Tuesday, May 19, 2020

අටවිසි මහල 13 - පේරාදෙණියෙන් ආ ලියුම



අටවිසි මහල නවකතාවේ මීට පෙර කොටස්  මෙතැනින්

පළමු මහලට කොන්ක්‍රීට් තට්ටුව දමන දවස උදා උනේය . මේ වනවිට  මනෝරන්ජන් , අසේල හා අම්රිතා සිටියේ දෙවන මහලේ වැඩත් ඔලුවේ තබාගෙනය. බිම් තට්ටුව දැමීම , අලුත් උප කොන්ත්‍රාත්කරුවන් ඇවිත් වැඩ පටන් ගැනීම . තිදෙනෙකුගේ අණසකට යටත්ව සරලව කරගෙන ආ වැඩ කටයුතු සංකීර්ණ ස්වාබවයක් ගැනීම , ලහි ලහියේ  කොන්ක්‍රීට් කණු මතු වීම,  ඒ මත ලී ෂටරිම ඉදි වීම . ෂටරිම උඩින් කම්බි දැමීම , හතරපැත්තේ තිබු සේවා කුටීර , කුණු දමන කුටීර ක, විදුලි සෝපානවලට වූ ඉඩ  , දෙපැත්තේ පිය ගැට පේලි ,   කාමර දෙකේ ගෙවල් ක් හා කාමර තුනේ ගෙවල්  වශයෙන් වූ සැලැස්ම .යනාදිය පමණක්ම පහුගිය දින තිහේ මාතෘකා බවට පත් වුනේය . මේ ආදී කලබලකාරී දවස් තිහක අවසානයේ සියල්ලෝ ඉසිඹුවක් ලබන දවස උදා උනේය .

එදා එකම දවසේ කොන්ක්‍රීට් පටවාගත්  ට්‍රක්රථ  දුසිම් ගණනක් විශාල  බත් කූරන් මෙන් සිය  පසුපස බඳ නොනවත්වා කරකවමින් ගාලු පාර දිගේ ඇවිත් ලුනාව පාරට හරවා තැන තැන ලැගුම් ගෙන බලා සිටියෝය . පාර අවහිර වී ගාලගෝට්ටියක සිරි ගත්තද ගම්මාන වැසියෝ ඒ පිලිබඳ උරණ නොවූහ. කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොව ගෙවල්වල සිටි මහල්ලන්ද  පාර අද්දරට වී යන එන බර වාහන දෙස බලා සිටියේ කෑමක් බීමක් ගැනද නොතකමිනි . ගෙවල්වල සිටි කාන්තාවෝ වෙනදාට වඩා  වේලාසන  උයා පිහා, තමන්ට තිබෙන අලුත්ම ඇඳුම ඇඳගෙන සිටියෝය. පාරේ තැන තැන නවත්වා ඇති ට්‍රක් රථ රියදුරෝ ගැහැණුන් දෙස බලා දන්නා අඳුරන  ලෙස සිනා පාන්නට පටන් ගනිද්දී , ඔවුහු නව යව්වනියන් මෙන් ලැජ්ජාවට පත්ව ගෙතුලට  ගොස් ජනෙල්  රෙදි ඈත් මෑත් කර  පාර දෙස බලන්නට වුහ .

සවස පහ හය වන විට කලින් සැලසුම් කර තිබු පිළිවෙලටම වාගේ පළවෙනි කොන්ක්‍රීට් තට්ටුවේ වැඩ නිම වෙමින් තිබුනේය. උදේ පාන්දර පටන් රිචර්ඩ් තුන්කාලේ දිග කලිසමක්, රවුම් සුදු මිනිදෝරු තොප්පියක් හා දුඹුරු අවු කන්නාඩියක් දමාගෙන වැඩබිම පුරා ඇවිද්දේය. ඔහුට අසේල හා මනොරන්ජන් සමග වචනයකට දෙකකට වඩා කතා කරන්නට බැරි වුනේය . අම්රිතාට අද දවසේත් කන්තෝරුවේ ලිය කියවිලි වැඩ එමට තිබුනේය. ඇනවුම් කළ කොන්ක්‍රීට් ට්‍රක් ගණන්, තත්ත්ව පරීක්ෂණ වැඩ, දවසේ අනෙකුත් විය හියදම් වැඩ අතරේම අද හවස සුදානම් කෙරෙන අමුතුම තාලේ රාත්‍රී බෝජන සංග්‍රහයක්ද ඇය, සිල්වා හා මිස්කින් සමග සූදානම් කරමින් සිටියාය .

කොන්ක්‍රීට් ලැබෙන ප්‍රමාදයෙන් ඒවා කළු මහත බටයකින් උඩ තට්ටුවට පොම්ප කරමින් තිබුනේය. මෙතක් කලක් අහල පහල කොහේ හෝ බිල්ඩිමක කොන්ක්‍රීට් දමද්දී සිය නඩයේ උන්ට ගතමනාවක්  ලැබෙන නිසා පොකුටු නන්දේ උදේ පාන්දර සිට වැඩබිම අවට කැරකුනේය. ගේට්ටුවෙන් එලියට ගිය සිල්වා ඔහු සමග කටු කුටු ගාමින් සිටිනවා දුටු මනොරන්ජන් අලුත් ලී තට්ටුවේ සිට ඒ දෙස බලද්දී නන්දේ දෙකට නවාගෙන සිටි සරම පහලට දමා ගරු සරු ඇතිව තමා දෙස බලනු දුටුවේය . ඉන්  මනොරන්ජන්ගේ සිත මදක් රිදුනේ ඒ සමග ඔහුට නෙතදරා සිහිපත් වුන නිසාය . පසුගිය මාසයක තිස්සෙම තමන්ට ඒ කෙල්ල ගැන කිසි දෙයක් සොයන්නට තියා අඩුම ගානේ හිතන්නටවත් බැරි වුනා නේදැයි සිතුවේය . අම්රිතා හා අසේල කුමන්ත්‍රණකරුවන් දෙදෙනෙකු මෙන්  තමන්ට  ඈ ගැන සිතන්නට අවස්තාව නොදී වැළක්වුවාවත් දෝයි ඔහු සැක  කළේය .

තත්ත්වයෙන් බාල වූ හෝ ඉතිරි වූ කොන්ක්‍රීට් දැමීමට ඉඩමේ කෙළවරක  පොඩි සිමෙන්ති අඩිපාරක් දැමීමට  සැලසුම් කර තිබුනේය. ඒ වැඩේ බාර දී තිබු උප කොන්ත්‍රාත්කරු කැඳවාගත් මනෝරන්ජන් මෙසේ කිව්වේය.

" ජයවීර අන්න අර එළියේ සිල්වා එක්ක ඉන්න මනුස්සයයි එයාගේ ගෝලයෝ ටිකටයි පුළුවන්නම්  අද දවසට පොඩි ගානක් හොයා ගන්න වැඩක් ලැස්ති කරලා දෙනවා . මොකද ඔය මිනිස්සු මේ වගේ කොන්ක්‍රීට් එකක් එහෙම දාන දවසට තමයි කීයක් හරි හොයා ගන්නේ '
ජයවීර පුදුමයෙන් මෙන් වැඩබිම් ඉංජිනේරු මනොරන්ජන් දෙස බලා සිටියේය. ඒ බැල්මේ තිබුනේ මෙතෙක් කල් මනෝ බොස් ගැන වැඩ බිම මුළුල්ලේ තට්ටු විසි අටටත් ඉහලට එස වී තිබු ප්‍රතිරුපය පළුදු කරන අන්දමේ කල්පනාවකි. මනෝරන්ජන් දැඩිව අවවාද කොට තිබුණේ අහල පහල පෙනෙන මානයේ වෙසෙන   කිසි කෙනෙක් සේවයට නොගන්නා ලෙසයි . මෙහි සිටි සියලුම කොන්ත්‍රාත්  කරුවන් වැඩට මිනිසුන් ගෙනාවේ පුලවන් තරම් ඈත පලාත්වලිනි. ඇඹිලිපිටිය, වාරියපොළ, මැදවච්චිය  ආදී පයින් එන්නට බැරි දුර ඈත පලාත්වලිනි  .
දැන්  ඔහුම කියන්නේ  ඒ අවවාදයට පිටුපාන්නටයි. කල්පනා කරන්නට වෙලාවක් නැත. ලොක්කා ඒ වන විටත් තවත් තැනකට  ගොස් කාටදෝ මොනවාදෝ කියමින් සිටී. ජයවීර ලී ඉනිමග දිගේ  බැසගොස් සිල්වා හා නන්දේ කතා කරමින් සිටි තැනට  ගියේය. ඔහු නන්දේ දෙස බලමින් . " ඔහේ ගාව තව හොඳ මිනිස්සු තුන් හතර දෙනෙක් ඉන්නවානම් එක්කගෙන එනවා" යැයි කීවේය.  ඒ සැනින් නන්දේගේ මුහුණ එලිය වැටුනේය . නන්දේ සිය ගෙවල් මණ්ඩිය දෙසට හැල්මේ ඇවිද යන  අයුරු ජයවීර බලා  සිටියේය .

" මේ යක්කු සයිට් එක අස්සේ දාගෙන යකඩ බටයක්වත් පරෙස්සම් කරගන්න  වෙන්නේ නෑ ඉස්සරහට " ඔහු තනියම කිව්වේ සිල්වා ලඟපාත සිටින බවවත් නොතකමින්ය .

" එහෙම කියන්න එපා ජයවීර බොස්. ඔය අපේ මනෝ  බොස්ගේ මාමනේ . අපේ බොස් බඳින්න ඉන්නේ ඔය හාදයාගේ දුව "

ජයවීර සිල්වාගේ ඉස සිට දෙපතුල දක්වා බැල්මක් හෙලුවේය. සිල්වා ජයග්‍රාහී ලෙස බලා සිටියේය. ජයවීර හිතේ  මවාගෙන තිබු  මනෝරන්ජන් නම් වූ බල සම්පන්න ඉංජිනේරුවරයා සම්බන්ධ ප්‍රතිරූපයේ තවත්  පළුවක් ගැලවී වැටුණේය. සිය ගෝලයෙකු හා අවට තරුණියක්  සම්බන්ධ  හුටපටයක් දුරදිග යාම නිසා තමාව වැඩබිම් කන්තෝරුවට කැඳවා මනෝ බොස් දුන් අවවාදය ජයවීරගේ  සිහියට ආවේය .

" මතක තියා ගන්නවා ජයවීර, මේ සිමෙන්ති කොන්ක්‍රීට් රස්සාව කරද්දී වැඩ වල විතරක් නෙවෙයි තමන්ගේ පැවැත්මෙත් කොලිටියක් තියා ගන්නවා . ඒ කොලිටිය තියෙන ගෝලයෝ ටිකකුත් හදා ගන්නවා. එතකොට දුර ගමනක් යන්න පුළුවන්. කිසිම දවසක සයිට් එකක් අහල පහළ ගෑණු පස්සේ යන්න එපා. ගෝලයන්ටත්   කියනවා. තමන් රස්සාව කරන තැනයි වටපිටාවෙයි  උන්  ඇර ලෝකේ වෙන ඕනි තැනකින් කෙල්ලෝ හොයා ගත්තට කමක් නෑ "

සුර්යයා ලුනාව  කලපුවට ඔබ්බෙන්  රත් පැහැ වලාකුළු අතරින් රිංගා ගොස් සිතිජ ඉමේ ඇති මහුදු ජලයේ ගිලී  විඩා නිවා ගන්නට හදන වෙලාවේ වැඩබිමේ සිටි සියලු දෙනා දවසේ රාජකාරිය හිතුවාටත් වඩා කලින් ඉවර කර ගන්නට පුළුවන් වීමේ ප්‍රීතියෙන් සුවපත්ව සිටියෝය. මුහුද අයිනට වෙන්නට වූ බිමක සාදයකට  සුදානමකි. අම්රිතාට වුවමනා වුයේ අසේලලාගේ ගමේ  දේවාලේ උත්සවය දා දවල් කෑම බෙදා දුන් සිරියෙන්  යුතුව හැමෝටම කෑම වේලක් දෙන්නටය. එහෙත් මාසයක් තිස්සේ එක දිගට වෙහෙසී සිටි පිරිමින් සිහින මවමින් සිටියේ තමන් වෙනුවෙන් රිචර්ඩ් මහත්තයා ගෙනත් ඇතැයි සිතූ තිබු රට බීම  බෝතල් ටික විවර වනු දැකීමටය .
අසේල ඉතා තෘප්තිමත්ව සිටියේය . තමා බලාපොරොත්තු වූ විදිහටම  වැඩේ ගොඩ දමා ගැනීමට හැකි වීම ගැන ඔහු ආඩම්බර වුනේය. "මේ වැඩබිමට පැමිණ ගත වූ මාස දෙකත් හරි  පසුගිය අවුරුදු පහමත් හරි" . අලුතින්  කරුණු කාරනා දැන ගන්නා අතරේම මහපොළවේ ජීවත් වී , අනේක විදිහේ  දුක් කන්දරා අනුභව කොට ලබා ගත් හැම අවභෝදයක්ම , දැනුමක්ම පහුගිය මාස දෙකේ වුවමනා වුණා නේදැයි ඔහු සිතුවේය . "මාර චරිත තුනක් තමයි" ඔහු සිතුවේ අම්රිතා , මනෝරන්ජන් හා රිචර්ඩ් ගැනය. ඒ ඇසිල්ලේ  ඈත ගෙදරකින් ළදැරියකගේ ගී  හඬක් ඇසීමෙන් ඔහුට අම්රිතාගේ ගෙදර පින්තුරයේ සිටි ළමයා මතක් වුනේය. එදා අම්රිතා තමන්ගෙන් වසන් කරන්නට හැදු ඒ කතාව අද වෙනකම් අසා ගන්නට බැරි වීම ගැන ඔහු කම්පා වුනේය. අනුන්ගේ කුණු හාරන්නට එපා යැයි මනම්පේරි  මහත්තයා මෙන්ම මනෝ මහත්තයාද ඔහුට කියා තිබුණ මුත්  අසේලට ඒ හැටි  විනීතකමක්  හෝ ඉවසිල්ලක් නොවීය. ' අද රෑට අහනවා " ඔහු තමාටම කියා ගත්තේය .

