Sunday, April 12, 2020

අටවිසි මහල 6- ( බිම්මහල )

සතියේ දිනවල සඳුදා හා බ්‍රහස්පතින්දා කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ හයවැනි කොටසයි මේ. පෙර කොටස්  සඳහා සබැඳි: පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස , සිව්වන කොටස, පස්වන කොටස .

"' ඔයාල දෙන්නයි අම්මයි දාලා ඇයි තාත්තලා ආයේ නොඑන්නම ගමට ගියේ  ?"  යනුවෙන් අම්රිතා ඇසු ප්‍රශ්නය හමුවේ පිපී දිලෙමින් සිටි රෝස කානේෂන් මල් දෙක සැනෙකින් මුකුලිත වී ගියේය. එකම රුපයේ ප්‍රතිබිම්බයක් සේ දෙදෙනාගේ මුහුණු රතු වී කඳුළු කැට පුපුරා හැළෙන්නට විය. 
තමා විසින් අසන   ලද්දේ මොන තරම් අකාරුණික ප්‍රශ්නයක්දැයි  වටහා ගත් සැණින් අම්රිතාගේ හදවත හෝස් ගා ඇවිලී ගියේය. මේ කෙල්ලන්ගේ අම්මත් මේ ප්‍රශ්නෙ අහන්නවත් ඉඩ නොදී මග හැරී බව අම්රිතාට මතක් වුනේ එවෙළේය. 

"අනේ  සමාවෙන්න . මට සමා වෙන්න . මම වැඩිපුර හිතල  ඇහුවේ නෑ. මම දැන් ටිකකට කලිනුත් කල්පනා කර කර හිටියේ ආයෙමත් කාටවත් කියන්නේ නෑම කියල හිතපුදෙයක් ගැන . එහෙම දේවල් අපි හැමෝටම තියෙනවා.  මේ  ගැනත් අපි  කතා නොකර ඉමු. දැන් මට සමා වෙලා අඬන්නේ නැතිව ඉන්න . ඔය කඳුළු පිහිදාගන්න. දැන් අර දෙන්නා ආවම මොනා හිතයිද ?" 

ටික වෙලාවකින් ඉකි ගැසීම් නතර වී කම්මුල් වල කඳුළු වියලී ගියේය. එළිමහනේ ඇවිදිමින් සිටි තරුණයන් දෙදෙනා කෙල්ලන්ට අත වනා කතා කරති . බැරිම තැන දිගටි මටසිලිටි රන්වන් පාටින්  ඉදී දිලිසෙන ගෙඩි කීපයකින් යුත් පලු අත්තක් රැගෙන අසේල රිය වෙත  ආවේය . 

ඔහු තරුණියන් වෙත පලු අත්ත දිගු කරමින් මෙසේ කීවේය. 
' පුදුමයි මේ පලු වාරේ ඉවර වෙලා මාසයක් විතර වෙද්දීත් පලු ගෙඩි ටිකක් ඉතිරි වෙලා තිබ්බා . ඔහු සිය නැගණියන් දෙදෙනාගේ මුහුණු බලමින් කීවේ සිංහලෙනි .  අම්රිතා සිටි නිසා රිය තුල මෙතෙක් වෙලා බොහෝ   කතාබහ කෙරුනේ ඉංග්‍රීසියෙනි . 

දෙමට අතු කැබැල්ලක් දත් අතර රඳවා  වරින්වර හපමින් පැමිණි මනෝරන්ජන්ද රියට ගොඩ වුයේ රංචාගොඩ ළමයාගේ කවියක් පද වෙනස් කොට කියවමිනි .

' මෙහෙව් රටේ වේයන්ගොඩ   ඉපදීලා 
බිල්ඩින්වල වැලි හලලා ඉලව්වේ 
දෙමට පොතු කකා කට හම යන්නාය
හැම දෙයියෝ මගේ වාහේ රකෝ රකෝ '

අම්රිතාට මේ කිසි දෙයක් තේරුනේ නැත, අසේල හා මනෝරන්ජන් කොක් හඬලා සිනාසෙති . 
' කෝ ඉතින් මනෝ මහත්තයාට රකින්න වාහේ කෙනෙක් හොයා ගන්නෙත් නෑනේ ? " අසේල කීවේය. මනොරන්ජන් වාහානය දෙදරා යන  හඬකින් සිනාසුනේය. 

" ඔයාලත් පොඩ්ඩක් එලියට පහලියට බැහැල අවිද්දානම් ඔය කම්මැලි ගතිය නැති වෙනවා . කොහෙද කතා කරාට ආවේ නෑනේ කියමින් අසේල තරුණියන් දෙස  හැරී බැලුවේය . 

ඔවුන්ගේ මුහුණු කියා පෑවේ තිදෙනාම යම් ලතවිල්ලක පෙලෙන බවය. ඒ ගැන හාරා අවුස්සන්නට යන්නේ නැතිව අසේල යලි කල්පනාවට වැටුනේය.  එක අතකට පරණ තුවාල පාරන්නේ නැතිව අපි අයින් වෙලාම හිටියනම් හරි. නංගිලා කවදාවත් ගමට ඇවිල්ල නෑ. මමත් ඒ ගෙදර යන්නේ නැතිවයි හිටියේ . තාත්තාගේ මළ ගෙයත් අම්මාට නොකීවේ ඒ වනවිට ඔවුනොවුන්ගේ ඈත් වීම තහවුරු වී දැවැන්ත එහෙත්  අදෘශ්‍යමාන වේල්ලකින් දෙපිරිස වෙන් වී සිටි නිසාය . ඒ වෙන් වීමේ සාධාරණ බවක් හා යහපත් බවක්ද ඔහු දුටුවේය. ඒත් තම පවුලේ කතාව උඩින් පල්ලෙන් දැනගත් අම්රිතා සියල්ල උඩු යටි කුරු කරමින්   අම්මාද නංගීලාද සොයාගෙන පානදුර ගෙදරට  රහස් පරීක්ෂක ගමනක් ගියාය. දැන් ඒ  පවුලේ හොඳම හිතවතියක් වී සිටින ඇය අම්මාගේ දුක සැප සොයා බලන්නට දවසකට සැරයක් හෝ කෝල් එකක් දෙන්නීය. පසුගිය කාලයට තුන් හතර පාරක් ඈ බලන්නට ගියාය . අවුරුදු දොළහකට පසුව අසේලට සිය උපන් ගෙදරට නොයා සිටින්නට බැරි වුයේ ඈ නිසාය. පානදුරේ අම්මා සිතා  සිටින්නේ අම්රිතා යනු අසේලගේ  පෙම්වතිය බවයි. එහෙත් අසේල සිතා සිටින්නේ අම්රිතා රිචර්ඩ්ගේ පෙම්වතිය බවයි. ඈ මනෝරන්ජන් සමග කතා බහ කරමින් සිටිද්දී නොදන්නා කෙනෙකුට සිතෙන්නේ මේ දෙන්නාද පෙම්වතුන් බවය. ඒත් මේ චරිත තුන හරියටම  තේරුම් ගන්නට තට්ටු විසි අටම  හදා ඉවරයක් වෙනතුරු ඔවුන්  සමගම ගැවසුනත්  බැරි විය හැකි බව අසේලට සිතිනි. 

අටවිසිමහල් ගොඩනැගිල්ල දරා සිටින භූගත කොන්ක්‍රීට් කුළුණු හෙවත් පයිල් එකසිය විස්සක්   නිමා කරන රාජකාරී අස්සේ  මේ පවුල් ප්‍රශ්නයට අම්රිතා  අත ගැසුවේ ඇගේ බරපතල රාජකාරියක් සේ සලකාය. 
ගමට ආදා සිට අතුරුදහන් වී සිටි ලොකු අයියා බාල සොයුරියන් හා යලි සමාගමයට වැටුනේ ඒ විදිහටය. අසනීපෙන් සිටින පානදුර  අම්මා ගෙදර තනිකර දමා නංගිලා   කැටුව ගමේ යාමට පොළඹවාගත්තේද අම්රිතාගේ කපටි ලෙන්ගතු කමය .  ඒ සඳහා මනොරන්ජන් තුල වූ අසේලලාගේ ගමට යාමට වූ අදිටන විශේෂයෙන්ම ගමම උත්සව සිරි ගන්නා පුල්ලෙයාර් දේවාල උත්සවය ගැන ඔහු තුල වූ උනන්දුව අම්රිතා අවියක් කොට ගත්තීය . 

හෙඩ් ඔෆීස් එකෙන් ඉල්ලාගෙන ආ ෆෝර් වීල් ජීප් රිය වලවල්වල වැටෙමින් යලි ගොඩ එමින් ඉදිරියට ඇදේ . ගමනේ මුල් හරියේ තිබු දුෂ්කර , දිළිඳු වටාපිටාව මැකී ගොස් සරුසාර ගම්මානයක සිරියද ,  රන්වන් කරල් පැසී ගොස්  කැපීමට ආසන්න වූ සාරවත් කෙත් යායද පෙනේ. තව දුරක් යද්දී බොහෝ වෙල්යායවල අස්වනු නෙලා තිබුනේය.  මී ගවයන් හා එළ ගවයන් රංචු කිහිපයක් ඉපනැලි අතරේ ඇවිදිමින් නියරවල තාමත් ඉතිරි වී තිබු කොළපාට තණ උලා කති .

