තිලක සිත

Thoughts of Tilakasiri Ekanayaka; tekanayaka@gmail.com. ජීවිත අත්දැකීම් හෝ ඇසූ දුටු දේ අනුසාරයෙන් ලියූ කෙටි කතන්දර එකතුවකි . පුද්ගල නාම,ස්ථාන නාම හා කාල වකවානු බොහෝවිට සත්‍ය ඒවා නොවේ

Saturday, January 25, 2020

ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්

රතනපුර බණ්ඩාරවෙල පාර පුනරුත්තාපනය කරන කාලේ මම හිටියේ කියන්නෑම් සමාගමේ සැලසුම් අංශේ.  මාසෙකට දවසක් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමත් හරිම උද්කවේගරයි, භයානකයි.  ඒත් අවසන් කොටස රසවත් .  මේ වගේ රැස්වීම් තිහකට විතර මම ඉන්න ඇති . අපි සේරම රැස්වීම ඉවර වූ හැටියේ දවල් කෑමට ගියේ බෙලිහුල්ඔය රෙස්ට් හවුසියට. මම පළමු වතාවේ හනිමුන් ගියෙත් ඔතෙන්ට තමයි.   ඒ නිසා බෙලිහුල්ඔය  කියන්නේ මට සෙන්ටිමෙන්ටල් ස්ථානයක්.

දවසක් කොළඹ ඉඳන් මහා පාන්දර ඇවිත් කලින්දා නින්දකුත් නැති නිසා නිදි කිර කිරා රැස්වීමටත් ඉඳලා රැස්වීමේ රසවත් කොටස ගෙවා දමන්න බෙලිහුල්ඔය යන ගමන් අපේ රතු පාට කැබ් එක එලවාපු රියදුරු කරුණාතිලක මෙහෙම කිව්වා . "ඉක්මන් කරලා යන්න ඕනි අද දවල් කෑම ලැස්ති කරලා තියෙන්නේ බෙලිහුල්ඔය නෙවෙයි කොස්ලන්දේ  රෙස්ට් හවුස් එකේ ".

දුර වැඩි නිසා ගමන ටිකක් ප්‍රමාද වුනත් කොස්ලන්ද  රෙස්ට් හවුස් එකත් හරිම රමණීය පෞරාණික තැනක් නිසා එහි රථගාලේ නවත්වාපු කැබ් රියෙන් මම බැස්සේ ප්‍රබෝධමත් සිතින්. මම යනවිට රැස්වීමට දෙදෙනෙක් ඇවිත් හිටියා . දෙදෙනාම සුදු ජාතිකයන්.  එහි සිටි  කුඩා වියපත් සුදු ජාතිකයා තමන්ව හඳුන්වා දුන්නා . ' මම 1911 මෙහෙන් ගියාට පස්සේ තමයි මේ පාර ලංකාවට ආවේ"
.
මම දනිපනි  ගාලා කැලැන්ඩරේ දිහා බැලුවා. 1960 මාර්තු 25.   කුඩා සුදු ජාතිකයා දිගටම කතා කළා .
' මම ලංකාවේ වැඩ කලේ අවුරුදු තුන හතරයි .  හම්බන්තොට ඉඳන් හපුතලේ යද්දී ඒ  කාලේ අනිවාර්යයෙන්ම කොස්ලන්දේ තානායමේ රැයක් ඉඳලා  තමයි ගියේ.
මම තාමත් අන්දුන්  කුන්දුන්ව සිටනා බවක් පෙන්වූ නිසා ඔහු මෙහෙම කිව්වා .
' මම තමයි ලෙනාඩ් වුල්ෆ් '
"නෑ.. හෑ..." කියාගෙන විවර කරගත්  මුවින්ම මම අනිත් සුදු ජාතිකයා දෙසට හැරුනා .
මේසයේ පසෙකින් තුබූ සුදු ටොප් හැට් තොප්පිය හිසේ රුවා ගත් ඔහු "මම තෝමස් ලිප්ටන්" යැයි කියද්දී මම නැවතත් පුදුමයෙන් කැලැන්ඩරය දෙස බැලුවා . එවිට එහි තුබුන ලී පුවරුවක අතින් ලියන ලද දින සටහනක් අනුව අද දවස 1894 මැයි හත් වැනිදා කියා මම දැන ගත්තා .

ඔහේ අර්තාපල් ගැන ලියනවා නේද? ඒත් අර්තාපල් වසංගතය නිසා අපේ අම්මයි තාත්තයි දහදුක් විඳලා තියෙනවා. ඒ ගොල්ලෝ අයර්ලන්තෙන් පලා ගියෙත් ඒ හින්දා . රටේ ප්‍රධාන ආහාරේ වෙච්ච අර්තාපල් වලට හැදිච්ච රෝගේ හින්දා ලක්ෂ ගානක් කන්න නැතිව මැරුණා . ඒ කරදර මැද උපන්න මම ලෝකේ හැම තැනම කරක් ගහල උඹලගේ රටේ වතු වවන්නත් ආවා  . අපේ වතු වැවිලි  කාරයෝ නිතර මේ තානායමට එකතු වෙනවා. කොළඹ යන්න ඕනි උනාම මෙහෙදී  එකතු වෙලා අශ්ව කෝච්චියෙන් යනවා හපුතලේ ඉස්ටටේෂමට   . ආ දැන් හපුතලේට දුම්  කෝච්චිය එනවනේ"

කතාව ඇදී  ඇදී යනවා මිස රැස්වීම පටන්ගන්නා සෙයක් පෙනෙන්නේ නෑ . ලිප්ටන් හා වුල්ෆ් දෙදෙනා වරින් වර ඉදිරි පාර දෙස බලනවා දුටු මම 'වෙන කවුද එන්න ඉන්නේ?" කියා ඇසුවා.

ඇයි ලියෝ ප්‍රනාන්දු මේ පාරේ ඉස්සෙල්ලම බස් දාපු හාදයා. කොස්ලන්ද තානායම ගැන ලියනවානම් ලියෝ  ප්‍රනාන්දුගේ බස් ගැනත් ලියන්න ඕනි. 1940  ගණන් වල පැට්‍රල් ලොරි බස්වලට හරවලා ගාල්ලේ  ඉඳන් වැල්ලවාය හරහා බදුල්ලට  බස් දැම්මේ නැත්නම් .. ඔවුන්  මා දෙස බලා සරදම් සිනාවක් පාමින් දිගටම  කතා කරා.

' මේ පාර දිගේ තමයි දකුණේ ව්‍යාපාරිකයෝ කන්ද උඩ රටට ආවේ .  ඔහේ දන්නවද මේ වෙනකොට ලියෝ ප්‍රනාන්දුට  බස් 350යි ලොරි 200යි  තියෙනවා කියල . තව තේ අක්කර දහදාහක් විතර.  බුත්තල මන්ත්‍රී වෙලා හිටි කාලේ එයා  නිතර මෙහෙ අවා ගියා"

ලස්සනම වැඩේ කියන්නේ ඉංග්‍රීසි රජ පවුලට  අයිති  වෙලා තිබ්බ ගීකියන කන්දේ  ඉඩම  ආපහු ගත්ත හැටි . ඔප්පුව ලියා ගන්න මිනිහා බකින්හැම් මාලිගාවටම ගියානේ ".

මම ආයෙමත් කැලැන්ඩරය දිහා බැලුවා. 1953 දෙසැම්බර් 15 .

මීටීම මදක් ප්‍රමාද  වන බව පෙනුණා . අමුත්තන්   දෙදෙනා පරණ කතා බහක. මට අදාළ පාටක් පෙනුනේ නෑ. මම   බීර වීදුරුවක් තොල ගාමින්  බැදපු මාලු පෙත්තක් හප හපා මකුළු දැල් බැඳීච්ච   මගේ බ්ලොග්  එකට සටහනක්  ලියන්න තීරනය කළා. මේ වගේ මීටිමක් මැද අහම්බෙන් වෙලාවක්  හම්බුනොත් තමයි.

මම ලැප්ටොප් එක දිග හැර කල්පනා කරා . හොට්ස්පොට් දා ගත්තා . ඒ අතරේ  මෑතකදී මිතුරෙක් කී දෙයක් මතක් වුනා. ' උඹ රස්සාව  කරද්දී ලියන්නේ කියන්නේ  ස්මාර්ට්  ප්‍රවාහන විදි ගැන , වරාය නගරය ගැන , අහස උඩින් යන කෝච්චි ගැන , තොරතුරු තාක්ෂණ  පද්ධති  ගැන, මොබයිල් ඇප්‍ ගැන  . ඒත් බ්ලොග් එකේ ලියන්නේ දුම්මැස්ස ගැන නැත්නම් ආදී කාලේ වංගෙඩි ගැන. ඒක හරි කුහක කමක් බාන්..  "  මේ කතාවත් හිතේ තියාගෙන මම ලියපු බ්ලොග් කතන්දරේ තමයි මේ .

******************

වැලිමඩ පැත්තේ  සිටි මගේ ආදරණීයම  මිතුරෙක් ඔහුගේ ආච්චිගේ ආච්චි ගැන මා සමග කතා කළේ පිට රටක රස්සාව කරද්දීය. ඔහු කිව්වේ පරම්පරා හයක අතීතය දැන ගන්න ඕනිනම්  ළමයෙකුට තියෙන ස්වර්ණමය අවස්ථාව වන්නේ තමන්ගේ  ආච්චීගෙන්, ආච්චිගේ ආච්චි කී කතන්දර හා ගම රට විස්තර පුළුවාන් තරමක් අසා දැන ගන්නා එකය .
ඔහු කිව්ව කතාවේ සාරය වෙනස් නොකර මම කතාව තරමක් සංස්කරණය කළා .

මේ කියන කාලේ ආච්චිගේ ආච්චි වැන්දඹුවක්. දරුවන් මල්ලන් ළඟක හිටියේ නෑ. ගේ කෑල්ලට අමතරව ආච්චිට තිබ්බා අක්කරේක විතර ගොඩ ඉඩමක් . පුවක්  ගස්, කොස් ගස්, සපු ගස් කීපයක්, තව කොපි ගස් කීපයක් තිබ්බ මේ ඉඩමෙන්  ඒ හැටි ආදායමක් නොලැබුනත්  ආච්චිගේ ආච්චිට තිබ්බ මහාර්ඝ වස්තුව, එයාගේ ජීවිතේ වගේ වෙච්ච මේ ඉඩමම තමයි . මේ 1930 දශකයේ කතාවක්. ඉඩමට අවුරුදු පතා අයබදු හැටියට පුංචි මුදලක් ගෙවන්න ඕනි. ආච්චිගේ ආච්චිට එක්තරා අමාරු කාලෙක මේ සල්ලි ගෙවා ගන්න බැරි වෙලා. ප්‍රමාද වුනාම දඩේකුත් ගහනවා. ආරච්චිගෙන්  බුරුලක් නෑ. විඩෙන් විඩේ ඇවිත් මතක් කරනවා. කොහොමින් කොහොම හරි ආච්චිගේ ආච්චිට බදු ඇරියස් හා දඩ මුදල් කියාපු දිනේට ගෙවා ගන්න බැරි වුනා .  ආරච්චි ගෝලයොත් එක්ක ආවා ඉඩම වටේ තිබ්බ මහා ගස්වල දැන්වීම් කීපයක් ඇලෙව්වා.

මහා රාජෝත්තමයාගේ ආණ්ඩුවට පවරා ගන්නා ලද ඉඩමකි . අනවසරයෙන් ඇතුළුවීම තහනම් .
අණ පරිදි . ආරච්චිල,  අහවල් වසම

ආච්චි දහ අතේ කල්පනා කළා එහෙට දිව්වා මෙහෙට දිව්වා. ගෙයි  තිබ්බ කොස් ඇට, පරණ කෝපි , තඹ සෙම්බු, පිටලෑලි විතරක් නෙවෙයි පිඟන් කෝප්ප හිටන්  විකුණලා දැම්ම .  කවදාවත් කාටවත් ඇත නොපා ජීවත් වෙච්ච ආච්චිගේ ආච්චි විශ්වාසවන්ත කීප දෙනෙක්ගෙන් අතමාරු හිටන් කර ගත්තා. අන්තිමේදී  බදු සල්ලියි, දඩෙයි දෙකටම හරි යන්න සල්ලි හොයාගෙන ආරච්චිගේ ගෙදරට ගියා.

