Saturday, October 25, 2025

පෙට්‍රොනාස් දෙමහල්ලන්ගේ ආකාස පාලම

 විදේ­ශීය ව්යාපෘ­ති­ව­ලදී විවිධ රට­ව­ලින් පැමිණි විද්වත් මිතු­රන් සමඟ විවේක කතා­බ­හේදී, ඔවුන් සම්බන්ධ වූ ලෝක ප්රසිද්ධ ව්යාපෘති ගැන හාරා­ඇ­වි­ස්සීම මගේ පුරු­ද්දකි. ලෝ පුරා ප්රසිද්ධ ව්යාපෘ­ති­වල ජීව­
මාන අත්දැ­කීම් ලද පුද්ග­ල­යන් ඇසුරු කිරී­මට ලැබීම, අන්ත­ර්ජා­තික ව්
යාපෘ­ති­ව­ලදී මට ලැබෙන අම­තර වාසි­යකි.

එක් අව­ස්ථා­ව­කදී, 1998 සිට 2004 දක්වා ලොව උසම ගොඩ­නැ­ඟිල්ල වූ මී. 452ක් උස තට්ටු 88කින් යුත් මැලේ­සි­යාවේ පෙට්රෝ­නාස් නිවුන් කුලුනු ඉදි කිරී­මට හවුල් වූ ඉංජි­නේ­රු­වකු සමඟ බොහෝ තොර­තුරු කතා කර­න්නට කාලය ලැබිණි. ඒ, ඔහු අප සමඟ මෑත­කදී වෙනත් රට­කදී සේවය කරද්දීය. මේ ඉදි­කි­රීම ගැන මගේ බල­වත් උන­න්දු­වට කරු­ණක් වන්නේ, පෙට්රෝ­නාස් කුලුන නිල වශ­යෙන් මහ­ජ­න­තා­වට විවෘත වූ 1999දී මා ඔස්ට්රේ­ලි­යානු සමා­ග­මක් සමඟ කොළඹ ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන නිවුන් ගොඩ­නැ­ඟිල්ලේ පිළි­ස­කර වැඩට සම්බන්ධ වීම නිසාය. ඒ පිළි­ස­කර කිරීම අවශ්ය වූයේ මහ බැංකු බෝම්බ­යෙන් හා ගල­ධාරී බෝම්බ ප්රහා­ර­යෙන්, ආස­න්නයේ පිහිටි අලුත් ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන ගොඩ­නැ­ඟි­ල්ලට හානි සිදු වී තිබීම නිසාය. එක­ල ද අපේ කතා­බ­ස්වල සුලබ මාතෘ­කා­වක් වූයේ පෙට්රෝ­නාස් නිවුන් ගොඩ­නැ­ඟි­ල්ලයි.
2004න් පසුව ඊට වඩා උසින් වැඩි ගොඩ­නැ­ඟිලි සෑහෙන ගණ­නක් ලොව පුරා ඉදි වී තිබු­ණද, පෙට්රෝ­නාස් ගොඩ­නැ­ඟිල්ලේ සුවි­ශේ­ෂතා කිහි­ප­යක් නිසා තාමත් එය බෙහෙ­වින් කතා­බ­හට ලක් වන ඉදි­කි­රී­මකි.
පළමු හේතුව තාමත් එය ලොව උසින් වැඩිම නිවුන් ගොඩ­නැ­ඟිල්ල වීමයි. දෙවැනි හේතුව පොළොව මට්ට­මෙන් උසින්ම පිහිටි ගොඩ­නැ­ඟිලි දෙකක් යා කරන ආකාශ පාලම එය සතු වීමයි. මේ ද්වි-මහල් පාලම කුලු­නු­වල 41 වැනි හා 42 වැනි තට්ටු යා කර­මින්, පොළොව මට්ටමේ සිට මී. 170ක් පමණ උසින් පිහිටා ඇත. තුන්වැනි හේතුව නම් පෙට්රෝ­නාස් ගොඩ­නැ­ඟිල්ලේ අපූරු ගෘහ නිර්මාණ ශිල්ප­යයි. ලෝක පූජිත වාස්තු විද්ව­තකු වූ සෙසාර් පේලි (César Pelli) විසින් ඉස්ලා­මීය මෝස්‌තර රටා­වන් ඇසුරු කර­ග­නි­මින් නිර්මා­ණය කළ එය, මැලේ­සි­යාවේ ජාතික සංකේ­ත­යක් වී තිබී­මය.
මගේ මිතු­රා­ගෙන් මට පැහැ­දිලි කර­ගැ­නී­මට වුව­මනා වූයේ මේ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් මා මින් පෙර අසා තිබූ එක්තරා කතා­වක් ගැනය. ඒ කතාව පෙට්රො­නාස් කුලු­නු­වල 41 සහ 42 වැනි තට්ටු දක්වා ආකාශ පාලම ඔසවා ස්ථාන­ගත කරද්දී මුහුණ දුන් බව කියන අක­ර­තැ­බ්බ­යක් පිළි­බ­ඳ­වයි. ඉතා ප්රසිද්ධ කරු­ණක් වන්නේ දැවැන්ත වානේ ආකාශ පාලම ඉහ­ළට එස­වීම විස්මිත කාර්මික වැඩක් වූ බවත්, ඊට යොදා­ගත් එස­වීමේ තාක්ෂ­ණ­යන් එතෙක් ලොව භාවිත නොවූ අලුත්ම ඒවා බවත්ය.
මා අසා තිබුණු කතාවේ සඳ­හන් වූයේ මේ තට්ටු දෙකේ පාලම කෙසේ හෝ ඉහ­ළට ඔසවා ගොඩ­නැ­ඟිලි දෙකට යා කරද්දී, එම කුලුනු දෙකේ තට්ටු­වල උස මට්ටම් අතර වෙන­සක් තිබීම නිසා පාලම සවි කිරීම විශාල අල­ක­ලං­චි­යක් වූ බවයි. ඊට හේතුව වශ­යෙන් සඳ­හන් වූයේ මේ ගොඩ­නැ­ඟිල්ලේ මිනුම් ගැනී­මේදී ස්ථානීය සල­කුණු ලබා දී තිබුණේ චන්ද්රිකා තාක්ෂ­ණය (GPS) ඔස්සේ බවත්, එසේ සේවාව ලබා ගත් එක චන්ද්රි­කා­වක් වෙනත් තැන­කට මාරු කිරීම නිසා ලබා දුන් ඛණ්ඩාංක වැර­දුණු බවත්ය.
එහෙත්, මෙය එසේ නොවන බව මගේ මිතුරා පැහැ­දිලි කළේය. ඔහු තහ­වුරු කළ කරුණු අනුව, GPS දෝෂ­යක් නිසා මිනුම් වැර­දීම පිළි­බඳ කතාව නිවැ­රදි විය නොහැ­කිය. කුලුනු දෙකෙ­හිම පද­නම් හා ව්යූහය සඳහා අති­ශය නිර­වද්ය මිනුම් භාවිත කරන ලද බව ඔහු කී අතර, ඇත්ත වශ­යෙන්ම ජීපී­එස් පද්ධ­ති­යක් භාවිත වූවා නම් එය ගොඩ­නැ­ඟි­ලි­වල නිවැ­රදි සිරස් බව සහ­තික කිරී­මට යොදා­ග­න්නට ඉඩ තිබිණි. කෙසේ වුවද, එහිදී එවැනි දෝෂ­යක් ඇති වූ බවට පිළි­ගත හැකි වාර්තා­වල සඳ­හන් නොවේ.
කෙසේ වුවද, කුලුනු දෙකෙ­හිම නිර­ව­ද්ය­තාව සහ­තික කිරී­මට විශාල ප්රය­ත්න­යක් ගෙන තිබේ. මන්ද යත්: මී. 58ක් දිග සහ ටොන් 750ක් පමණ බර වානේ පාලම කුලුනු අත­රට ස්ථාන­ගත කිරී­මේදී සම්බ­න්ධක මට්ටම් අතර මිලි­මී­ටර කිහි­ප­ය­කට වඩා අප­ග­ම­නය වීමෙන් තොරව සම්බන්ධ කිරීම අත්ය­වශ්ය වූ නිසාය.
මිතු­රාගේ අත්දැ­කීම් අසද්දී මට යළිත් තහ­වුරු වූයේ මේ ආකාශ පාලම ඉංජි­නේරු ශිල්පයේ විස්මිත ජය­ග්ර­හ­ණ­යක් බවයි. පෙට්රො­්නාස් ගොඩ­නැ­ඟිල්ල ඉදි­කි­රීම පිටු­පස මොන තරම් අපූරු තාක්ෂ­ණික කත­න්දර තිබු­ණත්, මා මේ වෙලාවේ අව­ධා­නය යොමු කරන්නේ එහි ආකාස පාලම කෙරෙ­හිය. ඕනෑම උස ගොඩ­නැ­ඟි­ල්ලක් වුවත් ක්රම­යෙන් ඉහ­ළට ඉදි කර­ගෙන යෑමේ ක්රම­වේද ඒ වන විට ලෝ පුරා භාවිත කර­මින් තිබු­ණේය. එහෙත් අර සා විශාල පාල­මක් පොළෝ මට්ට­මේදී එක­ලස් කර, අපේ ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන ගොඩ­නැ­ඟිල්ලේ මුළු උස­ටත් වඩා ඉහ­ළින් පිහිටි තැන­කට ඔසවා ගොඩ­නැ­ඟිලි දෙක­කට නිසි පරිදි යා කිරීම අද­ටත් හිතා­ග­න්නට අප­හසු දෙයකි.
මේ තට්ටු දෙකේ පාලම සැම්සුන් හෙවි ඉන්ඩ­ස්ට්රීස් සමා­ගම විසින් දකුණු කොරි­යා­වේදී නිප­දවා, කොටස් වශ­යෙන් නැව්ගත කර, ඉන් පසු ක්වාලා­ල­ම්පූර් පෙට්රෝ­නාස් වැඩ­බි­මේදී බිම එළා නැවත සවි කරන ලදි. එය මීටර් එක­සිය හැත්තෑ­වක් ඉහ­ළට එස­වීමේ මෙහෙ­යුම සිදු වූයේ 1995 වසරේ මැද හරි­යේ­දීය. දින කිහි­ප­යක මෙහෙ­යු­මක් මඟින් මේ දැවැන්ත පාලම නිවැ­රදි ස්ථාන­යට එස­වී­මට එතෙක් ගොඩ­බි­මදී භාවිත නොවූ තාක්ෂ­ණ­යක් යොදා­ගැ­නිණි. ඒ, ඈත සමු­දුරේ ඛනිජ තෙල් කැණීම් ආශ්රිත කට­යු­තු­ව­ලට මින් පෙර යොදා­ගත් හයි­ඩ්රො­ලික් ස්ට්රෑන්ඩ්-ජැක් පද්ධ­ති­යක් භාවිත කිරී­මය.
සරල උස වෙන­ස්ක­ම්ව­ලට හා එහා මෙහාවීම්ව­ලට ඔරොත්තු දෙන පරිදි වූ පාලමේ වඩාත්ම කැපී­පෙ­නෙන ලක්ෂ­ණය නම් එය කුලුනු දෙක අතර දැඩි සම්බ­න්ධ­යක් මඟින් සවි කර නොති­බී­මයි. ඒ වෙනු­වට, එය ගෝලා­කාර බෙයා­රින් මත මඳක් පා විය හැකි පරිදි රඳවා ඇත.
පෙට්රෝ­නාස් නිවුන් කුලු­නු­වල 29 වැනි තට්ටුවේ සිට ඉහ­ළට විහි­දෙන ආධා­රක දෙකක් මත සවි කර ඇති මේ පාලම, සුළඟ හෝ උෂ්ණත්ව වෙන­ස්වීම් යටතේ කුලුනු දෙක එකි­නෙ­කින් නිද­හස්ව ඉතා මඳ වශ­යෙන් චල­නය වන විට පාල­මට තර­මක් ලිස්සා යෑමට සහ භ්රම­ණය වීමට ඉඩ සල­සයි. මේ නම්ය­ශීලී බව නොති­බුණේ නම්, කුලුනු දෙකේ ඉතා කුඩා හෝ වෙනස් චලන හේතු­වෙන් පාලම ඉරි­තළා විකෘති වීමට ඉඩ තිබිණි.
පෙට්රෝ­නාස් කුලුනු අතර එහා මෙහා යෑමට ඇති මේ ආකාශ පාලම යනු හුදෙක් ගමන් මාර්ග­ය­කට වඩා බොහෝ සෙයින් වැඩි යමකි. එය හදිසි අව­ස්ථා­ව­කදී ගොඩ­නැ­ඟිලි දෙක අත­රින් එක­කින් අනෙ­කට ඉවත් වීමේ මාර්ග­යක් ලෙස ද ක්රියා කරයි. ගෝලීය බුද්ධි­යෙන් නිමාවූ එය, මැලේ­සි­යාවේ තාක්ෂ­ණික සහ සංව­ර්ධන අභි­ලා­ෂය සංකේ­ත­වත් කර­මින්, ලොව පුරා ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉංජි­නේ­රු­වන්ට අඛ­ණ්ඩව ආඩ­ම්බ­ර­යක් සහ ආස්වා­ද­යක් සල­සයි.