' කෙල්ලෝ  තුන් දෙනාට අපේ ගම් පළාත අල්ලයිද දන්නේ නෑ. ගිය හැටියේ  ආපහු යන්න ඕනි කියාවිද දන්නේ නෑ ' සිතමින් පසුපස හැරී තරුණියන් දෙස බැලූ අසේල දුටුවේ මොහොතකට පෙර කළු වලාකුලකින් වැසී තිබුණු  යව්වනියන්ගේ  මුහුණු  සියල්ල වෙල් එළියත් මනස්කාන්ත වටාපිටාවත් දැකීමෙන් යලි බබලන්නට පටන් ගෙන තිබෙන බවයි. ''

රථයේ සිටි සෙසු   තිදෙනා ගැන නොතකමින් මනෝරන්ජන් ආගිය තැන්වල  කතන්දර  කියයි.  ඔහුට ආවේනික පුරුද්දක්   තිබේ. අදාළ හෝ අදාළ නොවන දේ අනෙකා අසා සිටියද නැතද ඔහු කියවන්නේ තමන්ට හිතුන වෙලාවටය. මේ හැම විටම සිය පුද්ගලික ජීවිතය හෝ පවුල ගැන කතා නොකරන්නට ඔහු පරෙස්සම් වෙන්නේය. 
" ඔය  පලු මාර රස පළතුරක් . පොඩ්ඩක් කාලා බලන්න . අපි කාලයක් ගල්කිරියාගම පැත්තේ පාරක් හදන්න  ගිහින් ඉන්නකොට මරු වැඩක් වුනා. අපි හවස වැඩ ඉවරවෙලා බෝඩිමට ගිහින්  බයිසිකල් දෙකකින් ආවා පලු කඩන්න. පාරේ  අයිනේ තිබ්බ ලොකු පලු ගහකට එකෙක් නැග්ගා . මිනිහා අතු කඩ කඩා දානවා. ඌ ගහ උඩ ඉඳන් පලු කනවා . අපි ගහ යට ඉඳන් ඉදුණු පලු තෝර තෝරා කනවා. මෙහෙම ටිකක් වෙලා යනකොට  ඈත කඳු ගැටයකට  මිනිස්සු දෙතුන්  දෙනෙක්  ඇවිල්ල අපිට  අතින් කතා කරනවා. අපි ඒ මිනිස්සුන්ටත්  කතා කරා පලු කන්න එන්න කියල අත පය වන වනා  . තවත්  ගමේ මිනිස්සු දහයක් පහළොවක් ඒ කන්දට ඇවිල්ල අපිට මොකක්දෝ කියන්න හදනවා . අපි හු කියනවා.  කීප දෙනෙක් අතින් කට වහල පෙන්නුවා. ඒ කියන්නේ සද්ද කරන්න එපා කියල. අපිට ටිකක් බය හිතුනා . ඔන්න එතකොට තමයි අපිට වටපිට පොඩ්ඩක් බලන්න හිතුනේ . අපිට යාර සීයක් විතර එහායින් තුන් පත් රෑන. වල් අලි. උන්ට අහු වුනානම් අපිව උස්සලා පොළොවේ ගහනවා .

අපි පණ කඩාගෙන බයිසිකලුත් දාලා දිව්වා අර මිනිස්සු හිටපු කන්දටම යනකන්. එදා තමයි අපි මැරෙන්න තිබ්බේ" 

ගම පෙරට වඩා කඩිසර බවක් පෙනේ. දැන් මහා වැව ලඟට රථය පැමිණ ඇත . 
සියලු දෙනා රථයෙන් බැස අසල තිබු සෙවනැති තැනක වූ ගල්තලාවේ වාඩි වුහ. මද්දහනට ආසන්න වුවද දැඩි හිරු රශ්මියක් නොවුනේ අහසේ සුදෝසුදු  වලාකුළු ඉහිරී තිබු නිසාය. 

දහතුන් හැවිරිදි දරුවකු  සන්දියේ පටන් තමන් හැදුනු වැදුණු ගමට පැමිණීම අසේලට විශේෂත්වයක් නොතිබුණේය. කලක් තමන්ගෙන් ඈත් වී සිටි නැගණියන් දෙදෙනා සමග මේ ගමන එන්නට ලබීම ඔහුට සතුටක් වූ මුත් ඊටත් වඩා ඔහු සතුටු වුයේ මෙහි පැමිණීම පිලිබඳ ඔවුන් ප්‍රසාදයෙන් සිටින බව තේරුම් යාමත් සමගය .

කෙල්ලන් දෙදෙනා මනෝරන්ජන්ගේ කතන්දර අහන්ට ලොල් වී සිටින බවක් මේ අතරේ අසේල දුටුවේය. ඔහු රස කර කර කියන්නේ මේ ගම ගැනය . අද රෑට ගමේ ගෙවල්  කීපයක තිබෙන පුංචි උත්සව ගැනත්  හෙට උදෑසන ගමේ පිරිමින් දේවාලයට ගොස් ගමටම කෑම උයන්නට පටන් ගන්නා හැටි . මේ ගම සිංහල දෙමල හා මුස්ලිම් ගම්මාන යාබදව පිහිටා තිබෙන පුරාතන ගමක් බවත් . මේවායේ ඇදහිලි හා සංස්කෘතිය මිශ්‍ර වී තිබෙන හැටිත් ඔහු ඔවුනට කියා දෙයි. තමා හා පියාණන් හැදුනු වැඩුණු ගම්මානය ගැන මේ තරම් විස්තර ඔහු දන්නේ කෙසේද ? මේවා සියල්ල ඔහුට කීවේ කවුද?

පසුගිය මාස තුනේම අසේලට අසන්නට දිරියක් නොවූ ඊට අවස්තාවක්ද නොලැබුණු ප්‍රශ්නයක් අසේලගේ මනස විකල් කළේය.
" මනෝරන්ජන් මහත්තයා කාගේ කවුද ? උපන් ගම කොහෙද ? "

-මීළඟ කොටස  -



photo Source : Silumina







Thursday, April 9, 2020

අටවිසිමහල -5 ( බිම්මහල )


සතියට දෙවරක් සඳුදා හා බ්‍රහස්පතින්දා පළවන අටවිසි මහලේ පළමු පරිච්චේදය වන බිම් මහලේ - පස්වන කොටසයි .

පෙර කොටස් සඳහා සබැඳියන් : පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස, සිව්වන කොටස 

දා වෙරළ අද්දර පාරෙන් ඇදී ඉංජිනෙරු කන්තෝරුව වෙත යනු ඇතැයි සිතා සිටි උසැති  තළෙළු, නෙත්කළු යුවතිය කෙළින්ම ආවේ තමා සිටි කාමරයට  බව අසේල සිහහිපත්  කළේය. ඇගේ දිගු ගෙල   මනස්කාන්ත ලෙස ඇළ කර
"ගුඩ් මෝර්නින් . අද ඉඳන් ඔයා මෙහෙ වැඩ නේද? මට සිල්වා කිවා මගදී හම්බ වෙලා . මෙහෙ හොඳයි සතුටින් වැඩ කරතහැකි." යැයි ඉංග්‍රීසියෙන්  කීවාය .

ඒ මතකයත් සමග ඇගේ දිගු ගෙළ හා පියකරු සිනාව යළිත් දකිණු රිසියෙන් ඔහු රියේ පිටුපස අසුන වෙත හිස හැරෙව්වේය.

ඇය තමන්  දෙපස සිටි යව්වනියන් දෙදෙනා සමග තොරතෝංචියක් නැතිව කතා කරයි . රිය පදවන මනෝරන්ජන් ගැනවත් ඉදිරි වම්පස අසුනේ සිටින අසේල ගැනවත් ඒ තිදෙනාටම මෙලෝ තැකීමක් නොවීය .

මුලින්ම හමු වූ දවසේ අම්රිතා කතා කරද්දී  තමන්ගේ ඉංග්‍රීසි බස හැසිරවීමේ දුර්වල කම ගැන අසේලට සෑහෙන අආත්මානුකම්පාවක් දැනුනද ඒ වගක් නොඅඟවා ඔහු සිංහලෙන්ම කතා කළේය.

" ගුඩ් මොර්නින්ග් මිස් .  මම අසේල . අද තමයි ඉස්සෙල්ලාම    වැඩට ආවේ"

අම්රිතා ශ්‍රී ලාංකික යුවතියක් නොවන බවත් තමාට බැරි වුනාට සිල්වාට  හොඳට ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් බවත් අසේල දැන ගත්තේ එදාය. සිල්වා පැමිණ සියලු පරිවර්තන සහායයන් ලබා දුන් නිසා ඈ සමග සන්නිවේදනය ආරම්බ කර ගැනීමට අසේලට පුළුවන් වුනේය.

 ටික දවසක් යද්දී අම්රිතා යනු ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලු දෙනාගේ ජීවිත හැසිරවිය හැකි මිත්‍රශීලී එහෙත් බලගතු  හස්තයක් වුනේය . උදේම කන්තෝරුවට එන ඇය දවල් එක දෙක  වෙද්දී සියලු ලියකියවිලි වැඩ නිමා කර කයිවාරු ගැසීමට පටන් ගන්නීය .  මනෝරන්ජන් හා අසේල  පමණක් නොව ස්ටෝර් කීපර් මිස්කින් හා සිල්වා සමගද ඇය පිළිසඳරේ යදී සිටිනට කැමැත්තක් දක්වයි.  ඈ සමග කතා කරද්දී වෙන කිසිවෙකුට කතා කරන්නට ඉඩක්  ලැබෙන්නේ කලාතුරකිනි. ඒත් සියලු දෙනාගේ සියලු තොරතුරු ඈ ගබඩා කර තබා ගන්නීය . මනෝරන්ජන් නිරන්තරයෙන් විමසිලිමත් හා පරිස්සම් සහගත ලෙස ඇය ඇසුරු කළේය. ඔහු සිය පුද්ගලික විස්තර කතා කළේ නැති තරම්ය. එහෙත් සියලු දෙනා අසල තිබු පුද්ගලික ආරක්ෂක  කලාප ආක්‍රමණය කරමින් අම්රිතා නම් ප්‍රබෝධමත් සංවේදනාවක්  හැම තැනම පැතිරෙමින් තිබියදී මුඩු ගොරහැඩි ඉදිකිරීම් වැඩබිම ප්‍රියමනාප පරිසරයක් බවට පෙරලණි .  හෙඩ් ඔෆිස් එක සමග දබරයක් කරගෙන පොත් පොළවේ ගසමින්  ආවේගය පිට කරන මනොරන්ජන් පසුව පුරුදු වුනේ අම්රිතා සමග  සියලු වේදනාව පිටවනතුරු කතා කර කර සිටීමය. ඒත්  මේ කතාබහ වරින්වර අසා සිටියෙක් හැටියට අසේලටනම් අසුනේ  අම්රිතා කතා කරන හඬ පමණි .

කාගේ හෝ දුක් ගැනවිල්ලක් අසා සිටීමට එන ඇය ඒ දුක් ගැනවිල්ල නොගිනිය හැකි බවට පත් කළ හැකි වෙනත් කතාවක් කියවන්න්නීය. සමහරවිට ඊට කිසිම සම්බන්ධයක් නැති ආකාරයේ යමක් කියා කොක් හඬ ලා සිනා සෙන්නීය . කොහොම කොහොම හෝ අවසානයේ සිදුවන්නේ ආතතිය සමනය වීමය.
අගේ රාජකාරිය , ලිය කියවිලි පාලනයද  ,  ගිණුම් හා පෙටි කෑෂ් පාලනයද, පිරිස් කළමනාකරණයද නැතහොත් ආතති කලමනකරණයද කියා තෝරා බේරා ගන්නට අසේලට අපහසු විය.

අසේලගේ කල්පනා ලෝකය බිඳ වැටුනේ මනොරන්ගන්ගේ  ගඩොල් බාගේ මොබයිල් ෆෝනයට ලැබුණු විශේෂ දුරකතන  ඇමතුමත් සමගය .  ඔහු වාහනය  පාර අයිනේ  නවත්වා පිටුපස අසුනේ වූ තරුණියන් තිදෙනාට කිචි බිචිය නවත්වා ගන්නා ලෙස අතින් සන් කළේය .