රිචර්ඩ් අලුත දැමු කොන්ක්‍රීට් තට්ටුව  හොඳින් පෙණෙන පලංචි කට්ටලයකට වී බොහෝ වෙලාවක් සැන්දෑ හිරු එළියෙන් දිලිසෙන සිමෙන්ති පාට දෙස බලා සිටියේය. ' නියමයි . නියමයි " ඔහු තනියම කීවේය.
" හෙට මේ තුන් දෙනාම බෝට්ටුවට එක්කරගෙන යන්න ඕනි. හොඳම  පාටිය හෙට තමයි.  " රිචර්ඩ් සිතුවේය.

ඇඟපත දොවාගත් මනෝරන්ජන් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන සිගරටුවක් උරමින් කන්තෝරු කාමරයට ඇවිද ආවේය. සාදයේ  වැඩ කටයුතු අතරේම ඉස්පාසුවක් ලබාගත් අම්රිතා මනෝරන්ජන් ගැන හෝදිසියෙන් සිට ඔහු කන්තෝරුවට යනු දැක ඒ පස්සෙන් ආවාය  .

' අනේ සමාවෙන්න ඕනි . මේ ලියුම  ඇවිල්ලා ටික දවසක් වෙනවා. ඒත් අපි වුවමනාවෙන්ම ඔයාට දෙන එක ප්‍රමාද කළා .  දැන් ඉතින් සැහැල්ලුවෙන් කියවන්න පුළුවන්නේ . " කියමින් සිය මේස ලාච්චුවේ පතුලේ සඟවා තිබු කුඩා ලියුම් කවරය මනෝරන්ජන් අත තබා සැනෙන් පිට වී  ගියාය.

' මනෝරන්ජන් පුටුවේ හරි බැරි ගැහී වාඩි වුනේය. ලියුමේ අත් අකුරු ලස්සනය. කවරයේ මුද්‍රාව  මුහුණට ලංකර බැලුවේය . " පේරාදෙණිය " ඔහුගේ මුහුණ ලේ රත් පැහැයක් ගත්තේය.  ලියුම් කවරය අරින්නට පෙර ඔහු කල්පනා කළේය . සිංහලෙන් ඇඩ්රස් එක තියෙන ලියුම මට කියල අම්රිතා කොහොමද දන්නේ ? ඒකත් එකටම අසේල මේක අරන් තියලා  දෙන්න ඇති "

මනෝරන්ජන්  පරෙස්සමට  කවරය ඇර ලියුම දිග ඇරියේය .

-මීළඟ කොටස -








Image Source: pdn.ac.lk

Monday, May 11, 2020

අටවිසි මහල -12 පින්තුරයේ හිටි ළමයා කවුද ?



මේ කතාවේ මුල් කොටස් මෙතැනින්

අදනම්  නිදා ගන්නට වෙන්නේ නැති බව දැනගත්  සිල්වා  ලොකු උණුවතුර බෝතලය පිරෙන්නට අලුත් කෝපි හදා ගෙනැවිත් කන්තෝරු මේසයේ කෙලවරක තැබුවේය.

නැත්නම් මනෝ බොස්ට  කෝපි  කෝප්පයක් ඕනෑ  වූ ගමන් තමන්ගේ කුකුල් නින්දට බාදා වෙන බව ඔහු දැනගන හිටියේය  . අනෙක් අතට අම්රිතාගේ පැමිණීම ගැන සිල්වා සතුටු වී සිටියේය . ඈ තනිපංගලමේ, රැයේ  රාත්‍රියේ පිරිමින් පමණක් සිටින කන්තෝරුවකට පැමිණීම පිලිබඳ සිල්වාගේ මෙන්ම වෙන කවුරුන් තුලත් කහටක් නොතිබුණේය . ඈ  මොන තරම් ආකර්ශනීය  කාන්තාවක් වුනත් තමන් අසලටම කිසිවෙකුට ලං  වීමට බැරි වෙන විදිහේ අදෘශ්‍යමාන ආරක්ෂක වළල්ලක් පවත්වාගෙන යන බවක් ඔවුන්ට දැනිණි .

"මනෝරන්ජන් කෑම  කන්න " අම්රිතා කියද්දී මනෝරන්ජන් උප කොන්ත්‍රාත්කරුවන්ගේ ලැයිස්තුව පිරික්සමින් සිටියේය .  හැම දේටම මිනිස්සු ඉන්නවද කියල බලන්න එපැයි " ඔහු කිව්වේ තවත් චෙක් ලිස්ට් එකක හරි ලකුණු දමාගෙන යන ගමන්ය.

" කෑම  කන්න " අම්රිතා නැවතත් කිව්වේ තරමක් උස හඬකිනි . ඒත්  එය පෙර වතාවට වඩා මෘදු ආදරණීය බවක් පල කළේය .
" මම සිල්වාට කියල ආප්ප ගෙන්නාගෙන කෑවා . අම්රිතා අපරාදේ කරදර වුනේ " මනෝරන්ජන් එසේ කියද්දීත් ඔහු අම්රිතා ගෙනා ආහාරය රස විඳීමට කැමැත්තෙන් සිටිනා බව අම්රිතා දැන  සිටියාය . බටර් නාන්  රොටියක් මිංචි කොළ ස්වල්පයක්, නිවිති කොළ  පනීර් සමග අඹරා  තැනු  පාලප්පනීර් හෝ චිකන් මසාලා හොද්දක් එහි තිබෙන්නට පුළුවන " ඒත්  මේ හදිස්සියේ අම්රිතාට ඒවා උයන්නට බැරි වෙන්නට ඇති ". ඔහු සිතුවේය .

 මනොරන්ජන්ගේ  ප්‍රතිචාරය ගණනකට නොගත්  අම්රිතා ප්ලාස්ටික් බෑගය අතට ගත්තාය .   ඇලුමිනියම් කොළයේ  එතු රොටිය දිග හැර  නිකල් පාට භාජනය පරිස්සමින් විවර කර මේසය මත තැබුවාය  .

" මම යකඩ කම්බි ෂෙඩුල්  එක බලන්නම් " ඇය  කීවාය .

කාමරය පුරවා විහිදෙන මිහිරි  කෑම  සුවඳත් සමග මනෝරන්ජන්ගේ  සිත අතීත ස්මරණ  තොටිල්ලක පාවෙන්නට පටන් ගත්තේය . ඔහු කෑම  ගත්තේ තනිකරම සිත මෙතැනින්  ගැලවී ඈත  මැද පෙරදිග වැඩබිමක හෝ  පුංචි ගෙයක හෝ කෝපි  හලක තබාගෙනය . ඒ හැම තැනම අම්රිතාද සිටියාය .  

 මීට අවුරුදු හයකට කලින් ඉදි කිරීම්, සැලසුම්, කම්බි විස්තර, ඒවායේ ප්‍රමාන  ආදී මේ කිසිවක් නොදැන තම වැඩබිමට ආ අම්රිතා මේ කාලය තුල ලබාගෙන තිබු දැනුම ගැන ඔහු පුදුම වුනේ නැත  . මුල් කාලයේ ඇය  රහස් පරීක්ෂිකාවක මෙන් තමන්ට අදාළ හා අදාළ නොවන හැම   දේම ගැන හාරා අවුස්සද්දී ඔහු මෙන්ම තවත්  කිහිප දෙනෙකුට එය නුරුස්නා කාරණක් වුනේය. ආරක්ෂක පහසුකම් සපයන අංශයේ ලිපිකාරිණියක් මෙන් රස්සාවට ආ තරුණිය තමන්ගේ තරමට ඉදිමෙන්නට ඕනෑ කියා ඔහු ඒ කාලයේ සිතුවේය.

"මේක මෙහෙම වෙන්න ඇත්තේ රිචර්ඩ්  වගේ කෙනෙක් අපිත් එක්ක හිටපු හින්දා වෙන්න ඇති" .

මනෝරන්ජන් කල්පනා ලෝකයෙන් එලියට එද්දී ඔහු අතේ තිබු අන්තිම රොටී කැබැල්ල මසාල හොද්දේ අන්තිම බින්දුව හොයමින් බඳුන අඩියේ එහා මෙහා ඇතිල්ලෙමින් තිබුනේය .  

ඔහු කා බී තෘප්තිමත් වුවාට පසු සුපුරුදු කතාව පටන් ගත්තේය .
" අම්රිතා දන්නවාද එම්පයර් ස්ටේට් බිල්ඩිම තට්ටු එකසිය දෙකක්. ඒක  සැලසුම් කරලා හදල ඉවර කරන්න කොච්චර කාලයක් ගියාද කියල ?"

ඒ වනවිට අසේල යළි පැමිණ  සිටියේ  කාබෝලික් සබන් සුවඳ තාමත් ඉතිරි වී තිබු  සිරුර අලුත් ටී ෂර්ටයකින් හා දිග කලිසමකින් වසාගෙනය .
ඔහු උනන්දුවෙන් මනෝරන්ජන් ගේ කතාව අසන්නට හරි බරි ගැහුනේය. අම්රිතා සිය කාරිය නතර නොකරම මීට පෙර කිහිප වතාවක් අසා සිටි මේ කතාවට යම්තමින් සවන් දුන්නාය .

එම්පයර් ස්ටේට් තියෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරෙ. බිල්ඩිමේ නමට  දාලා තියෙන්නේ නගරෙට කියපු වෙනත් නමක්. ඉතින් මේ බිල්ඩිම තමයි 1931 ඉඳන් 1970 වෙනකම් අවුරුදු හතළිහක්  ලෝකේ උසම බිල්ඩිම  වුනේ .

"තට්ටු කීයද මනෝ  මහත්තයා ?"

