුම්රියේ ගමනක් .  ඒත්  ආසියානු කොටසේ පිහිටි SAW සංකේත දරණ ගුවන්  තොටුපල තියෙන්නේ ඉතා දුර බැහැර. බොස්පරස් සමුද්‍ර තීරය  හරහා ගිහින් තව දුර යන්න ඕනි .

ඒ නිසා අපි මුලින්ම උත්සහ කලේ  ගුවන් ටිකට් පත වෙනස් කර ගැනීමට. ගමනාන්තය විදිහට අලුත් ඉස්තාන්බුල් ගුවන්තොටුපල වෙනස් කරගන්න උත්සහ කරත් වැඩේ හරි ගියේ නෑ .ගිම්හාන නිවාඩුවට යන එන මගී ඉල්ලුම වැඩියි . අනෙක ආසියානු කලාපයේ මේ කියන ගුවන්තොටුපලට එන යානාවල මිල තරමක් අඩුයි. බජට් එයාර්ලයින් හා රට අභ්‍යන්තරයේ ගමන් කරන යානා තමයි වැඩිපුර ගැවසෙන්නේ .

ඔන්නොහෙ මේ අලුත් අත්දැකීමත් විඳගන්න ඕනි කියල හිතල මම අපේ පරිවර්තිකාවගෙන් ඇහුව සබිනා ගෝකන් එයාර්පෝර්ට් එකට යන්නේ කොහොමද කියල . ඒ මම අකුරු දිහා බලල නම කියවපු විදිහ.   ඒක  සබිනා ගෝකන් නෙවෙයි. 'සබිහා ගොක්චාන්' අපිට ඉස්කෝලවල උගන්වන වීර චරිතයක්.'ඇය  කිව්වා.
 ඉතින් මම හිතුව  මේ කියන්නේ පරණ රජ කෙනෙක් හෝ දේශපාලකයෙක් වෙන්න ඇති කියල . නෑ ඇය ගුවන් නියමුවරියක් බව දැන ගත්තේ මම අහපු ඊළඟ විස්තරේ නිසා
 ' ඔයා ඔය  යන්නේ ගුවන් නියමුවරියක්ගේ නමින් තියෙන ලෝකේ එකම ජාත්‍යන්තර  ගුවන් තොටුපලට . බය වෙන්න දෙයක් නෑ , මෙහෙ  එයාර්පෝර්ට් දෙකටම මෙට්‍රෝ තියෙනවා. ටැක්සියෙන් යන්නත් පුළුවන් . ඒත් ට්‍රෆික්වලට අහුවෙන් නැතිව සුවපහසුව අඩු මුදලකින් යන්න මෙට්‍රෝ එකේ පුළුවන් . ටිකක් කලින් ගියාම හරි ' . ඒ කතාව ඇහුණාම මට අලුත් ගමන ගැන  අමුතු උනන්දුවක් ඇතිවුනා . අනෙක සබිහා ගොක්චාන් ගැන හොයන්නත් තියෙනවනේ .

ගුවන් තොටුපලට යාමට පවා මේ නගරයට එන  දෙස් විදෙස් බොහෝ පිරිසක් යොදා ගන්නේ මහජන ප්‍රවාහන මාර්ග. බස්, ට්‍රෑම් , මෙට්‍රෝ හා මගී යාත්‍රාද එකම ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කාර්යක්ෂම ප්‍රවාහන සැලැස්ම ගැන මම පස්සේ ලියන්නම්. මේ සියල්ලටම එකම කාඩ්  එකකින් ගෙවන්න පුළුවන්. ඒ වැඩේ ලංකාවේදී කරන්න අපි වරින්වර දරපු උත්සහ වතුරේ ගිය හැටි මට මේ ගමන්වලදී නිතර මතක් වෙන දෙයක්.
එදා සෙනසුරාදා දවසක  මුල්වරට  ආසියානු  කලාපයේ ගුවන්තොටුපළට  යන්න පිටත් වුනේ යානය එන්න පැය දෙකකටත් කලින් . මේ ගමනට මගේ මිතුරෙකුත් එකතු වුනා . මුලින්ම ගෙවල් කිට්ටුව තිබ්බ මෙට්‍රෝ  ස්ටේෂන් එකෙන් දුම්රියේ නැගල ටික දුරක් ගිහින් තවත්  මෙට්‍රෝ ලයින් එකකට මාරුවෙලා අපි සේන්දු වුනා බොස්පරස් සමුදුරු ඇළ  ඉවුරේ පිහිටි ප්‍රසිද්ද තොටුපල නගරයකට. එහි නම යෙනිකපි . ඒ වචනේ තේරුම  'අලුත් දොරටුව' කියන එක. ඇත්තෙන්ම ඒක සංචාරකයන්ට අලුත් දොරටුවක් . මෙතනින් අනෙක් මහද්විපෙට යන මගී යාත්‍රා වගේම මුහුද යටින් යන මාමරායි  උමං  දුම්රිය ගන්නත් පුළුවන්. අපේ උඩරට මැණිකේ කියල කෝච්චියට කියනව වගේ මේ රටේ කෝච්චි පාරවල්වලට  නම් තියෙනවා. කෝච්චි පාරට කියන්නේ රායි කියල  . මාමරායි  කියන්නේ මාමරා මුහුද හරහා  යන කෝච්චි පාර . බුර්සා නගරයේ මෙට්‍රෝ දුම්රිය බුර්සාරායි  .

මුහුද යටින් යන දුම්රියේ ආසියානු කලාපයට ගිහින් එතනින් සබිහා ගොක්චාන් ගුවන්තොටුපලට යන්නම වෙන් කරලා තියෙන
මෙට්‍රෝ රියට ගොඩ වුනා .
කොහොමහරි සභිහා  ගොක්චාන් අලුත් ගුවන් තොටුපළට ළං වුනාට පස්සේ අපේ විඩාව දුරු වුණා. අනෙක ඒ ගමනේදී ඇස ගැටෙන  වටපිටාව හරි දර්ශනීයයි.   එය කුඩා හුරුබුහුටි  ගුවන්තොටුපලක් . අපේ කටුනායක ගුවන්තොටුපලට වඩා තරමක් විශාලයි . ඒත්  කටුනායක ගුවන්තොටුපලේ වගේ කිහිපගුණයක්  මගීන් හා යානා යනවා එනවා . ආපසු එන ගමනේ මම කලින් දවස්වල කියවපු හා විස්තර එහෙන් මෙහෙන් අහගත්ත සබිහා ගොක්චාන්ගේ කතාව බිරිඳට කිව්වා. ඇය කතන්දරයක් අහන පොඩි ළමයෙක් වගේ අහගෙන ආවා.

ඔයා දන්නවද සබිහා ගොක්චාන් කියන්නේ 1913 අවුරුද්දේ ඉපදිලා 2001 වෙනකම් ජිවත් වෙච්ච යුධ ගුවන් නියමුවරියක්. ඇය ලෝකයේ පළමු යුධ ගුවන් නියමුවරිය විදිහට ගිනස් පොතටත් ගිහින් . ලෝකයේ ගුවන්ගමන් ඉතිහාසය ගැන කතා කරද්දී ඇයට විශේෂ තැනක් අයිති වෙනවා . ඒ නිසාම තමයි ඇය මියගිය අවුරුද්දෙම විවෘත කරපු මේ ගුවන්තොටුපළ ඇගේ නමින් නම් කරලා තියෙන්නේ .
සබිහා කුඩා කාලයේදීම දෙමාපියන් මියගිය අනාත දැරියක්. ඇගේ පියා ප්‍රාදේශීය නිලධාරියෙක් . 1925 දී නවීන තුර්කියේ නිර්මාතෘ එවකට ජනාධිපති අටාටුර්ක්ට මේ දැරිය මුණ  ගැසෙන්නේ අපූරු විදිහකට. ඒ එවකට ඇය ජීවත්ව සිටි  බුර්සා නගරයේදී . රටේ නායකයාට මේ  විශේෂ දක්ෂතා තියෙන දැරිය මුණ ගැස්සවීමට කවුරුන් හෝ කටයුතු කරලා තියෙනවා . ඒ කතාබහ කරපු ටික වෙලාවේදී ඇගේ ඉගෙනගැනීමේ ආශාව හා කුසලතාව දකින ජනාධිපතිවරයා ඇය රැකබලාගෙන උගන්වන්න පියවර ගන්නවා . ඒ අනුව ඇයට අන්කාරා අග නගරයේ උසස්ම පාසැලක ඉගෙන ගන්න ලැබෙනවා , යන්තම් තුරුණුවියට එද්දී ඇගේ අගේ එකම සිහිනය  වූ ගුවන් නියමුවරියක් වීමේ ආශාව  ඉටුකර ගැනීමට ඇයට  ඒවියේෂන් පුහුණු පාසලකට යන්න ලැබෙනවා . 

ඒ වෙනකොට සියවස් ගණනක් සම්ප්‍රදායික අධිරාජ්‍ය පාලනයකට නතුවෙලා තිබ්බ තුර්කියේ සිටි කාන්තාවන් විවෘත ලෝකයේ ඉදිරියට ගැනීම සඳහා දිරිගැන්වීමේ රෝල් මොඩල් එකක් වෙන්න සබිහා ගොක්චාන්  සමත් වෙනවා. කාන්තාවන්ට අයත් නැති පිරිමින්ට වෙන් වූවායයි සලකුණ බොහෝ රැකියාවලට  කාන්තාවන් යොමුකරන රජයේ වැඩ පිළිවෙලට ඇය නිසා රුකුළක් ලැබුණා . 
නවීනත්වය, කාන්තාවන් හා ළමයින් ඉලක්ක කරගෙන පසුගිය සියවසේ මේ රට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සබිහා ගොක්චාන්  ඒ කාරියේදී  සන්නාම තානාපතිනියක් හැටියට ඉස්මතු වෙලා තියෙනවා    .ඇය ගැන මේ රටේ පාසල්වල උගන්වන බව අපේ කන්තෝරුවේ හිතවතෙක්  බොහොම ගරුසරු ඇතිව කිව්වා .
ඒ වගේම ගුවන් නියමුවරිය්ක් වෙනුවෙන් රටේ විශාලතම නගරයේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල නම්කරල ඇයට උපහාර දක්වන්න රජය හා රටවැසියන් කටයුතු කරලා තියෙනවා.
මම මේ කතාව  කිව්වට පස්සේ ආසන්න රුමෙනියාවට පැයක ගුවන් ගමනකින් නිතර යනෙන  මගේ මිතුරෙක් ඒ ගමන යන්න ළඟ තියෙන ගුවන් තොටුපළට නොයා පැය  දෙකක් මෙට්‍රෝ ගමනකින් ආසියානු කලාපයේ සබිහා ගොක්චාන්  ගුවන්තොටුපලට ගිහින් තිබ්බා .
අපි ඊළඟ වතාවේ  ලංකාවට එනකොටත් සබිහා ගොක්චාන් බලාගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ .

(මේ ලිපිය මුලින්ම පළවුනේ සිළුමිණ ඉරිදා සංග්‍රහයේය)

Sunday, December 1, 2024

බල්ලන් හා පූසන්ගේ නගරය -ඉස්තාන්බුල් දිනපොත 5

 

ම අපේ නිවාස සංකීර්ණයේ ඉහළ මහලක ඉඳන් පළවෙනි තට්ටුවට විදුලි සෝපානෙන්  බහිද්දි අටවෙනි තට්ටුවෙන් ගොඩ වුණු තරුණියක් බල්ලෙකුත් වඩාගෙන හිටියා. බොහොම හුරුබුහුටි  බලු පැටියා  මා දිහා බලමින් හෙමින් බුරන්නට වුණා. බල්ලාගේ හිමිකාරිය මා දෙස අහිංසක ලෙස බලා සමාව අයදින ආකාරයෙන් හිනා වුණා. මම පෙරලා මදහසක් පෑවා . ඒ අතරේ පස්වෙනි තට්ටුවේදී නතර වූ විදුලි සෝපානයට ගොඩ වූයේ වියපත් කාන්තාවක් .ඇය පසුපස පුෂ්ටිමත් දුඹුරු පැහැ බළලෙක් ගොඩ වුනා. කාන්තාව බළලා සමග කතා කරමින්ම සිටිද්දී  දෙවැනි තට්ටුවේ ලිෆ්ට් එක නතර වුනේ මුලින් කී  බල්ලා  කැටුව  යන කාන්තාවට බහින්න. ඒ අතරේ අර බළලාද එලියට පැන ගත්තා. වැඩිහිටි කාන්තාව බොහෝ කළබලයට පත්ව, බළලා නැවත ලිෆ්ට් එක තුලට  ගන්න උතසහ කරත් ඌ යලි ආවේ නෑ .විනාඩි දෙකක් තුනක් මේ නිසා අපට  ප්‍රමාදත් වුනා . ඔවැනි සිදදී මේ නගරයේදී ඉතා සාමාන්‍ය දේවල් .

බොහෝ ගෙවල්වල නෙක වර්ගවල බල්ලන් හදනවා  .බළලුන්  බොහෝවිට ජීවත් වන්නේ  ගොඩනැගිලි හා වෙළඳ සැල් ආශ්‍රිත උන්ටම වෙන්වූ අහුමුළුවල.  ඊට අමතරව පාරේ නිදහසේ ඔබ මොබ යන බල්ලන් හා බළලුන් එමට සිටිනවා . මම මේ මහල් ගොඩනැගිල්ලට මුලින්ම පදිංචියට  ආ සතියේ එළිමහනට ගොඩ වූ වෙලාවක  හොඳින් වැඩුණු බල්ලන් දෙදෙනෙක් මා දෙසට  ඇවිදගෙන ආවා. එකෙක් කළුයි අනෙකා සුදුයි. කළු බල්ලා  මා දෙස බලා නැවතී බුරන්නට වුනා . මේ සිද්දිය දුටු  අසලින් ගිය පිට්සා බෙදන තරුණයකු සිය බෑගයේ  වෙනම කොටසක දාගෙන තිබූ පීසා කැබලි කිහිපයෙන් දෙකක් බල්ලන් දෙදෙනාට දී මා දෙස හිතවත්ව බැලුවා. ඒ සිද්දියෙන් පසු කිසිම දවසක් මේ බල්ලන් දෙදෙනා මම එනු දැක බුරන්නට හෝ වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නෑ . දැන් අවුරුද්දක් තිස්සේ අපේ නිහඬ සමාදානය පවත්වාගෙන යනවා . 

තවත් දිනෙක මම සුපිරි වෙළඳ සංකීරණයක් යාබදව වැටී  තිබූ අඩිපාරක් දිගේ ඇවිදගෙන යද්දි මා ඉදිරියෙන් ගිය තරුණියක් එක වරම නතර වී  බලා සිටියා. ඉදිරියෙන් පාර හරස් කරගෙන සිටින කළු බල්ලකු එවිට මට පෙනුණා . මම දැනසිටි පරිදි මෙරට තරුණියන් ,තරුණයන් සහ ළමයින් බල්ලන්ට හා බළලුන්ට බය නෑ . පාරේ තොටේ දුටුවොත්  ඔවුන්ව අල්ලාගෙන හුරතල් කරනවා. ඒත් මේ තරුණිය බල්ලා සිටින පැත්තෙන්වත් යන්නට බයෙන් ඉන්නවා . ඉතින් මම ඇයත් සමඟ බල්ලා මඟහැර තරමක් ඉදිරියට යද්දී ඇය මට පැවසුවේ ඇය ඉස්තාන්බුල් නගරයේ පදිංචිකාරියක් නොවන බවත් අසල්වැසි රටක සිට ඉගෙන ගැනීමට මේ රටට පැමිණ බවත්ය. ඒ නිසා මේ නගරයේදී  දුටු බල්ලන් හා බළලුන්ට දක්වන ලෙන්ගතුකම ඉස්තාන්බුල් වැසියන් කෙරෙහි වූ විශේෂ ගතිගුණයක්. 

 ඉස්තාන්බුල් නගරයේ සිටින බල්ලන්ට හෝ පූසන්ට ස්ට්‍රේ හෙවත් 'අයාලේ යන' යන වචනය යෙදීම බොහෝ නගර වැසියන් ප්‍රතික්ෂේප කරනවා. මේ නගරයේ බල්ලන් හා පූසන් අයාලේ යන්නේ නෑ. මේ නගරය තමයි ඔවුන්ගේ නිවහන . ලක්ෂයකට අධික බල්ලන් සංඛ්‍යාවකුත් ඒ හා සමානම හෝ ඊටත් වැඩි බළලුන් ගණනකුත් ඉස්තාන්බුල් නුවර තැනින් තැන තමන්ගේ ගෙදර වගේ බොහොම තේජාන්විතව සැහැල්ලුවකින් සහ විශ්වාසයකින් ජිවත් වෙනවා. බොහෝ  නගරවාසීන් ඔවුන් සමඟ ඉතා මිශ්‍රශීලීව කටයුතු කරනවා. පාරේ සිටින බල්ලන්ට හා පූසන්ට කෑම බෙදමින් යන මිනිසුන් හා ගැහැණුන් සිය දෛනික රාජකාරියක් සේ සලකා එය ඉතාම භක්තියෙන් කරනවා. අපේ වැඩබිමට අසල ගම්වලින් පැමිණි බල්ලන් හත් අට දෙනෙකු  සිටිනවා. උන්ව හුරතල් කිරීම තමයි අපේ වැඩබිම් සේවකයන්ගේ කෑමෙන් පසු විවේක සතුට . 

සෑම සාප්පු හා නිවාස සංකීර්ණයක් අසලම වාගේ ලස්සන බළල් කුඩු හා බලු කූඩු තිබෙනවා. හොඳ බඳුන්වල කෑම හා වතුර දමා තිබෙනවා. මේවා හිස් වී තිබෙනවා දුටුවොත් ළඟම තියෙන කඩයට ගොස් හෝ කෑම පැකට්ටුවක් ගෙනවිත් දමන්න ඕනිම කෙනෙක් ඉදිරිපත් වෙනවා    . සමහර කඩ හිමියන් වතුර නලයකින් පාරේ සිටින බල්ලන් නාවනවා මම දැක තියෙනවා. බොහෝ නිවැසියන් සුරතලයට බලු පැටියෙක් හදනවා. පාරේ සිටින බළලුන් සුරතල් කරනවා. ඉස්තාන්බුල් නගරයේ බල්ලන් හා බළලුන් ගැන ලිපි ලේඛන හා වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය වී තිබෙනවා .  2016 වසරේ නිර්මාණය වූ ලෝ පුරා ජනාදරය දිනු Kedi වාර්තා චිත්‍රපටය එවැන්නක්  . 

මේ රටේ සිටින කාන්ගල් නම් ශෙපර්ඩ් වර්ගයේ  බල්ලන් දෙමුහුම් විශේෂයක් .මෙම බල්ලන්ගේ ජාන අනුව ඔවුන් කසකස්ථානය, උස්බෙකිස්ථානය හා තජිකිස්ථානය ආදී ටර්කික් රටවල සිටින බල්ලන් හා නෑකමක් දක්වන බව වරක් මම ලිපියක දුටුවා .   බල්ලන් ඉස්තාන්බුල් වැසියන් හා මේසා ලෙන්ගතු කමක් දක්වන්නේ දුරාතිතයේ පටන්, ඔවුන්ගේ බැටළුවන් බලා ගන්නට එකතු වූ නිසා වෙන්නට ඕනි . මේ ආකාරයෙන් බල්ලන් , පූසන් හා මිනිසුන් අතර බැඳියාවේ කතාව හැම විටම සුන්දර නෑ . බල්ලන්ට හා පුසන්ට කැමති මිනිසුන් මෙන්ම නොයෙක්  හිරිහැර නිසා නගරය උන්ගෙන් නිදහස් විය යුතුයි  කියන පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව දැඩි උණුසුම් හා දරුණු  ශීත  කාලයේදී බල්ලන් හා බළලුන් පීඩා විඳිනවා . අසනීප වූ හා හාමත් වූ බල්ලන් ගැන වැඩි වශයෙන් වාර්තා වුනේ කොවිඩ් වසංගත සමයේ. ඒත් ඒ දුෂකර සමයේත් සතුන් ගැන සොයාබලා  සහන සැපයු මිනිසුන්, ආයතන  හා සංවිධාන ගැන තොරතුරු සෑහෙන්න තිබෙනවා.  