දුරකථන සංවාදය අවසන ඔහු මෙසේ කීවේය. "චෙහ් මේ සිල්වයි මිස්කිනුයි දෙන්නම සයිට් එකේ නැතිලු. රිචර්ඩ් ඇවිල්ලා. අර ෆයිල් ටෙස්ටින් රිපෝර්ට් ටික ගෙනියන්න .  සිල්වා ෂුවර් එකටම බුකියට වෙලා කට අරගෙන අස්සයෝ දුවනවා බලාගෙන ඇතී. එතකොට මිස්කින් කොහේ ගියාද? . ඒ යකා සාමාන්‍යයෙන් සයිට් එකෙන් එලියට යන්නේ නෑනේ''

ඉනපසු මනෝරන්ජන් තවත් ටෙලිෆෝන් කෝල් එකක් ගත්තේය. ඒ ගන්නේ කොහාටදැයි අසේල දනී. මනොරන්ජන් හා අසේල රේස් බුකියේ වැඩ කරන තරුණියන් දෙදෙනා හඳුනති. ඒ කතාව වෙන වෙලාවක අම්රිතාට කියන්නට ඕනෑ යැයි අසේල සිතුවේය.

' යම්තම් සිල්වා හොයා ගත්තා" යැයි කී මනෝරන්ජන් රථය ප්‍රධාන වීදියට යොමු කර වේගය වැඩි කළේය .  ඉන්පසු පුරසාරම් දොඩන්නට වුයේ වැඩිපුරම නිවුන් සොයුරියන්  දෙදෙනාට ඇහෙන්නටය . අසේලට හා අම්රිතාට  ප්‍රසාදය  පල කිරීමක්ද ඒ අතරේ කතාවට ඇතුළත් විය.

" අපිට පහුගිය ටිකේ මොන තරම් දුක් කන්දරාවක් විඳින්න උනාද ? හැමදාම පීඩනේ. හෙඩ් ඔෆිස් එකේ එවුන් තේරුම් ගත්තේ නෑ මෙච්චර පොඩි පිරිසකගෙන් අච්චර ලොකු සයිට් එකක් කරන්නේ කියල. පයිලින් ගහන එව්වෝ දුන්නු වදයක්. ඒ අස්සේ වටේ පිටේ එව්වෝ බැලන්ස් කර ගන්ත හැටි . ඇත්තටම මටනම්  මාස තුනකින් විතර පස්සේ අද තමයි පොඩ්ඩක් සයිට් එකෙන් පිට ලෝකයක් ගැන කල්පනා කරන්න පුළුවන් වුනේ.  අසේල මේ ගමන යමු කියල ඉන්ටවිව් එක දවසේ කිව්වට මම හිතුවේ නෑ මේ අවුරුද්දෙම යන්න පුළුවන් වයි කියල. කොහොම උනත් අම්රිතත් එක පයින්ම යන්න කැමැති වුනානේ . ඒ මදිවට මේ කිරිල්ලියෝ  දෙන්න  හොයාගෙන ගිහිල්ලා ගමනටත් එකතු කර ගත්තානේ "

ඔහු තමා ඉදිරියේ වූ පසු පස පෙනෙන කන්නාඩියෙන් පෙනෙන තරුණියන් තිදෙනා දෙස සෙනෙහසින් බැලුවේය . එක පාට එක වගේ හැඩ ගවුම් දෙකක් ඇඳ සිටි යව්වනියන් දෙදෙනාගේ  මුහුණු  රෝස කානේෂන් මල් දෙකක් මෙන්  පිපී තිබිණි. ඒ මැදට වී තලෙළු පාටට අම්රිතා ආඩම්බරෙන් ඉදිරිය බලා ගෙන හුන්නාය . පිටුපස අසුනේ මල් තුනක පොකුරක් තිබෙන්නාක් මෙන් මනෝරන්ජන්ට සිතිනි. ඒ මල් පොකුරේ මැදින් තිබෙන මලට කියන්නට නමක් ඔහුට කල්පනා  වුනේම නැත.

මේ අතරේ හදිස්සියේ ඔහුට යමක් මතක් වී මෙසේ කෙවේය . " අපරාදේ කලින් කියල තිබ්බානම් රිචර්ඩුත් අපිත් එක්ක එනවා. මිනිහට මම පෙරේදා  කියනකොට තමයි දන්නේ. මිනිහා හරියටම අද රැස්වීමක් දාගෙන අනෙක් ප්‍රොජෙක්ට් එකේ.  මේ ගමන මාර ජොලි එකක්  වෙනවා මිනිහා ආවනම් "

මනෝරන්ජන් රිචර්ඩ් ගැන කියද්දී අසේල හොරෙන් වාගේ පසුපස අසුන වෙත දෑස් යවා අම්රිතාගේ මුව මඩල දෙස බැලුවේ කිසියම් හෝඩුවාවක් දැනගනු රිසියෙනි. ඒත් ඔහු බලාපොරොත්තු වූ පරිදි ඒ මුනේ කිසියම් ප්‍රභෝධයක් හෝ චලිතයක් නොවිණි.

ඒ වෙලාවේ අම්රිතා සිටියේ සැතපුම් දහස් ගණනාවක එපිට චීනය හා නේපාලය අතර ටිබෙටයේ දුෂ්කර මාර්ගයේ ඇදෙන විශාල මෝටර් බයිසිකලයක පිටුපස අසුනේය . කැබිතිගොල්ලාවේ සිට හඳගල පාරට රිය හැරෙව්වාට පසු ඇයට පෙනෙන්නට පටන් ගත් දුප්පත් ගැහැණු, පිරිමි හා ළමා ළපටින් පටවා ගත් අත් ට්‍රැක්ටර් හා දර කරත්තද, පාර අයිනේ පිදුරු හෙවිලි ලු මැටි ගෙවල්ද  ඈට ඒ ගමන සිහිපත් කළේය . සිත සන්තෝෂයකින් පිරෙනන්ට පටන්ගෙන සැනෙකින් එය ශෝකී මතකයක් පමණක්  බව ඇය තේරුම් ගත්තාය. මේ කතාව මෙතැන සිටින සගයන්ට කවදාවත් කියන්නට වුවමනා නැතැයි  ඇය සිතුවාය. ජීවිතය වසාගත් දුක්බර දේ කියන්නට කියන්නට කාටවත් සතුටක් නොලැබෙන බවත් අසා සිටින්නන් ඉදිරියේ තමාගේ වටිනාකම දිය වෙවී යන බවත් ඇය සිතා සිටියාය .  බොහෝ හිතවතුන් සිය දුක් ගැනවිලි ඈ සමග කියන්නට හදද්දී  කතාව වෙනතක හරවා වල්පල් කතා කරන්නට ඇය පුරදු වී සිටියේ එනිසාය . "එහෙම කරාම කාගේ කාගේත්  වටිනාකම ආරක්ෂා වෙනවා" . ඇය සිතුවාය.

දුෂ්කර මගේ ටික දුරක් ගිය විට වන වදුලෙන් වට  වූ දිය කඩිත්තක්  ළඟ රිය නතර විය. රථයෙන් එලියට බට මනෝරන්ජන් සිගරට්ටුවක් ද්ලවාගෙන දිය කඩිත්තේ කැළතෙන පෙණ පිඩු හා දියේ පීනන තිත්ත පැටවුන් දෙස බලා සිටියේය . අසේල  මදක් ඔබ්බෙන් තිබු පලු ගසක් යටට වී ඉදුණු පලු ගෙඩි ටිකක් කෙල්ලන්ට කඩා දෙන්නට ඇත්නම් කියා උඩ බිම බලමින් සිටියේය.

මෙවෙලේ රිය තුලින් එලියට බහින්නට තිබ්බානම් හොඳයි කියා  තරුණියන් දෙදෙනාට සිතුනත්, මැද අසුනේ තුෂ්නිම්බීත වී බලා සිටින වැඩිමහල් මිතුරියගේ  දැහැන බිඳින්නට බිය වුහ .

ටික වෙලාවකින් අම්රිතා කල්පනා දැහැනින් මිදුණාය. පිරිමින් දෙදෙනා අසලක නැතියෙන් මෙතෙක් වෙලා අසන්නට අමතකව සිටි ප්‍රශ්ණයක් ඇ නිවුන් සොයුරියන් වෙත යොමු කළාය.

' ඔයාල දෙන්නයි අම්මයි දාලා ඇයි තාත්තලා ආයේ නොඑන්නම ගමට ගියේ  ?


-මීළඟ කොටස මෙතනින් 

Photo Source : Easy Tour China







Sunday, April 5, 2020

අටවිසිමහල -4 ( බිම්මහල )


(මේ අටවිසි මහල නව කතාවේ පළමු පරිච්චීදය වන බිම් මහලේ හතරවන කොටසයි. සතියේ දිනවල සඳුදා හා බ්‍රහස්පතින්දා පළ වේ

මින් පෙර කොටස් : පළමු කොටස , දෙවන කොටස , තුන්වන කොටස)


සුවදා පාන්දර තද හිසරදයකුත් සමග අසේල අවදිවන විට ඔහු සිටින්නේ කොහේදැයි සිහිපත් කර ගැනීමට තරමක් වෙලාවක් ගත්තේය. තමා නිදා සිටිනා හතරැස් කුටිය ඉතා කුඩා වුවද එය හුරුබුහුටි සුවපහසු එකක් විය. දැනටම ඇර දමා තිබෙන කුඩා කවුළුව තුලින් සුවදායක සුළං රැල්ලක් හමා ආවේය . ඔහු කවුළුව අසලට  ම ගොස් පිටත පෙනෙන දර්ශනය නැරඹුවේය.  තමා මේ සිටින්නේ  ලී ගොඩනැගිල්ලක උඩුමහලේ බව ඔහු දුටුවේ එවිටය .අපුරුය.

ඈතින් පෙනෙන  ඉන්දියන් සාගරයද වම් පැත්තේ පෙනෙන මනෝරම්‍ය දසුන ලුනාව කලපුවද ,කලපුව හා මුහුද අතරින් රිංගා  දිවෙන කෝච්චි  පාරද අසේලගේ සිත තදින් පැහැර ගත්තේය. මේ ලුනාව ඇලේ මුවදොර පෑදී කලපුවේ වතුර මුහුදට ගලන බාදිය වෙලාවයි. හවස් වෙද්දී වඩදිය ගලාවිත් ඒ සමග සිනිදු වැලි කැට ලක්ෂ කෝටි ගණනින් රැස්වී මුවදොර වසා ගෙන කලපු දිය හිරකර  තබා ගන්නා බව අසේල ඒ වනවිට නොදැන සිටියේය.   මෙතන නම් හොඳ සයිට් ඔෆීස් එකකට නෙවෙයි  ටුවරිස්ට් හෝටලයකට යැයි සිතමින් ඔහු බොහෝ වෙලාවක් ඈත සමුදුරු රළ බිඳෙන හැඩ බලා සිටියේය.   ඉහින් කණින් එකම වයසේ වගේ මිනිසුන් හා ගැහැණුන් එල්ලාගත්  කන්තෝරු කෝච්චි දෙකක්ම කොළඹ බලා හැල්මේ දිව්වේය.   ඔහුගේ නිදහස අහිමි කරමින් කුටියේ දොර ඉදිරියේ ප්‍රාදිර්භුත වූ  අමුතුම තාලේ මිනිස් රුව ඊයේ හවස ඔවුනට උවැටන් කළ කන්තෝරු සහායකයාගේය .

" සර් මං දැක්කා නැගිටලා ඉන්නවා ජනේලේ ගාව. මෙතැන ලස්සනයි නේද ?
මේක ලොකු මහත්තයාගේ කාමරේ . ලොකු සර් ඊයේ ඔෆිස් එකේම නිදා ගත්තා ඔය සර්ට මේ කාමරේ දෙන්න කියල. සර්ට මතක නෑ නේද මෙතනට ආවේ කොහොමද කියලවත් ?"

" මට මතක නෑ. හෙට ඉඳන් වැඩට ඉන්න කියල  මහත්තයා කිව්වම මම හිතුවා මම කොහේ ගිහිල්ලද ආපහු එන්න ඕනි කියල "

" හරි බොහොම ස්තුතියි" කියමින් ඔහු සිල්වා අත තිබූ තේ කෝප්පය හා වතුර වීදුරුව ගත්තේය.

වහලක් නැති නාන කාමරයේ වතුර මල යට බොහෝ වෙලාවක් ගත කරමින් හිස  හා  සිරුර පොඟවා ගත් අසේල බෑගයේ තිබු සුට් දෙකෙන් අඩුවෙන්ම  පොඩි වී තිබු  ලා නිල් ටෙට්‍රෝන් කොටන් අත්කොට කමිසය හා  කලුපාට  කලිසමත්  ඇඳ ගත්තේය .

ඔහු වැඩබිම් කන්තෝරුවට ඇතුල්වන විට කන්තෝරුවේ සිටියේ මනෝරංජන් පමණි. ඔහු   ලියකියවිලි කිහිපයක් ළඟ තබාගෙන  මේස පරිඝනක යතුරු පුවරුවේ මොනවාද සටහන් කරමින් සිටියේය  . ඔබ මොබ බැලු විට අසේලට වැටහුනේ මෙය තමා කලින් වැඩ කළ සයිට් ඔෆිස් වලට වඩා තරමක අලුත් තාලේ උපකරණ තිබෙන තැනක් බවය. පෙරදා සන්ධ්‍යාවේ ඔහුගේ නෙත නොගැටුණු බොහෝ විසිතුරු දෑ එහි තිබුනේය.

 සිය කාමරයට අල්ලපු කන්තෝරු කාමරයේ  රැස්වීම් මේසයේ වාඩිවෙන්නැයි අසේලට රළු ලෙස පැවසු මනෝරන්ජන් සිය කාරියේ දිගටම නිරතව සිටියේය .

 අසේල ලොකු ඕවලාකාර මේසයේ වාඩ් වී ඒ මත තිබු සැලසුම් මිටියක් දිග ඇරගෙන විස්තර බලන්නට පටන් ගත්තේය .

මනෝරන්ජන්  පෙරදින වැඩ වාර්තාව  හා  සිය පුද්ගලික දිනපොත ලියමින් සිටියේය. සාමාන්‍යයෙන් ඔහු එදිනෙදා වාර්තාව හා සිය පුද්ගලික දිනපොත  දවසේ අවසාන රාජකාරිය ලෙස ලියා අහවර කිරීමේ පුරුද්දක් තිබ්බත් ඊයේ දිනයේ සම්මුඛ පරීක්ෂණයේ වැඩේ පාන්දර වෙනකම් ඇදී ගිය නිසා සුපුරුදු  ලිවීම අතපසු වුනේය .

ඔහු දින වාර්තාව ලිව්වේ ඉංග්‍රීසියෙන් පරිඝනක පුවරුවේය. දිනපොත ලිව්වේ කලුපාට බෝල්පොයින්ට් පෑනෙනි. ඔහුගේ අත් අකුරු මොන තරම් අවලස්සනද කිවහොත් කිසිවෙකුට ඒ දිනපොත හොරෙන්වත් කියවා බලන්නට හිතෙන්නේ නැත. එසේ වුනත් එය කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි සඟවා  තබන්නට මනෝරන්ජන් වග බලා ගත්තේය . එය දිනපොතක් කිව්වාට විශාල පිටු දෙසීයේ සී ආර් පොතකි. පොතේ එක තීරුවක වැඩබිම් වාර්තාවට අදාල විස්තර අලුතින් හොයා ගත් ටෙක්න්කල් වචන. වැඩ කල මිනිසුන් ගණන, පුද්ගලිකව වියදම් වූ මුදල් ආදී සියලු දේ ලියයි. අනෙක් විශාල කොටසේ ඉතා කුඩා අපැහැදිලි අකුරින් තමා විඳි ජීවිතය සටහන් කළේය .

මනෝරන්ජන්ගේ  රාජකාරී දින සටහනේ සරල පරිවර්තනයක් .

අද උදේ පයිල් වැඩ  බාර දුන් උප කොන්ත්‍රාත්කාර සමාගමේ නිලධාරීන් දෙදෙනක් සහ ව්‍යාපෘති  කළමනාකරු රිචර්ඩ් සමග කලාප කාර්යාලයේදී රැස්වීමක් පැවත්විණි. ඉදිරි මාස දෙක ඇතුලත සියලුම පයිලින් වැඩ නිම කිරීමට තීරණය විය. 
වැඩබිම් කාර්යාලයට අත්‍යවශ්‍ය තනතුරක් වූ වැඩ පරීක්ෂකවරයෙක් බඳවා ගතිමි. ඔහු අවශ්ය අධ්‍යාපන සුදුදුකම්, පළපුරුද්ද සපුරා තිබුනේය .  කාර්යාල චෙක් ලිස්ට් එකට අනුකූල ආකල්ප හා බාහිර සම්බන්ධතා පිලිබඳ සොයා බලා සෑහීමකට පත් වුනෙමි . 

වැඩබිම් කන්තෝරුවේ පරිපාලන කටයුතුවලට අවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලය දැන් බඳවාගෙන ඇත . ඉතිරි සියලු ඉදිකිරීම් හා සේවාවන් උප කොන්ත්‍රාත් කරුවන්ට පැවරීමට ගත් තීරණය අනුව කටයුතු කරමි.

මනෝරන්ජන් සිය පුද්ගලික දිනපොත අතට ගෙන මෙවන් සටහනක් දැම්මේය . ඒ කාලය තුලම ඔහුගේ මුවේ මදහසක්  රැඳෙමින් තිබුනේය .

කතන්දර ගොඩක්  හාරා අවුස්සා දැන ගැනීමට පුළුවන් විදිහේ  තවත් පුද්ගලයෙක් හමු වුනා . ඔහු සිය ජීවිත කතාව ම වාගේ  මා ඉදිරියේ කණපිට ගසා  හෙළිදරව් කළා . ඒත් කුතුහලය නොසන්සිඳෙන්නක්. තවත් බොහෝ දේ අපැහැදිලියි . ඒත් ඔහු හිතන මතන විදිහ මධ්‍යස්තයි.  සරලයි.  මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය  මොන තරම් අකාරුණික වුනත්  අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩබිමේ යාවජීව සහායකයා වශයෙන් පත්කරගත යුතු පුද්ගලයා ගැන මට සෑහීමකට පත් වන්නට  ඕනෑ . ඔහු කපටියෙක් නෙවෙයි. . ඉතා බරපතල දුක් කම්කටොලු විඳ දරා ගෙන ඇති අයෙක්.  

මේ සටහන් දෙක දමා  මනෝරන්ජන් යලි කල්පනා ලොවට පිවිසුණේය . තමන් සොයන්නේ  කියන පදයට නටන ඒ තරම් ගැඹුරු සමාජ දැනුමක් නැති සිය අනුගාමිකයෙක් කරගන්නට පුළුවන් විදිහේ සේවකයන් නොවේදැයි   කල්පනා කළේය . ආරාධිත  දේශනා වලදී ඔහු ඉදිරිපත් කරන න්‍යායට මේ ක්‍රමය පටහැනි බව ඔහු දැන සිටියේය . ඔහුගේ මුවේ කපටි සිනාවක්  මැවුනේය. තමන් පිටුපසින් ඔත්තුකරුවෙකු සිටින්නේදැයි ඔහුට නිරතුරු දැනෙන අනියත බිය ගැන  කිසිවක් නොලී බව  කල්පනා කරද්දී ඔහුගේ මුවේ වූ මන්දහාසය අතුරුදන් වී ගියේය .

ඒ අතරේ මඩ වී තිබු කන්තෝරු මිදුල මගහැර මුහුද පැත්තේ පිවිසුමෙන් තමන් සිටි කාමර පෙළ දෙසට ඇදෙන සුකුමාල තරුණිය දුටු අසේල  ඈ එන මග බලා සිටියේය . ඒත් එය නුසුදුසු වැඩකියි සිතී ඒ  දෙස නොබලාම  විශාල ප්‍රමාණයේ භූමි සැලසුම දෙසට ඇස් හැරෙව්වේය .

ඔහු සිතා සිටියේ ඈ කෙලින්ම ඇදෙන්නේ මනෝරන්ජන් සිටි කාමරය දෙසට බවය .


ඊළඟ කොටස  
Image Source : Freepik




Wednesday, April 1, 2020

අටවිසි මහල -3 ( බිම් මහල )




අටවිසි මහල නවකතාවේ පළමු පරිච්චේදය  වන බිම් මහලේ තුන්වන කොටසයි.

මුල් කොටස් මෙතනින්

"ඉතිං තාත්තා ඊට පස්සේ මොකද කිව්වේ"

අසේල කල්පනා ලෝකයක සිට පිළිතුරු  දුන්නේය.

" තාත්තා කිව්වා අම්මට වැඳලා වරෙන් කියල "

මනෝරන්ජන් ප්‍රශ්නාර්ථ ලකුණක් මුහුණේ අලවා ගත්තේය.

"එදා තාත්තා කතාව  එතනින් නැවැත්තුවා.  දවස් ගානක් යනකං  ගෙදර  තිබ්බේ  අමුතු නිහැඬියාවක්. අපට නෑසෙන්න තාත්තායි අම්මයි කටු කුටු ගෑවා.  තාත්තා එහෙ මෙහෙ ගියා ආවා. දෙන්නගෙම මූණු එච්චර හොඳ නෑ. ඒක ඉස්කෝලේ නිවාඩු කාලයක් නිසා  අපි හැමෝම හිටියේ ගෙදර.  ඒ නිසා තත්තා කාර් එක විකුණපු සිද්දිය කාටවත් බරපතල දෙයක් වුනේ නෑ. ඊළඟ  සෙනසුරාදා රෑ තාත්තා මට කතා කරලා  මෙහෙම කිව්වා .
"හෙට අපේ ගමේ යන්න තියෙනවා . පාන්දර නැගිටලා ලැස්ති වෙන්න " තාත්තා මෙහෙම කියනකොට අම්මා ඈතින් ඉඳන් බලා හිටියා . නංගිලා නිදි.

පහුවදා පාන්දර හතරට විතර අපි පිටත් වුනා . අම්මා ඇහැරුනේ අපි එලියට බහිනකොටම වගේ. එතකොටත්  නංගිලා නිදි .

අන්න ඒ වෙලාවේ තමයි තාත්තා කිව්වේ අම්මට වැඳලා වරෙන් කියලා .

බස් එක කැබිතිගොල්ලෑවට එනකොට දවල් දොළහට විතර ඇති. එහේ තිබබ  තේ කඩේකින් තාත්තායි මායි දවල්ට කෑවා.
පුංචි බස් එකක තව දුරක් ගියා ඒ ගමන නම් මාරයි."

අසේල සිනාසුනේය.

බස් එකේ බැටරි පෙට්ටිය උඩ වාඩි වී ගැස්සී ගැස්සී යන  පොඩි එකෙක් ඔහුට පෙනේ.   බොරළු පාරේ ලොකු වලක වැටී එන්ජිම නතර වන බසයෙන්  රියදුරු හැර සියලු දෙනාම බිමට බසිති. සියල්බලෝ බසය තල්ලු කරති.  රිය  ස්ටාර්ට් වුන හැටියෝම සියල්ලෝ ලහි ලහියේ ඇවිත් ගොඩ වෙති. මෙහෙම කිහිප වටයකට  පසු බස්රිය තරමක විශාල  වැවක් වට කරගත් ගම්මන්ඩියකට සේන්දු වුනේය.

වැව් තාවුල්ලේ නිල් පැහැ ගත් ඝන කැලෑ රොදක් තිබුනේය. වැව් බන්ට් එක පහලින් ඇළ පාර දෙපැත්තේ ගෙවල් පොකුරු පොකුරු තිබුනේ පොල්, කජු, කොස්  ආදී ගස් ලැහැබ් අතරේ හැංගීගෙනය  . අක්කර ගානක් ඈතට විහිදෙන කෙත්යාය නිල් පාට ඇඳ අතිරිල්ලක් මෙන් පෙනුනේය.
තැන තැන දෙණිවල තණ උලා කමින් හරක් හා වසු  පැටියන්  කීප දෙනක් සිටී . උන් අසලම දැවටී දැවටී කොක් රෑනක් සරති.  ඈතින් වාගේ ළමා කට හඬක් ඇසුණ මුත් තාමත් අලුත් මිනිස් රුවක් ඇස ගැසුනේ නැත.

බස් රියේ ආවෝ නොයෙක් අනු දිශා ඔස්සේ විසිරී ගොස්ය . බර ගමන් බෑගයත් අතින් ගත් අසේලලාගේ තාත්තාගේ මුහුණ දුකක් හෝ සතුටක්  පළ නොකළේය. අසේල අලුත් පරිසරය විඳිමින් සොම්නසින් සිය පියා පසුපස ඇවිද ආවේය.

ඇල දිගේ පැය කාලක් පමණ ඇවිද  ඔවුහු තවත් කුඩා වැවක් අද්දර පිහිටි ගෙවල් පේලියක් අසලට ආහ. ඒ ගෙවල්   පිදුරු සෙවිල්ලා සිදු හුණු පිරියම් කර තිබුනේය.  ළමා කට හඬ දැන් දැන් පැහැදිලිව ඇසේ.  කිරි දත් හැලුණු සිඟිත්තියක්  ලොකු මල් මල් චීත්ත ගවුමක් ඇඳගෙන සිටියාය .ඈ අසලින්ම වාගේ  කුඩා පිරිමි දරුවෙක්  සිටියේය.
අමුත්තන් දෙදෙනා දුටු දැරිවිය සිය සොයුරාද උස්සගෙන ගෙවල් මන්ඩියට වැද සඟවා ගත්තීය . නිමේෂයකින් දරුවන් කිහිලි ගන්නා ගත් ගැහැනුන් දෙදෙන්ක්ද මහළු ස්ත්‍රියක්ද කුඩා කොල්ලන් කෙල්ලන් රෝත්තක්ද ගෙවල් වලින් එලියට මතු වී අමුත්තන් එන මග අවුරා  බලා සිටියෝය.

දරුවන් ඇඳ සිටි නොයෙක් වර්ණ මිශ්‍රිත ඇඳුම්  මධ්‍යහන හිරු එලියේ ප්‍රභාමත්ව දිලිසුණේය. දිළිඳු කමක සේයාවක් නැති, පිරුණු මුහුණු හා නිල්ල පිරුණු සශ්‍රීක වටා පිටාව  කියා පෑවේ  මේනම් අගහිඟ කමින් තොර  ප්‍රසන්න ගම් පියසක් බවයි. තාත්තා එතැන සිටි වැඩිහිටි කාන්තාවක් අසලට ගොස් මොන මොනවාද හෙමින් මිමිණුවේය. ඇගේ මුහුණ විශ්මයෙන් හා සතුටින් පිරී යනු අසේල බලා සිටියේය.

ඉන්පසු කොල්ලන් , කෙල්ලන් හතර අතේ දුවගොස් තව තව ගැහැණුන්ද පිරිමින්ද ළමයින්ද එතනට කැඳවා ගෙන ආවේය. නොබෝ වේලාවකින්ම උත්සව ශ්‍රීයක් ගත් නිවසක ඉස්තෝප්පුවේ වාඩි වී අසේල හා තාත්තා අතොරක් නැති සංග්‍රහ හා ආ ගිය තොරතුරු කතා වැස්සේ තෙමි තමී ප්‍රීතියෙන්  සිටියෝය.

ජයසුරිය ගමට ඇවිත් . ජයසූරිය ගමට ඇවිත්!!. කාලෙකට ඉස්සර ගම දාල ගිය ජයසුරිය පුතත්  එක්ක ගමට ඇවිත් .

ඒ අස්සේ ලහි ලහියේ ගෙවල් මන්ඩියේ  හිස්ව තිබූ ගෙයක් මකුළු දැල් කඩා අතු පතු ගා ලක ලෑස්ති වෙමින් තිබුනේ සිදාදියේ සිට පැමිණි පිය පුතු දෙදෙනාට නවාතැන් ගැනීමටය.

' වරින් වර කල්පනා ලෝකයක කිමිදෙමින් සිනමා පටියක කොටස් මෙන් ගමේ විස්තරය කියවමින් සිටි තරුණයාගේ   අතීතාවර්ජන දිය දහර නතර  වූ වෙලී මනොරන්ජන් මෙසේ කීවේය .

' මටත් ආසයි දවසක් ඒ ගමට ගිහින් ඉන්න '

"යමු යමු. මම ලැස්ති කරන්නම් . හැබැයි  පුල්ලෙයාර් කෝවිලේ උත්සවේ තියෙන දවසට ගියොත් තමයි ගොඩක් හොඳ .'

"ඉතිං පස්සේ මොකද වුනේ ?"

"එදා අපි ගොඩක් ආගන්තුක සත්කාර, ආදර සැලකිලි  විඳලා නිදා ගත්තා. මට අලුතින් යාලුවොත් එකා දෙන්න හම්බුනා. ඒත්  රෑ නින්ද ගියේ නෑ. ගෙදරයි, අම්මයි, නංගිලයි සැරින් සැරේ මතක් වුනා.  හෙට ඉස්කෝලේ පටන් ගන්නවා. ඉස්කෝලේ ඉස්සෙල්ල්ලම පටන් ගන්න දවසට මට යන්න බැරි වෙයිද දෙයියනේ  . ඒක මතක් වෙච්ච හැටියේ මට ඉගිල්ලිලා  කොළඹ යන්න හිතුනා. මම දැක්ක තාත්තත් නිදි නෑ. සැරෙන් සැරේ නැගිටලා ඇඳේ වාඩි වෙනවා. ආයේ දිගා වෙනවා . හුල්ලනවා" .

මේ අතර සිල්වා වරින් වර වතුර වීදුරුද , කෙටි කෑම වර්ගද , කැපූ පළතුරු කැබලි තසිමක්ද  ගෙනත් ගෙනත්  අසේල හා මනෝරංජන අතර වූ මේසය මත තැබුවේය . ගාලු පාරේ කොච්චි හු කියමින්  ඇදුනේය. මුහුදු ඝෝෂාව ළඟ ළඟ ඇසෙන්නට ගත්තේය .

"උදේ තාත්තා නැගිටලා ඇඳේ වාඩි වුනා.  මට කතා කළා. මම ඇස් දෙක පියාගෙන හිටියා.හෙල්ලුනෙත් නෑ. ඒ වුනත් තාත්තා දන්නවා මම ඇහැරලා ඉන්නේ කියල .

" ලොකු පුතේ මේක හොඳට අහ ගනින් .  අද ඉඳන් උඹ ඉස්කෝලේ යන්නේ මෙහෙ. අපි දෙන්න මෙගේ නවතිනවා. උඹට ලොකු කතා ගොඩක් කියන්න තියෙනවා . ඒත් අද කියන්නේ නෑ මම වෙලාව ආවහම කියන්නම් .'

" ඉතින් තාත්තා ඒ කතා කිව්වද පස්සේ කාලෙක හරි? " මනෝරන්ජන් අසේලට භාධා කළේය . එම ප්‍රශ්ණය නිසංසලේ ගලන දිය පාරකට කඩා හෙලූ  කුඹුක්  අත්තක් මෙන්  කාල අවකාශය  කලඹන්නක්  විය.

" ඒක මම වෙලාව අවහම කියන්නම් මහත්තයා  " අසේල හිස ඔසවා මනෝරන්ජන් දෙස බලමින් කීවේය.

ඉන්පසු කතා සරිත් සාගරයේ දියවැල් ගලා ගියේ රසබර, දුක්මුසු මෙන්ම හිනා නොවී සිටිය නොහැකි ජීවිතාවලියක විසිතුර වැඩබිම් කන්තෝරුවක මේසය මත  දිග ඇරෙද්දීය .

පාන්දර දෙක පසු වී විනාඩි දාසයට හෙට ඉඳන් වැඩට ඉන්න පුළුවන් කියා අසේලට කියන්නට විනාඩි එකොළහකට පෙර මනෝරන්ජන් මේ ප්‍රශ්නය ඇසුවේය

" අසේල දැන් මට මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක්  දෙන්න මගේ ඇස් එක දිහා බලාගෙන .  අසේල තාමත් සංවිධානේ ඉන්නවද, අයින් උනාද?"

හතරවන කොටස මෙතැනින්

Photo Source : Rainey Dewey Arts

Saturday, March 28, 2020

අටවිසි මහල - 2 ( බිම්මහල )



(මේ නවකතාවේ මුල් කොටස මෙතනින් .. )
නම්පෙරී මහත්තයාද එව්වේ කියා ඇසු විට තුටු පහටු  මුහුණින් යුතුව තරුණයා .

' ඔව් මහත්තයා මෙන්න දෙන්න කියල දුන්නු ලියුම " යි පරෙස්සමට නැවු කරදාසියක් මනෝරන්ජන් වෙත පෑවේය.

"ඕනි නෑ.ඔය ලියුමේ තියන දේවල් මම දන්නවා . නම මොකක්ද කිව්වේ ?"

"අසේල මහත්තයා ". 
"මම අසේල කියන්නද නැත්නම්  මහත්තයා කියන්නද  ?"
මුලින් වික්ෂිප්ත වූ තරුණයා ඊළඟට හිකිස් ගා හිනා වුනේය . වරද නිවැරදි කරගෙන ආයෙත් කතා කළේය

' මගේ නම අසේල. අසේල ලංසක්කාර"

' වාඩි වෙන්න '
අසේල වටපිට බලා බොහෝ යටහත් පහත්ව වාඩි වුනේය. මේ අතර මනෝරන්ජන්  ප්ලාස්ටික් වතුර බෝතලය  ගෙන වීදුරුව පුරවා බීගෙන බීගෙන ගියේය '. එක වතුර බින්දුවක් ඉහිරවන්නේ නැතිව බෝතලය හා කෝප්පය හැසිරවූ විලාසය දෙස බලා සිටි අසේලට සිතුනේ මෙතැන නම් හරි පිළිවෙලට ඉන්න වෙනවා. කියලාය.

' වතුර  ඕනිද ?  "
" එපා මහත්තයා "
' එහෙනම් සැර බීමක් බොනවද ?"
අසේල තිගැස්සී  ගියේය . ඒත් චකිතය සඟවාගෙන සිය බෑගයේ සිපරය  ඇර සහතික මිටිය එලියට ගත්තේය

සහතික දැමු ෆයිල්  කවරය   අතට ගත් මනෝරන්ජන් එය උඩින් පල්ලෙන් පෙරලා බලන  අතරේම පෙර ඇසු ප්‍රශ්නය නැවත ඇසුවේය.

'සැර ජාති බොනවාද ?"

අසේල කල්පනාවට වැටුනේය . මේ ඔහු පැමිණ සිටින්නේ ඉන්ටවිව් එකකට බව යලි සිහියට ගත්තේය .

"මෙහෙමයි මහත්තයා ඉඳ හිටලා බියර් එකක් බොනවා . සැර බීමක්නම් බොහොම කලාතුරකින් . සයිට් එකේ ස්ලැබ් එකක් දාන දවසට එහෙම .."
එවේලේ මනෝරන්ජන් කන්තෝරු දොරෙන් එලියට බැස සිල්වා යි මුර ගෑවේය .

සිල්වා වනාහී ඉතා විශාල ශරීරයක් ඇති හිසේ කෙස් සේම මුවේ දත් ද සියල්ල වියෝ වී ගොස් සිටියද මුව පුරා හොඳින් සිනාසෙන සිල්වාමය. ඔහු හැමදාම ඇන්දේ අලුතින් සෝදා මදින ලබන ටී ෂර්ටයක් හා  කොට කලිසමකි . ඔහු එකම ඇඳුම් කට්ටලය එක දිගට දවස් දෙකක් ඇන්දේම නැත .

සිල්වා දොරෙන් ඇතුලට එද්දී මනෝරන්ජන්ට කල්පනා වුනේ මුල්ම දවසේ සිල්වා ඉන්ටවිව් ආ හැටියි.  වැඩබිම් කන්තෝරුවට සහායකයෙක්  ඕනෑ බව දන්වා ගාලු පාරේ තේ කඩ කිහිපයක අලවා තිබු දැන්වීමක් දැකපාර සොය සොයා මෙතැනට ආ පිරිස අතරේ ඔහුද සිටියේය .ඒ දැන්වීමේ සම්මුඛ පරීක්ෂණයට අයුතු දිනය හා වෙලාවද ලියා තිබුනේය.

 කන්තෝරු ඉස්තෝප්පුවේ සිල්වා වාඩි වී සිටියේ තමන්ගේ වාරය එනතුරුය. එදාත් ඔහු ඇඳගෙන ආවේ කොට කලිසම හා ටී ෂර්ට් එකය . කාමරය  ඇතුලේ වෙනත් සාකච්චාවක හිටියා වුනත් මනෝරනජන්ට එළියේ  පොරොත්තු පුටු පෙලේ වාඩි වී සිටින පිරිස පෙනේ. ඒ අතරින් සිල්වා කැපී පෙනුනේය . සිල්වා ආගන්තුක  බවක් නොපෙන්වා තමන් ඉදිරියේ  බිත්තියේ එල්ලා තිබු කුඩා  කන්නාඩිය අසලට ගොස් එහි දාරයේ වූ පනාව අතට ගන්නා හැටි හා ඉන්පසු සිය  කෙස්ගස් එකකුදු නැති හිස මත අතුල්ලා  ආපහු පනාව තබන හැටි ,  හිනැහෙමින් සිය අසුනවෙත යන අයුරු ඇතුළේ සිටි මනොරන්ජන් බලා සිටියේය,  එදා ඉන්ටවිව් පටන් ගන්නා වෙලාවට ඒ වැඩේ කිරීම ස්ටෝර්කීපර්ට බාර දෙමින්  මනොරන්ජන්  රහසක් කියා පිට වී ගියේය.

"ඔය කට්ටිය එක්ක පොඩ්ඩක්  කතා කරපන් . ඉන්ටවිව් එකක් තිව්ව කියන්නත් එපැයි. ඊට පස්සේ අර ඉන්න තට්ට මහත මෑන්ට හෙට ඉඳන් වැඩට එන්න කියාපන් "

මේ ලෙස කල්පනා ලොවකට  වැදී  සිටින සිය ලොක්කා දෙස සිල්වා මද වෙලාවක් බලා සිටියේය.

සිල්වා හා ඔහුගේ ලොක්කා යන දෙදෙනාම දෙස අසේල කුහුල් සිතින් බලා සිටියේය . ඒ අතරේ රුහුණූ කුමාරී කෝච්චිය හඬ තලාගෙන මුහුද අද්දරින් හැල්මේ දිව්වේය  .

කෝච්චියේ ශබ්දය  නිසා මනොරන්ජන්  හා සිල්වා අතර කෙරුණු සංවාදයේ එක වචනයක්වත් අසේලට අසුනේ නැත . ඒත් අර  දෙන්නාට දෙන්නා කතා කරන දේ ඇහෙන්නේ කොහොමදැයි ඔහු කල්පනා කළේය.

අඳුර වැටෙද්දී  අලුත්  සුපර්වය්සර්වරයා  තේරීමේ  සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙමින් තිබිණි . අයදුම්කරු අතේ අඩක් පිරවූ  සැර බීම වීදුරුවක් තිබුණු අතර ඔහුගේ සහතික තිබු ෆයිල්  කවරය කලින් තිබූ තැන දැන්  බැදපු සුදුළුණු පීරිසියක් තිබුනේය .

මනෝරනජන්  ඉන් එක ලුණු ගෙඩියක්  ගෙන රොඩු  ඉහිර වෙන්නේත්  නැතිව ලස්සනට පොතු හැර බික් සියල්ලම  එකින් එක වරින් වර හැපුවේය.

' අසේල  මේ ඉන්ටවිව් එකෙන් තේරිලා මෙහෙට ගත්තොත් එහෙම මේ වගේ හැමදාම බොන්න ලැබෙන්නේ නෑ . ස්ලැබ් වල කොන්ක්‍රීට් දාන දවසට විතරයි.  ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු දෙකටම විසිඅට පාරයි "

බොනවා වගේ පෙන්වන්නට වීදුරුවට දමා ගත් ජින් ස්වල්පයට වැඩිපුර ටොනික් දමා මුවට ලං කරගත් මනොරන්ජන්  යලි වීදුරුව පැත්තකින් තිබ්බේය . ඉන්පසු  පුටුව පස්සට දමාගෙන යලි කෙලින් වී වාඩි වුනේය

මේ වනවිට නුපුරුදු බීමෙන්  වඩි දෙකක් උගුරෙන් පහළට යවාගෙන ලා බමන මතයකින් සිටි අසේලගේ කෝල ගතිය දියවී ගොස් තිබුනේය.

" අසේල මට විස්තර කියන්න .  වැඩ කරපු තැන්වලයි සිමෙන්තියි කොන්ක්රීටුයි ගැන විස්තර ඇර ඕනි දෙයක්"
" ඒ කිව්වේ මහත්තයා  "
" අම්මා ගැන , තාත්තා ගැන, ගම ගැන ගෑනු ළමයා ගැන. ඔය මොනවා හරි කියන්න "

අසේල  කෝල ලෙස හිනැහුනේය. යලි කල්පනාවට වැටුනේය .

අම්මා ගැන ලස්සනට යමක් කියන්නට තිබුනා නම් හොඳ නොවේද? එහෙත්  ඈ ගැන කියන එක තේරුමක් නෑ.  බැටරි ඒජන්සිය නැති වූදා සිට තාත්තා තමාත් නංගිලා දෙන්නාත්  ජීවත් කරවීමට විඳි දුක. අවසාන කාලයේ ආතරයිටිස් හා  ඩිමෙන්ශියා රෝගවලින්  පීඩා වින්ද ඔහු මිය ගිය අන්දම ශෝකී මතකයක් සේ ඔහු වෙතට ආවේය. එහෙත් ඔහු සොම්නස් සිතින් මතක් කළේ තාත්තා සමග අලුත් කාරයෙන් පානදුර සිට හිනිදුම අම්මලා ගමේ ගිය දවස් ගැනය . අසේලට පොඩි කාලේ පටන්ම කාරයේ ඉදිරි පෙළ අසුනේ යන්නට ඉඩ ලැබුනේ අම්මා තාත්තා අසලින් වාඩි වී යෑමට කැමැත්තක් දැක්වුයේ නැති නිසාය. ජපන් සකාඩා බැටරි ඒජන්සිය  තිබුණු කාලේ තාත්තාගේ අතේ යහමින් මුදල් තිබ්බේය. ඒ කාලේත් ඉන් පස්සෙත් අම්මා හා තාත්තා හැසුරුනේ එක ගෙදර සිටිනා අමුත්තන් දෙන්දෙනෙකු වගේය.