Sunday, October 5, 2025

අහසේදී කළ 'අපේ කුණු' ගැන කතා බහක්

 


රක් කොළඹ සිට මෙල්බර්න් බලා යන යානයක මම නින්දත් නොනින්දත් අතර සිටියෙමි. පොතක් බැලීමට හෝ එක දිගට චිත්‍රපටයක් බැලීමට මට යම් අවහිරයක් තිබුණේය. ඒ, මා අසල සිටි තරුණිය හා ඉදිරිපස අසුනේ සිටි ඇයගේ මවුපියන් යැයි සිතිය හැකි යුවළක් අතරේ කෙරෙන සංවාද හා එකිනෙකා අතර කෙරෙන හුවමාරු කරගැනීම්ය. මා දෙස සුහද බැල්මක් හෙළූ තරුණිය, “මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. තාත්තා තරමක් අසනීපෙන්. ඔබට කරදරයක් නම් සමාවන්න…” කීවාය. මම එසේ නොවන බව කීවෙමි.

මවුපියන් සන්සුන් වූ පසු තරුණිය සමඟ කතාබහකට යොමු වුණෙමි. සාරා අවසන් වසරේ සරසවි සිසුවියකි. ඇය අමතර රැකියාවක් කර සොයාගත් මුදලින් සිය මව හා පියා විදෙස් සවාරියක් සඳහා රැගෙන යෑම සාරාගේ අදිටන විය. දැන් එය සාර්ථක වී තිබේ. ඔවුන් සංචාරයට තෝරාගත් රට ශ්‍රී ලංකාවයි. සති දෙකක ශ්‍රී ලංකා සංචාරය ගැන ඇය මහත් උද්දාමයෙන් කතා කළාය. ශ්‍රී ලංකාවේදී නැරඹූ හැම නගරයකම වැදගත් තැනකම නම ඇයට මතක තිබිණි.

ඉන් පසු අපේ කතාබහ හා බැඳුණු මගේ චිත්ත රූප සමඟ මා දන්නා තාක්ෂණික කරුණු එකතු කර මේ සටහන ලියමි. ඇයට මා දැමූ නම සාරාය. ඇය හදාරන්නේ පරිසර ඉංජිනේරු විද්‍යාවයි. අපේ සංවාදය පරිසර ඉංජිනේරු විද්‍යාව කෙරෙහිත්, ඒ හා සම්බන්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහිත් කෙමෙන් කෙමෙන් යොමු විය. එය වටිනා සංවාදයක ආරම්භය විය. ගුවන්යානා, නැව්, දුම්රිය සහ ඒවා සියල්ල සම්බන්ධ කරන ගෝලීය මලාපවහන හා ඝන අපද්‍රව්‍ය පද්ධති ගැන පවා කතා කරන දොඩමළුවක් විය.

මටත් ඉංජිනේරු පසුබිමක් ඇති බවත්, කලක් අපජල පිරිසුදු කිරීම් පද්ධති පිළිබඳ කටයුතුවලට සම්බන්ධ ආයතනයක සේවය කළ බවත් ඇසූ විට ඇය උද්දාමයට පත් වූවාය. මා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ දෙවසරක් සේවය කරද්දී සම්ප්‍රේෂණ කුලුනු, පෙට්‍රෝලියම් ටැංකි වැනි ඉදිකිරීම්, රබර් ෆැක්ටරිවල අපජලය පිරිසුදු කිරීම පමණක් නොව; මීගමුව, වැලිසර, වතුපිටිවල හා පාණදුර කේතුමතී රෝහලේ පල්දෝරු පද්ධති නඩත්තු කරන හැටි පවා සොයා බැලුවෙමි.

අපද්‍රව්‍ය කළමනාකරණය යනු හුදෙක් ටැංකි, නළ පද්ධති හෝ පොම්ප ගැන කතාවක් පමණක් නොවේ. එය මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම ගැන කතාවකි; නැති නම් මානව ගරුත්වය ගැන කතාවකි. තවද, එය පරිසරය ආරක්ෂා කිරීම ගැන කතාවකි. නිශ්ශබ්දව, නොපෙනෙන ලෙස, සෑම මොහොතකවම, මිනිසුන් වෙසෙන සෑම තැනකම සිදු වෙමින් තිබෙන දෙයකි. මේ ගුවන්යානය තුළ පවා එය සිදු වේ.

“මේ මොහොතේ…” ඇය ගුවන්යානා කුටීරය වටා දෑස යොමු කරමින් කීවාය: “අපි පියාසර කරන්නේ ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් තුළයි.”

ඕනෑම මොහොතක, අහසේ ගුවන්යානා 8,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් පවතින අතර, මිලියනයකට අධික ජනතාවක් සාමාන්‍යයෙන් නිතිපතා අහසේ සිටිති. ඔවුන් සියල්ලන්ටම කෑමට, බීමට සහ වැසිකිළි භාවිත කිරීමට සිදු වේ.

