Wednesday, February 18, 2015

ජිනසෝම වීරසුරියනම් ඔහු


සුනිල් මාධව ප්‍රේමතිලක 2010 ජුලි මාසේ දවසක සිළුමිණ පත්තරේ 'ජීවිතය සුන්දරයි' තීරු ලිපියේ මෙසේ සටහන් කර තිබුනේය.

//තාත්තා මියගොස් ඉකුත් ජූලි 12 වැනිදාට අවුරුදු හතළිස් පහක් වෙනවා. අද ඊයේ වගේ. තාත්තා මට දුන් මනුස්සකම, පේ‍්‍රමය, ආදරය තවමත් මා ළඟ තියෙනවා. මගෙ ජීවිතයේ මට හමුවූ සුන්දරම මිනිසා ඔහුයි.

කැකුලාවල සර් ගැන පසුගිය සතියක මේ තීරුවේ ලියූ වචන කීපය නිසා කීප දෙනෙක් ම කතා කළා. මුලින්ම කතා කළේ මහාචාර්ය ජිනදාස දනන්සූරියයි.

“සුනිල්, කැකුලාවල සර් මියගොස් බොහෝ කාලයක් වෙනවා. ඔහුට උපහාර කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ ඔහු නමින් ශාලාවක් තියෙනවා. ඔයා කීවා වගේම හරිම සුන්දර මිනිහෙක්.”

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කරන ජිනසෝම වීරසූරිය නොදුටු හිතවතා එවූ ලිපිය දින කීපයකට පෙර ලැබුණා.

“අපි සංස්කෘත, පාලි ඉගෙන ගත්තේ එකට. එවකට ඔබ නේවාසිකාගාරයේ සිටි කාලයේත් මා දිනපතා ඔහු හමුවීමට ආවා.”

ඔහු ගැන මේ නොදුටු හිතවතා ඉංගිරිසි පුවත්පතකට ලියු ලිපියක් ද ඒ ලියමන සමඟ එවා තිබුණා.

“මගේ ජීවිතයේ ඔහු මට පෙර ගමන්කරුවකු වුණා. ඔහුගේ මරණයේදීත් මේ ජීවන කතරේ ඔහු මට පහන් කණුවක් සේ හරි මඟ පෙන්වනවා.

ඒ ලිපිය අතේ තබාගෙන මා වැහි පොද දෙස බලාගෙන හිටියා.

සැබැවින්ම තාත්තා මගේ ජීවිතයේ පහන් තරුවක් සේම අදත් ඔහු මට හරි මඟ පෙන්වනවා නේද?//

මේ ලියන්නට යන්නේ සුනිල් මාධව සඳහන් කර තිබු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ජිනසෝම වීරසුරිය කියන ඔහු නොදුටු හිතවතා ගැනයි. ජිනසෝම වීරසුරිය නම් හිතවතා ඔය කියන ලිපිය යැවීමට  සුනිල් මාධවගේ ගෙදර ලිපිනය සොයා දෙන්නැයි මගෙන් කළ ඉල්ලීම මට විදිලි සැරයක් සේ යලි සිහියට ආවේ පහුගිය සෙනසුරාදා  උදේ පාන්දරම මට ලැබුණු දුරකථන ඇමතුමක් නිසාය.

‘වීරසුරිය මහත්තයා නැති වෙලා' සිය ගුරු පියාණන් කෙනෙක් සේ ඔහුව සැලකු මගේ බිරිඳ සැල කර සිටියේය.

අවුරුදු පහළොවක් තිස්සේ අපි බොහෝ දෙනෙකුට තාත්තා කෙනෙක් වෙලා සිටි ආදරණීය මිනිසා මිය ගොසිනි. ඔහු මිය ගිය පුවත එක්වරම මට විශාල කම්පනයක් නොගෙනාවේ දෙසැම්බර් මාසයේ ඔහු බලන්නට ගිය විට ඉතාමත්ව අසාධ්‍යව සිටිනු දැක තිබු නිසාය.

එහෙත් ඔහු නැති වීම නිසා ජනිත වූ මහා හිස් බව ටිකෙන් ටික දැනෙන්නට පටන් ගත්තේ දවසක් දෙකක් යද්දීය. රාජගිරිය පැත්තෙන් යන විට ඔහුගේ කන්තෝරුවට ගොඩ වී හමු වන්නට මින් පසු ඉඩක් නැත. ඕනෑම ඉංග්‍රීසි සිංහල ලිපියක් , උපාධි නිබන්ධනයක් ඔහුට පෙන්වා හරි වැරදි හරි ගස්සා ගැනීමට තව දුරටත් ඉඩක් නැත. දුරකතයෙන් සතියකට දෙකකට වරක් කතා කර ඔහු හොයා ගත් අලුත් වචනයක් ගැන අසා සිටින්නට මින් ඉදිරියට පිනක් නැත .එහෙත් මා ළඟ සුරැකිව තිබෙන, කවදාවත් කියවා හමාර නොකළ ,වීරසුරිය  මහතා ලියු පොත් කිහිපය ඉක්මනින් කියවා බැලීමේ නොතිත් ආශාව පමණක් ඉතිරි වී ඇත.

සමහරු පහන් කණු දකිති. පහන් කණු  තනන්නා නොදකිති.සමහරුන් පහන් කණු මෙනි. ඔවුන් නික්ම ගිය පසු ආලෝකයද නැතිව යයි. ඒත් පහන් කණු නිර්මාණය කරන්නා නික්ම ගිය පසුද ඔහු  තැනු  පහන් කණු දිගින් දිගටම එලිය දෙයි. බොහෝ විට පහන් කණු නිමවන්නා සිටින්නේ අඳුරේය.

පෙරේදා චාම් අවමගුල් උත්සවයකින් පසු නික්ම ගිය ජිනසෝම වීරසුරිය කියන්නේද පහන් කණු තැනුවෙකි. ඔහු කිසිදා ප්‍රසිද්ධියට කැමති උනේම නැත. නිහඬව බරසාර සේවයක් සිංහල සාහිත්‍යයට හා භාෂාවට ඉටු කළේය.

මේ තරම් නිහඬව මේ තරම් විශාල සේවයක් යමෙකුට කරන්නට හැකිදැයි මට පුදුම සිතෙයි. ජිනසෝම වීරසුරිය  තරම් අහිංසක, නිරහංකාර එහෙත් දහිරියවන්ත වෙනත් මනුස්සයෙක් මට සිහියට නගා ගන්නට අපහසුය.

රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ' චිත්‍රා' නාට්‍යය සිය කුළුඳුල් පරිවර්තනය ලෙස පළ කළ වීරසුරිය ඉන්පසු පොත් කිහිපයක් පරිවර්තනය කර ඇත. ඔහුගේ පරිවර්තන අතරින් සුවිශේෂ වන්නේ ආචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ විසින් රචිත අසෝක  අධිරාජයාගේ ජීවන චරිතය  Asoka a Definitive Biography  කෘතියේ සිංහල පරිවර්තනයයි . එය 'ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය' නමින් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ  විය.

සංස්කෘත භාෂාවේ ප්‍රාමාණික උගතෙකු වූ ඔහු පාලි හා  වංග භාෂා පිළිබඳවද හදාරා  ඇති බවට සාක්ෂි තිබේ.ජිනසෝම වීරසුරිය  විසින් සිය ශාස්ත්‍රපති  උපාධිය සඳහා 1968දී ලියන ලද  ‘සංස්කෘත කෝෂ සාහිත්‍යය’  කෘතිය 1991දී ගොඩගේ පොතක් ලෙස එලි දුටුවේය.  

ඔහු මෑත කාලයේ නියැලී සිටි  ජාතික වශයෙන් වැදගත් වූ කාර්යය වුයේ නවීන තාක්ෂණික විෂයයන්ට සරිලන සිංහල පාරිභාෂිත  පදමාලා නිර්මාණය කිරීමය. අවුරුදු අසුවත් පනින තුරු ශාස්ත්‍රීය සේවයේ යෙදුණු  වීරසුරිය මහතා ඉසිඹුවක් ලද්දේ මීට දෙවසරකට පමණ පෙරදීය. හුදු හෙළ වදන්ම සොයන්නට යාම නිසා නවීන විෂය ක්ෂේත්‍රවලට ගැලපෙන සිංහල වචන තනන්නට බැරි බව ඔහු තේරුම් ගත්තේය. පරිගණක අංශයට හා ඉදිකිරීම් අංශයට අදාළ ඉංග්‍රීසි වචනවල සිංහල පද සෙවීම සඳහා ඔහු ගත් වෙහෙස ඉමහත්ය. භාෂාව සම්න්ධ ඔහුගේ අදහස් විප්ලවීය විය. නිරවුල්ව ලිවීමටත් නිරවුල්ව යමක් ප්‍රකාශ කිරීමටත් ඔහුට තිබුණු හැකියාව පුදුමාකාරය .