මොකක්දෝ හේතුවක් නිසා තාත්තාගේ බැටරි  ඒජන්සිය නැතිව ගියේ කාර් එක හැර හැම දේම ඔහුට අහිමි වුනේ  ණයතුරුස් නිසාය . මේ කරදර කාලයේදී දවසක් ඔහු අසේලට කතා කළේය. අසේල ඒ වනවිට සිටියේ  අටේ පංතියේය .
' පුතේ ඔයා දන්නවනේ ඒජන්සිය නැතිව ගියායින් පස්සේ අපට සල්ලි අමාරු උනා.  ෂොප් එකත් දෙන්න උනා . ණයට බඩු ගත්ත මිනිස්සු පොලු තිබ්බා." අසේල තාත්තා දෙස මහත් පුදුමයෙන් බලා සිටියේය. පාඩම් වැඩ  ගැන දෙන අවවාද හා නංගිලා සමග රණ්ඩු නොකරන්නැයි කියවෙන  තරවටු කිරීම් හැර මේ වගේ බරපතල කතාවකට තාත්තා කවදාවත් තමන්ව අල්ලා ගත්තේ නැත. ඒ නිසා තමන් වැඩිහිටියෙක් බවට පත් වී ඇතැයි යන සන්තෝෂයෙන් අසේල හිනැහුනේය.  අනෙක් අතට මේ වගේ තීරණාත්මක දෙයක් කතා කරන්නට කෙනෙක් තාත්තට හිටියේ නැති බව , අඩුම තරමේ අම්මාවත් ඔහුට ඇහුම්කන් නොදෙන බව අසේල දැන සිටියේය.

මදහස පිරි මුහුණින් ඔහු දෙස   බලා සිටි මනෝරන්ජන් මෙසේ ඇසුවේය.

' මොකද තාත්තා කිව්වේ කාර් එක විකුනලා කඩයක් දාමු කිව්වද ? "

අසේල තැති ගත්තේය . තමන් මෙතෙක් වෙලා කල්පනා කරමින් සිටියා පමණකැයි  දැනුණු හැම දෙයක්ම ඔහු බමන මතින් කියවා ඇත . දැන් ඉතින් මොනවා කරන්නද දිගටම කතා කරනවා .


-මීළඟ කොටස

Photo Source_ Depositphotos.com















Tuesday, March 24, 2020

ගෝලයෝ අට දෙනාගේ කතාව


හැටේ  දශකයේ මුල් අවුරුද්දක ගුරු මාරුවක් ලද තරුණ ගුරුවරයාට හමුවන්නේ අන්ත අසරණ දුෂ්කර ගම් පියසක පාසැලකි. මේ පාසැලේ පන්ති තිබුනේ අටවැන්න වෙනතෙක් පමණි . වාර දෙකක් තුනක් ඉගැන්වීම් කළ විට  ගුරුවරයා එක් පොරොන්දුවක් සිය පන්තියේ දරුවන්ට ලබා දෙයි.

"මේ ගමේ ඉස්කෝලේ  කවරදාකවත් අටේ පන්තියෙන් ඉහලට කිසිම ළමයෙක්  පාස් වෙලා නෑ . ඒ හන්දා තමයි ඉහළ පන්ති දාන්න කවුරුවත් උනන්දු වෙලා නැත්තේ .මම උඹල සියලුම දෙනා අටේ පන්තිය පාස් කරවලා මේ ඉස්කෝලෙට සීනියර් පන්ති  දානවා"

 ළමයි  වෙනදාට වඩා උනන්දුවෙන්  ඉගෙන ගත්හ. ඒ අතර තරුණ ගුරුවරයා ඔවුන්ට නාට්‍ය කලාව, චිත්රපට, විශ්ව සාහිත්‍ය ඈ නොයෙක් විෂය භාහිර ක්‍රියාකාරකම් ගැන හෙළිදරව් කළේය. තමා විශ්ව  විද්‍යාලයේදී හැදෑරූ ජගත්  සාහිත්‍යය ගැනත් , ලෝක දේශපාලන තොරතුරුත්  ළමයින් සමග කතා බහ කළේය .  අනිත් සියලු පන්තිවල සිටි ළමයින්ට වඩා විශේෂ ගතිගුණ හා විෂය අවබෝධයක් සහිතව  මේ පන්තියේ සිටි කොල්ලන් හය දෙනා හා කෙල්ලන් දෙදෙනා ඉගෙන ගත්හ.

අවසාන වාර විභාගයෙන් පන්තියේ සියලු දෙනා ඉතා හොඳ ලකුණු ලබා ගත් නිසා ඉතා සතුටටත් උද්යෝගයටත් පත් තරුණ ගුරුවරයා ඉන්පසු සිය උපරිම ශක්තිය යෙදවූයේ පාසැලට  ජේෂ්ට පන්ති ලබා දී තම ගෝල පිරිසට ඉහළටම  ඉගැන්වීමටය. ඒ ඉලක්කයට යාමට  පන්තියේ සිටි පිරිමි දරුවන්ද මහත්  උනන්දුවෙන් සිටියෝය. එහෙත්  සාම්ප්‍රදායික ගම්මානවල ගෑනු ළමයින්ට ඉහළට ඉගැන්වීමට  මාපියන්ගෙන් අවසර නොලැබුණු නිසා කෙල්ලන් දෙදෙනා අටේ පන්තියෙන් පාසැල් ගමන හමාර කරන්නට තීන්දු වී තිබුණි.

හැමදේම සුබවාදීව අවසන් වේ යැයි සිතුවත් ඒ සටනේදී  තරුණ ගුරුවරයා හා සිසු පිරිස පරාජයට පත් වුහ.  ගුරුවරයාගේ ඊළඟ  උත්සාහය වන්නේ කිට්ටුවෙන්ම පිහිටි උසස්පෙළ පන්ති තිබෙන පාසලකට මේ දරුවන්ව  ඇතුලත් කිරීමයි . ඒත් එවන් පාසලක් තිබ්බේ අඩුම වශයෙන් හැතැම්ම දහයකටවත්  එපිටින්ය  . අනෙක් අතට ගමට හරිහමන් පාරක් තිබ්බේ නැති නිසා බස් ආවේත් නැත. .  අසරණ වූ ගුරුවරයා බලපොරෝතු  සුන් කරගෙන සිටින  ගෝල පිරිස අමතා කතා කළේය . පොඩි වේලාවක් නොවෙයි පැය තුනක  හතරක කතාවක් . ඔහු කීවේ කුමක්ද ?.....

ළමයිනේ ඉගෙන ගැනීම කියන්නේ මේ ලෝකේ මිනිහෙකුට ලබන්න පුළුවන් ලොකුම සම්පතක්. අපි වගේ දුප්පත් දුෂ්කර ගම්වල මිනිස්සු නුගත්කමින්, දුප්පත්කමින් , මෝහයෙන්,  වහල්කමින් පිරිලා ඉන්නේ අපට හරි  හමන් ඉගෙනුමක් නොලබිච්ච නිසා .  මමත් මේ වගේම දුප්පත් ගමක ඉපදිලා විශ්ව විද්යාලෙකට යන්න අහම්බෙන් වරම් ලබපු කෙනෙක්. අපේ ගම් හත අටෙන්ම ඒ වෙනකොට විශ්ව විද්‍යාලේ මොකක්ද කියල දැන ගෙන හිටපු කෙනෙක් නෑ.  අපේ පන්තිය උනන්දු කෙරෙව්වේ දුර පළාතකින් ආපු උපාධි රුවරයෙක්. ඔහු නිසා තමයි මම ලෝකේ දැක්කේ . විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් වුනේ. මේ ගම ලස්සනයි. සනීපයි ඒත් අපි මොන තරම් දුක් කන්දරාවක් විඳිනවාද? මොන තරම් නම් හූරා කෑමකට ලක් වෙනවද? අපි දුක් මහන්සියෙන් වගා කරන දේට හම්බ වෙන්නේ මොන තරම් සොච්චමද ? ඒක වෙළෙන්දෝ ඇවිල්ල ගසා කන විදිහ උඹලට පේනවා නේද?  මේ ගමේ ඉඳන් අමාරු ලෙඩෙක් ඉස්පිතාලෙට ගෙනියන්නේ  ලීයක ගැට ගහපු රෙද්දක බුදි කරවලා නේද ? 

තාමත් සනීප කර ගන්න පුළුවන් ලෙඩ්ඩු අකාලේ මැරෙන්නේ සන්නිය හදුනා, යකා ගැහුවා නැත්නම් හුනියමක් පෑගිලා කියල හිතල නේද? කොකු පණු අමාරුව හැදිලා බඩ ඉදිමිච්ච ළමයි ඔහොම වෙලා තියෙන්නේ අපලෙට කියල බෙල්ලට තඩි යන්තරයක් දාලා අතේ නුලක් බැඳලා මන්ද පොශනේන් මැරී මැරී ජීවත් වෙනවා . ගමේ  කපුවෝයි, පුජකයෝයි  හොල්මන් අවතාරයි දෙයියෝයි  ගැන කියල  උඹලව කොච්චර රවට්ටනවද ?  අල්ලපු ගෙදර  හිතවතා නෑදැයා කොඩිවින අණවින කළා කියල උඹලම  එකිනෙකා කොච්චරනම්  කොටවනවද ? 

මෙන්න මේ හේතුව හින්දා තමයි මට උඹලට ඉහළට උගන්වන ඕනි උනේ . ඒත් දැන් අපි පළවෙනි උත්සාහය පරාජයි. අපි ප්‍රායෝගික නොවන ඉලක්ක වලට ගිහින් මේ වෙලාවේ නැත්තටම නැති වෙන්න ඕනි නෑ. මේ සමාජෙටම ආපහු බැහැලා ඔය ඉගෙනීම කරන්න පුළුවන්. අලුත් දේවල් හොයන්න පුළුවන් . ඇයි මෙහෙම වෙන්නේ කියල හිතන්න පුළුවන් . උඹලගේ දරුවොවත් මේ නාරාවලෙන් ගොඩ ගැන බලපල්ලා .උන්ට හොඳට උගන්නපල්ලා. 

උඹලගෙන් එකෙක් කිතුල් මදින්නෙක්  වෙන්න පුළුවන්, ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන් ඒත් ජීවිතේ සාර්ථක කර ගන්න මුලධර්ම උඹලට අනුගමනය කරනන් පුළුවන්. ටික ටික ඉතිරි කරලා  ගෙයක් දොරක් හදලා හොඳින් ඉන්න බැරි නෑ . විශේෂයෙන්ම සමාජේ ඔලුව උස්සලා නිවටයෝ වගේ නැතිව ජීවත් වෙන්න බලාපල්ලා . 
උඹලා මොන විදිහේ පුංචි රස්සාවක් කරත් ඒක සන්තෝෂෙන් අභිමානෙන් කරපල්ලා,  එතකොට උඹලගේ  දරුවන්ට හීනමානයක් දැනෙන  එකක් නෑ තමන්ගේ අප්පා කරන රස්සාව ගැන . මෙහෙ ජීවත් වෙන්න ලොකු සල්ලියක් ඕනි නෑ. ඒ නිසා ළමයින්ට උගන්වන්න අනිවාර්යයෙන්ම හොඳට වියදම් කරපල්ලා  .  ඇල දිගේ,  ඔය දිගේ ඇවිද්දත් ඕනි වත්තකට ගියත් බඩ පිරෙන්න කන්න දේවල් තියෙනවා. කොස් තියෙනවා. පලා තියෙනවා, බිම්මල් තියෙනවා.  එලියට විසිකරන පැපොල් ඇටේ, දොඩම් ඇටේ  නිකම්ම පැලවෙනවා .

නිතරම පොත පත කියවපල්ලා. පැත්තක් ගන්නේ නැතිව කරුණු විමසපල්ලා. ගමේ අනිත් උන්ටත් වැදගත් දේවල් කියල දීපල්ලා. හොඳ මිනිස්සු ආශ්‍රය කරපල්ලා. සතුටින් විනෝදෙන්  ඉඳපල්ලා . 

ඔන්න ඔහොම කියල ඔය ගුරුවරයා ගොලයින්ගෙන් වෙන් වෙලා ගියා .  මේ ගෝලයෝ පිරිසත් තමන්ට පුළු පුළුවන් හැටිය හොඳින්  ජීවත් වුනා. හැමෝටම හොඳ ගෙයක් දොරක් තිබා. ළමයින්ට හොඳට ඉගැන්වුවා. නිතර බලන්න ආවේ නැතත් අර ගුරුතුමා එක්ක තිබ්බ බැඳීම ආදරය දිගටම තිබ්බා.

***
මෙන්න මේ කතාව කවුරුවත් නොදැන ඉන්න තිබ්බා ගිය මාසේ  නිවාඩු දවසක හැන්දෑවේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ ඉද්දි තාත්තගේ අතීත ගෝලයෝ ගැන මම හාරා අවිස්සුවේ නැත්නම් .  මට ආයෙමත් පාරක් පහුවෙලා හමු වූ තාත්තා කතාවත් සිල්වා සර්ගේ කතාවත්  මතක් වුනා .

තාත්තා ඒ කිව්වා වගේම කතාවක් මට තවත් පිරිසකට කියන්න තියෙනවා . ඒ කතාවත් මම ලියාගෙන යනවා

Image Source: Viet Vision Travel
 . 

Monday, March 23, 2020

අටවිසි මහල -1 බිම් මහල



මේ ගොඩනැගිල්ලේ  මහල් විසි අටකි . මේ නව කතාවද පරිච්චේද 28 කින් සමන්විත වෙයි. එක් පරිච්චේද්යක කතාව ලියවෙන්නේ අනුරුප ගොඩනැගිලි තට්ටුවේ ඉදිකිරීම්  වැඩ කරද්දීය.   2015 අවුරුද්දේ ලියන්නට පටන් ගත් "අටවිසි මහලේ"  සාරාංශය මුලින්ම හිතවත් කීප දෙනෙක් අතර බෙදා ගත් අතර ඒ ගැන සංවාදය දිගට ඇදුනේ නැතිකමත් මගේ කම්මැලි කමත් එක්කාසු වීම නිසා වැඩේ ප්‍රමාද විය.

නවකතාවක් ලියද්දී කවුරුවත් ඒ  කතාවේ සාරාංශය හා අවසානයට වෙන්නේ මොකක්ද කියා  මුල්ම පරිච්චේදයේ  කියන්නේ නැත. එහෙත් මම එහෙම නොවේය . මේ කතාවේ තට්ටුවෙන් තට්ටුව කතානායකයාට ජීවිතේ විවිධ අවධි සිහිපත් කරවන චරිත හා සිද්දීන් හමු වෙයි. අවසානයේ අටවිසි මහලේදී ඔහුට ලැබෙන ජීවිතාවබෝධය මහලින් මහලට ඔහුගේ අතීතාවර්ජන, පුද්ගල සම්බන්ධතා ,  මිතුරු සංවාද ඇසුරෙන් ලබුවක්ද ? නොඑසේනම් මහලින් මහල ඉහළට යද්දී තමා මුලින් සිටියේ මොන තරම් කුඩා වපසරියකද කියා පැහැදිලි වීමද ? මේ සියල්ල දැන ගැනීමට මා සමග එකතු වන්න. දින විසි අටක් හෝ සති විසි අටක් ඊට ගත වේවි  . අවසානයේ මේ කතාව සියලු අද උදහස් හා ප්‍රතිචාර සලකා  බලා මුළුමනින්ම අලුතින් සංස්කරණය කර පොතක් සේ පළ කරන්නට බලාපොරොත්තු වෙමි. 


බිම් මහලින් කොටසක් 

අගනුවරට ආසන්න නගරයක  වෙරළට යාබදව පිහිටි තැනිතලා අවලස්සන ඉඩම මුලින්ම එළිපෙහෙලි කරද්දී මේ සා කෘතිම යන්ත්‍ර සූත්‍ර වලින් නැගි ගාලගෝට්ටියක් මැවෙතැයි අසල්වැසි කිසිවෙක් නොසිතූහ.
පළමුවෙන්ම කරන ලද්දේ හතර වටෙන් එළි පෙහෙලි කර ගැල්වනයිස් රැලි තහඩු වැටකින් මේ භූමිය රහස් බිමක් බවට පත් කිරීමයි. තඩි උස ගේට්ටුව ඉඳහිට ඇරී එන යන ලොරිවලින් ගේන්නේ මොනවාද ගෙනියන්නේ මොනවාද යන කසු කුසු සෑම තැනින්ම ඇසෙන්නට විය.මේක ඇතුලේ නිධන් හාරනවාද, කසිප්පු පෙරනවාද නැතිනම් තහනම් ගුබ්බෑයමක්වත්ද කියා සිතන්නට ඉඩ දෙන තරම් ගුප්ත නිහැඬියාවකින් යුත් දවස් ගණනාවක් ගත වුනි.
මුලින්ම පොළව හෑරුනේ උදළු, සවල් හා යවුළු, අලවංගුවල උදව්වෙනි. පොළවෙන් මතුවී එන කලුපාට පස් කැටිති ප්ලාස්ටික් කැබලි අතරේ ලෝකයට නිරාවරණය වෙන නොයෙක් හුරුබුහුටි වස්තූන් දෙස මනෝරංජන බලා සිටියේ කුහුල් සිතිනි.

පළමු දවසේ පොළවෙන් උඩට මතුවූ පරණ ප්ලාස්ටික් මල් පොකුර  නිකම්ම කසල ගොඩට විසිවෙද්දී ඔහුගේ හිතේ දුකක් ඇති නොවිනි. එහෙත් ඔහු කල්පනා කලේ එය  මංගල  මල් කළඹක කොටසක් විය නොහැකිද කියලාය . දෙවන දවසේ පොළව හාරන විට මතුවූ සෙල්ලම් බෝනික්කා හැත්තෑව දශකයේ තමන් දැක හුරුපුරුදු එකක් බව මනෝරංජන්ට සිහිපත් විය. ඔහු එය පරෙස්සමින් අතට ගෙන සෝදා වියලා ගෙන වැඩබිම් කන්තෝරුවේ ලියන මේසය පසෙක තබා ගත්තේය. ඊළඟ දවසේ ඔහුට හමුවූ මිනී ඇට කැබැල්ල මොන තරම් පරණදැයි සොයන්නට ඔහු නොවෙහෙසුනේය. ඒ දෙස නොබලා ඔහු වැඩබිමේ අනෙක් පස මායිමේ පයිල් යන්ත්‍ර සවි කරන හැටි බලන්නට ගියේය.

එය තරමක්කො විශාල ඉඩමකි . කොටස් දෙකකට බෙදා තිබු වැඩබිම් කන්තෝරුවද ඊට යාබදව පරාල ඉන්දවා තුනී ලෑලි සහ ටකරන් තහඩු ඇසුරෙන් නිමවා තිබූ ඉසටෝරුවද  හැරුනුවිට මුලු වැඩ බිමම එකම මඩ ගොහොරුවක් වි තිබේ. සේවක නවාතැන හා නිලධාරි නිවස මුහුද පැත්තට වෙන්නට එකිනෙකින් තරමක් ඈත්ව පිහිටියේය. ලොකු බූට් සපත්තු දෙකක් දමාගෙන තමාට ලැබුණු කුඩා සේවක පිරිසත් සමග මනෝරන්ජන් මේ යුහුසුලු වන්නේ මහල් විසි අටකින් යුත් නිවාස සංකීර්ණයේ අත්තිවාරම ඉදි කිරීමටයි. උදේ එළිය වැටුණ මොහොතේ සිට සහ කළුවර වැටෙන තෙක් වෙහෙසෙන වැඩබිම් ශ්‍රමිකයන් තනි නොකර ඔවුන් පසෙකින් සිට උපදෙස් දෙන්නටත් කන්තෝරුවට එන ඇමතුම් වලට පිළිතුරු දෙන්නටත් පොත්පත් ලියකියවිලිවල වැඩ සම්පූර්ණ කරන්නටත් මනෝරංජන කාලය කෙසේ හෝ කළමනාකරණය කර ගත්තේය.

මුහුදු සුළඟ විසින් හැන්දෑ හිරිකඩ වෙරලිනුත් ඔබ්බට ගෙනැවිත් අත අරිද්දී ගොම්මන් අඳුර අතරින් අවුල් වී ගිය කෙසින් යුත් තරුණයෙක් වැඩබිම් ගේට්ටුව ළඟ හිටගෙන සිටියේය. මඩ පිරුණු වැඩ බිමේ ඈත කෙළවරේ සිට මේ දසුන දෙස බලා සිටි මනෝරන්ජන්ට එක්වරම යමක් සිහි වූයෙන් තරුණයා සමග පිරුක්සුම් කතාබහක යෙදී සිටින තලත්තෑනි සිකුරුටි නිලධාරියාට අත්පුඩියක් ගසා ඊළඟට මුර ගෑවේය.

ඒයි ඔය මනුස්සයා මෙහාාට එවනවා.”

එකෙනෙහිම පටි මහත ට්‍රැවලින් බෑග් එකක් අතින් ගත් තරුණයා සිකුරුටි තෙමේද නොතකා චිරි චිරි මඩ ගොඩැලි වගේ වගක් නැතිව පාගමින් තමන් දෙසට එන හැටි බලා මෙසේ ඇසුවේය.

මනම්පේරි මහත්තයද එන්න කිව්වෙ?”

ආගන්තුක තරුණයාගේ දෑස් දීප්තිමත්ව බැබලිණි.

- මීළඟ  කොටස මෙතැනින්
Picture  Source: Think Wood