 බල්ලන් නගරයෙන් ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහයන්ද දරා තිබෙනවා. ජල භීතිකා රෝගය හා සපා කෑම්  නිසා වරින්වර උන් නගරයෙන් වෙන් කරන යෝජනා ආවත් 2004 දී රජය බල්ලන් හා බළලුන් ආරක්ෂා කරගෙන ජන ජීවිතය හා සත්තව ජීවිතය යහපත්ව ගෙන යන විශේෂ නීතියක් සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව උන්ව රැක බලා ගැනීමේ  වගකීම පළාත්පාලන ආයතනවලට පැවරෙනවා .මේ රටේ සත්තව අයිතීන් පිලිබඳ බොහෝ ක්‍රියාශීලි සංවිධාන තියෙනවා. නගර සභාව විසින් විශේෂ මහන්සියක් මේ සතුන්  රැක  බලා ගන්නවා. ඔවුන් වන්ධ්‍යාකරණ හා එන්නත්කරන වැඩ පිලිවල් වගේම බළලුන් හා බල්ලන් වෙනුවෙන් ගිලන් රථ සේවාද පවත්වාගෙන යනවා. සතුන් රැක  බලා ගන්නා මධ්‍යස්ථාන හා ආහාරපාන වෙනුවෙන්ද සැලකියයුතු මුදලක් වෙන් කෙරෙනවා. නගරයේ මා දුටු සෑම බල්ලෙක්ගේම වගේ කණේ  කුඩා ටැග් එකක් දුටුවා . එහි අඩංගු වන්නේ බල්ලන්ගේ එන්නත්කරණ  හා වන්ධ්‍යකරන්‍ය හා අදාල වූ තොරතුරුලු . මේ ආශිත වූ දත්ත පද්දති පමණක් නවෙයි සතුන්ගේ තොරතුරු බෙදා හදාගෙන උන් රැකබලා ගන්නට කැප වූ ජන සහභාගිත්වයෙන් ක්‍රියාත්මක  වන මොබයිල් ඇප් කිහිපයක් ගැනද මට අසන්නට ලැබුනා .

 බල්ලන් හා බළලුන් නගරයෙන් වෙන් කරනවා වෙනුවට ඔවුන්ව අල්ලා එන්නත් කරන්නත්, වන්ධ්‍යකරණය කරන්නත්, උන්ට අහර හා සෙවණ සලසන්නත් ඉතා සාර්ථක වැඩ සටහන් කිර්යත්මකයි . ඉදිරි කාලයේදී උන් වෙනුවෙන් AI තාක්ෂනය ආශ්‍රිත පහසුකම්ද සැපයෙනවා නොඅනුමානයි . මොනවා උනත් ඉස්තාන්බුල් නගරයේ ජීවිතය  කියන්නේ පුරවැසියන්, මංමාවත් , ගොඩනැගිලි  හා ඉතිහාසගත ස්ථාන විතරක් නෙවෙයි. ඊට බල්ලන්  හා පූසන්ද ඇතුලත්  වෙනවා  .


-මෙහි මුල් කොටස 2024 නොවැම්බර් 10 දින සිළුමිණ පත්‍රයේ පළවිය 



Sunday, November 24, 2024

මගේ හපන්කම් හා ගෆුර් ගුලොම් -ඉස්තාන්බුල් දිනපොත 4

                     

ම කලක්  කසක්ස්තානයේ ඇතිරෝ   නගරාසන්න  ඛනිජ තෙල් කැණීම්  සම්බන්ධ සමාගමක   සේවය කළෙමි . ඇතිරෝ යනු කැස්පියන් මුහුද අද්දර පිහිටි භුගොලියව යුරෝපයට අයත් එහෙත් ආසියාතික නගරයකි. ඉස්තාන්බුල් යුරෝපීය කොටසත්ඒ වගේම පිහිටීමක් ඇති නගරයකි. එය භුගොලීයව  යුරෝපයේ තිබුනාට තාමත් ආසියාතික රටකට අයත් ආසියාවේ මුල් තිබෙන වැසියන් බහුතරයක් වෙසෙන රටකි . ඇතිරෝ නගරයේ සිට  කැස්පියන් මුහුදේ නැගෙනහිර ඉවුරට සමාන්තරව ස්ටෙප් තණබිම දිගේ කිලෝමීටර් තුන්සීය පණහක්  පමණ දකුණු දිසාවට යනවිට ටෙන්ගීස් ඛනිජ තෙල් ගම්මානය හමුවෙයි, මේ වැඩබිමේදී මට බොහෝ තුර්කි ජාතිකයන් හමු වී තිබේ.

තුර්කි  අසර්බයිජාන්, ටර්ක්මෙනිස්තාන් , කිර්ගිස්තාන්, තජිකිස්තන්    හා උස්බෙකිස්තාන්  ආදී මධ්‍යම ආසියාතික හෝ  යුරේසියානු පුරවැසියෝ බොහෝ දෙනෙක් අප සමාගමේ  සේවය කළ  අතර ඔවුන් සියලු දෙනාට තම තමන්ගේ භාෂාවලින් කියන දේ එකිනකාට වැටහෙන නිසා ඉතා පහසුවෙන්  සන්නිවේදනය කර ගත හැකි විය. මෙන්න මේ  භාෂා කලාපය ටර්කික් භාෂා කලාපයයි.  කැස්පියන් මුහුදේ නැගෙනහිර ඉවුර හා කිලෝමීටර් සිය දහස් ගණනක් නැගෙනහිර දිසාවට විහිදී ගිය ස්ටෙප් භුමි කලාපයේ ටර්කික් ජනයා මුලින්ම ජිවත් වී ඇත. දැන්  කැස්පියන් මුහුදේ බටරා  දිශාවට වෙන්න පහිටි තුර්කියේ සිටින මුල් තුර්කි  ජාතිකයන්  ලෝකයේ සිටින විශාලම ටර්කික් ජන කොටසයි . දෙවන වැඩිම ටර්කික්  ජනයා සිටින්නේ උස්බෙකිස්තනයේය . මේ ආකාරයට තුර්කියේ සිට මොන්ගෝලියාවේ, චීනයේ හා රුසියාවේ සමහර ප්‍රදේශවලද ඇතුළුව මිලියන් දෙසීයක් පමණ ටර්කික් ජනතාවක් ලෝපුරා වෙසෙති .
ටර්කික් රටවල්වල භාෂා අතර යම් යම් වෙනස්කම් තිබුනද අක්ෂර හෝඩියේ වෙනස්කම් තිබුනද එදිනෙදා ජිවිතයේ භාවිතාවෙන වචන සිය ගණනක් එක හා සමානය. මෙන්න මේ භාෂා සමානාත්මතාව මිනිස් සම්බන්ධතා පාලමක් වන හැටි කියන්නට උදාහරණ තිබේ.  කසක්ස්ථානයේදී අප සමග සේවය කළ තුර්කි ජාතික තරුණ ඉංජිනේරුවන් තිදෙනෙක්ම කරකාර බැඳ ගත්තේ කසාක්ස්තාන් තරුණියන්ය. ඔවුන් දැන් සිය පවුල් පිටින් තුර්කියට පැමිණ  ඉස්තාම්බුල් නගරයට තරමක් දුරබැහැර ප්‍රදේශවල වාසය කරති . තවමත් නොවෙනස් වූ අපේ මිත්‍ර සමාගම නිසා මේ නන්නාදුනන රටේදී  මට තනිකමක් නොදනුනේය .එහෙත් අපේ භාෂාවට ඉතා වෙනස් මූලයක් තිබෙන ටර්කික් භාෂාව හෝ කසාක් භාෂාව අපට පහසුවෙන් ඉගෙන ගැනීමට බැරිය.

කසාක්ස්තාන් වැඩබිමේදී අපේ භාෂා පරිවර්තිකාව වූ උස්බෙක් ජාතික අයිසුලුට  උස්බෙක්, කසාක් හා තුර්කි යන ටර්කික් භාෂාවලට අමතරව ඉංග්‍රීසි හා රුසියානු භාෂාද චතුර ලෙස කතා කරන්නට පුළුවන්  විය . එකම භාෂා පවුලකට අයත්` භාෂා රාශියක් කතා කරන්නට පුළුවන් වීම  සමාජ, සංස්කෘතික  හා  ආර්ථික කටයුතුවලදී ඔවුන් සියලු දෙනාට වාසිදායකය . අනෙක් අතට අපේ රටේ ප්‍රධාන භාෂා දෙක වන සිංහල හා දෙමල භාෂා මුලාශ්‍ර  දෙකකින් පැවතෙන නිසා අප එකිනෙකාට අපේම භාෂා ඉගෙන ගැනීම අපහසු වී ඇත. නොඑසේනම් අපේ රටේ ඉතිහාසය මීට වඩා සුන්දර වන්නට ඉඩ තිබිණි.

කසක්ස්ථානයේදී අපේ පරිවර්තිකාව වූ උස්බෙක් තරුණියගෙන් මම ගෆුර් ගුලොම්  දන්නවාදැයි ඇසුවෙමි. මම ළමා කාලයේදීත්  තරුණ කාලයේදීත් දහ  පහළොස් වතාවක් කියවා ඇති දැදිගම වී රුදෘගු විසින් සිංහලට  පරිවර්තනය කළ  උස්බෙක් ලේඛක ගෆුර් ගුලොම්ගේ 'මගේ හපන්කම්' ගැන කියද්දී ඇය ප්‍රීතියෙන් පිනා ගියාය. එය ඔවුන්ගේත් ජනප්‍රියම පොතකි. ඇය  මට ඒ පොත ඇසුරෙන් නිපදවූ 'ෂුම් බෝලා' චිත්‍රපටය ගැනද කිව්වාය .

කාලය කෙමෙන් ගෙවී ගොස් පසුගිය අවුරුදේ මම ඉස්තාන්බුල් නව ගුවන් තොටුපළින්  මේ නගරයට ගොඩ බැස්ස සැනින් මට ගෆුර් ගුලොම්ගේ පොතේ  හිටි කරවොයි නම් වූ පිරිමි දරුවා මතක් වුනේ මක් නිසාදැයි හිතා ගන්නට බැරි වුනේය. මම හෝටල් කාමරයට පැමිණ සඳලු තලයට ගොස් ඈත  තෙරක් නොපෙනෙන තට්ටු ගෙවල්වල ඉඳහිට දකින දුම්කවුළු වන් ඉස්මතුවීම්  දකිද්දී මට හිතුනේ අර දඟකාර පැන්චා කරෙවෝයි හොර මුලෙන් බේරෙන්නට ගෙවල්  පේළියේ වහල දිගේ දුවද්දී ඇද වැටෙන්නට ඇත්තේ මේ පේන කවුළුවකින් වෙන්න ඇති  කියාය .