' ම්හු උක්කු මැණිකා' . දැන් ඉඩම පවරාගෙන ඉවරයි. දැන් ඔප්පුව ආණ්ඩුවට අයිති වෙලා. උඹ ගනන්වානම් මුළු ඉඩමේම වටිනාකම ගෙවල ආණ්ඩුවෙන් සල්ලි දීල ගන්න ඕනි '.
ආරච්චිගෙන් බුරුලක් නොලබිච්ච තැන ආච්චිගේ ආචිචි බොහොමත්ම කනස්සල්ලෙන් ගෙදර ඇවිත් කන්නේ බොන්නේ නැතිව දවසක් තිස්සේම  කල්පනා කරා.

ඊට පස්සේ මේ වගේ අමාරු අවස්තාවක් උපදෙසක් ගන්න ඉන්න හොඳම කෙනා වෙච්ච වේද මහත්තයා මුණ ගැහුණා.  බලාපොරොත්තු දල්වන සුළු උපදෙසක් ලැබුනා. ඒත් ලබන මාසේ පළවෙනි බදාදා වෙනතුරු ඉවසන්නත් ඕනි .

මේ කියන බදාදා දවස එනකං ඇඟිළි ගැන ගැන හිටි ආච්චිගේ ආච්චි එදා උදේ පාන්දරම ගෙදර තිබ්බ ඉඩම සම්බන්ධ හැම ලියකියවිල්ලක්ම පන් මල්ලකට දාගෙන සිල් ගන්න අඳින ඇඳුමත් ඇඳගෙන ඔලුව වැහෙන්න තව සුදු සාලුවකුත් දාගත්තා . පාන්දර හතර වෙද්දී උන්දෑ පාරේ. ලැසි ගමනින් පයින්ම  වැලිමඩ, පාළුගම, බොරලන්ද , වල්ගහවෙල හරහා හැතැම්ම ගානක්   මග ගෙවාගෙන මද්දහන ගෙවෙන්න ඉස්සෙල්ල හපුතලේට ආවා.

ඒ වෙනකොට හපුතලේ තාවකාලික කුඩාරමක පවත්වාගෙන ගිය ජංගම කච්චේරියේ වැඩ ඉවර වෙන්නත් ලඟයි. ඒජන්ත උන්නැහේ  කොස්ලන්ද තානායමට යන්න ලැස්ති වෙනවා. ඒරොප්පෙන් ආපු අමුත්තෝ වගයක් පිළිගන්න . එතැන හිටි මුලෑදෑණින්ගෙන් ආච්චිට දැන ගැන ලැබුනේ එහෙම . ආච්චිගේ ආච්චිට  මෙච්චර දුර ගෙවාගෙන ආපු දුක් කන්දරාවේ ආවේගය, කෙටි ඒ වුනත් බලසම්පන්න හෑල්ලක්   හැටියට කියා ගන්න  පුළුවන් වුනා .

අනේ වාසනාවන් , දවසේ අවසාන රාජකාරිය හැටියට මේ පලහිලව්වට ඇහුම් කන් දෙන්න ඒජන්ත උන්නාන්සේ කැමති උනා . තෝල්කයෙක් මාර්ගෙන්  හදිස්සියට හදිස්සියට කැරුණු පැහැදිළි කරගත් ඒජන්ත කටු පෑනෙන් සටහනක් දුන්නා . එතැන හිටි ලිපිකරුවෙක් තව මොනවද රාජකාරි පෝරම වගයක් පිරෙව්වා. ආච්චි ගෙනා හිඟ බදු , දඩ මුදල් සේරම අරන් කුවිතාන්සියකුත් දුන්නා .

' මේක අරන් පළයන් අම්මේ . දැන් ඉඩම ආයෙමත් උඹේ!"  කියල ආරච්චිට දෙන්න ලියමනකුත් දුන්නා .

ආච්චිගේ ආච්චිට වෙහෙස, බඩගින්න , කකුලේ අමාරු කිසි දෙයක් මතක නෑ. සන්තොශේ ඉහවහ ගිහින් ආපහු එනපාරේ දැක්ක මනුස්සයෝ, බල්ලෝ බළල්ලු, දිගේලි කරපු හරක් මේ සේරටම ' ඉඩම ආපහු හම්බ වෙච්ච සන්තොශේ' පෙන්න පෙන්නා  කට්ට කළුවරේ ගෙදරට ආවා.

පහුවදා නැගිටපු ආච්චිගේ ආච්චි අත් උදව්වට කොලු ගැටයෙකුත් එක්කගෙන ගිහින් අර ඉඩමේ අලවලා  තිබ්බ ආරච්චිගේ තහනම් නියෝග දැන්වීම් ගලවලා ඉරල දැම්ම . ඉඩම් මායිමේ වල් බුටැව යන්තමින්  සුද්ද කරලා , පොලොස් ගැට දෙකකුත් කඩාගෙන ගෙදර ආවා.

දවල් කෑම කාලා ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන අහල පහළ හිතවත්තු කීප දෙනෙක් එක්ක ආච්චිගේ ආච්චි ඉඩම බේරා  ගත්තු එකේ පුරාජෙරුවයි , ඒජන්ත උන්නාසේගෙයි මුලාදෑනින්ගේයි වරුණාවයි  කියව කියවා කැකිරි පල පලා ඉන්දැද්දී පොලව දෙදරවාගෙන කේන්තියෙන් පුපුරමින් එතනට කඩාපාත් උනේ  ආරච්චිල .

' උක්කු මැණිකා මම උඹව පොලිසියට බාර දෙනවා. තහනම්  දැන්වීම් කොලේ ගලවලා ඉඩමට ඇතුළු උනාලු නේද. උඹයි අප්පු කොලුවයි දෙන්නටම අච්චු කරනවා. උඹලා හිරේ දානවා".  කියපු ආරච්චිල තමන් එක්ක ආපු ගෝලයෙකුට අලුත් කොළයක් දුන්නා   "මෙන්න මේ දැන්වීම් කොලේ  අලවාපිය  මුන්දෑගේ   ඉඩමේ උස ගහක" .

ආච්චිගේ ආච්චි හිනා මුණින්ම නැගිට්ටා.

"කොලුවෝ ඔහොම හිටින්. ඔය දැන්වීම් කොලේ අලවන්න හොඳ තැනක් මං කියන්නම්" කියල නැමිලා පිටුපස්සට හැරිලා මෙන්න මගේ මේ පැත්තේ අලවාපිය කියල තමන්ගේ ප්‍රශ්චාත් භාගය පෙන්වද්දී  ආරච්චිල විතරක් නෙවෙයි එතන හිටි හැමෝම තුෂ්නිම්භූත වෙලා ගියා , ඒ අල්ලපනල්ලේ ආච්චි ගෙට දුවල ට්‍රන්ක පෙට්ටියේ පතුලේ තිබ්බ ලියමනක්  ගෙනල්ල ආරච්චි දිහාට විසික් කරා.

ආරච්චි ඒක කියවලා. ඒතැන තිබ්බ රතු පස්  ගොඩල්ලෙන් දුවිලි විසි වෙන්න පයින් පාරක් ගහලා යන්න  ගියා.

ආච්චිගේ ආච්චිගේ ගෙදරින් අහිච්ච කැකිරි පාලන හිනා හඬ එදා රෑ මැදියම වෙනකම් නතර වුනේ නෑ.

** *
අන්න ලියෝ ප්‍රනාන්දු මහත්තයා එනවා කී තානායම් පාලකගේ හඬ නිසා මම  නින්දෙන් ඇහැරුණා. අපේ රැස්වීමේ කතාව ඊළඟ කොටසින් ලියන්නම්








Posted by තිලකසිත at 8:28 PM 11 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, January 11, 2020

අර්තාපල් මුත්තාපල් හා ආචාර්ය යෝගරත්නම්


අර්තාපල් කියන්නේ ලන්දේසි නමක් . ලංකාවට තාමත් වැඩිපුර බීජ අල ගේන්නේ ලන්දේසීන්ගේ රට වන නෙදර්ලන්තෙන් නැත්නම් ඕලන්දෙන් .  තාමත් අපේ යාලුවෝ කීප දෙනෙක්ගේ ජීවිත ඉතිරි වෙලා තියෙන්නේ අර්තාපල් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නෑ.  ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අර්තාපල් හෙවත් අල අපේ ජීවිතවලට සම්බන්ධ වුනු හැටි මට ආපහු චිත්ත  රූප එක්කම මතක්   වුනේ පහුගිය සතියේ කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණායතය අයිනෙන් වැටිලා තියෙන පාරේ දියතලාව, බණ්ඩාරවෙල හා  වැලිමඩ හරහා, සීතා එලියටත් එතැනින් නුවර එලියටත්  ගිය ගමන නිසා . 

අඟල්, අඩි, රාත්තල්, හොන්ඩර යුගයේ ඉඳන් අපි මෙට්‍රික් යුගයට පිවිසුනේ 1980දි විතර. එත් තාම අල ගොවීන් අතර අර්තාපල් ගැන කිරුම් මිනුම් සිද්ද වෙන්නේ  හොන්ඩර වලින් . අල හොන්ඩර කීයක් හැදුවද? බිජ අල හොන්ඩරයක් ගත්තාද , අල හොන්රඩයක් හදලා දහයක් ගන්න පුළුවන්. එකට දහයයි" ආදී වශයෙනි  .ඒ කාලේ  අල ප්‍රවාහණය කලේ ලී පෙට්ටි වල . අල හොන්ඩරයක් හෙවත් කිලෝ පණහක් දාන්න  පුළුවන් පෙට්ටිවල තමයි රට ඉඳන් බීජ අල ආවේ. 
කාඩිනල්, ඩිසයිරී, ගිනිකේ,  ආකා , බාරකා  කියන්නේ අල භාෂාවේ වචන . ඇන්ට්‍රකොල්, රෙඩොමිල් , ටමොරෝන් කියන්නේ තවත් වචන පේලියක් . මේ මොනවද ?  මුලින් කිව්වේ ඉස්සර 1990ට කලින් අපි වගා කරපු අර්තාපල් වර්ග කීපයක්. කාඩිනල් හා ගිනිකේ කිව්වේ මුල් කාලේ වවපු  පොත්ත රතු අල වර්ග දෙකක් . ඒත් පස්සේ ඩිසයිරී රතු අල වර්ගේ තමයි ජනප්‍රියම වුනේ . ආකා හා බරාකා නමින් තිබ්බ පොත්ත සුදු අල වර්ග දෙක පහු පහු වෙනකොට කවුරුත් වවන එක අත ඇරියා. ඒවාට ලෙඩ වැඩියි .

එතකොට ඇන්ට්‍රකෝල් , රෙදොමිල් යනාදිය අර්තාපල් වගාවට ඉහින දිලීර නාශක දෙකක් . ටමරෝන් කොළ පණුවෝ කනවට එකතු කරපු සැර වැඩි කෘමිනාශකයක් . මේ මොන ජාති තිබ්බත් අල ගස් හිටු මැරෙන එක හෙවත් අංගමාර රෝගේටනම් බෙහෙත් තිබ්බේ නෑ.  කරන්නේ හිටු මැරිච්ච අල ගස්  ගලවලා වගා බිමෙන්  ඈතට වීසි කරන එක .  දවස්පතා මේ වගේ ගස් දහයක් පහළවක් ගලවලා විසි කරනවා . ඒ වුනත් මේ නොමේරු අර්තාපල් ගස්වල මුලින් මතුවෙලා ආපු ටීක් බෝල  වගේ අල ගෙඩි පොකුර වෙනම එකතු කර ගන්නවා . දැන් සුපිරි කඩවල තියෙන බේබි පොටෙටෝම තමයි ඒ.  අම්මා මේවා ගෙඩිය පිටින්  තම්බනවා. පොත්ත අයින් කරලා බදිනවා. නැත්නම් හොදි හදනවා  . ඒත් මේ විදිහට ගලවන හිටු මැරුණු අල කොට්ට උර බාගයක් විතර සතියකට ඉතිරි වෙනවා.  වට්ටක්කා වෙළඳාම නිසා හොඳ අත්දැකීම් තිබ්බ මම මේ අල ටික උරේකට දාගෙන දියතලාවේ දිසානායක  කඩේට ගෙනියනවා.  ආපහු එනකොට  අනිවාර්යයෙන්ම  ගන්න දෙයක් තමයි සතොසෙන් පැතලි මාළු ටින් එකයි, පෙරේරාගේ කඩෙන්  පත්තරයයි .

