Sunday, April 5, 2020

අටවිසිමහල -4 ( බිම්මහල )


(මේ අටවිසි මහල නව කතාවේ පළමු පරිච්චීදය වන බිම් මහලේ හතරවන කොටසයි. සතියේ දිනවල සඳුදා හා බ්‍රහස්පතින්දා පළ වේ

මින් පෙර කොටස් : පළමු කොටස , දෙවන කොටස , තුන්වන කොටස)


සුවදා පාන්දර තද හිසරදයකුත් සමග අසේල අවදිවන විට ඔහු සිටින්නේ කොහේදැයි සිහිපත් කර ගැනීමට තරමක් වෙලාවක් ගත්තේය. තමා නිදා සිටිනා හතරැස් කුටිය ඉතා කුඩා වුවද එය හුරුබුහුටි සුවපහසු එකක් විය. දැනටම ඇර දමා තිබෙන කුඩා කවුළුව තුලින් සුවදායක සුළං රැල්ලක් හමා ආවේය . ඔහු කවුළුව අසලට  ම ගොස් පිටත පෙනෙන දර්ශනය නැරඹුවේය.  තමා මේ සිටින්නේ  ලී ගොඩනැගිල්ලක උඩුමහලේ බව ඔහු දුටුවේ එවිටය .අපුරුය.

ඈතින් පෙනෙන  ඉන්දියන් සාගරයද වම් පැත්තේ පෙනෙන මනෝරම්‍ය දසුන ලුනාව කලපුවද ,කලපුව හා මුහුද අතරින් රිංගා  දිවෙන කෝච්චි  පාරද අසේලගේ සිත තදින් පැහැර ගත්තේය. මේ ලුනාව ඇලේ මුවදොර පෑදී කලපුවේ වතුර මුහුදට ගලන බාදිය වෙලාවයි. හවස් වෙද්දී වඩදිය ගලාවිත් ඒ සමග සිනිදු වැලි කැට ලක්ෂ කෝටි ගණනින් රැස්වී මුවදොර වසා ගෙන කලපු දිය හිරකර  තබා ගන්නා බව අසේල ඒ වනවිට නොදැන සිටියේය.   මෙතන නම් හොඳ සයිට් ඔෆීස් එකකට නෙවෙයි  ටුවරිස්ට් හෝටලයකට යැයි සිතමින් ඔහු බොහෝ වෙලාවක් ඈත සමුදුරු රළ බිඳෙන හැඩ බලා සිටියේය.   ඉහින් කණින් එකම වයසේ වගේ මිනිසුන් හා ගැහැණුන් එල්ලාගත්  කන්තෝරු කෝච්චි දෙකක්ම කොළඹ බලා හැල්මේ දිව්වේය.   ඔහුගේ නිදහස අහිමි කරමින් කුටියේ දොර ඉදිරියේ ප්‍රාදිර්භුත වූ  අමුතුම තාලේ මිනිස් රුව ඊයේ හවස ඔවුනට උවැටන් කළ කන්තෝරු සහායකයාගේය .

" සර් මං දැක්කා නැගිටලා ඉන්නවා ජනේලේ ගාව. මෙතැන ලස්සනයි නේද ?
මේක ලොකු මහත්තයාගේ කාමරේ . ලොකු සර් ඊයේ ඔෆිස් එකේම නිදා ගත්තා ඔය සර්ට මේ කාමරේ දෙන්න කියල. සර්ට මතක නෑ නේද මෙතනට ආවේ කොහොමද කියලවත් ?"

" මට මතක නෑ. හෙට ඉඳන් වැඩට ඉන්න කියල  මහත්තයා කිව්වම මම හිතුවා මම කොහේ ගිහිල්ලද ආපහු එන්න ඕනි කියල "

" හරි බොහොම ස්තුතියි" කියමින් ඔහු සිල්වා අත තිබූ තේ කෝප්පය හා වතුර වීදුරුව ගත්තේය.

වහලක් නැති නාන කාමරයේ වතුර මල යට බොහෝ වෙලාවක් ගත කරමින් හිස  හා  සිරුර පොඟවා ගත් අසේල බෑගයේ තිබු සුට් දෙකෙන් අඩුවෙන්ම  පොඩි වී තිබු  ලා නිල් ටෙට්‍රෝන් කොටන් අත්කොට කමිසය හා  කලුපාට  කලිසමත්  ඇඳ ගත්තේය .