පාරේ යන දඟකාර කොලු ගැටයින් දකිද්දී කුස්සියෙන් සොරාගත් දුම් තෙල් කුට්ටියක්  බඩතුරේ ගසාගෙන  , බිත්තරයක්  තොප්පියේ සඟවාගෙන කොල්ලන් සමග දුම්තෙල් බත් උයන්නට දුවන කරවෝයි මතක් වුනේය.  මෙන්න මේ හේතුව නිසා ඉස්තාන්බුල් නගරයට සේන්දු වූ පළමු සතියෙම මම ශුම්බෝලා චිත්‍රපටය අන්තර්ජාලයෙන් හොයාගෙන බැලුවෙමි .  ඒ බලද්දී මිට වසර සියයකට පෙර උස්බෙකිස්තානයේ අගනුවර තශ්කෙන්ට් නගරයේ ජීවිතය අද හෝ එදාත් ඉස්තාන්බුල් නගරයේ ජිවිතයට වඩා බොහෝ සෙයින් දුක්ඛදායක එකක් බව  පෙනී ගියේය . අප උඩ පැන  පැන  හිනා වෙමින් කියවූ දඟකාර කරවොයිගේ වීරකම් යටින් දිවෙන  දුක්බර ජිවන අරගලය  ශුම් බෝලා චිතරපටය බලද්දී ඉස්මතු වී පෙනුණේය  .  අනෙක් අතට චිත්‍රපටය අවසන් වන්නේ අකරතැබ්බ පිරි රස්තියාදුව හමාර කර ආපසු ගෙදර එන කරවොයි  සිය මව ඉන් දින කිහිපයකට පෙර මිය ගියායැයි  දැන ගන්නා ශෝකිය ජවනිකවත් සමගය. සමහරුන් කියන්නේ චිත්‍රපටයේ කතාව ගෆුර් ගුලොම්ගේ සත්‍ය ජිවිත කතාවට සමීප කරන්නට ඒ වෙනස කළ  බවයි. ගෆුර්ගේ මවත් ඔහුට වයස අවුරුදු 9ක් වෙද්දී මිය ගියාය.

කෙසේ වතුදු මට කියන්නට වුවමනා කරන්නේ ටර්කික් ජන කොටසකින් විකාශනය වී තුර්කියට ආ ජනයා සෙසු මධ්‍යම ආසියාතික රටවලට  වඩා ප්‍රගතියක් ලබා ඇති බවයි. අනිත් අතට ග්‍රීසියේ, රෝමයේ හා යුරෝපයේ මුසුවීම් , ඔවුනට සියවස් ගණනාවක තිස්සේ  ප්‍රතාපවත් නගරයක් පවත්වා ගන්නට ඉඩ සලසා තිබේ.

 මේ කලාපයේ භාෂාවට හා සාහිත්‍යයට ටර්කික්  ජනතාවගෙන් ලැබූ පෝෂණය අමතක කරන්නට බැරිය. ලෝකය පුරා සිටින ටර්කික් ජනතාවගේ සංස්කෘතික කටයුතු රැකගනු වස් ටර්ක්සොයි නමින් වෙනම සංගමයක් බිහි වී තිබේ. පසුගියදා එම සංගමයේ වෙබ් අඩවියක අපූරු පුවතක් මම කියෙව්වෙමි . මේ අවුරුද්දේ මාර්තු මාසයේ තුර්කි අගනුවර අන්කාරා නගරයේදී ගෆුර් ගුලොම්ගේ 120 වැනි ජන්ම දිනය සමරනු වස් ඔහුගේ 'තරු පිරි අහස' පොතේ තුර්කි පරිවර්තනය එළි   දක්වා තිබේ. මේ උත්සවයට  විශේෂ අමුත්තෙක් වශයෙන් ගෆුර් ගුලොම්ගේ දියණියක්ද සහබාගි වී තිබුනේය.  ඇය  සඳහන් කර තිබුනේ සිය පියා ලෝ පුරා වෙසෙන සමස්ත ටර්කික් ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් ලියු බවයි.

2023 වසරේදී BBC ආයතනය විසින් ලොව මෙතෙක් බිහි වූ හොඳම ළමා පොත් අතරට ගෆුර් ගුලොම්ගේ දඟකාර පොඩ්ඩා හෙවත් ශුම් බෝලා  පොතද තෝරාගෙන තිබුනේය . ඒ අනුව බලන කළ  ටර්කික්  සාහිත්‍යය ඒ කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම ආලෝකයක්  සපයා තිබේ.

මෙහි මුල් ලිපිය 2024 නොවැම්බර් 3 දින සිළුමිණ ඉරිදා සංග්‍රහයේ පළවිය 



Saturday, November 16, 2024

තුර්කි පාතරාසයක රස ( ඉස්තාන්බුල් දිනපොත 3)

                                               

කෙටි හෝ සංචාරයකට තුර්කියට ගොස් තිබෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම තුර්කි පාතරාසය හෙවත් ලෝක ප්‍රසිද්ධ ටර්කිෂ් බ්‍රෙක්ෆස්ට් එක රසබලා තිබෙනවා නොඅනුමානයි . තුර්කියේ සමාජයීය , සංස්කෘතික හා අහාර රටා ගැන සමස්ත කතාව මේ තුර්කි පතරාසයේ තියෙනවා .

එඬේර යුගයේ සිට තැනින් තැනට ගොස් ජිවත් වූ මේ කලාපයේ ජනයා සිය ජංගම අහර ගබඩා ලෙස රැගෙන ගියේ එළුවන්, බැටළුවන් හා හරකුන් . ඒ නිසා කිරි හා මස් සම්බන්ධ කෑම වට්ටෝරු සිය ගණනක් මේ ජනයා අතරේ තිබෙනවා . චීස් , බටර් හා ක්‍රීම්  වර්ග විශාල ගණනක් ගෘහස්තව නිපදවා ගන්නවා.
මෙන්න මේ හේතුව නිසා තුර්කියේ  පාතරාසය හෙවත් ප්‍රධාන ආහාර  වේල චීස් හෝ බටර් සමග පාන්  මූලිකව  සැකසී තිබෙන්නේ දුරාතීතයේ පටන්මයි . මේ සරල උදෑසන අහර කෙමෙන් කෙමෙන් විකාශනය වීමෙන් අද තිබෙන විචිත්‍ර තුර්කි පාතරාසය නිර්මාණය වී තිබෙනවා  .  

ගේදොර, ගෘහ භාණ්ඩ පමණක් නොව කෑම බීම පවා  විච්ත්ර ලෙස නිර්මාණය කර ගන්නට තුර්කි ජනයා කැමැත්තක් දක්වනවා . පාන් ගෙඩියක වුනත් කැටයම් හා  මෝස්‌තර දමන්නට  ඔවුන් කැමතියි  ,

තුර්කියේ විශේෂ ආහාර වට්ටෝරු හා පුරුදු  බොහෝ තිබෙන අතර ඉන් වැදගත්ම වන්නේ  අහාර ගැනීම සමාජ හා සංස්කෘතික කාරණයක් ලෙස සැලකීම . කොටින්ම ඔවුන්ට පොහොසත් ආහාර  සංස්කෘතියක් තිබෙනවා  .
 
කෑමට පෙර  හමුවන සියලු දෙනා උණුනුන්ට   යහපත් ආහාරයක් වේවා යන අරුතැති  ' ආපියෙට් ඔල්සුන් ' කියා  සුබ පතා ගන්නවා  .සමහර විට උදේට 'ගුඩ් මෝනින්'  කීවත් සද්ද නැතිව ඔහේ ඉන්න සමහරුන් කෑම වෙලාවේදී එකිනෙකාට උණුසුම්ව සුබ පතා ගන්නට පැකිළෙන්නේ  නෑ . තුර්කි ජාතිකයන් උදෑසන අහර වේල  සලකන්නේ දවසේ සුවිශේෂම ආහාරය ලෙසයි. නිවාඩු දවසකනම් අහර පිළියෙළ කර ගන්නට ඉතා සුළු වේලාවකුත් ආහාරය භුක්ති විඳීමට  ඉතා දිගු වෙලාවකුත් ගැනීම ඔවුන්ගේ පුරුද්දක් . මේ තරම් අහර ද්‍රව්‍ය පිරුණු මේසයක් ඉක්මණින්  පිළියෙළ කරන්නේ කොහොමද? එය පහසුයි . මෙහි තිබෙන සියයට අනූවක් පමණ වන චීස් වර්ග, බටර්, යෝගට් මිශ්‍ර ආහාර  , ජෑම් වර්ග , ඔලිව් ආදී සියල්ල සති ගණනකට පෙර  සුදානම් කර ගන්නා ඒවා. එවෙලේ කරන්නට  තිබෙන්නේ අලුත් පාන් ගෙඩියක්, අලුත් කොළ , තක්කාලි හා කියුකම්බා ගෙඩි පෙති ගසා ගැනීමය .
ඉතින් මේ හේතුව නිසා අපට නොලැබෙන වාසියක් ඔවුන්ට අත් වෙනවා . ඒ ගෙදර ගෘහණිය සමග   සියලු පවුලේ සාමාජිකයන් හා අමුත්තන් එක්ව වාඩි වී සොම්නස් කතා බහක යෙදෙමින් බොහෝ වෙලාවක් කෑම  ගැනීම‍ට  ලැබීම. බඳුන් සියල්ල එකවර මේසයේ අසුරා ගන්න නිසා වරින්වර අලුත් දීසි ගෙන ඒමත්  ' අනේ තව ටිකක් කන්ටකෝ' කියා පෙරැත්ත කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

අප  වරක් ගිය ප්‍රාදේශීය සංචාරයකදී නවාතැන් ගත්තේ යුවලක් විසින් පවත්වාගෙන යන කුඩා ගෙස්ට් හවුසියකය. කොටින්ම එය ගෙදරක්මය. සියලු අමුත්තන් වෙනුවෙන්  අහර ගෙනත් තැබුවාට පසු මේ යුවළද අප හා අනිත් අමුත්තන් සමග වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙමින්   අහර ගත්තෝය.  මම මුල්ම වරට සම්පුර්ණ තුර්කි පාතරාසයක  රස වින්දේ ඔවුන්ගේ නිවෙසේදී.