අපි බඩු ගත්තු සතොස  ගැන ආයෙමත් කතාවක් කියන්න තියෙනවා.  දියතලාවේ තිබ්බ සනානි මන්දිරය  තෙමහල් ගොඩනැගිල්ලක්.  පාර මට්ටමෙන් පහළ තිබ්බ තට්ටුවේ තමයි සතොස තිබ්බේ . පළමු මහල සෙත්සිරිය, සමුපකාරය හා සනානි පොත් හල තිබ්බා . දෙවැනි මහලේ බැංකුවක් හා තව කාර්යාල කීපයක් තිබ්බා . මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලලගේ පවුලට මේ මන්දිරය අයත්ව තිබූ බව අහල තියෙනවා.

අල වගාවේ එදා ඉඳන් අද වෙනකම් තිබ්බ ප්‍රශ්නයක් තමයි බීජ අල නැති කම. මේ පාර  අල වවන්නේ නැද්ද කියල අහපුවාම අපේ මස්සිනා කිව්වේ දැන් අල හොන්ඩරයක් හදන්න රුපියල් පනස්දාහක් විතර යනවා කියල. රටින් ගේන බීජ අල හොන්රඩයක් රුපියල් දාහත්දහයිලු. මේ රටේම සීතා එලිය ගොවිපොළේ හදන අල හොන්රඩයක් රුපියල් එකොලොස් දහයි . ඒ වුනත් අපේ බීජ අලවලින් පලදාවක් නෑ ලෙඩ වැඩියි කියලයි මට අහන්න ලැබුනේ.  බිජ අල කර්මාන්තෙ එක්තරා මාපියාවක් කියල සමහරු කියන්නේ . ඊළඟ  ප්‍රශ්නේ තමයි මේ වෙනකොට අල වගා කරන්න කම්කරුවෝ නෑ. ඉස්සර වගේ පවුලේ සමජිකයෝ  කුඹුරට බහින්නේ නෑ. 

අර්තාපල් වගාව කියන්නේ හරියට ක්‍රමවත්ව කරනවානම් ලංකාවේ ගොවි ආර්ථිකය විතරක් නෙවෙයි රටේ ආර්ථිකයත් උස්සන්න පුළුවන් වගාවක්.  ආචාර්ය යෝගරත්නම්ලා වගේ මිනිස්සු ඒ කාලේ වෙහෙසුනේ අපේ රටේම  බීජ අල හදල  අල හොන්ඩරයක් වවන්න යන වියදම අඩු කරවන්න . තාමත් වැඩේ කෙරිලා  නෑ. වෙන රටවලනම් කෘෂිකර්ම අමාත්‍යාංශයක් එහෙම තියෙනවා . 

  අපි අල වගා කරේ 1980 දශකයේ . සතොසෙන් හරි සමුපකාරෙන් හරි තමයි බීජ අල ගත්තේ. තාත්තගේ ප්‍රියතම වර්ගය ඕලන්දෙන්  ගේන ඩිසයිරී කියන රතු අල වර්ගය . ඒකෙන්  පෙට්ටි දෙකක් ගන්න  තාත්තා ගෙදර වත්තේ ඉස්සෙල්ලලම ඒ ටික  වවනවා . පලදාව ලෙස එතරම් විශාලෙට නොවැඩුණු අල ගෙඩි හොන්ඩර හත අටක් ලැබෙනවා මාස දෙක හමාරකින්. මේ මාස දෙක හමාර ඉවර වෙනකම් පුදුම දුකක් විඳින්න ඕනි . ඌරන්ගෙන් හා හොරුන්ගෙන් අල ටික බේරා ගන්න. නිතිපතා පොහොර  වතුර දාන්න . ගෙදර වත්තෙන්  නෙලා ගත් අස්වැන්න තමයි බීජ අල . මේ අල පෙට්ටි හත අට මාස හයක් විතර ගියාම ඊළඟ කන්නේ කුඹුරේ  හදනවා. පස්සේ කාලෙක බීජ අල ලොකු ගෙඩි දෙකට කපලා , කැපුම වැහෙන්න දිලීර නාශකයක් ගාන්න උපදෙස් ලැබුනා . මේ විදිහට වැඩි ඉඩ ප්‍රමානෙක වවන්න අල ලැබුණා. හැබැයි කුඹුරෙන් ගත්ත අල කවදාවත් බීජ අල විදිහට තියන්න බෑ. ඒවා මාසයක් දෙකක් තිබ්බම නරක්  වෙනවා. බීජ අල වවන චක්‍රය එතැනින් නවතිනවා. ආයිමත් රට බීජ තමයි.

කුඹුරේ අල හදන්න , වතුර දාන්න, බෙහෙත් ගහන්න හා පැල් රකින්න අපේ නව යව්වන කාලයෙන් සෑහෙන වැයවුනා. කුඹුරේ පැලේ ඉන්න ආශා හිතෙන තව සිද්දියක් තමයි තිස්සෙම ලිපේ අල තැම්බෙන මුට්ටියක් තිබීම. සමහර දවසට අල්ලපු  කුඹුරේ ලියදි අයින දිගේ හිටවලා තිබ්බ ඉරිඟු කරලුත් මේ මුට්ටියේ තැම්බුනා. වැඩිපුරම පැල් රැක්කේ අයියයි අයියගේ යාළුවොයි.  දවසක් අල රකින්න රෑ පැලට ගියේ අයියයි මායි. රෑ මැදියමේ කුඹුරේ පහළ මායිමෙන් කාගේදෝ බර අඩි සද්දයක් ඇහිලා මම අයියව ඇහැරෙව්වා . "අන්න සද්දයක් ඇහෙනවා" මම කීවා . 
"අර ටෝච් එක අරන් පොඩ්ඩක්  බලන්න" . කියපු අයියා  අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා . මරු පොර අල රකින්න.  ඒ දවස්වල අයියා උසස් පෙලට පාඩම් කරනවා. 

තව වතාවක් අපේ අල රකින්න ආවේ  සෙනෙවි. එතකොට අයියා කැම්පස් ගිහින් .  සෙනෙවියි මායි මාස දෙකක්  පැල් රැක්කා. අන්තිමට අල ගලවලා විකුණන්න හිතන් හිටි දවසට කලින්දා අපි පැලට ගියේ රාත්‍රී නවයට විතර. ඒ යද්දී  අපිට අල ගස් පෙරලලා තියෙන වග පෙනුනා . තව ටිකක්‌ විපරම් කරද්දී අල වගාවේ හොඳම හරියට  හොරු වැඩේ දීලා. ඒ විදිහට අපේ ගේ ළඟ වත්තෙයි  කුඹුරෙයි හදාපු අල තුන් පාරක් හොරු ගැලෙව්වා. තුන් හතර පාරක්ම ඌරෝ විනාශ කළා. අපි සැලුනේ නෑ. එක වතාවක් අපි ගමෙන්ම වැඩිපුර අල වවපු පවුල වුනා . අල හොන්ඩර දහයක් හිටෙව්වා . එකට දහයක් වෙච්ච අස්වැන්නක්  ඒ කියන්නේ හොන්ඩර සීයකට  වැඩිය ගැලෙව්වා. බණ්ඩාරවෙල හිටි පුංචිරාළ  මුදලාලි  ලොරි දෙකක් අරගෙන අපේ ගමට ඇවිත් අල පටවාගෙන ගියා. ඒ සැරේ සල්ලිවලින් අපි ගමට හැතැප්ම තුන හතරක් ඈත ලස්සන සානුවක තිබ්බ කන්දේ ආරාව කියන කුඹුර සල්ලිවලට ගත්තා . ඒ කුඹුරට යන්න ඕනි හිඹුටු , පේර හා කටුවැල් පිරිච්ච ලන්ක්දක් මැදින්. අපි කන්න දෙකක් විතර ඒ කුඹුර වගා කරලා ආපහු මුල් අයිතිකාරයාටම දීලා දැම්මා. 

ඉතින් අපි අල වවන කාලේ දියතලාව , බණ්ඩාරවෙල , වැලිමඩ, නුවර එලිය වගේ පැති අල ආර්ථිකයෙන් සශ්‍රික වෙලා තිබ්බේ .  ඒ කාලෙත්  බීජ අල සම්බන්ධ ප්‍රශ්නෙත්  තිබ්බ . පොහොර ප්‍රශ්නේ තිබ්බා . ඒ වෙනකොටත් කහගොල්ලේ හා සීතාඑලියේ පර්යේෂකයෝ ලංකාවේම බීජ අල වවන හැටි හොයමින් හිටියා . මේ අතර ප්‍රමුඛයා ආචාර්ය වී යෝගරතන්ම. ඔහු තමයි ඉන්දියානු අල  ප්‍රබේධ  මුහු කරලා ශීතා හා කෘෂි කියන අපේම අල වර්ග දෙක හොයා ගත්තේ . 1989 වෙද්දී ඔහු හිටියේ බණ්ඩාරවෙල , කහගොල්ල සහකාර කෘෂි අධ්‍යක්ෂකවරයා වෙලා. ඒ වෙනකොට අපි යන එනමන් නැතිව අනාත වෙලා . කැම්පස් වහලා . ආචාර්ය යෝගරත්නම් අපි හැමෝටම කෘෂි පර්යේෂනායතනේ සුළු සුළු රස්සා දුන්නා. බීජ ගනින්න, පැකට් කරන්න. දත්ත වගු  ගත කරන්න වගේ ඒවා  . මේ රස්සා දීම නිසා කීප දෙනෙක්ගේ ජීවිතත් බේරුනා . ගෙවල්වල හිටියානම් වෙන කොහේ හරි ගියානම් පොලිසියෙන් උස්සන කාලයක් ඒක. මමයි තිස්සය් ආචාර්ය යෝගරතම් ගැනත් ඔහුගේ පර්යේෂණ ගැනත් ලිපි කීපයක්ම ලිව්වා. දැන් ඒ පත්තර හොයා ගන්න නෑ

මම මේ ළඟදී අන්තර්ජාලය පීරා පීරා හෙව්වා ආචාර්ය වී යෝගරත්නම් ගැන තොරතුරු ටිකක් හොයා ගන්න . ඒත් හම්බුන් නෑ. ඒ වෙනුවට මෙන්න මේ ලිපිය හම්බුනා . 

Photo : The Grower


Posted by තිලකසිත at 11:22 PM 18 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, December 31, 2019

දොළොස් මහෙන් උපන් බබා



අලුත් අවුරුද්ද සුබ වෙන්න නම් ගෙවිච්ච  අවුරුද්ද ගැන මොන විදිහේ හරි තෘප්තිමත් අදහසක් තියෙන්න ඕනි. ලියන්නට ගොඩක් දේ හිතේ තියෙන නිසා 2020 අවුරුද්ද මටනම් සුබ වෙයි.. සතුටු, අසතුටු  ජීවිත අත්දැකීම් ගොඩක් ලැබුණු  නිසාත් නරක හොඳ කරගන්න සටන් කරපු නිසාත්  2019 අවුරුද්දේ ජීවිතයට අගයක් එකතු වුනා . ඒ ගැන සතුටුයි.  මේ නයින් ගත්විට ඔබටත් අනිවාර්යයෙන්ම ලැබෙන අවුරුද්ද සුබ වේවි . නව  අවුරුද්දේ දුක සැප දරාගෙන සුපුරුදු සටනේ යෙදෙන අතරතුර හැකි විදිහට අපේ සම්බන්දෙ තියාගමු , අඩු ගානේ  මොනා හරි පම්පොරියක් ලියල බෙදාගෙන හරි එකට ඉමු.

මෙන්න මම ලියන්න පටන් අරන් ඉවර නොකරපු කතා ටිකක්.