ගුවන්යානාවේ වැසිකිළිය ෆ්ලෂ් කළ සැනින් ‘ෂූස්’ හඬින් ඇතුළට ඇදගන්නා රික්තක පද්ධතිය අඩු වතුර ප්‍රමාණයකින් මල ද්‍රව්‍ය විෂබීජ නාශක දියර මුසු ටැංකියක තැන්පත් කරගනී. ඒවා අප ගොඩබසින ගුවන්තොටුපොළේදී යානය වෙත ළඟා වන විශේෂ ට්‍රක් රථ මඟින් ගුවන්තොටුපොළේ මලාපවහන පද්ධතියට මාරු කරනු ලැබේ. එතැන් සිට එය අදාළ නගරයේ පවිත්‍රාගාර ජාලය විසින් හසුරුවනු ලැබේ.

සාරා කියවා ඇති පරිදි හීත්‍රෝ ගුවන්තොටුපොළ පමණක් දිනකට ගුවන්යානා මලාපවහන ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පිරිසැකසුම් කරයි. එය කුඩා නගරයක අපද්‍රව්‍ය ප්‍රමාණයට සමානය.

ගුවන්යානයක තවත් ඉවත ලන දේ තිබේ. ප්ලාස්ටික් කෝප්ප, තැටි, ඇසුරුම් කොළ, බාගෙට කෑ සැන්විච් හා බත්, අන්තර්ජාතික ආහාර සැපයුම් අපද්‍රව්‍ය ගැනද අපි කතා කළෙමු. ඒවා හුදෙක් කසළ පමණක් නොවේ. එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ඒවා ප්‍රතිචක්‍රීකරණය නොකර විනාශ කළ යුතු අපද්‍රව්‍ය ලෙස වර්ග කර ඇත. විදේශීය ආහාර ද්‍රව්‍ය මඟින් පලිබෝධ සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා එය ජෛව ආරක්ෂණ පිළිවෙතකි. මේ අනුව ගුවන්තොටුපොළවල සිදු වන සංකීර්ණ මගී සේවා අතර මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය සුවිශේෂ ක්‍රමවේද ඔස්සේ සිදු විය යුතුමය. ගුවන්තොටුපොළක සැපයෙන අනේකවිධ සේවා අතර මේ අපද්‍රව්‍ය කළමනාකරණ සහයද අන් කිසි සේවාවකට දෙවැනි නොවේ.

ඊළඟට අපේ අවධානය යොමු වුණේ ‘ටයිටැනික්’ පන්නයේ විශාල මගී යාත්‍රා හෙවත් ‘ක්රූස්’ කෙරෙහිය. සාරා ලබන අවුරුද්දේ ‘ක්රූස්’ සවාරියක් යන බලාපොරොත්තුවෙන් සිටින බව කීවාය.

සාමාන්‍ය මගී නෞකාවක මගීන් පන්දහසක් සහ සේවකයන් දහසකට වැඩි පිරිසක් සතියකට වඩා වැඩි කාලයක් සවාරියක් යනවායැයි සිතුවොත්: මේ මොහොතේ පවා, දහස් ගණනක් මිනිස්සු මුහුදේ සිටිති. මේ නැව්වලදී අපද්‍රව්‍ය ගබඩා කිරීම පමණක් නොව, ඒවා සමහරක් නැව තුළදීම පිරිසැකසුම් කිරීමද සිදු වේ. අන්තර්ජාතික මැරිටයිම් එකඟතා අනුව මේවා කෙළින්ම මුහුදට මුදාහරින්නට බැරිය. ඒ නිසා නූතන නැව්වල සම්පූර්ණ පරිමාණයේ පවිත්‍රාගාර පද්ධති තිබිය යුතුය.

ඔවුන් කළු ජලය (වැසිකිළිවලින්) සහ අළු ජලය (සෝදන බේසම් සහ නාන කාමරවලින්) වෙන් කරගෙන, ඉන් පසු දැඩි පිරිසුදු කිරීමේ ප්‍රමිතීන් සපුරාලන්නේ නම් හා ගොඩබිමට සෑහෙන දුරින් සිටින්නේ නම් රෙගුලාසිවලට අනුකූලව ඒවා මුහුදට මුදාහැරිය හැකිය. එහෙත් සමහර සංවේදි මුහුදු ප්‍රදේශවල අපජලය කෙලෙසකවත් මුදාහැරීම් තහනම් කර හෝ දැඩි ලෙස සීමා කර ඇත. මුහුදට මුදාහැරීමට අවසර නැති දේ ටැංකිවල ගබඩා කර, වරායේදී පොම්ප කර පිටතට ගනු ලැබේ.

මේ කතාබහ කෙරීගෙන යන අතරේ සාරා මගෙන් මෙසේ ඇසුවාය: “සමහර දුම්රිය අපද්‍රව්‍ය කෙළින්ම දුම්රිය මාර්ගයට දමනවා කියන්නේ ඇත්තද?”

අවාසනාවකට මෙන්, මට එය පිළිගන්නට සිදු විය. බොහෝ රටවල පැරණි දුම්රියවල වැසිකිළි තිබූ අතර, ඒවා කෙළින්ම දුම්රිය මාර්ගයට හිස් කෙරුණේය. මාර්ග සේවකයෝ භයානක සනීපාරක්ෂක අවදානම්වලට මුහුණ දුන්හ.

එහෙත් මේ තත්ත්වය දැන් වෙනස් වෙමින් පවතී. ලෝකයේ විශාලතම දුම්රිය ජාලය ඇති ඉන්දියාව, මැදිරි දහස් ගණනක් වැසිකිළි සමඟ ප්‍රතිසංස්කරණය කරමින් සිටී. මේවායේ මුද්‍රා තැබූ ටැංකිවල අපද්‍රව්‍ය දිරවීමට නිර්වායු බැක්ටීරියා භාවිත කෙරේ. නව දුම්රිය රික්තක පද්ධති භාවිත කරන අතර, ඒවායේ අපද්‍රව්‍ය තැන්පතු ස්ථානවලදී නගර මලාපවහන පද්ධති වෙත මුදාහැරේ.

“මම ප්ලේන් එකට නැග්ගේ පැය දහයක නීරස ගමන ගෙවාදමන්නේ කොහොමද කියලා. ඒත් දැන් කතා කරපු දේවල් එක්ක මට තව ගොඩක් දේවල් ගැන කියවන්න කුතූහලයක් ඇති වුණා. තාක්ෂණයත් එක්ක පද්ධති, උපපද්ධති රටවල්, මිනිස්සු හා සම්මුතීන් එකිනෙකට සම්බන්ධ වෙලා ලෝකය පවත්වාගෙන යන හැටි කල්පනා කරද්දී පුදුම නොවී ඉන්න බෑ!” සාරා කීවාය.

මම සිනා සුණෙමි.

(This article was first published in Silumna Sunday newspaper on 05 Oct 2025)


Sunday, September 28, 2025

මානිගේ තීරුව , නිහාල් සෝමරත්න හා පේරාදෙණි ඉංජිනේරු ප්‍රදර්ශනය:


මානිගේ තීරුව තිස්හය වසරක් තිස්සේ පිළිවෙලට සීරුවට හා නොකඩවා ලියවෙමින් තිබේ. ඒ වගේ දිනෙන් දින ඉහළ යන රසයක් හා මෝරා යන වටිනාකමක් ඇතිව පලවන තීරු ලිපියක් ගැන මා ලොවෙත් අසා නැත. එවන් ලකයක් නැතිව කඩින් කඩ කරගෙන ගිය මගේ විද්යා ලිපි, බ්ලොග් හා පත්තර තීරු ලිපි ලිවීමේ මාධ්ය කටයුතුවලටත් තිස්හය වසරක් පිරී තිබේ. මේ කාලය තුල මා නොකඩවා ආදරය කළ, හිතවත්කම පවත්වාගෙන ගිය මාධ්යවේදීන් කිහිප දෙනෙක් සිටින අතර ඉන් ප්රමුඛයෙක් වන්නේ මානි හෙවත් සුන්දර අයියාය .
මට මානි මුලින්ම හමු වන්නේ 1992 අවුරුද්දේ බ්ලුමැන්ඩල් පාරේ දිවයින කන්තෝරුවේදීය. ඒ වනවිට මානිගේ තීරුව ඉරිදා දිවයිනේ සිටි තුන් හැවිරිදි දරුවෙකි . දිවයින කර්තෘ මඩුල්ලේ කැපී පෙනෙන චරිතයක් වූ සුන්දර නිහතමානිද මැල් හමු වන්නට මා පේරාදෙණියේ සිට ආවේ ආචාර්ය නිහාල් සෝමරත්න සමගය .අපේ ගුරුතුමකු මෙන්ම හිතවතකු වූ ආචාර්ය සෝමරත්න මේ ගමනට මාවත් සම්බන්ධ කර ගත්තේ ඒ වනවිට මම පේරාදෙණියේ ඉගෙනුම ලබන අතරවාරයේ විදුසරට ලියමින් සිටි නිසාය . නිහාල් සෝමරත්න යනු පසුකලෙක මානි ලියු ' මහින්දෙ තමයි ඉස්කෝලේ ' පොතේ නමට කල් ඇතිව සාධාරණයක් කර තිබූ පුද්ගලයෙකි. වසර ගණනාවකට කඩන්නට බැරි වූ වාර්තාවක් සමග උසස්පෙළ ගණිත අංශයේ රිසල්ට්ස් ගත් නිහාල් සෝමරත්න පේරාදෙණියේ සිට ඉංජිනේරු පීඨ ඩීන්ගේ රථයෙන් මා සමග කොළඹ ආවේ නුදුරේ පැවැත්වෙන ඉංජිනේරු ප්රදර්ශනයට මාධ්ය ප්රචාරයක් ලබා ගැනිමටටය. ඔහුගේ පාසැල් මිතුරෙක් වූ සුන්දර නිහතමානිද මැල් හෙවත් මානි සහ තවත් මාධ්ය මිතුරන් හතර පස් දෙනෙක්ම එදා මුණ ගැසීමට අපට පුළුවන් විය . එවර පැවැත්වුනේ පේරාදෙණිය සරසවියට වසර පණහක් පිරිම නිමිත්තෙන් වූ දැවැන්ත ප්රදර්ශනයකි.විද්යුත් මාධ්ය ඉතාමත් අඩුව තිබු ඒ කාලයේ සමාජ මාධ්ය කියා දෙයක් තිබ්බෙම නැත . ඒ වුනත් සුන්දර අයියා ඇතුළු මාධ්යවේදීන් අපට ලබාදුන් ප්රචාරය නිසා ඉංජිනේරු ප්රදර්ශනයට වැල නොකැඩී සෙනග ආහ . මේ දවස්වල පැවැත්වෙන පේරාදෙණි ඉංජිනේරු ප්රදර්ශනය ගැන විස්තර දකිද්දී 1992 ඒ හා සමාන සිද්දි මට මැවී පෙනෙයි.
එදා ආචාර්ය නිහාල් සෝමරත්න සමග කොළඹ ආ ගමනේදී මම ඉමහත් සතුටක් ලැබුවේ විශේෂ පුද්ගලයන් දෙදෙනකු හමු වූ නිසාය. පළමුවැන්නා මානිය . දෙවැන්නා කිත්සිරි නිමල් ශාන්තය.
1994 ඉංජිනේරු රස්සාව හැරදමා විදුසර ට පූර්ණකාලීනව එකතු වී මම සුන්දර අයියලා වැඩකළ දිවයින කන්තෝරුව ආසන්නයේ වසරක් ගෙවා දැමුවෙමි. එය මගේ ජිවිතයේ සුන්දරම කාලයකි. දකින්නට හමුවන්නට සිහින මැවූ කලාකරුවන් වන පී විජේසෝම, ජනක රත්නායක, විනී හෙට්ටිගොඩ, සුන්දර නිහතමානිද මැල් වැනි මිනිසුන් අතර ගතකල ඒ කාලයේ අපට වඩාත් හිතවත් වූ පත්තරකාරයා සුන්දර අයියා වන්නට පුළුවන. හවසට කන්තෝරු ඇරී බ්ලුමැන්ඩල් පාර දිගේ අවිදගොස් හෙට්ටියවත්තෙන් සොයිසාපුර යන බසයකට සුන්දර අයියා ඇරලවන්නට ගිය විදුසරේ ගැටයන් දෙන්නෙක් සිටියෝය . මානිගෙ මුවින් ස්ලෝ මෝෂන් එකෙන් නිකුත්වන සුරුට්ටු දුම හා මුසුවූ සාහිත්ය රසකතා හා දේශපාලන උපහාස කතා අහන්නට අභිරුචියෙන් සිටි මේ දෙදෙනාගෙන් එකෙක් අසඩක් හෙවත් අසෝක ඩයස්ය. අනෙකා මාය .
අනෙක් අතට මානිගේ සියලු පොත් නිකුත්වීමට පෙර සිටම ඒ ගැන සෑම අදියරක්ම අප්ඩේට් වෙන්නට තරම් මට වාසනාව ලැබෙන්නේ මේ සියලු කටයුතු පිටුපස සිටින කවර හා පිටු නිර්මාණ ශිල්පියා දර්ශන කරුණාතිලක නිසාය . ඔහු මේ දිනවල 'ඉස්තාන්බුල් දිනපොතේ ' වැඩට ලැහැස්ති වෙමින් සිටිනතර මට සතියකට වරක් දෙවරක් කතා කර මෙසේ කියයි.
' මචං සුන්දර අයියගේ වැඩේ ඉවර වුන ගමන් උඹේ පොතේ වැඩේ කරමු . හාද'
සුන්දර අයියාගේ අලුත් පොත නිකුත්වීම සුන්දර මංගල්ලයක් සේ මට දැනෙන්නේ මේ ආදී කරුණු නිසාය .
( 29-09-2025)

Sunday, December 29, 2024

ගමනාන්තය තරම්ම අසිරිමත් ඔරියන්ට් එක්ස්ප්‍රස් ගමන -ඉස්තාන්බුල් දිනපොත 9

තා ජනාකීර්ණ, ඉතිහාසගත නාවික තොටුපලක් වන එමිනොනු පිහිටියේ පැරණි කොන්ස්තන්තිනෝපල් නගරය ආසන්නයේය. එම නැව්තොටේ  සිට ඇවිද යන දුරින් පිහිටි සර්කෙසි දුම්රිය ස්ථානය සියවසකටත් වඩා පැරණි  ජාත්‍යන්තර දුම්රියපොළකි .  අදටත් දුම්රියෙන් දේශ සිමා හරහා ගමන් කරන  මගීන් සැහෙන දෙනෙක් මේ දුම්රිය ස්ථානයේදී හමු වෙයි  . නොඑසේනම් එය ජාත්‍යන්තර මගීන්ට වටිනා ගමනාන්තයකි.  ඉස්තාන්බුල් දිස්ත්‍රක්කයට උදාවූ  සරත් සමයේ මැද වැසිබර දවසක මම එමිනොනු නැව්තොටෙන් බැස සර්කේසී  දුම්රිය ස්ථානය දෙසට ඇවිදගෙන ගියෙමි. කහ පැහැ  ගත්  ඕක් කොළ මතට වැහි බිඳු පතිත වෙද්දී ඒවා නටුවෙන්ගිලිහී  ගොස් තෙතබර බිම්ගඩොල් මත පතිත වෙයි.

දුම්රිය   වේදිකාව සිසාරා සැන්දෑ  හිරු දිගු සෙවනැලි ඇඳ තිබේ . ඔටෝමාන් හා යුරෝපීය මිශ්‍ර  ගෘහනිර්මාණ ශිල්පය මෙසේයැයි කියපන  විශිෂ්ට පර්යන්ත ගොඩනැගිල්ල, 1889 දී මුල්වරට එවකට කොන්ස්තන්තිනෝපල් ගමනාන්තය වූ මෙහි  ආ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය පිළිගන්නා විට සිටි ආඩම්බර පෙනුමෙන්ම හා  1977 අවුරුද්දේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සිය අවසන් දුම්රිය පිටත් කළ දවසේ සිටි නිහඬ මුහුණින්ම  සිටියි . මම විසිතුරු ඔරලෝසු කණුව පරීක්ෂා කරමින් සිටියදී මායාමය තිමිරය මැදින්  ඇය දුටුවෙමි. ට්වීඩ් ඇඳුමකින් සැරසී සිටින  කාන්තාවක් , හාත්පස පෙණෙන සෑම  විස්තරයක්ම අල්ලා ගන්නා බවක් පෙනෙන තියුණු ඇස්වලින් වටපිට බලමින් සිටියාය.

එය විය නොහැක ... නමුත් එය මට පෙනේ . පහුගිය සියවසේ මුල් භාගයේ ලෝපුරා ආදරය ලද ලියන්නිය අගතා ක්‍රිස්ටි  1930 ගණන්වල ඡායාරූපවල සිටියාක්  මෙන් මා ඉදිරියේ දර්ශනය වේ. පැරිස් නගරයේ සිට කොන්ස්තන්තිනෝපල්  දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ගාවාගෙන  ලිඅවුණු පොත් හා නිර්මාණය වුනු චිත්‍රපට දුසිම් ගණනක් අතරින් වඩාත් ජනප්‍රිය වු ඇය ලියු  Murder on the  Orient Express පොත  මෙන්ම ඒ අනුව නිර්මාණය වූ චිත්රපට ගැනද  දැන සිටි මම  දෙවරක් නොහිතා  ඇය වෙත ඇවිද  ගියෙමි.

"පුදුමෙනුත් පුදුමයි . ක්‍රිස්ටි මහත්මිය. ඔබ මෙතැන?"

ඇය ලෙන්ගතු   සිනහවකින් මා දෙස බැළුවාය .

"ආහ්,  ඔබ   මාව අඳුරනවා. පුදුම වෙන්න දෙයක් නැහැ, අපි මේ ඉන්න තැන නිසා වෙන්නැති . මේ ස්ටේෂන් එකේ කතා ගොඩක් තියෙනවා නේද?"