කාර්ය බහුල බව නිසා බොහෝ දෙනෙක්ට ඔය තරම්  කාලයක් අරගෙන නිතිපතා කෑම  කන්නට ලැබෙන්නේ නෑ . ඒත් ඉරිදා දවස නම් ඔවුන් මේ සඳහා වෙන්කරගෙනම තියෙනවා . සෙනසුරාදා මුළු රත්රියම  වැඩිපුර නිදිමරණ බොහෝ නගරවැසියන්  බොහෝ දෙනෙක් ඉරිදා අවදි වන්නේ උදේ දහයෙන් පසුවයි . ඉන්පසු උදේ කෑම දෙන අවන්හලකට ගොඩවන සමහරුන්  තේ බොමින්, දුම් බොමින් පැය දෙකකට වැඩි කාලයක්  වැය  කරන්නේ පාතරාසය ගැනීමට .
වතාවක් අපි වන උයණක්  බලන්නට ගොස් එහි කෙළවරක තිබූ  ප්‍රියමනාප  රෙස්ටෝරන්ට් එකකට ගොඩවැදී  දවල් කෑම ඉල්ලුවේ දවල් දොළහට විතර. අපිව කාරුණිකව පිළිගත් වෙටර්වරයෙක් ඉල්ලා සිටියේ තව  පැය බාගයක් ඉවසා සිටින ලෙස. ' තාම  අපේ කස්ටමර්ස්ලා උදේ කෑම  ගන්න ගමන්'  ඔහු කිව්වේ  සුහද සිනහවක් පාමින් .  මේ පැය  බාගය තිස්සේ  විසල් භෝජනාගාරය සිසාරා බැලුම් හෙළූ   මට පෙනී ගියේ සශ්‍රික හා විචිත්‍ර අහාර මේස වටා ඉඳගෙන නිවී සැනසිල්ලේ සතුටු සාමිචියේ යෙදෙන අතරේ සොම්නසින් කෑම  කන ගැහැණුන් , පිරිමින් හා දරුවන්.

තුර්කියේ සිටින්නේ බෙහෙවින් නවීකරණය වන ජාතියක් නිසා ඔවුන්ගේ අහාර වට්ටෝරුද නිරතුරු නවීකරණය වෙනවා . ඒ වුනත් මේ සියල්ල වෙන්නේ සිය අනන්‍යතාවයද පවත්වා ගනිමින්  . තුර්කි පාතරාසයක අනිවාර්යයෙන්ම පාන් පෙති පිගානක් තිබෙන අතර තේ පෝච්චියක්ද මේසයේ කෙළවරක තිබෙනවා .  ඊට  අමතරව කුඩා කුඩා බඳුන් විස්සක් හෝ තිහක් අතර ප්‍රමාණයක දැමු චීස් වර්ග තුන හතරක්, යෝගර්ට් මුසු කර තැනු  කෑම වර්ග සෝස් , ඔලිව් ගෙඩි වර්ග ඒ අතර වෙයි.
උදේ කෑ ම ගන්න අතරතුර ටියුලිප් හැඩයේ කුඩා වීදුරුවට පුරවා තේ කෝප්ප හතරක් පහක් බීම  ඉතා සාමාන්‍ය පුරුද්දක් .

අපි ගිය ඉරිදා උදේ කෑම  ගත්තේ අපේ නිවාස ආසන්නයේ පිහිටි ප්‍රසිද්ද අවන්හලකින්  . මා සමග ගිය ඉංග්‍රීසි මිතුරා ඇලන්ගෙන්  මේ කෑම  වර්ග අතරින් ඔහු කැමතිම වර්ග දෙක මොනවාදැයි මම ඇහුවා . ඔහු කිව්වේ මීකිරි සමග මීපැණි මුසුව හා බටු සමග මාළුමිරිස් පුළුස්සා සකස් කර තිබූ රස දීසියට වඩාත් කැමති බව  .
අපි දෙදෙනාම කැමති පොදු අහරක් වුයේ මීකිරි  මීපැණි  මුසුවය. තුර්කියේ  මී ගවයන් සිටින බව මා දැන ගත්තේ මේ රස අහාරය ගැන කරුණු විමසද්දිය. ඇත්තටම මේ මුදවපු මීකිරි නොවෙයි.  මිකිරිවලින් ලබා ගත් ක්‍රීම් එකය. එය මී පැණි සමග ගෙන ආවේ අපේ කිරිපැණි රසයට බෙහෙවින් සමාන රහක් .
මම දෙවනියට කැමති වූ  බඳුනනම්  සිහින්ව ලියලා ගත් කැරට්  යා යෝගට් මුසුව.   කියුකම්බා පෙති  සමග මිශ්‍ර කරගත් තවත් යෝගර්ට් බඳුනක්ද තිබුනා.
අපේ මේසයේ තිබුනේ චීස්  වර්ග හතරක්  , ජෑම්  හා චට්නි වර්ග හතරක් , ඔලිව් වර්ග දෙකක් හා ඔලිව් හා ඉරිඟු ඇට දැමූ අච්චාරුවක්, අමු පලා , තක්කාලි පෙති, කියුකම්බා පෙති, කොකෝවා චොකලට්  තවරුම,  බටු හා මාළු මිරිස් ආශ්‍රිත වට්ටෝරු දෙකක අහාර ඇතුළු  අයිතම විසි ගනණක  එකතුවක් . ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට බිත්තර තක්කාලි මුසුවක්, විශාල ඔම්ලට් එකක් හා සියුම්ව අඹරාගත් මස් හා තුනපහ මිශ්‍ර ලුණු මිරිසක්ද තිබුන  .

දැන්  ඔබ සිතනවා ඇති මේ සියල්ල සමග අප දෙදෙනාගේ  ආහාර  බිල ඉතා විශාල එකක් කියා. එහෙත් එය ඒ වර්ගයේ ලංකාවේ කෑම  වේලකට වඩා මිලෙන් අඩුයි  . එසේ වන්නේ මෙරට චීස් , බටර් , පාන්, එළවලු හා පළතුරු ඇතුළු මූලික  අහර ඉතා පහසු මිලකට හොඳ තත්වයෙන් මිලදී ගන්නට තිබීම නිසා . කෘෂිකර්මය හා කෘෂි  නිෂ්පාදන බෙදාහැරීමේ ක්‍රියාවලිය ඉතාම ක්‍රමවත්.

අපි මේ අහර බඳුන් සියල්ලෙන් එකක් හෝ මග ඇරෙන්නට නොදී රස බලද්දී එය තුර්කිය වටා ගිය චාරිකාවක් හා සම වුනා  .
ඇප්රිකට් , ෆිග් හා ස්ට්‍රෝබෙරි ජෑම්  රස බලද්දී අපි අන්තාලියාව  හා කළු මුහුද  අද්දර පළතුරු වතුවල ඇවිද්දා .  අඹරාගත්  තල  ඇට  පේස්ට්  එක රස බලද්දී ගොකාවා පළාතේ විශාල කෙත්වතු වල ඔබ මොබ යමින් හිටියා .
වර්ග තුන හතරක් වූ චීස්  වර්ග  රස අපව  කොන්යා දිස්ත්‍රික්කයේ කඳුකර ගොවි  ගම්මානවලට රැගෙන ගියා

තුර්කි  උදේ අහාර වේල කියන්නේ  මුළු තුර්කියම තමයි  . එය තුර්කියට සංචාරකයන් අද්දන බලගතු  කාන්දමක් . 

(මෙය මුලින්ම  පළවුයේ 2024 ඔක්තෝබර් 20 සිළුමිණ පත්තරේය)

Monday, November 11, 2024

ආසියාව, යුරෝපය හා බොස්පරස් -ඉස්තාන්බුල් දිනපොත 2

 

සෙනසුරාදා මම පින්තූර  ප්‍රදර්ශනයක් බලන්න ගියා . ඒක  තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එකක උඩම තට්ටුවේ පිහිටි කලාගාරයේ. උඩම තට්ටුව කිව්වට ඒ  සාමාන්‍ය පොළව මට්ටම. සබ්වේ දුම්රිය මග  තියෙන්නේ මීටර් විස්සක්  විතර පොළව  ඇතුලේ. මේ  ස්ටේෂන් තරමින් විශාලයි. සංකීර්ණයි. හැම එකක්ම කලාත්මක ලෙස නිර්මාණය කරලා තියෙනවා. 

ඉතින්  කලාගාරයේ මේ සතියේ තිබ්බේ හන්ග්රියානු කැමරා ශිල්පින් තිදෙනෙකුගේ පින්තුර. ප්‍රදර්ශනයේ තේමාව ජලය. 

මේ පින්තූර  අතර හංගේරියාවේ ටිස්සා  ගංගාව සම්බන්ධ පින්තූර  කිහිපයක්ම තිබ්බ. ටිස්සා  ගංගාව යුරෝපයේ රටවල් දහයක්  මැදින් එන ඩනියුබ් ගඟේ අත්තක්  මේ ඩනියුබ් ගඟ තමයි කළු මුහුදට වැඩිම වතුර කන්දරාවක් ගේන්නේ. 