" මං  දැන්  සැරයක් කිව්වනේ . තට්ටු එකසිය දෙකයි . ඒ මුළු බිල්ඩිමේ ඩ්‍රෝවින් ඇඳලා , මේ වගේ ඉස්සරහ වැඩ ටික සැලසුම් කරලා , හදල ඉවර කරන්න ගියේ මාස විස්සයි . අපිට තට්ටු විසිඅට හදන්න විතරක්   මාස විසි හතරක්ම  දුන්නා. ඒ දෙනකොට ඔක්කොම ඩිසයින්  කරලා ඉවරයි. අපි දැන් මාස තුනක්ම ඉවර කරගෙන තියෙන්නේ  "

අසේලගේ මුහුණේ  යම් වරදකාරී මෙන්ම අසතුටුදායක පෙනීමක් මතු වී එද්දී   මෙතක් වෙලාවක් කතාවට සම්බන්ධ වී නැති බවක් පෙන්නුම් කළ  අම්රිතා කට ඇරියාය .
" ඔය කතාව  කල් ඇතිව ප්ලැන්  කරලා  පුංචිම විස්තරෙත් කල් ඇතිව ලියාගෙන වැඩ කරන එකේ වාසිය කියල දෙන්න ගන්න උදාහරණයක් . අමතක කරන්න එපා ඒක  යකඩ බිල්ඩිමක්. එක තට්ටුවක් සතියෙන් අමුණන්න  පුළුවන් . යකඩ ටික වෙන තැනක් හදලා , කපල, තවු විදලා, පාට ගාලා ගෙනල්ලා හයි කරන එකනේ තියෙන්නේ . ඒත් අපි හදන්නේ කොන්ක්‍රීට් බිල්ඩිමක්. මේකේ අලුත් කොන්ක්‍රීට් තට්ටුවක් හයි වෙන්න සති දෙකකට වඩා යනවා . මොනවා කලත් එක තට්ටුවක් හදන්න සති තුනක්වත් යනවා . "

ඒ තරම් සන්තෝෂයෙන් නොවුනත් මනෝරන්ජන් කතාව නවතා යලි වැඩට බැස්සේය .  ඒ අතරේ අසේල කලින් නවත්වා තිබු රුප සටහනක වැඩ කටයුතු කරගෙන ගියේය . එනම් වැඩබිම එක එක වර්ගයේ සේවාවන් සඳහා කලින් කලට පාවිච්චි  කරන්නට ඕනෑ භුමි  සැලැස්මයි.  මේ හරියෙන්  පොලොව යට වතුර ටැංකිය එනවා . මේ හරියෙන් ස්ථිර සේකුරිටි කාමරේ එනවා. මෙතන පඩිපෙළ. මෙතන ලිෆ්ට් එක.    පොඩි පොඩි ඔෆිස් , ගබඩා සේරම බිල්ඩිම හැදෙන තැනෙන් එලියට .  බිම කොන්ක්‍රීට් දාන්නේ මේ පිළිවෙලට. ඉස්සරහ පැත්ත කලින් ඉවර කර ගත්තොත්  බඩු  ගේන  ඒවාට ලේසියි. පලංචි බඩු  මෙතනින් . ටවර් ක්රෙන්  එක මෙතනින් ආදී වශයෙන් කලින් පිළියෙළ කර තිබු වැඩ පිළිවෙල ඔහු හාර හාරා කල්පනා කළේය. ටික වෙලාවකින් මනෝරන්ජන්ද ඔහු හා එකතු වුනේය . දෙන්නා තර්ක විතර්ක මැද  පාන්දර වෙද්දී සතුටුදායක එකඟතාවයකට පැමිණ සිටියහ .

අම්රිතා දිගටම යකඩ කම්බි අඩුම නාස්තියක් වෙන පරිද්දෙන් කම්බි ලයිස්තුවේ හැටියට  විශාල කොන්ක්‍රීට් තට්ටුවට ඔනෑ  කරන සියලු දේ වෙන් කර ගත්තාය .  පාන්දර එලිය වැටීගෙන එන විට අසේල වාඩි  වී හුන් පුටුවෙම හිඳගෙන  ගොරවන්නට විය. ඔහුට හීනෙන් පෙනුනේ පළමු තට්ටුව දමන දවසේ මුහුදු වෙරළේ පැවැත්වෙන දැවැන්ත සාදයකි. හිරම හිර කොට කලිසමක් ඇඳගෙන සිටි අම්රිතා හැමෝටම ඉහලින් වූ තැනක රිචර්ඩ් හා නටමින් සිටියාය . අනෙත් සියල්ලන් බීමත්ව ඔවුන්  අසල වටයක් සෑදී   කෑ කෝ ගසමින් සිටිද්දී කොහේදෝ සිට පැමිණි  මනෝරන්ජ්න්  රිචර්ඩ්ගේ  කමිසයෙන් ඇද බිමට හෙලුවේය . ඉන්පසු ඔහු  අම්රිතා සමග නටන්නට පටන් ගත්තේය.  මුහුදු වතුර ඉස්සී ගසාගෙනවිත්  ඔවුන් දෙදෙනාම තෙමී  ගියාට පසු මනෝ රන්ජන් සමග නටමින් සිටියේ අම්රිතා නොව නෙතදරාය.  ඈ  ඇඳ  සිටියේ මොහොතකට පෙර අම්රිතා හැඳගෙන  සිටි ඇඳුම් කට්ටලයමය .

මොහොතකින් සුදෝ සුදු ලෝගුවක් ඇඳගෙන තමා අසලට ආ අම්රිතා  සිය  අතින් අල්ලා ගනිද්දී අසේලට  ඒ අත  ඉතාම සීතලට දැනිණි .  ඔහු නින්දෙන් පිබිදුණේය

' අසේල ගිහින් කාමරෙන් නිදා ගන්න . කෝපි කෝප්පයක් තොලගාමින් සිටි මනෝරන්ජන් සිනාසෙමින් කීවේය. අසේල අම්රිතා දෙසත් මනෝරන්ජන් දෙසත් පුදුමෙන් මෙන් බැලුවේය. ඔවුන්ගේ මුහුණේ නිදි මැරු  පාටක් හෝ වෙහෙසකර බවක් නොපෙනිණි .
අසේල හිනැහෙමින් ගොස් කාමරයට පිවිස ඇඳේ  වතිරුනේය  .

"මේ ටික කර ගත්ත නිසා අද හවස මීටිමට මට හොඳ විශ්වාසෙකින් යන්න පුළුවන්. කට ඇරලා කතා කරන්න පුළුවන් " මනෝරන්ජන්  කීවේය .
" ඒ ටික දන්නා නිසා තමයි අපි ඊයේ රෑ  ඇවිල්ල උදව් කලේ. ඔයා එක එක ඒවාගෙන් ඔලුව අවුල් කරගෙනනේ ඉන්නේ " අම්රිතා කීවාය .

මනෝරන්ජන්  ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් අම්රිතා වෙත හෙලද්දී ඈ  යලි කතා කාලය .
" එක අතකට මට අයිතියක් නෑ ඔයාගේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න . අනික් අතට නැත්තෙමත් නෑ . මොකද ඔයාගේ ඉරණමේ හොඳ හරි නරක හරි වෙනසක් කරන්න මමත් සම්බන්ධ වුනානේ  මනෝ . ඒ නිසයි මම කියන්නේ . ඔයා විහිලුවට ආදරේ කරන කෙනෙක් නෙවෙයි. අර ගෑනු ළමයා එක්ක මොනා හරි සම්බන්ධයක් තියෙනවනම් ඒක  වෙන දෙයක්ද කියල ඉස්සෙල්ල හොයල බලන්න. පස්සේ ඔයා ආයෙමත් විඳවනවා බලන්න මම කැමති නෑ "  අම්රිතා "ආයෙමත් " යන වචනය අවධාරණය කරද්දී අගේ දෙනෙත් ලිහී කඳුළු කැට පේලියක් රූරා  වැටුණේය.

 මනෝරන්ජන් නිහඬ වුනේය . ඊයේ හවස නෙතදරා අහම්බෙන් හමු වීම . ඈ  නොකියාම සරසවි යන්නට පටන් ගැනීම . මේ සියල්ල අතරේ මනෝ රන්ජන් සිය අතීත චාරිකාව යලි ඇරඹීය .

ඉන්පසු ඔහු බොහෝ වෙලාවක් නිහඬව කල්පනා කළේය. විටින් විට එලියට ගොස් සිගරට් බිව්වේය. කෝපි  බිව්වේය. සිල්වා, මිස්කින්, අසේල සියල්ලෝ නින්දේය. අම්රිතා මේසයට ඔලුව ගසාගෙන ඉකි බිඳිමින් සිටිමුත් දැන් ඇයට  නින්ද ගිහිල්ලය .  මනෝරන්ජන්ට දැඩි වෙහෙසක් දැනුනේය. අම්රිතා ගෙදර ඇරලවා එන්නට සිතා ඔහු රථයේ යතුර සෙව්වේය. එහෙත් එය සොයා ගැනීමට බැරි වූ නිසා යලි හෙමින් සැරේ ඇවිදගෙන සිය නිදන කාමර පෙළ  වෙත ගියේය . 
නින්දේ සිටින අසේල අහරවන්නේ නැතිව යතුර සොයා ගන්නට නොහැකිය . ඔහු අසේලගේ බාහුවට අතක් තබා සෙලවුවේය .
පැය  දෙකක කෙටි  නින්දෙන් අවදි වී වහා ඇඳ  උඩ  ඉඳගත් අසේල තියුණු ලෙස හාත්පස බලද්දී  මනොරන්ජන් පැමිණ සිටින බව තේරුම් ගියෙන් ඔහු නැගී සිටියේය .

අසේලගේ මේ ආකාරයේ පරෙස්සම් සහගත හැසිරීම ඔහුට පුරුදු වුයේ  ඔහු මරණ බයෙන් ජීවත් වූ කාලයකදී  බව මනෝරන්ජන් දනී .

"අසේල තරහ වෙන්නෙපා නින්ද කඩුවට මට වාහනේ යතුර හොයා ගන්න බෑ . අම්රිතාව ගෙදරට අරලවලා එන්න ඕනි ."

එසේ කියද්දී අසේලට යතුර තැබූ තැන සිහිපත් විය. පෙරදා ඇඳගෙන සිටි කලිසම් සාක්කුවේය. යතුරු හා සියලු අම්පන්න තැබිය යුතු වෙනම තැනක් වැඩ බිමේ හා නවාතැනේ විය. ඒ මනොරන්ජන්ගේ අණයි .

අසේල යතුර රැගෙන මනෝරන්ජන් වෙත දිගු කරන විට මනෝ මහත්තයාගේ  ඇස්  දොඹ ගෙඩි මෙන් රතු වී මුහුණ තඩිස්සි වී තිබෙනු දැක මෙසේ කිව්වේය.

" මනෝ මහත්තයා එක ඩිංගක්වත් නිදා ගත්තේ නෑ  නේද ? හවස මීටිමටත් යන්න තියෙන නිසා දැන් ටිකක් නිදා ගන්න . මම මිස්ව බස්සලා එන්නම් "

පුටුවේ නිදා හුන් අම්රිතාව අවදි කරගෙන ඇය   ගෙදර ගෙන ගොස් ඇරලු  අසේල ඇය   රියෙන් බසිද්දී  බෑගය හා  කැම  බඳුන ඈ  අතට දී මද දුරක් ඈ  සමග ඇවිද ආවේ  කල්පනාවකින් තොරවමය.

එන්න අසේල තේ එකක් බීල යන්න . ඈ  කීවාය . අසේල ඈ  පසුපස ගියේය . දොර හැර ගෙතුලට ගිය අම්රිතා මුලින්ම කලේ මේසය මත වූ රාමු කළ  ෆොටෝ එකක් වැසෙන  සේ සිය අතේ තිබු ප්ලාස්ටික් බෑගය  තැබීමය .

' ඒ සේයාරුවේ හිටියේ ඉතා හුරුබුහුටි  කෙළි  සිඟිත්තියක් තුරුළු කරගත් අම්රිතාමය."

එතකොට ඒ ළමයා  කවුද ? අසේල කල්පනා කරමින් මේසය මත තිබු ප්ලාස්ටික් බෑගය දෙස බලා සිටියේය


Image Source : Pixels

Sunday, May 3, 2020

අටවිසි මහල 11 ( බිම් මහල )- අම්රිතා මහා රෑ වැඩබිමට එයි




මේ පලවෙන්නේ කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ එකොලොස් වන කොටසයි . මින් පෙර පළවූ කොටස් මෙතැනින්

රාධා පැවසු ආරංචිය නිසා අසේලගේ මනස ව්‍යාකුල වී තිබුනේය . ඔහු හිටි තැනම  ටික වෙලාවක් ගල් ගැසී බලා සිට "යන්නම්" යැයි පොදුවේ හැමෝටම කියා රිය වෙත ගියේය . මේ සිදු වුයේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව එතැන සිටියෝ බලා සිටිද්දී රථයට ගොඩ වූ අසේල හෝන් එක මහා හඬින් හඬවා  රිය කවුළුවෙන් ඔලුව එලියට දමා " අම්රිතා මිස්  යමු පරක්කු වුනා  " කියා කෑ ගැසුවේය .

අම්රිතා වරදකාරී සිතුවිල්ලෙන් රාධා, අනුරාධා හා ඔවුන්ගේ මව දෙස බලා සිට  " යන්නම් බොහොම ස්තුතියි රස කෑම වේලට . මං හිතන්නේ අසේලට සයිට් එකට යන්න ඇති හදිස්සියෙන් " කියමින් යුහුසුළුව රථය වෙත පැමිණියාය . ඉන්පසු කවදාවත් නැති ආකාරයෙන් අසේල  දෙස රවා බැලුවාය .

මේ කිසිවක් නිරීක්ෂණය කර ගැනීමට සිහියක් නැති අසේල    රොබෝවෙකු මෙන් වාහානය පණ ගන්වාගෙන ඉදිරියට ඇදුණේය. කිසියම් හෝ අවනඩුවක් සිදු වී ඇතියි  අම්රිතාට වැටහුනේය. අසේල සැර දමාගෙන පිටත් වන්නට පෙර ඔහු හා රාධා අතර රහස් කතාවක් සිදුවනු අම්රිතා  දුටුවාය. ඒත් එවැන්නකින් මේ තරම් බරපතල චිත්තවේගයක් මේ කොල්ලා තුළ ඇති කරවන්නට  පුලවන් කමක් නැතැයි කියාද   අනෙක් අතට ඕවා හාර අවුස්සා බලන්නට යන්නේ මොකටදැයි ඇය සිතුවාය .

" අසේල පරෙස්සමින් යමු නේද පාර තරමක් ලෙස්සනවා. පොඩි හිරිපොදක් ආවනේ ' ඇය හෙමින් කීවේ තත්වය සන්සුන් වනු පිණිසය.

ඒත් මෙවේලේ අසේල කල්පනා කරමින් සිටියේ මේ කතාව අම්රිතාට කියනවාද නැත්ද කියලාය. අනෙක් අතට කියන්නට ඕනෑ වුනත් ඒතරම් ආවේගකාර යමක් කියන්නට ඔහුට භාෂාවේ ගැටලුවක්ද තිබුනේය. මේ මාස දෙක තුනට අම්රිතා සමග අදහස් හුවමාරු කරන්නට පුළුවන් තරමේ ඉංග්‍රීසි , සිංහල හා හින්දි වචන මිශ්‍ර වූ භාෂාවක් ඔහු තනාගෙන තිබුනේය. එහෙත් ඒ භාෂාවෙන් දුක කියන්නට බැරිය. කේන්තිය කියන්නට බැරිය.  . තමා හැර අන් සියලු දෙනාට මනොරන්ජන්ට, නංගිලාට, අම්මාට පමණක් නොව සිල්වාට හා මිස්කින්ට පවා ඉංග්‍රීසි බස හසුරුවනට පුලවන් වී තිබියදී තමාගේ බැරිකම ගැන අසේලට යලිත් වරක් අසේලට ආත්මානුකම්පාවක් ඇති වී තිබුනේය.

එහෙත් ඔහු දන්නා භාෂාවෙන් අම්රිතා සමග ප්‍රශ්නය කතා කරන්නට තීරණය කළේය .
" ඔයා දන්නවද මනෝ මහත්තයා    මහා කරදරේක පැටලවෙන්නයි යන්නේ?" අසේල කීවේය.  කිසිදාක සිය ඉහල නිලධාරියා ගැන ඔහු නැති තැනක නරකක් කියා නැති අසේල මේ කියන්නට හදන්නේ කුමක් කියන්නදැයි අම්රිතා විමතියෙන් බැලුවාය '

" මෙහෙමයි අම්රිතා අපේ බොස්ගේ  ඔලුව අවුල් උනොත් මේ එක එක ජාති හින්දා අපිට අට විසි මහල හදා ගන්න බැරි වෙනවා . ඒක අපි කාටත් හොඳ නෑ "

" මොකක් ගැනද ඔයා ඔය කියන්නේ අසේල ?"
" මම කෙලින්ම කියන්නම් . මනෝ  මහත්තය මේ එහා පැත්තේ මුඩුක්කු  ගෙදරක කෙල්ලෙක් එක්ක යාලු වෙලා . ඒ ළමයාගේ චරිතේ  හොඳ නෑ කියල මට රාධා කිව්වා "

අසේල බලාපොරොත්තු වුනේ අම්රිතා ශෝකයට හෝ කෝපයට පත් වෙනු ඇති බවයි. ඒ වෙනුවට ඈ මහා හඬින් සිනා සුනාය .
" අයියෝ අසේල ඕක දැන ගත්තාමද ඔයා අර පිටිපස්ස ගිණි අරං  අම්මටවත් කියන්නේ නැතිව යන්න පිටත් වුනේ . ඔයා හරි බොළඳයි අසේල "

ඉන්පසු ඈ යලි වගකීම් සහගත ඉරියව්වක් මුහුණින් පළ කරමින් මෙසේ ඇසුවාය .
" හරි දැන් කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියල "

අම්රිතාගේ මුල් ප්‍රතිචාරය පිලිබඳ අසේල කෝපයට පත් වී සිටියත් හෙමිට හෙමීට කතාව පටන් ගෙන නෙතදරා පිලිබඳ ඔහු දන්නා සියලු පුවත්  දිග හැරියේය .

එය සාවදානව අසාගෙන සිටි අම්රිතාගේ මුහුණේ පිටතට පෙනෙන කිසිදු වෙනසක් සිදු නොවුනමුත් ඇගේ අභ්‍යන්තරය තුල යම් වෙනසක් සිදු වෙමින් තිබුනේය  . අසේලට නෑසෙන්නට ඈ හිතින් පමණක් කී කතාව මේ විදිහය.

' අසේල මෙහෙමයි. මනෝ වයසින් මේරුවත්  එයත් බොළඳ මනුස්සයෙක්. තමන්ගේ හිත ඇතුලෙම තියෙන පුරාජේරු කම් , මුරණ්ඩුකම් හින්දා අනන්ත විඳවපු මනුස්සයෙක්. ඒත් එයා කියන්නේ එහෙම නෙවෙයි කියල. කැම්පස් එකේ දෙවැනි අවුරුද්දට එනකම් විතරක් ඉගෙන ගෙන යන්තම් පණ බේරාගෙන රටින් පැනගත්තා . ඊට පස්සේ ඩුබායි වල සයිට් එකක දැන් ඔය අසේල කරන රස්සාවම කර කර ඉන්නකොට තමයි අපි හම්බුනේ .මේ කාලේ අපේ ජීවිතේ මොන තරම් ලං වීම් ඈත් වීම් උනාද ? එතකොට  රිචර්ඩ්" . අසේලට මම මේ කතා සේරම වෙලාවක කියනවා "

අසේල  රාවතාවත්ත හන්දියෙන් රිය දකුණට  හරවා  "අම්රිතා මිස් මොනාද ඒ ගමන කල්පනා කරන්නේ?" කියා ඇසුවේය .
තමාගේ තෙත් වී තිබු දෑස කවුළුවෙන් එලියට යොමු කරමින් ඈ බොරුවක් කීවාය .

" නෑ මම කල්පනා කරේ ඊයෙයි අදයි මොන තරම් දේවල් අලුතින් දැක්කද කියල. අපි කොච්චර දුර ගියාද? . මේ වෙනකම් කිසිම ගමන් මහන්සියක් දැනුනේ නැ. හැබැයි දැන්නම් ටිකක් ඔලුව කකියන්න පටන් ගත්තා "

එසේ කියත්ම රිය විල්ලෝරාවත්ත හන්දියට ආසන්න වෙමින් තිබුණි.

"අසේල ඔය ඉස්සරහ පොඩි කඩේ ලඟින් දකුණට හරවන්න" ඈ කීවාය "

විශාල මිදුලක් තියෙන කුඩා හුරු බුහුටි ගෙදරක වසා නොතිබුණු ගේට්ටුවෙන් රිය ඇතුල් වුණි.  මහලු යුවලක් ඉස්තෝප්පුවේ වාඩි වී පාර බලා සිටියෝය .

 අම්රිතා රියෙන් බැස මහලු යුවලට ආචාර  කොට ගෙදර වම් පැත්තේ තිබු ඇනෙක්සියේ දොර හැර ඇතුලත විදුලි පහන් දැල්වුවාය  . ඉන්පසු  කතාවක් බහක් නැතිව පැමිණ රියේ පිටුපස තිබු  සිය ගමන් බෑගය හා ආම්පන්න තනිවම ඔසවා ගෙන ගොස් ගෙතුලින් තැබුවාය . ඈ යලි පැමිණියාය . ඒ වන විට අසේල රිය ආපසු හරවාගෙන පිටත්වී යන්නට එන්ජිමේ සැර දමමින් සිටියේය .

' අසේල චුට්ටක් ඔහොම ඉන්න මම ආපහු එනවා " ඇය කීවාය.
අසේල තරහ මුහුණ නොපෙනවා එන්ජිම නිවා දැම්මේය. අසුන පිටුපසට කඩා හාන්සි වුනේය . පානදුරේ යන ගමන් තමන් කුහුලෙන් හා කිතියෙන් සිතු අම්රිතා ආපසු ඇරලවන බලාපොරොත්තුව පිළිබඳව වත් ඇගේ නිවෙසට ගොඩ වීමේ ආසාව ගැනවත් දැන් ඔහුට මතකයක් තිබ්බෙම නැත .

අසේල නැවත අවදි වද්දී අම්රිතා අලුත්ම ඇඳුමක් ඇඳගෙන, තෙත කෙහෙවල්ල යන්තමින් බැඳගෙන පැමිණ සිටියාය . අගේ අතේ ඇලුමිනියම් පාට කෑම බඳුනක් හා ප්ලාස්ටික්  බෑගයක් තිබුනේය . ඈ හඬා ඇති බවක් නොපෙනුනේ මුහුණ පුරා අලුත් වත්සුණු තවරාගෙන සිටි නිසාය . ඇය නොකියාම පැමිණ ඉදිරිපස වම් පැත්තේ දොර ඇර වාඩි වුනාය .

" යමු " ඈ  කීවාය . අසේල රිය පණ ගන්වද්දී ඔහුට රියේ ඩීසල් සුවඳ පරයා නැගෙන මිහිරි  සැවන්දරා මල් සුවඳක් දැනුනේය .

ඔහු කොහේදැයි නෑසුවේය. වැඩබිම බලා යන්නට සිතාගෙන රිය පදවුවේය . අම්රිතා  කතා කළාය.

" අසේල දැන් අපිට විහිලු කරන්න කාලයක් නෑ. අපි තුන් හතර දෙනාම සීරියස් වැඩ කරන්න ඕනි . මනෝ වුනත් ඔය කල්පනාවලින් ගලවාගෙන වැඩට ඇදලා ගන්න ඕනි . අපි අද රෑ කොහොම හරි මේ ලිය කියවිලි ටික පිලිවෙලක් කරලා වැඩ ටික ප්ලෑන් කරමු . මනෝ අපට ගොඩක් කලින් , වැඩ පටන් ගන්නත් මාසෙකට දෙකකට කලින් මේ සයිට් එකේ ඇවිත් පදිංචි වෙලා හිටියේ . එයා ඉස්සෙල්ලම කලේ මේ ගම්වල, වැල්ලේ පාරේ හැම තැනම ඇවිදලා අපි ඉන්නේ මොන වගේ තැනකද කියල හොයල බලන එක . ඒකත් ඉතින් බිල්ඩිමක පදනමට ඕනි . තට්ටු විසි අටේ බිල්ඩිම හැදෙන්නේ ඔය කණු ටික උඩම නෙවෙයි. අපි හැමෝම එකතු කර ගත්ත අවබෝදේ උඩ'" එසේ කී ඈ දෙස අසේල පුදුමයෙන් මෙන් බැලුවේය.

ඒ බැල්මෙන් පසු ඈ යලිත් සිතින් පමණක් කතා කළාය.
" මනෝ මොනතරම් දක්ෂ වුනත් එයා  ලේසියෙන් වැඩ වරද්දා ගන්න  කෙනෙක්. මම කී පාරක් බේරාගෙන තියෙනවද. එයාට තියෙන ලොකුම දුර්වල කම් තමයි අධි තක්සේරුවයි ඕනිවට වැඩි අවංක කමක් පෙන්නන්න යන එකයි . මනෝගේ ඔලුව වැඩ වලින් පිරෙව්වේ නැත්නම් එයාගේ මනස අයාලේ යනවා . ඊට පස්සේ අකරතැබ්බ . දැන් ඉතින් තට්ටු විසි අටම හදල ඉවර වෙනකම් එයාව  හිර කරන්න ඕනි. දැන් ඇහැරවල ගෙන්න ගෙන මේ කෑම ටික කන්න දෙනවා. ඊට පසේ එයාට ටිකක් පම්පෝරි ගහන්න දෙනවා. ඉන් පස්සේ පළමු තට්ටුව දාල ඉවර වෙනකම් හැම දේම සැලසුම් කරලා ඉවර කරනවා . අද රෑම. ඔව් අද රෑම "

රථය වැඩබිමට ඇතුළුවන විට රාත්‍රී දහය පසු වී තිබුනේය . ගේට්ටුවේ  විදුලි බුබුල  මිස අන් හැමතැනම අන්ධකාරයේ ගිලී ඇතැයි සිතා සිටි වැඩබිම මුළුමනින්ම ඒකාලෝක වී තිබුනේය.

කුහුල් සිතින් වැඩබිම් කන්තෝරුවට ඇතුළු වූ අසේල හා අම්රිතා දුටුවේ කන්තෝරු ඇඳුමින් සැරසී සිල්වා හා මිස්කින් පසෙකින් සිටුවාගෙන වැඩ කරන මනෝ රන්ජන්ය.
සැලසුම් වල පිටපත් අතින් ඇඳි පාට සලකුණු සමග බිත්තියේ  හැම තැනම  එල්ලා තිබුනේය .  විශාල කාල  සටහනක අවලස්සන අත් අකුරින් පළමු තට්ටුව දමා අවසන් වන තුරු සියලු වැඩ පියවරෙන් පියවර පෙන්වා තිබුනේය.