ඔහු වැඩබිම් කන්තෝරුවට ඇතුල්වන විට කන්තෝරුවේ සිටියේ මනෝරංජන් පමණි. ඔහු   ලියකියවිලි කිහිපයක් ළඟ තබාගෙන  මේස පරිඝනක යතුරු පුවරුවේ මොනවාද සටහන් කරමින් සිටියේය  . ඔබ මොබ බැලු විට අසේලට වැටහුනේ මෙය තමා කලින් වැඩ කළ සයිට් ඔෆිස් වලට වඩා තරමක අලුත් තාලේ උපකරණ තිබෙන තැනක් බවය. පෙරදා සන්ධ්‍යාවේ ඔහුගේ නෙත නොගැටුණු බොහෝ විසිතුරු දෑ එහි තිබුනේය.

 සිය කාමරයට අල්ලපු කන්තෝරු කාමරයේ  රැස්වීම් මේසයේ වාඩිවෙන්නැයි අසේලට රළු ලෙස පැවසු මනෝරන්ජන් සිය කාරියේ දිගටම නිරතව සිටියේය .

 අසේල ලොකු ඕවලාකාර මේසයේ වාඩ් වී ඒ මත තිබු සැලසුම් මිටියක් දිග ඇරගෙන විස්තර බලන්නට පටන් ගත්තේය .

මනෝරන්ජන්  පෙරදින වැඩ වාර්තාව  හා  සිය පුද්ගලික දිනපොත ලියමින් සිටියේය. සාමාන්‍යයෙන් ඔහු එදිනෙදා වාර්තාව හා සිය පුද්ගලික දිනපොත  දවසේ අවසාන රාජකාරිය ලෙස ලියා අහවර කිරීමේ පුරුද්දක් තිබ්බත් ඊයේ දිනයේ සම්මුඛ පරීක්ෂණයේ වැඩේ පාන්දර වෙනකම් ඇදී ගිය නිසා සුපුරුදු  ලිවීම අතපසු වුනේය .

ඔහු දින වාර්තාව ලිව්වේ ඉංග්‍රීසියෙන් පරිඝනක පුවරුවේය. දිනපොත ලිව්වේ කලුපාට බෝල්පොයින්ට් පෑනෙනි. ඔහුගේ අත් අකුරු මොන තරම් අවලස්සනද කිවහොත් කිසිවෙකුට ඒ දිනපොත හොරෙන්වත් කියවා බලන්නට හිතෙන්නේ නැත. එසේ වුනත් එය කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි සඟවා  තබන්නට මනෝරන්ජන් වග බලා ගත්තේය . එය දිනපොතක් කිව්වාට විශාල පිටු දෙසීයේ සී ආර් පොතකි. පොතේ එක තීරුවක වැඩබිම් වාර්තාවට අදාල විස්තර අලුතින් හොයා ගත් ටෙක්න්කල් වචන. වැඩ කල මිනිසුන් ගණන, පුද්ගලිකව වියදම් වූ මුදල් ආදී සියලු දේ ලියයි. අනෙක් විශාල කොටසේ ඉතා කුඩා අපැහැදිලි අකුරින් තමා විඳි ජීවිතය සටහන් කළේය .

මනෝරන්ජන්ගේ  රාජකාරී දින සටහනේ සරල පරිවර්තනයක් .

අද උදේ පයිල් වැඩ  බාර දුන් උප කොන්ත්‍රාත්කාර සමාගමේ නිලධාරීන් දෙදෙනක් සහ ව්‍යාපෘති  කළමනාකරු රිචර්ඩ් සමග කලාප කාර්යාලයේදී රැස්වීමක් පැවත්විණි. ඉදිරි මාස දෙක ඇතුලත සියලුම පයිලින් වැඩ නිම කිරීමට තීරණය විය. 
වැඩබිම් කාර්යාලයට අත්‍යවශ්‍ය තනතුරක් වූ වැඩ පරීක්ෂකවරයෙක් බඳවා ගතිමි. ඔහු අවශ්ය අධ්‍යාපන සුදුදුකම්, පළපුරුද්ද සපුරා තිබුනේය .  කාර්යාල චෙක් ලිස්ට් එකට අනුකූල ආකල්ප හා බාහිර සම්බන්ධතා පිලිබඳ සොයා බලා සෑහීමකට පත් වුනෙමි . 

වැඩබිම් කන්තෝරුවේ පරිපාලන කටයුතුවලට අවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලය දැන් බඳවාගෙන ඇත . ඉතිරි සියලු ඉදිකිරීම් හා සේවාවන් උප කොන්ත්‍රාත් කරුවන්ට පැවරීමට ගත් තීරණය අනුව කටයුතු කරමි.

මනෝරන්ජන් සිය පුද්ගලික දිනපොත අතට ගෙන මෙවන් සටහනක් දැම්මේය . ඒ කාලය තුලම ඔහුගේ මුවේ මදහසක්  රැඳෙමින් තිබුනේය .

කතන්දර ගොඩක්  හාරා අවුස්සා දැන ගැනීමට පුළුවන් විදිහේ  තවත් පුද්ගලයෙක් හමු වුනා . ඔහු සිය ජීවිත කතාව ම වාගේ  මා ඉදිරියේ කණපිට ගසා  හෙළිදරව් කළා . ඒත් කුතුහලය නොසන්සිඳෙන්නක්. තවත් බොහෝ දේ අපැහැදිලියි . ඒත් ඔහු හිතන මතන විදිහ මධ්‍යස්තයි.  සරලයි.  මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය  මොන තරම් අකාරුණික වුනත්  අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩබිමේ යාවජීව සහායකයා වශයෙන් පත්කරගත යුතු පුද්ගලයා ගැන මට සෑහීමකට පත් වන්නට  ඕනෑ . ඔහු කපටියෙක් නෙවෙයි. . ඉතා බරපතල දුක් කම්කටොලු විඳ දරා ගෙන ඇති අයෙක්.  

මේ සටහන් දෙක දමා  මනෝරන්ජන් යලි කල්පනා ලොවට පිවිසුණේය . තමන් සොයන්නේ  කියන පදයට නටන ඒ තරම් ගැඹුරු සමාජ දැනුමක් නැති සිය අනුගාමිකයෙක් කරගන්නට පුළුවන් විදිහේ සේවකයන් නොවේදැයි   කල්පනා කළේය . ආරාධිත  දේශනා වලදී ඔහු ඉදිරිපත් කරන න්‍යායට මේ ක්‍රමය පටහැනි බව ඔහු දැන සිටියේය . ඔහුගේ මුවේ කපටි සිනාවක්  මැවුනේය. තමන් පිටුපසින් ඔත්තුකරුවෙකු සිටින්නේදැයි ඔහුට නිරතුරු දැනෙන අනියත බිය ගැන  කිසිවක් නොලී බව  කල්පනා කරද්දී ඔහුගේ මුවේ වූ මන්දහාසය අතුරුදන් වී ගියේය .

ඒ අතරේ මඩ වී තිබු කන්තෝරු මිදුල මගහැර මුහුද පැත්තේ පිවිසුමෙන් තමන් සිටි කාමර පෙළ දෙසට ඇදෙන සුකුමාල තරුණිය දුටු අසේල  ඈ එන මග බලා සිටියේය . ඒත් එය නුසුදුසු වැඩකියි සිතී ඒ  දෙස නොබලාම  විශාල ප්‍රමාණයේ භූමි සැලසුම දෙසට ඇස් හැරෙව්වේය .

ඔහු සිතා සිටියේ ඈ කෙලින්ම ඇදෙන්නේ මනෝරන්ජන් සිටි කාමරය දෙසට බවය .


ඊළඟ කොටස  
Image Source : Freepik




20 comments:

  1. දැන් මායාරන්ජන් කව්ද කියලා හිතාගන්න පුලුවන් ලයින් එකක් තියෙන්නෙ. අත් අකුරු නම් මගේ වගේම ඇති ඔය කියන විදියට. 🤣

    ReplyDelete
    Replies
    1. මායාරන්ජන් මතක් වුනේ කොහොමද ? දිගාමඩුල්ලේ ආශ්චර්යය කියවලා තියෙනවද ?

      Delete
    2. ඔව් කියවලා තියෙනවා. නිවැරදි කිරීමක්, මේක මනෝරන්ජන් වෙන්න ඔනේ. 😃

      Delete
  2. බොහෝම මදි ලියලා තියෙනවා..... පොඩ්ඩයිනේ ලියලා තියෙන්නෙ..... 😂

    පොඩි කුතුහලයක් තියලා ආපහු නවත්තලා තියෙනවා..... බලමුකො ඉඳලා.... ඒත් ඉතිං ඉඳපල්ලකො බ්‍රහස්පතින්දා වෙනකල්........

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් එකක් සාර්ථක වෙන්නේ නෑ වචන 850ට විතර වැඩි වුනොත් . ඒ මගේ අත්දැකීම. ඒත් නව කතාවක් මේ ලියනවමයි. අපි බලමු ඉස්සරහට

      Delete
  3. Sathiyata dawas dekak withrak liyanawanam tawa tikak digatawath ldanna. Api paw ne

    ReplyDelete
    Replies
    1. දැන්නම්ත කොහොම හරි සතියට දවස් දෙකක්ම ලියනවා ජීවන්ත . ඉතින් ඇඳිරි නීතිය නැති වෙලා වැඩට යන්න උනොත් සතියකට වතාවක් තමයි උපරිම.

      Delete
  4. කාන්තා පරාණෙකුත් ආවා කියන්නේ වැඩේ හරිම අපූරුවට යයි වගේ..

    ReplyDelete
    Replies
    1. තව තව කට්ටිය එනවා ඉස්සරහට . අපි බලමු පිළිවෙලකට ගන්න

      Delete
  5. හතරම කියෙව්වා, ඔය වගේම සිල්වාකෙනෙක් මගෙ එක්කත් හිටියා අවුරුදු ගාණක්, කෙල්ලෙක් ගෙනාපු එක තමා අවුල. 😂
    තුන්වෙනි කොටසින් හතරට එන්න ලිංක් එක දාලා නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන් ඔන්න ලින්ක් එක දැම්මා. කෙල්ලෙක් ආපු එක අවුල්ද ? මම දන්නෙත් නෑ බීච් සයිඩ් එකෙන් එනකම්ම

      Delete
  6. උදේ නැගිටින කොටම මතක් උනා මේක කියවන්න තියේ කියලා.
    කතාව හොඳට ගලාගෙන යනවා දැනේ. මනෝරංජන චරිතය කතාවෙ කුතුහලය හොඳින් ම රඳවා ගන්නවා. දවසකට කියවන්න ලැබෙන ප්‍රමාණය මදි වගේ හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගී . මේ ලියල තියෙන ටික කියවන්න විනාඩි පහක් විතරක් ගීයාට මට ලියන්න දවස් දෙකක්ම යනවා. ඒ නිසා මේ ලියල තියෙන තරම ඇති නේද ?

      Delete
  7. අපූරුයි...
    ස්ලැබ් එකක් දවසට කතාව කොහෙට හැරෙයිද කියල මං කල්පනා කලේ.. ඒත් 28ක් ම තියනවා නෙ. බලමු..

    ReplyDelete
    Replies
    1. මමත් කල්පනා කලේ තාම එක ස්ලැබ් එකක්වත් දාලා නැති කොට ස්ලැබ් විසි අටටම එන්න කොච්චර දවසක් යාවිද කියල කිත්.

      Delete
  8. අද 9 වැනිදා
    මෙහෙම අපිට බලාපොරොත්තු දෙන එක හරි වැරදියි 😒
    අද දවසට 3 වගාවකට වඩා මෙතනට ආවා
    කෝ තාම නෑනේ 5 වෙනි කොටස?? 😁

    ReplyDelete
    Replies
    1. ලබන සතියේනම් පරක්කු වෙන එකක් නෑ. දිගටම එන්න .

      Delete
  9. පොඩි ගැටලුවක් පැන නැගුණා. තුන්වන කොටසේ අවසානෙට සංවිධානයක් සම්බන්ධව අහනව. ඒත් ඒ සම්බන්ධව කිසිම දෙහක් නැවත හතරවන කොටසින් කතා කරන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක් වැව් ඉස්මත්ත . මේ සිද්දි ආයේ ඉස්සරහදි ගලපනවා . ආපස්සට එනවා .

      Delete