ප්‍රදර්ශනය බලල ඉවර වෙලා අපි පේන මානයේ තිබ්බ  කබාටාස් තොටුපළට ඇවිදගෙන ආවා .  තොටුපලට ඔබ්බෙන් පේන විසල් මුහුදු තීරයේ  මගී යාත්‍රා  මෙන්ම වෙළඳ නැව් සෑහෙන ගණනක් එහා මෙහා යනවා . මෙන්න මේ ස්වභාවික මුහුදු ඇළ තමයි බොස්පරස් කියන්නේ . ආසියාව හා යුරෝපය වෙන් කරන අන්තර් මහද්වීපික දේශ සීමාව එයයි . ඒත් පුදුමය කියන්නේ මේ දේශ සීමාවෙන් එතෙර මෙතෙර  තියෙන්නේ එකම නගරයක කොටස් වීම . මම ඉන්නේ යුරෝපියන් කොටසේ . අනෙක් පස ආසියාව. මගේ තුර්කි ජාතික යාලු මිත්‍රයෝ බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ ආසියානු කොටසේ නොහොත් ඇනටෝලියන් කොටසේ .  ඔවුන් කන්තෝරු ඇරිච්ච හැටියේම ලහි ලහියේ සුදානම් වී බොස්පරස් මුහුදු ජල තීරය   යටින් දුවන මාමරේයි  දුම්රියේ නැගල අනෙක් කලාපයට යනවා. සියුම්ව බලපු කෙනෙකුට  මේ දෙපැත්තේ තියෙන වෙනස්කම්  තේරෙනවා. යුරෝපීයන් කොටසේ තරමක්  තද බදයක් සහිත වාණිජමය ස්වභාවයක් තියෙනවා කියල සමහරු කිව්වට මටනම් හිතෙන්නේ මේ තදබදය මැදින් සුවපහසුව ජිවත් වෙන්න අවශ්‍ය සියලු දේ ඒ කලාපයේ තියෙනවා කියල . බොස්පරස්  සමුදුරු ඇලට ලම්බකව උතුරු දිශාවේ පිහිටි බල්ගේරියානු දේශසීමාව පැත්තට  යනකොට කෙමෙන් මේ ජනාක්ර්ණ බව අඩුවෙනවා.  ඒ වුනත්  ආසියානු කලාපය  තරමක් සරල හා  සශ්‍රික,  ජිවත් වෙන්න වඩා සුදුසු කලාපයක් කියල හිතන මගේ මිත්‍රයන් එක්ක එකඟ වෙන්නත් වෙනවා. 

කිලෝමීටර් තිහක්  දිග   මේ සමුද්‍ර තීරය හෙවත් බොස්පරස් කියන්නේ  ඉස්තාන්බුල් නගරයේ හදවත . මිගමු ජනයාට මිගමු කළපුව වැදගත් වන්නේ යම්සේද ඊජිප්තු වැසියන්ට නයිල් නදිය වැදගත් වන්නේ යම්සේද ඊටත් වඩා බරපතල විදිහට ඉස්තාම්බුල් නගරයටත්, මුළු තුර්කියටමත් , කළු මුහුද ඉවුරේ පිහිටි රටවල් සියල්ලටමත්  , ඩනියුබ් හා ඩොන්  ගංගා හා සම්බන්ධ වෙන අනෙකුත්  රටවලටත් බොස්පරස් මුහුදු මාර්ගය වටිනවා. 

ඉස්තාන්බුල් නගරය දෙකඩ කරන මේ මුහුදු අළ මාර්ගය ලෝක ඉතිහාසයේ වැදගත් කොටසක්, නවීන මුහුදු ගමනාගමනයේත් ලෝක ආර්ථිකයේත් , ජාත්‍යන්තර සහයෝගීතාවෙත් වැදගත් පරිච්චේදයක්. අර මා මුලින් කී පින්තූර ප්‍රදර්ශනයේ දුටු හංගේරියානු ටිස්සා ගංගාව හා සම්බන්ධ ජර්මනිය ඕස්ට්‍රියාව  ඇතුළු යුරෝපයේ රටවල් දහයක් දිගේ එන ඩනියුබ්  ගංගාව වගේම  රුසියානු කලාපය හරහා ගලන අනෙක් ගංගා  දිගේත් ඉතිහාසය පුරා යාත්‍රිකයෝ මේ බොස්පරස් වෙත ඇවිත් එතනින් මධ්‍යදරණී  මුහුදෙන් මහා සාගරයට ප්‍රවේශ  වෙලා තියෙනවා. 

මම ඉස්තාන්බුල් නුවරට ආපු මුල් දවස්වල මේ මහා විසල් නගරය තේරුම් ගන්න පාවිච්චි කරපු බේස්ලයින් එක තමයි බොස්පරස් කියන්නේ. ඒක  හරියට සිතියම් දන්නා කෙනෙකුට කොළඹ නගරය තේරුම් ගන්න බේස්ලයින් පාරේ පිහිටීම හදාරන එක  වගේ වැඩක්.

මට ලැබුණු නවාතැන පිහිටියේ බොස්පරස් තීරයට කිලෝමීටර් හය හතක දුරින්. එතැන ඉඳන් මගී බසයක නැගල  කබාටාස් කියන නැව්තොටට එන එක  මම කැමතිම සති අන්ත ගමනක් . මේ නැව්තොට තරමක් විශාල හා රමණිය යාත්‍රා තොටුපළක්  හෙවත් ජෙටියක්. එතැනින්  මගී  යාත්‍රාවක  නැගල ආසන්නයේම පිහිටි අනෙක් මහද්වීපයේ  පිහිටි නගර උප නගර හා කුඩා දුපත්වලට යන්න පුළුවන් .පැයක් හෝ පැය  බාගයක් ඇතුලත යුරෝපය හරහා ආසියාවට කුඩා යාත්‍රාවක යන ගමන  අශ්වදනියයි .

ඉස්තම්බුල් ආගමනයෙන් ටික දවසකට පස්සේ මමත් තව මිතුරු මිතුරියන් පිරිසකුත් පුරාණ කොන්ස්තන්තිනොපල් නගරයේ ප්‍රසිද්ද නිල්  පල්ලිය එහෙම බලල උද්‍යානයක ගිමන් හරිමින් හිටියා  . හාත්පස තේ සුවඳයි. සිමිට් සුවඳයි. සිමිට් කියන්නේ රවුම් බනිස් ගෙඩියක් වගේ මැද හිස්  ඩෝනට් හැඩයේ ජනප්‍රිය කෑමක්. තිරිගුපිටි බනිසේ තලඇට ඉහපු  මේ සිමිට් එක පලා  චීස් හෝ චොකලට් පේස්ට්  තවරලා  විකුණන්න  තියෙනවා. ඔන්න ඔය සප්පායම ගනිමින් තිබියදී අපි ලඟට ආ මැදිවියේ පුද්ගලයෙක් මෙහෙම  කිව්වා.

"බොස්පරස් දිගේ පැය  එක හමාරක යාත්‍රා සවාරියක් යන්න කැමතිද?  එක්කෙනෙකුට යුරෝ විස්සයි. යුරෝපය පැත්තේ  ඉවුර දිගේ  කළු මුහුද කිට්ටුවටම ගිහින් ආසියාව පැත්තෙන් ආපහු එන්නේ. ඉවුරු දෙකේම තියෙන වැදගත් ස්ථාන, මාලිගා එහෙම විස්තර කරලා පෙන්වනවා . 

අමුත්තාගේ කතාවෙන් වශී වුන අපි හවස උස්කුදාර් කියන ආසියානු  කලාපයේ කුඩා නගරය බලල රෑට කෑම  කාලා එන සැලැස්ම අවලංගු කරලා මේ ගමන යන්න තීරණය කළා . 

 කටකපල සෙනග හිටි යාත්‍රාවේ  ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ ඒ විශේෂිත වූ ස්ථානය අසලින් යනකොට ප්‍රමාණවත් පැහැදිළිලි කිරීමක් ප්‍රචාරය වුනා  . යුරෝපීය ඉවුරෙයි ආසියානු ඉවුරෙයි තියෙන මනරම් ගොඩනැගිලි  හා වැදගත් ස්ථාන බලාගෙන විස්තරෙත් අහගෙන මූළු  ගමන ගිහින් එන්න පැය දෙකක් විතර ගත වුනා .  මේ ගමනේදී මුළු බොස්පරස් තීරයම  ආවරණය වුණේ  නැතත්  සති කිහිපයක් ලියන්න තරම් තොරතුරු ලැබුණා.

වාණිජ නිෂ්පාදන, ඛනිජ තෙල් හා ධාන්‍ය  රුසියාව, යුක්රේනය වගේ රටවල ඉඳන් පිටත ලෝකයට අරන් යන්නේ මේ මුහුදු තීරය  දිගේ.  නාවුක  අංශයේ වැඩ කරන මගේ යහළු මිත්‍රයෝ නිතරම කියනවා බොස්පරස් ඇවිත් බංකරින් කරපු කතා . බංකරින් කියන්නේ මුහුදු යාත්‍රාවලට තෙල් සැපයුම්  කිරීම . ඉස්තාන්බුල්වල තියෙන බංකරින් තොටුපළ ඉතා ප්‍රසිද්ධයි . මේ ඇළ  අයින දිගේ කාර්ය බහුල වරායවල් කිහිපයකුත් තියෙනවා. 

බොස්පරස් කියන්නේ කළුමුහුදට තියෙන එකම පිටවීමේ මාර්ගය . බොස්පරස් දිගේ යන යාත්‍රා තුර්කි භුමිය  තුලම පිහිටි මාමරා මුහුද හරහාත් යන්න ඕනි , එතනින් පසු  ඒජියන් මුහුදටත් ඉනුත් ඉක්බිති මධ්‍යධරණී මුහුදෙන් මහා සාගරයටත් ප්‍රවේශ වෙනවා.

මෙන්න මේ නාවික ගමනාගමන කේන්ද්‍රය නිසා හා තවත් නොයෙකුත් හේතු නිසා තමයි ඉතිහාසයේ වරින්වර ලෝකයේම  අග නගරයක්  හැටියට ඉස්තාන්බුල් නගරය ඉස්මතුවෙලා තියෙන්නේ.

(මෙය මුලින්ම පළවුයේ 2024 ඔක්තෝබර් 13 වන දින ඉරිදා සිළුමිණ පත්රයේය )

 

Wednesday, November 6, 2024

අශ්ව කරත්ත පාරේ ගිය උඩුගුවන් යානා - සිළුමිණ ඉස්තාම්බුල් දිනපොත 1

 

(2024 ඔක්තෝබර්  06 පටන් සිළුමිණ පත්තරේ පළවන ඉස්තම්බුල් දිනපොතේ මුල් කොටස් සති කිහිපයක් ප්‍රමාද වී හෝ   තිලකසිතේ වෙනම කොටසක පළ  කරන්න තීරණය කළා.)

ම ඉන්නේ මානව ඉතිහාසය පුරා ජනී ජනයා එහාට මෙහාට ගිය මංමාවත් ජාලයක්  එකතු වෙන හන්දියක.

එහෙන් සේද මාවතේ බලසම්පන්න කේන්ද්‍රස්ථානයක් . අනෙක් පැත්තෙන් අධිරාජ්‍ය බර ගානක අගනුවරක්. දැන් වුනත් ගුවන් ගමන්වල , දුම්රිය ගමන්වල ආසියාව හා යුරෝපය යා කරන කාර්ය බහුල මංසන්ධියක් . 