  1. කන්නෙලියේ  නයනා හා විල්පත්තුවේ ඩයනා - මෙරට සංචාර වලදී හමු වූ අපූරු තරුණියන් දෙදෙනෙක් ගැන කතන්දරයක් 
  2. පිලිපීනාලන්කාරය- කටාර්වලදී  හමු වූ පිලිපීන ජාතිකයන් පිරිසක්  ගැන අන්දරයක් 
  3. BTS ගමනේ යා- සුප්‍රසිද්ද BTS සංගීත කණ්ඩායම ගැන අපේ ඔවිනී හොයා ගත් අපූරු විස්තර
  4. විදුසර මතක 1 හා 2- 1990 සිට 95 අතර කාලයේ විදුසර පත්තරය හා ඇසුරු කළ සමයේ මතක සටහන් 
  5. කොස්ලන්දේ පුරාවත - සුවිශේෂ නගරයක්  වූ කොස්ලන්ද හා බැඳුනු කතන්දර 
  6. කලාපුරේ සය මසක් - ගල්කිස්ස කලාපුරේ ජීවත් වූ කාලය ගැන අතීතාවර්ජනයක් 
  7. බොනරබල් ජීවිත - බේබදු කතා පෙළක්
  8. පැනිදෙනි මතක පොත- පේරාදෙනි පැනිදෙණියේ  එදා හා අද විස්තර 
  9. හිත් ගත් ප්‍රොජෙක්ට් මැනේජර්ලා  - චරිත කතා පෙළක් 
  10. වෙළඳ දැන්වීම් තුනක් - මිත්‍ර  ව්‍යවසායකයින් තුන් දෙනෙකුට දෙන පබ්ලිසිටියක් 
  11. දොළොස් මහෙන් උපන් බබා - නිම  වෙමින් යන මගේ කුළුඳුල් පරිවර්තනය හැඳින්වීම 
  12. මගේ පොර ටෝක් ක් - පොත් දොරට වැඩුම්, සමුළු  හා වැඩ බාර දීම් ආදියේදී මා කළ දෙසුම් සාරාංශ පෙළක් 
මේ කතා  draft ලෙස මගේ බ්ලොග් අඩවියේ එකතු කර තිබෙන බවත් ලියා අවසන් වූ වහාම...    .

ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා ! 


Posted by තිලකසිත at 10:01 AM 18 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, October 29, 2019

බිබිලේ වැස්ස 2 හෙවත් බයියන්ට නම ලැබුණු හැටි



මේ බිබිලට වහිනවද කතාවේ දෙවන කොටසයි.

මොණරාගල ඇතිමලේ ගොවි ජනපදයේ පදිංචිව සිටි අපේ ගමේ පවුලක ළමයෙකු වූ සමරකෝන්  ආපහු අපේ ගමට ආවේ මා  පහේ පන්තියේ සිටිද්දීය.  ඉතා තීව්ර කට හඬකින් කතා කරන සමරේ ඉස්කෝලේ සාහිත්‍ය සමිතිය වේදිකාවට ගොඩ වී ගැයු  ජන කවියක් මට තාම මතකයි .

මුලදී කැලේ හැටි දුටුවම කුමක් වැනී
කැත්ත නොදුටු අපේ මාමගේ රැවුල වැනී
හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනී
බඳින දවසේ එලි කල මගේ රැවුල වැනී

මේ ගායනාවෙන් පසු  කොල්ලන් හා කෙල්ලන් හිකි හිකි ගගා වරුවක් හිනා වුනේ පහේ පන්තියේ කොල්ලෙක් කසාද බඳින කතාවක් ගැන කී විට දැනුණු හන්කිතියත් එක්කය.  මට දැන්නම් හිතෙන්නේ සමරේගේ කටහඬ ජනකවි ගායනයට අපූරුවට ගැලපෙන බවයි . සමන් ලෙනින්ගේ ජන ගායනාවක් ඇසෙන විට මට සමරේගේ අඬහැර පාන්නාක් වැනි වූ ගායනා විලාශය සිහිපත් වේ .

සමරේට කොල්ලන්  කිව්වේ බයියා කියලාය. අපේ ගමටත් වඩා ඈත පිටිසරකින් ගමට එන කාටත් පොදුවේ බයියන් යන අන්වර්ථ නාමය යෙදුනත් ඒ කාලේ අද මෙන් ඒ නාමයට දේශපාලන අර්ථ නිරුපනයක් තිබ්බේ නැතිය.

සමරේගේ පවුලේ අය මෙන්ම ඈත ගොවි ජනපදවල ඉඩම් ලැබීම නිසා  අපේ ලස්සන ගම් පියස අතහැර දමා වරින් වර පවුල් පිටින් පිටගම්ගිය ඇත්තෝ එමට වෙති. ඒ සංක්‍රමණ කතා පටන් ගෙන තිබුනේ 1953න් පසු ගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු නිම වීමත් සමගය . බදුල්ල දිස්ත්‍රික්කයේ  මහියංගන මාපාකඩ වැව නාගදීප,  මොනරාගල  දිස්ත්‍රික්කයට අයත් ලාහුගල, ඇතිමලේ , ඔක්කම්පිටිය හා ඉන්ගින්යාගලට පමණක් නොව පුත්තලම  දිස්ත්‍රික්කයේ රිදී බැඳි ඇල ව්‍යාපාරයේ වතුරෙන් වගා කරන්නටත් දියතලාවේ සුන්දර ගම්මානයක වැසියන් වූ අපේ ගමෙන් මිනිස්සු ගියහ.

මේ ගිය කාගේ හෝ පවුලක සාමාජිකයෙක්න්  පසු කෙලක ගමට ආවානම්  ඔවුන් බයියන් වුවා සේම ඔබ දන්නවාද තවත්  වැඩක්?. මේ මිනිසුන් යන විට ඒ පැත්තේ  ජීවත් වු පුරාණ ගම්වල වැසියන්ට අලුතින් ජනපද වල පදිංචියට ආ පොෂ් මිනිසුන් කියලා තියෙන්නත්  බයියන් කියලාය.

මගේ මිතුරා සුදත් ගමගේ  මට පසුගිය දවසක මෙහෙම කිව්වා. ඒ අපේ ගිය අගෝස්තුවේ  අම්පාරේ ගමන හා 'බිබිලට වහිනවද ' ලිපියෙන්  පසුවය .

''ඉඟිනියාගල  වැවු බැම්මේ පසුගිය් දවසක පිරිතක් කිව්වා . ගොවි  සමිති එක්කාසු වෙලා අලුත් කන්නයක් පටන් ගන්න කලින් කරගෙන යන චාරිත්‍රයක් . ඉතින් මේ සමාජ සංස්කෘතික කාර්යයෙන් පස්සේ සතුටු සාමීචියේ යෙදීලා ඉන්නකොට බොහොම පැරණි ගම්මාන ගැනත් කතා වුනා. 1818 වෙල්ලස්සේ කැරැල්ලෙන් පස්සේ සුද්දන් වෙල්ලස්ස හා බින්තැන්නේ ගම් බිම් විනාස කරන විට ඊට බය වූ ගම්මුන් අතට අහුවෙන දෙයක්  උස්සාගෙන , දරුමල්ලන් කර ගසාගෙන ජීවිත බයෙන් පලා ගියේ ගල් ඔය නිම්නයේ නැගෙනහිර දිසාවට.
මෙහෙම ඇවිත් පදිංචි වෙච්ච වැසියන් ජීවත් වූ පොඩි පොඩි ගම්මාන ඉඟිනියාගල ජලාශයට යට වූ භුමියේ ත් තිබුන බවටත් ඔවුන් බය වී පලා ආ නිසා බයියන් ලෙස  හැඳින්වූ බවත් තමයි එක් වියපත් ජනපදිකයෙක්  කියලා තියෙන්නේ. මේ පැරණි බයියන් සිටි ගම්මාන විලින් විතැන් කොට අලුතින්  පදිංචි කරන එක තමයි ගල් ඔය වයාපාරේ මුලින්ම කෙරිලා තියෙන්නේ .

ජලාශේ හදලා ඉවර වුනාම මේ ගම්මානවලට අමතරව අලුතින් ජනපද හෙවත් කොළණි හදල ඈතින් ගොවි පවුල් පදිංචි කරාම ඔවුන් මුල් ගම්මාන වැසියන්ට බයියන් කී බවත් . දෙවන  පිරිස් යලි ඔවුන් මුලින් සිටි ගම්වලදී බයියන් වූ හැටිත් පුදුම එළවන සුළුයි.

ඒත් හරිශ්චන්ද්‍ර විජේතුංගගේ සිංහල ශබ්ද කෝෂයේ 'බයියා'  යන්නට අරුත් කීපයක් දී තිබෙනවා " අත දරුවා , පිටිසර මිනිසා හා නොදියුණු මිනිසා ' වශයෙනි. එහෙත් මේ පිලිබඳ මහැදුරු ජේ බී දිසානායකගෙන් කළ විමසීමේදී ඔහු පැහැදිළි කර දුන්නේ බයියා  හෙවත් බෑයා යනු සහෝදරයාට කියන නමක් බවය . ඔහු මපාරට නම හැදුණු හැටිත් මට කියා දුන්නේය . ඒ අනුව අඹ පාර යන වචන දෙක සන්ධි වී 'අම්පාර; සෑදී ඇත,

ආයෙත් ගල්ඔය පැත්තට ගියොත් ගල්ඔය ව්‍යාපාරේ අලුත් කොලනි හතලිස් හතක් ඉදිකර තිබු බවත් ඒ එක ගමක පවුල් එකසිය පනහක් පදිංචි වූ බවත් 23 වෙනි කොලනියේ එකසිය විසි තුන ගමේ පදිංචි ගැමුණුලා ලොකු අම්මා කීවාය .  මේ කොළණිවල ට ඉලක්කමෙන් නම් ලැබුනද ඒවා බොහෝ විට  මුල් පදිංචි කරුවන් පැමිණි ගම්මානවල  නමින් හැඳින්විණි . ගම්පොල කොලනිය,  කෑගලු කොලනිය, වැලිමඩ කොලනිය ආදී වශයෙනි.

අම්පාරට ආගන්තුකයෙක් වූ මට මේ ගම්මාන ගැනත් ගල්ඔය නිම්නයේ ජීවිතය ගැනත් සොයා බලන්නට ආශාවක් ඇති වී තියෙද්දී  ඊට තවත් තල්ලුවක් ලැබුනේ මෙවර පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ කුටියේ තිබී හමු වූ පියසේන කහඳගමගේ විසින් ලියන ලද 'දිගා මඩුලු දනව්ව' නම් පොත ය .  ගුරුවරයෙකු ලෙස දශක ගණනාවක් අම්පාර දිස්ත්‍රික්කයේ දිවි ගෙවූ  ඔහු දිගාමඩුල්ල ආශ්‍රිත පර්යේෂණ හා නිර්මාණ අඩංගු පොත් පහළොවක් ලියා තිබෙනවා. ආර් එල් ස්පිටල්, ආර් එල් බ්‍රෝහියර්  , මායා රන්ජන්, තාඹුගල  ආනන්ද හිමි, ගුණසේකර ගුණසෝම , සඳරුවන් ලොකුහේවා  ඇතුළු ලේඛකයන් නව දෙනෙකු විසින් ලියන ලද පොත් තිස් හතක ලැයිස්තුවක්ද 'දිගා මඩුල්ල දනව්ව' පොතේ ඇතුලත්ව තිබේ.

දිගාමඩුල්ල ආශ්‍රිත පැරණි ගම්මානවල පොහොසත් සිංහල භාෂාවක් භාවිතා වූ බවත් මේ දනව්වෙදී හමු වූ ජීවිතය හා භාෂාවේ ජීව ගුණය ඉස්මතු කළ ලේඛකයා මායා රන්ජන් බවත් කහඳගමගේ සඳහන්  කරනවා.  දිගා මඩුල්ලේ ආශ්චර්ය , මගේ රාජ්‍යය හා පිටිසර මිනිස්සු නමින් පොත් තුනක්  මායා රන්ජන් යන අන්වර්ථ නාමයකින් ලියු මහානාම රාජපක්ෂ වේයන්ගොඩ ඉපිද  අම්පාරේ අකුරු උගන්වන්නට ගිය ගුරුවරයෙක්.

වනසරණ හා මැකී ගිය දඩමං නමින් සිංහලට පෙරලුනු Savage Sanctuary  හා Vanished Trails යන දිගාමඩුල්ලේ හා බින්තැන්නේ සමාජ මානව තොරතුරු නවකතා  පොත් ලෙස ලිව්වේ ආර් එල් ස්පිටල්ය.  හිටපු මිනින්දෝරු අධ්‍යක්ෂකවරයෙකු වූ ආර් එල් බ්‍රෝහියර් ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ගැන 1951දී ලියු පොත  මට තාම සොයා ගන්නට බැරි වූ සම්පතකි.

1818 කැරැල්ල , දිගාමඩුලු ඉතිහාසය , නැගෙනහිර සංස්කෘතික උරුමය හා වාරි කර්මාන්ත   , ඉඟිනියාගල ජලාශය , ගල් ඔය නිම්නයේ කතාන්දරය  , ජනපදකරණය හා ලංකාවේ කෘෂිකර්මාන්තය ආදී විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවානම් දවස් ගානක් කතා කරනන්ට පුළුවන. අර පොත් තිස් හත අතරට අලුත් පොතක් එකතු කරනවානම් අම්පාරේ අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්නට ඕනෑය. කොළඹ ඉඳගෙන  ඔය වැඩේ කර න්නට බැරිය .

ඒ නිසා මගේ සිහින ග්‍රන්ථය ලියන්නැයි අම්පාරට ආදරය කරන මිනිසේකුට  මම ඇරයුම් කලෙමි. ඔහු සරල සුන්දර, කලාකාමී ඉංජිනේරුවරයෙකු වන සුදත් ගමගේය . ඔහු  අම්පාරේ වාරිමාර්ග අධ්‍යක්‍ෂකවරයාය . පොත ගැන විස්තර කී විට ඔහු සරල සිංහලෙන් කීවේ මෙසේය.
' මම විස්තර හොයලා දෙන්නම් උඹම ලියපන් " කියලය. ඒ වුනත් ඔහු වැඩේ ගැන උනන්දු වෙමින් තිබේ .

ඊයේ හවස මට පණිවිඩයක් එවූ ඔහු කිව්වේ දැන්නම් බිබිලට වහිනවා කියලාය. අගෝස්තුවේදී අඩියටම වේලී තිබූ සේනානායක සමුද්‍රය පිරෙන්නට පටන් ගනිමින් තිබේ. ඊයේ වෙනවිට එහි අක්කර අඩි 89.700ක් පිරී තුබුනේය.

එන මාස් කන්නයේදී වී වගා කරන්නත්  ලංකාවෙන් පහෙන් එකකට බත් දෙන වැඩේ කරන්නටත්  පුළුවන්ය. හිඟුරානේ උක් වගාවට වතුර ලැබේ. ඇළ වේලිවල , වක්කලම් වල වතුර පිරී යනු ඇත . නිල්ල පිරෙන වෙල් නියර දිගේ දුව යන පොඩිත්තෝ ඇලේ වරුවක් පීනා කුඹුරේ වැඩ කරන මාපියන්  සමග ගෙදර එන දසුනත් සමග මට මේ වදන් ඇසේ.

බිබිලට වහිනවාලු !

සේයාරුව : දෙව්නි 
Posted by තිලකසිත at 6:00 PM 17 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, September 14, 2019

බිබිලට වහිනවද ?

සේනානායක සමුද්‍රය - අගෝස්තු 2019
දුර බැහැර  කෙනෙක් හමු වුවහොත් හෝ දුරකතනෙන් කතා කරොත් මම සාම්ප්‍රදායික ප්‍රශ්නයක්  අහනවා .
'කොහොමද ඔය පැත්තට වහිනවද ? " මේක ඔහේ මූනිච්චාවට අහන දෙයක් විතරක් නෙවෙයි . මට ඇත්තටම දැන ගන්න ඕනි වෙනවා  ඒ කියන පුද්ගලයා ඉන්න පැත්තට වහිනවද කියල. වැස්ස ගැන ආරංචි එක්ක බැඳිච්ච මොකක්දෝ සැන්ටිමැන්ටල් දෙයක් තියෙනවා මට.

පහුගිය අගෝස්තු විසිපස් වෙනිදායින් පස්සේ මම දුර බැහැර කෙනෙක් කතා කරපුවාම අර සුපුරුදු ප්‍රශ්නෙට  මොන විදිහේ උත්තරයක් ලැබුණත් ඊට පස්සේ මේ ප්‍රශ්නෙත් අහනවා .
'බිබිල පැත්තට වහිනවද දන්නේ නෑ?' මේ දෙවන ප්‍රශ්නේනම් සැන්ටිමැන්ටල් ගතියකට වඩා මැන්ටල් ගතියක් තිබ්බත් මට ඒක දැන ගන්නකං ඉවසුමක් නෑ. දැනුත් මම කල්පනා කරන්නේ ලුණුගල, මඩොල්සිම බෑවුමටයි බිබිල පැත්තටයි ඇතිවෙන්වන වහීවිද  කියල.

**********
ජලය පිරුණු සේනානායක සමුද්‍රය - Wikipedia

අම්පාරේ  ඉඟිනියාගල ජලාශේ තියෙන්නේ මොන දිස්ත්රික්කේද ?  ඒක නිකන් ශත පහළොවේ තැඹිලි පාට මුද්දරේ  මොන පාටද කියල ඉස්සර අපේ පියරත්න සර් කරකවල අහන ප්‍රශ්නේ වගේ එකක් .
ඔබ   පැනලා උත්තර දෙනවා  මෙහෙම.
"ඒක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කේ , නැගෙනහිර පළාතේනේ"
"වැරදියි" . මම උද්දාමයෙන් කියනවා
"නෑ ඉඟිනියාගල අයිති මොණරාගල දිස්ත්රික්කෙට. ඌව පලාතට"

ඒ වගේම තමයී හම්බන්තොටට අච්චර ළඟ තියෙන  කතරගම අයිති හම්බන්නතොට දිසාවට නෙවෙයි මොණරාගල ආසනේට කිව්වම මට හිතා ගන්න බැරිව හිටියේ සෑහෙන කාලයක්.

ඌව පළාත මහා විශාල ප්‍රදේශයක්. ලංකාවෙන් පහෙන්   එකකට බත් දෙන සේනානායක සමුද්‍රය හෙවත් ඉඟිනියාගල ජලාශේ තියෙන්නෙත් එහි ජලපෝෂක ප්‍රදේශය මුළුමනින්ම තියෙන්නෙත් ඌව පළාතේ. 1949 හදන්න පටන් ගත්තු  ඉඟිනියාගල ජලාශේ හදල ඉවර උනේ 1954. අදටත් ලංකාවේ ලොකුම ජලාශේ තමයි ඒක.

පහුගිය දවසක මම බස් එකේ අම්පාරේ ගියා, මාත් එක්ක වස ඉලන්දාරියෙක් ගියා . වස ඉලන්දාරියා කිව්වට මිනිහා අවුරුදු පණහත් පැන්න කෘෂි රසායන හෙවත් වස  පිලිබඳ විද්වතෙක්. ඔහුට වස ඉලනදාරියා කිව්වේ කාඩ් එකට.  කඩවතින් ඉන්ටසිටියක නැග්ග අපි උදේ අට හමාර වෙද්දී නුවර. නුවරින් අම්පාර ඉන්ටසිටියක දහ අට වංගුව, මහියංගනය , පදියතලාව හරහා අම්පාරට එනකොට දවල්  කෑමට වෙලාව හරි. මග දිගට අපි කතා කරපු මාතෘකා වෙන වෙනම කෙටි කතා දහයක් විතර ලියන්න පුළුවන්.  ජපානේ කුඩා නගරයක ජීවිතේ , ලංකාවේ රසායන වෙළඳාම , වකුගඩු රෝගය, කෘෂි බෙහෙත් වෙළෙන්දන්ට ලැබෙන තායිලන්ත සවාරි. අපේ තාත්තා දියතලාවෙන් පදියතලාවට මාරු කරපු කතාව වගේ හරබර විස්තර තිබ්බා .

බස් එකෙන් බහිද්දී අපිව ආදරෙන් පිළිගත්තේ  අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂතුමා . එයත් එක්ක ඉඟිනියාගල වැවු බැම්මට  ගිහින් බණ්ඩාරවෙල ඉඳන් ආපු යාලු සමාගමට  එකතු වුනා .  ට්‍රිප් එකේ විස්තර එහෙම්මම කියන්ට තියෙද්දී  මම ඉඟිනියාගල ජලාශේ ගැනම හාරා හාරා අහන්න පටන් ගත්තා .
මේ ඒවගේ අහපු ප්‍රශ්ණ හා ලැබිච්ච පිළිතුරු. මේ පිළිතුරු සමහර ඒවා නිවැරදිම ඒවා  නෙවෙයි කියලත් මට හිතෙනවා .  උත්තර දුන්නෙත් එක්කෙනෙක් නෙවෙයි. මගේ යාළුවො හා අන්තර්ජාලතොරතුරු.

ප්‍රශ්නය  : දැන් එතකොට මේ ජලාශේ හදන්ට කලින් අම්පාර කියල එකක් තිබබෙ නැද්ද ?
උත්තරය : නෑ මේ පළාත විශාල වනාන්තරයක්. අලි කොටි වලස්සු ගහන දඩබිමක් . අම්පාර නගරය මුලින්ම ජනාවාස උනේ ඉඟිනියාගල ජලාශේ හදන්න ආපු පිරිස නිසා.මේ පළාතේ වයස අවුරුදු හැට ගානක් වෙන්නේ තාමත් .

ප්‍රශ්නය : එතකොට ඒ කාලේ අම්පාරට එන්න පාරක් තිබ්බේ නැද්ද ?
උත්තරය : නෑ . මඩකලපුවට කෝච්චියේ ඇවිත් කල්මුනේ පැත්තෙන් වෙන්ට ඕනි ආවේ.  ( ඉතින් එතන ලොකු කතාවක් ඇතිනේ හොයාගෙන ලියන්න ඔනි)

ප්‍රශ්නය  : එතකොට ගල්ඔය ව්‍යාපාරෙයි  , ඉඟිනියාගලයි  අම්පාරයි අතර  තියෙන සම්බන්දෙ මොකක්ද ?

උත්තරය : ගල්ඔය කියන්නේ බිබිල පැත්තෙන් පටන් අරන් කලමුණේන් මුහුදට වැටෙන ගඟක්.කිලෝ මීටර් 108ක් දිග ලංකාවේ දහසය වෙනියට දිග ගංගාව.  ඒ ගඟ ඉඟිනියාගලදී  හරස් කරලා තමයි ගල්ඔය ජලාශේ හැදුවේ. ඉඟිනියාගල ජලාශේ , ගල්ඔය ජලාශේ , සේනානායක සමුද්‍රය ඔය සේරම එකයි.

ප්‍රශ්නය : ජලාශේ  හැදුවේ කවුද ? කාගේද සල්ලි

උත්තරය :  ලංකාවේ සල්ලිවලින් ලංකාවේ පරිපාලනයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කරලා Morrison Knudsen කියන ඇමෙරිකානු සමාගම මගින් තමයි වේල්ල හැදුවේ.   මේ වේල්ල හැදීමේ , මුලික සංකල්පය, සැලසුම, ඉදිකිරීම හා නඩත්තුව ගැන වෙනම ලිපියකින් කතා කරන්න ඕනි 

ප්‍රශ්නය : ජලාශේ ඉදිකරාට පස්සේ ජනපද ඇතිකිරීම් , 1956 දී ඇති වෙච්ච ජාතිවාදී කෝලහාල ගැන 

උත්තරය: ඒ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා . තව දවසක කතා කරමු . 

ප්‍රශ්නය : ජලාශේ ගැන තව විස්තර ටිකක් කිව්වොත් 

උත්තරය : මේ ජලාශේ වේල්ල පස් බැම්මක් . මීටර් 1,100 ක් දිග මීටර් 43ක් උසයි. ඒත් මේ සා කුඩා වේල්ලකින් දරා ගන්න ජල කඳ අති විශාලයි . අක්කර අඩි  හත්ලක්ෂ හැත්තා දහයි . ලකාවේ එකම තැනක හිරවුණු ලොකුම ජලකඳ

ජලාශේ ප්‍රයෝජන : 
කුඹුරු අක්කර 120,000 ක් වගා කරන්න වතුර දෙනවා . සාමාන්‍යයෙන් එක අක්කරේක කන්නයක් වගා කරන්න අක්කර අඩි තුනක විතර වතුර ප්‍රමාණයක් ඕනි . වැව අවුරුද්දකට වතාවක් පුරවා  ගත්තම කන්න දෙකක් වගා කරන්න වතුර දෙන්න පුළුවන් . තව මෙගාවොට් 11 කට ටිකක් වැඩි විදුලියක් උපදවන බලාගාරෙකුත් තියෙනවා. හිඟුරාන උක් ගොවීන්ට වතුර දෙන එකයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තෙයි අතිරේක වාසි .

ඉන් පස්සේ තේ විවේකය . විවේකය කියල නෑ උහන ගොනාගොල්ල පැත්තට වතුර ගෙනියන  වම් ඉවුර ගැන , දමන හිඟුරාන පැත්තට වතුර දෙන දකුණු  ඉවුර ගැන , කල්මුණේ, අක්කරේපත්තුව  පැත්තට ඇදෙන  රිවර්  විෂන් එක ගැන අපි දිගටම කතා කරා. 
ඒත් අපි අම්පාරේ ගිය අගෝස්තු 25 වෙනකොට ජලාශය හොඳටම දුප්පත් වෙලා. ජලාශේ මුළු ධාරිතාවෙන් සීයෙට තුනක්  විතරයි  වතුර තිබ්බේ . හරියටම  කියනවානම් අක්කර අඩි විසි එක්දහස් හයසීයයි. 

අපිට සති අන්තේ සියලු ආගන්තුක සත්කාර කරපු අම්පාරේ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා මෙහෙම කිව්වා. 

"ජලාශේ වතුර ඔය ගානට අඩු වුනේ මෑත ඉතිහාසේ පළවෙනි වතාවට . ඉතින් බිබිල පැත්තට වැස්සොත්  තමයි මේකේ වතුර පිරෙන්නේ. දැන් ගොවියෝ යල කන්නේ වගා කරන්න සුදානම් වෙනවා. තව හිඟුරානේ  උක් ගොවීන්ටත් වතුර ටිකක් දෙන්න ඕනි .

අනික වතුර අඩුවෙනකොට බැලන්ස් කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. වතුර  හිඳෙනකොට මාළු මැරෙන්න පටන් ගන්නවා. අපි ධීවර සමිතිවලට කියල වතුර අඩු වෙන්න කලින් වැඩිපුර මාළු අල්ලන්න කිව්වා . සමහර ඇලවල්වල වතුර සීමා කරලා දෙනකොට මිනිස්සු අතර  ප්‍රශ්න ඇති වෙනවා .  ජනවර්ග කීපයක මිනිස්සු ඉන්න නිසා ප්‍රශ්නේ හරි සංවේදීව විසඳන්න ඕනි.  මෙහෙ තියෙන ගොවි සමිති , පොලිසිය එහෙම හොඳ තේරුම් ගැනීමකින් වැඩ කරන එක ලොකු දෙයක් ".

වාරි මාර්ග ඉන්ජිනේරුවෙකුට කරන්න තියෙන රාජකාරී වපසරිය තාක්ෂණ දැනුමින් එහාට ගිය ලොකු මෙහෙවරක් කියල මට පළමු වතාවට  තේරුම් ගියේ එදා තමයි. 

මම ඒ ගමනෙන් පස්සේ දවසක් ඇර දවසක් අපේ යාළුවාට කතා කරනවා. 
කොහොමද වැස්ස ආවද. වතුර පිරුනද ? 

පහුගිය දහ වෙනිදා කතා කරනකොටත් වතුර මට්ටම එහෙම්මමයි . එත් බලාපොරොත්තු සහගත කතා දෙකක් කිව්වා. 

 " කාලගුණ වාර්තාවල හැටියට  මේ දහතුන් වැනිදායින් පස්සේ වැස්ස එනවලු.  දැන් මාළු මැරෙන ප්‍රශ්නේ විසඳිලා . ඉන්න ටික අර පොඩි පොඩි වතුර පිරිච්ච තැන්වලට සේන්දු වෙලා ' 

අද මේ ලිපිය ලියන්න පටන් ගනිද්දීම මම ආපහු අම්පාරේ මිත්‍රයට කතා කරා.  
කොහොමද. වැව පිරෙන්න පටන් ගත්තද ? 

"ඔව්. බිබිල  පැත්තට පොඩි වැස්සක් දෙකක් ඇවිල්ල. දැන්නම් දිගටම වහියි"


-මතු සම්බන්ධයි- 

Posted by තිලකසිත at 10:21 AM 26 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Friday, July 26, 2019

ලාල්ගේ මතක පොත - කළු ජුලිය

අතේ ගෙන යා හැකි දුරකථන තිබුනෙම  නැති ලෑන්ඩ් ෆෝන් පවා ඉතාමත් සීමිත වූ කාලයක ඉදිකිරීම්    සංස්ථා ප්‍රධාන කාර්යාලය හා වැඩබිම් අතර බොහොමයක් දේ සන්නිවේදනය කෙරුනේ රේඩියෝ සෙට් වලිනි .

ඒ 1983 ජුලි 24 වැනිදා හවස් ජාමයයි .
Head Office calling . head office calling .. ඕවර්.
 මාලිගාවත්ත පයිලින් වැඩබිම බාරව සිටි තරුණ ඉංජිනේරු ලාල් වහා රේඩියෝ සන්නිවේදන උපකරණය අසලට ආවේය .
."අද ඇඳිරි නීතිය පනවලා. වහාම වැඩබිම වසා සේවකයන් පිටත් කරන්න ඕවර්...'
"පණිවිඩය පැහැදිලිද ඕවර් "

"මාලිගාවත්ත කෝලින් පණිවිඩය පැහැදිලියි ඕවර් '

 ලාල් සිය කන්තෝරුවේ නිලධාරීන් කැඳවා වහාම තත්ත්වය  දැනුම් දුන්නේය . ඒ වනවිටත් කටකතා හා වෙනත් ආරංචි මාර්ග වලින් ඔවුහු වෙන්න යන දේ දැනගෙන සිටියෝය  . හැමෝම යුහුසුළු වෙමින් තම තමන්ගේ අත් බෑග, කන්තෝරු පයිල් බෑග, ඉටි කොලේ එතූ කෑම පෙට්ටි හෝ  හිස් අත් සමහ  මගට බටහ.  අනෙක් සියලු දෙනා කෝච්චියේ හෝ බස් එකේ හෝ පයින්ම ගෙදර යා  යුතු නිසා ඔවුන් කලින් පිටත් කර හැරී ලාල්  සිය නිල වහනය වන වෙස්පා ස්කුටරය දෙස දයාබර බැල්මක් හෙළුවේය.

වෙනකක් තබා කන්තොරුවේම නිදා ගන්න කෝකියා ජෙමිසුත් සෙකියුරිටි නිමලසේනත් වැඩබිම හැර දමා අකමැත්තෙන් වාගේ පිටත්  වී ගිය පසු ලාල් පමණක් ඉතිරි වී සිටියේය. කන්තොරුව් පෙටි කෑෂ් පෙට්ටිය. බිල්පත් හා වවුචර් පොත් යන සියල්ල එහෙ මෙහෙ විසුරුවා තිබුණෙන් ඔහු ඒවා පිළිවෙලක් කොට හැම දොරක්ම ලඟට ගොස් දෙවරක් චෙක් කළේය. කන්තෝරු කාමර දෙක. කෑම කාමරය, සේවක විවේකාගාරය. රේඩියෝ ඔපරෙටෝර් කුටිය. ඉස්ටෝරුව හා මුර කුටිය පවා හොඳින් අවුරා යන්නට ඔහු තීරණය කොට ගත් සෙයකි.

මේ සියල්ල අවසන් වෙද්දී වටින් ගොඩින් කළුවර වීම වේගවත් වුනේ   මරදාන, දෙමටගොඩ හා කොටුව දෙසින් අහසට නැගුනු අමුතු විදිහේ දුම් වලාකුළු නිසාය .

දැන් ඉතින් පිටත්ව යා යුතුය . ලාල්ට බලන්න බැරි වූ එකම තැන . දොරේ "බැරිම තැන" කියා ලියා තිබු වැසිකිලි කුටිය වෙත ඔහු ලං වුයේ පිටත්ව යන්නට පෙර මුත්‍රාශය සැහැල්ලු කර ගන්නත් එක්කමය . රට අඹ ලෑලි දොරේ එළියෙන් ගැට ගසා තිබු තංගුස් නුල ඔහු ඇද්දේය . යලි යලිත් ඇද්දේය.
ම්හු..  දොර ඇරෙන පාටක් නැත . කවුරුන් හෝ ඇතුලෙන් ලොක් කරලාද ?  එහෙම වෙන්නත් බැරිය. තමා හැර වෙන බලු කුරුට්ටේක්වත් අහල මායිමක නැති බව ලාල් සක්සුදක් සේ දනී.

තමන්ගේ අතින්  දවසට තුන් හතර වතාවක් ඉතාම සුව පහසුවට ඇරෙන මේ දොර ගැන වෙනදා නැති  අමුත්තක් ලාල්ට දැනුණු නිසා ඔහු පසෙක තුබූ බැරල් බාගයක් දොර අසලට තල්ලු කර ගෙන ආවේය. ඒ මත නැගී එසවී උළුවස්සත් වහලත් අතර තිබු හිඩැසින් ඇතුලට දෑස් රින්ගේව්වේය.

ඊළඟට දුටු දසුනින්  ඔහුගේ උගුර කට වියලී ගියේය. ප්‍රේමණීය බඩේ ගින්දරකින් ලාල්ගේ සියොළඟ දැවෙන්නට  පටන් ගත්තේය .

( ඉතිරි ටික හෙට උදේ   මෙතැනම)

***************  දවසක් ප්‍රමාදව ඉතිරි ටික ලියමි *****

වැසිකිලි දොර ඇතුලතින්  වසාගෙන දොරට වාරු  වී ඉකි බිඳින රුව කලයාරසීගේ බව පැහැදිලි වෙත්ම ලාල්ගේ මනස ව්‍යාකුල වී ගියේය.

කන්තෝරුවේ පිය දසුන ටයිප් රයිටරය ළඟ මදක් නැවී වට පිට නොබලා සිය කාරිය කරගෙන ගිය ඇය තමයි ඒ .  මන බඳින තලෙළු මුහුණක්  හා පිරිණු ඇඟ පසඟක්  හිමි  යුවතිය දුටු කෙනෙක් වීනම් තව වරක් හැරී බලනවාමය. 

ලාල්  වහා දොර ලඟට ගොස් ඊට තඩි බාන්නට විය .
‘ කලයරසී දොර අරිනවා . නැත්නම් මට මේක පයින් ගහලා කඩන්නයි වෙන්නේ එහෙම උනොත් ඔහේට තුවාල වෙයි ‘

ඇතුලෙන් අසුනේ ඉකිබිඳින හඬ පමණි .

කෑ ගහලා වැඩක් නෑ කියා ලාල්ට හිතුනේ ඒ ඉකි බිඳුමේ හා හීල්ලුමේ පණිවිඩය  නිසාය .
ඔහු යාප්පුවෙන් කරුණු පහදන්නනට තීරණය  කළේය
“රසී එලියට එන්න ඔයා කරදරයක් නැතිව ගෙදරට ඇරලවන්නම් “
එසේ කීවා උනත් තමන්ගේ  හඬේ විශ්වාසනීයත්වයක් නැති බව ලාල්ට වැටහුනේය .

‘ මහත්තයා බේරිලා යන්න . පාර කලබලයි කියල මම දන්නවා . මට වත්තලට යනකන් යන්න බෑ .මම මේකෙම ඉඳල මැරෙන්නම් ’
‘ පිස්සු නැතිව එනවා රසී. වෙන දෙයක් වෙච්චාවේ. දවස් කීයක් ඇඳිරි නීතිය තියෙයිද දන්නේ නෑ”
ඇතුලෙන් සද්දයක් නැති තැන ලාල් ඉදිරියට පැමිණ දොරට තඩි බාන්ට වුනේය. ඒත් දොර ඇරුනේ නැති තැන ලාල් කෑ ගැසුවේය.

‘ මම මෙතැන මැරුණත් ඔහේ ඔය කූඩුවේ දාලා යන්නේ නෑ . එක්කෝ මෙතැන මැරෙමු. නැත්නම් බේරිලා යන්න උත්සහ කරලා මැරෙමු. මොකක්ද හොඳ  කියල තීරණය කරන්න"

ලාල් අසල තිබු සූරිය ගහට  හේත්තු වුනේය .

ඔහු අවට ලෝකයේ වෙන සියලු සිදුවීම් අමතක කර සිතුවිලි හිස් කර ගැනීමට උත්සහ කළේය. දෑස් අඩවන් කරගන කල්පනා කළේය .ටික වෙලාවකින් ඔහුගේ දෑස් අබියස පච්ච වර්ණ දිග ගවුමක  රත්රන් පාට මල් වැල මෝදු වෙමින් පිපුණේය. ඒ වර්ණ පිරුණු කාන්චුකය යට සිටියේ බියෙන් සලිතවී  සිටි සාවියකි.

ලාල් කිසිත් නොකියා කන්තෝරු කාමරය දෙසට ඇවිදගෙන ගියේය.  මියුලැසිය ඔහු පසුපසින් ගෑටුවාය. 
  මිනිස් පුළුටක් නැති කන්තෝරු කාමරය යතුරු දමා ලොක් කර ඇත . රසීගේ ලාච්චුව ඇර ඇගේ අඩුම කුඩුම ගැනීමට එය විවුර්ත කළ යුතුය . ඒත් මේ වෙලාවේ මේ යුවතියත් සමග කන්තෝරු කාමරය  තුලට පිවිසීම නුසුදුසු යැයි සිතූ ලාල් සිය ස්කුටරය පුටුපස අසුනට තබා ගැට ගසා තිබු කලුපාට ජැකට්ටුව දිග හැරියේය .

‘ මේක අඳින්න ‘

 කලයාරශීගේ වර්ණවත්  මෝස්‌තර ගවුමේ උඩ කොටස කලුපාට ජැකට්ටුවට වැසී යද්දී ලාල් ස්කුටරය ස්ටාර්ට් කළේය.

‘ඔහු කලයාරසී දෙස තිර ලෙස බැලුවේය. ඈ ඔහු පසුපසින් වාඩි වුනාය.   

‘ ඈ උණුසුම්ය . වෙවුලමින් සිටී . බියපත් බව  නිසා ඔහුගේ සිරුරට වාරු වී සිටියාය.
‘ ඔලුව පාත් කරගෙන මගේ ඇඟට හේත්තු වෙන්න ‘
ලාල් මුවින් නොකීව්වා උනත් ඔහුගේ සිතැඟි වටහාගෙන ඈ එසේ කටයුතු කළාය.

ස්කුටරය ගිනි ගන්නා  නගරය  මැදින් ඉදිරියට ඇදෙයි  .
පළමූ නැවතුම ඔරුගොඩවත්තේදීය ‘
තරුණයෝ පිරිසක් ඉදිරියට පැමිණ ස්කුටරය නැවැත්වූහ .
“අය්යා නම මොකක්ද . ඔයා සිංහලද “ ලාල් ඔව් කියන්නට හිස වැනුවේය.
‘ අපිට මේකේ ටැංකියෙන් පෙට්‍රල් ටිකක් ගන්න වෙනවා ‘
‘ පිස්සුද මල්ලි මේ අපේ නංගීට හොඳටම අමාරු වෙලා බේත් අරන් යන ගමන්. අපි මිනුවන්ගොඩට යන්න ඕනි”

හිතුවාට  වඩා පහසුවෙන් ඔවුන්ගෙන් බේරී යනට පුළුවන් වුනත් පැලියගොඩදී ඔහුගේ ස්කුටරය නතර කෙරුණේය .
පොලු මුගුරු ගත් කොල්ලන් රංචුවක් ඔවුන්  නවතා වට කර ගත්හ.

‘ නවත්තනවා. නවත්තනවා .ඔය දෙන්නගේ නම් මොනවද?. නංගී මුණ උස්සලා මෙහේ  බලන්න’
ලාල්ගේ සිරුර  වඩාත් වැරෙන් බදා ගත් කලයාරසී සට සට ගා ගැහෙන්නට වුවාය “
ලාල්ගේ කටහඬත් ගොත ගැසෙයි.
:මම ලාල් . නංගීට  අසනීපයි හොඳටම උණ . බෙහෙත් අරං යන ගමන්.’
පිරිස දමනය වුනේ නැත .
‘ කෝ ගත්ත බේත් . කෝ බලන්න නංගීගේ මුණ පොඩ්ඩක් “
කලයාරසීටත් වඩා ලාල් වෙවුලන්නට පටන් ගත්තේ ඇගේ මුහුණේ වූ තිලකය මතක් වීමෙනි .

පිරිස අතරේ සිටි තරමක් තලතුනා පුද්ගලයෙක් දැක ඔහු වෙතට සිය රාජකාරී හැඳුනුම්පත දික් කරන්නට තරම් සිහියක් ලාල්ට ලැබුණේය.

හැඳුනුම්පත අතට ගෙන බලා ඔහු ‘ මේ මහත්තයාට යන්න දීපල්ලා’ කියද්දීත් අනිත් පිරිස ඊට අවනත බවක් නොපෙන්වූහ. එහෙත් ඒ සමග වෙනත් යමක් දෙසට පිරිසගේ  අවධානය යොමු වීමේ වාසනාව නිසා ලාල් රූන් ගා මැර පිරිස අතරින් රිංගා  ඉදිරියට ගියෙය්.

ඔලියමුල්ල පසුකර ගිය ස්කුටරය වත්තලින් හැරී හුණුපිටිය පාරේත් මද දුරක් යනතුරු දෙදෙනාටම පියවි  සිහියක් නොතිබුනේය.

කලයාරසී  කලබලකාරී ලෙස ස්කුටරය නවත්වන්නැයි කීවේ අතුරු පාරක් අද්දරය.

ඇය පැලියගොඩදී  කලහකාරීන් දුටු අවස්ථාවේ කලාක් මෙන් ඉතා වැරෙන් ලාල්ගේ දෙවුර බදා ගත්තාය. එය සමුගැනීමේ උණුසුම් වැළඳ ගැනීමක්ම බව ලාල් තේරුම් ගත්තේය  .


ඉන්පසු  කඩුමුඩියේ  බිමට පැනගත් ඇය අතුරු පාර දිගේ පසුපස නොබලා දිව්වාය . 

පසු සටහන :
මේ කතාවේ ප්‍රධාන චරිතය  මට හමු වුනේ 1998 දීය. ඔහු අවුරුදු පහළවක් පරණ  මතක සැමරුමක් අප ඉදිරියේ දිග හැර අවුරුදු 21කට  පසු මම එය ලියා තබන්නේ කතා සාරය වෙනස් නොකොටගෙනය. මේ කතාවේ අවසානයක් නැත . එය අවුරුදු තිස් හයක විඳීමක් පමණි

Image : amazon.in


Posted by තිලකසිත at 7:27 PM 24 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, February 12, 2019

ඊලියන්ද සිල්වා හෙවත් ටයිටස් තොටවත්තගේ ලොකු අයියා



පසුගිය ලිපියෙන් මා  කතා කළ  " සන්නිවේදන කරළිය   එක දෙක කරන  අතුරු ජාලය' යන හෙඩිමෙන් යුත් සතියේ විශේෂාංගය මවිසින් විදුසරට ලියන ලද්දේ 1994 අගෝස්තු මාසයේය .
සිංහලෙන් ලියන ඉන්ටනෙට් පිලිබඳ ලිපියක් හෝ කිහිපයක්  අභියෝගයට ලක් කළ  ' හිම කන ඔටුවෝ'  නිර්නාමික ලිපිය පළ වුයේ ඊට පෙරද පසුද කියා සොයා ගන්නට විදිහක් නැති  නිසා එය මගේ ලිපියම ඉලක්ක  කරගෙන එල්ල කළ විවෙචනයක්යැයි හරියටම කියන්නට බැරි  වුනත් , මමද තොප්පිය දා ගන්නට කැමැත්තෙමි.

ඇත්තෙන්ම 1994 මැදක් වන විටත්  ඉන්ටනෙට් යන්නට හරි හමන් සිංහල  නමක් තිබුනේ නැත . ඒ වන විට සමහරුන් ' අන්තර් ජාලය' යන වචනය  භාවිතා කරමින්  තිබුනත් එය පිළිගත් බවක් පෙන්නේන්ට තිබුනේ නැත . සමහරුන් ඊට කීවේ  "අන්තර් ජංජාලය" කියලාය .

එසේ හෙයින් විශේෂාංගය ලිවීම සඳහා ඉන්ටනෙට් යන්නට  අලුත් සිංහල වචනයක්  සෙවීමට තීරණය කළෙමි.  මේ සඳහා මා උපදෙස් ගත්තේ වරලත් ඉංජිනේරු ඊලියන්ද සිල්වාගෙනි. ඉංජිනේරුවා වෙනුවට මැවිසුරා කියනවාට කැමති වූ ඊලියන්ද සිල්වා කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ හෙළ හවුලේ නයුවෙකි . තවත් වැදගත්  කරුණක්  වන්නේ ඔහු ප්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ  වැඩිමහල් සහෝදරයා වීමයි .

ඉන්ටනෙට් එකට සිංහල නමක් ලෙස ඔහු යෝජනා කලේ ' අතුරු දැලටිය" යන්නයි.

 "අන්තර් මැතිවරණෙට අතුරු මැතිවරණය කියනවා . අන්තර් කියන වචනෙට පිරිසිදු සිංහල වචනය තමයි අතුරු. අනික අතු ඉති ඇති ජාලයක් හඳුනවා දෙන්න  හොඳම විදිහ 'දැලටිය' .  ඔහු කීවේය.

අතුරු දැලටිය- අන්තර් ජාලය . වචන දෙක දෙපැත්තට කිරා බලමින් සිටි  මම ලිපිය සකසා දීමට පොරොන්දු වූ දවසේ උදේද කල්පනා කරමින් සිටියේ  internet යන්නට හොඳම සිංහල වචනය කුමක්ද  කියලාය . ඕනි එකක් වෙන්නට කියා මම කලින් තිබ්බ නමෙන් කොටසක් හා ඊලියන්ද සිල්වා දුන් නමෙන් කොටසක්ද ගෙන  ' අතුරු ජාලය ' ගැන  ලිපිය සැකසීමි .

ලිපිය පළ වී දවසකින් විතර පසු මම මැවිසුරු  ඊලියන්ද සිල්වා ඇමතුවේ ස්තූතියක් කිරීම සුදුසු  යැයි හිතුනු නිසාය .
මොකක්ද ඉන්ටනෙට්  එකට දාපු  නම ? ඔහු ඇසුවේය
"අතුරු ජාලය"  මම කීවෙමි

ඔහු ඊට තදින් කිපුනේය.
" මොකක්ද ඒ ?. කිසිම ගැලපීමක් නැති පදයක්නේ ළමයො. අර කලින් තිබ්බ වචනේ ' අන්තර් ජාලය' තව හොඳයි. මේක අතුරු ජාලය නෙවෙයි. අතුරු දැලටිය , දලටිය දැලටිය.. . ඔහු දිගටම කියෙව්වේය.

දැන් බලන්න computer එකට සිංහලෙන් දාගෙන තියෙන නම ' පරිගණකය '  ඒ වචනේ යොදා ගන්න පුලුවන්ද ඕනි ඕනි විදිහට . පරිගණක ගත කිරීම පරිගනකීකරණය බලන්න මොනතරම්  අවලස්සන වචනද ?  ඉන්ටනෙට් එකට හරි යන්නේ ' අතුරු දැලටිය තමයි ' කියා ඔහු දුරකථනය විසන්දි කළේය .

කොහොමින් කොහොමින් හෝ  ' අතුරු දැලටිය' වෙනුවට ' අන්තර්ජාලය' ස්ථාපිත වූ අතර  එහෙටත් නැති මෙහෙටත් නැති මගේ වචනය ' අතුරු ජාලය" යන්න යොදා ගත්තේ මා ලියු පළමු ලිපියේ විතරය. ඉන් පසු මේ රටේ කවුරුවත් ඒ වචනය යොදා ගත්තේ නැත ,

ඒ වුනාට ඊලියන්ද සිල්වා නිර්මාණය කළ තාක්ෂණ වචන රාශියක් අප නිතිපතා භාවිතා කරමින් සිටිමු.

තෙකලා ව්දුලිය , පිරිපහදුව , රැහැන වැනි වදන් දහස් ගණනක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ අතර තොටවත්තගේ ඊලියන්ද සිල්වා හා  ටයිටස්  තොටවත්ත  යන දෙසොහොයුරන් සිංහල භාෂාවට හා සාහිත්‍යයට කරන ලද සේවය හරි හැටි ඇගයීමකට ලක් වී නැත , මේ ගැන කරුණු සොයා බලා ලියන්නට සිතා සිටිමි.

මේ අතරේ මට පරණ කතාවක් මතක් වුනේය .
මහේන්ද්‍ර ප්‍රසාද් යනු එකල විදුසරට  ලියු පේරාදෙණිය කෘෂි ව්ද්‍යා පීඨයේ සිසුවෙකි. මගේ හිත මිත්‍රයෙකි. ඔහු දිනක් ඊලියන්ද සිල්වා හමු වන්නට ගියේ  යම් විෂයයක් ගැන සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නටය.

මහේන්ද්‍ර කියන පරිදි කතාබහ අවසානයේ ඊලියන්ද සිල්වා මෙසේ ඇසුවේය.

මොකක්ද ඔය ළමයාගේ නම
'මහේන්ද්‍ර ප්‍රසාද් '

' අයියෝ තනිකර අසිංහල නමක්නේ "

එවිට මහේන්ද්‍ර කිසිවක්  නොකියාම ඊලියන්ද සිල්වා දෙස මද සිනහවකින් යුක්තව බලා සිට ඇත .
මේ මද සිනහවේ පණිවිඩය තේරුම් ගත ඊලියන් ද සිල්වා මෙසේ කීවේය .

' ඇත්ත නේන්නම් මගේ නම ඊලියන්ද සිල්වා . ඒකත් අසිංහල නමක් වෙලා තියෙද්දී අනුන්ගේ නම් ගැන මම කතා කරන්නේ කොහොමද."
ඉන්පසු ඔහු සුසුමක් හෙලා ' මට ඒ නම දෙමාපියන්ගෙන් ලැබුණු නිසා වෙනස් කරන්න බැරි වුනා "

සිංහල තාක්ෂණ වදන් දහස් ගණනක් හඳුන්වා දුන් ඊලියන්ද  සිල්වාට ඔහුගේම නම  වෙනස් කරගන්නට බැරි වුනා වගේම 'අන්තර්ජාලය' වෙනුවට  ඔහු හඳුන්වා දුන්   හුරුබුහුටි  වචනය වන   ' 'අතුරු දැලටිය'   ට සාධාරණයක් කරන්නට අපටද බැරි විය.


මේ ඔහු පිළිබද සිතුම් කොදෙව්වේ ලියවුනු  බ්ලොග්  සටහනකි  ඉහත සේයාරුව ලබා ගත්තේද එම බ්ලොග් අඩවියෙනි.

පසු සටහන :




මගේ දෙවන පොත වන "තිලකසිත දෙක"  මේ සිකුරාදා(පෙබරවාරි 15) එලි දකින අතර පොතත් මමත් දෙදෙනාම කොළඹ මහජන පුස්තකාලයේ 15-16 දෙදනා පුරාම ඔබ හමු වීමට බලා ඉන්න  බවත් දන්වන්නේ සතුටිනි. 16 සෙනසුරාදා හවස මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී බ්ලොග් හා තීරු ලිපි ගැන රසික කතා බහක්ද පැවැත්වේ, වැඩි විස්තර  හෙට .







Posted by තිලකසිත at 4:49 PM 34 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

My Blog List

  • ඉකොනොමැට්ටාගේ බොජුන්හල
    උද්ධමනය 7% සීමාවෙන් ඉහළට!
  • THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column
    310 කළු ජූලියේ අඳුරු මතක . . !
  • Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
    මතක මතක - හයවෙනි කොටස
  • අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya
    රූප කැමරා කවියාට සුබ උපන් දිනයක්
  • Hot Chocolate Days
    තටු සලා පියඹන්න කතුන් හද දිරි වඩන සෙසීලියා අහර්න්
  • Chandima Gomes
    වී වගාව ගැන
  • ලියනගේ අමරකීර්ති (Liyanage Amarakeerthi)
    ප්‍රබුද්ධ ජීවිතයක් වෙනුවෙන් චිත්තරූප සංචිතය ගොඩනැගීම හෙවත් සෞන්දර්ය අධ්‍යාපනය- ලියනගේ අමරකීර්ති
  • කාර් පිස්සුව
    ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි)
  • දේශකයා
    සරත් විමලසූරිය කොයි වගේද??
  • යාං හෑල්ල
    නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං
  • ඉවාන් පවුලූශා
  • අනිත් කොන - a doctor's heart sutra
  • 18 සන්නිය | 18 Sanniya
  • අටම්පහුර atampahura
  • කොළඹ ගමයා
  • විසිරි සිහින
  • මාතලන් | Maathalan
  • රසිකොලොජි - Rasikology
  • නිදහස් සිතුවිලි
  • පරිවර්තන....Parivarthana
  • හැලපයා helapaya
  • තරුරසී
  • කල්‍යාණ මිත්‍ර
  • අධ්‍යාපන රසකතා
  • අනිත් කොන - a doctor's heart sutra
  • බිත්තිය
Show 3 Show All

Blog Archive

  • ▼  2026 (13)
    • ▼  July (4)
      • ට්‍රම්ප් ටවර්ස්හි සිනමා ශාලාවකින් ‘The Odyssey’ නැ...
      • රවී වීරසිංහ නම් පඳුරු තලන්නා හා සිංහල බ්ලොග් ලෝකය
      • අක්බාර් පාල­මෙන් උප­කු­ල­පති බංග­ලා­වට…
      • මෑත ඉතිහාසය නිවැරදිව කියවමු පේරාදෙණියෙන් පටන්ගමු -1
    • ►  June (1)
    • ►  May (3)
    • ►  March (2)
    • ►  February (2)
    • ►  January (1)
  • ►  2025 (5)
    • ►  November (2)
    • ►  October (2)
    • ►  September (1)
  • ►  2024 (15)
    • ►  December (5)
    • ►  November (4)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (1)
    • ►  January (2)
  • ►  2023 (13)
    • ►  December (3)
    • ►  November (4)
    • ►  October (2)
    • ►  August (1)
    • ►  May (3)
  • ►  2022 (4)
    • ►  December (3)
    • ►  October (1)
  • ►  2021 (4)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  June (1)
  • ►  2020 (34)
    • ►  September (2)
    • ►  August (4)
    • ►  July (4)
    • ►  June (4)
    • ►  May (5)
    • ►  April (8)
    • ►  March (3)
    • ►  February (2)
    • ►  January (2)
  • ►  2019 (7)
    • ►  December (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  July (1)
    • ►  February (2)
    • ►  January (1)
  • ►  2018 (10)
    • ►  December (2)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (3)
  • ►  2017 (10)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (1)
    • ►  April (3)
    • ►  February (2)
  • ►  2016 (24)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (4)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  April (2)
    • ►  March (1)
    • ►  February (1)
    • ►  January (3)
  • ►  2015 (22)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (3)
    • ►  September (1)
    • ►  August (3)
    • ►  July (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (2)
    • ►  March (2)
    • ►  February (2)
    • ►  January (2)
  • ►  2014 (30)
    • ►  November (2)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (3)
    • ►  July (2)
    • ►  June (3)
    • ►  May (2)
    • ►  April (3)
    • ►  March (3)
    • ►  February (3)
    • ►  January (3)
  • ►  2013 (34)
    • ►  December (4)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (4)
    • ►  August (4)
    • ►  July (5)
    • ►  June (4)
    • ►  May (7)

Istanbul Diary

  • Istanbul Diary (6)
  • නව කතාව (28)

Followers

Popular Posts

  • පේරාදෙණියේ මැදුරු කුළුණුවල සැඟවුණු චරිත කතා - හිල්ඩා ඔබේසේකර, රාමනාදන්, අක්බාර් ඇතුළු පිරිස -1
    Photo-Sunday Times පේ රාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි.  බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ 'කාඩ්' එකක...
  • සර් කියලා කියාපන්
    මී ට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිව...
  • වේවැල් කසාය හා සඳුදා අක්කා
    උ ගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම හුරු වී  සිටි හොඳ පුරුදු දෙකකි . මේ අතුරු කතාව ඊට සාක්කි කියනු ඇත. ***** දඬු...
  • කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ
    පා සැල් , සරසවි හා ගුරු විදුහල් කලා පුවරුවලින් ලියන්ට පටන් ගත්ත රචකයෝ රචිකාවෝ එමටයි. මේ වෙන වෙනම ගුරුකුල හදා ගන්ට හදනවා  නෙවෙයි. ඒත් මට ප...
  • අක්බාර් කැන්ටිම සිර අඩස්සියක් වූ දවස
    Akbar Hall- from AllTravels මා කලකට පෙර කියවූ එක්තරා විදෙස් කෙටි කතාවක සාරය මට මතක හැටියට මේ විදිහය . රටවල් දෙකක් අතර කලක් තිස්සේ පැ...
  • මගුල් ගෙදර
    ම ට බොහොම වැදගත් වූ මගුල් ගෙවල් දෙකක් තිබුණි. එකක් අපේ අයියාගේ මගුල් ගෙදරය. අප්‍රේල් මාසයක එකොලොස් වැනිදා අයියා මගුල් ගෙදර ගන්නා  බව මට ක...
  • අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස
    ඔ බට  ලෝකය වටා හතරපාරක් ගිහින් එන්නට කියා කවුරුහරි කීවොත් අනේ අම්මේ කොච්චර දුරක්ද කියා හිතේවි. ඒත් දන්නවද වැඩක් ? අපේ මොලයේ ඇති සියුම් ස...
  • එදාට එනවා නේද?
    උ ඹ නිවාඩුවේ එහෙ මෙහෙ ඇවිදිනවා විතරයි.මොනවා හරි බ්ලොග් එකටත් ලියලා දාපන්, නැත්නම් අර වතාවක් දුවට කියල ලියලා දැම්ම වගේ පොස්ට් එකක්වත් දාහන...
  • විසි අට වෙනි කොටස A - අටවිසි මහල පොත නිකුත් වෙයි
      (මේ පලවන්නේ අටවිසි මහල නවකතාවේ විසි අට Aවෙනි කොටසයි. මින් පෙර කොටස් සියල්ල මෙතනින්  .  මේ  කොටස කියවීමට පෙර කල් වේලා අරගෙන මුල් කොටස් ටික...
  • පේරාදෙණියේ ෆිල්ම් සොක-1
      Peradeniya University Arts Theater ( www.pdn.ac.lk) ව ල , සොක හා ගැට්ට කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . ...

Labels

  • Istanbul Diary
  • නව කතාව

දින පොත

  • Home
  • Diary

Labels

  • Istanbul Diary
  • නව කතාව

ජීවන කතන්දර

  • Istanbul Diary
  • නව කතාව

චරිත කතා

  • Istanbul Diary
  • නව කතාව

කෙටි කතා

  • Istanbul Diary
  • නව කතාව

දින සටහන්

  • Istanbul Diary
  • නව කතාව
Picture Window theme. Powered by Blogger.