'ඔයා තනියම ෆස්ට් ෆලෝ එකේ ස්ලැබ්  එක දැම්මා එහෙනම්?'
ප්‍රීතියෙන් පිනා ගොස් සිටි අම්රිතා කීවාය. මනෝරන්ජන්ද සතුටින් සිටියේය . ඔහු පැමිණ අම්රිතා  වැළඳ ගෙන පිලි ගත්තේය.

' අසේල ගිහින් වොෂ් එකක් දාගෙන එන්න " ඔහු කීවේය


-මීළඟ කොටස මැයි 11 වන සඳුදා -
 .


Image Source: Gulf News


අටවිසි මහල පටුන

කතා  කොටස් විසි අටම පිළිවෙලට මුල සිට නිවී සැනසිල්ලේ කියවන්න . මේ  අටවිසි මහල පටුනයි .

විසිඅටවෙනි මහල -හයවන පරිච්චේදය
පස්වන මහලින් ඉහළට- හයවන පරිච්චේදය 
විසිහත්වන කොටස- ඒ අපූරු ටිබෙට් ගමන 
විසි හය වන කොටස-මනෝගේ දිනපොත හොරු ගනී 
සිව්වන මහල -පස්වන පරිච්චේදය 
විසි පස්වන කොටස- අසේලගේ පාපොච්චාරණය 
විසිතුන්වන කොටස - අසේල දඹුල්ලෙන් කොළඹට 

තෙවන මහල -සිව්වන පරිච්චේදය 
විසි දෙවන කොටස - එක්සයිට්මන්ට්ස් 
විසි එක්වන  කොටස - ගුවන් තොටින් පානදුරට  
විසිවන කොටස - අම්රිතාට විවාහා යෝජනාවක් 
දහනව වන කොටස - අම්රිතාගේ දියණිය 

දෙවන  මහල- තුන්වන  පරිච්චේදය 

දහඅට වන කොටස - දඹුල්ලේ රාත්‍රියක්
දහහත් වැනි කොටස - සර් මට සමා වෙන්න
දහසයවන කොටස- අසේලට ස්ථාන මාරුවක්

පළමු මහල- දෙවන පරිච්චේදය 
පහළොස්වන කොටස - තාත්තලාගේ කතා 
දහහතරවන කොටස -සිල්වාට ගැහුවේ කවුද ?
දහතුන්වන කොටස -පේරාදෙණියෙන් ලියුමක් 
දොළොස්වන කොටස - පින්තුරයේ සිටි දරුවා කවුද ?
එකොළොස්වෙනි කොටස - අම්රිතා මහ රෑ වැඩ බිමට ආවේ ඇයි?
දහවන කොටස - සව් බොරවා පාර්සලය
නවවැනි කොටස - පොකුටු නන්දේගේ ආක්‍රමණය
අටවැනි කොටස - රාධා හා අනුරාධා


බිම් මහල- පළමු පරිච්චේදය 

හත්වන කොටස - අම්රිතාගේ නවාතැන
හයවන කොටස - පලු කෑම හා තුන්පත් රෑන
පස්වන කොටස -කානේෂන් මල් දෙක
හතරවන කොටස - වැඩබිමට ආ සුන්දරිය
තුන්වන කොටස -  අසේල ඉන්ටවිවී එක පාස්
දෙවන කොටස -  අසේලගේ  පාපොච්චාරණය
පළමු කොටස - පොළවෙන් මතු වූ බෝනික්කා

Monday, April 27, 2020

අටවිසිමහල 10 ( පළමු මහල )


කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ දහවෙනි කොටසයි මේ ( අප සිටින්නේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය)  මීට පෙර කොටස් මෙතැනින් .

වම්පැත්තෙන් පෙනෙන ලුනාව කලපුව දෙස බලාගෙන මනෝරන්ජන් කතා කළේය .
"පිරිමියෙක් ගෑනියෙකුට  ආකර්ෂණය වෙන එක , කොල්ලෙක් කෙල්ලෙකුට නැත්නම් කෙල්ලෙක් කොල්ලෙකුට  නොදැනීම ලං වෙන එක වරදක් නෙවෙයි අසේල. ඒකට වයස පරතරයක් නෑ. වෙන බේදයකුත් නෑ . අන්තිම සොබාවික දෙයක්  . ඒත් ඒ වැඩේ පාලනය කර ගන්න එක තම තමන්ගේ වුවමනාවෙ හැටියට තමයි. එච්චර කලබල වෙන්න දෙයක් නෑ . සමහරු ඔලුව ගල් වෙනකම් මේවා නිසා විඳවනවා . අසේල පොත් කියවලා නැති නිසා විරාගය ගැන දන්නේ නැතිව ඇති . මම ෆෝචුන් බුකියට ගිය දවසේ නෙතදරා ගාව තිබ්බේ කේ ජයතිලකගේ ' චරිත තුනක් " පොත . විරාගයේ අරවින්ද වගේම චරිත තුනක් එකේ ඉසාත් දෙන්නම  මොකක් හෝ නොගැලපිල්ලක් ගලපගන්න බැරිව වුවමනා වෙලාවට අඩියක් ඉස්සරහට තියන්න බැරිව සාගරයක් තරම් දුක් වින්ද දෙන්නෙක්. ඇයි මිනිස්සු ඔච්චර විඳවන්නේ ?. තමන් කැමති කෙනා මුඩුක්කුවක ඉඳල හම්බුනත් මාලිගාවක ඉඳල හම්බුනත් එයා දකිද්දී හිතට අමුත්තක් තේරෙනවනම්  , සතුටක් දැනෙනවනම් එතැන මොකක් හරි  සම්බන්ධයක් තියෙනවා. මේ හැමෝම කසාද බඳින්න ඕනි කියලවත් පෙම් සුව විඳින්න කොහේ හරි අරන් යන්න ඕනි කියල එකක්වත්  නෑ. විවෘතව  කතා කළා. දැනෙන දේ වින්දා .එච්චරයි"

ඉසා ගැනවත් , අරවින්ද ගැනවත් කියවලා නොතිබුනා වුනත් අසේලට තේරුනේ මනෝරන්ජන් කතා කරන්නේ ඇත්ත හංගාගෙන බවය . එහෙම නැත්නම් ඔහු කියන දේවල් ප්‍රායෝගිකව වෙන්නට බැරි දේවල් බවය .

"අනික බලන්න අසේල අපේ රටේනේ මේ කොල්ලෙක් කෙල්ලෙක් එකට හිටියොත් , ගමනක් බිමනක් ගියොත් , පොතක් බෙදාගෙන බැලුවොත්, දෙන්නට දෙන්නා  උදව් කර ගත්තොත් උන් දෙන්නා ආදරවන්තයෝ  කියල හිතන්නේ . අසේලත් පුළුවන් වෙච්ච දවසක රටෙන් එලියට බැහැල බලන්න . නැත්නම් අම්රිතාගෙන් අහන්න.  කිසි බයක් නැතිව ඕනි පිරිමි ගොඩක් එක්ක දවසක් ඉන්න හරි,   ඕනි ගමනක් යන්න හරි එන්නේ එයා උන් එක්ක ප්‍රේම සම්බන්ධතා තියෙන හින්දද ? නැත්නම් උන් එක්ක එකට නිදා ගන්න ඕනි  හින්දද? නෑ ! "

" මං  ෆෝචුන් රේස් බුකියට ගොඩ වෙලා බැලුවේ මමත් කාලයක් බුකියක බුක් කීපින් කරපු මතකෙට . මටත් හිතුනා නිකමට වගේ ඔට්ටුවක් දාලා බලන්න "
අසේල පුදුමයෙන් මෙන් ඔලුව උස්සා මනෝරන්ජන් දෙස බැලුවේය .    රහස් මතක ගබඩාවකට වැරදීමකින් අනෙකෙකුට  දොර හැර දෙන්න හැදුවා නේදැයි මනෝරන්ජන් බියට පත් වුනේය .
ඉන්පසු ඔහු  කතාව වෙනතකට යොමු කරන්නට වල්පල් දෙඩවුයේය . ඒවා මනෝරන්ජන් දැන් මොහොතකට කී  වදන් හා ගැලපුනේ නැති බවක් ඔහුට වැටහුනේය . .

" මම ඒ කෙල්ලට කැමතියි අසේල . ඒ කෙල්ලත් මට කැමතියි කියල දැනෙනවා . ඒකෙන් කියන්නේ නෑ අපි දෙන්නා කසාද බඳින්න ඕනි කියල. මට ඉස්සෙල්ලම ඕනි වුනා මේ වත්තේ ඉපදිච්ච කෙල්ලකට ' නෙතදරා' වගේ නමක් දැම්මේ කවුද කියල දැන ගන්න . ඊළඟට ඒ ළමයා අර වගේ පොතක් පතක් කියවන්න පුරුදු වෙලා තියෙන්නේ කොහෙන්ද කියල දැනගන්න  . නෙතදරා ඒ ලෙවල්  පාස් වෙලා හිටියේ. කැම්පස් යන්න ලකුණු මදි හින්දා බුකියේ වැඩ කළා. එයාගේ අම්මත්  කොන්වන්ට්  එකක ඉගෙන ගත්තු පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්ලු.  ඒ අම්මගේ ගෙදර තීන්ත ගාන්න  ගිය බාස්ගේ  ගෝලය තමයි පොකුටු නන්දේ. දෙන්නා යාලු වුනා .පැනලා ආවා . අම්මගේ  යාලුවෙක් තමයි නෙතදරා තෙලවල ඉස්කෝලෙන් අස් කරගෙන පානදුර සුමංගලේට දාලා උගන්නලා තියෙන්නේ . කෙල්ල හිතන විදිහ වෙනස් . මඩේ පිපුන නෙළුමක්"

එසේ කියා මහා හඬින් සිනාසුනු මනෝරන්ජන් නැගිට හුළං අතට මුවා වී සිගරට්ටුවක් දල්වා ගත්තේය .

අසේල කතාවේ අමුතු ඉසව්ව රස විඳිනා අතරේ මනසින් බූස්සේ කඳවුරු ජීවිතයට  ගියේය . මනෝ මහත්තයා කියන ගොඩක් පොත් ඔහු කියවා නැති වීම පිලිබඳ ශෝකයක් ඉපදිණි . එමනිසා  ඇති නැති ගානට තිබු ඔහුගේ ගර්යවයට යම්තමින් හෝ  හානි කළ බවක් ඔහුට දැනුණේය.

"  අපි ගොඩක් පොත් කියෙව්වා කඳවුරේ ඉද්දි. පොතක් හම්බුනේ කලාතුරකින් . එහෙම ලැබිච්ච  පොත එකෙක්  අරන් කියවනවා. වටේ ඉන්න සේරම අහගෙන ඉන්නවා. පත්තරයක් හම්බුනත් එහෙමයි. ඒකෙ පලවෙනි පිටුවේ තියෙන පත්තරේ නමේ ඉඳන් අග පිටුවේ පහළ කෙලවරේ තියෙන මෙය අහවල් අය විසින් අහවල් තැනදී මුද්‍රණය කරන ලදී ' කියන එකට එනකම් කියවනවා. ප්‍රවෘත්ති විස්තර, කෙටි කතා , චිත්‍රකතා විතරක් නෙවෙයි නම මාරු කරපු දැන්වීම්, මරණ දැන්වීම් උනත් ලස්සනයි . ඒ පත්තරේ තිබ්බ විස්තර  තරම් සමහර පොත් ලස්සන නෑ කියල මට හිතුනා මහත්තයා. ඒක හින්දා තමයි පස්සෙවත් මට පොත් කියවන ආසාවක් දැනුනේ නැත්තේ  "

මනෝ රන්ජන් යළි හඬ නගා සිනාසුනේය .

++++++++=

මනෝරන්ජන් දිනපොත ලියමින් සිටිනා හැන්දෑවේ , තරුණියන් තිදෙනාත් සමග ගාලු පාර දිගේ පානදුර දෙසට ඇදෙන රියේ සිටි අසේල වාහනය රාවතාවත්තෙන්  පිළියන්දල පාරට හැරෙව්වේ අම්රිතා නතර වී සිටින්නේ ඒ පාරේ බව දන්නා  නිසාය .
" නෑ අපි ඕගොල්ලන්ගේ ගෙදර ගිහින්ම එමු . නංගිලා ඇරලවලා එනකොට මාව ඇනෙක්සියෙන් දාන්න "
ඒ කතාවත් සමග අසේලගේ හිතේ සියුම්  කිති කැවීමක් ඇති වුනේය . මනෝරන්ජන් රථයෙන් බැස්සාට පසු අසේල බලා සිටියේ  අම්රිතා පැමිණ ඉදිරි අසුනින් වාඩි වන තුරුය.  ඒත් ඈ ඒ වෙනුවට අනුරාධා ඉදිරි අසුන වෙත එව්වාය "
" යන්න අනූ. අයියා ලඟින් වාඩි වෙලා යන්න ආසා ඇතිනේ " මේ වෙලාවේ රාධා තුළ තුනී ඉරිසියාවක් ඇති වූ නමුත් සිය සොයුරියගේ සතුටු මුහුණ දැක සැනසීමක් ලැබුවාය .  " අපි දෙන්නටම අයියෙක් තාත්තෙක් නැති සෑහෙන කාලයක් තිබ්බා . වැඩියි වැඩියි ඒ කාලේ හොඳටම දිග වැඩියි " එසේ සිතද්දී රාධාගේ දෙනෙත් තෙත්  වී දෙකොපුල් දිගේ කඳුළු පේළියක් බේරී ආවත්  ඇය එය වසන් කරන්නට උත්සහයක් නොගත්තාය '
 අම්රිතා මේ සියල්ල දෙස බලා සිටියාය . රාධා හඬන්නේ ඇයිදැයි ඇය තේරුම් ගත්තාය . ඇය ඉන් සතුටක් වින්දාය . සුපුරුදු විඳීම .ජීවිතයේ ශෝක රසය .

පානදුර පින්වන්තේ කුඩා පන්සලක් අසලින් ගොඩබිම පැත්තට හැරවූ රිය ගල් ගැලවුණු තාර පාර දිගේ ගැස්සෙමින් යද්දී අනුරාධා මෙසේ කීවාය "
"බලන්නකෝ අයියේ මම හිතාගෙන ගිටියේ අර අනුරාධපුරෙන් එහා ගම්වලට යන පාරවල්වලට  වඩා අපේ පාර හොඳ  ඇති කියලනේ. දැන් බැලුවම අපේ පැත්ත වන්නියටත් අන්තයි "

තිදෙනාම සිනා සුනෝය. ඒ අතරේ අසේල  අටේ පන්තියට එනතුරු ඉස්කෝලේ ආගිය  පාරේ කොට කලිසමක් ඇඳගෙන පයින්ම ඇවිද යමින් සිටියේය. ඔහු පසු පස සුදු ගවුම් හැඳගත් හයේ පන්තියේ සිටි එක වගේ කෙල්ලන් දෙන්නෙක්ද ගාට ගාටා ඇවිද එමින් සිටියෝය . දැම්මම ගෙදර  ගියාට එය ගෙදරක් වෙන්නේ කළුවර වී තාත්තා ආවාට පසුවය . මොනවා හෝ උයා තබා කතාවක් බහක් නැතිව අම්මා සුපුරුදු ප්ලාස්ටික් පුටුවට වී වාඩි වී මුළු හවස් වරුවම  සිටින්නීය .
තාත්තා එනවා යැයි පළමු ඉව වැටෙන්නේ ගෙදර සිටි පුසාටය . ඊළඟට  බුලාටය. ඌ වලිගය කැඩෙනතුරු කරකවමින්ගේ ගේට්ටුව දෙසට දුවයි. ගෙදර ඉදිරිපස පාරේ ටික දුරක් ගොස්  වත්තේ කෙලවරේ ගේට්ටුවෙන් කාරය ගෙමිදුලට ගන්නා විට පෙරමුණට විත් සිටින්නෝ පස් දෙනෙකි. පුසා, බල්ලා , අසේල හා නංගිලා දෙන්නාය. තාත්තා මේ හැමෝටම මොනවා හෝ දෙයක් රැගෙන එයි. මොටයි, සීනි බනිස්, නෙලකඩල, සව් බොරවා, 
' සව් බොරවා පාර්සලය අසේලට දෙන තාත්තා, "සේරමල්ලා බෙදාගෙන කාපල්ලා" කියා  කීවත් එලෙස  ගෙනා කිසි දෙයක් අම්මානම් කෑවේ  නැති බව අසේලට මතක් වුනේය. ඒත් අම්මා එසේ කළේ  ඇයි කියා දැන් අසේල දනී.
ගෙදර මිදුලට රිය  හරවන විටම මිදුල පිළිවෙලක් වී අලුතින් මල් පෝච්චි තබා තිබෙනවා අසේල  දුටුවේය. මින් මාස කීපයකට කලින් ඔහු මෙහි ආවේ අවුරුදු දොළහකට  පසුවය.  ඒ අවුරුදු දොළහටම  ගෙදර හෝ වටාපිටාව මොනම වෙනසක්වත්  ලබා නොතිබුණද දැන් මේ ළඟක සිට  එය වෙනස් වී තිබේ. ගෙදර සියලු දෙනාගේ මනසේ පැල් බැඳගෙන තිබු පාලු හුදෙකළාව තමන්ගේ පෙරළා පැමිණීම නිසා මැකී ගොස් ඇති බව ඔහුට වැටහුනේය .

අම්රිතා හැමෝටම පෙර ආඩම්බරෙන් රියෙන් බැස එද්දී පානදුර අම්මා පැමිණ ඈ වැළඳ ගත්තාය .

ජීවිතයේ කිසිදා නොදුටු ප්‍රබෝධයකින් පානදුරේ අම්මා කෑම පිළියෙළ කර  දුන්නාය. අලුත් බල මාළු ලොකුවට කපා මිරිසට උයා රතු හාලේ බතකුත් සම්බලයක් හා එළවළුවක් පමණක් වූ ඒ ආහාරය ඉතාමත් ප්‍රනීත එකක් විය .
හතරවටින්  කරුවල වැටී තිබුනේය.  පිටත්වන්නට සැරසෙන අසේල අතින් ඇදගෙන " එන්න අයියේ බඩ්ඩක් කියන්න තියෙනවා ' කියමින්  පසෙකට කැඳවා ගිය රාධා මෙසේ කිව්වාය.
" අයියේ මම දවල් දැක්කේ නෑ වගේ හිටියට මම බලා හිටියා ඔයාලගේ මනෝ මහත්තයා කවුරු හම්බ වෙන්නද අඹේපුස්සේදී තදියමේ  බැස්සේ කියල "

අසේලගේ ඇස් ඉහළ ගියේය.

" ඔයා කොහොමද  නංගී එයා  ගැන දන්නේ ? "

" මම මොකද නොදන්නේ එයා අපේ පන්තියෙනේ හිටියේ .  එයා දක්ෂයි. ලස්සනයි. ඒත් අයියේ එයා එච්චර හොඳ  ළමයෙක්නම්  නෙවෙයි " කී ඇය සිය සොයුරිය හා අම්රිතා අසලට දිව ගියාය.

අසේල සිටි තැනම ගල් වී බලා සිටියේය

මීළඟ කොටස

Photo Source-Bigstock
"






Thursday, April 23, 2020

අටවිසි මහල -9 (පළමු මහල )



අටවිසි මහල නවකතාවේ නව වැනි කොටසයි මේ ( අප සිටින්නේ පොතේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය) පෙර කොටස් මෙතැනින්

එදා හවස නංගිලා හා අම්රිතා නිවෙස්වලට ඇරලවීම අසේලට බාර දී වැඩබිම ලඟින් බැස ගත් මනෝරන්ජන්  සිය නවාතැනට ගොස්   ඇඟපත දොවා ගත්තේය .  සිල්වා දෝතින්ම අල්ලා ගෙනත් දුන් කිරි කෝපි කෝප්පය රස වින්දේය.
"තේ එක හොඳයි පුතා " මනෝරන්ජන් තමන්ට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සිල්වාට පුතා යැයි කියද්දී සිල්වා හිනැහුණේ වෙන කාරනයකටය .
" ඔය තේ නෙවෙයි  බොස් කෝපි. නිකම් කෝපිත් නෙවෙයි කිරි කෝපි "
" හරි හරි මම පුරුද්දට වගේ කිව්වේ.  තැන්කිව් සිල්වා අපි නැති දවසේ මේ ටික බලා ගත්තට"
මනෝ රන්ජන්ට සිතුනේ  සිල්වා හිතුවටත් වඩා හොඳ මනුස්සයෙක් බවයි .
 " හිතේ කහටක් නැති හාදයා " මනෝරන්ජන් තමාටම කියා ගත්තේ ආපසු හැරී යන සිල්වා දෙස බලමිනි.
ඊළඟට ඔහු කඩිමුඩියේ යතුරු ලා තිබු මේස ලාච්චුව ඇර සී ආර් පොත  එලියට ගත්තේය .සීරුවට ලියන දිනපොත . ඒත් ඔහුට නුපුරුදු   බවක් දැනුනේය.
වෙනදානම්  ඔහු සතියේ දින වාර්තාව ඉංග්‍රීසියෙන් ලිව්වාට පසු එය තවත් වතාවක් කියවා බලා කාමරේ දොර වහගෙන දිනපොත ලියන්නට පටන් ගනී . ඒත් අද එසේ පිළිවෙලට කරන්නට ඕනෑ නැත. සයිට් එකේ වැඩ ආයෙමත් පටන්ගන්නේ හෙටින් පසුවය. දොර වසා දැමීමට වුවනාවක් නැත . සිල්වා හැර වෙන කවුරුත් මේ වෙලාවේ එන්නේ නැති බව ස්ථිරය.

ඔහු ලියන්නට පටන් ගත්තේය .

කැබිතිගොල්ලෑ හමනේ විස්තර එහෙන් මෙහෙන්  ලියු ඔහු අඹේපුස්සේදී නෙතදරා  යලි හමු වීම ගැන කොළය පිරෙන්නට ලියා තිබුනේය.
සයිට් එක අද්දර  සිටි නෙතදරා නොකියා අතුරුදන් වී මාසයකට පසු මේ ආකාරයෙන් හෝ යළි දකින්නට ලැබීම ඔහුගේ සිත ප්රීත්මත් කර ඉන්පසු වගකීම් සහගත බරක් පැටවූ බව එහි ලීවේය. ඉන්පසු යලි කල්පනාවට වැටුනේය .
සයිට් එකට ගොඩ බැස සති කිහිපයක්  යද්දී සිදු වූ සිද්දීයක් මෙසේය . ඒ අසේල විතරක් නොව සිල්වාත් වැඩට  එන්නට  පෙරය.  අම්රිතා ආවෙත් මේ සිද්දියට පසුය.     මුහුද පැත්තේ තාවකාලික තහඩු වැට ගසා හමාර කොට  වම් පස වැටේ කණු හිටවන්නට පටන් ගත් දවසය . ඒ පැත්තේ ගෙවල් පේලිය වැසෙන්නට ටාපොලින් රෙද්දක් දිගට ඇද පයිප්ප බට ගසා තිබුනේය. එය ටිකෙන් ටික අයින් කරමින් අලුත් කණු හිටවා ශක්තිමත් තහඩු බිත්තිය හදද්දී කාගේදෝ අතින්  වැඩබිම මායිමෙන්  යන වතුර  බටයක් කැඩී ගියේ හොඳටම කළුවර වැටී තිබියදීය .
කළුවරේ දනිපනිගා  වතුර උතුරා යාම වලක්වා  වතුර බටයට ඇබයක් ගසා ගත්තද  පෙර තිබුණු පරිදි හදා ගන්නට බැරි වුනේය. "හෙට උදේම වෝටර් බෝඩ් එකට කියලම වැඩේ කරනවා" මනෝරන්ජන් සිතුවේය.
පහුවදා උදෙන්ම රිචර්ඩ්  කන්තෝරුවට  ආ නිසා මනෝරන්ජන්ට කැඩුණු වතුර බටය මුළුමනින්ම අමතක වුනේය .

වැඩබිමේ හතර මායිම් හා ගොඩනැගිලි සීමා සහිත ලොකු ට්‍රේසින් කරදාසිය  රැස්වීම් මේසය මත දිග හැරගෙන  බරසාර සාකච්චාවක යෙදී ඉන්නා වෙලාවේ  ගේට්ටුවේ මුරකරු තල්ලු කරගෙන දෙදෙනෙක්  ඇතුළු වන්නට උත්සහ ගත්හ . එකෙක්ගේ කරේ සාලුවකි . කටේ සුදුපාට පෙන පුරවාගෙන දත් මදිමින් සිටියේය. අනෙකා  බෙලෙක්  පනිට්ටුවක් හා සබන් පෙට්ටියක් අතේ එල්ලාගෙන  යට කලිසමකින් පමණක් සැරසී  සිටියේය  .
" කෝ තමුසෙලා  මහා ලොකු මහත්තුරු?. අපි අවේ අද මෙහෙ පදිංචි වෙන්න  " සෙකුරිටි අමරේ ඔවුන් දෙදෙනා ඇතුලට එන්නට නොදී නතර කර ගැනීමට උත්සහ දරයි. මිස්කින් ඔහුගේ සහයට ආවත්  කලහකාරීන් දෙදෙනා ඒ දෙන්නාත් පෙරලාගෙන ගේට්ටුව ඇරියෝය.
කවුරුත් සිතා සිටියේ මේ ගොරියට  එන්නේ  මින්නිසුන් දෙදෙනෙක් පමණක් බව වුනත් උන් දෙදෙනා පසු පසින් විවර වූ ගේට්ටුව  තුලින් වැඩබිමට ඇතුළු වුවේ අමුතුම ජන කොටසකි.
දිය රෙදි හැඳ ගත් ගැහැණුන්, පොලු මුගුරු ගත් කොල්ලන්  හා  අමු හෙලුකොට්ටෙන් සිටි ළමයින් පිරිසකි. කීප දෙනෙක්ගේ අතේම පාට බේසම් , රෙදි පොට්ටනි  හා සබන් පෙට්ටි තිබුනේය.

කන්තෝරු දොරකඩට ගොස් මේ වෙන්නේ මොකක්දැයි බලා සිටි රිචර්ඩ් හා මනෝරන්ජන් දුටු දාමරික පෙනුමැති මිනිසුන් දෙදෙනා හා පිරිස ඔවුන් වෙත එන්නට පිය මනිද්දී මනෝරන්ජන් තනිවම  ඉදිරියට ඇවිද ආවේ මෙසේ සිතමිනි  . "මටනම්  ඉතිං ගුටි කන්න වුනත් කමක් නෑ. ඒත් මේක ඇතුලෙදි පිටරටක එකෙකුට ගුටි  කන්න වුනොත් ඒක වස වැරැද්දක් "

ගේට්ටුවත් කන්තොරුවත් අතර මැදදී පිරිස නතර වුහ . මනෝරන්ජන් හා පිරිස අතර තිබ්බේ  අඩි කිහිපයක දුරකි .

රිචර්ඩ්ට ඇතුලට යන්නැයි මනොරන්ජන් අතින් සන් කළද ඔහු ගියේ නැත. මිස්කින් හා සිකුරිටු අමරේ පැමිණ මනෝරන්ජන් දෙපස සිට ගත්හ .

" සර් ඔහෙලගෙ අම්මලා ගෙදරින්ද අපි නාන්න බොන්න වතුර ගන්නේ . මේකේ බිල්ඩින් හදනවා දුප්පත් අපේ වතුර බටේ වහලා . මේකේ බිල්ඩින් නෙවෙයි හදන්නේ සොහොන් සොහොන් .  දත් මැද මැද සිටි මිනිසා  සිය කලිසම් වාටියේ රඳවාගෙන සිටි පිහියක් එලියට ගත්තේය.
මනෝරන්ජන්ට හීන් දාඩිය දැම්මේය. "කවුරුත් නැද්දෝ මිනී මරනවෝ" කියාගෙන අමරේ එලියට දිව්වේය.
බිය වූ වගක් නොපෙන්වා මනෝරන්ජන් අතක් ඔසවා

' හෝව් හෝව්! අපි  කතා කරමු. කලබල වෙන්න එපා. වතුර බටේ කැඩුනේ අත් වැරද්දකින් .අපිට සමාවෙන්න .  ඒක තව පැයක් යන්න ඉස්සර හදලා දෙන්නම් . ඕනි කෙනෙක් ඉන්නවානම් මේ  ඇතුලෙන් නාගන්න පුළුවන්"

මනෝරන්ජන් ගේ ස්වරය නිසා ඉදිරිපෙළ කැරලිකරුවන් මෙල්ල වූ බවක් පෙන්වද්දී ගැහැනුන් පිරිස කච බච ගාන්නට වුනෝය ." අපි කොහොමද ළමයි නාවන්නේ .උයන්නේ . ඔය මහත්තුරුන්ට වගේ අපිට ගේ ඇතුලටම වතුර එන්නේ නෑ. මේ අපිට තියෙන දේත් නැති කරොත්  ඔහෙලගෙ  බඩ කඩත්තු බිමට සමතලා කරනවා"   තාවකාලික කන්තෝරු කාමර දෙස බලමින්  ඉතා කෙසඟ කට සැර ගැහැනියක් කීවාය  .

ඉතා ඉක්මනින්  කැඩුණු  පයිප්පය හදා දෙන්න්නටත් ඊටත් කලින්   වතුර බවුසරයක් ගෙන්නා දෙන්නටත්  පොරොන්දු වුනාට පසු  ගින්දර නිවී ගියේය.  උදේ සිද්දියත් සමග රිචර්ඩ් උපදෙස් දුන්නේද පුළුවන් තරම් ඉකමනින් වට තාප්ප හදා භාහිර පරිසරයෙන් වැඩබිම සපුරා වෙන් කර ගත යුතු බවය.

දවල් අහාරය ගෙන නිස්කාන්සුවේ  සිය ප්‍රියතම විනෝදාංශය  වන කොම්පියුටරෙන් කාඩ්  ගසන සෙල්ලම කරමින් විවේකීව සිටි මනෝරන්ජන් වෙත ආ අමරේ කවුදෝ අමුත්තන් දෙදෙනක් ඇවිත් තිබෙන බව කීවේය . ඔහු   අකැමැත්තෙන් වාගේ  ගේට්ටුව ගාවට ගියේ උදේ සිද්දියෙන් පසු ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට නොදන්නා කාටවත් එන්න දෙන්නට එපායැයි අමරේට  තදින්ම  කියා තිබු නිසාය .

ඒ ඇවිත් සිටියේ ෆොර්චුන් බුකියේ කෙල්ලන් දෙනෙනාය .

' නෙතදරා " ඕගොල්ලෝ මොකද මෙහෙ ?

" අනේ මහත්තයා අපිට සමාවෙන්න කියන්නයි ආවේ . අපේ තාත්තා ගමේ කට්ටිය එක්කගෙන ඇවිල්ල මහත්තයාලට උදේ කරදර කලාලු නේද ? අනේ අපි . දන්නවානම් කීයටවත්  මේ ගමන එන්න දෙන්නේ නෑ"

නෙතදරා කඳුළු පුරවාගත්දෑසින් ඔහු දෙස බලා හෙමින් කීවාය.  කවුද ඔයාගේ තාත්තා ? ඔහුට නොදැනුවත්වම මුවින් එලියට පැන්නේය /
" අර නන්දේ කියන්නේ කොන්ඩේ පොකුටු ."
එවිටම පිහියක් අතින් ගෙන ශිල්ප දක්වන්නට ආ මැරයාගේ රුව ඔහු ඉදිරියේ මැවී පෙනුණේය. අපුලක් හා අනුකම්පාවක් එකවරම දැනුණෙන් මනොරන්ජන් ඔවුන් පිටත් කර හැරියේ මෙසේ කියමිනි .
" අනේ කරදරයක් වුනේ නෑ . අපි කතා බහ කරලා ප්‍රශ්නේ විසඳා  ගත්තා . අපේනේ වැරැද්ද. ගෙවල්වලට යන වතුර බැටේ කැඩුවම  හදන්න පරක්කු වෙච්ච එකේ වැරැද්ද "

ඒ කතාවෙන්   පසුව ආපසු යන්නට හැරුණද  නෙතදරාගේ මුහුණේ වරදකාරී හා ලැජ්ජාවට පත් වුනා වැනි පෙනුම ඉතිරි වී තිබුනේය . .

රේස් බුකියට මුලින්ම ගොඩ වූ දවසේ එහි සිටි කෙල්ලන් අත තිබී  කේ ජයතිලකගේ පොතක් ඉල්ලා ගෙන ආ  හැටිත් , ඔවුන් දෙදෙනා කාලයක් සිට දන්නා දෙදෙනෙක් මෙන් තමන්ට රේස් ඔට්ට්වක් දාන්නට නොදී වැළකු හැටිත් ඔහුට සිහිපත් විය.
" මහත්තයා මේ පැත්තේ නෙවෙයි නේද? දැක්කම කියන්න පුළුවන් . මේව තියෙන්නේ මහත්තයාලට නෙවෙයි . ඒ නිසා ආයේ එන්න එපා "
ඉන් පසු කිහිප විටක් ඔහු තනියම බුකියට ගියත් ඔට්ටු දමන්නට අවසර ලබුනෙ  නැත. අසේල ආවාට පස්සෙද ඔහුත් කැටිව කීප වතාවක් බුකියට  ගියේය .

එහි සිටින එක කෙල්ලක් මනෝරන්ජන් දකින විට සතුටින් උදම් වෙන අයුරුත් මනෝරන්ජන් පවා ඈ කෙරෙහි ආකර්ෂණය වෙමින් සිටින බවක් අසේලගේ ඇස ගැටුණු වග මනෝරන්ජන්ට තේරුම් ගියේය .
ඉන්පසු වූ  පොත් හුවමාරු වීම් කිහිපයක් හැරුණු විට කියන්නට තරම් සම්බන්ධයක්  අසේලට  අසු නොවුනත් බොහෝ  දේ සිදු වෙමින් තිබුනේය .

වැඩ රාජකාරී පිරිච්ච නිසා  බුකිය පැත්තේ යන්නට බැරි වූ සතියකට පසු එහි යන විට නෙතදරා එතැනින් ඉවත්ව ගොස් තිබුනේය . ඒ වෙනුවට අලුත් කෙනෙක් වැඩට අරගෙනය . නෙත්දරා ගිය තැනක් කියන්නට කවුරුත් දන්නේ නැත .
" අර වසවර්තියාගෙන් අහන්න කියලයැ? ඔහු සිතුවේ අගේ පියාගේ රුව මවා ගනිමිනි .
එදා හවස ඔහු අසේලත් සමග කලපුව අසල මුහුදු වෙරළට ගියේය. ගල් පතුරක් මත වාඩි වී මෙසේ කිව්වේය.
" අසේල අර බුකියේ ගෑණු ළමයා අස්වෙලා  ගිහින්නේ . කොහෙට ගියාද කියල කවුරුවත් දන්නේ නෑ"

"මේක හොඳ සෙල්ලමක් නෙවෙයි. මහත්තතයා තමන්ගේ  තත්තෙට ගැලපෙන වැඩ කරන්න ඕනිනේ.  අනික වයස් පරතරේ වුනත් අවුරුදු දහයකට වැඩියි :  අසේල කිව්වේය. ඒ වගේ දෙයක් කියන්නට ඔහුට දහිරියක් ලැබුනේ කොහොමදැයි මනොරන්ජන් කල්පනා කළේය .

" අසේල   ඒක කතා කරපු එක හොඳයි. අසේල විරාගය පොත කියවලා තියෙනවද ?  මනොරන්ජ්න් ඇසුවේය .

මීළඟ කොටස 

( මේ මගේ එකසිය පනස් වන බ්ලොග් සටහනයි. 2013 මැයි මාසයේ සිට මා ලියන දේ කියවූ , කොමෙන්ට් ලියා දිරි දුන් , මිතුරන් අතරේ බෙදා ගත් හා නන් අයුරින් ප්‍රචාරය කළ ඔබ සැමට මගේ දයාබර ස්තුතිය. මේ ස්තුතිය බ්ලොග්  සින්ඩිකේටර් සාදා අපට ප්‍රචාරය දෙන සියලු දෙනාටද නොඅඩුව හිමේ වේ )






Image Source; iStock

Sunday, April 19, 2020

අටවිසි මහල 8 ( පළමු මහල )

මේ අටවිසි මහල නවකතාවේ දෙවන පරිච්චේදය වන පළමු මහලේ පළමු කථාවයි .
මින් පෙර කොටස් මෙතනින් බලන්න 


අම්රිතා නතර වී සිටින්නේ කොහේදැයි රේස් බුකියේ කෙල්ලන් දෙදෙනා ඇසු ප්‍රශ්ණයට වැඩිමනත් හිතන්නේ නැතිව  "බෝට්ටුවේ "  යනුවෙන් උත්තර දෙන්නට සිල්වාගේ දිව නැමූනත් ඔහුට විදිලි වේගයකින් මෙන් තමා කරන්නේ වරදකැයි කල්පනා වුයේය .

ඔහු වෙනදා නැති කලබලයක් පෙන්වා  ' අනේ ඔය විස්තර මම දන්නේ නෑ මිස් ' කියමින් එතනින් ලිස්සා ආවේය . අද ඔෆිස් එකේ කවුරුත් නොගැවසෙන දවසෙත් නිස්කාන්සුවේ ෆෝර්චුන්  බුකියට වී කයිවාරු ගසන්නට තිබ්බ එක නැති වුනා කියා සිතමින් ඔහු අඟුලාන පාර දිගේ ගාට ගටා සයිට් එක පැත්තට ඇදුනේය . ඒ අතරේ ඔහු කල්පනා කලේ තමා මේ තරම් බය පක්ෂපාත වී  සිටින්නේ මනෝ බොස්ට නොව  අම්රිතා මිස්ට කියලාය. මනෝ බොස් මොන තරම් දුරට හොඳ මුණ පෙන්න්නට හැදුවත් ඔහු ආඩම්බර කාරයෙකියි සිල්වාට සිතුනේය .
"අර අසේල මහත්තයා රෑ එලි වෙනකම් මඩවලා ඉන්ටවිව්කරා . තමන්ගේ මහන්තත්වේ පෙන්වන්න. ඉඩක් ලැබිච්ච හැටියේ දේශනා තියෙනවා. හැදෙන හැටි, හොඳින් ඉන්න හැටි. ඒත් සිගරැට් බොන්න  ගියාම කෙළවරක් නෑ.  රේස් බුකියට හොරෙන් හොරෙන් රිංගනවා .සමහරු කිව්වේ කැසිනෝ ගහන්නත් යනවා කියලා . පාටි වලදී බොනකොට හරි කුහක වැඩ කරනවා . අනෙක් මිනිස්සුන්ට් බොන්න දීලා උන්ගේ කතා බතා රහස් හැමදේම අල්ලාගෙන අන්තිම වෙලාවේ තනියම බොනවා . අවුරුදු තිස් ගාණක් වෙලා කසාදයක් බැඳ ගන්නෙත්  නෑ. මිස්කින් මාව ඉන්ටවිව් එකෙන් තෝරා නොගත්තානම් සමහර විට මේ මනුස්සයා මාව වැඩට නොගන්නත් ඉඩ තිබුනා"  කියා ඔහු තමාටම මුමුණා ගත්තේය .

මිස්කින්  මේ වනවිට සිල්වා පාලනය කරගෙන සිටියේ ඔහු වැඩට ගත්තේ තමා බව ඒත්තු ගැන්වීමෙනි. මනෝරන්ජන් සිල්වා මුලින්ම තෝරා වැඩට ගන්න යැයි මිස්කින්ට අණ දුන් බව ඔහු සිල්වා ඉදිරියේ හෙළි නොකළේය. අනෙක් අතට සිල්වා කිසියම් කාරණයක් නිසා මනෝ බොස්ට දොස් පවරාගෙන තමන් ලඟට එන්නේ නම් ඔහු වළක්වා "උඹ හිතනවට වඩා ඒ මහත්තයා හොඳයි දවසක උඹටම  තේරෙයි" කියා පමණක් කීවේය. මේ පසුබිම නිසා සිල්වා තමන්ට පැවරෙන රාජකාරිය අඩුවක් නැතිව  ඉටු කර දැම්මේය.

සිල්වා ආයෙමත් කල්පනා කලේ අම්රිතා මිස්ගේ සජීවී හිතවත්කම පිලිබඳවය  . "මම හිතන්නේ අම්රිතා මිස් ඉන්නේ රිචර්ඩ් බොස් එක්ක . ඒක හොඳයි. උස තිබ්බට සුදට හිටියට මනෝ මහත්තයා එයාට හරි යන්නේ නෑ. අසේල මහත්තයානම් පොඩි එකා වගේ හැම දේටම හිනා වෙච්ච ගමන් .  ඇත්තටම් අම්රිතා මිස් ඉන්නේ  කොහෙද ?. අච්චර දේවල් කතාබහ කරලා තිබුනාට කවදාවත් ඒක  හරියට අහ ගන්න බැරි වුනා" වැඩට ආ මුල්ම දවසේ හවස රිචර්ඩ් බොස් පැමිණ ඇය කැඳවාගෙන  යනව අයුරු සිල්වා දුටුවේය  . ඉන්පසු කිහිප වරක්ම ඒ දෙන්නා වැඩ ඇරී එකම රියෙන් යනු ඔහු දුටුවේය. රිචර්ඩ් බොස් අමුතු හාදයෙකි. මේ ව්‍යාපෘතියේ හැම වැඩක්ම බාරව ඉන්නා මැනේජර් වුනත් ඔහු ඒ සියල්ල  මනෝ බොස්ට බාර දී හෙඩ් ඔෆිස් එකට වී සිටියි. හිතුනු හිතුනු හැටියේ රට යයි. බෝට්ටු සවාරි යයි . රිචර්ඩ් බොස් ලංකාවට ආ හැටියේ කළේ ලොකු මාළු බෝට්ටුවක් සල්ලිවලට අරගෙන එය  කාමර දෙකේ  ලස්සන  ගෙදරක් සේ සකසා ගැනීමය .

දවසක් අසේල හා අම්රිතා මිස් බෝට්ටුව බලන්නට බොල්ගොඩ ගඟට ගිය හැටිත් ඉන්පසුව "රිචර්ඩ් බෝට්ටු ගෙදරින් කාමරයක් මටත් දෙනවා කීවා "කියා අම්රිතා හිනැහෙමින් කී හැටිත් සිල්වාගේ මතකයේ තිබිණි. සිල්වා අනුමාන කරන්නේ දැන් අම්රිතා නෝනා  ජීවත් වන්නේ ඒ බෝට්ටු ගෙදර බවය. ඒත් මේ වගේ ඕපදූප ෆොර්චුන් එකේ කෙල්ලන් සමග කතා කිරීම නොහොබිනා දෙයක් බවත් තමාට අර තරම් ලෙන්ගතු , ආඩම්බරකාර කමක් නැතිව රටේ ලෝකේ විස්තර කතා බහ කරන අම්රිතා නෝනට කරන ද්‍රෝහී කමක් ලෙසත් සිල්වාට යලිත් වරක් සහතිකව දැනුනේය .

අනුරාධපුරයට එනවිටත් තරමක් හැන්දෑ වී තිබු නිසා කොහෙවත් නතර වන්නේ නැතිව හැල්මේ කොළඹ දෙසට එන රියේ සිටි පස් දෙනාම සැහැල්ලුවෙන් සිටියෝය.  අසේල කල්පනා කරමින් සිටියේ කලක් තමන්ට යන්නට තහනම් කලාපයක් වී තිබු සිය ගම්මානය ගැනය.  තාත්තාගේ ලෙන්ගතුකම්,  ශක්තිවන්ත බව මෙන්ම දුර්වල කම්ද බොහොමයක් තමන්ට හමු වූ ගම ගැනය ,  මේ පුංචි දනව්වේ  උතුරටත් නැගෙනහිරටත්  නිදහසේ විහිදුණු කැලෑව හා තමා අතර තිබු සහජීවනය ගැනය. කාලතුවක්කු හඬ  ගිගුම් දෙමින් තිබියදී පවා සිය සිංහල දෙමල හා මුස්ලිම් සහචරයන් සමග නොකඩවා පවත්වාගත් මිත්‍ර සමාගම ගැනය . ඉස්කෝලෙට අලුතින් ආ ඉංග්‍රීසි ටීචර් ගැනය . නැටුම්   සර් ආවාට පසු ඉගෙන ගත්  දේශපාලන පාඩම් ගැනය . මේ සියල්ලට ඉහලින් පිටස්තරයෙකු  ලෙස  ගම දිහා බලන්නට ඔහු අමුත්තන් පිරිසක් සමග ඊයේ ආ ගමන ගැන අසේල උපරිමෙන් තෘප්තිමත්ව සිටියේය .

ඔහුගේ නිවුන් සොයුරියන් වන රාධා හා අනුරාධා හිටියේද යහපත් මනෝභාවයක ගිලීගේනමය. තමන් කාගේ කවුදැයි ගමේ කවුරුත් නොදැන සිටියාට ඒ ඔවුන්ගේ  ගමය. තාත්තා උපන් ගමය. හයේ පන්තියේදී තාත්තාත් අයියාත් අතුරුදහන් වී ගියාට පසු අම්මාත් සමග  ඔවුන් තනිවම  මුහුණ දුන් අමුතුම තාලේ ජීවිතයට වඩා ආපසු අයියා මුණ ගැසීමත් තාත්තා සිටි ගම දැක බලා ගැනීමත් සතුටක් නොවී තිබෙන්නේ  කෙසේද ? සොයුරියක් හෝ මීතුරියක් වූ අම්රිතා, අයියාගේ පෙම්වතී වෙනවානම් හොඳ යැයි අනුරාධා සිතුවාය . රාධා කල්පනා කරමින් සිටියේ ඊයේ මනෝරන්ජන් කියූ දෙයක් ගැනය  .
" බලන්න මට හිතෙන විදිහ හරිද කියල . රාධා කියන්නේ දෙමල නමක් ඒකට අනු කෑල්ලක් දාපු ගමන් අනුරාධා හැදෙනවා. අනුරාධා  සිංහල නමක් "
එසේ කියද්දී අම්රිතා කෑ ගසා කීවේ ඔය නම් දෙකම ඉන්දියාව පුරා තිබෙන බවත් . ලංකාවේ තියෙන සේරම නම් ඒ රටෙත් නෙපාලයේත් තිබෙන බවයි .

අම්රිතා රට තොට දකින්නට ලැබීම නිසා ත් සොඳුරු සමාගමය නිසාත් තුටු පහටුව සිටියත් පිටතට නොපෙන්වූ  ශෝකී වේදනාවක් සියුම්ව රස විඳිමින් සිටියාය. එය කුමක්දැයි හරියට විස්තර කරන්නට බැරිය . දුක හිතෙන නවකතාවක් කියවා කඳුළු සලමින් තෘප්තිමත් වෙන්නට පුළුවන . ඇගේ ජීවිතයද ඒ වාගෙයි කියා ඈ නිරන්තර සිතුවාය . පිටතට නොපෙන්වුවාද මේ හැමෝගෙම ජීවිතවල ඇත්තේ ඒ තේමාවමය. වැඩපලේදී හමුවන මිතුරා සහ විවේකීව සිටින මිතුරා නමින් එකෙක් වුවද දෙදෙනෙක් බව ඈ යලි යලිත් තේරුම් ගන්මින් සිටියාය.

මනෝරන්ජන් අන් සිව් දෙනාටම වඩා ගැඹුරු  කල්පනාවක වැටී  කතාවක් බහක් නැතිව රිය පදෙව්වේය. දැන් හෙට සිට මුහුණ දෙන්නට වෙන සටන් බහුල ජීවිතය  ඔහුට චලන චිත්‍රයක් සේ මැවී පෙනේ. දැන් තිබෙන සයිට් ඔෆිස් එක කඩා  ඉඩමේ මායිමට ගෙන යන්නට ඕනෑය. උප කොන්ත්‍රාත් කරුවන් සඳහා වෙනම කන්තෝරු පේලියක් හදන්නට ඕනෑය . අලුතින් ෂටරින් හා යකඩ මුක්කු ගෙනත් ගොඩ ගසන්නට ඕනෑය. හෙඩ් ඔෆිස් එකේ සිටින කිව් එස් හා සැලසුම් ඉංජිනේරුවන් සමග ඉස්සරහ වැඩ ටික ප්ලෑන් කර ගන්නට ඕනෑය. මේ හැම දේම අසේල හා අම්රිතා සමග පමණක් කරන්නට බැරි වෙතියි ඔහු සිතුවේය. ඔහු මනසින් පයිල් කැප් නිමවා ටයි බීම් දැම්මේය . පොලවේ ජල නල , අපජල පද්ධති , විදුලි බට හා  ටෙලිෆෝන් බට ආදිය අතුරා ඒ මත කම්බි දමා කොන්ක්‍රීට් කළේය. දැන් පලවෙනි තට්ටුවට නගින පඩිපෙළ හැදෙමින් තිබේ.  විශාල තට්ටුවේ ෂටරිම කණු එකසිය විස්සක් උඩ නිමවා ඇත. "කොන්ක්‍රීට් එක දාලා හොඳ පාටියක් දාමු ". ඔහු තමන්ටම කියා ගත්තේය.

රථය අඹේපුස්සෙන් නුවර පාරට වැටී කොළඹ දෙසට හැරෙව්වා පමණි . නුවර යන බස්රියක් ජිනදාස තලගුලි කඩේ ඉදිරිපස නවතා ඉන් මගීන් එකිනෙකා බසිමින්  සිටියෝය. බසයෙන් බහින මගීන් අතරේ ඈ   ලා කොළපාට පසුබිමක කළු තිත් වැටුණු බ්ලව්සයක් හා කළු පාට  ඩෙනිමක් ඇඳගෙන ඔලුව බිමට නමාගෙන සිටියාය .
මනෝරන්ජන් කලබල වී රථය ඉදිරියට ගෙන යන්තමින් පාර අයිනේ නවත්වා ඉන් බැස ගත්තේය.

අසේල මේ සිදු වුයේ මොකක්දැයි සිතා ගැනීමට බැරිව මනෝරංජන් දුවන්නේ කොහාටදැයි බැලුවේය. එවිට ඔහුත් ඈ දුටුවේය.
" අපේ මනුස්සයානම් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි " අසේල  හෙමින් කීවේය.


-මීළඟ කොටස -



Image Source : PxHere