මම කරන රස්සාවටත් සම්බන්ධ නිසා කොච්චි  පාරවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. මට නිතර හම්බවෙන යාලුවෝ ගොඩක් වෙලාවට ඒවා  සම්බන්ධ රාජකාරි කරන අය  නිසා මේ තත්වය තවදුරටත් බරපතල වෙනවා. 

ලෝකයේ දෙවැනියට භූගත දුම්රිය මාර්ගයක් හෙවත් සබ්වේ එකක් හදල තියෙන්නේ තුර්කියේ . ඒ ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ 1875 දී . ලෝකෙන්ම පළමු සබ්වේ එක ලන්ඩන් නුවරදී හදල යන්තම් අවුරුදු 13 කදී . තුර්කියේ කිලෝමීටර් 12,500කට වැඩි කෝච්චි පාරවල් තියෙනවා. ඉනුත්  සියයට විස්සකට වැඩිය විදුලි දුම්රිය .

තුර්කියේ ඉඳල කෝච්චියේ නැගල යුරෝපේ ඕනි රටකට යන්න පුළුවන් .  ඉස්තාම්බුල්  නුවරින් කොටසක් තියෙන්න භුගොලියව යුරෝපේ.  ලෝක ප්‍රසිද්ධ අන්තර් මහද්වීපික  සුඛෝපභෝගී දුම්රිය ඔරියන්ට්  එක්ස්ප්‍රස්  1979 වනතුරු ඉස්තාන්බුල් නුවරට ආවා . මේ දුම්රිය පුරාවෘතයක් . ච්ත්‍රපට හා නවකතා බරගාණක පසුබිමේ දිවෙන්නක්. එය ඉස්තාන්බුල් ඇවිත් ගිමන් හරිපු  පරණ ඉස්ටේෂම බලන්න ලඟදි අපි යනවා. ඒ ගියාම ඒ ගැන ලියන්නම්. 

   ඒ විතරක් නෙවෙයි රුසියානු කලාපයේ බොහොමයක් රටවලට ඉස්තාම්බුල් නුවර ඉඳල  කෝච්චියේ යන්න පුළුවන්. ඒත් ඉස්තාම්බුල් ඉඳන් යුරෝපෙට කෝච්චියේ යනකොට වගේ නෙවෙයි රුසියානු කලාපයට යනකොට අලි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා . මෙහෙන් යන කෝච්චි පාරේ  පළල නෙවෙයි ඒ පැත්තට යනකොට .  ලෝකෙට එක සම්මුතියක් හදා ගන්න බැරි වෙච්ච  දේවල් ගොඩක් තියෙනවා ඉන් එකක් තමයි කෝච්චි පාරවල පළල .

තුර්කියේ භාවිතා වෙන්නේ යුරෝපය පුරා හා ලෝකයේ සියයට  පණහකට  වඩා කෝච්චි පාරවල භාවිතා කරන ස්ටීවන්සන් ගේජ් එක . ජෝජ් ස්ටීවන්සන් ගැන අපි අහල තියෙන්නේ ලෝකයේ පළමුවරට මගී ප්‍රවාහන දුම්රිය නිපදවපු ඉංජිනේරුවා හැටියට. ඔහු සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. නවීන දුම්රිය ගමනාගමනයේ පියා හැටියට හඳුන්වන්නේත් ඔහු. ඒත් ඇත්තටම ඔහු සම්මානයට පාත්‍ර වෙන්න ඕනි ලෝකය පුරා  සම්මුතියකට එන්න බැරි වෙලා තිබ්බ කෝච්චි පිලී  දෙකක් අතර ඇතුළෙන් ඇතුළ දුර  සඳහා සුම්මුතියක් හදල දුන්න එකට. අදටත් යුරෝපයේ, තුර්කියේ , චීනයේ, ඇමෙරිකාවේ, කැනඩාවේ  හා ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ ස්ටීවන්සන් ගේජ් එක හෙවත් අඩි  හතරයි අඟල් අටහමාරක් වන ගේජ් එක .  ඒත් තාමත් මේ රටවල් වලම වුනත් සමහර පාරවල ගේජ්  අතර මද මද වෙනස්කම් තියෙනවා. 

පුදුමයකට වගේ ලංකාව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා සමහර ලතින් ඇමෙරිකානු රටවල පමණක් වෙනමම ගේජයක් භාවිතා වෙනවා . මේක ස්ටීවන්සන් ගේජ් එකට වඩා පළලින් වැඩියි . අඩි පහ හමාරයි. කැළණි වැලි  දුම්රිය මාර්ගයේ විතරක් 1992 වෙනකම් ඉතා කුඩා අඩි  දෙක හමාරක් පළල ගේජයන් පාවිච්චි වුනා. 

ඉස්සර සෝවියට් සමුහාණ්ඩුවට අයත් වෙලා තිබ්බ රටවලට  විශේෂිත වූ වෙනමම ගේජයක් තියෙනවා. මෙය අඩි  පහකට ආසන්නයි . 

මෙන්න මේ හේතුව නිසා තමයි මම අර මුලින්ම කිව්වා වගේ එකම කෝච්චියේ යුරෝපෙට යනවට වඩා කරදරකාරියි ඉස්තාම්බුල් ඉඳන් රුසියානු කලාපයට යන්න . ඒත් යනවා . මේ කෝච්චි පීලි අතර පරතර වෙනසට මුහුණ දෙන්නේ කොහොමද ?

ඉස්තාන්බුල්  සිට පැරණි සෝවියට් කලාපයට ඇතුල් විය හැකි මාර්ග කිහිපයක් තිබෙන අතර සෑම දුම්රියක් පළමුව බල්ගේරියවටත් ඉන්පසු රුමේනියාව හරහාත් යා යුතු වෙනවා. රුමේනියාවේ සිට මොල්දාවියා පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් යුක්රේනය පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් මේ ගේජ් වෙනසට අනුව වෙනත්  යාන්ත්‍රික චැසියකට දුම්රිය එහෙම පිටින් මාරු කිරීම හෝ මගීන් බස්සවා වෙනත් දුම්රියකට මාරු කිරීම සිදු කරනවා. 

මෙන්න මේ ක්‍රියාවලිය අවුරුදු  එකසිය ගණනක් තිස්සේ නිතිපතා සිදු වෙමින් තිබෙනවා. ළඟදීම මේ මාර්ගයේ ගමනක් යන්නට බලාපොරොත්තු වෙන නිසා තව ටිකක් සවිස්තරව ලියන්න පුළුවන් වෙයි. 

 මේ රේල් ගෙජ් ගැන කතා කරමින් සිටිද්දී නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටින් අධිරාජ්යයේ අගනුවර වෙච්ච පරණ කොන්ස්තන්තිනොපල් නගරය ගැන නොකියම බැහැ .  චිර ප්‍රසිද්ද කොන්ස්තන්තිනෝපලය කියන්නේ වත්මන් ඉස්තාන්බුල් නගරයෙන් කුඩා කොටසක. මෑත දශක කිහිපයේදී ඉස්තාන්බුල් නගරය නොසෑහෙන්න ව්‍යාප්ත වෙලා තියෙනවා. 

ඉතිං මේ  නැගෙනහිර රෝම අධිරාජ්‍යය සෞභාග්‍යයෙන් උතුරන සමයේ අශ්ව රේස් වලට ප්‍රසිද්දයි . ඒ තරග පැවැත්වූ ක්‍රීඩාගාරවල නටබුන් අදටත් තියෙනවා. මෙන්න මේ අශ්ව කරත්ත ගල් අතුරාපු වීථි දිගේ ගිහින් ගිහින් හැදිච්ච  රෝද සලකුණු අතර දුර තමයි පසු කලක  දුම්රිය ගෙජ් වලට ගත්තේ කියල කතාවක් තියෙනව. ඒක බොරුවක් කියල කියන පිරිසකුත් ඉන්නවා. මොකද මෙච්චර තාක්ෂනය , සන්නිවේදනය දියුණු කාලේත්  දුම්රිය පිළී දෙකක් අතර පරතරයට එක සම්මුතියක් නැතිකොට අශ්ව කරත්තවලට   එහෙම සම්මුතියක් තියෙන්නේ කොහොමද? එහෙම සම්මුතියක් තිබ්බා කියන්නට කිසිම සාක්ෂියක් තාම  හම්බ වෙලා නෑ . ඒත් සමහර එකඟතා එන්නේ භාවිතයෙන්. කතා කර ගත්තේ නැති සම්මුති තියෙන්න පුළුවන්. 

මේ කතාව ඇත්ත කියල පිළිගන්න මගේ මිත්‍රයෙක් කියන්නේ රෝම අශ්ව කරත්තවල රෝද අතර  දුරට අභ්‍යවකාශ යානා වලත්  සම්බන්ධයක් තියෙනවා කියල. 

ඒක ටෙක් ප්‍රලාප ගොන්නට වැටෙන  කතන්දරයක්.  වෙන්නේ මෙහෙමයි . අභ්‍යවකාශයට යවන නවීන  රොකට් ප්‍රමාණයෙන් සෑහෙන්න දිගයි. මේවා හදන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඉඳන් සෑහෙන   දුරක පහිටි කර්මාන්ත ශාලාවල . මේ කර්මාන්ත ශාලාවල ඉඳන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කොටස් වශයෙන් ගෙනියන්නේ කෝච්චිවල . ඉතින් ඒ පාරේ ප්‍රමාණයට හරියන්න තමයි රොකට්වල ප්‍රමාණය සැලසුම් කරන්නේ .  මෙන්න මේ හේතුව නිසා තමයි රෝමන් අධිරාජ්‍යයේ අශ්ව කරත්ත  , නවීන  අභ්‍යවකාශ යානා අතර නෑ කමක් ඇති වෙන්නේ . 

මේ කතාව  ඇත්ත උනත් නැති වුනත් අතීතය රෝම අධිරාජ්‍යය හරහා ඉස්තාන්බුල් නගරයට ඇවිත් , බල්ගේරියාව, රුමේනියාව හරහා රුසියානු කලාපයට දිව යනවා විතරක් නෙවෙයි අඟහැරු ග්‍රහයා වෙත වුනත් යන්න  පුළුවන්. අනෙක් අතට මුලින්ම රෝදය සොයා ගත් බැබිලොනියන්වරු හිටි මෙසපොතේමියන් සිෂ්ටචාරය පැතිරුණේ යුප්‍රටීස් ටයිග්රිස් ගංගා  නිම්න ආශ්‍රිතව. මේ ගංගා දෙකේ උපත සිදුවන්නේ තුර්කියේ දකුණුදිග කොටසේ. එහෙව් රටේ පුරාණ  අගනුවර ඉඳන් ලියන මේ දිනපොත අතීතය, වර්තමානය හා අනාගතය යා කරන සටහන් පෙළක් කරන්නයි මම සැරසෙන්නේ .