පළමු පංතියේ පරිපාලන නිලධාරියකුද වූ වීරසුරිය මහතා කලක් ඒකාබද්ධ සේවා  අධ්‍යක්ෂ වරයා  ලෙසද සේවය කළේය. පරිපාලන ක්ෂේත්‍රයේ අත්පොත වන ශ්‍රී ලංකා ආයතන සංග්‍රහයේ බොහෝ කොටස් සිංහලට නගා ඇත්තේ ඔහු විසින් බව අසන්නට ලැබිණි

අපි පේරාදෙණියට යන්නට වසර තිහකටත්  පෙර එහි ගොස්, මාර්ස් ශාලාවේ අංක එක දරන කාමරයේ සිය පාසල් මිතුරු කැකුලාවල සමග ලැගුම් ගත්  හැටි වීරසුරිය මහතා ලියා ඇත.  මාතර රාහුල හා , කොළඹ ආනන්ද විදුහල්වල ඔහු දීප්තිමත් සිසුවෙක් උනේය.

සිය අවසන් කටයුතු සිදුවන දා ගුණ කතන කිසිවක් නැතිව ඉතා චාමෙට එය සිදු කරන ලෙස ඔහු ඉල්ලා තිබුණි. ඒත් සිය මිතුරා වෙනුවෙන් වචන  දෙකක් හෝ කතා කරන්නට මහැදුරු කේ එන් ඕ ධර්මදාසයන් ඉදිරිපත් විය . ඔහුගේ කතාව නිමා වන විට අපුරු සිදු වීමක් දකින්නට ලැබිණි.

ඉතා ආයාචනාත්මකව ඉල්ලීමක් කළ එක්තරා මහතෙක් වීරසුරිය නම් පරිත්‍යාගශීලී මිනිසා ගැන කුඩා තොරතුරක් හෙළි කරන්නට අවසර ඉල්ලුවේය . ඒ 1997 වසරේදී රජයේ දුත පිරිසක් සමග ඇමෙරිකාවේ සංචාරයක් කිරීමට වීරසුරිය මහතාට ලැබුණු අවස්තාව ඔහු තමන්ට පරිත්‍යාග කළ බව  කීවේය.  ඒ තරම් පරිත්‍යාගශීලී මිනිසෙකු වූ වීරසුරිය මහතා සිය හිතවතාට විදේශ ගමනට අවශ්‍ය සියලු ලියකියවිලිද කඩිනමින් සකස් කර දුන්නේය.

අසනීපයෙන් ලෙඩ ඇඳට වැටෙන තුරු ඔහු ක්‍රියාශීලීව පොත පත කියෙව්වේය. ලිව්වේය. මිතුරන්ට උදව් කළේය.  වයස අසුවෙදීත් ජැන්ඩියට ඇන්දේය.මනාව නඩත්තු කරන ලද කළුපාට මයිනර් කාරය පදවාගෙන ගමන් බිමන් ගියේය. ආදර්ශමත් ලෙස දරුවන් හදා ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්ද ගත කළේය. ඉතින් ඔහු බොහෝ දෙනාගේ රෝල් මොඩල් එකක් වුනු එක අහන්නත් දෙයක්ද ?

සුනිල් මාධව ඔහුගේ තාත්තා ගැන ලියා තිබු දේ මට වීරසුරිය තාත්තා ගැනද කියන්නට සිතේ .

ඔහුගේ සරල පරිපුර්ණ ජීවිත කතාව පහන් තරුවක් වී අපිට තව බොහෝ කලක් හරි මග පෙන්නුම් කරනු ඇත .

Wednesday, February 4, 2015

කොස් නෝක්කාඩුව

පේ ආච්චිලා වත්තේ තිබු කොස් ගස් රාශිය අතරින් එක්තරා සුවිශේෂ ගසක් තිබිණි. ආතර් වී දියෙස් කොස් මාමා පානදුරේ සිට තැපෑලෙන් රටපුරා බෙදු ඇටවලින්  බිහි වූ පැණි වරකා ගස මේ සුවිශේෂ ගසයි.මේ ගහේ කොස් හා වරකාවල රස ගැනත් කොස් මාමා ගැනත් අම්මා වරින් වර පුරාජේරු කිව්වා මට මතකය.

තව අපේ ඉස්කොලේට ගාල්ල පැත්තෙන් පැමිණි කෝදාගොඩ නම් ඉස්කෝලේ හාමිනේ කෙනෙක්  අම්මාට ගෙනත් දුන් කොස් ඇට කිහිපයක් නිසා මරු පැණි වරකා ගස් දෙකක්ද අපේ වත්තේ හැදුණි .
මේ ගසේ පළගන්නා කොස් ගෙඩි ඉදීගෙන එද්දී  පැත්ත පලාතම සුවඳ හමයි. හැන්දෑවට රෑකුමරිය මල් සුවඳ හා මුසු වූ පැණි වරකා සුවඳ සුර විමනක සුවයක් ළමා අපට ගෙනත් දුන්නේය. කෝදාගොඩ හාමිනේ ගෙනත් දුන් ගස්වල ඉදුණු ගෙඩියේ මදුලු රෝස පැහැතිය. රස ඉතා ඉහළය.

අපි ගඟේ නාන්නට ගොස් ආපසු එද්දී ගොඩක් වෙලාවට ආච්චී කොස් පළුවක් ගෙදර ගෙන එන්නට දෙයි. ආච්චිගේ කුස්සියේ හැලියේ ඉතිරි වී තිබු කොස් වෑන්ජනයෙන් කොටසක් හීල් බත් සමග ගිලින්නට ඉඩ ලැබෙන්නේද ඒ වගේ වෙලාවටය.

ඒ කාලේ ගමේ ගෙවල් අතර නිරන්තරයෙන් හුවමාරු වූ තෑගී භාණ්ඩයක් වුනේ බෙලෙක් පිගානකට බෙදා කෙහෙල් කොළෙන්  වැසූ කොස් වැන්ජනයකි. නැත්නම් කොස් පලුවක් හෝ වරකා බෑයකි.

1970 දශකයේ මැද රටේ පැතිරුණු සාගත කාලයේ අපේ ගම්මුන්ගේ ජීවිත ගැට ගසා ගැනීමට සහය වූ මහා පුණ්‍යවන්ත ගසකි කොස් ගස.

කොස් ගෙඩියටද ජීවන චක්‍රයක් තිබේ .පනා ගැට ,ගැට පොලොස්, පොලොස්, ලියන් පොලොස්, දඬු කොස්. කොස් , මදක් ඉදුණු දුඹුල් කොස් තමයි ඊළඟට වල හෝ වරකා වෙන්නේ.

අපේ ගමේ ගෙදර කොස් කපද්දී අම්මාට රිලවුන්ගෙන් කරදර පැමිණේ. වතාවක් අම්මා සීරුවෙන් කැපූ ද කොස් මදුළු  වට්ටියක්ම රිලවුන්ගේ හොරා කෑමට ලක් විය. උන්ට හොඳ පාඩමක් උගන්නන්නම් කියා අම්මා  ඊළඟ දවසේ කලේ කොස් මදුලු ටිකකට මිරිස් කුඩු පුරවා ඒ වට්ටියටම දමා තැබීමය.

මට්ටු වුනේ අම්මාමය. රිලවුන් කොස් වට්ටිය එදත් හොරකම්  කරගෙන ගොස් පෙරළු සපු කොටය උඩ වාඩි  වී මිරිස් කුඩු කොටයේ උලා අම්මාට නියවමින් කොස් මදුලු ටික කාගෙන කාගෙන ගියෝය. අම්මාද උන් සමග හිනා වෙවී සිට අපට කතාන්දරය කිව්වාය.

අපේ ගමේ ගෙදර හැර දමා එක එකා  පවුලෙන් ඈතට ගියා වුනාටඅම්මා හෝ තාත්තා ගමේ මහ ගෙදරින් හොල්ලන්නට බැරි වුනේය. හවසට කඩපොළේ ඇවිද කොස් පොලොස් සමග බත් කටක් කාලා ඉන්ට තියෙන කැමැත්ත නිසාම කොහේ ගියත් දවස් කීපයකින් ආපහු  ගමේ ගෙදරටම ඇවිත් සැනසුම් සුසුම් හෙළන්නට ඔවුන් කැමතිය .

ඔහොම ගමට වෙලා සීතලේ තනියම ඉන්න පුලුවන්ද කියා කිහිපවරක්  පෙරැත්ත කළායින් පසු අයියලා ගෙදරට හෝ අපේ ගෙදරට ඇවිත් සතියක් හමාරක් යන්නටත්  කලින් මොකක් හෝ වැඩ රාජකාරියක් හේතුවක් ලෙස පෙන්නා ආපසු ගමට ගොස් සිටීම ඒ දෙන්නාගේ සිරිතයි.

ගිය සතියේ අපේ අම්මා සෑහෙන දවසක් ඉන්නාවාමය කියා අපේ ගෙදර ආවාය. පළමු දවසේම වත්තේ ඔබ මොබ ඇවිද ගොස් බොහොම සන්තෝෂ වුනේ අපට තිබු එකම ගසේ පැසී දිලෙමින් තිබුණු කොස් ගෙඩි කීපය දැකීමෙනි.

පහුවදා කවුරුත් ගෙදරින් පිටත් වූ  පසු කාටදෝ කියා පැසුණු කොස් ගෙඩියක් කඩවාගෙන සීරුවට මදුළු  ගලවා  ඉන් කොටසක් ලොකු මුට්ටියකට දමා තැම්බුවාය. ඉතිරිය ගමේ හදනවා සේ තුනපහෙන් ඒදා උයා තෙම්පරාදු කළාය.

හවස දරු මුණුපුරන් එනතෙක් ඈ මග බල බලා සිටියේ කොස් හට්ටි දෙක දැක ඔවුන් පිනා යන හැටි බලන්නටය.
ඒත් නිවාසාන්තර තරග නිසා හොඳටම රෑ බෝවී පැමිණි දරුවන්  මගදී ෂෝට් ඊට්ස් කා බඩ  පුරවාගෙන සිටි නිසා ආ හැටියේම පුටු උඩම වැටී නින්දට වැදුනෝය.

විස්සෝපයට පත් අම්මා කොස් හැලියෙන් පංගුවක් භාජනයකට දමා පත්තර කරදාසියකින් වසා ගෙන මද කළුවරේම අපේ අල්ලපු ගෙදරට ගියාය , 'අනේ නැන්දේ අපි එනකොට ප්‍රයිඩ් රයිස් අරන් ඇවිල්ලා මේ කාලා ඉවර වුනා විතරයි' කියා ඔවුන් කියනවා අසා අම්මා කම්පා වුවාය.

පහුවදා අම්මාට කතා කරනවිට ඇය බොහෝ දුක්මුසු ස්වරයෙන් කොස් හැලි දෙකක් විසි කරන්නට වූ කතාව කීවාය.

ආපසු ගමට යෑම සඳහා මොකක් හෝ නිදහසට කාරණාවක් අම්මා සොයා ගන්නවා ඇත.  ඇයට මෙන් නිදහසට කරුණක් හොයාගන්නට බැරි වීමේ දුක සඟවා ගනිමින්ම මම ඊළඟ මීටිමට යෑමට පුටුවෙන් නැගී සිටියෙමි . 

Monday, January 19, 2015

ඈ සොයා ගියෙමි

දිග නිවාඩුවක් ඉවර වෙන්න තියෙන්නේ හෙටයි කියල මාසයක් තිස්සේ හිතේ පැසවූ ඇය දැකීමේ ආසාව ඉවුරු තලා ගියේය. අදත් බැරි වුනොත් ආයේ මාස ගානකට ඇයව මුණ ගැසෙන්නට ඉඩක් නොලැබෙන හින්දාම අපේ පුංචි කාරය  නුවර පාරේ ටිකක් දුර ගොස් අතුරු පාරකට හැරවුණේ හැන්දෑ අඳුර පාත් වෙද්දීමය.  

ශාකා ප්‍රශාකා විහිදී ගිය පටු මාවත මදින් මද වැහැරීගොස් මනස්කාන්ත වෙල් යායකට මතුවෙන්නට ඉඩ දුන්නේය.  ඒ අද්දර ගුරු පාර අසලට වී ඈ අප එන තුරු මග බලා සිටියාය . ජීවිතේ පළමුවරට හමු වන බලාපොරොත්තු පිරුණු මුහුණක් . මගේ හිතත් ගැහෙනවා. ඇගේ හිතත් ගැහෙනවා ඇති.

ඒ සුමිහිරි හමුවෙන් මදකට පසුව පිහිඹියා ගහමුල ලී බකුවට වී මම මහත්වූ සොම්නස්  සිතුවිල්ලෙන් වෙල් යාය දෙස බලා හිඳිමි. බිරින්දෑ  හා දරුවන් අලුත් අම්මා සමග ගෙතුළ බර කතාවකි.

මේ මා පොතක් ලියා නෙලා ගත් දයාබර සම්පතකි. මේ කියන්නේ මගේ පොතට අමිල සම්මානයක් තිලිණ කළ අලුත් අම්මා බලන්නට ගිය කතාවය. ඇය අප රටේ සිටි දක්ෂ ලේඛකයෙකු වූ  නැසී ගිය ලැන්ටිස් කරුණාතිලකයන්ගේ දයාබර බිරිඳයි. අප කාගේත් සුමිතුරෙකුවන ප්‍රවීණ කාටුන් හා ග්‍රැෆික් නිර්මාණශිල්පී දර්ශණ කරුණාතිලකගේ මවයි. සිය සැමියාගෙන් කවි ලියන්නට ඉගෙන ගත්  ඇය මීට ටික කලකට පෙර ලස්සන හුරු බුහුටි කවි පොතක් ලියා ඇත.

ඇය කියන අන්දමට සිය පුතු දර්ශන ඇයට 'තිලකසිත' පොතක් ගෙන දුන් දවසේ පොතේ මුල සිට එක දිගට කියවා අග පිටුවෙන් අවසන් නොකර නැවතත් දෙවනවර මුල සිට කියෙව්වාය , ඉන්පසු හිතට ආ දැනීම  මේ ලෙස කවි පෙළකින් ලිව්වාය .

මා වෙත ලැබුණු පොත කියවුවන්ගේ ප්‍රතිචාර අතර සිත්ගන්නාසුලුම නිර්මාණය එව්වේ ඇයයි . මගේ පොත නොසලකා හැර ඇයගේ කවි හැකියාව අගයන්නැයි  ඔබට ඇරයුම් කරමි. මේ සුන්දර ගැමි කිවිඳියක වූ ඛේමා කරුණාතිලක මාතාවගේ වචනය. මා ලද අමිල සම්මානය කිව්වේ මේ වචන ටිකටය.

නොබෝදා දොරට වැඩමවූ 'තිලකසිත'
කතා අහුර හෙළි කළ කතු තුමා       වෙත
ගෙතූ අපුරුව පසසන සිතැඟි                මත 
සුබාසිරි පතමි පළමුව සිතින්                ඉත

ලිපිනය නොමැතිකම පාඨක හිතට දුකක්
සිත තුළ පොරපිටියෙ නළියයි නිසැක යමක්
'දර්ශන' මගේ පුතු එතැනත් වෙයි           පිහිටක්
තිලක සිතට යොමුවිය විමසුම් දෑසක්

අටෙත් පහෙත් බාගයෙ ගනකමත් යෙදු
කවරෙත්  පියමනාපයි පිටු සමග   සුදු
'රිදී පහන් වැට' වෙත දෝතින්ම   පිදු
'තිලකයක්' තමයි පාඨකයනට     හුදු

පොත මම කියෙව්වෙමි අබිරුචියෙන් යුතුව
පවසන්නට හිතයි එහි ඇති        එකමුතුව
වැඩියෙන් කිවොත් ඇති අගයත් යයි         නැතිව
සිතමින් එවමි මුදු හසරැල්ලක් එතුව

සරල සුගම ආරක අනුගමනයක
බරට බරක් අත්දැකුමින් යුත්         සෙයක
වරෙක සිනා සයුරක ගිලෙනු දැක දැක
සුරැක තබයි පාඨක සිත කුතුහලෙක

අනැවැසි වචන නොව නිසි උපමා ඇත්තේ
ඇල්දෙනි කුඹුරු කෙත්වතු වැනුමින් යුත්තේ
නෙක  වයිවාරන්න සිතුවම් මැවෙයි    පුතේ
උපන් හපන්කම් තව වඩවන්න   පුතේ

පාසැල් සමය යලි මගෙ  සිහියට නැගෙන
යුගදිවියෙත් පවුල් පසුබිමෙහිත් තිබුන
රසමුසු එමෙන් සරු නෙක තොරතුරු රැගෙන
සපැමිණි සුබ ගමන පාඨකයනගෙ පින

මනාලිය සොයා පළමුව ගිය දවස
සිනා නගයි සැරසුව කොලරයෙ කමිස
අනාගත පැතුම් සරුකරගනු පිණිස
මොනා වුනත් 'චුලා' ඇත පසු නොබැස

මහගත්කරුද ජී. බී. මඩවල එස්ලා
සිහිපත් වුනා ඔබ නිමැවුම ගැන දොඩලා
විස්වාසයි යතොත් හැක ඉදිරිය අල්ලා
පැරදෙනවා 'කොණ්ඩයා' දෙවියන් පල්ලා

'පිත්තල ලාම්පුව' හඟවන ඉතිහාසේ
තහවුරු කරන  මිරිවැඩි දෙක ඇඳ අස්සේ
ගෙම්බා පෑගිලා පය ඉහළට ඉස්සේ
රැවුලක් නිසා කොලුවගෙ හදවත ගැස්සේ

'පිටසක්වල ජීවියා'  හොඳ කඩ ඉමකි
අර හිතවතිය පෑ සෙනෙහස රස විතකි
සෙලවෙන තවම බාර්ලි බෝතලය නොකී
'දෙව්නි' ගේ හපන්කම් පිටු පෙරලුවොත් දකී

'සුබ යස' නාටක'පේරාදෙනි වල' ද
ආදුරුසමත් ' තුන්වන දේශකයා' ද
දස විධ රස ගෙනෙයි හදවත් තුළට වැද

'සිල්වා සර්' 'දුයිෂෙන්' මයි ' ගුරු ගීතේ'
'ගුණේ උන්දැ' බත් මිස පොත් ලිව්වේ නැතේ
'මනප්පුවා' 'ගුල්ලා' 'හඳුනා' පුවතේ
වියත් බවේ සලකුණු රඳවයි ම'සිතේ

සිතුවම් සියල්ලම පණ ගහ ගහ තිබෙන
'දෙව්නි' 'ඔවිනි' දැරියන් පිනකියි හැඟෙන
වඩමින් නිතර දහිරිය තව දැන උගෙන
මැනවින් දැයට කිරුළක් වේවා! දෙදෙන

සතුටත් කදිම කවි සිතුවිල්ලෙක නම්මා
මිහිරක් ලදිමි දරු සුරතල් ලෙස   පෙම්මා
පැතුමත් ඔබට සරණයි සම්බුදු සම්මා
මා හිතවත් සොයුරු දර්ශනගේ අම්මා

චිත්‍රය ඇන්දේ ඔවිනි

Monday, January 12, 2015

ඇමතිතුමාගේ කෙනෙක්

හුගිය මාස දෙකක් තිස්සේ හිතට ආ දහසකුත් එකක් අදහස් හැම එකක්ම දේශපාලනික ඒවා වූ නිසා, ජීවන කතන්දර  ලියන්නට පමණක් වෙන් කර ගත්  මේ බ්ලොගයේ නොලියා සිටින්නට තීරණය කලෙමි.

ඒත් මේ දීර්ඝ නිහැඬියාව නිමා කරන්නටත් ඕනෑය . ඔන්න ඔහේ ඉස්සර දවසක අපේ සයිට් එකට ආ දේශපාලක ගෝලයෙක් ගැන ලියන්නට සිතුනි. මේ අලුතින් ඇමතිලා පත් වෙන කාලයයි . දෙපාර්තමේන්තු සංස්ථා, වරාය වගේ තැන්වල  වැඩක් ඇතත් නැතත් අලුත් ඇමතිවරුන්ගේ ගම්පලාත්වලින් ආ සේවකයන්ගෙන් පිරෙන්නේ මේ වගේ කාලවලය.

මීට  කාලයකට පෙර අපේ වැඩබිම් කන්තෝරුවට අලුතින් පත් වූ  ඇමතිගේ ලේකම් කෙනෙක් ආවේය. ඔහු අප වෙත කැඳවාගෙන ආවේ  අපේ සමාගමේ වැඩ කරමින් සිටි  සම්බන්ධීකරණ ලිපිකරු විසිනි.

'මේ ඇවිල්ලා ඉන්නේ අලුත් ඇමති තුමාගේ සම්බන්ධීකරණ ලේකම් මහත්තයා මෙහෙට්ට ඉන්ටවිව් එකකට. අද ප්‍රොජෙක්ට් මනේජෙර් මහත්තයා හම්බ වෙන්න ඇවිල්ලා'.

විදේශික ව්‍යාපෘති කලමනකාරයෙක් අපිට සිටි අතර ඔහුගේ කාමරය පිහිටියේ අප සිටි කන්තෝරුවේ කෙළවරකය .
ඇමති සම්බන්ධීකාරකයා මා ලඟට කැඳවාගෙන ආ වැඩබිම් ලිපිකරුවා කාරණය සැල කර සිටියේය.

'ඉතින් ගිහින් හම්බ වෙන්න අතන සෙක්‍රටරි ඉන්නවා එයාට කියන්න' . මම මගේ වැඩක් බලා ගන්නට හැරුනෙමි.

ඔහු ලේකම්වරිය  වෙත ගොස් මොනවාදෝ කුටු කුටු ගෑවේය
ලොක්කාගේ කාමරයේ දොර ඇරිණි .
ටිකකින් මට  ලොක්කාගෙන් ඇමතුමකි.
මා  ඔහුගේ  කාමරයට යන විට ලොක්කා  ඉදිරියේ ටයි පොල්ලක් දමාගෙන ඇටි  කෙහෙල් කෑ උගුඩුවෙකු සේ අමුත්තා  සිටියේය.

අපේ ලොක්කා  මට අමුත්තා පෙන්වමින්  කියා සිටියේ මේ ඇවිත් ඉන්නා පුද්ගලයා කියනා දේ ඔහුට තේරෙන් නැති නිසා මට පරිවර්තන සහයක් දෙන ලෙසය.

'හා හොඳයි' මමත් වාඩි වුනෙමි
ඔය මහත්මයාට මොකක්ද කියන්න තියෙන්නේ ?.

'මේකයි මිස්ටර් මාව මෙහෙට්ට එව්වේ ඇමති තුමා, මේ සුදු මහත්තයාට අපේ ඇමතිතුමා හම්බ වෙච්ච වෙලාවක මා ගැන කියලා තියෙනවා මට මෙතන රස්සාවක් තියෙනවා කියල' .

මම අපේ ලොක්කාට කතාව බස් පෙරලා  කිව්වෙමි

'ආ ඔව් මට ඔය පණිවිඩේ ලැබුනා හරි දැන් අපිට තියෙනවා මේ රජයේ ආයතන එක්ක සම්බන්දීකරනය කරලා මේ ව්‍යාපෘතියට අවශ්‍ය ලියකියවිලි හදන වැඩේ. හැබැයි මේ ඇවිත් ඉන්න මනුස්සයාට ඉංග්‍රීසි බෑනෙ ඔය ලියුමක්වත් ලියන්න'  .

මම අමුත්තාට ඒ බව කිව්වෙමි.
'ඉංග්‍රීසි ඕනි නෑ . මට ඕනි වැඩ ටික කියන්න මම එහෙට මෙහෙට කෝල් කරලා හරි කරලා
දෙන්නම්'.

මම අපේ ලොක්කාට එය කිව්වෙමි.

එතකොට පඩිය කීයක් ඕනිද කියන්න.

'මට පනස් දහකුයි වහනයකුයි'

මම ඒ බව ලොක්කාට කිව්වෙමි.

අපේ ලොක්කා මදක් කල්පනා කොට මෙහෙම කිව්වේය.

'හොඳයි කමක් නෑ . පඩියනම් ඒ ගාන දෙන්න පුළුවන් හැබැයි වහනයක්නම් නම් වෙනම දෙන්න බෑ , උදේට හවසට අපේ ට්‍රාන්ස්පෝර්ට්  බස් එකේ යන්න එන්න පුළුවන්නේ. මුළු සටාෆ් එකම එන්නේ එහෙමනේ'.

මම අමුත්තාට ලොක්කා කියූ දේ පැහැදිලි කර දුනිමි.

එවිට අමුත්තා උඩඟු ලෙස කිව්වේ මට වැඩට මෙහෙට එන්න බෑ .මට වාහනේ ඕනි ඇමතිතුමාගේ වැඩවලටත් එක්ක. .මොකද මම ඇමති තුමාගේ දිස්ත්‍රික්  කාර්යාලේ වැඩ තියෙනවා.
ඕනනම් මට පඩි ගන්න දවසට එන්න පුළුවන් .

මේ යකා එන්නේ මොකටදැයි මට තේරුණේය. සිංහල නොතේරෙන අපේ ලොක්කා කුහුල් මුහුණින් අමුත්තා හා මා දෙස බලා සිටී.

'මේ ඇවිත් ඉන්නේ වැඩ කරන් නැතිව පඩි ගන්න එක්කෙනෙක් එයා මෙහෙ එන් නැල්ලූ. පඩි දවසට එන්නම් කිව්වා'.

ලොක්කා ආයේ පාරක් මා කයු දේ කියන්නයි කිව්වේය. ඉන් පසුව බස බස ගා හිනා වෙන්නට පටන් ගත්තේය

'මට  ෂුවර් නෑ ,  මේ  මනුස්සයා විහිළු කරනවද කියල' හාහ් හාහ් හාහ්

අමුත්තා  පසු බා ගොස් ඇත්තේ අපේ ලොක්කාගේ නොනවතින  හිනාව දැකීමෙනි .

'ඇයි මොකුත් අවුලක්ද?' ඔහු අසයි , නෑ අපේ ප්‍රොජෙක්ට් මැනේජර් අහන්නේ  මෙහෙ එන් නැතිව වැඩ කරන්නේ කොහොමද , එහෙම වුනාම පඩි ගෙවන්නේ  කොහොමද කියල ?

නෑ නෑ  ඇමති තුමා මේ සේරම දන්නවා . ඇයි මෙයාට කියලා නැද්ද ?

මම එසැනින් පරිවර්තනය කලෙමි.

'ඇමති තුමත් දන්නවා කියන්නේ'

 හාහ් හාහ් හා .

ලොක්කා කාමරය පුපුරන තරම් වේගයෙන් හිනා වුනේය.

මාර විහිලු කාරයෙක්නේ . එතකොට ඇමති තුමා දන්නවා රටේ වැඩ නොකර පඩි ඉල්ලන මිනිස්ස්සු ඉන්නවා කියලා . ඔහු නොනවත්වා හිනා වෙයි .
ඊළඟට අසුනින් නැගී සිටි විදේශික ව්‍යාපෘති කළමනාකාරවරයා බඩ අල්ලාගෙන හිනැහෙමින් කාමරය පුරා ඇවිද්දේය.

 බොහෝ තෙදබල ඇත්තෙකු සේ මුලින් මෙහි පැමිණි අමුත්තා නිවට නියාලු ස්වරයෙන් මගෙන් මෙසේ අසයි .

'එහෙනම් මන් යන්ඩද කියලා අහන්න'

එක  දිගටම හිනා වීම නිසා හුස්ම හිර වී සිටි ලොක්කා ලඟට ගොස් මම මේ මිනිහා යන්ඩද අහනවා කියා කීවෙමි.

ලොක්කා එයටද සිනා සුනේය .

තවදුරටත් මෙහි  සිටීමෙන් පලක් නොවන බව තේරුම් ගත් ඇමති සම්බන්ධීකාරකයා හීන් සැරේ දොර ලඟට පා අද්දා  අද්දා ගොස් වැරෙන් දොර ඇරගෙන කාමරයෙන් පිට වුනේය.

ඇමති සම්බන්ධීකාරකයා ඉන්පසු කිසි දිනෙක අපේ ප්‍රොජෙක්ට් එක පැත්තේ ආවේ නැත .
ලොක්කානම් ඔහු ගැන මතක් කරමින් ඉන් පසුවද කිහිප දිනක්‌ම  මහා හයියෙන් හිනා උනේය.
විදේශික කුමන්ත්‍රණකරුවන් අපේ දේශීය ගති පැවතුම්වලට හිනා වෙන්නේ මේ විදිහටය .

Photo; pressmach.com

Monday, November 17, 2014

හන්තානේ මල්

පේරාදෙණි සරසවියේ අවුරුදු පතා මගුල් ගෙදරක් පැවැත්වේ . මේ වෙන මගුලක් නොව සරසවියම මගුල් සිරියෙන් ඇලළෙන මහා කළා උළෙලකි. වල සතියට පමණක් දෙවැනි වන  ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 'මාගේ දේශය අවදි කරනු මැන'  ඒ මංගල්‍යයයි.

ඒත් මේ අවුරුද්දේ මාගේ දේශය අවධි කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලබා නොදීමෙන් එහි වැඩ කටයුතු කඩා කප්පල් වී ඇති බව දැන ගන්නට තිබේ . මේ ගැන හරිම තොරතුරක් දන්නේ නැත

ඒත් සැබෑවක්නම් එය හරිම සෝචනීය කතාන්දරයකි. 1988-90 භීෂණ කාලයෙන් පසු වල්  බිහි වී දිය සෙවෙල  පිරී තිබු සරසවි ලතා මණ්ඩප පමණක් නොව එහි වැසියන්ගේ සිත්සතන්ද යලි පුබුදුවාලන්නට ශිෂ්‍ය සාහිත්‍ය උළෙළද යම් තරමකින් හෝ උදව් වූ බව නිසැකය . අනු  එකේ අවුරුද්දේ මෙය ඇරඹුණු බව මගේ මතකය කියයි. මේ සාහිත්‍ය උළෙල ගැන අවුරුදු තුනක මතකයක් මට තිබේ . පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ පද්‍ය  නිර්මාණ, කෙටිකතා හා රචනා  සඳහා  සම්මාන පිරිනැමූ  උළෙලේදී  රටේම පිලිගත් කලා කරුවෙකුටද  සුවිශේසී සම්මානයක්ද  පිරිනැමින. මට මතක විදිහට මුල් අවුරුද්දේ  සුගතපාලද සිල්වාත්, දෙවනුව ගුණදාස කපුගේත්, ඊළඟට ගාමිණි හත්තොට්ටුවෙගමත් මේ සම්මානය හිමි කර ගත්තෝය.

ජවිපෙට බර වූ මහා ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කළා වුනාට සාහිත්‍ය උළෙලේ තිබ්බේ සාහිත්‍යයමය ප්‍රබෝදයක්මය. මුළු සරසවියෙම ගස් පුරා අලුතින්  කහපාට, මදටිය පාට හා රතු පාට මල් පිපී  තිබුනේ උළෙලට සුබ පතන්නටය.

එදා පුදුමාකාර උද්යෝගයක් හැම කොල්ලෙක්ගේම කෙල්ලෙක්ගේම මුහුණුවල දකින්නට තිබුණි. යලිත් වරක්  සරච්චන්ද්‍රලා, මනෝරත්නලා හා  දිද්දෙනියලා පරපුරක් බිහිවනු ඇති බවට ඉඟි බිඟි මතු වෙමින් තිබිණි.

අනුව දශකයේ මුල් අවුරුද්දක තිබුණු සාහිත්‍ය උළෙලේ අපුරු වැඩ සටහනක් තිබුනේය. උළෙල පටන් ගන්නට පෙර භූගෝල විද්‍යා පීඨයේ සිට අල්විස් පොන්ඩ් එක දෙසට ඇදෙන මාවතේ තැනින් තැන තුරු වදුලු යට පොඩි පොඩි සාහිත්‍ය මුළු සංවිධානය කර තිබිණි. වෙන වෙනම ලේඛකයෝ තැන තැන කතා බස්වලට ගොනු කර තිබුණි. සුගතපාලද සිලවා. දයාසේන ගුණසිංහයන්. පියසේන කහඳගමගේ වැනි ලේඛකයන් කවියන් කිහිප පෙළක්ම ආරාධනා ලැබ  සිටියහ. දයාසේන ගුණසිංහගේ 'දොර මඩලාව ' එතැන මැවුනේ  සුගතපාලද සිල්වාගේ 'ඇට මැස්සා' හිස වටා පියා සල්ද්දීය.

එදා  හවස සාහිත්‍ය උත්සවය පටන් ගන්නට කලින් සුන්දර කලාබර හැන්දෑවක් ලැස්ති කර තිබුණු හැටි ඒ විදිහය. එදා  මටද පොඩී කඩේ යෑමක් පැවරී තිබිණි. ඒ කතා බහ අවසන කලාශිල්පීන් දෙපළක් වුස් කැන්ටිමට කැඳවා ගෙන ගොස් එතන ලැස්ති කර තිබු  වඩේ, පැටිස් හා කෙසෙල්ගෙඩි සමග කැම්පස්  ප්ලේන්ටි සංග්‍රහයෙන් ඔවුන්ව  සන්තර්පන කරවීමය.

මම හෙමින් හෙමින් මට භාර දී තිබු කළා කරුවන් දෙපළ අසලට ගොස් දැන් තේ බොන්න යමු නේදැයි ඇසුවෙමි.. සුගතපාලද සිල්වා ඉතා අහිංසක ලෙස කිව්වේ 'ඔව් මට ප්ලේන්ටියක් බීලා බුලත් විටක් කන්න වුවමනා වෙලා තිබ්බේ' කියලාය. වුස් කැන්ටිමේදී  ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ලැස්ති කර තිබු තේ මේසයක් වෙත සුගතපාලද සිල්වාත් දයාසේන ගුණසිංහත්  ඇරලවා මම වෙනත් තැනකට යන්නට හදන විට දයාසේන ගුණසිංහයන් මගේ අතින් ඇද මෙසේ කිව්වේය.

'දැන් ඔය ළමයත් අව්වේ  ඉඳලනෙ ආවේ මෙන්න මෙහෙන් වාඩි වෙලා අපිත් එක්කම තේ බොමු'.

එක් පසෙකින් සුගතපාලද සිල්වාත් අනෙක්පසින් දයාසේන ගුණසින්හත්  ඉන්නා තැනක වුස් කැන්ටිමෙන් මම වඩේ කා ප්ලේන්ටි බිව්වෙමි.

මා එදා විඳි අහිංසක සතුටේ වටිනාකම රාජ රාජ මහා මැතිඳුනට කඩේ යාමෙන් ලබන්නට පුළුවන් සතුට මෙන් සිය දහස් ගුණයක් වටිනා බව මම මැරෙනතුරු විශ්වාස කරමි.

දහසක් මල් පිපෙන්නට ඕනිය. මොන පක්ෂයකින් , මොන සංවිධානයකින් ලෑස්ති කළා වුනත් සාහිත්‍ය උළෙලකින් ඇගයෙන්නේ  නිර්මාණ කරුවන්ය. දිරි ගැන්වෙන්නේ තව තවත් ලියන්නට හා ගයන්නටය.

ලියන්නට හා ගයන්නට නොදී මල් පොහොට්ටු අතින් තද කරගෙන සිටියොත් පොඩි වූ මල්වලින් හමන්නට ඉඩ ඇත්තේ මල් සුවඳ නොව අර අමිහිරි වෙඩි බෙහෙත් ගඳමය.

Photo; dailynews.lk

Wednesday, November 5, 2014

කෝ අද වට්ටිය රෝ මනු ජේසු

ම දන්නා කුඩා පිරිමි ළමයෙක් හිටියා අම්මාගෙන් පන් වට්ටියක් ඉල්ලලා සන්නද්ධ අරගලයක් කරපු. ඒක වෙලා තියෙන්නේ ළමයා හෝඩියේ පන්තියේ අවුරුදු තුනක් ඉන්නා කාලේ .

ලොකු පන්තිවල ළමයින්ට ප්‍රාග් වෘත්තීය කියල සබ්ජෙක්ට් එකක් තිබ්බ ඔන්න ඔය කියන කාලේ. ගෑනු ළමයින් මැහුම් ගෙතුම්  මදිවට පන්වලින් වට්ටි පෙට්ටි වියන එක පවා ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලෙදි . මේ වගේ අත්කම් වැඩ ආශාවෙන් උගන්වලා තියෙන්නේ මේ කියන ළමයාගේ අම්මා.ඒ හෝඩියේ පන්තියේ ටීචර් වෙලා ඉන්දැද්දීම.

මේ විධිහට ඉස්කෝලෙදි හැදෙන ලස්සන ලස්සන අත්කම් නිර්මාණ අතරින් ළමයාගේ හිත වැඩිපුරම පැහැරගෙන තියෙන්නේ පන්වලින් හදපු මල් වට්ටියක්. පොඩි එකා හවස ගිහින් අම්මාගෙන් අතොරක් නැතිව අහන්නේ පන් වට්ටි වියන අපුරුව ගැන. අම්මා තුන්හිරියා පන්, හැවන් , ගල්ලැහැ බට පතුරු ආදිය එකතු කරගෙන වට්ටි, පෙට්ටි විතරක් නෙවෙයි පැදුරු වියන හැටි පවා රසවත්ව විස්තර කළා.

ලස්සන පාට පාට මල් පිපුණු, හීන්බෝවීටියා සුවඳ එන ඔය දෑල දිගට තැනින් තැන හැවන් පඳුරු මණ්ඩි  මණ්ඩි තියෙන බව අම්මා කිව්වා. කඳුවැටි අතරින් ලස්සනට ගලාගෙන යන සිරියාවන්ත ඔය. තමන්ගේම ඔය. ඔයේ සොඳුරු ලස්සන, සුවඳ විතරක් නෙවෙයි වට්ටි වියන්න පුළුවන් හැවන් වගේ ඒවත් නිසා ඔය  මොන තරම් පෝසත්ද. පොඩි තැන ආඩම්බරෙන් නිදා ගත්තා.

 ළමයාට රෑ හීනේමුත් පෙනුනේ පන් වට්ටියක්. උදේ පාන්දර නැගිට්ට ගමන් අම්මාට ඇවිටිලි කළා.

'අම්මේ මට අලුත් පොඩි  වට්ටියක් වියලා දෙන්න අද ඉස්කෝලෙදි ලොකු අක්කලාට කියල'

පුංචි ජනේලයෙන් එපිට මීදුම ඈත් මෑත් කරගෙන ගෙට එබෙන අරුණාලෝකයත්, සමන් පිච්ච මල් සුවඳත් විඳ විඳ තුටු පහටු මුහුණින් කුස්සියේ තේ හද හදා හිටි අම්මගේ මුනේ ලස්සන හිනාවක් මැවුනා. පොඩි එකාගේ අහිංසක ඉල්ලීමට එකහෙලා හා කිව්වා.

ඔන්න දැන් ඉස්කෝලේ වැඩ අතරේ පොඩි එකා වරින් වර අම්මා ගාවට යනවා .
'අම්මේ අර වට්ටිය'

ඉස්කෝලෙදි හැම තිස්සෙම අම්මා ලඟට යන්න අවසර නැති වුනත් සැරින් සැරේ අම්මා ලඟට ගිහින් ආයෙමත් පොඩ්ඩක් මතක් කරනවා.

'ඉන්න පුතේ  අම්මටත් අමතක නෑ! .

ලොකු පන්තිවල අක්කලාට අත්කම් වැඩ තියෙන්නේ අන්තිම පීරියඩ් දෙකේ . ඉතින් අම්මා ඒ පාඩමේදී අතුරු පලයක් හැටියෙන නිමවෙන පන්කොළ වට්ටිය පොඩි එකාට දෙන්නට තීරණය කරලා.

දැන් ළමයා අපුරු විසිතුරු ලෝකෙකට ගිහිල්ලා . හවස ගෙදර යනකොට පන් වට්ටිය ඔලුවේ උඩ තියාගෙන යන හැටි  අනිත් හමොටම පෙන්වන හැටි , වට්ටිය  රෑට පරෙස්සමට අරන් තියෙන එක . අම්මේ එහෙම සුන්දර කල්පනාවක්.

මෙහෙම හීන ලෝකෙක පොඩි තැන ඉන්දැද්දී බොහොමත්ම  හෙමින් වට්ටිය වියෙනවා . කාලය ගෙවුනා . පලවෙනි පීරියඩ් එක ඉවර වුනා. දෙවැනි පීරියඩ් එකත් ඉවර වුනා . ඒත් එක්කම ඉස්කෝලේ ඉවර වෙන බෙල් එකත් වැදුනා, හැමෝම ඩෙස්ක් පුටු වලින් නැගිටලා අත් එක්කාසු කර ගත්තා.

දෙයියනේ! ළමයාට දෙලෝ රත් වුනා . දුවලා ගිහින් වට්ටිය වියන තැන බැලුවා.

බාගෙට වියපු වට්ටියේ පන් කොළ දිගට දිගේ  විහිදුනා. ඒක තනි විකාරයක් වගේ. තොල කට වේලිච්ච පොඩි එකා අම්මා හොයන්න යන්න පිටත් වුනා .
 එතකොටම ඉස්කෝලෙම එක හඬින් 'යෝ වද තං  පව..' ගාථාව කියන්න පටන් ගත්තා.

යෝ වද තං  පවරෝ මනු ජේසු...

ආයේ කීයටවත් තමන්ට වට්ටිය අද දවස තුළ නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලි කරන ඔච්චම් ගීතයක් ලෙසයි ඔහුට එය ඇහුනේ.

පොඩි එකා තමන්ගේ තියෙන එකම ආයුධේ මල්ටි බැරල් රොකට් එකක් කරගෙන ඉස්කෝලේ මුළු ශාලාව ගිගුම් දෙන තරම් හඬකින් ක්‍රියාත්මක කළා. ඒ තමයි ළමයි එකසිය ගානකගේ හඬ පරදන සද්දෙන් බිරුසන් දීම.

දිගටි තනි ශාලාවක හෝඩියේ  ඉඳන් හතේ  පංතියට එනකන් පැවැත්වුණු කුඩා පාසැලම එක් වරම බිරාන්ත වුනා.

ගුරුවරු ලොකු ළමයි එක රොත්තට පොඩි එකා දෙසට හැරුනා .

ඇයි ඇයි මොකද මොකද ???.

අනිත් හැමෝටම වඩා අඩුවෙන් කලබල වුනු අම්මා  සන්සුන් ගමනින් එතනට ඇවිත් මෙහෙම කිව්වා.

'හරි හරි ප්‍රශ්නයක් නෑ  ඔය ළමයි  සේරම දැන් ගෙදර යන්න'

ඒ අතරේම ඇය හතේ පන්තියේ ගැහැණු ළමයින් දෙන්නෙකුට කතා කරා.

'අමිලා, රේණු මයේ දුවේ අපි තුන් දෙනා  විනාඩි දහයක් ඉඳල මේ වට්ටිය ඉවර කරලා යමුද. යනගමන් අපේ ගෙදරින් බත් කටකුත් කාලා යන් .

ඔන්න දැන් කිසි කිසි ගාලා වට්ටිය වියලා අහවර කළා. වැඩි කොළ කපල පන්ති කාමරේ සුද්ද බුද්ද කරලා හතර දෙනාම ගල් පඩි පෙළ බැහැගෙන ගෙදර යන්න එනවා හිනා වෙවී.

පොඩි එකා පොත් බෑග් එක අම්මට දීලා පඩි දිගේ දුවනවා. ආයේ අම්මලා ලඟට එනවා. වට්ටිය තොප්පියක් වගේ ඔලුවේ දා ගන්නවා . ආයේ ගලවනවා . කරකවනවා . ඉස්සරහා කිරි දත්  වැටිච්ච කටෙන් හිනා වෙනවා .

ලොකු පන්තියේ අක්කලා මෙහෙම කියනවා

ඔයා දැන් උඩ  පැන පැන හිනා වෙවී  ගියාට  ඉස්සෙල්ල බෙරිහන් දීලා ඇඬුවේ . චී චී වට්ටියක් ඉල්ලලා අඬනවද පිරිමි ළමයි. අපිටත් එක්ක ලැජ්ජයි.

පොඩි එකා කියනවා .

මම  වැඩිපුරම ඇඬුවේ ඕගොල්ලෝ මට වට්ටිය හදලා දුන්නෙත් නැතිව මට එක එක ඒවා කිව්වනේ  ගාථාවත් වෙනස් කරලා .

'කවුද වෙනස් කළේ ගාථාව'

ඇයි ඕගොල්ලෝ මෙහෙම කිව්වේ?

'කෝ අද වට්ටිය රෝමනු ජේසු '


චිත්‍රය : දෙව්‍නි

Friday, October 31, 2014

හිතවත් මහැදුරුතුමා වෙත




මේ මා දැනට ඉන්නා හෝ හිටපු සරසවි මහාචාර්යවරයකුට ලියන පළමු ලියුමයි  


මහාචාර්ය විතානගේ මැති තුමා
හිටපු භූ විද්‍යා මහාචාර්ය /හිටපු මණ්ඩපාධිපති
පේරාදෙණිය සරසවිය


හිතවත් මහැදුරුතුමා වෙත


ඔබතුමාට මේ ලිපිය ලියන්නේ සතියක් ඇතුළත ඔබව තුන් වතාවක් මට මතක් වූනු නිසයි. පහුගිය සතියේ කඳුකරයේ  ඉන්නා මගේ සොයුරියකට කතා කරද්දී ඇය  කිව්වේ  සති ගානක් තිස්සේ වහින අනෝරා වැස්ස නිසා ඇය බියෙන් තැතිගෙන සිටින බව. ඇය වැඩිපුරම බය වී සිටින්නේ කොයි වෙලේ පස් කණ්ඩියක් ඉහට උඩින් කඩා පාත් වේවිද කියල.


එතකොට තමයි  මෑත කාලයේ මුල්වරට මට ඔබතුමා මතක් වුනේ. 1990 අවුරුද්දේ දවසක පළමු වසරේ සරසවි සිසුවෙක් වෙච්ච මම විද්‍යා පත්තරේකට නාය යෑම් ගැන ලිපියක් ලියන්නට ඔබතුමා  මුණ ගැසෙන්න ආවා මතකද?. නාය යාමේ අවදානම ගැනත් පදිංචියට සුදුසු නුසුදුසු තැන් ගැන ජාතික ප්‍රත්පිපත්තියක් තියෙන්නට වුවමනා බවත් එදා කීවත් ඔබ වැඩිපුරම කතා කලේ මහා මහවැලි ජලාශ නිසා ඇති වනන්නට ඉඩ තිබෙන අවධානම් ගැනයි. කඳුකරයේ ගැඹුරු ජලාශ නිසා සුළු භූ චලන පවා ඇති වෙන්නට පුළුවන් වග ඔබ එදා කිව්වා .නිරන්තරයෙන්  ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ  වග ඔබ කීවා.


ඔබ එදා කී දේවල් අපේ පත්තරේ මුල පිටුවෙන් විතරක්  නෙවෙයි කතුවැකියෙන්ද , උලුප්පා පෙන්නුවේ ඒ නිසයි. දැන් ඒ ගැන මොනවා වෙනවාද කියා දන්නේ නෑ.


රක්ෂිත වන්නාන්තරවලට අමතරව කඳුකරේ විශේෂයෙන් තියෙන්නට ඕනෑ රිසර්වේෂන් ඉඩම් ගැන ඔබ එදා කියද්දී මට මතක් වුනා ඉස්සර අපේ ගමේ තිබ්බ රිසවේෂන් ඉඩම් ගැන. දිය උල්පත් , කඳුරු වගේම වගුරුබිම්  අහලකවත් ගෙයක් දොරක් ගොවිතැනක් කරන්න තියා ගහක්වත් කපන්න කවුරුවත් ලැස්ති වුන් නෑ . නා ඉරි කියලා තැන් තිබ්බා. කවුරුත් ඒ ඉඩම්වලට අත තිබ්බේ නෑ.


ගිය සතියෙම දෙවන වර මට ඔබතුමා  මතක් වුනේ ඉස්සර සමනලවැව ව්‍යාපාරයේ කන්තෝරු කාමර තිබ්බ තැන දැන් හදා තිබෙන තක්ෂලාවේ කොල්ලන්ට කෙල්ලන්ට පොලුවලින් තලන හැටි දැක්කම. ඔබතුමාත් 1976 අවුරුද්දේ පේරාදෙණිය සරසවියේ පාලකයාව ඉන්දැද්දී  ඇති වෙච්ච  සිසු අරගලයක් අතිශය දරුණු ලෙස මර්ධනය කරන්න ගියාලු නේද? අහිංසක වීරසුරිය පොලිස් වෙඩි පාරින් මැරුම් කාල තියෙන්නේ එතකොට කියලයි මම අහලා තියෙන්නේ . මොනා උනත් ඒ වැඩෙන් පස්සේ  ඔබේ පට්ටමත් නැති වුනා තිබ්බ ආණ්ඩුවත් පෙරලුනා . ඔබට ඒ කාලේ තිබ්බ දේශපාලන හිතවත්කම නිසා හරියට උඩඟු වෙලා  හිටිය කියලයි අපේ වැඩිහිටියෝනම් කිව්වේ.


අදත් එදා වගේම ගොඩක් උගත්තු බලයක් හම්බුනාම පහේ පන්තියෙනුත් පහළට වැටෙනවා. ඔබතුමානම් පස්සේ වැරදි හදාගෙන ආපහු  රටට වැඩදායක පර්යේෂණවල යෙදුනා. එඩිතර ප්‍රකාශ කරා. මිනිසුන්ගේ හිතේ ඔබ ගැන රිසවේෂන් එකක් තිබ්බ නිසා ඔබට ආයෙම නිසි පිළිගැනීම ලැබූනා .


මතකද සමනල වැව හදන්ට කලින්ම ඔබතුමා  කිව්වා ඔය තෝරාගෙන තියෙන තැන වැරදිය. ජලාශේ හැදුවොත් ලීක් වෙනවා කියලා.පොළොවේ ඇතුලේ තියෙන මාබල් තට්ටු වගේම විශාල පැලුම්  ගැන සඳහන් කරමින්. ඉතිං තාමත් ඒක ලීක්.

91 අවුරුද්දේද කොහෙද  අපේ බැචෙක් එක්ක (දැන් මිනිහ රටේම නමගිය බලශක්ති ලොක්කෙක්) තැපැල් නයින්ටියක  නැගලා  බලන්ගොඩ, කපුගල,  රජවක, දෙහිවින්න පැත්තේ ගම්මාන නමයක ඇවිද්දා. හැම ගමකම ලිං හිඳිලා ඒ වෙනුවට අලුතින් කපාපු  සමනලවැව උමගෙන් එලියට වතුර ගඟක් වගේ ගලනවා. ජලාශේ හදලත් නෑ . පස්සේ අධි පීඩන යන්ත්‍රවලින් කොන්ක්‍රීට්  ඉන්ජෙක්ට් කරලා තමයි ඒ උමගේ කාන්දුව වැහුවේ. එහෙම කරනකොට වටේ පිටේ ගම්වල ලිං  වලිනුයි තැනින් තැන කුඹුරු ලියදිවලිනුයි කොන්ක්‍රීට්  මතු වුනා. මේ මහපොළොවේ හැමතැනම ලොකු කුඩා පැළුම් රාශියක් තියෙන බව මට හොඳටම පැහැදිලි වුනේ එතකොටයි.


ඉතින් ඔය වගේ දෙපාරක්ම ඔබතුමා මතක් වුනු නිසා  මම  යාලුවන්ට පොරොන්දු වුනා ලබන මාසේ ඔබතුමා ගැන ලිපියක් ලියනවා කියල.

ලිපිය දාලා දවස් දෙකක් යන්න වුනේ නෑ මීරියගොල්ලේ අමීරි කතාව හද කම්පා කරද්දී මට ඔබ තුමාව ආයෙමත් පාරක් මතක් වුනා .


අනූ අටේ අවුරුද්දේ  දළදා මාලිගාවට බෝම්බ ගහපු ආරංචිය කණට වැටුණු වෙලාවේම ඔබතුමා පපුව අල්ලාගෙන ඇස් දෙක පියා ගත්තේ නැත්නම් මීරියගොල්ලෝ කතාව අහපු දවසේ අනිවාර්යයෙන්ම ඔබතුමාගේ හදවත දෙදරන්න ඉඩ තිබුනා කියල මට හිතුනා .


මිනිස්සුන්ට පදිංචි වෙන්න හොඳ තැන් නුසුදුසු තැන් ජාතික ප්‍රතිපත්තියකින් තීරණය වෙන්න ඕනි කියලා ඔබ තුමා කිව්වා අපි එක්ක. ඉතින් ඒ ජාතික ප්‍රතිපත්ති පැත්තෙන් අපි අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ කියලයි සමහරු කියන්නේ. අපිත් ඒ කාලේ විද්‍යාවට, තාක්ෂණයට, පරිසරයට, අධ්‍යාපනයට ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්ට ඕනිය ඒක හදන්නේ කොහොමද කියල සෑහෙන්න කතා කළා .


මට හිතෙන්නේ   මේ දේවල නෙවෙයි රටේ නීතිය, ආරක්ෂාව, ආර්ථිකය වගේ  හැම තැනකම ඔය ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ අහේනියෙන් දුක් විඳිනවා . ඒවාත් රටේ රිසවේෂන් ඉඩම් කියලයි මට හිතෙන්නේ . ඒවායේ  හිතු හිතු හැටියේ වැටවල් ගහලා පදිංචි වෙන්න පටන් ගත්තොත්, කානු කපලා අර්තාපල් හදන්න පටන් ගත්තොත්, රා තැබෑරුම් දාන්න පටන් ගත්තොත් මීරියගොල්ලේදී  වුනා වගේම අසරණ අහිංසක පොඩි මිනිස්සු ටික යට කරගෙන මුළු රටේම තැන තැන නාය යන්න පුළුවන් නේද කියලා මට හිතුනා.


ඔබ තුමන්ලා මොන වැරැද්ද්ද කරත් මිනිස්සුන්ගේ හිත්වල පොඩි රිසවේෂන් එකක් තියෙනවා, කොයි වෙලාවේ හරි ඇවිත් රටේ රිසවේෂන් ටික පරිස්සම් කරලා දෙයි කියලා. ඒ ගැන අපි තාම බලාපොරොත්තුවෙන්  ඉන්නවා.


මේ 29 වැනිදා තැලී පොඩි වෙච්ච මගේ හිත මම කරදාසියකට මිරිකුවා.මේ තියෙන්නේ ඒක .

සෙල්ලිගේ කරාබුව 
හපුතලේ උකස් කඩයට
බාර දීලා යන්නට 
ආ නිසා මහා පාන්දර 
පණ බේරුනා කිව්වා 
පියාපත් තෙමී වැහැරුණු 
ලැයිමේ උන් සමනලෙක්

කෝවිලේ වහල ගැලවී
මල්පාත්තිත් එක්කම
දියළුම එක්ක ගියවග
කියා ආපිට ඉගිලුනා
ඔලුව ගහගන්න කියලා
හපුතලේ කන්ද මත්තෙම

වෙහෙරගල පාර අයිනේ
දුර ඈත සුව දසුන
පොටෝ අල්ලන මහතුනි
නොබලනු මැනවි දෙස
මල්වැරූ පහල බෑවුම


මේ ගැන ඔබතුමාගේ අදහස ලියලා එව්වොත් බොහොම පින්. ඒ ලියවිල්ල පත්තරේ ගියාම, අලුත්ම පත්තරේකුත්  අරන් අක්බාර් පාලමින් ගොඩවෙලා ඔබතුමා බලල යන්න එන්නම්.

එතෙක් ඔබට සුව නින්දක් 

මම 

තිලක සිත