"ඇත්ත වශයෙන්ම ඔව් . ඔරියන්ට් එක්ස්ප්‍රස් හි ගමනාන්තය  - ඔබ විසින්  ප්‍රසිද්ධියට පත් කළ දුම්රිය හා දුම්රිය ස්ථානය ."

"ඔබ දන්නවාද' ඇය ඇසුවාය , "පළවෙනි  ඔරියන්ට් එක්ස්ප්‍රස් 1883 දී පැරිසියේ ගැරේ ඩි ලෙස්ට් සිට පිටත් වූදා පටන් , එය මිනිසුන් සංචාරය ගැන සිතන ආකාරය වෙනස් කළා . ඒ  එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාම පමණක් නොවෙන ගමනක්'

රෝද සහිත ගමන් මලු තල්ලු කරගෙන  ස්මාර්ට්ෆෝන් අතින්ගත් සංචාරක පවුල් අප දෙස බලා අත වනමින් යන හැටි ඇය මදක් බලා සිට මෙසේද  කිව්වාය

"දැන් ඔබ මදක් වටපිට බලන්න, ඉස්සර කොන්ස්තන්තිනෝපල් දැන්  ඉස්තාන්බුල් නම විතරක් වෙනස් වුනාට නගරය එහෙම්මමයි   ඒ  අසිරිමත් මායාව නැති වෙලා නෑ ; එය හුදෙක් නව මුහුණු  එකතු කරගෙන  විතරයි . අර ඈත පෙනෙන ඊජිප්තු බසාරයේ වෙළෙන්දන් තාමත්   කුංකුම සහ එනසාල්  විකුනනවා . දේවස්ථානවල  යාඥා හඬ  තවමත් ගෝල්ඩන් හොර්න් ජල පහර  හරහා දෝංකාරදෙනවා ඇහෙනවා නේද ? ."

ග්‍රෑන්ඩ් බසාර් වෙත යන පාර සිය මොබයිල් තිරයේ උපකාරයෙන් සොයමින්  යන සංචාරකයින් පිරිසක් අප  අසලින් ගමන් කළහ.

" බලන්න"  අගතා ක්‍රිස්ටිගේ ඇස් දිලිසිණ  "ඔය යන මගින් මිට අවුරුදු එකසිය විස්සකට ඉස්සර බෙඩේකර් කියන  මාර්ගෝපදේශක පොත්වල උදව් අරන් ගමනේ ගිය මගීන්ට වඩා එතරම් වෙනස් නෑ . ඉස්තාන්බුල් සෑම විටම නැගෙනහිර සහ බටහිර ලෝකයා හමුවීමේ නවාතැනක් . ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ වගේ හමුවීම් සුවිශේෂ  කරා.ගාම්භීර කරා ."

"ඒකද  ඔබ  ප්‍රසිද්ධ මාරක  කතා  පොතට   මේ කෝච්චිය සම්බන්ධ කරන්න හිතුවේ ?"

"බාහෙට ඇත්ත . ඒත්  ඊටත් වඩා, එය සංකීර්ණ මිනිසුන් එකට සිටි  සංවෘත අවකාශයක් , විවිධ රටවල විවිධ අදහස් තියෙන  ආගන්තුකයන් එකට කොටුකරලා  වෙන් කරන්න බැරි  සමීපභාවයක් ගොනු කරපු පරිසරයක් එතැන තිබුනා  . ඉස්තාන්බුල් වගේ  - ඔටෝමාන් මන්දිරවල බයිසැන්තියානු කැටයම්   තිබෙන  නගරයක්, යුරෝපීය හෝටල් සංකීර්ණ  සෙවනේ ආසියානු කුළුබඩු වෙළඳපොලවල් වර්ධනය වෙන අමුතු එකමුතුවක් ."

"ඔබේ කාලයට වඩා දැන් මේ  නගරය ගොඩක් විශාල වෙලා . දියුණු වෙලා ," මම කීවෙමි.

"ඔව් , ඉස්තාන්බුල් සෑම පැත්තෙන්ම  අතිවිශාල වෙලා . එය දැන් වඩාත් දෘශ්‍යමාන වෙලා . අපේ කාලයේ , අභිරහස් අඳුරු  පටු මංතීරුවල සහ බොස්ෆරස් ඉවුරු දිගේ ලී මන්දිරවල සැඟවී තිබුණ කතන්දර දැන් වඩා උස්මහත්වූ මන්දිරවලට මාරු වෙලා  . නමුත් ඒවා තවමත් අභිරහස් කතා හා ප්‍රේම කතා ලියන්න බිජ සපයනවා  නේද?" කියමින් ඇය සිනහසුනාය

ඈත මුහුදු යාත්‍රාවක නලා   හඬක් දුම්රිය නැවතුම්පොළ පුරා දෝංකාර දුන්නේය . කබාය සකස් කරගනිමින් අගතා  ක්‍රිස්ටි  වටපිට බැලුවාය .

"මගේ නවකතාව  ගැන සහ ඉස්තාන්බුල් ගැන මිනිසුන් හරියට තේරුම් ගන්නේ නෑ . ඔවුන් සිතන්නේ එය අතීතය ගැන, නොස්ටැල්ජියාව ගැන කතාවක් කියල. නමුත් ඒවා  ඇත්ත වශයෙන්ම අතීතය සහ වර්තමානය එකට නර්තනයේ යෙදෙන තැන්.   . මේ සර්කෙසි ස්ටේෂන්  එක දිහා  බලන්න: තවමත් ප්‍රතාපවත්ව සිටගෙන, තවමත් එහි අරමුණ ඉටු කරමින් සිටිනවා , පරණ ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මෙහි නොආවත් . දැන් බලන්න ඔබ කොහි සිටද මේ විස්තරය හොයාගෙන ආවේ. අර එළියේ පින්තූර ගන්න මිනිසුන් දිහා බලන්න. අර වියපත් යුවල සමහරවිට මිට අවුරුදු හතළිහකට කලින් මධුසමය ගෙවන්න තෝරා ගත්තේ මේ ඔරියන්ට් එක්ස්ප්‍රස්  දුම්රිය වෙන්නැති . ඒක  ගමන්කරන තරු පහේ හෝටලයක් වගේ තිබ්බේ "

"පොදුවේ දුම්රිය ගමන්වල තිබ්බ අර රොමැන්ටික් ගතිය දැන්  අඩුවෙලා වගේ" මම සුසුමක් හෙලුවෙමි.

"එහෙමද?" ඇය ඇහිබැම එසවූවාය. "නැත්නම්  එහි  ස්වරූපය වෙනස් වෙලාද ද? අර දුම්රිය එනතුරු ඉන්න  තරුණ බැක්පැකර්වරු - ඔවුන් අතේ තියෙන  මෙවලම් එක්ක  අපි ගෙවපු ජිවිතයම හොයනවා වෙන්න බැරිද?.'

ඇය දුම්රියපොළේ විසල් බිත්ති  ඔරලෝසුව දෙස බැලුවාය. "ඔබ සංචාර  ගැන කතා කරන විට, මගේසංචාරයත්  දිගටම කරගෙන යාමට වෙලාව හරි. එත්

 අර බලන්න" . ඇය නුදුරේ පේන ටොපකපි  මාලිගයට පිටුපාමින් හිරු බැස යන අයුරු  පෙන්නුවාය . "1889 දී පළමු ඔරියන්ට් එක්ස්ප්‍රස් පැමිණි දා පටන්ම  ඒ  දර්ශනය වෙනස් වෙලා නෑ . ඒ වගේ  ඉස්තාන්බුල්වල  සමහර දේවල් සදාකාලිකව තියේවි ."

බොස්ෆරස් දියතලය මත  රන්වන් ආලෝකයක් මවමින්  හිරු බැස යද්දී, මම ඇයට සමුදීමට  හැරුනෙමි - නමුත් දුම්රිය ස්ථානයේ විකාශන හඬ හා මුසුවූ ඒ මායාත්මක සංවාදයේ  දෝංකාරය පමණක් ඉතිරි කරමින් ඇය නොපෙනී ගොස් සිටියාය .මම දුම්රියපළෙන්  පිටතට පියවි සිහියෙන් ඇස්  යොමද්දී , සුපුරුදු පරිදි  ඉස්තාන්බුල් නගරය  ජීවයෙන් ස්පන්දනය  වෙමින් තිබිණි :  සංචාරක යුවලක්  වීදි බළලුන් ඡායාරූප ගත කරති.   ග්‍රිල් කළ කෙබාබ් සුවඳක් වාතයේ මුසුවිය. එවිටම  නවීන මැදිරි පිරි ට්‍රෑම් රියක් සුල්තාන්මෙහ්මෙට් නගරය දෙසට ඇදී ගියේය.

ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මා සිටින සර්කේසි දුම්රිය ස්ථානය වෙතආ ගමන අවසන් වුවද. මගේ චිත්ත රූපවලට හමුවූ  අගතා  ක්‍රිස්ටි අදහස් කළේ කුමක්දැයි මට වැටහුණි. සංචාරයේ ආදර කතා, ඉස්තාන්බුල්හි සුන්දර අභිරහස් , ලෝක වාසීන්ගේ  රැස්වීම් පොළ  - ඒවා  අවසන් වී නොතිබුණි. ඒවා  හුදෙක් පරිණාමය වී ඇති අතර, මේ නගරයේ වීදිවලට යටින් ස්තර වශයෙන් ඇති ශිෂ්ටාචාරවල පරිච්චේද සමග  සුරැකිව පවතී.

මට හිතුනේ ඔරියන්ට් එක්ස්ප්‍රස් ගමන එහි  ගමනාන්තය වුන කොන්ස්තන්තිනෝපලය තරම්ම අසාමාන්‍ය හෝ අසිරිමත් එකක් වෙන්නට ඇති බවයි.

(මෙය මුලින්ම පළවුණේ 2024 දෙසැම්බර් 15 දින සිළුමිණ පත්රයේය )


Saturday, December 21, 2024

කසල බඳුන් හා වැසිකිළි ඇති නගරයක සිරි

 

ම  සතියේ දවස්වල රස්සාව කරනවා.  සෙනසුරාදා ඉරිදා  හා රජයේ නිවාඩු දවස්වල  මම සංචාරකයෙක්. දිග නිවාඩුවක් තිබුනොත් නගරයෙන්  පිට පළාතක් බලන්න යනවා .සමහර දවස්වල  ඉස්තාන්බුල් නගරයේම විශේෂ ප්‍රදේශයක්  බලන්න යනවා. එහෙමත් නැති  දවස්වල මම අපේ නිවාස සංකීර්ණයේ ඉඳල කිලෝමීටර් දෙකක් විතර දුරකින් තියෙන කාතානේ උප නගරය වෙත යනවා. විසල් ඉස්තාන්බුල් නගරයේ කුඩා කුඩා උප නගර රාශියක් තිබෙනවා. මේවා පරිපාලනය කරන්න වෙනම නගර සභා ඒකක තිබෙනවා. . එතන කුඩා  නගරයක් හා උද්‍යාන කිහිපයක් , අවන්හල් පෙළක් හා මෙට්‍රෝ දුම්රිය ස්ථානයක්  තියෙනවා. සාමාන්‍ය  ප්‍රමාණයේ වෙළඳසැල්  , ෆාමසි  , බාබර් සාප්පු  දෙක තුනක් , ටේලර් සාප්පුව හා රට සල්ලි මාරු කරන තැන  ආදීයට අමතරව ඉරිදා පොලක් ආසන්නයේම පැවැත්වෙනවා.  නගර සභාවෙන් හදපු  ස්මාරකයක් අසල සමහර දවස්වල පොඩි පොඩි රැස්වීම්, ප්‍රවර්ධන වැඩ හා කුඩා සංගීත ප්‍රසංග පැවැත්වෙනවා.

ඉරිදා පොළ පටන් ගන්නේ හවස . උදේ වරුවේ ඉතා පිරිසිදුව තිබෙන පොළ විථිය  , පොළ ඉවර වුනු සැනින් උදේ තිබ්බා වගේම රොඩු  බොඩු සුද්ධ පවිත්‍ර වී සාමාන්‍ය විථියක් බවට පත් කෙරෙනවා. ප්‍රධාන නගර හා උපනගර ඉතා පිරිසිදුව පවත්වාගෙන යන හැටි අගේ කරන්නට පුළුවන්.

මේ කඩ මන්ඩියේ බොහෝ දෙනෙක්  මම අඳුනනවා. ජැන්ඩියට  ඇඳ පැළඳගත්  විශ්‍රාමික පිරිමින්   කුඩා උද්‍යානයේ හා කඩපෙළ  අවට දවස තිසේම ගැවසෙනවා . තරුණ තරුණියන් හා පවුල් පිටින් ඇවිත් එළිමහනේ තියෙන ආපන ශාලාවලින් නිවී සැනසිල්ලේ කෑම කාලා යනවා. දරුවන් වතුර් මල් අවට ගස් හෙවනේ සෙල්ලම් කරනවා .  මිට  තරමක් ඔබ්බෙන් තවත්  විශාල උද්‍යානයක් තියෙනවා අක්කර තිහ හතළිහක් ඇති. එහි නගර සබාවෙන් නඩත්තු කරන විශාල අවන්හලක්, ක්‍රීඩාගාරයක්  , ඇවිදින මං තීරු , පාපන්දු පිටියක් හා දිය පොකුණු තිබෙනවා. විශේෂයෙන්ම ගිම්හාන සමයේ බොහෝ නගරවාසීන් සති අන්තය හා සන්ධ්‍යා කාලය ගෙවන්නේ මෙවන් එළිමහන් උයන්වල. ඒවාට අවශ්‍ය තරම් ඉඩකඩ වෙන් කරලා තියෙනවා.

මේ විසල් බිමේ  එහා මෙහා සරමින් දවසක් වුනත් ඉන්නට පුළුවන් . එහෙම ඉන්නකොට බඩගිනි දැනුනොත් කඩේකට ගිහින් කන්න  පුළුවන්. එහෙමත් නැත්නම් දුරුම් කියන චිකන් රෝල් එකක් හා වතුර බෝතලයක් ගෙනත් උද්‍යානයේ ලී  බංකුවේ  ඉඳගෙන කන්න පුළුවන් . හිස් වතුර බෝතලය, කෑම  ඉතිරි බිතුරු, දවටන  හා අත පිහින කොළ දාන්න මීටර් විස්සෙන් විස්සට විතර කසල බඳුන් තිබෙනවා. මේවා මොනම වෙලාවකවත් පිරිලා ඉතිරිලා යන්නේ නෑ . කඩිසරව ඔබ මොබ යන සේවකයන් මේවායේ පිරුණු කසල ඉවත් කරනවා. වෙනත් සනීපාරක්ෂක වුවමනාවක් තිබ්බොත් නගර සබාවෙන් නඩත්තු කරන පිරිසදු වැසිකිලි තිබෙනවා .

මේ වගේ බොහෝ සති අන්තවල අපි  වෙනත්  සංචාරක කලාපවල උද්‍යානවල හා උපනගර හා වෙරළ  තීර වල ඇවිදින අතරේ කිසිම දවසක කසල බඳුනක් හෝ වැසිකිලියක් හොයා ගැනීමේ  අපහසුතාවක්  මතු වෙලා නෑ .මේ  සියල්ල හොඳින් පිරිසිදුව නඩත්තු කරමින් තිබුනා. කසල බඳුන් කිසිවක් පිරී ඉතිරී  යමින් තිබුනේ නෑ . තරමක් විශාල පුද්ගලික අවන්හලකදී හෝ වෙළඳ සැලකදී අපට සනීපාරක්ෂක පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒවායේ පාරිභෝගිකයන්  වෙන්නම අවශ්‍ය නෑ .

සංචාරකයන් නරඹන විශේෂ  ස්ථාන අසල අනිවාර්යයෙන්ම හොඳම තත්වයේ  මහජන වැසිකිලියක් තියෙනවා.දුම්රිය ස්ථානවල  , නාගරික උද්‍යාන අසල එහෙම තැනක් වරදින්නේ නෑ . ඉතාම පිරිසිදුවට නඩත්තු කරන මේ වැසිකිළි පාවිච්චියට කුඩා මුදලක් අය කරනවා. වැදගත්ම දේ මේ කොතනකවත් සල්ලි එකතු කරන්නට සේවකයෙක් නැති වීම. සියලු මුදල් ගෙවන්න තියෙන්නේ අපි බස්, කෝච්චිවල යන්න තියෙන ඉස්තාන්බුල් කාඩ් එකෙන්. කාඩ් එක කියවන ස්වයංක්‍රිය ගේට්ටු තියෙනවා.  මේ මුදල් ගෙවීම් සියල්ල මධ්‍යගත කරලා තියෙන්නේ.  මේ හේතුව නිසා මිලියන් දහසයක් වූ නගරවාසීන් හා තවත් මිලියන් ගණනක් වූ සංචාරකයන් නගරයේ සැරි සරද්දී අපහසුතාවයට පත් වෙන්නේ නෑ.

මේ සියල්ල නඩත්තු කරන පරිපාලන ආයතනවල මෙහෙයවීම ඉතා ක්‍රමවත් බව පෙනෙනවා. මේවා පිරිසිදු කරන්න ඉන්න සේවකයන් සම්පුර්ණ නිල ඇඳුම්  , පැළඳුම් හා   තම රාජකාරියට අවශ්‍ය උපකරණ කට්ටලවලින් සන්නද්ධ වෙලා ඉන්නේ. නිතර දෙවේලේ ජනී ජනයා පාවිච්චි කරන  නිසා වැසිකිලියක් වුනත් දිනකට  සැහෙන වාර ගණනක්  පිරිසිදු කරනවා. නගරය හා කසල බඳුන් පිරිසදු කිරීමත් දවසකට සැහෙන වාර ගානක් කෙරෙනවා.

මා දුටු කිසිම සනීපාරක්ෂක සේවකයෙක්ගේ මුහුණේ වෙහෙසකර  ගතියක්, කනස්සල්ලක් හෝ තමන් කරන රස්සාව ගැන අකමැත්තක් ඇති බවක් පෙනුණේ  නෑ .  ඔවුන් ඉතාම ආඩම්බරෙන් හා කැමැත්තෙන් තම රස්සාව කරනවා. සංස්කෘතිකව පිරිසිදුව ඉන්න තිබෙන පුරුද්ද, නගර සබාවේ මැදිහත්වීම  වගේම මෙන්න මේ සේවක ආකල්පත් ඉස්තම්බුල්  නගරය ඉතාම පිරිසදුව පවත්වාගැනීම පිටුපස තියෙන  බලවත්  සාධකයක්. මම අද වදිපුරක කතා කරන්න යන්නේ ඒ ගැන .
 ඕනෑම රැකියාවක් වැදගත්  වෘත්තියක් ලෙස සලකන විශේෂයෙන් කසල ශෝධනය වගේ ජන ජිවිතයට අත්‍යවශ්‍ය සේවා කරන්නට අගයකරන ආකාරයේ  පිළිගැනීමක් මේ සමාජයෙන් ලැබෙනවා. මේ වැසියන්ගේ වහරේ  තිබෙන ඉතාම සෞම්‍ය  වචනයක් තමයි  ' කොලයි  ගයිසම්' කියන්නේ . මේ වචනයේ තේරුම ' ඔබේ කාරිය පහසු වේවා' වගේ එකක් .  වැසිකිලිය  පවිත්‍ර කරමින් ඉන්න සේවකයාට පවා  සුබ පතන පුරුද්ද ඉතා දියුණු සමාජයක තියෙන දෙයක්. ඉතින් ' කොලයි  ගයිසම් ' කියා සුළු සේවකයාටත්, ඉහළ  නිලධාරීන්ටත්, රියදුරන්ටත් ඕනිම්  කෙනෙකුට කියන්න පුළුවන්. පිරිසිදු කරන අයෙක් දුටුවොත් එතනින් යන ඕනිම කෙනෙක් මේ සුබ පැතීම කරනවා . එය අසන  පවිත්‍රතා සේවකයෙක් බෙහෙවින් සතුටට පත් වෙනවා. තමන්ට  ලැබුණු හිතවත්කම හා පිළිගැනිම නිසා වඩාත් හොඳින් තමන්ගේ කාරිය කරගෙන යනවා. මේ පොතක තිබුණු න්‍යායයක් නෙවෙයි. මම උදේ හවස දකින දෙයක්.

 රාජකාරිය නිම කරලා හොඳින් හැඳ   පැළඳ ගත්ත සේවකයෝ ඉතාම සාමාන්‍ය මිනිසුන් ලෙස  සමාජය හා මුසු වෙනවා . මේ රැකියා කරන බොහෝ දෙනෙක් ප්‍රමාණවත් ඉගෙනුමක් හා පුහුණුවක්  ලබපු අය බව පේනවා. යම් රටක සමාජයේ පිඩාවට පත් වූ  හෝ අඩුවෙන් අධ්‍යාපනය ලද ජන කොටස්වලින් සනීපාරක්ෂක සේවා  කරන්නට ඔනෑ කියා මෙහෙ සම්මතයක් නෑ . මේ හේතුව නිසා එය රාජකාරියක් ලෙස ඉතා හොඳින් කෙරෙනවා . ඔවුන් පුදුම උනන්දුවකින්  ආසාවකින් සේවයේ යෙදෙනවා. ඒ සඳහා පුහුණුව තියෙනවා, සුදුසු ඇඳුම් පැළඳුම් තියෙනවා, පිරිසිදු කරන ද්‍රව්‍ය හා උපකරණ තිබෙනවා.  අනෙක මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතය පවතවා ගන්න තරම් සරීලන වැටුපක් ලැබෙනවාත්  ඇති.

ඉස්තාන්බුල් නගරයේ පිරිසිදුකම කතා කිරීමේදී සනීපාරක්ෂක සේවකයන් තමයි කොඳු නාරටිය .ඊට ප්‍රශස්ත  නගර පාලනය, සංස්කෘතිය හා නව තාක්ෂනය මිශ්‍ර වී තිබෙනවා.  සියවස් ගණනාවක් ඉඳන් පිරිසිදු නගර කලමනාකරනය තුර්කියේ ප්‍රධාන නගරවල සිදුවී  තිබෙනවා. ඉතින් අර වැසිකිලියකට යාමේදී අය  කරන නාමික ගාස්තුවට අමතරව විශාල මුදලක් වැසිකිලි පවත්වා ගැනීමට හා කසල කළමනාකරණයට නගර සභා විසින් වය කරනවා. මේවා අතරට තොරතුරු තාක්ෂණයද එකතු වී තිබෙන බව මා කියෙව්වා . නඩත්තු අවශ්‍යතා ගැන අවදානයෙන් සිටීමට, පිරිසිදු කිරීමේ සේවක කාලසටහන්  නිරීක්ෂණය කිරීමට හා දුගඳ නිරීක්ෂණයට දුරස්ථව තොරතුරු තාක්ෂනයන්ගේ සේවය ලබා ගන්නා බව පැහැදිලියි.
අපි ප්‍රසිද්දියේ කතා නොකලාට වැසිකිලි යාම මුලික මිනිස් අවශ්‍යතාවයක්. එය තේරුම් ගත් පාලනායක්  හා සංස්කෘතියක් තිබෙන රටවල ජනයා වාසනාවන්තයි . එවැනි රටක සංචාරය කිරීම ප්රියජනකයි.
--
මෙය මුලින්ම පළවුයේ 2024 දෙසැම්බර් 8 වනදා සිළුමිණ පත්රයේය)

Sunday, December 15, 2024

බෙල්ග්‍රේඩ් වනයේ සවාරියක් - ඉස්තාන්බුල් දිනපොත 7

 

පේ කන්තෝරුව පිහිටා ඇත්තේ බෝලේවාර්ඩ් ඒකකය. එනම් දෙපස ගස් වැවුණු නිස්කලංක මංපෙතක දෙපැත්තේ පිහිටි ගොඩනැගිලි පෙළක් ලෙසය. මේ එක්  එක ගොඩනැගිලි අතරත් මල් පඳුරු හා දිය පොකුණු නිර්මාණය කර තිබේ . කන්තෝරු  මිදුලට බැස බලද්දී මීටර් පන්සියක් විතර දුරින් වනාන්තරයක් පෙනෙයි . මම හිතුවේ මේ පෙනෙන කඳුගැටය වසාගත් අක්කර කිහිපයක වනරෝදක්  වන්නට ඇත කියාය. ඇරත් ලෝකයේ ජනගහනය වැඩිම මෙගා නගරයක් වන මෙහි මිලියන් දහසයක් වන ජනී ජනයාට වාසස්ථාන හා රැකියා ස්ථාන ඉදිකළාට  පසු තව වනාන්තරයකටත් ඉඩක් තිබේද .   නගරයේ ඇතැම් තැන්වල එකදු බිම් අඟලක් ඉතිරි නොවන සේ තට්ටු නිවාස ඉදිකර තිබුනත්  උද්‍යාන හා විවේක ස්ථාන සඳහා ඇතිපදම් ඉඩකඩද වෙන්කරගෙන තිබේ. එසේ වෙන්කරගත්තටත්  පසු නගරය මැදම  වනාන්තරයකුත් රැකගෙන තිබෙන්නේ කොහොමද ? මේ ගැන විමසීමේදී මට දන ගන්නට ලැබුනේ මේ එසේ මෙසේ වනාන්තරයක් නොව අක්කර දහතුන්දාහක් පමණ වන ඉතිහාසය පුරා සුරැකිව රැකගන්නා වන සම්පතක් බවයි. ඒ නිසා මට පෙනීගියේ ඉස්තාන්බුල් නගරවාසීන් කෙසේ හෝ නිදහස් භුමි හා වනාන්තර එසේම රැක ගනිමින් තම විසල් ජනගහනය සඳහා ඉදිකිරීම් අනෙක් ඉතිරි වී ඉඩකඩේ අසීරුවෙන් හෝ කරගන්නා බවයි .

මෙකී වනපෙත හඳුන්වන්නේ බෙල්ග්‍රේඩ් වනාන්තරය ලෙසයි . එය අප කුඩාකල දැන සිටි යුගොස්ලෝවියාවේ අගනුවරයි. දැන් සර්බියාවේ අගනුවරයි. දහසයවන සියවසේදී බෙල්ග්‍රේඩ් නගරයෙන් ගෙන්වාගත්  වැසියන් පිරිසක් මේ වනාන්තරය අද්දර ගම්මානයක පදිංචි කරවීම නිසා බෙල්ග්‍රේඩ් නම අසල්වැසි වනයටද  සින්න වී ඇත .

බෙල්ග්‍රේඩ් නුවර වැසියන් මෙරටට එන්නට ඇත්තේ ඩැනියුබ් ගඟ දිගේ ඇවිත් කලුමුහුද හරහාය . කෙසේ වුවද බෙල්ග්‍රේඩ් වනය ඔටෝමන් අධිරාජ්‍ය කාලයේත් ඉන්පෙර රෝමන්වරුන්ගේ කාලයේදීත්  නගරවසියන්ට අවශ්‍ය  ජලය දෙන උල්පත් රක්ෂිතය ලෙස රැක බලාගෙන තිබේ. මේ නගරයේ තැන තැන දකින්නට ලැබෙන ඉපැරණි ආරුක්කු පාලම් ආකාරයේ ජලමාර්ග කඳු අතර යාකරමින් ඉදිකර තිබේ. බෙල්ග්‍රේඩ් වනපෙත ඇතුලතත් ඉතිහාසගත ජලාශ්‍ර, වැව් බැමි,  හා ජලපාලම් වල නටබුන් ඉතිරිව තිබේ. නගරයේ තැන කිහිපයක අදටත්  හොඳින් සංස්කරණය කර පවත්වාගෙන යන ඉපැරණි ආරුක්කු පාලම් කිහිපයක් තිබේ. ඒවා ඉදිකර ඇත්තේ කඳු දෙකක් අතර නිම්නය හරහා අනෙක් පසට ජලය ගෙන යාමටය.  සමහරක් ආරුක්කු පාලම් මත ඉදිවූ ඇළ මාර්ග  දිගේ ගලාගියේ බෙල්ග්‍රේඩ් වනයේ උල්පත්වලින් උපන් වතුරයි.

අප වනයට පිවිසුනේ අපේ  කන්තෝරුව ආසන්නයේ තිබු  සිස්ලි දොරටුවෙනි . වනපෙතට ඇතුල්වෙන තැනම විශාල වාහන නැවතුම්පලක් තිබුණු අතර ඉන් ඉදිරියට පයින් යා යුතුව තිබුනේය. මුල්ම කොටස ජනතාවට ඇවිදිය හැකි , විනෝද විය හැකි භෝජනාගාර , ඇවිදින මංපෙත් හා විවේක ස්ථාන ආදියෙන් සමන්විත විය. වනයේ සමහර ප්‍රදේශවලට  විශේෂ අවසරයකින් තොරව සාමාන්‍ය ජනයාට පිවිසෙන්නට බැරිය. ඒවායේ ඇති සුවිශේෂ පරිසර පද්ධති හා නටබුන්වල ආරක්ෂාව සඳහා එසේ කර තිබේ. අප එහි ගියේ මෙරට ළමා දිනය වෙනුවෙන්  රජයේ නිවාඩුවක් ලබා දී තිබු පසුගිය අප්‍රේල්  විසිතුන් වැනිදාය .
අප  යනවිටත් සිය දු දරුවන් සමග වනපෙතේ ඇවිදීමට දෙමප්ව්පියන්  බොහෝ පිරිසක් පැමිණ තිබුණි. විවේකාගාර අසල ළමා චිත්‍ර හා මුර්ති තරග පැවැත්විණි . ළමයින් හා පරිසරය ලංකර තැබීමට වෙහෙසෙන නගරවාසින්ද ඒමට සිටින බව මට පෙනිණි. එක අතකට නවීන හා ඉපැරණි ගොඩනැගිලි පිරි  කොන්ක්‍රීට් වනයක් යයි මා මුලින් සිතු නගරය ස්වභාවික ජීවයෙන් පිරුණු දැවැන්ත වනයක්  හා තැනින් තැන ස්වභාවික කලාප නඩත්තු කරයි.

අප මුලින්ම ගිය ගමනේ දවස පුරාම වනපෙතේ අවිද්ද්මු. බඩගිනි වූ විට යලි වනදොර අබියස තිබු අවන්හලෙන් කෑම ගත්තෙමු.  ඕක් , බිච්  හා චෙස්ට්නට් බහුලව තිබුණු වනයේ මටනම් ඒකාකාරී බවක් පෙනුනේය. එසේවන්නට ඇත්තේ නිවර්තන වැසි වනාන්තර බහුල ශ්‍රී ලකාවේ වනාන්තරවල ජීව විවිධත්වය ඉතා ඉහළ මට්ටමක තිබෙන නිසා වන්නට ඇත . එහෙත් බෙල්ග්‍රේඩ් වනය ඉතා විශේෂ ශාක හා සත්තව වර්ග වෙසෙන ස්වබාවික පරිසරය ගැන අධ්‍යයනය කිරීමට බොහෝ දෙනා යන එන පරිසර සරසවියකි .
සමනල වර්ග හා උරග වර්ග රාශියක් එහි වෙසෙති. මුවන් , නරියන් හා වල් ඌරන්ද , ඉඳ හිට වෘකයන්ද මෙහිදී හමුවේ.
මේ වනය කුරුළු ලෝලීන්ගේ ප්‍රියතම නැරඹුම් කලාපයකි. කොට්ටෝරුවන්, වවුලන්, රොබින් හා නෛටින්ගේල් වැනි පක්ෂි වර්ග රාශියක්ද මෙහිදී බලන්නට පුළුවන. කටාර්  රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සුලර්වරයා වන  ධර්මසිරි විජේවර්ධන  සිය දරුවන්ගේ පෙරැත්තය නිසා බෙල්ග්‍රේඩ් වනයේ කුරුල්ලන් බලන්නට තකහනියක් පැමිණ සිටි ගමනේදී මට හමු විය . ඔවුන් වනපෙතට ඇතුළු වී තිබුනේ  නගරයේ අනෙක් අනෙක් ඇන්තයෙනි . එම ගමනේදී විශාල ජලාශයක් හා මනරම් බුමි දර්ශනද හමු වේ . කොහොමත් ඉස්තාන්බුල් නගරය තනිකර කඳුකර කලාපයක් නිසා බෙල්ග්‍රේඩ් වනයේ පිහිටීම පුරාණ නගරවාසීන් සිය වාසියට හරවාගෙන තිබේ . ඔවුන් ජලාශවල වතුර රැස්කරගෙන මුළු නගරයේම ජන අවශ්‍යතාව සපුරාගෙන  ඇත. බුගත ජලය තිරස් උමන්, ආරුක්කු  ජලපාලම් හා ක්‍රමවත්ව ගල් ඇතිරූ ඇළ මාර්ග හරහා නගරයට සපයාගෙන ඇත . විසිවන සියවසට පෙර ඔවුන්   නගරයේ තැන තැන තිබු පොකුනුවලට ජලය රැස් කරවූ  අතර. ජනයා බඳුන්වල පුරවාගෙන සිය නිවෙස්වලට රැගෙන යන්නට ඇත . දේවස්ථාන  හා ප්‍රභූ නිවාසවලට වෙනම ජලය  සපයා තිබේ.  සමහර ස්ථානවල පමණක් ඊයම් ජලනල හා සෙරමික් බට යොදාගෙන තිබු බව කියවේ.

19 වන සියවස වනතුරු නිවාස සඳහා ජලනල භාවිත කිරීම ගැන සඳහන් වන්නේ නැත . ඒ වෙනුවට පොදු නාන  ස්ථාන තිබී ඇති අතර සංචාරකයන් අතර ජනප්‍රිය ටර්කිෂ්  හමාම් නාන නිවස්න අදටත් මෙහි තිබේ .
බෙල්ග්‍රේඩ් වනයේ දිය උල්පත් කලක් ඉස්තාන්බුල් නගරයේ සමස්ත ජල අවශ්‍යතාව සැපයුවා වුනත් අද වනවිට ජනගහනය බෙහෙවින් වැඩි වී තිබෙන නිසා නගරයට් ජලය සපයන්නට වෙනත් මුලාශ්‍ර කිහිපයක් එකතු වී තිබේ.

බෙල්ග්‍රේඩ් වනාන්තරය එහි ස්වභාව සෞන්දර්යය හා  ඓතිහාසික වටිනාකම  නිසා වැදගත් වෙයි. එමෙන්ම සිය කාර්යබහුල නාගරික පරිසරයෙන් මිදී  සුන්දර  පලා යාමක් සඳහා සුදුසු කෙම්බිමක්  ලෙස එයට  නගර වැසියන් විසින් ගැඹුරින් ආදරය කරයි. එය නාගරික ජීවිතය ස්වභාවධර්මයට බැඳ තබන අතර ඉස්තාන්බුල්හි ජීවිතය සැහැල්ලු කරන සම්පතකි .

මේ පිරිසිදු ජල මුලාශ්‍රය ඉතිහාසය පුරා  පවිත්‍රව තබා ගැනීමටත් වනපෙත රැකබලාගෙන  එය නගර දිවියේ අත්‍යවශ්‍ය අංගයක් විදිහට සලකන්නටත් නගර වැසියන් උත්සහ  ගෙන තිබේ . ඒ වගේම එසේ ලබාගත් ජලය පිරිසිදුව අපවහනය කරන්නටත් ඔවුන් පියවරගෙන තිබේ. මිලියන් දහසයක් මිනිසුන් වෙසෙන ජනාකීර්ණ නගරයක එකදු උතුරා යන කාණුවක්වක්වත්  දුගඳ හමන දිය පහරක්වත් මා දුටුවේ නැත. 
(මෙය මුලින්ම පළවුයේ 2024 නොවැම්බර් 27 සිළුමිණ පත්රයේය)
--