(මෙය මුලින්ම පළවුණේ 2024 ඔක්තෝබර්  06 සිළුමිණ පත්තරයේය.  )

Sunday, September 29, 2024

කටාර් කිරි ඕස්ට්‍රේලියන් කිරි හා අපේ කිරි -1

මේ පින්තුරය ගත්තේ කටාර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේදිය . කලාපයේ තිබෙන විශාලම හා නවීන පහසුකම් තිබෙන ගුවන් තොටුපලකි . සමහර විට මම කටුනායක ගුවන්තොටුපලට වඩා වැඩි වර ගණනක්  කටාරයේ පැරණි හා අලුත් ගුවන්තොටුපලට ගොස් තිබෙනවා විය හැකිය. 

2009 හා 2010  අවුරුදුවලත්  2012 අවුරුද්දේ මුල සිට 2016  අවසානය  දක්වා මම කටාරයේ සේවය කළෙමි . ඒ කාලයේ මහා මාර්ග පද්ධති රාශියක් සමග නව ගුවන් තොටුපල ඉදිකිරීමේ එක් උපදේශක සමාගමක් වුයේ මා සේවය කළ  සමාගමයි .  මේ ගුවන්තොටුපල වාගේම කටාර් ගුවන් සමාගමත් සැහෙන ප්‍රසිද්දය. ඔවුන්ගේ කාගෝ ගුවන් සේවය වඩාත් ප්‍රසාදයට ලක් වුයේ 2017 අවුරුද්දේ කටාරයේ කිරි ප්‍රශ්නය විසඳීමට එළ දෙනුන් හාරදහසක් කඩිනමින් ප්‍රවාහනය කර දීම නිසාය.

පසුගිය අවුරුදු විස්ස ඇතුලත  විවිධ රාජකාරි හා සංචාර සඳහා නොයෙක් රටවල් වලට ගියත් මට  එක දිගට මාසයකට  වඩා ඉන්නට සිදු වූ රටවල්නම්   ශ්‍රී ලංකාව, කසක්ස්තානය, කටාර්, ඔස්ට්‍රේලියාව හා තුර්කියයි , මේ  සියල්ල  අතරින්  ශ්‍රී ලංකාව හැර  අනෙක් සියල්ල මුළුමණින්ම හෝ ආසන්න වශයෙන් සිය සමස්ත කිරි අවශ්‍යතාව රට තුල නිපදවා  ගනී . වෙනකක් තබා අර්ධ කාන්තාර කුඩා රටක් වූ  වූ කටාර් රාජ්‍යය 2017 දී  මුහුණ පෑ අපනයන තහනමක් නිසා තමන්ගේ කිරි අවශ්‍යතාවයෙන් සියයට අසුවක් පමණම රට තුලම  දොවා ගන්නට පියවර ගත්තේය . මේ කතාව හරි අපූරුය 

කටාරයේ  වැසියන්ට නිතිපතා කිරි , චීස් , බටර්, යෝගට් ආදී කිරි ආශිත අහර  වුවමනාය.  2017 ට  පෙර ඔවුන්ගේ කිරි ආශ්‍රිත ආහාර සියල්ලම පාහේ අසල්වැසි රටවලින් ආනයනය කෙරිණි.  2017 දී අසල්වැසි රටවල් සමග ඇති වූ අර්බුදයක් නිසා අපනයනය  නතර වීමත් සමග කටාර් රජය මුහුණ පෑවේ දරුණු අර්බුදයකටය . වහා  ක්‍රියාත්මක වූ රජය මුලින්ම ගුවන් මගින් කිරි හරකුන හාරදාහකුත් ඉන්පසු එවැනිම ගණනක් මුහුදු යාත්‍රා මගිනුත් ගෙන්වා ගත්තේය. ඊට සමාන්තරව  ගව සම්පත රැකබලා ගන්නට අවශ්‍ය වායු සමනය කරන අලද ගාල් , නිෂ්පාදන හා බෙදා හරිම ක්‍රියවලිය සඳහා අවශ්‍ය සමාගම් හා ආයතන රාමුවද ද ලහි ලහියේ සකස් කෙරිණි. 

ඒ ගැම්මෙන්ම රටේ කිරි සැපයුම නොකඩවා  පවත්වා ගැනීමටද පුළුවන් වුනේය . ඒ විතරක් නොවේ අවුරුදු කීපයක් ඇවෑමෙන්  ආසන්න එශයෙන් කිරෙන් ස්වයංපෝෂිත රටක් වුනේය. තව ඉවර නැත . ඉදිරියටම යමින් තිබේ.  නොබෝ කලකින් කටාරය  හෙවත් අර පර්සියන් මුහුදේ පිහිටි  ඇඟිල්ලක් හැඩයේ  වැලිපරය කිරි බුරුල්ලක් කරගෙන කිරි අපනයනය කරන්නටද ඉඩ තිබේ. 

දැන් ප්‍රශ්නය ශ්‍රී ලංකාව වගේ රටකට ඔය වැඩේ කරන්න පුලුවන්ද? ආපෝ කටාර් කාරයින්ට තෙල් සල්ලි තියෙනවා . අපට පුලුවන්ද හරක් හාරදාහක් අහස්යාත්‍රා වලින් ගෙන්නලා කිරි කර්මාන්තෙ දියුණු කරන්න  කියා ඔබට සිතෙනු ඇත .

ඒත් පුදුමයට කරුණ නම් 2017 අවුරුද්දේ අපේ රටටත් කිරි හරක් 4000ක් ගුවනින් ඇවිත්  තිබීමය. එපමණක් නොවේ කිරි දෙනුන් විසිදහසක් දක්වා ආනයනය කරන දීර්ඝ කාලින සැලැස්මක් තිබුනේ  වසරකය  කිරිපිටි ගෙන්වීමට යන ඩොලර් මිලියන තුන්  හරසියය ඉතිරි කර ගැනීමේ අරමුණිනි . අනික  යෝගට් එකක්, චීස් පෙත්තක් හෝ බටර් ටිකක් බහුතරයක් දෙනාට මිලදී ගන්නවා තබා හිතන්නටවත් බැරි තත්ත්වයෙන් මුදන්නටය .ඉතින් අර ගෙන්වූ කිරි දෙනුන්ට හා පොරෝත්තු  ලේඛනයේ සිටි උන්ට සිදු වුයේ කුමක්ද? ඒ වැඩෙන් ලංකාවේ කිරි ගොවිතැනට එකතු වූ අගය කුමක්ද?

මෙන්න මේ ප්‍රශ්නයට උත්තරය ගවේෂනාත්මකව හොයා ගත්තොත් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය  සංවර්ධනය කරන්නට තිබෙන බාධක එකින් එක හඳුනා ගන්නට ලැබෙනවා ඇත . 

සමහර පුවත් වාර්තා කලේ  මුලින්ම ගෙනා හරකුන් එක එකා මිය ගිය බවය . මේ සිද්දිය ගැන ලංකාවේ පත්තර වලටත් වඩා නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කතා වුනා වෙන්නට පුළුවන . කෝප් වාර්තා වලටද ඇතුලත් වූ බව කියයි.  ලස්සනම වැඩේනම්  ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක  හරක් ගෙවීමේ ප්‍රොජෙක්ට් එකේ ඔස්ට්‍රේයාලියනු  පාර්ශවකරු සමග අත්සන් කරන ලද ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් වී ඇති බව වාර්තා වීමයි . 

ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් හත් අටදාහක් දුර ගෙවා ගුවනින් ගෙනෙන ලද ගවයෙකු අපේ රටේදී මිය යාම මොන තරම් ලොකු කතාවක්ද? එකෙකු නොව දහස් ගණනක්  ?  ආණ්ඩුවෙන් සල්ලි ගෙවා ගෙන්නා දුන් හරකුන් ගොවියන්ට දුන්නේ නිකම්ම නොව පසුව ගෙවීමේ ණය  මුදලක් වශයෙනි . මේ නිසා සමහර ගොවින් හා ව්‍යාපාරිකයන් අන්තිමේදී නට්ටම් වූ කතා මා අසා ඇත . 

සමහරුන් කියන්නේ ගෙන්වුයේ ලෙඩ වූ හරකුන් කියාය. සමහරුන් කියන්නේ ඒ වර්ගය ලංකාවේ දේශගුණයට ඔරොත්තු නොදෙන බවය. ගවයින් රැකබලා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් අපේ ගොවින් ළඟ නොතිබූ බවද කියවේ. 

නමුත් මේ කිසිවක සම්පුර්ණ ඇත්ත නැත්ත දැනගැනීමට ප්‍රමාණවත්  තොරතුරු මුලාශ්‍ර නැත . මා දන්නා එකම දෙය කිරි ගවයන් ගෙන්වීමේ කාර්යය සමාන්තරව කළ  රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා කටාර්  රාජ්‍යය අතරින් කටාර් රාජ්‍යය සිය ව්‍යාපෘතිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් කිරෙන් ස්වයංපෝෂිත වෙමින් තිබෙන බවය.  

මේ දෙරට සරලව සංසන්දනය කරන්නට බැරිය . කටාරයේ මෙන් දහගුණයක් ජනගහනයක් අපට සිටි . අනෙක් අතට කටාරයට වඩා බොහෝ වාසිදායක භුමි සම්පතක් හා දේශගුණයක් අපට තිබ්බේ. 

ව්‍යාපෘති කළමනාකරණය පැත්තෙන් බලු විට මෙහි ඇති වැදගත් අධ්‍යයන මාතෘකා කිහිපයක් වෙයි . ඒවාට සිංහලෙන් කියන්නේ ශක්‍යතා අධ්‍යයනය, වාසි කළමනාකරණය, පාර්ශවකරුවන් හඳුනා ගැනීම, තොරතුරුවල විනිවිද භාවය, වගවීම හා අවසන් පරිශීලකයා සුදානම් කර තැබීමය.

මේ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙමි .